ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට ලාංකික මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ?-ආචාර්ය කුමුදු කුසුම් කුමාර

“ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න.

ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස මහණ කරගන්න බැරිවීම යනාදිය. මේක දැනෙන්නේ ඔවුන්ට විරුද්ධව තියෙන සතුරු බලවේගවල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලායි. දෙමළ සතුරා තවදුරටත් සතුරෙක් නෙවෙයි. ඒ නිසා මුස්ලිම් සතුරෙක් ඇති කරගෙන.”

2009 වසරට කලින් සිංහල, දෙමළ කණ්ඩායම් අතර ගැටුමක් තිබුණේ. නමුත් 2012 වර්ෂය විතර වෙන විට සිංහල, මුස්ලිම් කණ්ඩායම් අතර යම් යම් සිදුවීම් වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ රටේ අලුත් ගැටුමක් ඇති වෙලා කියන එකද?

ලාංකිකයෙක් වශයෙන් පළමුවෙන්ම මම කැමතියි කියන්න මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කරන ලද මේ මැර ප්‍රහාර අවිවාදයෙන් කොන්දේසි විරහිතව හෙළා දකින බව. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව වෙත අපේ කනගාටුව පළකරනවා සහ සහෝදරත්වය පළ කළ යුතුයි.

බොහෝ වෙලාවට මේ ගැටුම්වල මූලය වශයෙන් හඳුනාගන්න ලැබෙන්නේ කිසියම් පුද්ගල ඝට්ටනයන්. පුද්ගල ඝට්ටන මුල්කරගෙන යම් නිශ්චිත පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා ජාතිවාදය බවට වර්ධනය කිරීමේ නැඹුරුව එම සිදුවීම් වුණු හැම අවස්ථාවකම වගේ පෙනිලා තියෙනවා.

මේ ගැටුම් අවශ්‍ය වී තිබෙන්නේ කාටද කියලා උපකල්පනය කරන්න පුළුවන්ද?

හඳුනාගත් පුද්ගලයන් හා සංවිධාන මේවා පිටුපස දීර්ඝකාලයක් තිස්සේ ඉඳලා තියෙනවා. සමහරුන් ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂූන්. තවත් සමහරුන් නොයෙකුත් නම්වලින් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවාය කියන සංවිධාන. සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හුදෙක් ඕපපාතිකව ආපු ඒවා නෙවෙයි. ඒවා පිටුපස්සේ දේශපාලන පක්ෂත් මුල සිට තිබිලා තියෙනවා. ජාතික මට්ටමේ දේශපාලන අනුග්‍රහයක් තියෙනවා, ඒවායින් පෝෂණය කෙරෙන පුද්ගලයන් හා සංවිධාන තිබෙනවා. මෙවැනි සිදුවීමක් වෙන අවස්ථාවක ඔවුන් ඉක්මනින් ඒ ප්‍රදේශවලට ඇවිත් ඔවුන්ගේ ඍජු සහභාගිත්වයෙන් හෝ ඔවුන්ගේ දිරිගැන්වීමෙන් හෝ කලකෝලාහල ඇති වෙනවා. ඒවායේ අවසාන ප්‍රතිඵලය මේ අවස්ථාවේදී නම් මුස්ලිම් ජනතාවට අයත් කඩ විනාශ කිරීම. මේකෙන් පේන්නේ මේ පිටුපස වෙළඳාම සම්බන්ධ කරගත් සාධකයක්. 2012 සිට සිදුවීම් බලනකොට පේනවා මේකේ ප්‍රධාන සංඝටකය වෙන්නේ වෙළඳාම ඉලක්කකොටගෙන කරන පහරදීම්.

මුස්ලිම්-සිංහල කෝලහාල ඇතිවෙන්නේ වෙළඳාම පමණක් පදනම් කරගෙන කියන්න පුළුවන්ද?

වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයට වඩා වැඩි හේතුවක් වෙන්න පුළුවන්. දෙමළ-සිංහල කෝලාහලය සම්බන්ධයෙන් ගත්තත් අවුරුදු 30ක යුද්ධය සම්බන්ධයෙන් ගත්තත් සිංහල බෞද්ධයා තමන්ගේ පැවැත්ම පිළිබඳ දරුණු බියකින් පෙළෙනවා. එම නිසා ඔවුන්ට අවශ්‍ය වෙනවා තමන්ගේ හතුරෙක් හොයාගෙන සතුරාට විරුද්ධව අරගල කරනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පැහැදිලිවම අවුරුදු 30ක යුද්ධයෙන් ඊට අනුබල දීමක් කළා. යම් යම් චෝදනා තිබුණාට මුස්ලිම් ජනයාගෙන් එහෙම අනුබල දීමක් පේන්න නැහැ. සාමකාමීව ජීවත් වෙනවා.

සිංහල ජනයා මේ ගැටුම් සඳහා යොදවා ගන්න පසුබිමක් තියෙනවාද?

ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න.

ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස මහණ කරගන්න බැරිවීම යනාදිය. මේක දැනෙන්නේ ඔවුන්ට විරුද්ධව තියෙන සතුරු බලවේගවල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලායි. දෙමළ සතුරා තවදුරටත් සතුරෙක් නෙවෙයි. ඒ නිසා මුස්ලිම් සතුරෙක් ඇති කරගෙන.

මේ සිදුවීම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දඬුවමක් දීලා තියෙනවාද මෙතෙක් ලංකාවේ නීතිය හා අධිකරණය වෙතින්. එහෙම කිසිම දෙයක් දැනගන්න නැහැ. මේ විදිහට හැසිරෙන පුද්ගලයන්ට හැඟීමක් ඇති වෙනවා ඔවුන් මොනවා කළත් දඬුවම් නැතිව බේරෙන්න පුළුවන් කියලා. ඔවුන්ව ආරක්ෂා කරන පිරිස් ඉන්නවා.

පහුගිය කාලයේ පොලිසියේ ක්‍රියාකලාපය අපි දැක්කා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උද්ඝෝෂණය කරනකොට බුද්ධිමය අංශවලින් තොරතුරු ලබාගෙන කල්තබා සැලසුම් කරලා විහාරමහා දේවි උද්‍යානයේ වතුර පොකුණුවල ජලය ඉවත් කර, ජල සැපයුම් අවහිර කරලා, උද්‍යානය තුළට සිසුන් කොටු කරලා කඳුළු ගෑස් ගැහුවේ. සාමාන්‍ය විරෝධතා දක්වන ඉඩම් ඉල්ලන ජනතාවට ගැහුවා. මේ වගේ සිදුවීම්වලින් පේන්නේ පොලිසිය මේවාට සූදානමින් ඉන්නේ. පොලිසිවල බුද්ධි අංශ ගණනාවක නියෝජිතයන් ඉන්නවා. ඔවුන් සාධාරණද කියන ගැටලුවත් මතු වෙනවා. එහෙම තියෙද්දී දිගන සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා නොකළේ මන්ද කියන බරපතළ ප්‍රශ්නය මතු වෙනවා.

කවුද මේක කළේ කියන ප්‍රශ්නය ඉතිරි වෙලා. මෙහිදී වගකීම පොලිස්පති, රටේ අගමැති, ඒ සිදුවීම සිදුවෙන අවස්ථාවේ ඔහු රටේ නීතිය හා සාමය භාරව හිටපු ඇමැතිවරයා, ජනාධිපති දවස් කීපයකට පසුව ඇවිත් හදිසි නීතිය ප්‍රකාශ කර හමුදාව දානතුරු රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙස ඔහුට වගකීමක් තිබුණේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න. ඔහු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා. රටේ ජනාධිපතිවරයා එහෙම කියනවා. මේ වගේ අවස්ථාවකදී කළයුතුව තිබුණේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපරාධකරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරලා ඒ සිදුවීම් වහාම නවත්වන්න. කඩවලට ගිනි තියද්දී අත බැඳගෙන බලධරයන් බලා සිටියා කියන වාර්තා මාධ්‍යවල පළ වුණා.

