වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

III
වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදිය.

එම කෘතිය “ නවලිබරල් තර්කනය, එය සුරක්ෂිත කරන්නේ යැයි ව්‍යාජව පොරොන්දුවන දේශපාලන ආකාරය සහ දේශපාලන පරිකල්පනාවට අඩන්තේට්ටම් කරන්නේ මන්ද සහ කෙසේද යන්න පැහැදිළි කරයි. නවලිබරල්වාදයත් සමග, යුක්තිය පිළිබඳ සැළකිලිමත්වීම්, පෞද්ගලික දේපළ පිළිබඳ පරමවාදය සහ වර්ධන අනුපාත සහ ආයෝජන දේශගුණය විසින් අභිබවනය කරනු ලැබෙයි. නිදහස, මානව ප්‍රාග්ධන අගය වැඩිවීමේ විධික්‍රියාව මගින් සේවයට යොදා ගනු ලැබෙයි. සමානාත්මතාව, ජයග්‍රාහකයන් සහ පරාජිතයන් පිළිබඳ විශ්වව්‍යාපී වෙළෙඳපොළවල ගිල්වනු ලැබෙයි. ජනතා පරමාධිපත්‍යය ආකූල බවට පත්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, විසිවැනි සියවසේ උතුරු තරුව වීම අපේක්ෂා කළේනම්, අද එය යලිසිතාබැලීම, ප්‍රතිනිර්මාණය, සහ අරගලය අවශ්‍ය කෙරෙයි.”

“ජනතාව බිඳ දැමීම” යනුවෙන් නම් කොට ඇති එහි පූර්විකාවෙහි ඇය මෙසේ කියයි:

ශීතල යුද්ධය අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය ගෝලීය වශයෙන් විජයග්‍රහණය කොට ඇතැයි ප්‍රකාශ කෙරෙත්ම නව ආකාරයේ ආණ්ඩුකරණමය තර්කනයක් යුරෝ-අත්ලාන්තික ලෝකයේ මුදාහැරෙමින් තිබුණි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පීය බැඳීම් ලිහා දැමීම සහ සෑහෙන ප්‍රමාණයකින් එහි අතුණු බහන් ඉවත් කිරීමක් මුදා හැරියේය. තිස් වසරක් තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කෘශ, අවතාරමය බවින් වැඩෙයි, එහි අනාගතය එන්න එන්නම කොටු කරමින් සහ අසම්භව්‍ය කරමින්.

නවලිබරල්වාදය ප්‍රජාතන්ත්‍රවාදෙය් අර්ථය හෝ අඩංගුව වෙළෙඳපොළ වටිනාකම් වලින් හුදෙක් සංතෘප්ත කරනවාට වඩා ජනතාව විසින් ගෙනයනු ලබන පාලනය ලෙසින් වටහාගත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපත්ති, භාවිතාවන්, සංස්කෘතීන්, විෂයන්, සහ ආයතන වලට ප්‍රහාර එල්ල කරයි. එපමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා රැඩිකල් ප්‍රකාශනයන් මතුවීම වළකාලයි.

නවලිබරල්වාදය ආර්ථික ප්‍රතිපත්ති මාලාවක්, මතවාදයක්, හෝ රාජ්‍යය සහ ආර්ථිකය අතර සබඳතාව වෙනස් කොට පිහිටුවීමක් යනාදියට වඩා තිස් වසරක් තිස්සේ පුළුල්ව සහ ගැඹුරින් බෙදාහරිනු ලැබූ ආණ්ඩුකරණමය හේතුවාදයක් බවට සංවර්ධනය වූ, ප්‍රතිමාණාත්මක පර්යායකි. නවලිබරල්වාදය හැම මානව බලමණ්ඩලයක්ම සහ ආයාසයක්ම මානවයන්මත් කැටුව ආර්ථික දෙයෙහි සුවිශේෂ ප්‍රතිරූපයකට අනුව පූර්ණව වෙනස් කරයි. සියලු කල්ක්‍රියාව ආර්ථික කල්ක්‍රියාව වෙයි; පැවැත්මෙහි සියළු පරිමණ්ඩලයන් ආර්ථික කොන්දේසි සහ මිණුම් වලින් රාමුගත කොට මණිනු ලැබේ. එම පරිමණ්ඩල සෘජු මුදල්කරණයට ලක් කොට නොමැති විට පවා. නවලිබරල් තර්කණය තුළ සහ එය විසින් ආණ්ඩු කෙරෙන බලමණ්ඩලයන්හි, අපි, එයටම ඓතිහාසිකව සුවිශේෂී ආකාරයක් ඇති, ආර්ථික සත්වයන් පමණක් වෙමු, සහ හැමතැනෙකම එසේ වෙමු.

අද ආර්ථික මිනිසා ඇඩම් ස්මිත් ගේ ආර්ථික මිනිසා මෙන් නොව තම තරඟකාරී ස්ථානගතවීම වැඩිදියුණු කරගැනීම සහ වාසිදායකබවට හරවා ගැනීම සහ එහි සියළු උත්සාහයන් සහ ස්ථානයන් හරහා එහි (මුදල්මය සහ එසේ නොවන) ආයෝජන කළඹෙහි වටිනාකම වැඩිකර ගැනීම පිළිබඳ කටයුත්ත පවරනු ලැබ ඇති තීව්ර ලෙස නිමවනු ලැබූ සහ ආණ්ඩුකෙරෙන මානව ප්‍රාග්ධන පුංජයකි. නවලිබරල්වාදී රාජ්‍ය, විශාල සමායතන, කුඩා වෙළෙඳ ව්‍යාපාර, ලාභ නොලබන ආයතන, පාසැල්, විශේෂඥසේවා සපයන්නන්, කෞතුකාගාර, රටවල්, ශාස්ත්‍රවන්තයන්, අභිවාහකයන්, මහජන ආයතන, ශිෂ්‍යයන්, වෙබ් අඩවි, ක්‍රීඩකයන්, ක්‍රීඩා කණ්ඩායම්, පශ්චාත් උපාධි වැඩ සටහන්, සෞඛ්‍යසේවා ප්‍රතිපාදකයන්, බැංකු සහ ගෝලීය නීති සහ මූල්‍ය ආයතන යනාදී සියල්ලෙහිම ව්‍යාපෘති හැඩ ගස්වන වරම් සහ දිශානතියන් වන්නේ ද මේ එකම කටයුතු ය.

