ගෝටාවතාරයේ බියකරු සිහිනයෙන් දෙඇස් නිලංකාර කර ගැනීම – දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම මුහුණු පොත මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි අනිද්දා පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, දේශපාලනය සහ සදාචාරය මෙහි ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම අනිද්දා පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු,අපි දයාපාල තිරාණගම සහ නිර්මාල් රංජිත් දේවසිරි අතර මෙම විවාදය වැදගත් කොට සළකා දයාපාල තිරාණගම නිර්මාල් රංජිත් දේවසිරි ගේ අනිද්දා තීරු ලිපියට  ලියූ ප්‍රතිචාර ලිපිය පළ කළෙමු (බලන්න, “නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම” මෙහි   ).ඉන් අනතුරුව අනිද්දා පුවත් පතද එම ලිපිය තම මුද්‍රිත පිටපතෙහි පළ කළේය.තිරාණගම ගේ එම ලිපියට දේවසිරි ගේ පිළිතුරක් ඔහුගේ අනිද්දා තීරු පතද ලිපියෙහි පළ කරන ලදී (බලන්න, ගෝඨාගේ සදාචාරය හා අපේ සදාචාරය මෙහි ). දේවසිරි ගේ එම පිළිතුරට යළි ප්‍රතිචාරයක් තිරාණගම විසින් ලියන ලදුව අනිද්දා පුවත් පත තම මුද්‍රිත පිටපතෙහි පළ කොට ඇත. අපි දයාපාල ගේ එම පිළිතුර මෙහි පළ කරමු.

ගෝටාවතාරයේ බියකරු සිහිනයෙන්
දෙඇස් නිලංකාර කර ගැනීම

දයාපාල තිරාණගම

නිර්මාල් රන්ජිත් දේවසිරි  පසු ගිය “අනිද්දා” (12/08/18) පත්‍රයෙන්  නැවත වරක් මගේ ප්‍රතිචාරය  විවේචනයට ලක් කරයි. එම නිසා මට නැවත   පිළිතුරු දීමට  සිදුව ඇත්තේ වඩාත්ම  මා ප්‍රකාශ කරන දේ  ඔහුට   ඒත්තු ගැන වීමටත්  වඩා  ඒ පිළිබඳව මෙය  කියවන පාඨකයා ගේ දැනුවත්කම වැඩි  කිරීම සඳහාය.

නිර්මාල් කියා සිටින්නේ ‘රාජපක්ෂවාදී සදාචාරයට විරුද්ධව සිටගැනීමට  දයාපාල සහෝදරයා ට ඇති  භූමිය ඉතා කුඩා එකකි.එනම් දයාපාල සහෝදරයාගේ (හා මගේ)පරිකල්පනය හා යථාර්තය අතර ඇති පරතරය බෙහෙවින් විශාලය’ .’ මේ පරතරය පියවන්නේ කෙසේදැයි’ ඔහු ප්‍රශ්න කරයි.අපට සිට ගැනීමට ඇති භුමිය කුඩා එකක්  බව අප දන්නේ අද ඊයේ නොවේ.1987-89 සියලු ආකාරයේ ප්‍රචණ්ඩ කාරී මෙන්ම ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන්ට විරුද්ධව  අපට සිට ගැනීමට තිබු භුමිය කුඩා එකකි.අදත් එය කුඩා බව අපි දනිමු. මෙය අද අප පසුකරන දේශපාලන ක්‍රියාවලියේ  සහ සංයුක්ත තත්වයේ ප්‍රකාශනයකි.අපේ කර්තව්‍යය  වන්නේ අපට සිට ගැනීමට ඇති භුමිය ටිකෙන් ටික විශාල කර ගැනීමයි. මෙය කරන්නේ කෙසේද?මෙයට සරල සහ කෙටි කාලින විසඳුම් ඇත්නම් හොඳය. එවැනි විසදුම්  හෝ ඒ සඳහා ඉන්ද්‍රජාලීය  සුත්‍ර  ගත කිරීම් ජාත්‍යන්තර මෙන්ම දේශීය දේශපාලන භාවිතාව තුල සොයාගත නොහැකිය.එය ඉතාමත් ඉවසිලිවන්තව සහ නිරතුරුව ගෙනයන දේශපාලන සහ දෘෂ්ටිමය අරගලයක් තුලින් මුදුන් පමුණුවා ගතයුත්තකි.මෙයට කෙටිකලින විසඳුම් සෙවීම   මෙන්ම ගෝටා ගේ ආගමනය තුලින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඉගැන්වීමට ඉඩහැරීම අපේ දේශපාලන වගකීම් වලින් මිදීමට අප ගන්න උත්සාහයකට සමාන වෙයි.

