මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම්  (නුස්‌බවුම්) ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ.  එම සාකච්ඡාවට අපගේ මැදිහත්වීම ආරම්භ කරමින්,  2012 දී අප පළ කළ ලිපියකින් උපුටා ගත් කොටස් පහත යළි පළ කරන්නෙමු.

 

Screen Shot 2018-08-08 at 8.22.01 PM
මාර්තා නස්බවුම්

මාර්තා නුස්බවුම්ට  අනුව, අද කාලයේ, කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයක වඩාත් සුවිශේෂී දායකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රයන් රැකගැනීම සඳහා පුරවැසියන් සූදානම් කිරීම ය. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් හිතකර තත්ත්වයක පවත්වා ගැනීමට කේන්ද්‍රීය වන ශක්‍යතාවන් තුනක්‌ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය මඟින් මිනිසුන් තුළ අත්‍යාවශ්‍යයෙන් වර්ධනය කෙරෙන බව නුස්‌බවුම් තර්ක කරයි.  ඒවා නම්, තමා පිළිබඳව සහ තම සම්ප්‍රදායන් පිළිබඳව විචාරාත්මකව අධීක්‌ෂණය කිරීමේ හැකියාව, තමා ගෝලීය මානව ප්‍රජාවක පුරවැසියකු වශයෙන් දැකීමේ හැකියාව සහ ඒ තුළින් විවිධත්වයෙන් අනූන ලෝකයක්‌ තුළ අන් අයගේ පර්යාලෝකයන් තුළින් යමක්‌ දැකීමේ හැකියාව යි. වෙළඳපොළ ආර්ථීකයේ නියෝග යටතේ ලිබරල් කලාවන් නොසලකා හැරීම මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රයන් අවදානමකට ලක්‌ කරන ක්‍රියාවකි. මෙම ප්‍රවණතාව තව දුරටත් පැවතියහොත්, පරිපූර්ණ පුරවැසියන්ගෙන් යුත් පරම්පරාවන් බිහි කරනු වෙනුවට අප ප්‍රයෝජනවත් යන්ත්‍ර බිහි කරනු ඇත.

අප සමාජය තුළ ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයට සවිමත් ස්‌ථානයක්‌ ආරක්‌ෂා කර නුදුන්නොත් අපගේ ප්‍රජාතන්ත්‍රයන් පරිහානියට පත් වනු ඇතැයි නුස්‌බවුම්ගේ බිය සාධාරණ බව අපගේ ප්‍රජාතන්ත්‍රයන් පැරණි ඇතැන්ස්‌ නුවරට සමාන කරමින් ඇය ඉදිරිපත් කරන තර්කයට සවන් දීමේ දී හැඟේ. අපගේ ප්‍රජාතන්ත්‍රයන්, පැරණි ඇතැන්ස්‌ නුවරෙහි මෙන්, හදිස්‌සි සහ පිළිවෙළක්‌ නැති තර්කනයන්ගෙන් පිරී ඇත, එමෙන්ම මේවා සැබෑ විචාරණය සඳහා විවේචනය වෙනුවට ආදේශනයකි. පුවත්පත්වල පසුබැසීමත්, ශරීද කෑලිවලින් යුත් කථන-ගුවන් විදුලි සංස්‌කෘතියේ බලපෑම් වැඩි වීමත් සමඟ, අපගේ දේශපාලන සංස්‌කෘතියට සොක්‍රටීස්‌ගේ අවශ්‍යතාවය අන් කිසි කලෙකටත් වඩා තදින් දැනේ. විචාරාත්මකව වාද කිරීම මිනිසුන්ට වගකීම් සහගත වීමට ක්‍රමයක්‌ සලසයි. දේශපාලනඥයින් සරල වාගලංකරණයන් ගෙන හැර දක්‌වන විට, යම් මතවාදීමය පක්‌ෂපාතීත්වයක්‌ පදනම් කරගෙන ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම හෝ නොකර, ඔවුන් ඔවුන් වෙනුවෙන්ම සිතමින්, විමසමින්, තර්ක කරමින්, තමන් විසින්ම ඒවා අවබෝධ කරගනු ඇත. පක්‌ෂග්‍රාහී හැඟීම් වෙනුවට වාදය මූලිකත්වය ගන්නා විට මිනිසුන්ට එකිනෙකා සමඟ වඩා සාධාරණ ආකාරයකින් අන්තර්ක්‍රියා කිරීමේ හැකියාවත් ලැබේ. දේශපාලනික විවාද යනු තමන්ගේ පක්‌ෂයට වාසි ලැබිය හැකි අවස්‌ථාවක්‌ සේ දකිනු වෙනුවට, ඔවුන් විභාග කරනු ඇත, විමර්ශනය කරනු ඇත. අනෙකාගේ තර්කයට සහ තමාගේ තර්කයට පොදු වන දේ හඳුනා ගනු ඇත මේ සියල්ල අනෙකාට ගරු කිරීමටත්, අනෙකා තේරුම් ගැනීමටත් හේතුපාදක වනු ඇත.

