ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද? කුමුදු කුසුම් කුමාර

ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටු විය යුතුද?

කුමුදු කුසුම් කුමාර

(මෙම ලිපිය ලියා අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීමට පෙර .)

2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීමෙන් අප ලද ප්‍රථිඵල පිළිබඳ අප තුළ සැකයක් ඇති වීම සාධාරණ ය. යමෙකු තමන් අතින් වරදක් සිදුවීය යන සිතුවිල්ල මත තැවීම හෘදය සාක්ෂිය අවදි වීම පිළිබඳ කරුණකි. නමුත් දිගින් දිගටම එසේ තැවීම එක්කෝ පුද්ගලයා නිශ්ක්‍රීය බවට පත් කරයි, නැතහොත් තමන් කළේයැයි සිතන වරද නිවැරදි කළ හැකි යැයි සිතන කෙටි පාරවල් සෙවීමට යොමු කරයි.

නමුත්, ජනවාරි 8 දේශපාලන පෙරළිය සිදුනොවූවා නම් මේ වනවිට සිදුවී තිබීමට ඉඩ කඩ ඇති දේ ගැන උපකල්පනය කිරීම ප්‍රකට කරන්නේ අප දේශපාලනය ගැන සිතන ආකාරය මිස සැබැවින්ම සිදුවනු ඇතිව තිබුණු දේවල් නොවේ. මන්ද යත් දේශපාලනය යනු පුරවැසි ක්‍රියාකාරිකයන්ගේ මැදිහත් වීමෙන් අනපේක්ෂිත සහ අරමුණු නොකළ ප්‍රථිඵල උදාකරදීමේ විහවයක් ඇති මානව ක්‍රියාකාරකම් පිළිබඳ තලයක් වන හෙයිනි.

2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම පිළිබඳ අප කණගාටුවිය යුතුද? නැද්ද? යන ප්‍රශ්නයට අප දෙන පිළිතුර එම පෙරළියෙන් අප අපේක්ෂා කළ දේ හා සබැඳි එකක් බව මගේ හැඟීම යි. මා දකින පරිදි එය ලැජ්ජාව පිළිබඳ කරුණකට වඩා අප යෙදුනු දේශපාලනයේ පදනම් ස්ථාවර පිළිබඳ රටට සහ අපටම පැහැදිළි කිරීමක් අවශ්‍ය වන කරුණකි.

එහි ලා අපගේ මූලික අභිප්‍රාය වූයේ නිදහස නම් අප ජනවාරි 8 දා පෙරළියෙන් පෙර පැවති භීෂණයෙන් ලබාගත් නිදහස පිළිබඳ අදත් සතුටට පත් විය යුතු බවත්, එයද ක්‍රමයෙන් අප අතින් ගිලිහී ගොස් යමින් සිට ඇත්නම් එහි වගකීම පවරා ගත යුත්තේ අපටම බවත් මගේ අදහස යි.

2015 ජනවාරි 8 දේශපාලන පෙරළියට දායක වීම හා සබැඳිව අප තුළ සිත් තැවුලක් තිබිය යුතු නම් ඒ අප එම ව්‍යාපාරයේ නායකයත්වය තමනට පවරා ගත්තවුන් – දේශපාලනඥයන් සහ ප්‍රභූ සිවිල් සමාජ නායකයන් – අවංකව කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීමට තරම් අප “බොළඳ” (naive) වී යැයි අපට නැඟෙන චෝදනාවෙහි වලංගුභාවය පිළිබඳ යැයි සිතමි.

ජනවාරි 8 ව්‍යාපාරයට මුල් වූ නායකයන් එම ව්‍යාපාරයෙන් නිරූපණය වූ ප්‍රතිපත්ති වලට ගරු කරමින් මෙන්ම ඔවුන් ලිඛිතව සහ වාචිකව ජනතාවට දුන් පොරොන්දු අවංකව ඉටු කරමින්ද කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීම අපගේ බොළඳ කමක් ද?

