ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ.
හනා ආරන්ඩ්ට්

නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි.

ආනන්ද කුමාරස්වාමි

(පණ්ඩුක කරුණානායක ලියූ “The University and Society: To Tango or Not?” , The island 2007/08/08/ ලිපියේ උපුටා දක්වා ඇති පරිදි)

අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ රැකියා පුහුණුව

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ඉන් ලාංකේය ජාතියේ අනාගතය කෙරෙහි කරන බලපෑම කෙරෙහි බලවත් අවධානය යොමු කළ යුතුය.

වත්මනෙහි අධ්‍යාපනය ආර්ථික වර්ධනය සඳහා සහ එනිසා නව පරපුර රැකියාවලට පුහුණු කිරීම උදෙසා යොමු විය යුතු යැයි ඉමහත් බලපෑමක් තිබේ.

අධ්‍යාපනය, ආර්ථික වර්ධනයට සහ රැකියා පුහුණුවට තනිකරම ගැට ගැසීම, ජාතියේ අනාගතය බලවත් අවදානමකට ලක් කරනු ඇත.

නව පරපුර, රැකියාවන්ට යොමු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීම වත්මන් සමාජයේ එක් අවශ්‍යතාවකි.

කෙටිකාලීන දේශපාලන අරමුණුවලට හෝ, ආර්ථික අරමුණුවලට අධ්‍යාපනය තනිකරම ගැට නොගැසිය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පොරොන්දුව සියලු දෙනාටම එක සේ උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමයි.

වත්මනෙහි කෙරී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ගමන් කොට ඇත්තේ උසස් මට්ටමේ අධ්‍යාපනය ප්‍රභූ පැළැන්තියට පමණක් සීමා කෙරෙන දිශාවට ය.

බුද්ධිමය සහ පුරවැසි අධ්‍යාපනය

රටක පැවැත්ම යහපත් වන්නට නම්, ඊට හුදෙක් රැකියාවල යෙදෙන්නන් පමණක් නොව, තම කටයුතු හුදු රැකියාවක් ලෙස, ජීවනෝපායට මඟක් ලෙස පමණක් නොසලකන, විද්‍යාඥයන්, ශාස්ත්‍රඥයන්, කලාකරුවන්, ලේඛකයන්, බුද්ධිමතුන්, න්‍යායධාරීන්, දර්ශනවාදීන්, චින්තකයන් පමණක් නොව, වඩාත් වැදගත්ව රටේ, ලෝකයේ යහපත අරමුණින්, එහි කටයුතුවලට ස්වාධීනව සහ සක්‍රීයව නිස්සරණධ්‍යාශයෙන් ඉදිරිපත් වන පුරවැසියන් ද අවශ්‍ය ය.

එවැනි පිරිසක් අධ්‍යාපනයෙන් බිහි නොකරන රටකට තමන් ගේ ස්වාධීන සිතිවිල්ලක් සහ ක්‍රියාමාර්ග සම්පාදනය කරගන්නට නොහැකිවීමෙන්, රටේ මූලික කටයුතු සංවිධානය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා විදේශයන්හි මූලික අධ්‍යාපනය පවා ලැබූ, මේ රටෙහි මුල් බැස නොගත් පුද්ගලයන් මත රඳා පවතින්නට සිදුවෙයි. එවිට ඔවුන්ගේ සිතීමත්, මෙරට ජනයාගේ සිතීමත් අතර ඇති පරතරය නිසා රටේ අවුල්, වියවුල් ඇතිවීම නොවැළැක්විය හැකි වෙයි, අපට ජාතියක් ලෙස නැගී සිටීමට නොහැකි වෙයි.

විද්‍යාඥයන්, ශාස්ත්‍රඥයන්, දර්ශනවාදීන්, න්‍යායධාරීන්, චින්තකයන්, බුද්ධිමතුන්, කලාකරුවන්, ලේඛකයන් බිහි කරන්නට නම් ඒ ඒ ‍ක්ෂේත්‍රයන්හි කුසලතා පෙන්නුම් කරන තරුණ තරුණියන්ට ඒ ඒ ක්ෂේත්‍රවල පුළුල් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබාදිය යුතු වෙයි.

ඊටත් වැඩියෙන්, රටේ, ලෝකයේ යහපත අරමුණින් රටේ ගමන් මඟ නිවැරදි කිරීම සඳහා, රටට, ලෝකයට ඇතිවිය හැකි ව්‍යසනයන් වළක්වාලීම සඳහා නිස්සරණධ්‍යාශයෙන් මැදිහත් වන, ස්වාධීන, සක්‍රීය පුරවැසියන් බිහිකිරීම සඳහා නවකයන්ට පුළුල් අධ්‍යාපනයක් ලබාදීම අවශ්‍ය වෙයි.