මා පහත ඉදිරිපත් කරන්නේ වෙන්ඩි බ්‍රවුන්ගේ කෘතියෙහි පළමු පරිච්ඡේදයෙහි එන අදහස් ය. එම පරිච්ඡෙදය නම් කොට ඇත්තේ “ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රාජ්‍යය සහ මිනිස් විෂය යළිතැනීම “ යන මැයෙනි.

නවලිබරල්වාදය, පැවැත්මේ සියළු අංශ ආර්ථික අර්ථයෙන් හැඩ ගස්වන සුවිශේෂ තර්කන ආකාරයකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග සෙමින් බිඳ දමයි. මෙම අංග වලට අපේ වාං මාලා, යුක්තිය පිළිබඳ මූලධර්ම, දේශපාලන සංස්කෘතීන්, පුරවැසිභාවය පිළිබඳ හුරුපුරුදු, පාලනය පිළිබඳ භාවිතාවන්, සහ අන් සියල්ලටමත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පරිකල්පනාවන් අයත් වෙයි.

මෙහිලා තර්කය නම්, හුදෙක් වෙළෙඳපොළ සහ මුදල්, ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරන්නේය හෝ පිරිහෙළන්නේය, දේශපාලන සංස්ථා සහ තීන්දු එන්න එන්නම මූල්‍ය සහ සමායතන ප්‍රාග්ධනයේ අධිපතිභාවයට යටත්වන්නේය, නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ තැනට කතිපයාධිපතය්‍යයන් එනම්, ධනවතුන් විසින් ධනවතුන් සඳහා පාලනය, පත්වන්නේය යන්න පමණක් නොවේ. අද රාජ්‍ය ශිල්පයේ, සහ වැඩපොළෙහි, අධිකරණ පද්ධතියේ, අධ්‍යාපනයෙහි, සංස්කෘතියෙහි, සහ සාමාන්‍ය ක්‍රියාකාරකම් අතිමහත් පරාසයක, විශ්වව්‍යාපීයව පවතින නවලිබරල් තර්කණය, ප්‍රජාතන්ත්‍රවාදය සැදුම් ගන්නා අංගවල විශද දේශපාලන ස්වභාවය, අර්ථය සහ ක්‍රියාත්මක වීම ආර්ථික ඒවා බවට හරවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ භාවිතාවන් සහ හුරුපුරුදු මෙම හැරවීමට ඔරොත්තු නොදීමට ඉඩ ඇත. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී සිහින වුවද මෙම එකම ඉරණමට මුහුණ දිය හැකිය.

නවලිබරල්වාදය මීට පෙරාතුව ආර්ථික මිම්මෙන් වටිනාකම මනිනු නොලැබූ පරිමණ්ඩල සහ ක්‍රියාකාරකම් “ආර්ථිකකරණය” කිරීමේ වඩා සාමාන්‍යකරණය කළ භාවිතාවකි.

නවලිබරල්වාදය, ප්ලේටෝ ගේ ජනරජයේ පුරවරය සහ ආත්මය පිළිබඳ සාදෘශ්‍යය සිහිපත් කරමින්, පුද්ගලයන් සහා රාජ්‍යයන් යන දෙකම සමකාලීන ව්‍යාපාරික සමාගම ( firm ) පිළිබඳ ආකෘතියට අනුව වටහා ගැනෙයි. පුද්ගලයන් සහ රාජ්‍යයන් දෙකම වර්ථමානයේදී තම ප්‍රාග්ධන වටිනාකම උපරිමකරණයට සහ ඒවායේ අනාගත වටිනාකම ඉහළ නංවාලන ආකාරයෙන් ක්‍රියාකිරීම අපේක්ෂා කෙරෙයි. ඔවුන් එසේ කරන්නේ ව්‍යවසාකත්වවාදය, ස්වයං ආයෝජනය, සහ/හෝ ආයෝජකයන් ආකර්ෂණය කරගැන්ම මගිනි. එසේ නොකිරීම කුමන හෝ රෙජිමයකට හෝ පුද්ගලයාට විපත් ගෙන දෙයි.

මෙම ප්‍රාග්ධන ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියට යටත් වන කරුණු පරාසයට යුක්තිය ( නිදහස, සමානාත්මතාව සහ සාධාරණය), පුද්ගල සහ ජනතා පරමාධිපත්‍යය, සහ නීතියේ පාලනය අයත් වෙයි. ඒවාට අවම මට්ටමේ ප්‍රජාතන්ත්‍රීය පුරවැසිභාවයේ භාවිතාවන්ට පවා අදාළවන දැනුම සහ සංස්කෘතික දිශානතිගතවීම් ද ඇතුළත් ය.

විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාලය මෑත දශකයන්හිදී රැඩිකල් ලෙස විපර්යාස කොට ප්‍රති-ඇගයීමට ලක් කොට ඇත. ඉහළ යන පාඨමාලා ගාස්තු අනුපාත, පිරිහෙළන රාජ්‍ය අනුග්‍රහය, ලාභ ඉලක්ක කොට ගත් සහ අන්තර්ජාල මාර්ගගත අධ්‍යාපනය, සමායතන “හොඳම භාවිතාවන්” (best practices) තුළින් විශ්ව විද්‍යාල යළි-නිමැවීම, “සහතික” වෙනුවට “නිපුණතා” (competencies) පිළිබඳ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික සංස්කෘතියක්, මේ සියල්ල, අවුරුදු තිහකට පෙර පැවැති එක්ටැම් ගෙය, යල්පැන ගිය, මිල අධික, සහ අප්‍රතිරෝධී ලෙසින් නිරූපණය කොට ඇත. අධ්‍යාපනය, ගුණාත්මකභාවය මනින ලද පැරණි මිණුම් වෙනුවට, “මුදලට හොඳම ප්‍රථිඵල” ගෙන දෙන නව ශ්‍රේණිගත කිරීම් රාශියක් වේගයෙන් හඳුන්වා දෙනු ලැබ තිබේ.

බ්‍රිතාන්‍යය බොහෝ රාජ්‍ය අංශයේ අධ්‍යාපන ආයතන අර්ධ පෞද්ගලීකරණයට ලක් කොට ඉතිරි රාජ්‍ය අරමුදල්, දැනුම එහි බලපෑමට අනුව මණින ශාස්ත්‍රාලීය ඵලදායික මිණුම්වලට ගැට ගසා ඇත. ඇමෙරිකාවේ වඩා අවිධිමත් ශ්‍රේණිගත කිරීම් පද්ධති මහත් සංඛ්‍යාවක් බිහිවීම, ජනරාශියකගේ අදහස් විමසීමකට සමීප වෙයි.

