මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග

බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය.

වත්මන් සිතීමට අනුව, සාර්ථකවීමට අපොහොසත් වන කවරෙකු අත හෝ යමක් වැරදී තිබෙනවා විය යුතුය. සාධනය කිරීමට සහ සතුටින් සිටීමට ඇති පීඩනය, තමාම පිළිබඳ අගතිගාමී දැක්මක්, දිශානතිහරණයක් (disorientation) , සහ අපේක්ෂාභංගත්වය උදා කරමින් අප මත අධික බරක් පටවයි. ජනයා පෙර කවරදාකටත් වඩා හුදෙකලා බවින් පෙළෙයි. ප්‍රේමය සොයා ගැනීම එන්න එන්නම උගහටය. අපි අර්ථවත් ජීවිත ගතකිරීමට අරගල කරමින් සිටින්නෙමු.

‘මෙම මානසික අර්බුදයට මඟ පෑදුවේ කෙසේද?’ යන්න සහ ‘අප අප පිළිබඳවම සිතන ආකාරය වෙනස් කොට ඇත්තේ කෙසේද?’ යන්න විමර්ශණය කිරීමේදී වර්හාග ගේ අවධානය සමාජ විපර්යාසය කෙරෙහි යොමුවීය. අනන්‍යතාව සහ සමාජ-ආර්ථික ක්‍රමය අතර ඇති සම්බන්ධතාවන් ගවේෂණය කරන ඔහු ආර්ථික වෙනස්කම් අපේ සාරධර්ම මත පමණක් නොව අපේ පෞරුෂයන් මත පවා ගැඹුරු බලපෑමක් කරන බව නිරීක්ෂණය කරයි. නවලිබරල්වාදයේ, නිර්බාධිත වෙළෙඳ පොළ බලවේගවල , පෞද්ගලීකරණයේ අවුරුදු 30 ක ඵල සහ අපේ ඉංජිනේරුකරණයට ලක් කළ සමාජය සහ පුද්ගල අනන්‍යතාව අතර සම්බන්ධය විමසුමට ලක් කළ ඔහු, වත්මනෙහි අපගේ සාමුහික සහ පුද්ගල මානසික යහ පැවැත්ම කෙරෙහි බලපාන සාරධර්ම පද්ධතිය නවලිබරල්වාදය බවත් එම කුසලතාතන්ත්‍රමය (meritocratic) නවලිබරල්වාදය සමහර පෞරුෂ ගති ලක්ෂණ වලට උපකාර කරන අතර වෙනත් ඒවා ට දඬුවම් පමුණුවන බවත් නිගමනය කරයි.

“ සමහරක් අයට පැහැදිළි වාසි සහතික කරන “කුසලතා තන්ත්‍රය”ක ඔබ ජීවත්වන විට, ඔබ අනවරතයෙන්ම ඇගයුමට ලක්කරනු ලබන විට සහ ඔබ ප්‍රමාණවත් තරම් උත්සාහ නොකරන්නේ යැයි ඔබට කියනු ලබන විට, ඔබේ නිර්මාණශීලීත්වය සහ ලාලසාමය (passionate) ශ්‍රමය සැණෙකින් සංඛ්‍යානමය ලෙසින් ප්‍රකාශ කොට වෙළෙඳපොළ වටිනාකම සඳහා තක්සේරු කරනු ලබන විට, දුර්මුඛ සහ බියෙන් තැතිගත් බව නොහැඟී සිටීමට ඔබට හැක්කේ කෙසේද? ඔබට රෝගයක් ඇතැයි රෝග විනිශ්චයට ලක්කරනු ලැබීම, අපේක්ෂිත මට්ටමට නැඟීමට ඔබට නොහැකියාවට නිදහසට කරුණු දැක්වීම කරනු පිණිස එය ඔබේ අනන්‍යතාවට ඇතුළත් කරගැනීම, සහනයක් සේ පවා ඔබට හැඟෙන්නට ඉඩ තිබිය හැකිය. “ජයග්‍රාහකයන්” සඳහා වෙන්කොට ඇති ඉතා සීමිත ඉඩ සංඛ්‍යාව පුරවාලීමට ඇති විකල්ප අල්ප ව සහ ඒ සඳහා එතරම්ම පීඩනයක් තිබියදී, අසාර්ථක වනවාට වඩා ස්නායුවේදීව නිර්ණය කෙරුණු ආසාදනයක් ඇතිවීම බොහෝවිට වඩා හොඳ යැයි දැනෙයි. නවලිබරල්වාදී තර්කණය පැතිරී ඇති ස්වභාවය ඔබ රෝගී තත්වයට පත් කොට ඇති හෙයින්, වරදකාරීත්වය පිළිබඳ හැඟීමෙන් ආවරණයක් ලෙස මනෝචිකිත්සාමය අපර්යායක් (disorder) යොදාගැනීම හොර ලෙඩ ගැනීමක් නොවේ. “

මේ, නවලිබරල්වාදය සහ මානසික රෝග ව්‍යාප්තිය පිළිබඳ වර්හාග ගේ විග්‍රහය එක් විචාරකයෙකු ( Anna Fishzon, New Books Network )  සාරාංශ කළ අයුරු යි.2