රටක් නඟා සිටුවාලන, ශිෂ්ටාචාරයක් සහ දිගුකල් පවත්නා සංස්කෘතියක් ගොඩනැගෙන්නට නම්, මෙබඳු පිරිස් බිහි කරන අධ්‍යාපනයක් අපට අවශ්‍ය වෙයි.

මානව ශාස්ත්‍ර අධ්‍යාපනය

මෙම දෙආකාර අධ්‍යාපනයම, එනම් ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ පුරවැසියන් බිහි කරන අධ්‍යාපනය නව පරපුරට ලබාදීම සම්ප්‍රදායිකව කෙරුණේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය මගිනි. ඉංග්‍රීසියෙන් Liberal Arts යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. මෙහි අරමුණ කලාවන්, භාෂාව සහ සාහිත්‍යය, ඉතිහාසය යනාදී විෂයයන් පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් වැඩිහිටි ජීවිතයට අත්තිවාරමක් වශයෙන් නවකයන්ට ලබාදීම යි. මෙයට පසු කලෙක විද්‍යාවන් ද, ඊටත් පසු කලෙක සමාජීය විද්‍යාවන් ද එකතු වීය.

අධ්‍යාපනය ආර්ථික වර්ධනය සඳහා, රැකියා පුහුණුව සඳහා විය යුතු යැයි ‍කෙරෙන හඬ ගෑම හමුවේ කලෙක සිටම බලවත්ම ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මෙම මානව ශාස්ත්‍ර අධ්‍යාපනය යි.

එහෙයින් නව ජාතික අධ්‍යාපන පනත, අපගේ දරු – දැරියන්ට ලබාදෙන අධ්‍යාපනයේ හරය වශයෙන් මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ස්ථිරසාරව ප්‍රතිෂ්ඨාපනය කිරීමට යොමු විය යුතු ය යන්න අවධාරණය කළ යුතුය.

ඉගෙන ගැනීම වෙනුවට ‘කිරීම’ – ‘වැඩ ’ වෙනුවට ‘සෙල්ලම ’ (doing in place of learning – play in place of work)

සම්ප්‍රදායික අධ්‍යාපනයට එරෙහිව නැගෙන එක් චෝදනාවක් වී ඇත්තේ, එය දරුවන් කට පාඩම් කිරීමට යොමු කිරීමෙන් ඔවුන්ගේ කුසලතා වර්ධනයට හානි කරන බවයි.

බැලූ බැල්මට සත්‍යයක් සේ පෙනී යා හැකි මෙම කරුණු, ගැඹුරින් විමසා බැලුවහොත් පදනම් විරහිත අදහසක් බව පෙනී යනු ඇත. අධ්‍යාපනඥයන් පෙන්වා දෙනු ඇති පරිදි, කටපාඩම් කිරීම ප්‍රාථමික අධ්‍යාපනයේ දී අත්‍යවශ්‍ය අංගයකි. පොදුවේ ගත් කළ කරුණු මතකයේ තබා ගැනීමට ලබන පුහුණුව මතකය වර්ධනයට උපකාරී වන බව පෙනෙයි.

කටපාඩම් කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ සංවිධිත විෂය මාලාවක් මත පදනම් වූ විෂය ඥානය ලබාගැනීම බැරෑරුම් කටයුත්තක් සේ සලකා අන් කටයුතුවලින් මිදී එහි නිමග්නවීම නම්, ඊට විකල්ප වශයෙන් ප්‍රායෝගික දේවල්කිරීමෙන් හෝ කෙළිදෙළෙහි යෙදීමෙන් යමක් ඉගෙනගැනීම හඳුන්වාදීමෙන් දරුවන්ට හරවත් අධ්‍යාපනයක් ලැබෙතැයි සිතීම මුළාවකි.

ළමා හෝ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යැයි කියන්නේ මෙම දෙවනුව කී ක්‍රමවලට ළමයින්ට ඉගැන්වීම නම් ඉන් අපගේ දරුවන්ට ලැබෙනු ඇත්තේ අධ්‍යාපනයක් නොව, වැඩිහිටි ලෝකයට ප්‍රවිශ්ට වීමට අවශ්‍ය වැඩ කිරීමේ පුරුද්ද ක්‍රමයෙන් වගා කරගනු වෙනුවට කෙළිදෙළෙන් කාලය ගත කිරීමේ පුරුද්ද ඔවුන් තුළ ඇති වීමයි, උපරිම ව, යම් නිපුණතා වර්ධනයකි.