අධ්‍යාපනික ගුණාත්මකභාවය මනිණ මිණුම් වල තැනට, ආයෝජනයට ප්‍රථිලාභ වෙනුවෙන් සහමුලින්ම දිශානතිගත වූ මිණුම් සහ දෙන ලද කුමන හෝ ආයතනයකින් ශිෂ්‍ය ආයෝජකයන් අපේක්ෂා කිරීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ ආදායම් ඉහළ නැංවීමක් ද සහ රැකියා ස්ථාන ගත කිරීමක් ද යන්න ආදේශ වී ඇත.

නවලිබරල්වාදය, පුද්ගලයා සහ පුරවැසියා සංවර්ධනය කිරීම පිළිබඳ අපූරු සැළකිලිමත්වීම් ඉවත් කරමින් හෝ බාගවිට එවැනි සංවර්ධනයන් ආර්ථික වාසිය සඳහා වන ශක්‍යතාවට ලඝු කරමින්, උසස් අධ්‍යාපනයේ වටිනාකම පුද්ගල ආර්ථික අවදානමට සහ ප්‍රථිලාභයට හකුළුවයි.

මෙම නව මිණුම් වලට රජයේ අරමුදල් සපයා, එමගින් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ ස්ථානයක් ලබාගන්නා විශ්ව විද්‍යාලවලටඉහළ ශිෂ්‍යාධාර පිරිනැමීමේ අවකාශ සැළසීමේ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක ය. මෙම සැළසුම් සාර්ථක වුවහොත්, ආයතන මෙන්ම ශිෂ්‍යයන්ද මෙම දර්ශකයන් මගින් බලහත්කාරයෙන් යළි-නිමැවෙනු ඇත. විශ්ව විද්‍යාල අන් කුමන හෝ ආයෝජනයක් මෙන්ම, අවදානමට අනාවරණය වීම සහ අපේක්ෂිත අස්වැන්න ආශ්‍රයෙන් ශ්‍රේණිගත කෙරෙන හෙයිනි.

මෙම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය, විශ්ව විද්‍යාලවල වියදම් සීමා කිරීම පිළිබඳ එහි ප්‍රකාශිත සැළකිලමත්වීම් අතිවිශාල ලෙස ඉක්මවා යන ආයතනික අමිහිරි ප්‍රථිඵල ගෙන දෙනු ඇත, ඒ වෙනුවට, සාමාන්‍ය අධ්‍යාපන අවශ්‍යතාව සහ උපාධියට ගතවන කාලය කඩිනමින් සංක්ෂේප කිරීමෙන්, මානව ශාස්ත්‍ර සහ ඓතිහාසිකව අසාධාරණයට ලක් වු ජනගහණයන් බඳවා ගැනීම යන දෙකෙහිම ශේෂව ඇති කුමක් හෝ පීඩාවට පමුණුවමින්, සහ වඩා පුළුල්ව, විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගෙන් අපේක්ෂිත දැනුම අත්පත් කර ගැනීම සඳහා වන ශික්ෂණ ශාස්ත්‍රය, මංපෙත් සහ ප්‍රමිතීන් යළි නිමවමින්. කෙටියෙන් කියතොත්, නව මිණුම්, උසස් අධ්‍යාපන විප්ලවයක් සූචිගත කිරීම සහ මෙහෙයවීම යන දෙකම කරයි. කලෙක බුද්ධිමත්, චින්තාපර ප්‍රභූන් සංවර්ධනය කිරීම සහ සංස්කෘතික ප්‍රතිනිශ්පාදනය කිරීම පිළිබඳ වූ, වඩා මෑතකදී සමාන අවස්ථා පිළිබඳ මූලධර්මයන් ක්‍රියාවට නැංවීම සහ පුළුල්ව අධ්‍යාපනය ලැබූ පුරවැසි සමූහයක් වගා කර ගැනීමක් පිළිබඳ වු අධ්‍යාපනය, දැන් මානව ප්‍රාග්ධනය නිපදවයි, එලෙසින් සම්භාව්‍ය මානවීය වටිනාකම් හිසින් නඟා සිටුවාලයි. මෙපරිද්දෙන් උසස් අධ්‍යාපනය විප්ලවීයකරණයට ලක්කළ විට ආත්මයද, පුරවැසියා සහ ප්‍රජාතන්ත්‍රවාදයද විප්ලවීයකරණයට ලක් කෙරෙයි.

නවලිබරල්වාදයේ මූල ප්‍රතිපත්තිය නිර්බාධිත වෙළෙඳ පොළවල් තහවුරු කිරීම යි. එය අනුයන ආර්ථික ප්‍රතිපත්ති වන්නේ, කර්මාන්ත නියාමන ඉවත් කිරීම, සහ ප්‍රාග්ධන ප්‍රවාහ, සුභසාධන රාජ්‍ය සැපයුම්, සහ අවදානමට ලක්වන්නන්ට ආරක්ෂණය රැඩිකල් ලෙස අඩු කිරිම; අධ්‍යාපනය, උද්‍යාන, තැපැල් සේවා, මංමාවත් සහ සමාජ සුභසාධනයේ සිට බන්ධනාගාර සහ හමුදාවන් පවා දක්වා වන පරාසයක මහජන භාණ්ඩ පෞද්ගලීකරණය කිරීම සහ ඒවා සැපයීම භාහිර ආයතනවලට පැවරීම; ප්‍රගතිශීලී බදු සහ තීරුබදු වල තැනට ප්‍රතිගාමී බදු යෝජනාක්‍රම ආදේශ කිරීම; ආර්ථික හෝ සමාජීය දේශපාලන ප්‍රතිපත්තියක් වශයෙන් ධනය ප්‍රති-ව්‍යාප්තිය නවතා ලීම; විද්‍යාලවලට ඇතුළත්වීමට සූදානම් වීමේ සිට මිනිස් ඉන්ද්‍රිය බද්ධ කිරිම දක්වා, දරුවන් හදාගැනීමට ගැනීමේ සිට පරිසර දූෂණ අයිතීන් දක්වා, පෝලිමේ සිටීම මඟ හැරීමේ සිට ගුවන් යානයක දෙපා දිගු කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම දක්වා වන හැම මානව අවශ්‍යතාවක් හෝ ආශාවක්ම ලාභ ලැබිය හැකි ව්‍යවසායක් බවට හැරවීම; වඩාත් මෑත කාලයේ, සෑම දෙයම මූල්‍යකරණයට ලක්කිරීම, ආර්ථිකයේ සහ එදිනෙදා ජීවිතයේ ගතිකයන් තුළ නිෂ්පාදන ආර්ථිකය පරයා මූල්‍ය ආර්ථිකයේ අධිපතිභාවය එන්න එන්නම වැඩිවීම, යනාදිය යි.

