බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව – 2

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට දායකත්වය සපයන තවත් ලිපියකින් උපුටා ගත් කොටස් පහත දක්වමු. එම ලිපිය මුල් වරට පළ කරන ලද්දේ, 2012 දී ය.


බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මාර්තා නස්බෝම්

පරිවර්තනය: ලියනගේ අමරකීර්ති

පරීක්ෂාවට  ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයෙකුට ජීවත්වීමට නොවටිනා ජීවිතයකි”යි සොක්‍රටීස් කියා සිටියේය. උද්යෝගවත් අලංකාරිකයට හා සංශයවාදී තර්කනයට කැමැත්තක් දැක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී විචාරාත්මක ප‍්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය වෙනුවෙන් සොක‍්‍රටීස් සිය ජීවිතය අහිමි කර ගත්තේය. ඔහු සැපයූ ආදර්ශය අද දවසේ බටහිර සම්ප‍්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන අතර සොක‍්‍රටීස් හා සම්බන්ධ අදහස් ඉන්දියාවේ හා තවත් බටහිර නොවන රටවල අධ්‍යාපනය සඳහාද කේන්ද්‍රීය වේ. සියලු උපාධි අපේක්ෂකයන්ට දර්ශනය හා මානවශාස්ත‍්‍රවලට අයත් අනෙක් විෂයයන්ගෙන් සැදි පාඨමාලා එකතුවක් ඉගැන්විය යුතු යැයි සමහර අය විසින් අවධාරණය කරනු ලබන්නට එක් හේතුවක් නම් එවැනි පාඨමාලාවල අන්තර්ගතය සේම ශික්ෂණ විද්‍යාව විසින් තමන්ම සිතන්නට හා තර්ක කරන්නට ශිෂ්‍යයන් උත්තේජනය කෙරෙන බවට පවත්නා විශ්වාසයයි. එනම් ඔවුන් සම්ප‍්‍රදායට හා අධිකාරියට ගරු කොට පසුබා නොසිට ස්වාධීනව සිතන්නට ඒ විෂයයන් අනුබල දෙතියි යන විශ්වාසය නිසාය. එසේ සොක‍්‍රටීස් ක‍්‍රමයට තර්ක කරන්නට හැකිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා වැදගත් බව සොක‍්‍රටීස් කී සේම ඔවුහුද විස්වාස කරති.
…………

ආර්ථික වර්ධනය උපරිම කිරීම වෙත නැමුණු ලෝකයක මෙම සොක‍්‍රටික පරමාදර්ශය අනතුරට මුහුණ පා ඇත. අපට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රමාණ කළ හැකි ආකාරයේ විකිණිය හැකි නිෂ්පාදනයක් නම් තමන්ම ස්වාධීනව සිතීමේ හා තර්ක කිරීමේ හැකියාව අනවශ්‍ය දෙයක් යැයි ඇතැමෙකුට පෙනීම පුදුමයක් නොවේ.
……………..

සොක‍්‍රටීස් හැදුණු වැඩුණු ඇතීනියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සිතන්න. එහි ආයතන බොහෝ අංශවලින් අගය කළ යුතු තත්ත්වයක විය. පොදු වැදගත්කමකින් යුතු ගැටලු ගැන විවාද කරන්නට සියලු පුරවැසියන්ට අවස්ථාව වූ බැවිනි; ජන්දය දීමෙහිද ජූරි පද්ධතියෙහිද සහභාගිවන්නට පුරවැසියාගේ සහභාගිත්වය අවධාරණය කෙරුණ බැවිනි. සැබවින්ම ඇතන්සය කිසිම නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා කෙතරම් නම් ගමන් කළේද යත් හමුදා අණදෙන නිලධාරියා හැර අනික් සියලු නිලවලට තෝරා ගැනුණේ ලොතරැය්යකිනි.

…………………

තමන්ම පරීක්ෂාවට ලක් කර ගැනීමට අසමත් පුද්ගලයන් සම්බන්ධ තවත් ගැටලුවක් නම් ඒ අය ඉතා පහසුවෙන් අන් අයගේ බලපෑම්වලට ලක්වීමයි. කතාවෙන් ජනප‍්‍රිය වූ ජනතාව නොමග යවන්නෙකු දක්ෂ ලෙස ඇතන්ස්වරුන් ඇමතූ විට ඔහු ඉදිරිපත් කරන තර්ක කිසිම පරීක්ෂාවකට ලක් නොකළ ඔවුහු ඉතා පහසුවෙන් ඔහුගේ පැත්තට හැරුණහ. ඒ වගේම තමන්ට ගන්ට අවශ්‍ය ආස්ථානය කුමක්දැයි තෝරාබේරා නොගෙන අරිට ප‍්‍රතිවිරුද්ධ ආස්ථානය වෙතද ඔවුන් ඉතා ඉක්මනින් ආපහු හරවා ගන්නට හැකිවිය. ……………