අප, අධ්‍යාපනය තුළ ළමයින්ට සෙල්ලම් කරන්නට උගන්වා, ඉන්පසු, ඔවුනට වැඩ ලෝකයේ ආකල්ප නැතැයි චෝදනා කිරීමෙන් පලක් නැත.

නිපුණතා වර්ධනය සහ අධ්‍යාපනය

ඉගෙනගැනීම, ඥානය ලබා ගැනීමට මඟ ප්‍රායෝගික ක්‍රියාවන්හි නිරතවීම (doing in place of learning) යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ නිපුණතා වර්ධනය යි. නිපුණතා වර්ධනය පුහුණුවෙන් ලැබේ. අධ්‍යාපනයේ අරමුණ ඥානය යි. නිපුණතා වර්ධනය අයත් වන්නේ වෘත්තීය පුහුණුවට ය, නැතහොත් සමාජීය පුහුණුවට ය, එය අධ්‍යාපනයෙන් පිටස්තරව ලැබිය හැකි ය.

නමුත්, ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනගැනීම ප්‍රතික්ෂේප කිරීමක් මෙයින් අදහස් නොකෙරේ. අපගේ විවේචනය, ඉගෙනගැනීම සඳහා ක්‍රියාකාරකම් යොදාගන්නවා වෙනුවට ක්‍රියාකාරකම් ඉගෙනගැනීම බවට පත්කිරීම පිළිබඳ ය.

අධ්‍යාපනය යනු කුමක් ද?

අධ්‍යාපනය යනු නවකයන්ට සමස්තයක් ලෙස ලෝකය හඳුන්වා දීම යි, වැඩිහිටි ලෝකය සඳහා ළමයින් සූදානම් කිරීමේ මඟ යි, ලෝකය පිළිබඳ වගකීම් භාර ගැනීමට ළමයින්ට ඉගැන්වීමයි.

මානව සමාජය, අපගේ ලෝකය, නොනැසී, අලුත් වෙමින් පැවැතිය හැක්කේ මෙම ක්‍රියාවලිය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගතහොත් පමණි.

ඒ සඳහා නවකයන්ට පළමුව ලෝකයේ ඇති තතු ඒ අයුරින්ම කියා දිය යුතුය. තමන් අයිති ලෝකයේ සම්ප්‍රදාය සැදුම් ගෙන ඇති විවිධ අංග දරුවාට හඳුන්වා දිය යුතුය. මානව ශාස්ත්‍ර සහ විද්‍යා දැනුම අපගේ දරුවන්ට අප දෙන අධ්‍යාපනයේ හරය විය යුත්තේ මේ අර්ථයෙනි.

ළමා / ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය

ළමා හෝ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යන්නේ අරමුණ අධ්‍යාපනය දීමේ අධිකාරය තිබිය යුත්තේ වැඩිහිටියන්, එනම් දෙමව්පියන්, ගුරුවරුන්, අධ්‍යාපනඥයන් අත ය යන්න නොසලකා හැරීම විය නොහැකිය. ළමයින්ට ඔවුන් රිසි දේවල් කරන්නට ඉඩදුන හොත් ඉන් ඔවුනට අධ්‍යාපනයක් ලැබෙතැයි සිතහොත් එය ද මුළාවකි.

ළමයින්ට ඉගෙනීමට වැදගත් යමක් ඇත්තේ යමක් දන්නා වැඩිහිටියන්ගෙන් මිස, ලෝකයේ ඇති තතු පිළිබඳ සම්පාදනය වී ඇති දැනුම මැනවින් ග්‍රහණය කොට ගත් ගුරුවරුන්ගෙන් මිස, තම සම වයස් කණ්ඩායමෙන් නොවේ.

දරුවා ළමයින්ගේ ලෝකයක අධිකාරයට නොව වැඩිහිටි ලෝකයෙන් උකහා ගත් ප්‍රමිතීන්ට යටත් කළ යුතු ය.

ළමයාගේ ලෝකයට ස්වායත්තතාවක් ඇතැයි සිතීම නිවැරදි නොවේ. ළමයා වැඩිහිටියන්, දෙමව්පියන්, ගුරුවරුන්ගේ අධිකාරය යටතේ ක්‍රම ක්‍රමයෙන් වැඩිහියෙකු බවට වර්ධනය වීම ලෝක ස්වභාවය යි. නූතනත්වය යටතේ, අධ්‍යාපනය මෙම වර්ධනයේ ප්‍රධානම අංගයකි.