නවලිබරල්වාදය ප්‍රතිමානමය තර්කණය පිළිබඳ පර්යායකි. එය ආරෝහණ තත්වයට පත් වූ විට, ආර්ථික වටිනාකම්, භාවිතාවන් සහ මිණුම් පිළිබඳ සුවිශේෂ සූත්‍රගත කිරීමක් මානව ජීවිතයේ හැම පැතිමානයකටම ව්‍යාප්ත කරමින්, ආණ්ඩුකරණමය බුද්ධිවාදයක හැඩය ගනියි. මෙම බුද්ධිවාදය මීට පෙරාතුව න-ආර්ථික පරිමණ්ඩලයන් සහ භාවිතාවන් වූ ඒවා “ආර්ථිකකරණයට” ලක්කිරීමේ සහ මෙම පරිමණ්ඩලයන් සහ භාවිතාවන්ට උචිත ඥානය, ආකෘතිය, අඩංගුව සහ පැවැත්ම යළි-නිමැවීමේ ක්‍රියාවලියක් අඩංගු කර ගනියි.

වැදගත් කරුණ වන්නේ එවැනි ආර්ථිකකරණයන් හැමවිටමත් මුදල්කරණයන් ( monetization) ඇතුළත් කර නොගනු ඇති වීමයි. එනම් අප, මූල්‍ය ධනය උත්පාදනය කිරීම ආසන්න විවාදාපන්න කරුණ නොවන අවස්ථාවලදී, උදාහරණයක් වශයෙන්, යමෙකුගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ශාරීරික සුවතාව, පවුල් ජිවිතය, හෝ අසල්වැසි සමූහය පිළිබඳ එළඹීමේදී, සමකාලීන වෙළෙඳපොළ (මානව) විෂයන් (subjects) ලෙස සිතන්නට සහ ක්‍රියාකරන්නට ඉඩ තිබේ ( නවලිබරල්වාදය, අප එසේ කරන විෂයක් ලෙස පොළා පන්නවයි ).

මෙහි ලා වැදගත් කරුණ වන්නේ නවලිබරල් බුද්ධිවාදය සියළු කලාපයන්ට සහ ක්‍රියාකාරකම් වලට – මුදල් අදාළ කරුණක් නොවන තැන්හිදී පවා – වෙළෙඳපොළ ආකෘතිය පතුරුවා හරින සහ මානව සත්වයා නිරවශේෂයෙන් වෙළෙඳපොළ කාරකයන්, හැමවිටමත්, එලෙසින්ම පමණක් සහ හැම තැනකම, ආර්ථික සත්වයා, ලෙස හැඩ ගස්වන්නේ ය, යන්නයි.

යමෙකු තම පෙම් ඇසුර (dating) ට ව්‍යවසායකයෙකු හෝ ආයෝජකයෙකු ආකාරයෙන් එළඹෙනු ඇති නමුත්, මෙම අඩවිය තුළ මුදල් ධනය උත්පාදනය, සමුච්ඡායනය හෝ ආයෝජනය කිරීමට උත්සාහ නොකරනු ඇත. පෙම් ඇසුරු සඳහා සේවා සපයන බොහෝ ඉහළ මට්ටමේ අන්තර්ජාල සමාගම්, කාලය සහ මුදල් පමණක් නොව ආවේදනයන් ද ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රථිලාභ උපරිමකරණය කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් තම සේවාදායකයන් සහ ඔවුනට පිරිනැමෙන දේ මෙම අරුතින් නිර්වචනය කරයි.

උපරිමාධිකරණය, නිදහස් කථනය යනු, යමෙකුගේ වටිනාකම (worth), මුදල්කරණය කිරීමෙන් තොරව ඉදිරිපත් කිරීම හෝ ප්‍රචාරණය කිරීමට ඇති අයිතිය ලෙසින් සැළකීමට ඉඩ තිබේ. ශිෂ්‍යාවක තම විශ්ව විද්‍යාල අයැදුම් පතේ තම පැතිරුව සරු කිරීමට පුණ්‍යමය සේවයක නිරතවිය හැකි නමුත් සේවයට වැටුප් නොලබයි. සුවිශේෂ විශ්ව විද්‍යාලයක් සඳහා ඇති ආශාව, ආදායම් ඉහළ නංවා ලීමට එයින් වන පොරොන්දුව ඉක්මවා යා හැකිය, එපරිද්දෙන්ම, මාපියෙකු ප්‍රභූ විශ්ව විද්‍යාල වලට ඇතුළු කිරීමෙහි ලා ඉහළ අනුපාතයක් ඇති ද්වීතියික පාසැල්වලට ඇතුළු කිරීමෙහි අනුපාතය මත පදනම්ව, තම දරුවාට ප්‍රාථමික පාසැලක් තෝරන්නට ඉඩ තිබේ. නමුත් මූලික වශයෙ ඉන් මෙම දරුවාට ලැබිය හැකි මුදල්මය ප්‍රමාණය හෝ වැඩුණු දරුවකු උපයනු ඇතැයි අපේක්ෂා කරන ආදායම හෝ ගණනය නොකරනු ඇත.

මීට පෙරාතුව, න-ආර්ථිකව පැවති අඩවි, ක්‍රියාකාරකම් සහ විෂයයන් පුළුල්ව ආර්ථිකකරණයට ලක් කිරිම නමුත් අවශ්‍යයෙන්ම වෙළෙඳපොළකරණයට හෝ මුදල්කරණයට ලක් නොකිරිම නවලිබරල් බුද්ධිවාදයේ විශද අනන්‍යතා ලකුණ යි.

