නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ සමාජීය ඉංජිනේරුවාට සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත..පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි,The Political Ideas of Leo – Strauss

1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් ආරක්ෂිත පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව කළාලය යටට අතුගා දැමීමට ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.

ජනවාර්ගික ගැටලුව අධිනිශ්චායක කරුණ වශයෙන් පිළිගැනීම පිළබඳ මෙම කරුණ,ලංකාවේ දේශපාලනයට කළ බලපෑම අප වටහා ගැනීම අද පවා වැදගත් යැයි සිතමි.83 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර පසමිතුරු මානසිකත්වය උච්ඡස්ථානයකට ගෙන ආ බව සැබෑය.එහෙයින්,ඉන් පසු ආසන්න සමය ජනවාර්ගික ගැටලුව ලාංකේය සමාජයේ මතවාදී තලයේ ආධිපත්‍යය අත්පත් කරගත් සමයක් ලෙස දැකීමට පදනමක් තිබුණි.එකළ නිව්ටන් ගුණසිංහගේ තර්කය සනාථ කරමින් මෙන් පැරණි වමේ පක්ෂ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට වමේ උගතුන් සමග දේශපාලනිකව පෙළ ගැසුණි.එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛවූ ආණ්ඩුවට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට තම සහාය දීමට වමේ පක්ෂ සහ සංවිධාන යොමුවීය.

ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය පදනම් කොට ගත් වාම -ලිබරල් දේශපාලනය ලාංකේය දේශපාලන කතිකාවේ අධිපතිභාවයට පත්වීම සමඟින් ජනවාර්ගික ගැටලුවේ දේශපාලනය සම්බන්ධයෙන් එය ගත් මඟෙහි කෙළවර දී දැකිය හැකි වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් කර ගැනීමට ජාතික චින්තන ව්‍යාපාරය සමත් වීම සහ රාජපක්ෂ රෙජිමය යුද්ධය මගින් එල්ටීටීඊ ය පැරදවීමෙන් ජනවාර්ගික ගැටලුවට යුද්ධයෙන් විසඳුමක් සැපයීමට උත්සාහ ගැනීම යි.

1980දී,සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ජනවාර්ගිකත්වය සහ සමාජ විපර්යාසය පිළිබඳ සම්මන්ත්‍රණය පෙන්නුම් කළේ ඒ වනවිටත් ජනවාර්ගික ගැටලුව දේශපාලනමය වශයෙන් බුද්ධිමතුන්ගේ බැරෑරුම් අවධානය දිනාගත් කරුණක් බවට පත්වෙමින් තිබූ බවයි.එම සම්මන්ත්‍රණ පත්‍රිකා ජනවාර්ගික ගැටලුවට සිංහල හා දෙමළ ජනසමාජයන්හි පාදක වූ ඓතිහාසික හා සමකාලීන සමාජීය,සංස්කෘතික හා දේශපාලන තත්වයන් විග්‍රහ කිරීමට යොමු වී තිබුණි.1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලයට පසු මෙම සම්මන්ත්‍රණ පත්‍රිකා 1984 දී භාෂා ත්‍රිත්වයෙන්ම පළකිරීම සමගින් ජනවාර්ගික ගැටලුව සහ ඒ ආශ්‍රිතව මතු වූ යුද්ධයට විසඳුම් සෙවීම ඉලක්ක කොට දියත් වුණු ශාස්ත්‍රීය සහ දේශපාලන ව්‍යායාමය කෙතෙක්ද යත් ඉන් ජනිත වූ දේශීය සහ ජාත්‍යන්තර සාහිත්‍යය ඉමහත් ය.එසේ තිබියදීත්,2009 දී ජනවාර්ගික ගැටුමේ ප්‍රචණ්ඩ අදියර යුද්ධයෙන්ම අවසන් කිරීම කණගාටුවට කරුණකි.

1977න් පසු ලංකාවේ නිර්බාධී ආර්ථිකය ආරම්භයේ එහි සමාජීය ඵලවිපාක පිළිබඳ වාම සමාජ විද්‍යාඥයන් ගොඩ නැඟූ විචාරය,පසුව ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය කතිකා ලෙසින් අධිපතිබව බවට පත්වීම හරහා ලිබරල්වාදී දේශපාලන ප්‍රවාහය අධිපතිභාවයට පත්වීම තුළ,ගිලී ගියේය.දේශපාලන ලිබරල්වාදය වැළඳගත් වාම බුද්ධිමතුන් පසු කලෙක ලාංකේය සමාජයේ නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ විචාරයක් සම්පාදනය කිරීම අත් හරින්නට හේතුවක් වූයේ නිර්බාධී ආර්ථිකය යටතේ ධනේශ්වර සංවර්ධනයක් සිදුවීමේ ශක්‍යතාව පිළිබඳ මාක්ස්වාදී අදහස පොතේගුරුවාදී ලෙස පිළිගැනීම විය හැකිය.පැරණි වමේ දේශපාලන පක්ෂ සහ වාම සිවිල් සංවිධාන ද මෙම ලිබරල්කරණයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස බහු ජනයා තව දුරටත් වමේ ව්‍යාපාරයෙන් වියෝ වී යැයි සිතමි.

මෙලෙස වාමාංශික ව්‍යාපාරය ජනවාර්ගික ගැටලුව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙහි ප්‍රතිවිපාකයක් වූයේ වමේ දේශපාලනය,ජයවර්ධන රෙජිමයේ නිර්බාධීකරණ ආර්ථික පිළිවෙතෙහි හානිකර ඵලවිපාකයන්ට ප්‍රතිරෝධය දැක්වීමෙන් වැළකී සිටීමයි,අධිකාරවාදයේ සහ නවලිබරල්වාදයේ වර්ධනය නොසලකා හරිනු ලැබීම යි.එහි ප්‍රතිඵලය වූයේ ලංකාවේ දකුණේ මෙන්ම උතුරේ ද සමාජ සාධාරණය වෙනුවෙන් කරන පංති සහ ආර්ථික සාධක මුල්කරගත් අරගලය පමණක්  නොව දකුණේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන දේශපාලන අරගලයද විතැන් වී යාමයි.මහින්ද රාජපක්ෂ රෙජිමය බලයට ගෙන ඒමෙන් පරිපාකයට පත් ක්‍රියාවලිය ජයග්‍රහණය කිරීම ට මේ තත්වයද දායක වී යැයි සිතමි. 

දේශපාලන තත්වය මෙසේ තිබියදීත් නිව්ටන් ගුණසිංහ තම ශාස්ත්‍රීය ලිපි ලේඛන මගින් තම විචාරක්ෂිය විවෘත ආර්ථික පිළිවෙතෙහි ආර්ථික,සමාජීය සහ දේශපාලන ගම්‍යමානවීම් විග්‍රහ කිරීමෙහි ලා අඛණ්ඩව යොමු කළ බව මෙහිදී සඳහන් කළ යුතුය.

වත්මනෙහිද,ලාංකේය දේශපාලනයෙහි ජනවාර්ගික ප්‍රශ්නය යළිත් වරක් අධිනිශ්චය වීමේ නැඹුරුවක් පවතියි.ඒ ව්‍යවස්ථා සම්පාදනය මුල් කොට ගෙන ය.වර්තමානයේදීත්,ලංකාවේ වාම ලිබරල් දේශපාලන ව්‍යාපාරය සහ සිවිල් සමාජය ඉහත සඳහන් වමේ ආස්ථානය හා සමාන ආස්ථානයකට එළැඹ සිටිති.ඔවුහු,සාමය හා සංහිඳියාව සහ ජනවාර්ගික ගැටලුව විසඳීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි පමණක් හෝ මූලිකව අවධානය යොමු කිරීමෙන්,පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට මෙන්ම නවලිබරල්වාදී ආර්ථික පිළිවෙතටත් ප්‍රතිරෝධය දැක්වීම ඒ වෙනුවෙන් කැප කර සිටිති.එම ක්‍රියාමාර්ගය මැතිවරණවලින් ජාතිකවාදී බලවේග යළිත් බලයට ගෙන එන තැනට බහුජනයා යොමු කිරීමට වක්‍රව දායක වනු ඇති බව මගේ අදහස යි.