ජනවාරි 8 ව්‍යාපාරයේ ආධිපත්‍යය නවලිබරල්වාදීන් අතට යාමට ඉඩ ලැබීම එම ව්‍යාපාරයේ නායකයන් ජනතාවට දුන් පොරොන්දු අවංකව ඉටු කරනු ඇතැයි අප විශ්වාස කිරීමේම ප්‍රථිඵලයකි. එයට වෙනස්ව මධ්‍යස්ථ කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණවාදීන් ගේ ආධිපත්‍යයක් එම ව්‍යාපාරය තුළ ගොඩනැඟීමට කිසිදු අනුබලයක් රාජපක්ෂ රෙජිමය තුළින් ඉදිරිපත් නොවුණි. මන්ද යත් රාජපක්ෂ රෙජිමයමත් යම් යම් ව්‍යතිරේඛීය තත්වයන් සහිතව මූලික වශයෙන් නවලිබරල්වාදී පිළිවෙතම අනුගමනය කරමින් සිටි හෙයිනි.

දේශපාලනය පිළිබඳ යථාර්ථවාදී දැක්මට අනුව නම් කිසිදු දේශපාලනඥයෙකු කවදාවත් විශ්වාස නොකළ යුතු වනු ඇත. මන්ද යත්, ඒ අනුව, දේශපාලනය වූ කලී හොඳ-නරක අවංක-වංක භාවයන් පිළිබඳ කරුණක් නොව බලය පිළිබඳ කරුණක් වන හෙයිනි. බලය ලබා ගැනීමට දේශපාලනඥයන් ඕනෑම දෙයක් කියනු, කරනු ඇත. ඒඅනුව බලය දේශපාලනඥයන් සතු දෙයකි. (මීට වෙනස්ව හනා ආරන්ඩ්ට් තර්ක කරන්නේ බලය ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් ගොඩ නැඟෙන්නක් බවයි. )

අප සමහරෙකු ජනවාරි 8 ව්‍යාපාරයේ නායකයන් අවංකව කටයුතු කරනු ඇතැයි විශ්වාස කිරීම අයත් වන්නේ දේශපාලනය පිළිබඳ වෙනත් දැක්මකට ය. ඒ අනුව නායකයන් යහපත් අය වූ විට ඔවුන් තමන් නියෝජනය කරන බවට පොරොන්දු වන පුරවැසියන් නියෝජනය කිරීමට අවංකව උත්සාහ දරනු ඇත. ඔවුන් සමග අවංකව ගණු දෙනු කිරීමට උත්සාහ කරනු ඇත. මෙම දැක්මට අනුව දේශපාලනය යනු පුරවැසියන් තමන් නියෝජනය කිරීමට සුදුසු නායකයන් තෝරා පත් කර ගන්නා සහ එසේ තෝරා පත් කර ගන්නා නායකයන් පුරවැසි ප්‍රජාවට වගකියන බවට පත් කිරීමට පුරවැසියන් දිගටම ක්‍රියාකරනා තලය යි. මෙය යහපත් පුද්ගලයන් පිළිබඳ සදාචාරමය කරුණක් නොව යහපත් දේශපාලනඥයන් පිළිබඳ දේශපාලන කරුණ කි. යහපත් දේශපාලනඥයා සම්මත සදාචාරයට අනුව යහපත් පුද්ගලයෙකු වීම අනිවාර්ය නොවේ.