විශ්වවිද්‍යාලය:  උත්තේජන සමුදුරක්‌ තුළ සන්සුන් බවේ අඩවිය

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සභාපතිනිය වන ඩෲ ගිල්පින් ෆවුස්‌ට්‌, විචාරාත්මක සිතීම වර්ධනයේ දී සහ මිනිසත්කම වගාකිරීමේ දී ලිබරල් කලා අධ්‍යාපනයේ භූමිකාව පිළිබඳව නුස්‌බවුම්ගේ අදහස්‌ හා පැහැදිලිවම එකඟ වන අතරම, උසස්‌ අධ්‍යාපනයේ භූමිකාව මූලික වශයෙන් ආර්ථීක සංවර්ධනයට රුකුලක්‌ වීම වශයෙන් හෝ ආසන්නතම සමාජයීය කරුණුවලට විසදුම් ලබාදීම වශයෙන් හෝ නිර්වචනය කිරීම මඟින් අප අපගේ ගැඹුරුම අවබෝධයන් බොහෝ විට මතුවන්නා වූ විමසීමේ ක්‍රම සහ වඩා පුළුල් ප්‍රශ්න පිළිබඳ අපගේ දැක්‌ම අවදානමකට ලක්‌ කරන බවට ඇගේ කනස්‌සල්ල ප්‍රකාශ කරයි. වර්තමානය මත ඉතා පටු ලෙස අවධාරණය කිරීම තුළින් සෑම කල්හිම උසස්‌ අධ්‍යයනයේ විශේෂ සැලකිල්ල වූ අතීතයත් අනාගතයත් දෙස බලන දීර්ඝ දැක්‌ම සහ අප දැනට ජීවත් වෙනවාට වඩා වෙනස්‌ ආකාරයකට ලෝකය පරිකල්පනය කිරීමේ හැකියාව විතැන් විය හැක.

ආර්ථීක වර්ධනය සහ විද්‍යාත්මක හා තාක්‌ෂණික දියුණුව ඕනෑම විශ්වවිද්‍යාලයක අරමුණු වුව ද, මේවා විශ්වවිද්‍යාලයේ දැක්‌මෙහි සමස්‌තය නොවිය යුතු බවට ෆවුස්‌ට්‌ තර්ක කරයි. විද්‍යාවේ අඩවිය තුළ, අප පිළිබඳව සහ අප ජීවත්වන හා අපට උරුම වී ඇති ලෝකය පිළිබඳව තේරුම් ගැනීමට ඇති ගැඹුරු මානුෂීය උවමනාව සුරැකීමටත්, තෘප්තිමත් කිරීමටත් විශ්වවිද්‍යාලවලට සුවිශේෂී යුතුකමක්‌ තිබේ.