වර්හාග ගේ අධ්‍යයනය ගෝලීය උතුරේ රටවල ජනයාගේ අත් දැකීම් පදනම් කොට ගනියි. එනමුදු ඔහු සාකච්ඡා කරන සමාජ-ආර්ථික-සංස්කෘතික තත්වයන් ගෝලීය නවලිබරල්වාදයේ ව්‍යාප්තිය සමගින් එහි අධිපතිභාවයට අඩු වැඩි වශයෙන් යටත් වන ලංකාව වැනි රටවලද එන්න එන්නම අත් දැකිය හැකි වනු ඇත. මා ඔහුගේ අදහස් මෙහිලා ඉදිරිපත් කරන හේතුව එය යි. මා මගේ කරුණු දැක්වීමේදී වර්හාග අනන්‍යාතව පිළිබඳත්, මානසික රෝග පිළිබඳත් කරන විග්‍රහය පිළිබඳ කරුණු දැක්වීමට අදහස් නොකරමි. මා පහත කොටසින් ඉදිරිපත් කරන්නේ වර්හාග What About Me? කෘතියෙහි නවලිබරල්වාදය පිළිබඳ ගොඩ නඟන මූලික ප්‍රවාදයට අදාළ තෝරාගත් ඔහුගේ ප්‍රධාන අදහස් ය.

ආර්ථික විග්‍රහය

ආර්ථික විද්‍යාවට අනුව සළකන්නේ නම්, නවලිබරල්වාදය, නියාමනය ඉවත් කිරීම, පෞද්ගලීකරණය, වෙළෙඳපොළකරණය, සහ ගෝලීයකරණය පිළිබඳ රැඩිකල් වැඩ සටහන් ප්‍රවර්ධනය කරයි. සම්භාව්‍ය ලිබරල්වාදය, රජය පෞද්ගලික ජීවිතයට මැදිහත් වීම සීමා කරමින්, රාජ්‍යය සහ සමාජය අතර දැඩි බෙදීමක් අපේක්ෂා කරයි. නවලිබරල්වාදය, නිදහස් යැයි සිතාගන්නා වෙළෙඳ පොළට රාජ්‍යය යටත් කිරීම අපේක්ෂා කරයි.

මානවීයභාවය පිළිබඳ නවලිබරල් දැක්ම පහත පරිදිය. මානවයෝ වූ කලී තම ලාභය කෙරෙහි නාභිගත වූ තරඟකාරී සත්වයෝ වෙති. තරඟය, හැම කෙනෙකුම ඉහළටම නැඟිමට උපරිම උත්සාහ දැරීම අවශ්‍ය කරන හෙයින් මෙයින් සමාජයට සමස්තයක් ලෙස වාසියක් වෙයි. එහි ප්‍රථිඵලයක් ලෙස රාජ්‍යයේ මැදිහත්වීමෙන් නිදහස්ව තනි නිදහස් වෙළෙඳ පොළක් ඇතුළත වඩා හොඳ සහ වඩා ලාභ නිෂ්පාදන සහ වඩා කාර්යක්ෂම සේවා අපට ලැබෙයි. එම තරඟයෙහිදී සාර්ථකත්වය හෝ අසමත්වීම තනිකරම පුද්ගල උත්සාහය මත රඳා පවතින හෙයින් එය ආචාර ධර්මීයව නිවැරදි ය. හැම කෙනෙකුම තම සාර්ථකත්වය හෝ අසමත්වීම ට වග කියයි. අධ්‍යාපනයෙහි වැදගත්කම, අප ජීවත්වන්නේ සුනම්‍ය නිපුණත්වයන් ඇති අතිශයින් පුහුණුව ලද පුද්ගලයන් අවශ්‍ය කෙරෙන වේගයෙන් පරිණාමය වන දැනුම් ආර්ථිකයක හෙයිනි. තනි උසස් අධ්‍යාපන සුදුසුකමක් හොඳ ය, දෙකක් වඩා හොඳ ය. නමුත් තරඟය උග්‍ර හෙයින්, ජීවිතය පුරාම ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය ය. සියල්ල කේන්ද්‍රීය කළමනාකාරිත්ව අධිකාරයක අදිසි හස්තයෙන් මෙහෙයවනු ලැබෙන කාර්ය සාධන (performancee) සම්මුඛ පරීක්ෂණ සහ නිරන්තර ඇගයීම් ( evaluations) සඳහා ඇති වත්මන් අනිවාර්යය පිටුපස ඇත්තේ මෙයයි.

වර්හාග දකින පරිදි, පුද්ගලයන්ට ස්වෝත්සාහයෙන් තම සමාජ-ආර්ථික තත්වය ඉහළ නංවා ගත හැකි වනු ඇතැයි සමාජ සංචලතාව සම්බන්ධයෙන් නවලිබරල්වාදය දුන් පොරොන්දුව ඉටු කිරීමට එය අසමත් වී ඇත. නව ප්‍රභූන් පැණ නැඟී, ක්‍රමය තමන් ගේ ඵල-ප්‍රයෝජනයන් වෙනුවෙන් සකස් කොට ගෙන ඇති හෙයින් සැබවින්ම ගත් කළ සමාජ සංචලතාව පිරිහෙළා ඇත. නිලධාරිතන්ත්‍රය සහ නියාමනය ට එරෙහිව කටයුතු කරන්නේ යැයි කී නමුත් නවලිබරල්වාදය ඒ වෙනුවට ඉලක්ක, විගණන, සහ විමර්ශන පිළිබඳ නව තන්ත්‍රයන් පණවා ඇත. එය පෙරළා කළමනාකරුවන්, විශේෂඥයන්, පරීක්ෂකයන් සහ ඇගයුම්කරුවන් ගෙන් සමන්විත නව නිලධාරිතන්ත්‍රයක් උත්පාදනය කොට ඇත. එය, හුදු ආර්ථික වැඩ පිළිවෙළක් පමණක් නොවේ.

