Category Archives: අධ්‍යාපනය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ.
හනා ආරන්ඩ්ට්

නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි.

ආනන්ද කුමාරස්වාමි

(පණ්ඩුක කරුණානායක ලියූ “The University and Society: To Tango or Not?” , The island 2007/08/08/ ලිපියේ උපුටා දක්වා ඇති පරිදි)

අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ රැකියා පුහුණුව

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ඉන් ලාංකේය ජාතියේ අනාගතය කෙරෙහි කරන බලපෑම කෙරෙහි බලවත් අවධානය යොමු කළ යුතුය.

වත්මනෙහි අධ්‍යාපනය ආර්ථික වර්ධනය සඳහා සහ එනිසා නව පරපුර රැකියාවලට පුහුණු කිරීම උදෙසා යොමු විය යුතු යැයි ඉමහත් බලපෑමක් තිබේ.

අධ්‍යාපනය, ආර්ථික වර්ධනයට සහ රැකියා පුහුණුවට තනිකරම ගැට ගැසීම, ජාතියේ අනාගතය බලවත් අවදානමකට ලක් කරනු ඇත.

නව පරපුර, රැකියාවන්ට යොමු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීම වත්මන් සමාජයේ එක් අවශ්‍යතාවකි.

කෙටිකාලීන දේශපාලන අරමුණුවලට හෝ, ආර්ථික අරමුණුවලට අධ්‍යාපනය තනිකරම ගැට නොගැසිය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පොරොන්දුව සියලු දෙනාටම එක සේ උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමයි.

වත්මනෙහි කෙරී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ගමන් කොට ඇත්තේ උසස් මට්ටමේ අධ්‍යාපනය ප්‍රභූ පැළැන්තියට පමණක් සීමා කෙරෙන දිශාවට ය. Continue reading ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

Advertisements

මේ යහපාලන විරෝධී ක්‍රියාව වළක්වන්න, නැත්නම්….! – ජොසප් ස්ටාලින්

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කරලා තියනවා. ඒ අතරින් මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඊ අක්ෂරය යටතේ තියනවා බඳවාගැනීම් පටිපාටියට නොගැලපේ නම් එක්වරක් පමණක් ලබාදෙන මූල්‍ය සහනයක් අසාධාරණයට ලක්වූවන්ට ලබාදෙන්න කියලා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඉන්නවා නම් ඒ අයට කොපමණ ප්‍රමාණයක මුල්‍ය සහනයක් දුන්නත් කමක් නෑ. ඒත් සේවා ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරමින් පත්වීම් ලබා දෙන්න ඉඩ දෙන්න බැහැ. සමහර අයගේ ගේ කඩලා තියනවා. ගේ කැඩුවා කියලා අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලබා දෙන්න පුළුවන් ද? මෙතන ඉන්න සමහර අය ඇත්තටම පළිගැනීමට ලක්වෙලා නැහැ. අපි ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්න බළාපොරොත්තු වෙනවා.ඒවාගේම ප්‍රථම වතාවට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සේවාවල සියළු වෘත්තීය සමිති එකතු වෙලා ඉන්නවා මේ යහපාලන විරෝධී ක්‍රියාවට විරෝධය දක්වන්න අපි පෙන්වා දෙන්න කැමතියි මීට කලින් 1978 ඉඳන්ම ආණ්ඩු මාරුවුන අවස්ථා වල දී දේශපාලන පළිගැනීම් කියලා ක්‍රමවේදයෙන් පිටගිහින් කැබිනට් තීරණ හරහා පත්වීම් ලබා දෙන්න උත්සාහ කළා. ඒ හැම අවස්ථාවේදී ම ලංකා ගුරු සංගමය විරුද්ධ වුණා. මෙවරත් අපි සටන් කරනවා. මීට කලින් මහින්ද රාජපක්ෂ 783 දෙනෙකුට කැබිනට් පත්‍රිකාවක් හරහා පත්වීම් ලබා දෙන්න උත්සාහ කලා. ඒ වෙලාවේ අපි අභියාචනාධිකරනයට ගිහින් ඒවා වැළැක්වූවා. එහෙම තිබියදී ආයෙමත් මෙහෙම පත්වීම ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපි මහින්ද රාජපක්ෂ පරාජය කළ සටනේ පෙරමුණේ සිටියේ මහින්ද කියන පුද්ගලයාව පරද්දන්න විතරක් නොවේ. ඔහුගේ ක්‍රමයත් පරද්දන්නයි. දැන් ඒ ක්‍රමයම ක්‍රියාත්මක කරනවා නම් අපි ලෑස්තියි සටන් කරන්න ආණ්ඩුව මේක අකුලා ගත්තෙ නැතිනම් අධ්‍යාපන සේවයේ සේවා හතරම සටන් කරනවා. ලංකාවේ පාසල් 10022, කලාප අධ්‍යාපන කාර්යාල 96, පළාත් අධ්‍යාපන කාර්යාල 9 ක් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 18 ක් ගුරු විද්‍යාල 7 ක් ගුරු මධ්‍යස්ථාන 107 ක් තියනවා. අපි ඒ සියල්ල වහන්න කටයුතු කරනවා. ආණ්ඩුව තීරණය කරන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ 250000 ක් ද දේශපාලන හෙන්චයියන් ද කියලා. බලය තියන්නේ කාටද කියලා පෙන්වන්න අපි ලෑස්තියි.