ආර්ථීක වර්ධනය සඳහා යොමු වූ අධ්‍යාපනය පුරවැසියන් මොට වූ පරිකල්පනයන් සහිත යටහත් පහත්, කීකරු යන්ත්‍ර බවට හරවනු ඇතැයි නුස්‌බවුම් බිය වෙයි. විශ්වවිද්‍යාල ‘විශාල වශයෙන් උපකරණමය’ ආකෘතියක්‌ මත ක්‍රියාත්මක කිරීම තුළින් එහි සැබෑ ශක්‍යතාවයන් නොසලකා හැරෙන අතර, උත්තේජන නිර්මාණයට නැමුණු ලෝකයක්‌ තුළ විශ්වවිද්‍යාලය නිර්මාණය කරන සන්සුන්බවේ අඩවිය ද නොසලකා හැරෙන බව ෆවුස්‌ට්‌ තර්ක කරන විට ඇය නුස්‌බවුම්ගේ අදහස්‌ හා එකඟ වන බව පෙනේ. විශ්වවිද්‍යාල හුදෙක්‌ පුහුණු විද්‍යාල බවට පත් කිරීම තුළින්, විශ්වවිද්‍යාලයේ මූලික ප්‍රශ්න අසන්නකුගේ භූමිකාව යටපත් කරන බවත්, ඒ වෙනුවට සිසුන් තුළ ලෝකය කෙරෙහි, එහි ආසන්නතම ගැටළු විසඳීම මත කේන්ද්‍ර වූ, ආකල්පයක්‌ ඇති කර ගැනීමට හේතු වන බව ෆවුස්‌ට්‌ තර්ක කරයි. විශ්වවිද්‍යාලයේ මූලික කර්තව්‍යය වන්නේ සිසුන්ට තම සිතීම වර්ධනයට ඉඩ දීම ය, එමෙන්ම ඇයගේ ආකෘතියට අනුව මෙය හදිසි ගැටළු නිරාකරණය සඳහා සිසුන් පුහුණු කිරීමට වඩා වැදගත් වන බව පැහැදිලි වේ.

විශ්වවිද්‍යාලයේ සාරය: අර්ථකථනය හරහා අර්ථ ගොඩ නැඟීම

ෆවුස්‌ට්‌ ලිබරල් කලාවන්හි හදවතේ තිබෙන්නා වූත්, මානව ශාස්‌ත්‍රයන්ට මූලික වන්නා වූත්, එමෙන්ම බොහෝ විද්‍යාත්මක චින්තනයන්ට ද කේන්ද්‍රීය වන්නා වූත්, මානව අවබෝධයේ කේන්ද්‍රීය හැකියාවක්‌ කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි, එනම්, අර්ථකථනය කිරීමේ හැකියාව, අවට ලෝකය සම්බන්ධයෙන් අරුතක්‌ නිර්මාණයට ඇති හැකියාව යි. අධ්‍යාපනය හුදෙක්‌ ආර්ථීක වර්ධනයට මෙවලමක්‌ වශයෙන් සැලකීම, අප සියල්ලන්ම අර්ථදක්‌වන්නන් බව නොසලකා හරින අතර, සමහර දේවල් හුදෙක්‌ ‘දත්ත’ පිළිබඳව නොව, තේරුම් ගැනීම සහ අර්ථය පිළිබඳ වන බව ද නොසලකා හරියි.

උදාහරණ වශයෙන් විනිසුරුකරුවන් නඩු විභාගයක දී හුදෙක්‌ දත්ත වාස්‌තවිකව නිරීක්‌ෂණය කර, සාධාරණ ලෙස එදෙස බලා තීරණ ගන්නේ නැත, ඔවුන්ට පවා මිනුම් මත නොව අර්ථය මත පදනම් ව යම් තේරීමක්‌ කිරීමට සිදු වන බව ෆවුස්‌ට්‌ පෙන්වයි. ආර්ථීක විද්‍යාවේ අඩවිය තුළ, නිශ්චිත බව සඳහා අප තුළ ඇති දැඩි කැමැත්ත අපගේ අවබෝධය අභිබවා යන විට, සියලු ක්‌ෂේත්‍රවල අපගේ ආකෘති අනවශ්‍ය ලෙස ආදේශ කිරීමේ ප්‍රවණතාවක්‌ අප තුළ ඇත. කෙසේ වෙතත්, වත්මන් ආර්ථීක අර්බුදය වැනි අවස්‌ථා තේරුම් ගැනීමේ දී වෙළඳපොළ… යම් මට්‌ටමක අර්ථකථනයක්‌ අපේක්‌ෂා කරයි. එමෙන්ම ආර්ථීක විද්‍යාඥයින් පවා මිනිසුන්, පැහැදිලි වාසි සම්බන්ධයෙන්, අත්‍යවශ්‍යයෙන්ම තාර්කිකව හැසිරෙන්නේ නැති බව හඳුනා ගෙන ඇත යි ෆවුස්‌ට්‌ දක්‌වයි.