මා දකින පරිදි,පශ්චාත් 83 ජූලි යුගයේදී වම කළ යුතුව තිබුණේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා කැපවන අතරම,ඒ එකම වර නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් කරන අරගලයද අත් නොහැර කරගෙන යාම යැයි සිතමි.දේශපාලනය යනු පවතින තත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීය වීම යි.බලහත්කාරය යොදාගැනීමෙන් මෙපිට,දේශපාලනයෙන්ම වෙනස් කළ නොහැකි වන්නේ මතවාදය නොව පවත්නා සමාජ තත්වයන් යැයි සිතමි.දෙනලද සමයක සමාජයක මතවාදී අධිනිශ්චයවීමක් එහි දේශපාලනයේ අවසාන ඉරණම තීන්දු කරන්නක් ලෙස භාරගත යුතු නොවේ.මෙම අදහසට ආචාර්ය ගුණසිංහ ද පසු කලෙක එළඹුණු බව මම කියවා ඇත්තෙමි.

සිංහල සුළු ධනේශ්වරයේ නැගීම

ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඉදිරිපත් කළ තවත් වැදගත් විග්‍රහයක් ග්‍රාම්ෂ්චි ගේ ඓතිහාසික හවුල පිළිබඳ න්‍යාය ගැන්වීම් ඇසුරෙන් ලංකාවේ පශ්චාත් යටත් විජිත යුගයේ සමාජයේ දේශපාලන පෙළගැසීම් සාකච්ඡාවට ලක් කරයි ( “Land Reform, Class Structure and the State”, 1979).කෘෂිකර්මයෙහි ධනේශ්වර සංවර්ධනය පිළිබඳ මාක්ස්වාදී ප්‍රවාදයට එක්තරා ආකාරයකින් සම්බන්ධවන,සමාජයෙහි විප්ලවීය විපර්යාසයක් සඳහා අවශ්‍ය දේශපාලන තත්වයන් සම්පාදනය වීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙසින් මාක්ස්වාදීන් විසින් සලකනු ලැබුණු, ගොවි-කම්කරු සන්ධානයක් ලංකාවේ ඇති නොවීම පිළිබඳ විශ්ලේෂණයක් ඔහු ඉදිරිපත් කරන්නේ කෘෂිකාර්මික හවුල නම් වූ ග්‍රාම්ෂ්චියානු සංකල්පය ඇසුරෙනි.ඉතාලියේදී නම් එය ගොවීන්,සුළු ධනේශ්වරයේ මතවාදී මෙහෙයවීමෙන් ඉඩම් හිමියන් සමග එකට බැඳතබන හෙයින් ගොවියන් සහ කම්කරුවන් අතර සඵලදායී සන්ධානයක් වළක්වාලන හවුලකි.මේ අනුව,පශ්චාත් යටත් විජිත ලංකාවේ පළමු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පදනම වැටුණේ ගොවි-ඉඩම් හිමි රදළ සන්ධානයක් මත සහ ධනේශ්වර-රදළ සන්ධානයක් මත පදනම් වී නමුත් සුළු ධනේශ්වරය එයට පිටස්තරව සිටියේ ඔවුන්ගේ පංති ඵල ප්‍රයෝජනයන් ධනේශ්වර-රදළ පංතීන්ගේ ඵල-ප්‍රයෝජනයන්ගෙන් පීඩනයට ලක් වූ හෙයිනි. 

ඔහු තව දුරටත් දක්වන පරිදි, 1956 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් බණ්ඩාරනායක ආණ්ඩුව ගොඩනඟන පංති සන්ධානය එම කෘෂිකාර්මික හවුල බිඳ දැමීමට සමත් විය.ඒ,ගොවීන් තම මතවාදී ආධිපත්‍යයට යටත් කොට ගැනීමට සමත් වන සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ස්ථරයන් වන ග්‍රාමීය මෙන්ම නාගරික සුළු ධනේශ්වරයද එයට ඇතුළත් කරගැනීම මගින් ගොවීන් සන්ධානයට බැඳ ගැනීමෙනි.එලෙස ගොඩ නැඟූ ගොවි-සුළු ධනේශ්වර පංති මත පදනම් වූ සහ පැරණි ධනේශ්වර සහ රදළ පංති කොටස් ද ඇතුළත් වන නව සන්ධානය මඟින් කම්කරු පංතිය බැහැර කොට හුදෙකළා කළ හෙයින් යළිත් ගොවි-කම්කරු සන්ධානය ගොඩ නැංවීමේ කටයුත්තට බාධා එල්ල වූ බව ගුණසිංහ ගේ මතය යි. 

මෙම විග්‍රහය 56 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමේ පටන් පශ්චාත් යටත් විජිත ලාංකේය සමාජයේ සුළු ධනේශ්වරයේ නැගීම ලාංකේය දේශපාලනයට නොකඩවා කරන අතිමහත් බලපෑම පිළිබඳ අවලෝකනයෙහි යෙදෙන්නට අප යොමු කරයි.එතැන් පටන් චන්ද්‍රිකා කුමාරතුංග ගේ පාලන සමය තුළ හැරෙන්නට 2015 දක්වා ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවලට මතවාදී පදනම සපයන සිංහල බෞද්ධ මතවාදය මෙම පංතියේ ජාතිකවාදී  පාර්ශ්වයන්හි මතවාදී ප්‍රකාශනය යි.මෙම මතවාදය 1956 පටන් අද දක්වාම සමස්ථයක් ලෙස ගත් කළ ලාංකේය දේශපාලනයේ ගමන් මඟ ජාතිකවාදී නැඹුරුවක් කරා තල්ලු කරමින්, අවසාන විග්‍රහයේදී එය තීන්දු කරන ප්‍රබලම සාධකය බවට ද පත් වී තිබේ.1971 කැරැල්ල සුළු ධනේශ්වර මතවාදය වාම දේශපාලනයට ඇතුළුවීම පිළිබිඹු කරයි.1988 දී ආචාර්ය ගුණසිංහ අභාවප්‍රාප්ත වනවිට,එවකට සිංහල බෞද්ධ ජාතිකවාදයේ සමකාලීන චින්තනමය අග්‍රඵලය ලෙසින් ප්‍රකාශ වූ ජාතික චින්තනය පිළිබඳ විවේචනයකටද එළඹ සිටියේය. එනමුදු,එම චින්තනයෙන් මතවාදී පදනම ලබා සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය වෙනුවෙන් එකහෙළා පෙනී සිටින රාජ්‍ය නායකයෙකු 2005 වන විට ලංකාවේ බලයට පත් වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකරන්නට ඇත.

නිව්ටන් ගුණසිංහ ලාංකේය සුළු ධනේශ්වරයේ ජාතිකවාදී නැඹුරුව පිළිබඳ තම විග්‍රහය ඉදිරිපත් කරන්නේ ඔහු තම ගුරුවරයෙකු ද වූ මානව විද්‍යාඥ ගණනාථ ඔබේසේකර ඒ පිළිබඳ ඉදිරිපත් කළ විග්‍රහයට ද ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් යැයි සිතිය හැකිය.