මේ අවස්ථාවේ මට සිහිවවන්නේ හීල කල වඳුරාගේ කතාවයි.හීලා  කල වඳුරා ශීතල දැනෙන විට තම පිදුරු මෙට්ටය ගිනි මැලය ලඟට කිට්ටු කර ගැනීමට සිය ඥානය පාවිච්චි කලද පිදුරු ගොඩ පිදුරු මඩුව සමග ගිනිගෙන දැවෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී එය ආපස්සට අද ගැනීමට තරම් සිය විදග්ධභාවය සහ දුරදක්නා නුවන පාවිච්චි කිරීමට අපොහොසත් විය. 2015 ජනවාරි 8 දා  සියලු බාධක සහ අනතුරු මැඩ ගෙන රාජපක්ෂවාදය පරාජය කිරීමට ඉදිරිපත් වූවන් අද ඝෝටාවතාරයෙන් ඇති කළහැකි දේශපාලන  අනතුර ගැන හරි තක්සේරුවක් නොමැතිව  එය තම වාසියට හරවා ජනතාවට පාඩම්  ඉගැන්වීමේ ඉඩප්‍රස්තාවක් ලෙස සැලකීම කොතරම් දේශපාලන හරාකිරියක් දැයි මට සිතේ.ගෝටා  ඇතිව හෝ නැතිව රාජපක්ෂ පාලනයේ දෙවැනි ඉනිම ඉතාමත් මර්දනකාරී දේශපාලනික   මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් වනු ඇත.එයට හේතුව  ඔවුන් නව ලිබරල්වාදී ආර්ථිකයක් ගොඩ නැගීම පිණිස එවැනි මර්ධනයක් දියත් කරන බැවිනි.දෙවැන්න උතුරු නැගෙනහිර ජනතාවට සහ අනෙක් ජනතා සමුහයන්ට ප්‍රජාතන්ත්‍රවාදය  අහිමි  කරන බැවින් එය දකුණට ද එලෙසම විදේශීය ප්‍රාග්ධනය සුරක්ෂිතව ගලා ඒම සහතික කිරීම  සඳහා යෙදවීමේ ඉඩ කඩ ඇත.එමනිසා අද කළ යුතුව ඇත්තේ මෙතෙක් ගොඩ නගා ඇති ජනතා ව්‍යුහයන්  සහ පිරිස් එකරාශී කරමින් අපට සිට ගත හැකි භුමිය විශාල කර ගැනීම මිස රාජපක්ෂවාදයේ මර්ධනකාරී  වික්‍රමයන් ගේ ෆැන්ටසිය ගැන බියකරු සිහින නැවත නැවතත් මෙනෙහි කිරීම පමණක්  නොවේ.යුරෝපයේ දෙවැනි ලෝක සංග්‍රාමයට පෙර ඉතාලියේ සහ ජර්මනියේ පැසිස්ට්වාදය සහ නාසිවාදය පාර්ලිමේන්තු ජයග්‍රහණයන් සමගින් මුල්බැස ගැනීමට  පෙර එහි ක්‍රියාකාරිකයෙක් නිර්මාල් අසන ප්‍රශ්නය ඇසුවේනම් මා  දුන් උත්තරයට වෙනස් වූ උත්තරයක් දිය හැකිව තිබුනේ නැත.ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන් ලංකාවේ මෙන් ද්‍රව්‍යමය බලවේගයන් ලෙස වැඩී ශක්තිමත්  වී තිබුණි.