කිසියම් හේතුවක් නිසා නිලධාරීන් තමන්ගේ රාජකාරිය ඉෂ්ට කිරීමෙන් මේ අවස්ථාවේදී වැළැකී සිටියා. සාමාන්‍ය පුරවැසියකුට මේ රටේ පොලිසිය කෙරේ විශ්වාසය තබන්න බැරි වෙනවා තමන්ගේ ආරක්ෂාවට ඔවුන් ඉන්නවා කියන එක. ඇත්තෙන්ම පොලිසිය කෙරේ රටේ සාමාන්‍ය ජනයා තුළ එබඳු විශ්වාසයක් නැහැ.

ගැටලුව වෙන්නේ පරණ පාලනය වෙනස් කරනවා කියලා ජාතික සංහිඳියාව සහ සමඟිය ගොඩනඟනව කියලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියලා, පොරොන්දු දීලා බලයට පත්වෙච්ච ආණ්ඩුවක් මේ වගේ අවස්ථාවකදී සුළු ජාතික කොටසකට එරෙහිව සිංහල බෞද්ධ ජාතිකවාදයේ නමින් මැරයන් නීති කඩමින්, ඇඳිරි නීතිය නීතිය කඩමින් වීදි පුරා පොලුමුගුරු අරගෙන සැරිසරනකොට තවදුරටත් මේ රටේ ආණ්ඩුවක් තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. ආණ්ඩුව කෙරේ මහජනයාගේ විශ්වාසය දැන් බිඳ වැටිලා තියෙන්නේ. ඒක තව තහවුරු වීමක් පමණයි මෙතැනදී සිදු වෙන්නේ. බහුතරයේ ආණ්ඩුවෙන් සුළු ජනයා වියෝ වීම රටේ අනාගතයට ඒ තරම් හොඳ දෙයක් වෙන්නේ නැහැ.

මේ සිදුවීම් එක්ක අපේ රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල විය හැකි බවටත් අදහස් මතු වෙනවා.

ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අපනයන භාණ්ඩය බවට පත් වෙලා තියෙන්නේ මැදපෙරදිග සේවය කරන ස්ත්‍රීන් ප්‍රමුඛ සේවා බළකාය. මේ රටේ සිංහල-මුස්ලිම් ගැටුම් දිගින් දිගටම ඇති වුණොත් ඒ තුළින් ඇති කරන කලකිරීම අනිවාර්යෙන්ම මැදපෙරදිග සමාජයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ අනුව ඒ ශ්‍රමිකයන් නැවත එවීමට පවා ඉඩ තියෙනවා. තේ අපනයනයෙන් ප්‍රධාන කොටසක් මැදපෙරදිග කලාපයට යනවා. සංචාරක ව්‍යාපාරය මත ආර්ථික ර¼දා පැවැතීම බිඳ වැටෙන්න පුළුවන්. දැනටම පොදුවේ මේ රටට පැමිණෙන සංචාරකයන්ට අවදානම් ප්‍රකාශ රටවල් ගණනාවක්ම නිකුත් කරලා තියෙනවා. කලහකාරි තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

වඳ පෙති, වඳ වෙන යට ඇඳුම්, සහල්වලට එකතු කරන සතකුප්ප ආදිය පිළිබඳ වරින් වර සමාජයේ කතාබහට ලක්වුණා. නමුත් මේවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ සමාජය දැනුවත් කරන්න ආණ්ඩුවෙන් නිසි පියවරක් ගත්තේ නැහැ. මේ කියන්නේ මේ සිදුවීම් හා දේශපාලන සම්බන්ධකම් තියෙන බවද?