කෙනෙකු කරන තර්කය අවධානයේ කේන්ද්‍රය නොවූ විට තර්කයේ රාමුව විසින් හෝ කථිකයාගේ ගරුනම්බුව විසින් ජනයා යම් පැත්තකට තල්ලූ කරනු ලබති. නැතිනම් සමපදස්ථයන්ගේ සංස්කෘතිය ඒ කථිකයා කියන දේ අනුව යන නිසා ජනයාද ඔහු සමග යති. මීට වෙනස්ව, සොක‍්‍රටික විචාරාත්මක පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අධිකාරවාදීත්වයෙන් තොරය. කථිකයාගේ තරාතිරම ගණන් නොගැනේ. වැදගත් වන්නේ තර්කයේ ස්වභාවයයි.
……………
දර්ශනය උගන්වන ගුරුවරුන් අධිකාරි බලය සහිත පුද්ගලයන් සේ පෙනී සිටින්නේ නම් ඔවුහු සොක‍්‍රටීස්ගේ උරුමය පාවා දෙති. සොක‍්‍රටීස් ඇතන්ස් නගරය වෙත ගෙන ආවේ ප‍්‍රජාතාන්ත‍්‍රික විවේචනයට ඉඩ ඇති බව හා නිහතමානයයි. පන්තිය, ප‍්‍රසිද්ධිය හා ගරුනම්බුව කිසිම ගණනකට නොගැනෙන අතර ගණන් ගැනෙන්නේ නගනු ලබන තර්කයයි.

එසේම තර්කයේදී සමපදස්ථයන්ගේ කණ්ඩායමද ගණන් නොගැනේ. සොක‍්‍රටික තර්ක කරන්නා යනු ස්ථිර විරුද්ධ මතිකයෙකු වන අතර ඔහු හෝ ඇය දකින්නේ තනි පුද්ගලයා තර්කය සමග පොර බැදීම පමණි. අහවල් දේ ගැන අහවල් විදියට සිතන කීදෙනෙකු සිටීද යන කාරණය වැදගත් නැත. අංක වෙනුවට තර්ක වටහා ගැනීම උදෙසා පුහුණු වූ පුද්ගලයෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක සිටිය යුතු හොඳ පුද්ගලයෙකි; එවන් පුද්ගලයෙකු යනු වැරදි යමක් හෝ හදිසි යමක් කීමට ඇති පීඩනයට එරෙහිව නැගී සිටින්නෙකි.

පරීක්ෂාවට ලක් නොකරන ලද ජීවිත ගත කරන මිනිසුන් නිසා ඇති වන තවත් ගැටලුවක් නම් ඔවුන් එකිනෙකාට ගෞරවයෙන් තොරව සැලකීමයි. දේශපාලන විවාදය යනු තමන්ගේ පිළට ලකුණු රැස් කරන ක‍්‍රීඩා තරගයක් යැයි මිනිසුන් සිතන විට ඔවුන් අනික් පාර්ශ්වය සතුරන් සේ දකින්නටත්, ඔවුන්ගේ පරාජය නැත්නම් අවමානය අපේක්ෂා කරන්නටත්, ඉඩ ඇත. එක`ගතාවකට එන්නට හෝ ”පොදු තැනකට” ආයුතුය යන්න එවැනි අයට සිතෙන්නේ නැත.
……….