වසර තිහකටපෙර නව ලිබරල්වාදයේ හිමිදිරියේදී වූවාක් මෙන්, ආර්ථික සත්වයා තම ඵලප්‍රයෝජනයන් හෝ ලාභ සෙවීමට යොමුව සිටි නමුදු, එහි නවලිබරල් අනුවාදය වන්නේ, දැන් හැම විටෙකම එය ව්‍යවසායකකරණයට ලක්කිරීම සහ මානව ප්‍රාග්ධනය ලෙස සූත්‍රගත කරනු ලැබීම යි.

ෆූකෝ එය දක්වන පරිදි, මානව විෂය දැන් සමාජීය දේහය ඇතුළත ව්‍යවසාය ආකාරය විසිරීම සහ බෝ කිරීමට යටත් කොට තිබේ. අද ආර්ථික සත්වයා එම ව්‍යවසායකත්වවාදයේ අංග පවත්වා ගනියි, නමුත් මූල්‍යකරණයට ලක් වූ මානව ප්‍රාග්ධනය ලෙසින් වැදගත් ලෙස හැඩගන්වා ඇත: එහි ව්‍යාපෘතිය නම් එහි වටිනාකම වැඩිකරන ආකාරයන්ගෙන් සවයං-ආයෝජනය කිරීම හෝ එහි සැබෑ හෝ සාලංකාර වත්කම් ප්‍රමාණයට නිරන්තර අවධානයෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සහ මෙය පැවැත්මේ සියළු පරිමණ්ඩලයන් හරහා කිරීම යි.

නවලිබරල්වාදයේ තර්කන මාදිලිය, වැඩ පොළවල්, පාසැල්, මහජන ආයතන, සමාජීය සහ දේශපාලන කතිකාව, සහ සියල්ලටමත් ඉහළින් මිනිස් විෂයයෙහි කඳ සහ අංගවලට කාවෙකු ලෙස විදගෙන යයි. ජනයා අද තමන් මානව ප්‍රාග්ධනය පිළිබඳ මතියට අනුව හඳුන්වා ගනිති.

නවලිබරල් බුද්ධිවාදය විසින් මිනිස් විෂයයන් සමකාලීන “ආර්ථිකමයකරණයට” ලක් කිරීම අවම වශයෙන් තෙආකාරයකින් සුවිශේෂ වෙයි.

පළමුව, සම්භාව්‍ය ආර්ථික ලිබරල්වාදයෙන් වෙනස්ව අපි හැම තැනෙකම ආර්ථික සත්වයෝ වෙමු, ආර්ථික සත්වයන් පමණක් වෙන්නෙමු.

දෙවනුව, නවලිබරල් ආර්ථික සත්වයා හුවමාරුව හෝ ඵලප්‍රයෝජන පිළිබඳ රැවක් ලෙස නොව, තම තරඟකාරී ස්ථානගත වීම ශක්තිමත් කරගැනීම සහ එහි වටිනාකම වැඩිකර ගැනීම අපේක්ෂා කරමින් මානව ප්‍රාග්ධනය ලෙසින් එහි හැඩය ලබා ගනියි.

තෙවනුව, සහ සම්බන්ධිතව, අද මානව ප්‍රාග්ධනය සහ එහි ක්‍රියාකාරකම් පරිමණ්ඩලය සඳහා වන සුවිශේෂ ආකෘතිය, නිෂ්පාදනය හෝ ව්‍යවසායකත්වමය ප්‍රාග්ධනය පමණක් නොව වැඩි වැඩියෙන් මූල්‍යමය හෝ ආයෝජන ප්‍රාග්ධනය වෙයි.

ලාභදායී හුවමාරුව සහ යමෙකුගේ වත්කම් සහ උත්සාහයන් ව්‍යවසායකත්වකරණයට ලක් කිරීම මත පදනම් වූ අලෙවිකරණය සහමුලින්ම අතුරුදහන්ව ගොස් නැති අතර, ‘සමකාලින මානව ප්‍රාග්ධනය යනු කුමක් ද?’ කරන්නේ කුමක් ද?’ යන්නෙහි අංගයක්ව පවතියි. එනමුදු, වැඩි වැඩියෙන් ආර්ථික සත්වයා මානව ප්‍රාග්ධනය ලෙසින් ජීවිතයේ සියළු අඩවිවල තම ආයෝජන කළඹ වැඩි කර ගැනීමෙහි ලා උනන්දුවක් දක්වයි. මෙය, ස්වයං-ආයෝජනය සහ ආයෝජකයන් ආකාර්ෂණය කරගැනීම පිළිබඳ භාවිතාවන් තුළින් ක්‍රියාත්මක කෙරෙන කටයුත්තකි. සමාජ මාධ්‍යයන්හි “අනුගාමිකයන්” “කැමැත්තවල්” සහ “ප්‍රති-ට්වීට්” මගින් හෝ වේවා, හැම ක්‍රියාකාරකමක් සහ අඩවියක් සඳහා ශ්‍රේණිගත කිරීම් ( ranking ) සහ මට්ටම් ( ratings) මගින් හෝ වේවා, වඩා සෘජුව මුදල්කරණය කළ භාවිතාවන මගින් හෝ වේවා, අධ්‍යාපනය පුහුණුව, විවේකය, ප්‍රජනනය, පාරිභෝජනය සහ තවත් දෙය හඹායාම තදාත්මයේ අනාගත වටිනාකම වැඩිකර ගැනීමට අදාළ උපායික තීරණ සහ භාවිතාවන් ලෙස වැඩි වැඩියෙන් සංරූපණය කරයි.

ආර්ථික සත්වයා ඉහතදී අරුත් ගැන්වූ ආකාරයක් වූයේ තම ඵල ප්‍රයෝජන උපරිමකරණය කරන්නෙකු ලෙසින් නම්, ඒ වෙනුවට මිනිස් විෂයය, සමාගමක ( firm ) සාමාජිකයෙකු ලෙසත්, එයම සමාගමක් ලෙසින්මත් – සූත්‍රගත කිරීමට ඉඩ හරියි. ඒ මෙම අවස්ථා දෙකේදීම සමාගම් සඳහා උචිත ආණ්ඩුකරණමය භාවිතාවන් විසින් උචිත ලෙස මෙහෙයවනු ලැබූ ඒවා ලෙසිනි.

රාජ්‍යය, සමාගම සහ මිනිස් විෂය තුළ එක හා සමානව, ඉහළින්-පහළට එන පාලනය සඳහා වන, හැම විටමත් පරිණාමය වෙමින් පවතින නව කළමනාකරණ ශිල්ප ක්‍රම ආදේශ කරනු ලැබෙයි.