ෆවුස්‌ට්‌ට අනුව අර්ථකථනය තුළින් එන අවබෝධය, විශ්වවිද්‍යාලයක සාරය තුළ පවතී. අර්ථය යන්න අර්ථකථනය කිරීම හා සම්බන්ධ වේ. එය හුදෙක්‌ නවෝත්පාදන හා නව සොයාගැනීම් හරහා පමණක්‌ නොව, නැවත උත්පාදන, නැවත අධීක්‌ෂණ, නැවත සොයාබැලීම් හරහා ද ලෝකය සහ අප පිළිබඳව තේරුම් ගැනීම හා සම්බන්ධ වේ. එය අලුත් සන්දර්භයන් තුළ අපට අමතක ව තිබූ දෙය මතක්‌ කර ගැනීම හා සම්බන්ධ වේ අපට කලින් දැකිය හෝ ඇසිය නොහැකි වූ අප ඇස්‌ ඉදිරියේ තිබෙන දේවල් දැකීමත්, ඇසීමත් හා සම්බන්ධ වේඳ එය බුද්ධිමතුන් තුළ පවා නැවත නැවත අවධි කළ යුතු ප්‍රඥාව හා සම්බන්ධ වේ.

ලිබරල් කලාවන් සහ සමාජයේ ආචාරධර්මීය පදනම

ලෝකය කෙරෙහි ආචාරධර්මීය වගකීම පිළිබඳ හැඟීමක්‌ වර්ධනය කිරීමෙන් තොරව, අධ්‍යාපනය හරහා කෙනෙකුගේ හැකියාවන් හා දක්‌ෂතාවයන් වර්ධනය කිරීම මිනිසුන් ලෝකයට අහිතකර ස්‌වරූපයන් ගැනීමට හේතු විය හැක. ලිබරල් කලා අධ්‍යාපනය රැකගැනීම සඳහා අවශ්‍යතාවය ගෝලීය වශයෙන් වැදගත් වන්නේ, අප ජීවත්වන්නේ ව්‍යාපාර සිට දේශපාලනයේ සිට ක්‍රීඩා දක්‌වා පොදු ජීවිතය තුළ ආචාරධර්ම හිඟ කාලයක නිසා ය.

ඩරීලින්හි ටි්‍රනිටි විද්‍යාලයේ හිටපු ශාස්‌ත්‍රාලීය ලේකම් වූ ඩරීලිව්. සෝල්ටර්ස්‌ ස්‌ටලිං තර්ක කරන පරිදි, ලෝකය කෙරෙහි කෙනෙකු තුළ ඇති වගකීම් යටපත් කරන ආකාරයේ වෘත්තීය ජීවිතයේ අංශවල ක්‍රියාවලීන් හමුවේ, සාමූහික ජීවිතයේ ආචාරධර්මීය පදනම රැකගැනීමට සුවිශේෂී වැදගත්කමක්‌ හිමි වේ. සදාකාලික වශයෙන් නිවැරදි හැසිරීම්, නිවැරදි සම්බන්ධතා හා නිවැරදි අවබෝධය ගොඩනඟන්නේ කුමක්‌ ද යන්න පිළිබඳව නිරන්තර ආවර්ජනය යන අදහසින් ආචාරධර්ම තේරුම් ගන්නේ නම්, ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍රයන් සමාජයට අවශ්‍ය ආචාරධර්මීය පදනම නිර්මාණයටත්, පවත්වා ගැනීමටත් උදව් වේ. ආචාරධර්ම පිළිබඳ අවබෝධයක්‌ ඇති වන්නේ කළ යුතු හොඳ සහ නිවරදි දෙය පිළිබඳව නිරන්තරයෙන් ආවර්ජනය කිරීම තුළිනි. එබඳු දැනුමක්‌ ලබා ගැනීමට බොහෝ ක්‌ෂේත්‍රයන්හි අත්දැකීමක්‌ අත්‍යවශ්‍ය වේ. එම නිසා, මානව ශාස්‌ත්‍රයන් යනු සෞභාග්‍යයෙන් සහ සතුටින් යුත් ප්‍රජාවක්‌ ඇති කිරීමට අත්‍යාවශ්‍ය ආචාරධර්මය පදනම් දමන්නා වූ, විවිධ ක්‌ෂේත්‍ර හා වෘත්තීයන් අතර පමණක්‌ නොව විශ්වවිද්‍යාලය, සමාජය සහ දේශපාලන පක්‌ෂ අතර පවා දිවෙන අඛණඩ කතාබහක්‌ වන නිසා, ඕනෑම ආණඩුවක්‌ තාක්‌ෂණය කෙරෙහි දක්‌වන සැලකිල්ලට සමාන සැලකිල්ලක්‌ මානව ශාස්‌ත්‍රයන් සඳහා ද දිය යුතු ය.