2015.05.01 දින රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්

චන්දන ජයවීර

“….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.”

michel-franendu

පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට අදහස් කරන බැවින් මෙහිදී ඒ ගැන නොලියමි.

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන මෙම සාකච්ඡා සභාවේදී ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දැක්වූ අදහස් අවධානයට ලක් විය යුතු දිසාවක් පෙන්වයි.

ඔහු කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි වැනි වියතුන් සේවය කළ පේරාදෙණිය සරසවියේ සිංහල අංශය, ඔවුන්ගේ අභාවයෙන් පසු පිරිහී ගිය බවයි. එකල පැවැති ශාස්ත්‍රීය ප්‍රබෝධය ඉන් පසු යලි කිසි දිනෙක ඇති නොවූ බව ආචාර්ය මයිකල් පැවසූවේ හැඟුම් බරවයි. ඔහු මෙම යුගය හැදින්වූවේ ‘පරිහානි සමය’ යනුවෙන්. තමන්ද අදාළ අංශයේ ආචාර්යවරයෙක් වශයෙන් (වසර 30කට ආසන්න කාලයක්) සේවය කළ බව ඔහු නොවලහා කිව්වා.

මේ යුගයේ බුද්ධි පරිහානියේ ස්වරූපය පෙන්වා දෙන්න, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සිය අත්දැකීමක් ගෙනහැර පෑවා. ඊට අනුව ඔහු 1970 වසරේදී, නාට්‍ය හා රංග කලාව විෂයට ආචාර්ය උපාධියක් ලබා ගෙන දශක හතරක් ගතවන තෙක් මෙම අංශයේ සේවය කළ කිසිදු විද්‍යාර්ථියෙක් එම විෂය ක්ෂේත්‍රය සඳහා එවැනි සාමාර්ථයක් ලබා ගෙන නැහැ.

ඔහු එහිදි මෙසේද සඳහන් කළා. “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.”

“අධ්‍යාපනය, භාෂාව, කලාව දියුණු කිරීම රජයකට කළ හැකි කාර්යයක් නෙවෙයි. එය කළ යුත්තේ බුද්ධිමතුන් හා කලාකරුවන්. රජය කළ යුත්තේ ඒ සඳහා ඔවුන් අවශ්‍ය සහය ලබා දීමයි.”

භාෂාව ස්ථිතික දෙයක්ය යන අදහසට එරෙහිව ඔහු කරුණු දැක් වූවා . ඔහු කියන්නේ වෙනස් වීම ස්වභාවික බවයි. එම වෙනස්වීම යහපත් දෙසට මෙන්ම අයහපත් පැත්තටත් සිදුවිය හැකි බවයි. භාෂා පරිහානිය ලෙස ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දැක්වූයේ අයහපත් අයුරින් සිදුවන භාෂා ව්‍යවහාරයයි.

ඔහුගේ අදහස් දැක්වීමට නිශ්චිත එල්ලයක් තිබු බවක් පෙනුනෙ නැහැ. ඒනිසා එය විවිධ දිශාවන්ට ඇදී ගියා. මේ අදහස් සවිස්තරාත්මකව දැක්වුවහොත් ඵලදායකයි.