සම්ප්‍රදායිකව පැවති පරිදි ආර්ථිකයන් හැම විටම ආගමික, ආචාර ධර්මීය හෝ සමාජීය ව්‍යුහයන් තුළ ගිලී පැවතුණි. ඒ වෙනුවට, නවලිබරල්වාදය යටතේ එම සියලු පද්ධතීන් ‘වෙළෙඳ පොළ’ ට යටත් ය. එම අරුතින්, නව ලිබරල්වාදය තව දුරටත් ආර්ථික න්‍යායයක් නොවේ එය වඩා පුළුල් මතවාදය කි. අද අපේ සංස්කෘතිය පාලනය කෙරෙන සහ එහි විපාකයක් ලෙස අපේ අනන්‍යතාව සකස් කරන මහා ආඛ්‍යානය නව ලිබරල්වාදය යි.

නවලිබරල්වාදය පිළිබඳ ආර්ථික විග්‍රහයෙන් ඔබ්බට යමින් වර්හාග ගොඩ නඟන තර්කය නම්, නවලිබරල්වාදය ආර්ථිකය, දෛනික ජිවිතය, පාසැල් පද්ධති, විශ්ව විද්‍යාල, විද්‍යාව, සෞඛ්‍ය අංශය, මාධ්‍ය යනාදී සමාජයේ සියලු ක්ෂේත්‍ර ආක්‍රමණය කරන බවයි, එය තම අණසක යටතට පත් කොට ගෙන ඇති බවයි. එය අප අප පිළිබදව සිතන ආකාරය වෙනස් කරන බවයි.

නවලිබරල්වාදය අපගේ යුගයේ අධිපති මතවාදය බවට පත්වී ඇත. සියවස් ගණනාවක් තිස්සේ ආගම සහ මතවාදය ආචාර ධර්මය සහ හවුලේ බෙදා හදා ගන්නා පොදු අරුත් පිළිබඳ හැඟීමක් කෙරෙහි නාභිගත වෙමින්, පොදු අනන්‍යතාවට ප්‍රභවයක් සැපයීය. නවලිබරල්වාදය සාරධර්ම පිළිබඳ විප්ලවයක් උදාකර ඇත. එය, අපගේ පුද්ගල අනන්‍යතා, පෞරුෂයන් මත ගැඹුරින් හානිකර වෙනස්කම් ඇති කොට තිබේ. ඒ එකම වර සමාජය දුර්වල කොට තිබේ. එය, ප්‍රජාව අමතක කරමින් පුද්ගලයා කෙරෙහි ආශක්ත වෙයි. ආදරය සහ ආගන්තුක සත්කාරය කෙරෙහි මානවයා තුළ ඇති මූලික තෘෂ්ණාව නොසළකා හරියි.

අහංවාදය (egotism), තරඟකාරීත්වය, සහ ආක්‍රමණශීලීභාවය සහජ මානව ලාක්ෂණිකයන් වන්නා සේම පරාර්ථකාමීත්වය, සමූපකාරය, සහ සහයෝගීතාව (solidarity) ද එපරිද්දෙන්ම සහජ වන්නේ යැයි අග්‍රේෂයන් පිළිබඳ ඕලන්ද විශේෂඥ ෆ්‍රන්ස් ඩි වාල් ගේ අධ්‍යයන ( The Age of Empathy , 2009) ඇසුරෙන් වර්හාග පවසයි. අප තුළ කුමන ලාක්ෂණිකයන් අධිපති වන්නේද යන්න තීරණය කරන්නේ පරිසරය යි.
සම්ප්‍රදායික ප්‍රතිමාන සහ සාරධර්ම ඉවත හෙලීම පරිපූර්ණ නිදහස නොව වියවුල සහ බිය ඇති කරයි. නවලිබරල්වාදී මිනිසාගේ වඩාත් කැපී පෙනෙන ලාක්ෂණිකය නම් විෂාදිමයව (depressively) ණය මත සංතෘෂ්ඨිය-සොයායෑම යි.

කුසලතා තන්ත්‍රය (meritocracy) – ‘එන්රොන් සමාජය’ (Enron Society)

ආර්ථික මිනිසා පිළිබඳ සංකල්පයේ නව ලිබරල් පිටපත ට අනුව ආර්ථික මිනිසාට මඟ පෙන්වන නිර්ණායක දෙකකි. එකක් නම්, සාර්ථකත්වය යි. ඒ අනුව වෘත්තීයමය දියුණුව සහ ද්‍රව්‍යමය සෞභාග්‍යය පුද්ගල හෝ සමාජීය වලංගු භාවයේ එකම ප්‍රභවයන් වෙති. දෙවැන්න, සාධනයන් හෝ ඒවා නොමැතිවීම සහමුලින්ම පුද්ගල දක්ෂතාවට ආරෝපණය කළ හැකියැයි දක්වන, කුසලතා තන්ත්‍රය පිළිබඳ සංකල්පය යි. ඒ අනුව, සාර්ථකත්වය සහ අසාර්ථකත්වය දෙකම හැමවිටමත් පුද්ගලයා උපයා ගන්නා දේය.