ගණනාථ ඔබේසේකර:සිංහල සුළු ධනේශ්වරය

ඔබේසේකර 1960 ගණන් වල සිට සම්පාදනය කරමින් සිටි අදහස් වල අවධාරණය කළ තර්කයක් වූයේ සිංහල සුළු ධනේශ්වරයේ පැනනැඟීම කෙරෙහි අනගාරික ධර්මපාල ගොඩනඟා ප්‍රචාරය කළ මතවාදය බලපෑ බවයි. ධර්මපාල සුළු ධනේශ්වර පංතියක් නිර්මාණය කිරීමට බලපෑමක් ද එක්තරා අරුතකින් උදව්ද කළ බව  ඔබේසේකර තර්ක කළේය.එම පිරිසට ගැමි බුද්ධිමතුන් (සහ නගර වල පැනනැගෙමින් පැවැති බෞද්ධ ව්‍යවසායක පංතියක්)ද අයත් වීය.ධර්මපාලගේ බලපෑමට ඉලක්ක වූ සිංහල ප්‍රභූන් අතර ගැමි භික්ෂුව,පාසල් ගුරුවරයා,සහ ආයුර්වේද වෛද්‍යවරයා මෙන්ම බ්‍රිතාන්‍ය නිලධාරී තන්ත්‍රය විසින් නිර්මාණය කරන ලද ගම්මුලාදෑනිවරයා, මරණ පරීක්ෂක,විවාහ රෙජිස්ට්‍රාර්,නොතාරිස්ලා සහ ගම් සභා නියෝජිතයන් ද අයත් වීය.ගමෙහි ජීවත් වූ නමුත් ගොවි පංතියට අයත් නොවූ මෙම සිංහල ගැමි බුද්ධිමතුන්,ගමේ ජීවත්වන අතරම සහ බොහෝවිට සාමාන්‍ය ගැමියන් සමග ඥාති සබඳතා ඇති නමුදු,අධ්‍යාපනයෙන්,අභිලාෂ මට්ටම් වලින්,සහ ජීවන ආකාරයෙන්,  එන්න එන්නම ගැමියන්ගෙන් දුරස්ථ වී සිටියේ විභේදනය මගිනි. සිංහල පාසල් වල අධ්‍යාපනය ලැබූ මොවුහු, තමන් සහ තම දරුවන් වෙනුවෙන් ඉහළ අභිලාෂ ඇත්තේ වී නමුදු බ්‍රිතාන්‍ය සහ දේශීය,ඉංග්‍රීසිකරණයට ලක් වූ සහ අර්ධවශයෙන් ක්‍රිස්තියානි වූ ප්‍රභූන් අත දේශපාලන බලය පැවැති මෙසමයෙහි,එම දේශපාලන සහ ආර්ථික බලයේ ප්‍රභවයන්ගෙන් කපා හරින ලද්දේ වීය.අනගාරික ධර්මපාල නව සහ පුනර්ජීවනය කළ බෞද්ධ මතවාදයක් සැපයුවේ ශ්‍රී ලංකාවේ ගම් වල නායකයන් වූ මෙම ජනයාට ය.ධර්මපාල ගේ ඉගැන්වීම් ඔවුන්ගේ වැඩිදියුණු වීමේ බලාපොරොත්තු සමග පෑහුණු අතර ඔවුන්ගේ දරුවන්ට ක්‍රිස්තියානුවන් හා සමානව එකම ප්‍රභූ සමූහයට ඇතුළුවීමට සහ පරිපාලනයේ ඉහළ තලයන්හි සහ වෘත්තීන්හි රැකියා සඳහා ඔවුන් සමග තරඟ කිරීමට අවසර සැලසීය.ලංකාවේ දේශපාලනයේ බලයේ රැඩිකල් වෙනසක් උදාකළ 1956 මැතිවරණයේ පෙරමුණු බලකාය වූයේ මෙම අලුතින් බිහිවූ සිංහල සුළු ධනේශ්වරය බව හවර්ඩ් රිගින්ස් පෙන්වා දුන් බව ඔබේසේකර සඳහන් කරයි ( “Religious Symbolism and Political Change in Ceylon”; 1966, “The Vicissitudes of the Sinhala-Buddhist Identity Through Time and  Change”, 1979; Buddhism Transformed, 1988 ).

සිංහල ගැමි සුළු ධනේශ්වරය සහ 2005

1956 බණ්ඩාරනායක රජය බලයට පත්කිරීම සිංහල ගැමි සුළු ධනේශ්වරය විසින් තමන්ගේ වැඩි දියුණුව සහ තම දරුවන් ප්‍රභූ පැළැන්තියට ඉහළ නංවාලීමේ අභිලාෂයෙන් දේශපාලන සහ ආර්ථික බලය ලබාගැනීමේ අරමුණ විසින් මෙහෙයවන ලද්දක් වී නම්,මා දකින පරිදි,පංතියක් වශයෙන් ඔවුන් ගේ එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සපුරා ඉටුවන්නේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්වීමෙනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරය සංවිධානාත්මකව කළ මතවාදී සහ සංකේතාත්මක ගොඩ නැංවීම්,සහ දේශපාලන මෙහෙයවීම් එක්තැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

1956 දේශපාලන පෙරැළියේ සිටම සිංහල බෞද්ධ ජාතිකවාදී සුළු ධනේශ්වර පංති කොටස් වල නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ සහ පසු කාලයේදී පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේදීත් -විශේෂයෙන්ම ශ්‍රීලනිප ආණ්ඩු බලයට පත් වූ අවස්ථාවන්හිදී විවිධ මට්ටමින් වර්ධනය වෙමින් පැවැතියේය.නමුදු ඔවුන් පංති ස්ථරයක් වශයෙන් රාජ්‍යයේ අධිපතිභාවය අත්පත් කරගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම යටතේය.මේ අර්ථයෙන් ගත් කළ එය,ගුණදාස අමරසේකර ජනප්‍රිය කළ පදයක් ණයට ගෙන කියන්නේ නම්,’56 දරුවන්” රාජ්‍ය බලය අත්පත් කරගැනීමකි.

මේ වනවිට,56 දරුවෝ -එනම් 56 දේශපාලන පෙරළියේ ඵල භුක්ති විඳින පරපුර- මෙන්ම ඉන් පසු පැමිණි 77 දරුවන් ද නිදහස් අධ්‍යාපනය මගින් නිලධාරී තන්ත්‍රය,ශාස්ත්‍රාලීය අධ්‍යාපනය (පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළුව),නීති පද්ධතිය යනාදී රාජ්‍ය අංශය මූලික කොටගත් සැම වැදගත් සමාජ තලයකම අරක් ගෙන සිටියහ.(56 දරුවන් අධ්‍යාපනය තුළින් සමාජයේ ඉහළට නැඟ ගැනීමට ගන්නා උත්සාහයේදී ඔවුන් මුහුණ දෙන අකරතැබ්බයන් ගුණදාස අමරසේකරයන් ගේ කෙටි කතා වල අපූරුවට චිත්‍රණය කොට තිබේ.) 

2005න් උදාවූ රාජපක්ෂ සමය මෙම දෙපරපුර දේශපාලන බලය යොදාගෙන,ස්වාර්ථ සාධනය සඳහා ආර්ථික වත්කම් සහ සමාජ බලය ගොඩනඟා ගැනීමේ උග්‍ර අරගලයක යෙදෙනු පෙන්නුම් කළේය.56 පරපුර හා සසඳන කළ,සිංහල සුළු ධනේශ්වරයේ 77 පරපුර,නිර්බාධී ආර්ථිකයෙන් වර්ධනය කෙරුණු වෙළෙඳපොළ මූලික ආකල්ප තුළ හැදියාව ලද නමුදු,ඔවුන් ගේ කොටසක්ද මතවාදී වශයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී වූයේ,තම පැවැත්ම සඳහා මූලික වශයෙන්ම තවමත් සිංහල භාෂාව මත සහ රජය සහ දේශීය ප්‍රභවයන් මතම පමණක් යැපෙන්නට සිදු වී තිබුණු හෙයිනි.

1956 පටන් විවිධ මට්ටමින් සිංහල සුළු ධනේශ්වරය ලංකාවේ දේශපාලන බලයට ඇතුළුවීම තුළ එම පංති කොටස්වලට තම පැවැත්ම සහ ප්‍රාග්ධන සමුච්ඡායනය සඳහා මුළුමනින්ම පාහේ රජය මත යැපෙන්නට සිදුව තිබීම ලංකාවේ දේශපාලනයට කළ බලපෑම ඉමහත් ය.2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත් සමග සුළු ධනේශ්වරය රාජ්‍ය බලයට සෘජුව හිමිකම් කීමෙන්,ඔවුන් තම ආර්ථික ඵලප්‍රයෝජන සාක්ෂාත් කරගැනීම සඳහා කළ අරගලය උග්‍රවීය.

රාජපක්ෂ රෙජිමයේ පාලන සමය පිළිබඳ විචාරකයන් විසින් එකල ආණ්ඩු ක්‍රමයේ නිත්‍ය ලක්ෂණ වී තිබුණි යැයි අවධාරණය කෙරුණු නීතියේ පාලනය බිඳ වැටීම,දැඩි අධිකාරීත්වය,අධික දූෂණය හා නාස්තිය,පළිගැනීම, සුදුසුකම් නොසැලකීම,අසාධාරණ ලෙස ඵල බෙදාගැනීම (වික්ටර් අයිවන්,රාවය)යනාදී ලක්ෂණ සිංහල සුළු ධනේශ්වරය තම ස්වාර්ථ සාධනය සඳහා ගෙන ගිය එම අරගලයේ තීව්‍රභාවය ප්‍රකාශ වන ආකාරයයි.