කේන්ද්‍රගත අධිකාරය, නීතිය, පොලිස් සේවය, රීති, සහ පංගු වල තැන, දිරිගැන්වීම්කරණය, මාර්ගෝපදේශ, සහ මිණුම් ලකුණු (benchmarks) අවධාරණය කරමින්, ජාලකරණය කළ, කණ්ඩායම් පදනම් වූ, භාවිතාවට යොමු වූ ශිල්පක්‍රම, විසින් ගණු ලැබෙයි.

දේශපාලන ජිවිතයෙහි නවලිබරල්වාදය, යුක්තිය පිළිබඳ නවලිබරල් මූලධර්ම වල තැනට ආර්ථික වාංමාලාවක් ආදේශ කරයි, වෙළෙඳ සමාගමක (firm) ආකෘතිය අනුව යමින්, රජයම පවා ජාතියේ කළමනාකරුවකු බවට විපර්යාස කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවයේ සහ ජනතා පරමාධිපත්‍යයේම පවා හරයෙන් බොහොමයක් හාරා ඉවත හෙළයි. එහෙයින් නවලිබරල්වාදයේ එක් වැදගත් ඵලයක් නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ දැනටමත් රක්ත හීනතාවට ලක්ව ඇති දේශපාලන සමාජය පරාජය කිරීම යි. මෙම පරාජය ප්‍රජාතන්ත්‍රීය ආයතන, සංස්කෘතීන් සහ පරිකල්පනාවන් සඳහා අතිමහත් ඵලවිපාක සහිත ය.
නව ලිබරල්වාදය ක්‍රියාවට නැංවෙන්නේ ආණ්ඩුකරණය පිළිබඳ සුවිශේෂී ශිල්පක්‍රම මඟිනි, යහපත්ම භාවිතාවන් (best pracatices) සහ නෛතික – සියුම් වෙනස්කම් තුළිනි, කෙටියෙන් කියතොත්, ප්‍රචණ්ඩත්වය – අධිකාරවාදී අණකිරීම් නැතහොත් දේශපාලන වේදිකා මතින් නොව, සහානුමතිය සහ මිලට ගැනීම මත පදනම් වෙමින් “මෘදු බලය” තුළිනි. නවලිබරල්වාදය, එය පැල පදියම් වන, සුවසේ සිටින, සහ තහවුරුවීම ලබන හැමතැනකම, ආයතන සහ මානව සත්වයන් යළි නිමවමින්, යථාර්ථය පිළිබඳ මූලධර්මයක් ලෙසින්, විදග්ධ ව්‍යවහාරික ඥාණයක් ලෙසින් ආණ්ඩු කරයි.
එය නව මානව විෂයන්, පැවතුම්, සබඳතා සහ ලෝකයන් පැවැත්මට ගෙන එයි.

නවලිබරල් තර්කණයෙහි, වෙළෙඳපොළෙහි මූල ප්‍රතිපත්තිය සහ පදනම් යහපත ලෙස, හුවමාරුවේ තැනට තරඟය ආදේශ කරයි. නවලිබරල් තර්කණය, තරඟය ස්වභාවික නොව ප්‍රතිමාණමය ලෙසින් සූත්‍රගත කොට, එහෙයින් එයට පහසුකම් සැළසීම සහ නෛතික අනුබලය අවශ්‍ය ලෙසින් සූත්‍රගත කරයි. හුවමාරුවේ තැනට තරඟය පත්කිරීමේ සියුම් ස්ථාන වෙනස්වීමෙන් අදහස් වන්නේ, එකිනෙකා සමග හුවමාරුවේ යෙදෙනවා නොව තරඟ කරමින්, සියළු වෙළෙඳපොළ කාරකයන් හිමිකරුවන්, සේවකයන්, සහ පාරිභෝජකයන් ලෙස නොව කුඩා ප්‍රාග්ධනයන් ලෙස සකස් කරනු ලැබේ යන්නයි.

මානව ප්‍රාග්ධනයේ නිරන්තර සහ විශ්වව්‍යාපී ඉලක්කය නම්, එහි සියළු කුදු මහත් කටයුතුවලදී, ඉගෙනගැනීමෙහි, වෘත්තීයාභිමුඛ පුහුණුවෙහි, විශ්‍රාමයෑමට සැළසුම් කිරීමෙහි, හෝ තමන්ම නව ජීවිතයක ලා නිමැවීමෙහි, තම ප්‍රයත්නය ව්‍යවසායකමයකරණය කිරීමට, එහි වටිනාකම වැඩිකර ගැනීමට, එහි ශ්‍රේණිය (ranking) සමග එහි තක්සේරුව (rating) වැඩි කර ගැනීමට ය.

මානව ප්‍රාග්ධනය මෙහිලා කරන්නේ සමකාලීන සමාගම්, රටවල්, ශාස්ත්‍රාලීය දෙපාර්තමේන්තු හෝ වාර සංග්‍රහ, විශ්ව විද්‍යාල, මාධ්‍ය හෝ වෙබ් අඩවි, කරන එකම දේ පිළිබිඹු කිරිමයි: එනම්, ව්‍යවසායකමයකරණය, තරඟකාරී ස්ථානගත කිරීම, සහ වටිනාකම වැඩිකර ගැනීම සහ තක්සේරු සහ ශ්‍රේණිගත කිරිම් උපරිමකරණයට ය.

මානව ප්‍රාග්ධනයේ රූපය හැම විශ්ව විද්‍යාල සහ රැකියා අයදුම් පත්‍රයකම, හැම අධ්‍යයන උපාය මාර්ග පොදියකම, හැම වෘත්තීයාභිමුඛ පුහුණු තනතුරකම, හැම නව ව්‍යායාම හෝ ආහාරපාලන වැඩ සටහනකම, පැහැදිළිව දිස්වෙයි.