‘ අපි නව සමාජීය ආකෘතියක ඵල විපාක අපි අත් දකිමින් සිටින්නෙමු. එය වෙනස් ප්‍රතිමාණ සහ සාරධර්ම රැගත් නව අනන්‍යතාවක් බිහි කොට ඇතැ’යි පවසන වර්හාග එය කුප්‍රකට ඇමෙරිකානු සමාගමක නමින් “එන්රොන් සමාජය” යනුවෙන් නම් කරයි.

නවලිබරල්වාදය විලිවසා ගන්නේ කුසලතා තන්ත්‍රය පිළිබඳ අදහසට ආවරණය වෙමිනි. මහජන “ඵලප්‍රයෝජන” සහ “සමාජ සේවය” වෙනුවට ලාභ අරමුණ ආදේශ කළ ‘එන්රොන් සමාජය’ එහි ආදර්ශය යි. මෙම සමාජය තුළ ජයග්‍රාහකයන් සිටිය හැක්කේ (පූර්වයෙහි තීරණය කළ ප්‍රතිශතයකට අනුව) තීරණය කෙරෙන ස්වල්ප දෙනෙකි. තම අසාර්ථකත්වය හේතුවෙන් වරදකරුවන් ලෙස සැළකෙන අන් අය අය නිග්‍රහයට ලක් කෙරෙයි.

අමෙරිකානු බහුජාතික සමාගමක් වූ එන්රොන් සමාගම පසුගිය සියවසෙහි අවසානයේදී, ඉදිරිපත් කළ එළඹුමෙහිදී, එය ‘ශ්‍රේණිගත කිරීම සහ ඇදීමේ ඇගයුම් ක්‍රමය’ (‘‘Rank and Yank appraisal system’) යනුවෙන් නම් කෙරෙමින්, ඉහළම නිෂ්පාදන සංඛ්‍යා ඇති සේවකයාට සියලු පාරිතෝෂක ලැබෙන අතර අඩුම සංඛ්‍යා ඇති සේවකයා සේවයෙන් පහකිරීමට කටයුතු කළේය. පුද්ගල කාර්යසාධනයන් නිරතුරුව සුපරීක්ෂාවට සහ ඇගයුමට සහ සංසන්දනයට ලක් කෙරුණි. එහි ප්‍රථිඵල මත හැම වසරකම එහි සේවකයන්ගෙන් පහෙන් එකක් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමෙන් අනතුරුව සේවයෙන් පහ කරන ලදී. මෙහි ප්‍රථිඵලයක් ලෙස වැඩි කල් නොයා සියලු දෙනම පාහේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර ව්‍යාප්ත වූ වංචාවන් ගේ ප්‍රථිඵලයක් ලෙස සමාගම නඩු විභාගයකටද බංකොළොත් වීමට ද යොමු වීය.

නමුත්, එන්රොන් ආකෘතිය අදත් පුළුල්ව භාවිතයට ගැනෙයි. බහුජාතික සමාගම්වල මානව සම්පත් කළමනාකරණයේදී 20/ 70/ 10 (ඉහළ පලදාවක් ගෙනෙන සියයට 20/ ප්‍රමාණවත් මට්ටමක ඇති සියයට 70/ අසමත් සියයට 10) රීතිය අනුගමනය කිරීම අපේක්ෂා කෙරෙයි. සමාගම ප්‍රමාණවත් ලාභයක් සහ වර්ධනයක් අත්පත් කරගත්තද මෙම පහළම සියයට 10ට අයත් වන්නන් සේවයෙන් පහ කෙරෙයි.