සිංහල බෞද්ධ මතවාදය වෙනුවන් පෙනී සිටින අතරම සිංහල සුළු ධනේශ්වරය ඉහත පරිදි ක්‍රියාකිරීමෙහි බැලූ බැල්මට ප්‍රතිවිරෝධයක් සේ පෙනී යා හැකි හැසිරීම වටහා ගැනීමට අපට අවධානය යොමු කළ හැකි වැදගත් කරුණක් ගණනාථ ඔබේසේකර තම දුටුගැමුණුගේ හෘදය සාක්ෂිය පිළිබඳ සුප්‍රසිද්ධ රචනයෙන් ඉදිරිපත් කොට තිබේ (“Dutthagamini and the Buddhist Conscience”,1993,මෙම ලිපියෙහි මුල්කාලීන පිටපතක සිංහල අනුවර්තනය සඳහා බලන්න,දුටුගැමුණුගේ හෘද සාක්ෂිය kathika.wordpress.com ).

බෞද්ධ හෘදය සාක්ෂිය බිඳදැමීම

එය නම් 56 පරපුර වනවිටත් සිංහල බෞද්ධයන්,කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුදත් බුද්ධිමය (rational)  බුද්ධාගමත් අනගාරික ධර්මපාල අනුදත් දේශපාලන බුද්ධාගමත් වැළඳගැනීමෙහි බලපෑම යටතේ,එතෙක් සිංහල ගැමියන් තුළ බෞද්ධ හෘදය සාක්ෂිය වගා කළ බෞද්ධ මානවීය ආචාර ධර්මීය පදනමින් වියෝ වී තිබීම යි.

මා දකින පරිදි,71 කැරැල්ල සටහන් කළේ අඩු වැඩි වශයෙන් එබඳු බුද්ධිවාදී ( rationalist) චින්තනයක් තුළ හැදුණු වැඩුණු,සමාජයෙන් වියෝ වූ තරුණ පරපුරක සමාජ විරෝධී ප්‍රකාශයයි.77 පරපුරේ සමය වන විට පොදුවේ ගත් කළ මෙම වියෝ වීම සම්පූර්ණ වී තිබුණි යැයි තර්ක කළ හැකිය.

නූතන යුගය විසින් බෞද්ධ හෘදය සාක්ෂිය කඩා බිඳ දැමීම පිළිබඳ ඔබේසේකර ඉදිරිපත් කරන මෙම අදහස සංක්ෂිප්තව පහත දක්වමි.

සම්ප්‍රදායිකව ලාංකේය ගැමි බෞද්ධයෝ බුදුන්ගේ ජීවන චරිතය පාදක කරගත් ධර්ම ග්‍රන්ථයන්හි සහ ජාතක පොතෙහි එන කථා පදනම් කොටගෙන ජනවහරේ පැවත ආ,විවිධ අවස්ථාවල විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කෙරුණු කතාන්තරවලට සවන් දුන්හ,ඒවා රඟ දක්වනු නැරඹූහ.ඒවායින් කියැවුණේ අන්‍යයන්ගේ යහපත තකා බෝධිසත්වයන් කරන ආත්ම පරිත්‍යාගය,මානව සත්වයෙකු ලෙස ඔහු තුළ වූ අසාමාන්‍ය කරුණාව,සහ ඔහු බොහෝ බවයක ඉපිදෙමින් මිය යමින් පෙරුම් පිරූ පාරමිතාවන් නැතහොත් ආචාරධර්මීය සුසාධිතතාවන් පිළිබඳ ය.මේ අන්දමට සමාජ ජීවිතයට මුසුවුනු කථාන්තර තුළින් බුද්ධ චරිතයේ එන යහගුණ,බෞද්ධ ආචාර ධර්මය වශයෙන් තමන් තුළ වගා කර ගැනීමෙන් හෘදය සාක්ෂිය වඩා ගැනීමේ සම්ප්‍රදාය මගින් ඇතිවුනු බෞද්ධ මානව භක්තිය ඔවුන් තුළ වීය. 

මේ තත්වය වෙනස් කරන යමක් නූතන යුගයේ,දහනව වැනි සියවසේ අගභාගයේ හා විසිවැනි සියවසේ දී,එකට බැඳී උදාවූ නව  පෙරමුණු දෙකක  බලපෑමට ගැමි බුද්ධාගම යටත් වීමෙන් සිදුවීය.ඉන් එකක් නම්, අලුතින් මතුවෙමින් පැවැති සුළු ධනේශ්වරයක් සඳහා ධර්මපාලගේ නායකත්වයෙන් ඇතිවුණු විප්ලවකාරී බුද්ධාගම ය.අනෙක,ඕල්කොට් ගේ නායකත්වයෙන් ගොඩ නැංවූ,බුද්ධ ධර්මය නවීන විද්‍යානුකූල,අන්ධ වූ දේව භක්තියකින් තොර වූ යථාර්ථවාදයක් ලෙස හඳුන්වන උගතුන්ගේ බුද්ධ ධර්මය ය.

ඕල්කොට් මෙරටට බටහිරින් ගෙනැවිත් ප්‍රචලිත කළ බුද්ධධර්මය පිළිබඳ බුද්ධිමය දැක්ම අනුව යමින්,ලාංකික උගත්තු බටහිර බුද්ධිවිචාර සම්ප්‍රදායයේ විධික්‍රම වල ආභාෂය ලැබ,බෞද්ධ ජන සංස්කෘතියේ පුරාණොක්තිමය,ඇදහිළිවාදී,සහ භක්තිවාදී අංග ඉන් බැහැර කළ,ධර්මය මත පදනම් වූ බුද්ධිවාදී බුදු දහමක් බිහි කළහ,එම දැක්මට අනුව ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය පාසල් සහ දහම් පාසල් සහ පොතපත සම්පාදනය සකස් කළහ.

ධර්මපාල ගොඩ නැඟූ විප්ලවකාරී බුද්ධාගම ලාංකේය සමාජය මත ඇති කළ බලපෑම ඔබේසේකර,තම්බයියාගෙන් ගන්නා,සම්ප්‍රදායිකව මුල් බැසගත් බෞද්ධ සංස්කෘතියේ අඳුරු පැත්ත යන යෙදුමෙන් පැහැදිලි කෙරෙයි.එය අදාළ වන්නේ බුද්ධාගම ලංකාවේ රාජ්‍ය ආගම ලෙස මුල් බැස ගැනීම පිළිබඳ මහාවංශ අර්ථකථනයට ය.රාජ්‍ය ධර්මය සහ අහිංසා ධර්මය අතර ගැටුමෙහිදී අහිංසා ධර්මයට ප්‍රමුඛතාව දුන් අශෝක දහමට පටහැනිව යන මහාවංශ රචකයා දකින අන්දමට සිංහල ජාතියේත් බුද්ධාගමේත් ඉරණම එකට බැඳී ඇති හෙයින් බුද්ධාගම රැකීම වෙනුවෙන් කෙරෙන හිංසා හා ඝාතන යුක්ති සහගත වෙයි.

මහාවංශ අර්ථකථනයට නව ජීවනයක් සපයමින් ධර්මපාල පදනම් ලූ අලුත් දේශපාලනික බුද්ධ ධර්මය ගැමි බුදු දහමේ මානවීය ආචාර ධර්මය පසෙක ලා,නැඟී එන සුළු ධනේශ්වරය වෙනුවෙන්,නවීකාරක ආචාරධර්ම පද්ධතියක් බිහි කළා පමණක් නොව ජනප්‍රිය බුද්ධාගමේ එම අඳුරු යටිපැත්ත එනම් බුද්ධාගම රැකීමේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය යළිත් නූතන ලාංකේය සමාජයෙහි ස්ථාපිත කරලීය. 

ඔබේසේකර ගේ ඉහත විග්‍රහයෙන් කියැවෙන්නේ 56 බණ්ඩාරනායක රජය බලයට එන්නේම ගැමි බෞද්ධ ආචාර ධර්මයේ මුල් සිඳගත් සිංහල සුළු ධනේශ්වරයක් මතින් බවයි.සිංහල බෞද්ධ ජාතිකවාදය ජාතිවාදය බවට පරිවර්තනය වීමත් ඒ හා ආශ්‍රිතව බුද්ධාගම රැකගැනීමේ නාමයෙන් අන්‍ය ජනකොටස් මත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සාධාරණීකරණයත් මෙම බුද්ධිවාදී බුද්ධාගම මෙරට මුල් බැස ගැනීමේ ප්‍රතිඵල යැයි සිතමි.