සාමූහික ජීවිතයේ ආචාරධර්ම පිළිබඳ ගැටළුව අදාළ වන්නේ මෑතකාලීන ආර්ථීක අර්බුදයට පමණක්‌ නොව, ලෝකය කෙරෙහි වගකීමකින් තොරව විද්‍යාත්මක පර්යේෂණ සහ නිෂ්පාදන කරන විද්‍යාඥයින්ගේ භූමිකාවට ද මෙය අදාළ වේ.

9780674179493-lgනුස්‌බවුම් පෙන්වා දෙන පරිදි, ආර්ථීක වර්ධනයට සියලු අධ්‍යාපන ක්‌ෂේත්‍ර අදාළ කිරීමේ අදහස ජයගතහොත්, මානව පරමාර්ථවලට විද්‍යාත්මක දියුණුවට සහ කාර්මික ප්‍රගතියට වඩා පහළ අගයක්‌ හිමි වනු ඇත. ආර්ථීක වර්ධනය තුළ සහ ලාභ අපේක්‌ෂාවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපනය තුළ විද්‍යාවන්ට සහ කාර්මික අධ්‍යාපනයට හිමිවන වැදගත් ස්‌ථානය සලකා බැලීමේ දී හොඳ විද්‍යාත්මක සහ කාර්මික අධ්‍යාපනයකට විරෝධය පෑ නොහැකි නමුත්, විද්‍යාවන්ගේ සහ සමාජයීය විද්‍යාවන්ගේ මානුෂීය අංග පවා ලාභ ලැබීමේ දැඩි හදිසිය නිසා යටපත් කෙරෙන බව සඳහන් කිරීම වැදගත් වනු ඇත.

Screen Shot 2018-08-08 at 8.36.40 PMලිබරල් කලාවන් වර්ධනයට උපකාරී වන පරිකල්පනික සහ නිර්මාණශීලී අංග මෙන්ම විචාරාත්මක සිතීමේ අංග නොමැතිව, විද්‍යාවන් සහ සමාජයීය විද්‍යාවන් පවා හුදෙක්‌ වෙළඳපොළ දියුණුව සඳහා, ලෝකයත් මිනිසත්බවත් අවදානමකට ලක්‌ කරන, මෙවලම් පමණක්‌ වනු ඇත. අප අන් අයගේ තත්ත්වයන්ට අවතීර්ණ වී විවිධ පර්යාලෝකයන්ගෙන් දේවල් දෙස බැලීම තුළින්, ලෝකයේ කටයුතුවල දී මැදිහත්වීමට අප තුළ ඇති කැමැත්ත පිළිබඳව, අපගේ නිපැයුම් පිළිබඳව, අපගේ වෙළඳාම් පිළිබඳව, අපගේ න්‍යායන්, මතවාදය සහ සැලසුම් පැනවීම් පිළිබඳව සහ මේවායින් ලෝකයට ඇති බලපෑම පිළිබඳව විමසා බැලීමට හැකි වේ.

ආචාරධර්මය හැඟීමකින් පාලනය නොකෙරුණු විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ගැටළුව, ක්‌ලෝන් කිරීම සහ ජාන ඉංජිනේරු විද්‍යාව වැනි අලුත් විද්‍යාත්මක වර්ධනයන්ගේන් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ද මතු කෙරේ. මීට සමානවම, අලුතින් බිහිවන තාක්‌ෂණයන්ගෙන් මානව යහපැවැත්මට එල්ල විය හැකි අනිසි ප්‍රතිඵල පිළිබඳව සැලකිළිමත් වන විද්‍යාඥයින්ගේ සහ චින්තකයින්ගේ අවධානය යොමු වී ඇති ක්‌ෂේත්‍රයකි, ජංගම දුරකතනවලින් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලුවල ජීවවිද්‍යාත්මක බලපෑම්.