මෙය සාධාරණීකරණය කිරීමෙහි ලා ස්පෙන්සර් ගේ “වඩාත්ම ගැළපෙන්නා රඳාපැවතීම” පිළිබඳ ප්‍රවාදය සහ ඩෝකින්ස් ගේ “ආත්මාර්ථකාමී ජානය” පිළිබඳ සංකල්පය යොදා ගැනෙයි. පරිණාමය, “ප්‍රගතිය” යනුවෙන් අර්ථගන්වමින් ‘සමාජ වෙනස නිවැරදි මාර්ගයක මෙහෙයවිය හැකිය’ යන්න සමාජ පරිණාමවාදයේ අරමුණ වීය. ඩාර්වින් පරිණාමවාදයේදී පරිසරයට වඩාත්ම හොඳින් අනුගත වීම පිළිබඳ අදහස යෙදුවේ ඓන්ද්‍රීය ජීවය සම්බන්ධයෙනි. හර්බට් ස්පෙන්සර් මානව සමාජය සම්බන්ධයෙන් එය යොදා ගනිමින් ‘වඩාත්ම උචිත සත්වයාගේ උන්නතිය’ යනුවෙන් වෙනස් කිරීම සමාජ පරිණාමවාදය යනුවෙන් හඳුන්වනු ලැබිණි. එය පිළිපදින්නෝ උචිතෝන්නතිය පිළිබඳ එම අදහස අරුත් ගැන්වූයේ සමාජයද ස්වභාවිකව පරිණාමය වන ඓන්ද්‍රීය ජීවියෙකු ලෙස සළකමිනි. ඒ අනුව, වඩාත්ම සාර්ථක නැතහොත් ශක්තිමත් සමාජ පංතීන් සහ සමූහ සියළු සම්පත්වලට හිමිකම් කියති, එසේ කළ නොහැකි දුර්වලයෝ මිය යති, මෙය ස්වභාවික ක්‍රියාවලියකි. තවද, සමාජ අපයෝජනයන් සමාජ-ආර්ථික ප්‍රපංච නොව ව්‍යාධීන් ය, ඒවායේ වාහකයන් වනසාදැමිය යුතුය. රිචඩ් ඩෝකින්ස් ගේ The Selfish Gene (1976) පළවීම, අන් අය පසෙකට තල්ලු කොට පුද්ගලයා කරන තරඟය ට ජාන පිළිබඳ න්‍යායකින් විද්‍යාත්මක සාධාරණත්වයක් ලබා දීමට ඉඩ සැළසීය. සමාජය සහ ආචාර ධර්මය ඉංජිනේරුකරණයට ලක් කළ හැකි යැයි ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය අභ්‍යුපගමනය කළේය. නව ලිබරල්වාදය සමාජ පරිණාමවාදයේ නවතම විපර්යාසය යි. ‘වෙළෙඳපොළ බලවේග ස්වභාවධර්මය මෙනි’ යැයි ඉන් අර්ථ කථනය කෙරෙයි.

කුසලතා තන්ත්‍රය එය විසින්ම ගත් කළ නරක අදහසක් නොවේ, නමුත්, හානිකර වන්නේ, එය නවලිබරල්වාදය යටතේ යොදා ගැනෙන ආකාරයයි. එහි වාසිය ස්වල්ප දෙනෙකුට පමණි, එය අමතක කරන දෙය නම් ජනයා හැමකෙනෙක්ම එකම මට්ටමකින් ආරම්භ නොකරනවා පමණක් නොව ඔවුන්ට එක හා සමාන අවස්ථාද නොලැබෙන බවයි. දක්ෂයා කවුරුන්ද යන්න තීරණය කෙරෙන්නේ වැරදි ආකාරයට වන අතර එම ක්‍රියාවලිය නිශේධනාත්මක ඵලවිපාක ගෙනදෙයි. අධි-නියාමනය (over regulation) සහ පාලන ක්‍රමය, එක්ව ගත් කළ, වඩා අඩු ඵලදායීතාවට සහ වඩා අඩු නිර්මාණශීලීත්වට මඟ පාදයි. අත්‍යන්තමය අභිප්‍රේරණය විනාශ කිරීමට හේතුවෙයි. වැඩ කරනවාට වඩා තමන්ගේ ප්‍රථිඵල ඔප්පු කිරීමට වැඩි කාලයක් ගත කිරීමට සේවකයනට සිදුවෙයි. එහෙයින් වැඩ වල ගුණය තවත් අඩු වෙයි.

මෙම නව ප්‍රෘථුළ සාරධර්ම පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයන් නම් තරඟකාරීත්වය, ගිවිසුම් මත පදනම් නොවන සියලු මානව සබඳතා පරයා ගිවිසුම් මත පදනම් වන සබඳතාවලට මූලිකත්වය දීම, වේගය, නවෝත්පාදනය, අන්තර්සබඳතාමයභාවය, සහ සම්ප්‍රදාය විසින් පනවනු ලැබූ යදම් ඉවත හෙළීම වෙයි.

සදාචාර ප්‍රතිමානය යළිත් වරක් පුද්ගලයාගෙන් භාහිරව පවතියි, අපට අභ්‍යන්තරීකරණය කළ අධිකාරයක් අහිමිය. වැඩිහිටියන්ටත් රීති පිළිපැදීමට ද්‍රව්‍යමය ත්‍යාග පිරිනැමීමෙන් දිරිගැන්වීමට සිදුවෙයි. එහෙයින් සංවිධාන ප්‍රවීක්ෂණය (sureveillance), නිතර කෙරෙන ඇගයීම් කළ යුතු වෙයි, ඉක්මණින් ඒවා, පාලනය කිරීම් හා සමාන බවට පත්වෙයි.

ස්වාධිපත්‍යය සහ පුද්ගල පාලනය අතුරුදහන් වෙයි. එහි තැන සංඛ්‍යානමය ඇගයීම, කාර්යසාධනය පිළිබද සම්මුඛ පරීක්ෂණ, සහ විගණනය කිරීම් විසින් ගනු ලැබෙයි. තමන්ගේ වැඩ පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිය අහිමි කරනු ලැබු සේවකයෝ වැඩ කිරීම කෙරෙහි ඇති කැපවීම අඩු කරති. වැඩ පිළිබඳ ඔවුන් තුළ ඇති වගකීම හීන වෙයි.