හොඳම විශ්වවිද්‍යාල ශාස්ත්‍රවන්තයන් ව්‍යවසායකත්වය සහ ආයෝජන පිළිබඳ භාවිත දැනුම සහ හැකියාව ඇති ලෙසින් ලක්ෂණකරණය කෙරෙන්නේ හුදෙක් අරමුදල් හෝ අධිශිෂ්‍යත්ව ලබාගැනීමෙන් නොවේ, නමුත් පැරණි පර්යේෂණ වලින්, නව ව්‍යාපෘති සහ ප්‍රකාශන උත්පාදනය කිරීමෙන්, ප්‍රකාශන සහ ඉදිරිපත්කිරීම් කළ ස්ථාන ගණන් කිරීමෙන් සහ ඔවුන්ගේ වටිනාකම වැඩිකරනු ඇති පරිද්දෙන් තමන්වම සහ තම වැඩ සංසරණය කිරීම මගිනි. ජාලමයකරණයේ භාෂාව “ආයෝජකයන් ආකරෂණය” කරගැනීමේ භාෂාවකි. මේ ක්‍රියාකාරකම් හැමවටම මුදල් අගයන් නොගණියි. එසේ නොව, වාච්‍යාර්ථයෙන් ධනය උත්පාදනය කිරීම අතිමහත් ලෙස ඉක්මවා යන ආකාරයන්ගෙන්, ක්ෂේත්‍ර, පුද්ගලයන් සහ භාවිතාවන්, ආර්ථිකකරණයට ලක් කරනු ලැබ ඇත.

මානව සත්වයන් මානව ප්‍රාග්ධනය ලෙසට පත්කිරීම බොහෝ අතට විහිදෙන බලපෑම් ඇති කරයි.

පළමුව, අපි හුදෙක් අපට පමණක් නොව, වෙළෙඳ සමාගමට, රජයට, හෝ අප සාමාජිකයන් වන ජාතික හෝ පශ්චාත්-ජාතික සම්මංජරියටද මානව ප්‍රාග්ධනය වන්නෙමු. එනිසාම අපට ආරක්ෂාව, රැකවරණය හෝ පැවැත්ම පිළිබඳ පවා සහතිකයක් නැත. එබඳු විෂයන්, කොතරම් ප්‍රායෝගික දැනුම සහ හැකියාවන් තිබූණද, වගකිව යුතු ආකාරයෙන් කටයුතු කළද, තමන් කරන කිසිවක් තුළින් නොව අසාර්ථකවිමේ, අතිරික්තතාවට පත්වීමේ, සහ අත්හැර දමනු ලැබීමේ නිරන්තර අවදානමට ලක්වෙයි.

අප ප්‍රායෝගික දැනුම සහ හැකියාව ඇති වගකිවයුතු ආයෝජකයන් සහ ව්‍යවසායකයන්ව සිට ඇති විටත්, මූල්‍ය අර්බුද, සේවක කප්පාදු, සේවාවන් පිටතට පැවරීම, වැඩදින කප්පාදු කරමින් නිවාඩු යැවීම්, මේ සියල්ලත් ඊට වැඩි දේත් අපව උපද්‍රවයට පත් කළ හැකිය. සියළු ආකාරයේ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළවල් නවලිබරල්වාදය විසින් ගළවා දමා ඇති විට මෙම උපද්‍රවය අවම ආහාර සහ සෙවන සඳහා වන අවම අවශ්‍යතා කරා පහතටම ගමන් කළ හැකිය. සමාජීය දේ ව්‍යවසායකමය සහ ස්වයං-ආයෝජනමය පුංජයන් බවට බිඳී විසිරී යාමට සැළැස්වීම, විශ්‍රාම වැටුපකට හෝ පුරවැසි ප්‍රජාවකට අයිතිව සිටීමෙන් සැපයෙනු ලැබෙන ආරක්ෂණයේ ඡත්‍රය ඉවත් කරයි; වියදම් දැරිය හැකි නිවාස වල සිට අධ්‍යාපනය දක්වා වන, පවුල් ජිවිතය වෙනුවෙන් වන පොදු අනුග්‍රහයන් නවලිබරල්වාදය විසිනි පිරිහෙළා තිබියදී පවා, පවුල්මයභාවය පමණක්, පිළිගැනෙන සුළු සමාජීය වරායක් ලෙසින් පවතියි.

තවද, දේශපාලනමය සහ සදාචාරමය කරුණක් ලෙස, මානව ප්‍රාග්ධනයන්ට, අත්‍යන්තයෙන් වටිනා, ඔවුන් විසින්ම ගත් කළ අරමුණක් වන, කාන්ටියානු පුද්ගලයන්ගේ ස්ථානය හිමි නොවේ; ඔවුන්ගේ ස්ථාවරය අපැහැදිළි සහ ආකූල බවින් වැඩෙයි. අයිතිවාසිකම් ම පවා අර්ථයෙන් සහ භාවිතාවෙන් තියුණු ලෙස යළි සකස් කරමින් ආර්ථිකකරණය කළ හැකිය.

දෙවනුව, සමානාත්මතාව නොව අසමානතාව, තරඟ වදින මානව ප්‍රාග්ධනයන්ගේ මාධ්‍යය සහ සබඳතාවයි. අපි තවදුරටත් එකිනෙකාට සමානව නොසළකමු. එලෙසින්, සමානාත්මාතාව නවලිබරල්කරණය කළ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රාගානුභූත හෝ මෞලික හෝ දෙයක් වීම නවතියි. ව්‍යවස්ථා සම්පාදනයේ, නීති මීමංසාවේ සහ පොදු පරිකල්පනාවෙහි, අසමානතාව සාමන්‍ය බවට, ප්‍රතිමානක බවට පවා පත්වෙයි.

තෙවනුව, සියල්ලම ප්‍රාග්ධනය බවට පත්වූ විට ශ්‍රමය, එහි සාමුහික ආකෘතිය වන පංතියද සමගින් පරාත්වරෝපණය, සූරාකෑම, සහ කම්කරුවන් අතර සංගමය සඳහා වන විශලේෂණාත්මක පදනමත් එය සමගම රැගෙන යමින් ප්‍රවර්ගයක් ලෙසින් අතුරුදහන් වෙයි. කම්කරු නීති, ආරක්ෂණ සහ ප්‍රථිලාභ වලට අභියෝග කිරීමට මඟ පාදනු ලැබෙයි. එවැනි ආරක්ෂණයන් සහ ප්‍රථිලාභ පිහිටුවීම අපැහැදිළි දෙයක් වෙයි. විශ්‍රාම වැටුප්වලට, රැකියාවේ සුරක්ෂිතභාවයට, වැටුප් සහිත නිවාඩුවලට, සහ රාජ්‍ය අංශයේ සේවකයන් දුෂ්කරව දිනාගත් සාධනයන්ට ඇති වැඩිවෙමින් පවතින විරුද්ධත්වය උදාහරණයකි.