අප මෙහිදී අනුගමනය කරන්නේ  බාගදා  වාම ක්‍රියාකාරීන්ට පමණක් ගෝචර වන ඉතාමත්  ප්‍රකට  සටන් පාඨයක්  වන ‘ බුද්ධියේ අශුභාවදයත්  අධිෂ්ඨානයේ ශුභාවාදයත්’ය.

ඒ සමගම අප කළ යුතු වන්නේ රාජපක්ෂවාදයට  මුහුණ දිය හැකි  ප්‍රති – හෙජමොනියක් ගොඩ නැගීමේ කටයුත්තයි.මෙය ලෙහෙසි එකක් නොවූවද මෙයින් බලාපොරොත්තු වන්නේ  රාජපක්ෂ වාදය පරාජය කිරීමේ දේශපාලන හැකියාව පිළිබඳ වගකීම සියලු දේශපාලන පක්ෂවලට සහ සංවිධානවලට මෙන්ම සමාජ ස්ථරයන්ට පැවරීමයි.2015 ජනවාරි ජයග්‍රහණයේ  අවසාන මුදුන් පමුණුවා ගැනීම් දෙස බලනවිට මෙය සමහර දේශපාලන කොටස්වලට  සහ පුද්ගලයන්ට එතරම් ගෝචර වන දෙයක් විය නොහකිය. සමහරු තමන්ගේ පාරිශුද්ධතාවය ආරක්ෂා කරගෙන තනියම විනාශවීමේ මග තෝරා  ගත හැකිය.මෙය අප මුහුණ දී සිටින අර්බුදයේ සවභාවය පිළිබිඹු කරයි.

අනික් අතට   රාජපක්ෂ කඳවුර ගෝටා ඇති ව  හෝ නැතිව ජයග්‍රහණය කිරීම එතරම්ම ලෙහෙසි පහසු කරුණක් නොවේ.දකුණේ සිංහල ඡන්දදායකයන්ගේ සාතිශය බහුතරය රාජපක්ෂ කඳවුරට ලබාගැනීමට නොහැකි වන්නා  සේම උතුරු නැගෙනහිර ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවද මේ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අපේක්ෂාවන් මොට කරදමා බරපතල ලෙස බලාපොරොත්තු රහිත තත්වයක් ඇතිකර තිබුනද රාජපක්ෂ පාලනයේ පලමු ඉනිමේ දී කෑ  මරණීය බැට ඔවුන් අමතක කොට නැත. දශක ගණනක් තිස්සේ ගිනි පෙනෙල්ලෙන් බැට  කා ඔවුන් තවමත් රජපකෂලා එම ගිනි පෙනෙල්ල තමනට එරෙහිව පව්විච්චි කරන බව ඔව්හු දනිති.එමනිසා රාජපක්ෂලා මොන වෙස් මුහුණු දාගත්තත් ඔවුන් රැවටිලිකරුවන් සහ මර්ධකයන් බව පීඩාවිඳි ජනතාව හොඳාකාරව දනිති.

නිර්මාල් විසින් අපට කියා දීමට උත්සාහ කරන බියකරු යථාර්තය ගැන ජනතාව දැනුවත් කිරීමක් අවශ්‍ය වන අතරම එයට මුහුණ දිය හැකිවන  දේශපාලන බලවේගය ගොඩ නැගිය හැකිවන්නේද ඔවුන් අතර නොපැකිල සහ  නොනවත්වා කරන දෘෂ්ටිමය සහ දේශපාලන බල අරගලය තුලිනි.රාජපක්ෂවාදයට ඒ අයුරින් අභිමුඛ  වීමෙන් මිස ඔවුන්ගේ ජනතා පීඩනයට ක්ෂ්මාලාපය  කර පින්න ගැනීමෙන් නොවේ.

 

Advertisements