පේරාදෙණිය සරසවියේ සේවය කළ කිසිදු විද්‍යාර්ථියෙක්, ගතවු වසර 40තුළ නාට්‍ය කලාව විෂය සඳහා ආචාර්ය උපාධියක් ලබා නොගත් බව ආචාර්ය මයිකල් පවසන විට මෙරට නාට්‍ය කලා අධ්‍යාපනයට අදාළ තොරතුරු කිහිපයක් හෙළිදරව් කළ යුතුයි.

– අ.පො.ස. (උ/පෙළ) සඳහා නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම 1976 වසරේ සිට නියමිතව තිබුණා.

– අ.පො.ස. (සා/පෙළ) සඳහා නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම ආරම්භ කළේ 2000 වසරේදී.

– කැලණිය විශ්වවිද්‍යාලය නාට්‍ය හා රංග කලාව සඳහා මූලික උපාධි පිරිනැමීම මෙයට වසර 7කට හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මෙයට වසර 4කට පෙර ආරම්භ කළා.

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

රත්න ශ්‍රී විඡේසිංහ

සංවාදය
සඳුන් ප්‍රියංකර විතානගේ

රත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්‍රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්‌සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්‍ෂිප්ත සටහන පහතින දිගහැරේ.

කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතු මොනවාද?

මම කෙතරම් සාර්ථක දැයි කියන්න මම දන්නේ නෑ. නමුත් කලාකරුවෙක්‌ විදියට මම කුමක්‌ හරි සාර්ථකත්වයක්‌ අත්කරගෙන තිබෙනව නම්, එයට ප්‍රධාන හේතුව සාහිත්‍යය, විශේෂයෙන් ම සම්භාව්‍ය සාහිත්‍යය, සමඟ පවතින මගේ ළඟ ඇසුර. සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් මා ලැබූ ආභාසය මේ වගේ සාකච්ඡාවකට ගැළපෙන විදියට කෙටියෙන් කියන්න බැරි තරම් අති විශාලයි. මේ ඇසුර මම පටන් ගත්තේ පාසලේ හයේ හතේ පන්තියෙන්. එදා සිට අපේ ගෙදර ‘ධර්මප්‍රදීපිකාව’, ‘පූජාවලිය,, ‘බුත්සරණ’, ‘අමාවතුර’ වගේ පොත් තිබුණා. මම ඒවා කියවනවා. ස්‌නායු පද්ධතියේ කොහේa දොa සිට සාහිත්‍ය නිර්මාණයේ දී මේවා ගලනවා මගේ නිර්මාණවලට, වෙනස්‌ වෙනස්‌ රූපවලින්, මගේ දැනුමකින් තොරව. ඒක නිරුත්සාහික ක්‍රියාවලියක්‌. පසුව සංස්‌කෘත සාහිත්‍යය ඇසුරු කිරීමේදී මට හමුවෙනවා, කාලිදාස ලිව්වා යෑයි සැලකෙන “ශෘංගාරතිලකය” කෘතිය. එහි තිබෙනවා, “ඉන්දීවරෙන් නයනං මුඛ මම්බුඡේන කුන්දේන දන්ත මධරං නව පල්ලවේන” ආදි වශයෙන් වූ ශ්ලෝකයක්‌. ඉන් අදහස්‌ වන්නේ “නයන ඉඳුවර වගේ, මුව පියුමක්‌ වගේ, දත් කොඳ වගේ, තොල් ලා දලු වගේ” කියන එක. අද අපි ස්‌ත්‍රී රුව වනන්න භාවිත කරන උපමා රූපක ටික තිබෙන්නේ මේ ශ්ලෝකයේ. අපි විතරක්‌ නොවෙයි, ගුරුලුගෝමිත් මේක ආශ්‍රය කරගෙන තමයි සුළුකළිඟුදාව ලිව්වේ. සියලු දෙනා ම කලින් තිබ්බ සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය ලබනවා. ගුරුලුගෝමිට බොහෝ පසු කාලෙක ප්‍රේමකීර්ති ලියනවා “නා දල්ලට පාට දෙන්න ඔබෙ තොල් පෙති දෙන්න” කියල. ඒක ගුරුලුගෝමි කිව්ව එකේ විලෝමය. ගුරුලුගෝමි ස්‌වභාවධර්මය ගන්නවා කාන්තාව මවන්න. ප්‍රේමකීර්ති ඒක එපා කියනවා. ඔහු කාන්තාවට කියනවා ස්‌වභාවධර්මය නිර්මාණය කරන්න කියල. හරිම සෞන්දර්යාත්මකයි, මේ ගනුදෙනුව. මේක අලුත් එකක්‌ නේ. එහෙත් අලුත් එක නිර්මාණය කරන්න පරණ එක දැනගෙන ඉන්න ඕනෑ. ඒ කියන්නේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කර තිබෙන්න ඕනෑ.

