සිළුමිණ ‘විවර’ අතිරේකයේ, ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් කරන්නෙකුට ඉඩ කඩ

කර්තෘ
සිළුමිණ
ලේක්හවුස්

ප්‍රිය මහත්මයාණනි,

ලංකාවේ රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ යටතේ ඇති සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය කලා හරසරණිය නමින් හඳුන්වන ‘විවර’ නම් අතිරේකයේ රසික කොටුදුරගේ  ගෙනයමින් තිබෙන ක්‍රියාමාර්ගයක්  බොහෝ දෙනෙකුගේ ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් විය හැකි නිසා මේ ගැන ඔබට දැනුම් දීමට තීරණය කළෙමු.


‘කතිකා’ සංවාද මණ්ඩපය නම් බ්ලොග් පිටුව (kathika.wordpress.com ) අවුරුදු 12 පමණ තිස්සේ දේශපාලන සමාජ සංස්කෘතික පරිමණ්ඩලයන්හි ශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය අවලෝකනයන් උදෙසා ‘කතිකා’ අධ්‍යයන කවය විසින් පවත්වාගෙන එන්නකි. අපගේ ශාස්ත්‍රීය ප්‍රකාශනයන් පමණක් නොව බොහෝ ස්වාධීන අන්තර් ඥානනීය ලේඛන අන්තර්ජාල පාඨකයන් වෙත ඒමට අපි කටයුතු කළෙමු. ඒ එවැනි ශාස්ත්‍රීය සංවාදයක් ඇති කිරිමේ අරමුණෙනි. ඒ සෑම විටම වෙනත් මූලාශ්‍රයකින් ගත්විට පිළිගත් මූලධර්ම අනුව මූලාශ්‍ර නිසි පරිදි දැක්වීමටත්, බුද්ධිමය හිමිකම් ඇති ලේඛන වලදී අදාළ හිමිකරුගේ අවසරය මත අදාළ මූලාශ්‍ර සහිතව පල කිරීමට කටයුතු කර ඇත්තෙමු. 

එසේ පල කිරීමේදී අප අනුගමනය කළ මූලධර්මය වූයේ නිසි පරිදි අපගේ මූලාශ්‍රය සහ පල කිරීමේදී අප උපුටා දැක්වූ මූලාශ්‍රය සඳහන් කර අන් අයටද එසේ පල කිරීමට අවස්ථාව සැලසීමය. අප එසේ කළේ ප්‍රජාතාන්ත්‍රික ලෙස දැනුම සමාජගත වීම යහපත් බව අපද පිළිගන්නා නිසාත් එවැනි ඥානයේ ප්‍රජාතන්ත්‍රීයකරණයක් ආචාර ධර්මීය සහ ගුණාත්මක වන්නේ එහි හිමිකරුවන් වන අනෙකාගේ ශාස්ත්‍රීය මැදිහත්වීම, දායකත්වය, සහ ශ්‍රමය ඇගයීමට ලක් කිරීමෙන් නිසාත්ය. ලංකාවේ රජයේ ප්‍රධාන ජාතික පුවත්පතක ශාස්ත්‍රීය අතිරේකයක මේ මූලික මූලධර්ම ගැන අවබෝධයක් නැති  පුද්ගලයෙකුට මූලිකව ක්‍රියාකාරී වීමට ඉඩ ලැබී තිබීම කණගාටුවට කරුණකි. 