පුරවැසියන් පුරවරය පාලනය කිරීමත් පෙරළා එය විසින් තමන් පාලනය කරනු ලැබීමත් කළ  හැකි වනු ඇත්තේ ඔවුන් නිසි හැදියාව ලබා ඇත්නම් පමණක් යැයි ඇරිස්ටෝටල් තම ‘දේශපාලනය’ කෘතියෙහි සඳහන් කළේ දේශපාලනය පිළිබඳ මෙබඳු අදහසක් හා සම්බන්ධයෙන් යැයි මම සිතමි. ඇරිස්ටෝටල් දුටුවේ දේශපාලනය සැබෑ ලෙස හදාරන ශිෂ්‍යයා අන් සියල්ලටම ඉහළින් සද්ගුණය පිළිබඳ හැදෑරුවෙකු විය යුතු ලෙසිනි. මන්ද යත්, ඔහු තම පුරවැසි සගයන් නීතිගරුක යහපත් මිනිසුන් බවට පත් කිරීම අරමුණු කරන හෙයිනි. තමන්ගෙන් දේශපාලනය ගැන අධ්‍යාපනය ලබන්නට පැමිණෙන්නන් යහපත් හුරු පුරුදු ඇති මනා හැදියාවක් ඇති අය විය යුතු යැයි ඔහු කියා සිටියේ එහෙයිනි.

එබඳු දේශපාලනයකට යටින් දිවෙන පොදු යහපත පිළිබඳ අදහසක් ඇත. මෙම දේශපාලනය බූර්ෂුවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ජනතා පරමාධිපත්‍යය පිළිබඳ අදහස බැරූරුම්ව ගන්නා සහ එය බූර්ෂුවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට සැබෑ ජනතා බලයක් ගොඩ නැංවීම අරමුණු කරගත් දේශපාලනයක් වෙයි. මෙම අරුත් කැටි කොට ගන්නා හෙයින් එම දේශපාලනය ආචාර ධර්මීය පදනමක පිහිටන්නක් වෙයි. මෙබඳු දේශපාලනයක් ගොඩ නැංවීම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම බොළඳ ක්‍රියාවක් වන්නේ ද?

වත්මන් උදාහරණයක් සළකා බලනනේ නම්, ජෙරමි කෝබින් එංගලන්තයේ ගොඩ නඟමින් සිටින්නේ එබඳු දේශපාලනයක් නොවේද?

ලංකාවේ වත්මනෙහි දේශපාලන ප්‍රභූ පංතියේ අති මහත් බහුතරය එක්කෝ තම මතවාදී ව්‍යාප්‍රෘති ක්‍රියාවට නැංවීමට බලය සහ / හෝ මුදල් උපයා ගැනීම සඳහා අවස්ථාව සොයන, එහෙයින් දූෂණයට වංචාවට පෙළඹෙන හෝ තමන්ම දූෂිත නොවූවත් එය පැවතීම යථාර්ථය ලෙස සළකා එයට ඉඩ සළසන හෝ එය නොදුටුවා සේ සිටින තත්වයක් තුළ යහපත් දේශපාලනඥයන් අපේක්ෂා කිරීම දුෂ්කර කටයුත්තකි, යන්න සැබෑවකි. හනා ආරන්ඩ්ට් ගේ තර්කය සක්‍රීය මහජන පරිමණඩලයක් ස්ථාපිත කිරීමකින් තොරව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පවතින විට, මැතිවරණ පොරොන්දු වෙනුවෙන් දේශපාලනඥයන් වෙත හුවමාරු කළ හැකි දෙයක් ලෙසින් , තම ඡන්දය තම පෞද්ගලික ඵල ප්‍රයෝජනයන් රැකගැනීමේ මඟක් ලෙස යොදා ගැනීමට පුරවැසියන් පෙළඹෙන හෙයින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දූෂණයට විවෘත ආරාධනයක් ලෙසින් දැකිය හැකි බවයි.

මෙම පසුබිමෙහි සහ ජනවාරි 8 වැනි දා පෙරළියෙන් ලද කටුක අත්දැකීම නිසා මින් මතු කිසිදු දේශපාලනඥයෙකු කවරදාකවත් විශ්වාස කළ  නොහැකිය යන නිගමනයට එළඹෙන්නෙමුද?