සමාජය කෙරෙහි ආචාරධර්ථිය වශයෙන් වගකීම් සහගත හැඟීමක්‌ වර්ධනය කිරීම ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍රීය අධ්‍යාපනයේ සුවිශේෂී අගයෙහි කොටසක්‌ බව ලිපියේ ඉහත කොටසේ දී තර්ක කෙරිණ. ලිපියේ මීළඟ කොටසේ දී, ශිෂ්ටාචාරය යළි පණගැන්වීමේ ක්‍රියාවලිය වශයෙන් අධ්‍යාපනය දෙස බලන, කලාවන්ගෙන් සහ මානව ශාස්‌ත්‍රයන්ගෙන් ලෝකයට ඇති බලපෑම ආවරණය කරන හනා ආරන්ඩ්ට්‌ගේ අදහස්‌ ආශ්‍රයෙන් අධ්‍යාපනය පිළිබඳව වඩා පුළුල් අවබෝධයක්‌ ලබාගැනීමට උත්සහ කරමු.

ලෝකය රැකගැනීමෙහි දී අධ්‍යාපනයේ භූමිකාව: ආරන්ඩ්ටියානු දැක්‌ම

hannah-arendt-in-1966-portrait-by-photographer-fred-stein-1909-1967-DADPBF
හනා ආරන්ඩ්ට්

ආරන්ඩ්ට්‌ගේ අදහසට අනුව, අධ්‍යාපනය යනු, වෘත්තියමය හෝ රැකියා පුහුණුවට වෙනස්‌ව, ලෝකය සහ ශිෂ්ටාචාරය යන දෙකම ආරක්‌ෂා කෙරෙන අන්දමින්, ශිෂ්ටාචාරයන් සම්ප්‍රදායිකව තරුණ පරපුරට ලෝකය හඳුන්වා දුන් ආකාරය යි. පොදු ජීවිතය සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අධ්‍යාපනය ඔවුන්ට ලෝකය හඳුන්වා දෙයි. මෙම විවරණයට පුරවැසියකු යනු පොදු කතාබහට අලුත් කටහඬක්‌ එකතු කරන්නෙකු යන අදහස සම්බන්ධ වේ. නිසි ආකාරයේ අධ්‍යාපනය පවතින විට පොදු අවකාශය තුළ සිටින පුරවැසියන් පොදු ලෝකයේ කතිකාවතේ නියෑලෙන සහ ක්‍රියා කරන විට උද්ගත වන බහුවිධතාව අතරෙහි, අලුත් අය ‘ලෞකිකබවේ සීමා’ තුළ ස්‌ථාන ගත වේ.

අලුත් අයගේ පිවිසීමත් සමඟ ලෝකය අලුත් වේ, එසේ නොවන්නේ නම් ලෝකය ස්‌වභාවික මරණයකින් අවසන් වනු ඇත. අලුත් සාමාජිකයෝ ලෝකයට ඇතුළු වී, වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙනී සිටීමටත්, තම අනන්‍ය පුද්ගලභාවය කියා පෑමටත් උත්සාහ කරති. මේ අයට ලෝකය තුළට ඇතුළු වීමටත්, එහි කටයුතුවලට මැදිහත් වීමටත් ඇති දැඩි වුවමනාව නිසා වෙනස්‌වීම් උද්ගත වේ. ‘පාසලේ කාර්යභාරය වන්නේ දරුවන්ට ලෝකය මොන වගේ ද යන්න කියා දීම මිස, ජීවත්වීමේ කලාව පිළිබඳව උපදෙස්‌ දීම නොවේ.’

ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ආරන්ඩ්ටියානු දැක්‌මට අනුව, අලුත් අයට අනන්‍ය වූ චරිතයක්‌ ගොඩනඟා ගත හැක්‌කේ අතීතයෙන් සහ සම්ප්‍රදායන්ගෙන් පැවත එන පවතින ලෝකයට සාපේක්‌ෂව පමණි. අධ්‍යාපනයේ කර්තව්‍යය වන්නේ වර්තමානය ආලෝකවත් කරන ආකාරයේ නව දෙයක්‌ අතීතය තුළින් සැකසිය හැකි ආකාරයට අතීතය පිළිබඳව කියා දීම ය. විධිනියමයන් කියා දීම හරහා තරුණයින් සම්ප්‍රදාය මඟින් බැඳ තබාගැනීමක්‌ මින් අදහස්‌ නොවේ. විධිනියමයන්ට ඔවුන්ගේ ලක්‌ෂණ නිර්ණය කර නොහැකි අතරම, ඔවුන්ට තම ජීවිත ගත කළ යුතු ආකාරය පිළිබඳව නිරවද්‍ය ලෙස උපදෙස්‌ දීමටත් හැකියාවක්‌ නැත.