එහෙත් ස්ථාවරව පැවතීමට කැමති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පරමාර්ථය හුදෙක් ආර්ථික වර්ධනය විය නොහැකි බවත් එය එසේ නොවි විය යුතු බවත් අපි කීවෙමු. ඒ නිසා අපි නැවතත් අපේ ප‍්‍රධාන මාතෘකාව වෙත යමු. එය නම් දේශපාලන සංස්කෘතියයි. අප දුටු පරිදි මනුෂ්‍යයෝ අධිකාරිත්වයට හා සමපදස්ථයන්ගේ පීඩනයට ගොදුරුවීමට නැඹුරුවක් දක්වති. මේ නැඹුරුවට ප‍්‍රතික‍්‍රියා කිරීම සඳහා පුද්ගලයාගේ විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමේ සංස්කෘතියක් නිර්මාණයෙනි සමාජයේ පවත්නා කුරිරුකම් වැලැක්විය හැක්කේ. සොලමන් ඈශ්ච් සිය අධ්‍යයනයෙන් සොයා ගත් හැටියට ඔහුගේ අධ්‍යයනයට ලක් වූ කණ්ඩායමේ එක් පුද්ගලයෙකු හෝ සත්‍යය වෙනුවෙන් ඉදිරිපත් වූ විට එක් විචාරාත්මක කට හඬකට අර්ථසම්පන්න වෙනස්කම් ඇති කළ හැකි බව පෙන්වමින් තවත් අය ඔහු අනුගමනය කළහ. ඒ නිසා සෑම පුද්ගලයෙකුගේ ක‍්‍රියාකාරී කටහ‍‍ෙඬෙහි වැදගත්කම අවධාරණය කරමින් අප කරන්නේ වගකීම් සහගතවීමේ සංස්කෘතියක් ප‍්‍රවර්ධනය කිරීමයි. මනුෂ්‍යයන් තමන්ගේ අදහස් යනු තමන්ගේම වගකීමක් ලෙස දකින විට ඔවුන් තමන්ගේ ක‍්‍රියාවන්ද එපරිදිම තමන්ගේ වගකීමක් සේ දකින්නට ඉඩ ඇත. නිසැක වශයෙන්ම මේ වූකලි රවින්ද්‍රනාත් තාගෝර් සිය ජාතිකවාදය නම් පොතේදී සමාජ ජීවිතය නිලධාරිතන්ත‍්‍රකරණය හා නූතන රාජ්‍ය්‍යන්හි යන්ත‍්‍ර වැනි ජීවිතය මිනිසුන්ගේ ආචාරධාර්මික පරිකල්පනය මරා දමා ඔවුන් හෘදයසාක්ෂියේ වේදනාවක් නැතිව කුරිරුකම් අනුමත කරන්නට යොමු වන තත්ත්වයට පත් කර ඇතැයි කියමින් නැගූ තර්කමය. ලෝකය කෙලින්ම විනාශය වෙත යොමු නොවීමට නම් චින්තනයේ නිදහස තිබිය යුතු බවද ඔහු එහිලා කීවේය. 1917 වර්ෂයේදී ඔහු ජපානයේදී කළ කතාවේදී ”ආත්මය හැකිලී යාමෙන් සිදු වන ක‍්‍රමික සිය දිවි නසා ගැනීම” ගැන ඔහු කතා කළේ මිනිසුන් තමන් දැවැන්ත මැසිමක කොටස් සේ භාවිත කරනු ලැබීමටත් ‘ජාතික බලය’ පිළිබඳ ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමටත් ඔවුන් විසින්ම අවසර දෙනු ලැබ ඇති බව කියමිනි. මේ අනර්ථදායක ප‍්‍රවණතාව නැවැත්විය හැකි නම් එය කළ හැක්කේ ශක්තිමත් විචාරාත්මක මහජන සංස්කෘතියකට පමණි.

සොක‍්‍රටික චින්තනය ඕනෑම ප‍්‍රජාතාන්ත‍්‍රවාදී සමාජයකදී වැදගත් වන දෙයකි. ජනවාර්ගිකත්වය, කුලය, හා ආගම යනාදියෙන් වෙනස් ජනතාවන්ගේ පැවතීම යන යථාර්ථය පිළිගැනීමට තැත් කරමින් සිටින සමාජවලට මේ චින්තනය විශේෂයෙන් වැදගත්ය. තර්ක කිරීම පිළිබඳ කෙනෙකුගේ වගකීම ඒ කෙනාම දරන්නේය යන අවබෝධය හා තර්ක කිරීම පිළිබඳ අන්‍යෝන්‍ය ගෞරවය සහිත වාතාවරණයක අදහස් හුවමාරු කරගැනීම යනු යම් රටක් තුළද ජනවාර්ගික හා ආගමික ගැටුම් නිසා වඩ වඩාත් ද්‍රවීකරණය වන ලෝකයකද එකිනෙකා අතර වෙනස්කම් පිළිබඳ සාමකාමී විසඳුම් ඇති කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන දෙයකි.

…..

නිදහස් අධ්‍යාපනයක් සොක‍්‍රටික වටිනාකම් උගන්වන්නේ කෙසේද? විශ්වවිද්‍යාල මට්ටමේදී මේ ප‍්‍රශ්නය සැලකිය යුතු තරම් හොඳින් අවබෝධ කර ගැනේ. ආරම්භයක් වශයෙන්, ශිෂ්‍යයන් යමක් පරීක්ෂා කරන්නට, සාක්ෂි තක්සේරු කරන්නට, හොඳින් ව්‍යූහගත කරන ලද තර්ක සහිත රචනා ලියන්නට, අනික් පොත්පත්වලින් ඔවුන් වෙත ඉදිරිපත් කෙරෙන තර්ක විශ්ලේෂණය කරන්නට උගන්නා විට විචාරාත්මක චින්තනය එවැනි නොයෙක් ආකාරයේ ශික්ෂණ විධින් තුළට ඇතුළත් විය යුතුය.

…………………….

ඉතාම හොඳ පෙර සූදානමක් සහිත උපාධි අපේක්ෂකයන්ට පවා පුරවැසිභාවය හා විනීත දේශපාලන අන්තර්ක‍්‍රියා කිරීමේ හැකියාව වඩා සම්පූර්ණ වශයෙන් වර්ධනය කරගැනීම සඳහා මෙවන් පන්ති තිබිය යුතු බවට සැකයක් නැත.

( කලාව කුමකටද? යනුවෙන් පරිවර්තිත මාර්තා නස්බෝම්ගේ Not for Profit, Why Democracy Needs the Humanities කෘතියේ 4. පරිච්ඡේදයෙන් උපුටා ගන්නා ලදී. )
…………
සම්පූර්ණ ලිපිය සඳහා බලන්නමෙහි kathika.lk

Advertisements