දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිම සමාව අයැදීමක් නැති කලෙක…… මහාචාර්ය රංජිනී ඔබේසේකර

පරිවර්තනය කතිකා අධ්‍යයන කවය

2018 පෙබරවාරි 3 දින දී අයිලන්ඩ් පුවත්පතේ පලවූ මහාචාර්ය රංජිනී ඔබේසේකර ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක මාතෘකාවට අදාළ කොටස්වල මූලික අර්ථය විකෘති නෙකාරන පරිද්දෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ දළ අනුවර්ථනයකි මේ. මෙය කියවා ඔබේ නිගමන වලට එළඹෙන්න. මුල් ලිපියට සබැඳිය පහත දැක්වෙයි.

කලාකරුවන් පිරිසක් පසුගිය වසර 70 ක දේශපාලන පක්ෂ පිළිබඳ ඇගයීමක් කරන ලෙස රටෙන් ඉල්ලා සිටිමින් නිකුත් කළ ප්‍රකාශයක් අගයන මහාචාර්ය රංජිනී ඔබේසේකර ඔවුන් ජවිපෙට සහයෝගය පළකරන බව කියවූ විට මොහොතකට නතර වූ බව කියයි

ජවිපෙ නායකයන් ගේ වත්මන් ප්‍රතිරූපය විවිධ අතින් යහපත් ස්වරූපයක් ගනිද්දී, “ ශ්‍රී ලාංකිකයන් – විශේෂයෙන් 7- සහ 80 දශකයන්හි ඒකාන්ත ප්‍රචණ්ඩත්වය තුළ දිවි ගෙවූ අය – ට ජවිපෙ පිළිබඳ තවමත් මුල්බැස ගත් සැක සංකා ඇත්තේ මන්දැයි” තමාගෙන්ම ඇසූ බව ඇය කියයි.

“ඊට හේතුව, එම ප්‍රචණ්ඩ සමයන්ගේ සිට මෙතෙක් ගෙවූ සියලු අවුරුදු තුළ, සහ ජවිපෙ ඇතුළත සිදුවූ විපර්යාසය තිබියදීත්, ඔවුන්ගේ නායකයන්ගෙන් කිසිවෙක්ට රට ඉදිරියට පැමිණ එම ප්‍රචණ්ඩ සමය සහ අහිංසයකයන් මරාදැමීම පිළිබඳ සමාව අයැදීමට තරම් ධෛර්යයක් නොතිබීම බව තමා විශ්වාස කරන්නේ යැයි” ඇය කියයි. “ඔවුන් යළිත් ප්‍රචණ්ඩත්වයේ මාවත නොසොයනු ඇතැයි ඔවුන් කවරදාකවත් ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත්දැයි” ඇය ප්‍රශ්න කරයි.

මෙය වසර 85ක් තිස්සේ සාක්ෂි දැරූ වැඩිවෙමින් පැවති ප්‍රචණ්ඩත්වය පිළිබඳ දේශපාලන දසුන් වෙත යළි හැරී බලන්නට තමා යොමු කළ බව ඇය කියයි. ඇය මෙසේ කියයි

“ එහිදී, දැකිය හැකි දසුන් බොහෝය.

1971 කැරැල්ල – ශ්‍රිලනිප-වාම ආණඩුවෙන් රටේ තරුණයන්ගේ පරපුරක් තිරශ්චීන ලෙස මරාදරමනු ලැබීය.

රටේ ප්‍රශ්න වලට එකම විසඳුම වශයෙන් සන්නද්ධ කැරැල්ලක් මගින් පාලන තන්ත්‍රය වෙනස් කිරිමට කළ වැරදි කැඳවීමක් නිසා තරුණ ශිෂ්‍යයන්ගේ සමස්ත පරපුරක්ම ආණ්ඩුවට එරෙහිව අවි ගෙන රටට අහිමි වීය.

එකළ බලයේ සිටි ශ්‍රිලනිප-එක්සත් වාම පක්ෂ එම මිනීමැරීමට අද දක්වාම සමාව ගෙන නැත.

ඉන් පසුව, එජාපය ජනවාර්ගික සුළුතරයන්ට එරෙහි දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට නිහඬව අනුබල දුන්නේය. එයින්ද රටට ඇතිවූ අහිමිවීම් ඉමහත්ය. කිසිදු [ එම පක්ෂ ]නායකයෙක් අද දක්වාම එම ප්‍රචණ්ඩත්වයෙහි ලා තම පක්ෂවල කොටස වෙනුවෙන් සමාව යදිනවා තබා, එම අතීතය සඳහන් කොටවත් ඇතිද?

මින් පසුව, දෙවැනි ජවිපෙ කැරැල්ල ආවේය. එය පෙරටත් වඩා ප්‍රචණ්ඩ වීය, රට පාලනය කළ එජාප ආණ්ඩුව විසින් එය ඊටත් වඩා තිරශ්චීන ලෙස මර්ධනය කළේය. දැන් මියගොස් සිටින, මරාදැමූ හෝ ඝාතනයට ලක් කළ එකදු නායකයෙක් හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් කවරෙකු හෝ, ජාතියේ තරුණපරපුරෙහි හෝ එහි සිවිල් ජනගහණයට එරෙහිව සිදුකළ එම භීෂණයන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කොට හෝ සමාව අයැද හෝ තිබේද?

ඉන් පසුව අවුරුදු 30 විවෘත සිවිල් යුද්ධය අප හමුවේ විය. රටේ තවත් සිංහල දෙමළ තරුණ තරුණියෝ දහස් ගණන් ඝාතනයට ලක්කෙරුණි. එල්ටීටීඊ නායකත්වයේ සහ සිංහල ජාතිකවාදී දේශපාලනඥයන්ගේත් දේශපාලනමය නොනැමෙනසුළු ස්වභාවය නිසා සීඝ්‍රයෙන් ඉහළ නැඟි තරුණයන් ඝාතනය කරනු ලැබීම පිළිබඳ කිසිදු සිංහල හෝ දෙමළ නායකයෙක් කවරදාක හෝ සමාව අයැදීමට උත්සාහ කොට තිබේද?

අපි අවංකභාවයෙන් සහ ඒකාග්‍රතාවෙන් යුතු නව නායකත්වයක් සඳහා දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන ජාතියක් වෙමු, දේශපාලන පක්ෂ කිසිවක් එවැනි නායකයන් බිහි කොට නැත.

කණගාටුවට කරුණ නම්, එම සියලු ප්‍රචණ්ඩ ගැටුම් වලදී මියගිය සියළු දෙන අතර නායකයන් වීමේ විභවය ඇති කී දෙනෙකු වැළලෙන්නට ඇතිද?

අපි බෞද්ධ ජාතියකැයි අපි කියමු. දේශපාලන සහ සමාජ ව්‍යාධීන්ට විසඳුමක් ලෙස යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය සාධාරණීය කිරීමට කිසිදු ඉඩක් බෞද්ධ ධර්මයේ නැත. අවුරුදු 70 ගෙවී ගියද අප උගත් දෙයක් නැත. අපි තමන්ගේම දරුවන් බිලි ගන්නා බෞද්ධ ජාතියක් වෙමු.”

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=179254%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA

ඡායාරූපය ©චතුර මධුසංක
කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව උපුටා පල කිරීම තහනම්.

Advertisements