නවලිබරල් කුසලතා තන්ත්‍රය යටතේ නින්දාවට ලක්වීම සහ බලාපොරොත්තු රහිත වීම පිළිබඳ හැඟිමක් සම්පූර්ණ අපේක්ෂා භංගත්වයට, ආක්‍රමණශීලීත්වය වැඩිවීමට, ආත්මවිශ්වාසය හීනවීමට, බිය වැඩිවීමට, ප්‍රජා ජීවිතයෙහි ලා අඩු සහභාගීත්වයට මඟ පෑදිය හැකිය, පළිගැනීම සහ ප්‍රචණ්ඩත්වය බිහිවෙයි.

නවලිබරල් සමාජයන්හි මංමුලා වූ පුරවැසියෝ තෘප්තිකරභාවය ලබාදෙන සහ කල්පවත්නා අනන්‍යතා – සාංකා සහගත, ප්‍රතිගාමී, ජාතිකවාදී හෝ මූලධර්මවාදී අදහස් හෝ ව්‍යාපාර සොයා යන්නට ඉඩ තිබේ. වඩා පොදුවේ, ඔවුන් පාරිභෝජනවාදයෙහි සතුට සොයා යති. ඒ වෙනුවට, එහි ප්‍රථිඵලය වන්නේ “විශාදිමය සුඛපරමවාදය” ( depressive hedonia ) යි.

නවලිබරල්වාදයේ ආධිපත්‍යය අධ්‍යාපනික ප්‍රභාෂාවෙන් පැහැදිළි වෙයි. එහි ලා ආර්ථිකවිද්‍යා පද අධ්‍යාපනයට සහ මානව සබඳතා වලට යොදාගැනෙයි. ඒ අනුව, දැනුම මානව ප්‍රාග්ධනය වෙයි, යෝග්‍යතාවන් ( competencies) යනු තරුණ ජනයා පවත්වාගෙන යා යුතු සහ වර්ධනය කළ යුතු ප්‍රාග්ධනයකි, ඉගෙනගැනීම දිගුකාලීන ආයෝජනයකි.

නව අධ්‍යාපනික න්‍යායයන්, අද වන විට දෙමව්පියන්ගේ බලපෑම අල්ප මට්ටමට හැකිලී තිබීම පිළිබඳ අවධානය යොමු කරන්නේද? කලෙක, ප්‍රතිමාන සහ සාරධර්ම, වැඩිමනත්ම මධ්‍යයනය කරනු ලැබූවේ දෙමව්පියන් විසින් වූ නමුදු අද එහි ලා වඩා විශාල භූමිකාවක් ඉටු කරන්නේ මාධ්‍ය යි. අධ්‍යාපනය සහ පරිණතභාවයට පත්වීම පිළිබඳ ක්‍රියාවලියක් ලෙස අරමුණු කෙරුණු සම්ප්‍රදායික අධ්‍යාපනයෙහිදී ( Bildung ) ප්‍රශස්තව සරු සංස්කෘතියක්, භව්‍යව අනන්‍යතාකරණය ලැබීමේ සරු වර්ණ තැටියක් සහතික කරයි.

වර්හාග නවලිබරල් කුසලතා තන්ත්‍රය ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබඳ උදාහරණ මනෝ වෛද්‍ය පර්යේෂන ක්ෂේත්‍රය/ විශ්ව විද්‍යාලය යනාදියෙන් ගෙන හැර දක්වයි.

පර්යේෂන ක්ෂේත්‍රය/ විශ්ව විද්‍යාලය
අධ්‍යාපනයේ සහ පර්යේෂණවල කාර්යක්ෂමභාවය මිණිය හැකි විය යුතු යැයි වත්මනෙහි කියැවෙයි. වර්හාග දකින පරිදි, කාර්ය සාධනයට වැටුප් ගෙවීමේ ( pay-for-performance ) වත්මන් මානසිකකත්වය පාසැල්, විශ්ව විද්‍යාල සහ රෝහල් වැනි ආයතන ව්‍යාපාර බවට හරවමින් පවතියි. අලුත් මෝස්තර කථා – අධ්‍යාපනික කාර්යසාධනය (educational performance), නිමැවුම (output) ශ්‍රේණිගත කිරීම (ranking ) මිණුම් ලකුනු (bench- marks) එය මැනිය හැකි යැයි හැඟීමක් ඇති කරන නමුදු බුද්ධිමය කටයුතු මැනීම පහසු නොවේ. මෙලෙස ශාස්ත්‍රාලීය සහ සායනික (පර්යේෂණ) ස්වාධීනත්වය අත්හැරීම අධීක්ෂණය ඉහළ නැංවීමක් සමග එක්ව යයි.
විශ්ව විද්‍යාල – ඉහළම විශ්ව විද්‍යාල, ඉහළම ගුරුවරු යනාදී වශයෙන්, එකිනෙකා සමග තරඟ කරති. පුද්ගලයන්ට පවා තමන් තනි පුද්ගල ව්‍යවසායයන් ලෙස සිතන්නට සළස්වනු ලැබ ඇත.