මේක වැදගත් ප්‍රශ්නයක්. මෙබඳු කාරණා පිළිගැනෙන සාමාන්‍ය ජනකොටස් සිටින බව පේනවා. ජනතාවට මේ පිළිබඳ සැබෑ තත්ත්වය පහදලා, දැනුවත් කිරීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. මේ වගේ තොරතුරු ක්ෂණිකව රටපුරා පැතිරෙන නිසා ඒ සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි. මේ ආණ්ඩුව ආණ්ඩුකරණය කියලා හිතාගෙන ඉන්නේ මහජනයාට පොරොන්දු දීලා බලය අරගෙන ලබාදුන් පොරොන්දු අමතක කරලා තමන් ඔළුවේ හදාගෙන ඉන්න සැලසුම් ඔහේ ක්‍රියාත්මක කිරීමයි. ඔවුන් මහජනයා එක්ක කිසි සම්බන්ධයක් නැහැ. සංහිඳියාව ඇති කරන්න ආණ්ඩුව අවංකව උනන්දු නම් සුළු සිදුවීමක් සම්බන්ධව පවා ඒවාට විරුද්ධව සත්‍ය පැහැදිලි කරලා නිරවුල් කරන්න ඕනෑ.

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ඕනෑම පිරිසක් අතර අන්තවාදීන් සිටිය හැකියි. රටේ පොදු නීතියක් නොමැති වීම ඒ අන්තවාදයන්ට හේතුවක් වෙන්න පුළුවන්ද?

විවාහ නීතිය පිළිබඳ උදාරණයෙන් කීවොත් ඒ ගැන සාකච්ඡාවක් දීර්ඝකාලයක් තිස්සේ පවතිනවා. ගැටලුව තියෙන්නේ මෙවැනි කාරණා සම්බන්ධව ඒ ප්‍රජාවන්ඇතුළතත් ඒකමතිකභාවයක් නැහැ. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කතා කරන පිරිස සුළුතරයයි ඉන්නේ. ආණ්ඩුවට පුළුවන්ද සුළුතරයේ පැත්ත අරගෙන නීතිගත කරන්න, එසේ කළොත් සමාජයේ සංහිඳියාවට මොකද වෙන්නේ කියන ගැටලු තියෙනවා. එතැනදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳවත් ගැටලු ඇති වෙනවා. ප්‍රජාවන් ඇතුළේම ඇතිවන ඒකමතිකභාවය තුළ ඒවා නීතිගත කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ. ඒ දේශපාලන අරගලය දිගටම යා යුතුයි.

මේ තත්ත්වයන් පාලනය නොකර ඉදිරියට ගියොත් ඉතිහාසයේ සිදුවූ අමිහිරි දේ නැවත ඇති වෙන්න ඉඩක් තියෙනවා කියන එකත් සමාජය කතාබහට ලක් වෙලා?

මේ මුස්ලිම් ජනයාට එරෙහිව සිදුවූ සිදුවීම්වලින් පේන්නෙ ගැටුම රජය විසින් දැඩිව පාලනය කිරීමට පියවර නොගත්තොත් ඉදිරියේදී සිංහල-දෙමළ ගැටුම හා සමානව ගැටුමක් වර්ධනය වීමේ විශාල ඉඩක් තියෙනවා. ඒ අවදානම ආණ්ඩුව බරපතළ ලෙස තේරුම්ගත යුතුයි. ඒ උත්සාහය නොගන්නා බව පේනවා. මුස්ලිම් ජනයාට බියෙන් තොරව සමාන පුරවැසියන් ලෙස ලංකාවේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන බවට ආණ්ඩුව වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්විය යුතුයි. එතුළින් පමණයි ඔවුන් තුළ ඇති වෙලා තියෙන බිය සහ එම තරුණ පරපුර අන්තවාදයට තල්ලු නොකිරීමට ගතයුතු ක්‍රියාමාර්ගය වන්නේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට අනුබල ලැබුණේ සුළු කොටසකින්. මුස්ලිම් මූලධර්මවාදීන් පෙන්වලා තියෙනවා ලෝකයේ ඔවුන්ට තිබෙන ශක්තිය. ඔවුන් දේශපාලනාත්මකව සංවිධානාත්මක ව්‍යූහයක් හදාගෙන ඉන්නවා. ගෝලීයකරණය වුණු මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ කියන ගැටලුව මතු වෙලා. ඒක දේශීය දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාව වෙන්න පුළුවන්. සමහරවිට ජාත්‍යන්තර දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාව වෙන්නත් පුළුවන්. අනතුරුදායක තත්ත්වයක අප ඉන්න බව දැන් පේනවා.

http://epaper.mawbima.lk/

Advertisements