අප එවැනි නිගමනයකට එළඹුන හොත් අපට සිදුවන්නේ දේශපාලනය පිළිබඳ යථාර්ථවාදී එළඹුම වැළඳගෙන අපගේ දේශපාලන ප්‍රමුඛතා ලෙස අප සළකන දේ මත පදනම්ව මෙවලම්මයවාදී (instrumentalist) දැක්මකට එළඹීමයි.

ඊට විකල්පව, මහජන අපේක්ෂාවන් නියෝජනය කරමින් අවංකව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි සාපේක්ෂව වඩා යහපත් නායකයන් සෙවිල්ලෙහි නිරතවන අතරම අපේ ප්‍රජාවන් සඳහා එවැනි නායකයන් හදා වඩා ගැනීම සඳහා වන දිගු කාලීන දැක්මක් වර්ධනය කර ගැනීමද අවශ්‍ය වෙයි. දෙවැනිව කී කරුණ සඳහා සම්ප්‍රදායිකව උපකාරී වූයේ කලා නැතහොත් මානව ශාස්ත්‍ර අධ්‍යාපනය යැයි සළකනු ලැබෙයි. වත්මනෙහි එබඳු අධ්‍යාපනයක් නවලිබරල්වාදය විසින් වෘත්තීයාභිමුඛ අධ්‍යාපනය වෙනුවෙන් එය සහමුලින් බිලිදීම කරගෙන යනු දැකිය හැකිය. මෙම තත්වය හමුවේ නායකයන් සහ පුරවැසියන් තනන නව අධ්‍යාපනයක් ගොඩ නඟා ගැනීමේ අභියෝගය බුද්ධිමතුන් හමුවේ පවතියි.

ඇලස්ඩෙයාර් මැකින්ටයර් (1997) තර්ක කළ පරිදි අද අප අත්විඳින “ප්‍රජාතන්ත්‍රවාදයන් ලෙසින් වෙස්වලා ගත් කතිපයාධිපත්‍යයන්” හි “වසන අතිමහත් බහුතරයක් දෙනා, ඡන්දදායකයන්ට ඒවා අතුරින් තෝරා ගැනීමට අවසර ඇති විකල්පයන්ගේ පරාසය තීරණය කරන ප්‍රභූ පැලැන්තියේ සාමාජිකත්වයෙන් බැහැර කොට ඇත. වඩාත් ම මූලික විවාදපන්න කරුණු එම විකල්පයන්ගේ පරාසයෙන් බැහැර කොට ඇත. මැකින්ටයර් මෙහි ලා අදහස් කරන්නේ ’තනි මානව පුද්ගලයන්ට සහ සමස්තයක් වශයෙන් මානව ප්‍රජාවන් සඳහා වන වඩාත් ම යහපත් ජීවන ආකාරය කුමක් ද?’ සහ ‘අන් ඒවාට සරුසාර වීමට ඉඩ සලසන පරිද්දෙන් ඒ එක එකක් පර්යාය ගත කළ හැක්කේ කෙසේ ද?’ යන්න යි. එනම්, පොදු යහපත යන කරුණ පුද්ගලයා සහ ප්‍රජාව යන දෙකම අන්‍යොන්‍යව ඇතුළු කර ගන්නා, සශ්‍රීක ජීවිතයක් ඇති වන පරිද්දෙන් එකඟ ව පර්යාය ගත කල හැක්කේ කෙසේ ද? යන්න අපගේ දේශපාලනයෙහි වැදගත්ම වාද මාතෘකාව බවට පත් විය යුතුය. (බලන්න, නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු )

අපගේ දේශපාලනයෙහි අවසාන ඉලක්කය විය යුත්තේ මෙම, සමාජයේ පොදු යහපත පිළිබඳ මාතෘකාව අපගේ දේශපාලන කතිකාවේ කේන්ද්‍රයට ගෙන එන සහ එම කතිකාව මත පදනම්ව තීරණ ගැනීමේ බලය ජනතාව අතට පත් කිරීම අරමුණු කොට ගත් දේශපාලනයකි යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි.

Advertisements