උසස් අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණයට එහි දායකත්වය හැරුණු විට, වැඩිමනත්ම එහි සමාජීය අදාළත්වය සළකා අගය කෙරුණේ එතරම් ඈතක නොවේ. එහි අරමුණ වූයේ විචාරශීලී, සමාජයට සේවය කරනු වස් තම දක්ෂතා යෙදවිය හැකි බෙහෙවින් උගත් පුරවැසියන් බිහිකිරීමයි. නමුත් මේ දිනවල සමාජයට සේවය කිරීම යල්පැන ගිය අදහසක් ලෙස සැළකෙයි. විශ්ව විද්‍යාල, දැනුම් වෙළෙඳ ව්‍යාපාර ලෙස යළි-නිමැවුම් කොට තිබේ. ඒවායේ කටයුත්ත ව්‍යාපාර අංශයට සෘජුව ධාරාගත වීමට ඔවුනට ඉඩ සළසන නිපුණත්වයන්ගෙන් ශිෂ්‍යයන් සජ්ත කිරීම යි.

වත්මනෙහි සරසවි ශාස්ත්‍රාලීය සහ පර්යේෂණ කාර්ය මාංඩලිකයෝ විශේෂයෙන්ම ඔවුන් තරුණ නම්, තම වෘත්තීන් ට තමන්ට කළ හැකි බලපෑම අල්ප යැයි හඟිති. අදිසි පරිපාලනයක සංගීතයට නැටීමට ඔවුන්ට බලකෙරී තිබේ. ඔවුහු මහන්සි වී වැඩ කරති, නමුත් තමන්ගේ රැකියා තෘප්තිකර යැයි නොදකිති. ඔවුහු තව දුරටත් තම සංවිධානය සමග කිසිසේත්ම අනන්‍ය නොවෙති, තවද වැඩ සගයන් අතර සාමූහිකත්වය බොහෝ කොට අතුරුදහන් වී ඇත. මෙයට හේතුව කුසලතා තන්ත්‍රයක් ලෙසින් ඇරඹි නමුත් නවලිබරල් ඇගයීමේ ක්‍රමයක් බවට හැරුනු ක්‍රමයෙහි පරිණාමය යි. මෙහි අවධාරණය සහමුලින්ම ඇත්තේ සංඛ්‍යාත්මක නිෂ්පාදනය කෙරෙහි හෙයිනි, එය නවලිබරල් ලෙසින් හැඳින්වෙන්නේ.

වසර පහළොවක් තුළ, සේවකයන් ගේ ගුණාංග සහ උත්සාහයන් සියුම් වෙනස්කම් සළකා තක්සේරු කරනවා වෙනුවට නිෂ්පාදනය හෝ නිමැවූ ප්‍රමාණය වාච්‍යාර්ථයෙන් මිනීම හෝ ගණනය කිරීම ක්‍රමයෙන් ආදේශ කෙරුණි, මිනීමට අසීරු දේ ඉන් බැහැර කෙරුණි, අධ්‍යාපනය දීම සහ සමාජයට දායකවීම ට බැඳුනු වැදගත්කම වේගයෙන් කඩා වැටුණි. දැන් නාභිගතවීම තනිකරම පාහේ පර්යේෂණ සහ ‘ව්‍යාපෘති’ කෙරෙහි වීය. බෝතල් කර්මාන්ත ශාලාවක මානසිකත්වය පැවැත්මට ආවේය. එහි නිෂ්පාදන ඒකකය වූයේ ශාස්ත්‍රාලීය ප්‍රකාශන යි. මෙම මිනීමෙහි ඉහළ සීමාව නොකඩවාම ඉහළ දැමුණි. ‘ජාත්‍යන්තර’ යන්න ‘ඉංග්‍රීසි’ යන්නට ආරූඪ නාමයක් වීය. (වර්හාග මෙහි ලා සඳහන් කරන්නේ බෙල්ජියානු අත්දැකීම යි.) නාභිගත වීම පොදුවේ ඉංග්‍රීසි ප්‍රකාශනවල සිට A1 යනුවෙන් හැඳින්වෙන් ඉහළම වාරප්‍රකාශන අතලොස්සකට, සහ ඉන් අනතුරුව ‘ග්‍රන්ථනාමාවලීමය-බලපෑම සාධකය’ ( bibliographical-impact factor ) ට සහ ‘සඳහන් කිරීම් සුචින්’ ට (citation indices), මාරුවීය. ශාස්ත්‍රවන්තයෙකු ඉහළම ජාත්‍යන්තර ( එනම්, ඉංග්‍රීසි-සැක්සෝනියානු ) ශ්‍රේණිගත කිරීම් ලබන වාරසංග්‍රහ වල පළ කළ යුතුය. අලුතින් එකතු වූ නිර්ණායකයක් නම් හොඳම යනු, වඩාත් උචිතව පේටන්ට් බලපත්‍රලැබීමේ අග්‍ර පදවි ප්‍රාප්තිය ලබන වඩාත්ම ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීමට සමත්වන්නා හෝ වන්නියයි. අධ්‍යාපනය සහ ආර්ථකය අතර සම්බන්ධය වඩාත් පැහැදිළිව දෘශ්‍යමාන වන්නේ මෙතැනදීය.