ඕල්කොට් සහ ධර්මපාලගේ නූතන බෞද්ධ ව්‍යාපෘතිය සිංහල සුළු ධනේශ්වරය අතර මුල් බැස ගන්නේ ඒ වනවිටත් යටත් විජිතවාදී ලිබරල් බුද්ධිවාදය (rationality) කෝල්බෘක් -කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ ජාතික දේශපාලනයෙහි පිහිටුවා ඇති විටකදීය.ඩේවිඩ් ස්කොට් Refashioning Futures (1996) කෘතියෙහි තර්ක කරන පරිදි මෙම ලිබරල් බුද්ධිවාදය ආර්ථිකය,සමාජය සහ එබඳු බුද්ධිවාදයක් ඒ මත පදනම් වනු ඇති විෂයීයභාවයක් (subjectivity) ලාංකේය සමාජය මත කාවැද්දීම මඟින් යටත් විජිත දේශපාලන තන්ත්‍රය නූතන දිශාවක් කරා ප්‍රතිසංවිධානගත කිරීම අදහස් කළේය.

එම පසුබිමෙහි බුද්ධිවාදී බුද්ධාගම ප්‍රචලිත වීම තුළින්,දහම්පාසල් සහ පාසල් අධ්‍යාපනය සහ ධර්ම සාහිත්‍යය පැතිරවීම මගින් මෙන්ම ධර්මපාලගේ ආගමික ව්‍යාපාරය තුළින් බුද්ධිවාදී භාවිතාවන් ප්‍රචලිත කිරීමෙන්, බුද්ධිවාදී දැක්මෙන් යුතු නව පරපුරක් බිහි කෙරුණි.එම භාවිතාවන් සිංහල බෞද්ධ සුළු ධනේශ්වරයේ එදිනෙදා ජීවිතයට කා වැදීමෙන් පරම්පරා ගෙවීයත්ම ඒවා සාමාන්‍ය ගැමි ජනතාවගේ එදිනෙදා දිවි පෙවෙතටද කාවැදීම අනිවාර්යයක් වීය.එහි ප්‍රතිඵලය නම් බෞද්ධ මානවීය ආචාර ධර්මය ක්‍රමක්‍රමයෙන් ලාංකේය සමාජයෙන් අහෝසි වී යාමයි.

එලෙස බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි කරගත් සිංහල සුළු ධනේශ්වරයක සහ ගැමි ගොවි ජනකායක ගේ පසු පරපුරු නිර්බාධී ආර්ථිකයක වෙළෙඳපොළ නියාමයන් වැළඳගත් විට රාජ්‍යය සහ මහජන ජීවිතය පිළිබඳ කටයුතු වලදී ආචාර ධාර්මික විනිශ්චයන් පසෙක ලා හුදු ස්වාර්ථ සාධනය පිළිබඳ මාවතට යොමුවීම අපට වටහා ගත හැකි විය යුතුය.පශ්චාත් 2005 සමයේ රාජ්‍ය කේන්දීය ප්‍රාග්ධන සමුච්ඡායනය නග්න ස්වරූපයක් ගැනීමේ පදනම බුද්ධිවාදී දේශපාලනය ලාංකේය සමාජයේ අධිපතිභාවයට පත්වීම යැයි සිතමි.

මෙලෙස සිංහළ සුළු ධනේශ්වරය දේශපාලන බල තන්ත්‍රයට අවතීර්ණ වීම ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම,නිලධාරී තන්ත්‍රය,අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතනික පද්ධතියද එම පංතියේ ඉහළනැඟීමේ අපේක්ෂාවන්ට යටත් මෙවලම් බවට හැරවීමෙන් පිරිහෙළන ලදී.පශ්චාත් 77 ජේආර් ජයවර්ධන රෙජිමයේ පාලන  සමය තුළ රාජ්‍ය කේන්ද්‍රීය සුළු ධනේශ්වරයේ දේශපාලන ව්‍යාපෘතිය එක්තරා දුරකට පසු බෑමකට ලක් වුවද,2005 රාජපක්ෂ රෙජිමය මෙම ක්‍රියාවලිය යළි එහි උච්ඡස්ථානයට ගෙන ආවේය.අද වන විට ලංකාවේ දේශපාලනය,ආණ්ඩු බලයේ කුමන පක්ෂයක් බලයේ සිටියද,සමස්ථයක් ලෙස මෙම ව්‍යාපෘතියේ ග්‍රහණයට පත්වී තිබේ.

මේ සියල්ල කරන ලද්දේ සංවර්ධනය නාමයෙනි.ජේආර් ජයවර්ධන පාලන සමයේ පටන් සංවර්ධන කතිකාව ලංකා දේශපාලනයේ අධිපතිභාවයට පත් විය.යුද සමයේ පසු බැස ගිය සංවර්ධන කතිකාව යළිත් වරක් බලවත් වන්නේ එය උච්ඡස්ථානයට නැඟුණු පශ්චාත් යුද සමයේ රාජපක්ෂ රෙජිමයේ යටතේ ය.(බලන්න, සෞඛ්‍යයේ පුරය සහ සුඛෝපභෝගී පුරය:සංවර්ධනය දේශපාලනය යටකොට ගැනීම, කතිකා අංක 1, kathika.lk ).

නන්නත්තාර පංති කොටස්

මෙලෙස රාජ්‍යය,ආණ්ඩුකරණය සහ ජනතාව අතර දේශපාලන සම්බන්ධය උග්‍රලෙස පිරිහීමට දායක වූ තවත් වැදගත් කරුණක් මෙහි ලා කෙටියෙන් හෝ වුව නිරීක්ෂණය කිරීම අවශ්‍යය.එයනම්,පශ්චාත් 77 පාලන සමයේදී  නිර්බාධී ආර්ථිකයේ ව්‍යාප්තිය සමග බැඳී මෙරට ව්‍යාප්ත වූ නනන්න්තාර නැතහොත් පාදඩ පංති කොටස් ලාංකේය සමාජය මත ඇති කරන බලපෑමයි.සම්ප්‍රදායිකව නන්නත්තාර පංතිය නාගරික පහළ පංතීන් හා සබැඳි සංසිද්ධියක් නමුත්,ඉහත සාකච්ඡා කරන ලද නූතන බුද්ධාගමේ ව්‍යාප්තියේ දිගුකාලීන ඵලවිපාකයක් ලෙස මෙම පංති කොටස් අර්ධ නාගරික සහ ග්‍රාමීය සම්භවයන්ගෙන්ද පැනනැඟී ව්‍යාප්ත වීය.

මෙම දෙවනුව කී කොටස් වල සම්භවයේ එක් මූලයක් පිළිබඳ වැදගත් නිරීක්ෂණයක් නිව්ටන් ගුණසිංහ ගේ ඉහත සඳහන් “Land Reform, Class Structure and the State” ලිපියේ දැකිය හැකිය.එය නම් ග්‍රාමීය සුළු ධනේශ්වරය සැදුම්ගත් සිංහල පාසල් ගුරුවරු, ආයුර්වේද වෛද්‍යවරු, සහ ජ්‍යොතීර්වේදීන් ගම්බද සුළු වාණිජමය ක්‍රියාකාරකම්වල ද නිරත වූ බවයි.ඔහු ම මහනුවර පළාත් ආශ්‍රයෙන් කළ තවත් අධ්‍යයනයක ( “Agrarian Relations in the Kandyan Countriside in Relation to the Concept of Extrement Social Disntetgreation” 1979),නිරීක්ෂණය කළේ යටත් විජිත සමයේ සිට වතුකෘෂිකර්මාන්තයට සේවා සැපයීම, සන්නිවේදන කටයුතු සහ වෙළෙඳාම මත පළමු වතාවට දැකිය හැකි සුළු ධනේශ්වර කොටසක් කන්ද උඩරට පළාත් වල දකින්නට ලැබුණු බවයි. ඔවුහු දහනම වැනි සියවසේදී එක්කෝ මුහුදු බඩ පළාත්වලින් පැමිණි සිංහළ වික්‍රමිකයෝ නැතහොත් මුස්ලිම් වැසියෝ වූහ.ඔවුහු කුඹුරු ඉඩම් කැබැළි හෝ ගෙවතු මිළ දී ගනිමින් ගම් තුළ ඉඩම් වෙළෙඳපොළට ඇතුළු වූ අතර ඔවුහු වාණිජ සමපේක්ෂණයෙහි ලා සම්බන්ධ ව සිටියහ.