පුරවැසියන් වීමට අවශ්‍ය හැකියාවන්ගෙන් පරිපූර්ණ වන්නේ ලෝකයට නිසි ආකාරව හඳුන්වා දෙනු ලැබූ අය ය. පුරවැසියකු වීමට හැකියාව තීබීම යනු තමන්ගේ ලෝකය හැඳිනීමත්, ලෝකයට යළි පණගැන්විය යුතු අතීතයක්‌ සහ සම්ප්‍රදායන් තිබෙන බව තේරුම් ගැනීමත් ය. අලුත් දෙයෙහි නැවුම් බව පවත්වාගත හැකිවන්නේ අලුත් අයට පැරණි සම්ප්‍රදායේ උසස්‌ම දේ හඳුන්වා දීමෙනි. මේ අනුව අපට ලෝකය ආරක්‌ෂා කරගැනීමටත්, සම්ප්‍රදාය අලුත් ආකාරවලින් අලුත් අය තුළ ජීවමාන වන පරිදි සම්ප්‍රදායේ ආලෝකයෙන් ඔවුන්ට තමන් හැඩගස්‌වා ගැනීමට අවස්‌ථාව සැලසීමටත් හැකි වනු ඇත. ඔවුන් අතීතයටත්, සම්ප්‍රදායටත් හඳුන්වා දීම තුළින්, තරුණ අයට තමා ස්‌ථානගත ව සිටින අවකාශයට, එනම් ‘ඔවුන්ගේ ලෝකයට,’ සාපේක්‌ෂව ඉතිහාසය තුළ ඔවුන්ගේ ස්‌ථානය පිළිබඳව හැඟීමක්‌ ද ලබා දෙයි. තරුණ අයෙකුට තම හඬ සොයාගත හැකිවන්නේ අධ්‍යාපනය තුළින් ඔහුට ඉදිරිපත් කෙරෙන ලෝකයේ ආලෝකයෙනි.

කෙනෙකුගේ හඬ පවතින කතාබහට අලුත් හඬක්‌ වශයෙන් අර්ථවත් ආකාරයකින් එකතුකිරීමට නම්, පවතින කතිකාවලට අනුව ලෝකය ගොඩනඟන්නේ මොනවා ද, ඉතිහාසය පුරාවට ඒවා වර්ධනය වී ඇත්තේ කෙසේ ද, සහ ස්‌වාධීන හඬවල් රැව් දෙන අදහස්‌වලින් යුත් සංකල්පීය ලෝකය ද තේරුම් ගැනීමට හැකි විය යුතු ය.

අධ්‍යාපනය තුළින් සිදු වන්නේ ලෝකය අපට ඉදිරිපත්වන පර්යාලෝකයන්ගේ බහුවිධතාව අලුත් අයට තේරුම් ගත හැකි වන පරිදි, තම අතීතය සහ සම්ප්‍රදාය හරහා පොදු ලෝකය තුළ හමුවන කතාබහට තරුණ අය හඳුන්වා දීම ය. කතාබහට නව හඬවල් හඳුන්වා දීමෙන් ලෝකයේ බහුවිධතාව ආරක්‌ෂා නොකළොත් අප ජීවත් වන පොදු ලෝකය විනාශයට පත් වනු ඇති අතර, එබඳු හඬවල් හැඩගැසීමට නම් ‘පුරවැසියන් හැඩගස්‌වන’ අධ්‍යාපනයක්‌ අවශ්‍ය වේ. සාම්ප්‍රදායිකව අධ්‍යාපනය යන්නෙහි අරුත වූයේ මෙය යි, එබඳු අධ්‍යාපනයක අරමුණු සපුරන්නේ ලිබරල් කලාවන් සහ මානව ශාස්‌ත්‍රයන් ය.

– කුමුදු කුසුම් කුමාර

සම්පූර්ණ ලිපිය සඳහා බලන්න,

https://kathika.wordpress.com/2012/08/04/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F/#more-3363

https://kathika.wordpress.com/2012/08/09/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7-2/#more-3401
 

http://www.divaina.com/2012/08/02/sarasavi%204.html

http://www.divaina.com/2012/08/09/sarasavi%205.html

Advertisements