මෙම උග්‍ර තරඟය වඩා විශාල පරිමාණයෙන් සිදුවන විට විශ්ව විද්‍යාල පිළිබඳ සියලු ආකාරයේ පුරාණෝක්තිමය ශ්‍රේණිගත කිරීම් ( ෂැංහයි ශ්‍රේණිගත කිරීම් හෝ CHE විශිෂ්ඨත්වය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් ) වලට මඟ පෙන්වයි. මෙය, පරිපාලකයන්ට නිදි නැති රාත්‍රීන් ගතකරන්නට සළස්වමින්, කොටස් වෙළෙඳ පොළේ ගුණය අත්පත් කර ගනියි, කඩදාසි වල සඳහන් වන නිෂ්පාදනය දිගටම ඉහළ නැංවෙයි. පෞද්ගලික අසහනය, ඊර්ෂ්‍යාව, බිය සහ අනථිභීතිකාව පිළිබඳ පරිසරයක් නිර්මාණය කරනු ලැබෙයි, නිර්මාණශීලීත්වය සඵලදායී ලෙස වළක්වා ලනු ලැබෙයි.

විනය පිළිබඳ ෆූකෝල්ඩියානු මතියන් සිහිපත් කරන පරිද්දෙන් වත්මන් ශාස්ත්‍රාලීය ලෝකයේ හැම කෙනෙකුම, සියලු දෙනා විනය ගන්වමින් ඔවුනට හිමි තැන සිටුවාලමින්, ඉහළම ශ්‍රේණියේ වාර සංග්‍රහ නමැති ඔලිම්පස් කන්දේ සිට පහතට බැල්ම හෙළන, ගෝලීය නිර්ණාමික ඇගයුම්කරුගේ වියගසට බැඳෙයි. ජුපිටර් බඳු ඔහුගේ ඇසට බියෙන් කිසිවෙකු විරෝධය නොදක්වයි.

මෙහි ඇති විරුද්ධාභාසය නම් මෙම ගුණ නිරීක්ෂණ-ඇගයුම් ක්‍රමය, ආචාර්ය උපාධි පිළිබඳ වංචා, මහා පරිමාණයෙන් දත්ත ව්‍යාජව ගෙතීම සහ හැසිරවීම වැනි ප්‍රෝඩා ඇති දැඩි කිරීමයි. පැණ නැගෙමින් පවතින වඩා විශාල ගැටළුවක් නම් පර්යේෂණ සොයා ගැනීම්වල අතිමහත් ප්‍රමාණය ව්‍යාජ ඒවා වීමයි. එයත් තනිකරම තරඟය සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා වන පීඩනය හේතුවෙනි.

මෙම ප්‍රවණතාව දිගටම පැවතුනහොත් විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය බහුජාතික සමාගම් සඳහා මහජන අරමුදලින් නඩත්තු කෙරෙන මිල අඩු පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත. තරඟකාරී, සුනම්‍ය යනාදී ලෙසින් සැදුම් ගැනීමෙන්, මෙම ආයතනවල සේවයට බැඳීමට පරමාදර්ශී ලෙස සූදානම් කෙරුණු අපේ උපාධිධාරීන් බිහි කිරීම අතිරේක පාරිතෝෂිකයකි. අනෙක නම් විශ්ව විද්‍යාල හුදෙක් මිලට ගනු ලැබ කොටස් වෙළෙඳ පොළේ නිර්දේශිත සමාගම් බවට පත් කෙරෙනු ඇත. එහි යෙදවුම් (ශිෂ්‍යයන්) සහ නිමැවුම් ( සේවකයන්) වෙළෙඳ පොළේ අනුකම්පාවට යටත් වනු ඇත.

නවලිබරල්වාදය උදා කරන, වේගයෙන් වැඩෙන අසමානතාව අද හුදෙක් සංවිධාන හෝ වෙළෙඳ ව්‍යාපාරවල පමණක් නොවේ, පොදුවේ ගත් කළ සමාජය තුළ විශ්වීය සංසිද්ධියකි. විශ්වවිද්‍යාල තුළ, මිනුම් ක්‍රමයට වඩාත් හොඳින් ගැළපෙන දෙපාර්තමේන්තු, මෝස්තරයක් නොවන තැනට පත් දෙපාර්තමේන්තු යටපත් කොට වැජඹෙනු ඇත.

පාද සටහන්
1. මෙම කොටසෙහි පෝල් වර්හාග ගේ කෘතියේ එන අදහස් ඉදිරිපත් කිරීමෙහිදී, මුල් කෘතියෙන් කරුණු උපුටා දැක්වීමට අමතරව, එහි එන ඇතැම් කරුණුවල සාරාංශ කළ අදහස් පහත සඳහන් විචාරයන්ගෙන් උපුටා ගෙන ඇත්තෙමි.

Peter S Grosvener, (2015), The Humanist.com,
https://thehumanist.commagazine/march-april-2015/arts_entertainment/what-about-me-thestruggle-for-identity-in-a-market-based-society

O Bombardelli (2016) , Journal of Social Science Education, http://www.jsse.org/index.php/jsse/article/view/1521

http://newbooksnetwork.com/paul-verhaeghe-what-about-me-the-struggle-for-identity-in-a- 3
market-based-society-scribe-2014/

2. Anna Fishzon, New Books Network http://newbooksnetwork.com/paul-verhaeghe-what-about-me-the-struggle-for-identity-in-a-market-based-society-scribe-2014/

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

(2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.)
සියලු හිමිකම් (c) ‘කතිකා’ අධ්‍යයන කවය සතුය.

Advertisements