මෙලෙස සුළු වාණිජමය ක්‍රියාකාරකම්වල නිරතවෙමින්,ගමේ ඉඩම් වෙළෙඳපොළ තුළ ක්‍රියාකාරීව,වාණිජ සමපේක්ෂණයෙහි නිරතව සිටි,සිංහල සුළු ධනේශ්වර පංති කොටස් වැළඳගත් බුද්ධිවාදී බුදුදහමෙහි සම්ප්‍රදායෙහි හැදුණු වැඩුණු ඔවුන් ගේ දූදරුවන් නිර්බාධී ආර්ථිකය අභිමුඛවීම තුළ ඔවුන් මුල් සිඳුණු නන්නත්තාර පංතිකොටස් බවට විකාශනය වීමේ අවකාශයක් බිහිවුණි.

නන්නත්තාර පංති කොටස් වලින් ආ සාමාජිකයෝ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිත්වය යටතේ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිත්වය යටතේ පැවැති රජයන් ගේ සමය තුළ පළාත්පාලන මට්මේ සිට ජාතික මට්ටම දක්වා වැඩි වැඩියෙන් ඉහළට නැඟෙමින් එන්න එන්නම දේශපාලන බලයේ කොටස් කරුවන් බවට ද පත්වූහ.

මෙම පංති කොටස් අතරින් වර්ධනය වූ පාදඩ ධනේශ්වර පංති කොටස් ද 2005න් පසු රාජ්‍ය බලයේ ප්‍රධාන කොටස් කරුවන් බවට පත්වීම රාජ්‍ය දේපළ සහ සම්පත් අවභාවිතය සහ දූෂණය ජාතික මට්ටමේත් එහි සිට පළාත් පාලන මට්ටම දක්වාත් ව්‍යාප්තවීමටත් දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය පැතිරීමටත් හේතුවූ  ප්‍රධාන සාධකයක් යැයි සිතමි.ඔවුන් අත සිංහළ බෞද්ධ ජාතිකවාදය බලය සඳහා වන හුදු මෙවළමක් වන හෙයින් ඉතා පහසුවෙන් ජාතිවාදය බවටත් ප්‍රචණ්ඩත්වයටත් හැරවිය හැකිය. (මෙහි පාදඩ යන්නෙන් ඔවුන් ගේ මුල් ඉදිරුණු සහ අල්ලසට නැඹුරුවූ,  දූෂිත ස්වරූපය යි.)විධායක ජනාධිපති බවට මහින්ද රාජපක්‍ෂ පත්වීම සමගින් ලංකාවේ සමාජයේ අධිපති තලයට නැඟණු නව පාදඩ ධනේශ්වර  කොටස් රාජපක්ෂ රෙජිමයේ දේශපාලන බලයෙන් ලාංකේය සමාජය තම ග්‍රහණයට නතු කර ගත්හ.රාජපක්ෂ රෙජිමයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට මෙරට ජනයා බහුතරයක් පෙළඹවූ ප්‍රධාන හේතුවක් වූයේ මෙම පිරිස් ජනයාට නිදහස සහ ප්‍රජාතන්ත්‍රීය හිමිකම් අහිමි කරමින් රාජ්‍ය බලය අවභාවිතයට යොමු වීම යැයි සිතමි.

ජාතිවාදී කළ කෝළාහලවලදීත් මෙන්ම දේශපාලනයේදීත් (උදා:මෑතකාලීන මුස්ලිම් විරෝධී කෝළාහළ වලදී මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු සමයේදීත්) ජනයා මත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට නන්නත්තාර පංති  කොටස් විවිධ දේශපාලන බලවේග විසින් යොදා ගනු ලැබීම,පසුගිය කාලය තුළ දකින්නට ලැබුණි.ඉදිරියේදී සිංහල බෞද්ධ ජාතිකවාදය පදනම් කොට ගෙන ලාංකේය දේශපාලනයේ යළිත් මතු වීමට ඉඩ ඇති අධිකාරවාදී තත්වයන් යටතේ දේශපාලන බලවේග තම පසමිතුරන් මර්ධනයට බල සේනා වශයෙන් මෙම පාදඩ පංති කොටස් යොදා ගැනීමේ බලවත් අනතුරක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

නමුත්,මේ අතරම සිංහල බෞද්ධ සුළු ධනේශ්වරය සහ නන්නත්තාර පංති කොටස් ලාංකේය සමාජය මත බල පවත්නා අධිපතිභාවයේ නිශේධනාත්මක ඵලවිපාක කිසියම් දුරකට සමනය කිරීමට දායක වීමට ඉඩ ඇති නැඹුරුවක්ද සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන පිළෙන්ම මතු වනු අද දක්නට ලැබෙයි.

සිංහල සුළු ධනේශ්වරයෙහි ඉහළ ස්ථරයන් අද වන විට සංක්‍රමණීය අවධියකට එළඹ ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය.රාජපක්ෂ රෙජිමය යුද්ධයෙන් පසු එළඹි සංවර්ධන සමයේදී ආර්ථික ඵල ප්‍රයෝජනය සඳහා ගෝලීය මූල්‍ය ධනවාදය සහ එහි දේශීය ඒජන්තයන් සමග ද ගැට ගැසුණු මොවුන්,උග්‍ර සිංහල බෞද්ධ ජාතිකවාදී ස්ථාවරයන්ගෙන් දුරස්ථවීමේ නැඹුරුවක් වත්මනෙහි පවතින අයුරු ඔවුන්ගේ දේශපාලන නායකත්වයේ කොටස් වලින් ප්‍රකාශ වන බව දැනටමත් විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත.ඔවුන්,ඉදිරියේදී රාජ්‍ය කේන්ද්‍රීය,ධනේශ්වර ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා දේශපාලන බලය යළිත් තමන් අතට ගැනීමට යොමුවිමේ ඉඩකඩ පවතියි.

නමුත්,රාජ්‍ය කේන්ද්‍රීය ධනේශ්වර ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳ අදහස නවලිබරල්වාදයට විකල්පයක් ලෙස ඉදිරිපත් කෙරෙන විට,ඉන් මතුවන ගැටලුවක් වන්නේ එවැන්නක් සැබැවින්ම නවලිබරල්වාදයෙන් මිදුණු  ව්‍යාපාතියක් විය හැකිද?යන්නයි.

නවලිබරල්වාදයට එරෙහිව සභ්‍යත්ව රාජ්‍යය?

නවලිබරල්වාදයට අභියෝගයක් එල්ල කළ හැකි දේශපාලන බලවේගයක් ලෙසට ඇතමුන් අපට යෝජනා කෙරෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන ධාරාවයි. මෙම අදහස නියෝජනය කරන සංකල්ප ගත කිරීමක් ලෙස ගුණදාස අමරසේකර ගේ සභ්‍යත්ව රාජ්‍යය කරා (2016) නමැති ලේඛනය සැලකිය හැකි යැයි සිතමි.එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම නිරීක්ෂණය කරමින් ඊට විකල්පයක් ලෙස සභ්‍යත්ව රාජ්‍යය නමැති සංකල්පය යෝජනා කරයි.සභ්‍යත්ව රාජ්‍යය යනු දෙන ලද රටක සභ්‍යත්වය හා රාජ්‍යය සමපාතවීමේ ප්‍රතිඵලය යි. අමරසේකර ලංකාවට අදාළව මෙම සංකල්පය වර්ධනය කරන්නේ සැමුවෙල් හන්ටින්ග්ටන් නූතන ලෝකයේ පශ්චාත් සීතල-යුද යුගය පිළිබඳ ඉදිරිපත් කළ ශිෂ්ඨාචාර අතර ගැටුම යන ප්‍රවාදයත්,මාටින් ජැක් ඉදිරිපත් කළ චීනය සභ්‍යත්ව රාජ්‍යයකි යන ප්‍රවාදයත් පාදක කොට ගෙනය.මාටින් ජැක් ගේ අදහස,චීනය තමන්ව හඳුන්වා ගන්නේ ජාතික රාජ්‍යයක් ලෙසින් වුවද, චීන රාජ්‍යය ගැළපෙන්නේ නූතනයේ බටහිර උපත ලද එම සංකල්පයට නොව සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ සංකල්පයට බවයි.ඔහු තර්ක කරන්නේ චීන ජනයා තමන් ගේ පැවත්ම අරුත් ගන්වන්නේ චීන සභ්‍යත්වයේ කොටස්කරුවන් ලෙස බවයි.