අප රසික කොටුදුරගේ ගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් මතුකරන කරුණ අදාළ ‘විවර’ නම් අතිරේකයේ ඔහු පළ කරන මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලිපි වලටය. ඒවාද අනුන් පරිවර්තනය කල, ලියා පල කල ඒවාය. ඔහු මේවා ලබාගන්නේ ‘කතිකා’ සංවාද මණ්ඩපයේ  බ්ලොග් අඩවියෙනි.මහාචාර්ය ගණනාථ ඔබේසේකර ශාස්ත්‍රිය කටයුතු මූලික වශයෙන් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහුගේ ලිපි සිංහලෙන් පලවී ඇත්තේ අල්ප ප්‍රමාණයකි.ඒවායින් යම් ප්‍රමාණයක් අන්තර්ජාල ගතවී ඇත්නම් ඒ ‘කතිකා’ සංවාද මණ්ඩපය තුළිනි. මහාචාර්ය ඔබේසේකරගේ  ලිපි මෙසේ පල කිරීමට කටයුතු කලේත්, යම් ලිපි පර්වර්තනය කර පල කලේත් ඒවා අප සමාජය පිළිබඳ තියුණු අන්තර් දෘෂ්ටීන් පල කරන්නන් වන නිසාය. නමුත් මූලාශ්‍ර පිළිබඳ කිසිම සඳහනක් නැතිව රසික කොටුදුරගේ ක්ෂණයෙන් මේ සියල්ල “කොපි ඇන්ඩ් පේස්ට් කර” තම නමින් දිණමිණ, සිළුමිණ පුවත් වල පළ කරමින් සිටී. ඔහු මහාචාර්ය ඔබේසේකරගේ ශාස්ත්‍රීය පසුබිම හා කාර්යය ගැන නිසි අවබෝධයකින් තොරව කරමින් සිටින මෙම කටයුත්ත නිසා බොහෝ විකෘති තොරතුරු ඔහුගේ ලිපි තුළින්  ඉදිරිපත් වී ඇත.  එපමණක් නොව, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පරිවර්තනය කල මහාචාර්ය ඔබේසේකරගේ  රචනාවක් කොටස් වශයෙන් පල කිරීමේදී රසික කොටුදුරගේ “සංවාදයක් ඇසුරෙන් සකස් කළ” සහ “දේශනයක් ඇසුරෙන් සකස් කළ” යන අරුත් දැනවෙන සේ මුල් ලේඛකයාගේ සහ පරිවර්තකයා ගේ නම් සඳහන් නොකර වංචනික ලෙස බුද්ධිමය දේපළ සොරාගැනීමේ ක්‍රියාමාර්ගයක් ගෙන යන බව පෙනේ.

ඔහු ගේ මෙම පිළිවෙත අප පළමුව නිරීක්ෂණය කරන්නේ  “වසන්තය නිමා විය” යන සිරස්තලය යටතේ 2017.04.11 දින දිණමින පුවත්පතේ වසන්ත ඔබේසේකරගේ සිනමාව පිළිබඳ ලිපියකය. ඔහු වසන්තගේ පියා ඩී.ඩී. ඔබේසේකර ගැනවිස්තරයක් ආරම්භ කරමින් දක්වන විස්තරය ‘කතිකා සංවාද මණ්ඩපයේ’ ගණනාථ ඔබේසේකර ගේ රචනා සඳහා අප විසින් සකස් කරන ලද හැඳින්වීමක් මුලුමනින්ම පිටපත් කර ගැනීමකි. මෙම පිටපත් කර ගැනීමට වඩා වැදගත් කරුණක් මෙහි මතුකරමු. එනම් මෙම ලිපියේ ඔබේසේකර පවුල විමසන්නට යන ඔහු වසන්තගේ පියා වන ඩී. ඩී. ඔබේසේකර ගැන කරන විස්තරය යටතට අප ‘කතිකා සංවාද මණ්ඩපයේ’ ගණනාථ ඔබේසේකරගේ මූලික උපාධිය පිළිබඳ විස්තර කරන කොටස් පිටපත්කර ඇත. එවිට 1955 දී  පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගෙන, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සඳහා ලැබුණු ශිෂ්‍යත්ව ප්‍රතික්ෂේප කර ඇත්තේ ගණනාථ නොව ඔහුගේ පියා ඩී.ඩී. ඔබේසේකරය. මෙය නම් මහා විකෘතියකි. ගණනාථගේ පියා කල්කටාවේ වෛද්‍ය විද්‍යාව උගත්තෙක් බව ඉංග්‍රීසි මූලාශ්‍ර ඇසුරු කර අය දනී. මෙය තමන් නිශ්චිත තොරතුරු නොදන්නා දෙයක් පිළිබඳව අන් මූලාශ්‍ර පිටපත් කිරීමට  යාමෙන් සිදුවූවකි. ඉන් පසුව වසන්තගේ සහෝදරයා වන ගණනාථ ගැන විස්තරයට ‘කතිකා සංවාද මණ්ඩපයේ’ ඇති විස්තරය ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය ගැන සඳහන් තැනින් පටන් ගෙන මුලුමනින්ම පිටපත් කර ඇත. වසන්ත ගැන ලිපියක වැඩිපුර ඇත්තේ ගණනාථ ගැනය. ලිපියේ බාගයක්ම ඇත්තේ අපගේ බ්ලොග් අඩවියෙන් කොපි කරගත් අප ලියු හැඳින්වීමය. ඉතිරි තොරතුරු සිනමාව ගැනය.