ප්‍රාථමික අධ්‍යාපනය තුළ සෙල්ලමට වැඩි අවකාශයක් ළමයාට සැපයුණි නම්, ක්‍රම ක්‍රමයෙන් වැඩක ඒ වෙනුවෙන්ම නිරතවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා අන් කටයුතුවලින් මිදී ඉගෙන ගැනීමට ළමයා යොමු කළ යුතු ය.

ආවේණික ගුණාංග සහ කුසලතා වර්ධනය

දරුවාගේ ආවේණික ගුණාංග සහ කුසලතා නිදහසේ වර්ධනය වීමට අවස්ථාවක් ලබා දීම අධ්‍යාපනයේ අරමුණය යන්නේ අදහස කෙළි-දෙලෙන් කාලය ගත කිරීමෙන් හෝ ප්‍රායෝගික ක්‍රියාවන්හි යෙදීමෙන් ඒවා වර්ධනය වනු ඇත, යන්න නොවේ. ඒ සඳහා ඔවුන් අයිති සම්ප්‍රදාය පදනම් කොටගෙන සකස් කළ විෂය මාලාවක් තුළ ඥානය වඩා ගැනීමට යොමු කළ යුතු ය.

ඒ ඒ විෂයයෙහි විශේෂඥයන් බවට පත් වූ ගුරුවරුන්ගේ අධිකාරය ශිෂ්‍යයන් මත පිහිටුවා, ළමයින් අයිති වන ලෝකය ඇති සැටියෙන් ඔවුනට හඳුන්වා දිය යුතුය.

එමඟින් තමන් අයිති සම්ප්‍රදාය තුළින් තමා සකසා ගන්නට සහ වැඩිහිටියන් බවට පත්වී ඒ මඟින් ‍ලෝකය නිසිමඟට ගැනීමට මැදිහත්වීම සඳහා ඔවුනට ඉඩ සලසා දිය යුතුය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අර්බුදය

දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, අධිකාරයෙන්මිදී, කෙළිදෙළෙන් සහ ප්‍රායෝගික ක්‍රියාවන්හි යෙදි පාසැල් සමය ගත කරන දරුවා විශ්‍වවිද්‍යාලයට පැමිණ විට, ඔහුට/ඇයට විශ්ව විද්‍යාලයෙන් ලැබිය යුතු විශේෂඥ පුහුණුව ලැබීම සඳහා අවශ්‍ය ඥානය සහ පසුබිම නොමැතිකමින්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද අර්බුදයකට මුහුණ දෙයි.

සාරාංශය

දැනුම ලබා ගැනීම වෙනුවට දේවල් කිරීමෙන් ඉගෙන ගැනීමේ සහ වැඩ ජීවිතයට හුරු කරන, බැරෑරුම් අධ්‍යාපනය වෙනුවට සෙල්ලම ආදේශ කරන අධ්‍යාපනයෙන් අප ඉවත් විය යුතු ය.

ඒ වෙනුවට අන් සියලු කටයුතුවලින් මිදී අපගේ සම්ප්‍රදායන් නියෝජනය කෙරෙන පරිද්දෙන් සකස් වූ විෂයමාලා යටතේ විෂයයන් පිළිබඳ විශේෂඥභාවය ඇති ගුරුවරුන්ගේ අධිකාරය යටතේ අපගේ දරුවන්ට උසස් මට්ටමේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක් ලබා දිය යුතු ය.

එබඳු මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක් යළි ස්ථාපනය කිරීම සඳහා අප ජාතියක් වශයෙන් කැප විය යුතු ය. සැමට හරවත් උසස් අධ්‍යාපනයක් දීම සඳහා පහසුකම් දැනට අප සතුව නොමැති නම් ඒ බව පිළිගෙන දීර්ඝ කාලීනව ඒවා සපුරාලීම සඳහා කටයුතු සම්පාදනය කළ යුතු ය.෴

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මත පදනම් වූ අධ්‍යාපන පනතක් සකස් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලද ලියවිල්ලක සංශෝධිත පිටපතකි.

ආශ්‍රිත ග්‍රන්ථ

“Crisis in Education “ Hannah Arendt in Between Past and Future, Penguin , 1958.

The Voice of Liberal Learning, Michael Oakeshott on Education, Editor Timothy Fuller, Yale University Press, 1989.

© ‘කතිකා‘ අධ්‍යයන කවය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි.

මෙම ලිපිය ‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහයෙන් උපුටා ගත් බව දක්වමින් අපගේ වෙබ් ලිපිනය kathika.lk සඳහන් කරමින් උපුටා පළ කිරීමට අවසර තිබේ.

Advertisements