අමරසේකරගේ ප්‍රස්තූතය චීනය මෙන්ම ලංකාවද සභ්‍යත්ව රාජ්‍යයකි යන්න යි.මාටින් ජැක් ට අනුව චීන සභ්‍යත්ව රාජ්‍යයේ දාර්ශනික පදනම වූයේ කොන්ෆියුසියස් දර්ශනය නම්,ලංකාවේ පූර්ව නූතන යුගයේ පැවැති සභ්‍යත්ව රාජ්‍යයේ පදනම වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය බව අමරසේකර ගේ ප්‍රවාදය යි.මෙම සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය ධර්මිෂ්ඨ,සාමුහිකත්වය අගයන,ජනතා සහභාගීත්වය පදනම් කරගත්,සුබසාධන රාජ්‍යයක් යැයි අමරසේකර තර්ක කරයි.එහි පදනම මත අනාගත,නූතන සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නැංවීමේ විකල්ප අදහස සම්පාදනයට මුල පිරීම අමරසේකර ගේ මෙම දීර්ඝ ලිපියේ අරමුණයි. එම අරමුණට දායකකර ගත හැකි,ඉපැරැණි ගම් සභා ක්‍රමය හා සමාන ග්‍රාම රාජ්‍ය සංකල්පය වැන්නක් යෝජනා වී තිබීම අමරසේකර අගය කරයි. අමරසේකර සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ ඉදිරිපත් කරන අදහස්වල අනුභූතික වලංගුභාවය විවාදයට තුඩු දෙයි.එය විමසීම මෙහි ලා මගේ අරමුණ නොවේ. 

මෙම ලිපිය සාකච්ඡා කරමින් සභ්‍යත්ව රාජ්‍යය සහ සමසමාජය (2017) නමින් පොතක් සම්පාදනය කරන සුමනසිරි ලියනගේ මෙරට රාජ්‍යයේ විකාශනය වටහා ගැනීමෙහි ලා ජාතික රාජ්‍යය පිළිබඳ අදහසට වඩා සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස වඩා ප්‍රයෝජනවත් යැයි එකඟ වෙයි.එනමුදු ලියනගේ යෝජනා කරන්නේ සිංහල බෞද්ධත්වය මත පදනම් වූ ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය වසර 2300 ක පමණ ඉතිහාසයක මුහුණ දුන් වෙනස්කම් සලකා බලමින් මෙන්ම සභ්‍යත්ව සංකල්පයේ ඇති ආභ්‍යන්තරික විරුද්ධාභාෂයන් ද නිරාකරණය කරගනිමින් වත්මනට ගළපා ගත යුතු බවයි.එලෙස සකසා ගත් සභ්‍යත්ව රාජ්‍ය සංකල්පයක්,අන්තෝනියෝ ග්‍රාම්ස්චි යෝජනා කළ දේශපාලන සමාජයේ සහ සිවිල් සමාජයේ එකතුවක් වන අනුකලනීය රාජ්‍යය සංකල්පයට ආසන්න වන බව ලියනගේ ගේ තර්කයයි.ඔහු දකින පරිදි මෙම නූතන ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය ගොඩනැඟීමේ වගකීම දැරිය හැක්කේ මකියාවෙලි ගේ අර්ථයෙන් නූතන කුමාරයා නැතහොත් සමාජ පහත මාලයේ සාමූහික දේශපාලන පක්ෂයට ය.එම සභ්‍යත්ව රාජ්‍යයෙහි ලා නූතන කුමාරයා ඉටු කිරීමට සමත් කටයුතු වශයෙන් ලියනගේ හඳුනාගන්නා කරුණු අතර නවලිබරල් ගෝලීයකරණයට එරෙහි ජාතික ආර්ථිකයක් ගොඩ නැඟීම සහ හනා ආරන්ඩ්ට් ගේ අදහසක් අනුව යමින්, සමාජයේ සියලු ජනකොටස් ඇතුළත් කරගන්නා,කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය ( ward democracy) පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් යන දෙකරුණ ප්‍රධාන ය.

සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස නවලිබරල්වාදයට එරෙහිව සූත්‍රගත කිරීමට  යෝජනා කෙරී ඇත්තේ ඉහත  ආකාරයට ය.මෙය සංකල්පීයව වැදගත් අදහසක් යැයි සිතමි.ඉදිරියේදී,මෙම අදහස් තවදුර වර්ධනය කෙරෙමින් පුළුල් ලෙස සාකච්ඡා වනු ඇතැයි සිතමි. එහිදී,සාකච්ඡාව සඳහා ලියනගේ ගේ සූත්‍රකරණයෙන් මතුවන එක් ගැටලුවක් පමණක් මෙහි ලා සඳහන් කරන්නට කැමැත්තෙමි.එය,ඔහු ඉදිරිපත් කරන කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත්,රාජ්‍ය යාන්ත්‍රණයක්  පිළිබඳ අදහස හා සබැඳෙයි.මගේ ප්‍රශ්නය නම්,නූතන ලාංකේය සභ්‍යත්ව රාජ්‍යය ගොඩනැංවීමේ වගකීම පැවරෙන්නේ පහත මාලයේ දේශපාලන පක්ෂයට නම් සැබෑ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැංවීමට එබඳු පක්ෂයක් කටයුතු කිරීමට යොමු වනු ඇති බවට තිබෙන සහතිකය කුමක් ද?යන්නයි.මේ ප්‍රශ්නය මතු වෙන්නේ, හනා ආරන්ඩ්ට් විප්ලවීය සභා නිරීක්ෂණය ඇසුරෙන් පුරවැසි සභා පිළිබඳ අදහස වර්ධනය කිරීමේදී කළ එක් නිරීක්ෂණයක් ආශ්‍රයෙනි. ඇගේ නිරීක්ෂණය වූයේ විප්ලවීය තත්වයන් තුළ පුරවැසියන් සක්‍රීය වීමේදී ස්වයංසිද්ධව ඔවුන් ගොඩ නගා ගන්නා විප්ලවීය කවුන්සිල, විප්ලවීය තත්වයේ ජයග්‍රහණයෙන් පසු වැඩි කල් නොයා,අහෝසි කෙරෙන තැනට පක්ෂ නායකත්වයන් විසින් හැමවිටමත් කටයුතු කළ බවයි.

ගුණදාස අමරසේකර සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස වර්ධනය කිරීමට සංකල්පීය ආස්වාදය ලබා ගන්නේ චීනයෙනි.ගෝලීයකරණය සාධනීය ලෙස යොදා ගන්නා චීනය සමග,නවලිබරල්වාදී ඇමෙරිකාවට එරෙහිව,ලංකාව සන්ධාන ගත විය යුතු යැයි සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග නියෝජනය කරන බුද්ධිමතුන් ප්‍රකාශ කරමින් සිට තිබේ.ඉන් ඔවුන් කියා සිටින්නේ චීනය නවලිබරල්වාදී නොවන බව ය.

චීනය නවලිබරල්වාදී පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න පිළිබඳ ශාස්ත්‍රීය විවාදයක් පවතියි.සමහරු එය  ව්‍යතිරේඛීය නවලිබරල්වාදය, චීන නවලිබරල්වාදය යැයි නම් කරමින් එය බටහිර නවලිබරල්වාදයෙන් වෙනස් මාවතක් ගන්නා බව කියති.චීනය නවලිබරල්වාදී නැතැයි පවසන්නන් එය පැහැදිලි කරන්නේ චීන ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දෙන රජය විසින් බව කීමෙනි.තවත් අයට අනුව එරට ඇත්තේ කතාපයාධිපත්‍යයික සමායතන (oligarchic corporate) රාජ්‍යයක් සහ පක්ෂයකි.නමුත් වැඩි දෙනෙකු දකින්නේ රජයෙන් මෙහෙයවනු ලැබන නවලිබරල්වාදය ක් චීනයේ ඇති බවයි.චීනයේ ප්‍රධානතම විවේචකයා (බලන්න, Verso) සහ චීනයේ ප්‍රධාන පෙළේ ඉතිහාසඥයන්ගෙන් අයෙකු සහ වඩාත්ම සිත් ඇද ගන්නා සහ බලපෑම් සහිත මහජන බුද්ධිමතා (බලන්න, Los Angeles Times) ලෙස හඳුන්වනු ලැබෙන වාන්ග් හුයි ගේ The End of the Revolution: China and the Limits of Modernity (2011) ග්‍රන්ථය චීනයේ නවලිබරල්වාදයේ උදාව සාකච්ඡා කිරීමට දීර්ඝ පරිච්ඡේදයක් වෙන් කොට ඇත.

වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos (2015) කෘතියෙහි චීනයේ නවලිබරවාදය පිළිබඳ මෙසේ කියයි:නවලිබරල්වාදය ආර්ථික ප්‍රතිපත්තියක්,ආණ්ඩුකරන මාදිලියක්,තර්කනයේ පර්යායක් වශයෙන් ගත් කළ එක වරම ගෝලීය ප්‍රපංචයකි.නමුත් එය අනියත,විභේදනය වූ,අක්‍රමික,සහ අපරිශුද්ධ දෙයක් වෙයි.එය ස්වීඩනයේදී සුබසාධනවාදයේ අවිච්ඡින්න සුජාතභාවය,දකුණු අප්‍රිකාවේදී ප්‍රජාතන්ත්‍රීයකරණ සහ ප්‍රති-ව්‍යාප්තිය පිළිබඳ පශ්චාත්-වර්ණභේදවාදී බලාපොරොත්තුව,චීනයේදී කොන්ෆියුෂියන්වාදය,පශ්චාත්-මාඕවාදය සහ ධනවාදය,සහ ඇමෙරිකා එක්සත් ජනපදයේදී දීර්ඝකාලීනව ස්ථාපිත වූ රාජ්‍ය-විරෝධය සහ නව කළමනාකරණමයවාදය පිළිබඳ පුදුමාකාර මිශ්‍රණය,සමග හරහට වැටෙයි.

පවත්නා දේශපාලනයේදී,චීනය හා ලංකාව අතර සබඳතාව තව දුරටත්,හුදු සංකල්පීය එකක් නොවන තත්වයක් යටතේ,ගෝලීය දේශපාලනයේ ඇමෙරිකානු පිළට එරෙහිව,චීනය සමග ලංකාව සන්ධාන ගත විය යුතු යැයි සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග නියෝජනය කරන බුද්ධිමතුන් කරන ප්‍රකාශ සහ අමරසේකරගේ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය සමපාත වීමේ ප්‍රායෝගික දේශපාලන අනතුරක් පවතියි.එය නම්,ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග චීන රාජ්‍ය ආකෘතිය අනුව යමින්,චීනයේ වත්මනෙහි පවතින්නාක් මෙන් තනි පක්ෂයක පාලනය යටතේ, තනි යාවජීව නායකයෙකු ගේ නායකත්වයෙන් යුතු නවලිබරල් ජාතික රාජ්‍යයක් ගොඩනැඟීමට යොමු වීමයි. එවැන්නක්, සුමනසිරි ලියනගේ යෝජනා කරන නවලිබරල් විරෝධී,නූතන,සභ්‍යත්ව රාජ්‍යයෙන් බොහෝ දුරස්ථ එකක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජාතික රාජ්‍යය පිළිබඳ සංකල්පය පශ්චාත් බැන්ඩුන් සමයේ පශ්චාත් යටත්විජිතවලට තව දුරටත් අදාළ නොවන බව ඩේවිඩ් ස්කොට් තම  Refashioning Futures (1999) කෘතියෙහි ලා යෝජනා කළේය.ඔහු එහි ලා තර්ක කළේ එකල තුන්වැනි ලෝකය නමින් හඳුන්වනු ලැබූ ලංකාව ද ඇතුළත් පශ්චාත් යටත් විජිතයන් වූ රටවල යටත් විජිත විරෝධී සහ ඓහික නූතන රාජ්‍ය සමාජවාදී ව්‍යාපෘතීන්,ජාතික රාජ්‍යයේ දේශපාලන ප්‍රජාව සාක්ෂාත් කරගැනීම පිළිබඳ විශ්වාසය අහිමිවීමෙන් ශ්‍රාන්තියට පත්ව ඇතැයි යන්නයි.ඔහු යෝජනා කළේ අප විමසිය යුත්තේ යටත් විජිතවාදය ශ්‍රී ලාංකේය දේශපාලන නූතනත්වයේ මූලික අංශ,වඩාත් මූලිකව සුළුතරය සහ බහුතරය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ග සංස්ථාපිත  කළ ආකාරය බවයි.

නවලිබරල්වාදය සහ සිංහල බෞද්ධ ජාතිකවාදය අතර ඇති සබඳතාව පිළිබඳ පිළිබඳ අප මින් පෙර අවස්ථා ගණනාවකම සවිස්තරව කරුණු දක්වා ඇත්තෙමු.ජාතිකචින්තනය නියෝජනය කරන දේශපාලන ගතිකය මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු නවලිබරල් ජාතිකවාදයක් බවට හැරුණු බවට අපි තර්ක කළෙමු (බලන්න, කතිකා ප්‍රාරම්භක කලාපය,2009 නව-ලිබරල් ජාතිකවාදයක් kathik.lk ).ඉන් අප අදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය ආර්ථිකයේ දී නවලිබරල්වාදයත් දේශපාලන තලයේදී ජාතිකවාදී පිළිවෙතකුත් අනුගමනය කළ බවයි.පශ්චාත් යුද ලාංකේය සමාජයේ අප අත් දකිමින් සිටින්නේ නවලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර ගැටුමෙන් නවලිබරල්වාදය ජය ගෙන තිබීම බව අපි තර්ක කළෙමු:අද වනවිට ආර්ථිකයේ නවලිබරල්වාදයත් සාමාජීය ජීවිතයේ පුද්ගලවාදයත් අධිපතිවාදයට පත් ව තිබේ (බලන්න,නිදහස සහ අවශ්‍යතාව:අධ්‍යාපනය සහ සංවර්ධනය,කතිකා’අංක 1,2013 kathika.lk ). 

අප දැනටමත් සඳහන් කොට ඇති පරිදි,කෝල්බෘක් -කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ නූතන ලංකාවේ ජාතික දේශපාලනයෙහි යටත් විජිතවාදී ලිබරල් බුද්ධිවාදය ස්ථාපිත කරනු ලැබිණි.ඉන් සකස් කළ අවකාශය තුළ,ඕල්කොට් සහ ධර්මපාලගේ බුද්ධිවාදී සහ දේශපාලන බෞද්ධ ව්‍යාපෘතිය සිංහල සුළු ධනේශ්වරය අතර මුල් බැස ගත්තේය.පසුකලෙක,වාමාංශික දේශපාලනය විසින් හඳුන්වාදෙනු ලැබූ මානවීයවාදී මාක්ස්වාදය ලිබරල්වාදයට අභියෝගයක් එල්ල කරමින් ගැමි ජනයා අතරම පවා පදනමක් ගොඩනඟා ගන්නට සමත් වීය. (ලංකාවේ අපට මානවීයවාදී මාක්ස්වාදයෙන් අපේ දේශපාලනය තවදුරටත්  පෝෂණය කරගැනීම අහිමි වීමට ව්‍යුහවාදී මාක්ස්වාදය අපගේ විග්‍රහයන් හි අධිපතිවාදයට පත්වීම කොතෙක් දුරට හේතුවිණිද? යන්න අප සළකා බැලිය යුතු ය.) 71 කැරැල්ල,ඇමෙරිකානු-සෝවියට් සීතල යුද්ධය සහ චීන-සෝවියට් භේදය පසුබිමෙහි සිංහල සුළු ධනේශ්වරය අත මාක්ස්වාදය බුද්ධිවාදයට යටකිරීමේ ප්‍රතිඵලයකි. ‘87-89 කැරැල්ල සහ එහි බිහිසුණු ස්වරූපය ග්‍රාමීය ප්‍රදේශද එහි ග්‍රහණයට ගත් ආකාරයෙන් පෙන්නුම් කළේ ද, ග්‍රාමීය සුළු ධනේශ්වරයේ බුද්ධිවාදී එළඹුමේ මතවාදී ප්‍රකාශනය යි.

1977න් උදා වූ පශ්චාත් නිර්බාධී ආර්ථිකය පසුබිමෙහි,බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි කරගත් සිංහල සුළු  ධනේශ්වරයේ බුද්ධිවාදී දැක්ම,නවලිබරල්වාදී ලෝක දැක්ම සමග කදිමට පෑහීම සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය යටතේ ලාංකේය සමාජයේ නවලිබරල්වාදී කතිකාව අධිපතිවාදයට පත්වීම පහසු කළා විය යුතුය.

(2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.)

 

 

Advertisements