2017 මැයි 7 දින මෙම ශාස්ත්‍රීය අතිරේකයේ පල වන්නේ මහාචාර්ය ඔබේසේකර සමග සම්මුඛ සාකච්ඡාවකි.මෙහිදී මහාචාර්ය ඔබේසේකර පිළිබඳ හැඳින්වීමට යළි කොපි කරන්නේ ‘කතිකා’ සංවාද මණ්ඩපයේ ඇති හැඳින්වීමය.මූලාශ්‍රය පිළිබඳ කිසිම සඳහනක් නැත. මෙම සම්මුඛ සාකච්ඡාවේ තැනක 1798 දී රොබ්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ලෙස පත්වූයේ යැයි දැක්වීම බරපතළ කරුණුමය වරදකි. මෙය මහාචාර්ය ඔබේසේකරගේ පිළිතුරේ බහාලීමෙන් ඔහුගේ ප්‍රතිරූපයට ද හානි කරමින් සිටී. මෙම කරුණ මහාචාර්ය ඔබේසේකරගේ “Doomed King” කෘතියේ පළමු පරිච්ඡේදය ආරම්භයේදීම ෆ්‍රෙඩ්‍රික් නෝත් ලෙස නිවැරදිව සඳහන් වේ. තවද,මෙම කරුණ අරභයා 2018.02.04 දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පල වන  මහාචාර්ය ඔබේසේකරගේ සම්මුඛ සාකච්ඡාවේ මෙය නිවැරදිව සඳහන් වේ.  එපමණක් නොව 2017 ජුනි 04 දින විවර අතිරේකයේ පල වන මෙම විෂය සම්බන්ධයෙන් එච්.ජී. දයාසිසිර සමග කරණ සම්මුඛ සාකච්ඡාවේදී ද 1798 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර වූ බව වැරදි ලෙස යළි සඳහන් වේ. එය නැවත නැවතත් ඔහු කරන සම්මුඛ සාකච්ඡා වල , ලිපි වල ප්‍රතිනිෂ්පාදනය වේ.1798 ආණ්ඩුකාර වන්නේ ෆ්‍රෙඩ්‍රික් නෝත් බව 9 ශ්‍රේණියට පාසැල් ගිය අයෙක් පවා දනී. “Doomed King” කෘතිය ගැන සම්මුඛ  සාකච්ඡා කරන්න යන්නාට අදාළ කෘතිය ගැන හෝ කතුවරයා ගැන මූලික අවබෝදයක් හෝ සූදානමක් තිබේ නම් මෙවැනි ගැටළු පැන නොනගී.

‘”බුදුසමය ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්” වශයෙන් පසුව සිංහලෙන් පල වන මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ රචනාව බාත් ස්පා විශ්ව විද්‍යාලයේ පැවති සමළුවට ඔහු ඉදිරිපත් කරන පත්‍රිකාවකි. මෙම පත්‍රිකා ප්‍රථමයෙන් පලවූයේ “Journal of Buddhist Ethics සඟරාවෙහි සහ එහි වෙබ් අඩවියෙහි ය. පත්‍රිකා  සිංහල බසට පරිවර්තනය වූයේ මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස අතිනි.පසුව එය පොතක් වශයෙන් පල විය. මෙය අන්තර්ජාල පාඨකයන් අතරට ගෙන ඒමට සිතූ අප 2013 ඔක්තෝම්බර් 16 සිට අපගේ බ්ලොග් පිටුවේ කොටස් වශයෙන් පල කළෙමු. එහිදී සිංහල පෙළේ ගැටළු ඇති තැන් සඳහා  ඉංග්‍රීසි වචන සහ වාක්‍යාංශ සහ ඒවායේ සිංහල පරිවර්තන ද වරහන් තුළ එකතු කිරීමට ද කටයුතු කළෙමු. මහාචාර්ය කේ.එන්.ඕධර්මදාසගේ පෙළ වෙනස් නොකළේ එය නෛතිකව හා ආචාර ධර්මීයව අපට අයිති නොවන නිසාය. අප මූලාශ්‍ර නිසි පරිදි දැක්වූ අතර උපුටා පල කරන්නේ නම් අපගේ මූලාශ්‍රය සහ එම මූලාශ්‍ර නිසි පරිදි දක්වන ලෙස සඳහන් කළෙමු. 