සිවුවැනිව, ආර්ථික සත්වයා පමණක් ඇතිවිට, දේශපාලන කලාපයමත් ආර්ථික අර්ථයෙන් හැඩ ගැස්වූ විට, මහජන දේ සහ පොදු යහපත පිළිබඳ සැළකිල්ල දක්වන පුරවැසිභාවයට පදනම අතුරුදහන් වී යයි. පුරවැසිභාවයට එහි දේශපලන සංයුජතාව සහ හමුවන අවකාශය අහිමි වෙයි. ආර්ථික සත්වයාට පොදු අරමුණ හෝ පොදු ගැටළු, සුවිශේෂව දේශපාලන ආකාරයකින් සිතිය නොහැකිය. එය, තම සාමුහික දේශපාලන පරමාධිපත්‍යය තහවුරු කරගන්නා ජනතාවක්, ප්‍රජාවක් පිළිබඳ අදහස අහෝසිකරයි. මානව ජිවිතයේ සියළු අංග මෙලෙස ආර්ථිකකරණයට ලක් කිරීම දේශපාලන සත්වයා දුර්වල කොට පසෙකට තල්ලු කරයි.

නවලිබරල්වාදය, දේශපාලනය මරා දැමීමෙන් තොරව, මහජන ජිවිතය නාටකීය ලෙස කෘශ කරයි. දේශපාලන පරිමණ්ඩලය වෙළෙඳපොළකරණයට ලක්කිරීම සමග බද්ධව, මහජන ජීවිතය, විශේෂයෙන්ම උගත් මහජන ජිවිතය විනාශ කිරීම මැද, දේශපාලනය පවතියි. එම දේශපාලනය හරසුන් ය.

ඒ යටතේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රීය යුක්තිය පිළිබඳ උනන්දුවීම් බැස යයි.

රාජ්‍යය නිර්බාධී යැයි කියනු ලබන ආර්ථිකයකට සහමුලින්ම සේවය කරන අතර එය විසින් පාලනය කෙරෙයි. රාජ්‍යයම එහි සියළු කෘත්‍යයන්හිදී වෙළෙඳපොළ බුද්ධිවාදයෙන් පෞද්ගලීකරණය කොට, වටකොටු වලින් බැඳෙයි. රජය වෙළෙඳ සමාගමක (firm) කළමනාකරුවෙකු වෙයි. සමානාත්මතාව, නිදහස සහ පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සැළකිළිමත්විම් පිළිබඳ අර්ථය සහ භාවිතාව දේශපාලන රෙජිස්ටරයකින් ආර්ථික රෙජිස්ටරයකට මාරු වෙයි.

නිදහස දේශපාලන ජිවිතයෙන් ආර්ථික ජිවිතයට ප්‍රති-ස්ථානගත කළ විට, එය ආර්ථික ජිවිතයෙහි ඇති අත්‍යන්ත අසමානතාවට යටත්වන අතර, එම අසමානතාව රැකගන්නා දෙයෙහි අංගයක් බවට පත්වෙයි.

නවලිබරල් බුද්ධිවාදය යටතේ “හුදු ජීවිතය” – නොනැසී ජීවත්විම සහ ධනය අත්පත් කරගැනීම පිළිබඳ සැළකිල්ල – සඳහා වු සීමිත මානව පැවැත්ම පංති හරහා සාර්වත්‍රික සහ පූර්ණ වෙයි.

“යහපත් ජීවිතය” යනුවෙන් ඇරිස්ටෝටල් හැඳින්වූ, “නිදහස පිළිබඳ සැබෑ පරිමණ්ඩලය” ලෙස මාක්ස් හැඳින්වූ, ආචාර ධර්මීය සහ දේශපාලන නිදහස, නිර්මාණශීලීත්වය, අසීමිත අවලෝකනය හෝ නවෝත්පාදනය සඳහා වූ “යහපත් ජීවිතය” නවලිබරල්වාදය බුද්ධිවාදය විසින් අහෝසි කරනු ලබයි.

නවලිබරල්වාදය යනු අවසානයේදී ධනවාදය මානව සංහතිය ගිලදමන බුද්ධිවාදය යි. මෙම ආකාරය පැතිරීයාම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩංගුව ඉවත්කොට ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථය හුදෙක් විපර්යාස කොට, ප්‍රජාතන්ත්‍රවාදී ආශාවන් මැඩ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී සිහින අනතුරේ හෙළයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික පැවැත්මේ ජාතික රාජ්‍ය පරමාධිපත්‍යය, ධනවාදය, සහ බූර්ෂුව පුද්ගලවාදය විසින් හැඩ ගස්වනු ලැබූ එහි සීමා සුප්‍රසිද්ධය. එසේ තිබියදීත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හවුලේ බෙදා හදාගන්නා දේශපාලන සමානාත්මතාව, නිදහස සහ ජනතා පරමාධිපත්‍යයේ භාෂාව සහ පොරොන්දුව සියවස් ගණනාවක් තිස්සේ රැගෙනවිත් ඇත.

මෙම භාෂාව අතුරුදහන් වූ විට, හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපක්ෂය සංඥාර්ථවත් කිරීමට එය අවවර්ථනයට ලක් කළ විට සිදුවන්නේ කුමක් ද? ජනතාව නොහොත් ප්‍රජාව කතිකාමය වශයෙන් බිඳී විසිරී යෑමට සැළැස්වූ විට ජනතා පරමාධිපත්‍යය සඳහා ඇති අභිලාෂයට සිදුවන්නේ කුමක් ද? මානව ප්‍රාග්ධනය බවට ලඝු කළ මානව විෂයන් ජනතා බලය කරා යොමුවන්නේ හෝ ප්‍රාර්ථනා කරන්නේ වුව කෙසේද? ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන රැඩිකල් අභිලාෂයන්ට ප්‍රභවයක් සපයනු ඇත්තේ කුමක් ද?

නවලිබරල් බුද්ධිවාදය නගරයත් ආත්මයත් (සමාජයත් පුද්ගලයාත්), යන දෙකම එහි කොන්දේසිවලට අනුව යළි හැඩ ගැස්වුවහොත් එවිට කුමක් සිදුවේද?

——————–

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම
(2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලදS ලිපියකි.)

සියලු හිමිකම් (c)  ‘කතිකා’ අධ්‍යයන කවය සතුය.

Advertisements