කාලීන අවශ්‍යතාව මත මුළු ලිපිය 2018.04.10 දින යළි පල කළෙමු. පල කර ආපසු හැරෙන්නටත් පෙර රසික කොටුදුරගේ නමින් 2018.04.22 දිනසිට අපගේ හැඳින්වීමද සහිතව එය සිළුමිණ ‘විවර’ ශාස්ත්‍රීය සංග්‍රහයේ සතිපතා පලවන්නට පටන් ගනී. මුල් දිනයේම පරිවර්තකයා වන මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසගේ නම කුඩා අකුරින් ඇත්තේ හැඳින්වීමේ පමණි. නමුත් රසික කොටුදුරගේ ගේ  නම ලොකු අකුරින් ප්‍රදර්ශනය කෙරේ. මහාචාර්ය ඔබේසේකර ලියා මහාචාර්ය ධර්මදාස පරිවර්තනය කල ලිපියට ඔහු තම නම දමාගන්නේ ඇයිදැයි පැහැදිළි කර දිය යුතුය. දෙවෙනි දිනයට එන විට  මහාචාර්ය ධර්මදාස මෙම  ලිපිය පරිවර්තනය කර නැත. සඳහන් වන්නේ “සංවාදය” අහවලා විසින් බවයි. ඉන් හැඟවෙන්නේ මහාචාර්ය ඔබේසේකර සමග සංවාද කර සකස් කලේ ඔහු විසින් බවයි. ඊලඟ සති දෙකට එන විට මහාචාර්ය ධර්මදාස ලිපිය පරිවර්තනය කර නැතුවා පමණක් නොව මහාචාර්ය ඔබේසේකර එවැනි ලිපියක් ලියා ද නැත.ලිපිය ලියා ඇත්තේ රසික කොටුදුරගේ යැයි ඇඟවෙන අයුරින්  ඔහුගේ නම ලොකු අකුරින් ඇත. ඒ මහාචාර්ය ඔබේසේකරගේ කතාවක් දෙසුමක් ඇසුරිනි (කුඩා අකුරින් ඇත). හරියට ඔහු 2002 වර්ෂයේ  බාත් ස්පා විශ්ව විද්‍යාලයේ  පැවති බුදුදහම පිළිබඳ සමළුවට ගොස් මහාචාර්ය ඔබේසේකරගේ දේශනය වාර්තා කරගෙන විත්  ලියා පලකල සේය. මේ සියලු ක්‍රියා අනුන්ගේ බුද්ධිමය දේපලකට තමන්ගේ නම රිංගවා ගැනීමටය. මහාචාර්ය ඔබේසේකර සහ මහාචාර්ය ධර්මදාස යන දෙදෙනා ගේ බුද්ධිමය ව්‍යායාමයන් තමන් ගේ ඒවා ලෙසින් ඇඟවීමේ ක්‍රමය සම්පූර්ණ වීමට ලිපියේ අන්තර්ගතය ද වෙනස් විය යුතු හෙයින් එසේ කරන්නේ අපගේ බ්ලොග් පිටුවේ මෙම ලිපියේ ගැටළු ඇති තැන් සඳහා අප වරහන් තුළ දැක්වූ සිංහල පරිවර්තන කොටස් ඔහුගේ සිළුමිණ ලිපියේ පෙළට එකතු කර ගනිමින් සහ වෙනත් සංශෝධන ද කරමිනි.  එසේ නොදන්නා දේ කරන්නට ගොස් යම් තැනෙක ලිපියේ මුල් අරුත් පවා විකෘති කර ඇත.

මෙසේ කිරීමෙන් ඔහු බුද්ධිමය අයිතිය පිළිබඳ නීති  මෙන්ම මාධ්‍ය අචාර ධර්ම දඋල්ලංඝණය කර ඇති බව අපගේ හැඟීමයි. මේ ගැන අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමටඔබට යොමු කරමු (අපගේ බ්ලොග් පිටුවේ සහ ඔහුගේ පුවත්පත් ලිපි වල අදාළපිංතූර අමුණා ඇත). 

‘කතිකා’ අධ්‍යයන කවය

පිටපත්:

1. කර්තෘ මංඩල අධ්‍යක්ෂ, ලේක්හවුස්
2. සභාපති, ලේක්හවුස්

Advertisements