සම්භාව්‍ය සාහිත්‍යයේ තිබෙන්නේ අවුරුදු දස දහස්‌ ගාණක්‌ තිස්‌සේ එක්‌ රැස්‌ වෙච්ච කලාවේ සාරය. කවුරුන් හෝ සම්භාව්‍ය සාහිත්‍යය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඔහු හෝ ඇය කරන්නේ ඒ සමස්‌තය ප්‍රතික්‍ෂේප කිරීමක්‌. කෙනෙකු ගේ කෙටි ජීවිත කාලය තුළ දී මහා සාගරය වගේ තිබෙන කලාව තනිවම මුල සිටම ග්‍රහණය කර ගන්න බැහැ. Art is long but life is short යනුවෙන් ට්‍රොට්‌ස්‌කි කියන්නේ මේක යි. එනම් “කලාව දීර්ඝ යි, ජීවිතය කෙටි යි” යන්නයි. තමන් ගේ කෙටි ජීවිත කාලය තුළ දී මුළු ජීවිත කාලය ම උත්සාහ කෙරුවත් කෙනෙකුට මේ දැවැන්ත කලාවෙන් බින්දු මාත්‍රයක්‌ පමණයි ගන්න පුළුවන්. තනි මිනිහෙකුට තමන් ගේ ජීවිත කාලය තුළ දී මුල සිටම කලාව තනිවම සොයා ගන්න බැහැ. සම්භාව්‍ය සාහිත්‍යය ඕන වෙන්නේ ඒක යි. එහි තිබෙනවා මේ තාක්‌ හොඳ ම සාරය, එය දැන සිටියාම එතන සිට ඉදිරියට යා හැකියි. අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම සම්භාව්‍ය සාහිත්‍යය නොදන්නා කෙනෙක්‌ කරන්නේ අලුත් යෑයි සිතා පරණ දේවල් ම නිර්මාණය කිරීමයි. ඉදිරියට යනවා යෑයි සිතුවාට යන්නේ පස්‌සටයි. දැනට ම තිබෙන දේවල්මයි කරන්නේ. නූතන යෑයි හිතුවට කරන්නෙ පරණ වැඩ. අලුත් දේවල් කරන්න නම්, සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කරන්න ඕනෑ. කලාව කියන්නෙ අපූර්ව දේවල් නිර්මාණය කිරීමක්‌. අපූර්ව කියන්නේ පෙර නොවූ විරූ කියන එක. පෙර නොවූ විරූ ඒවා නිර්මාණය කිරීමට නම්, පෙර විරූ ඒවා දැන සිටිය යුතුයි. ඒවා තිබෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයයේ. ඒ නිසා සම්භාව්‍ය සාහිත්‍යයයේ ඇසුර නොමැතිව කලා නිර්මාණකරණය ගැන හිතන්නවත් බෑ. එහෙම පුළුවන් කියල කවුරු හරි හිතනවා නම් ඒක බරපතළ මුලාවක්‌.

ඔබේ නිර්මාණවල සම්භාව්‍ය සාහිත්‍යයේ එන යෙදුම් නූතන වාග් ව්‍යවහාරය සමඟ ගළපා කරන ලද සාර්ථක අත්හදා බැලීම් දකින්නට පුළුවන්. නමුත් අද බොහෝ නිර්මාණවල මේ ලක්‍ෂණය දකින්නට ලැබෙන්නෙ අඩුවෙන්?

මෙය පෙර ප්‍රශ්නයටම සම්බන්ධ යි. මේ දේ හොඳින් තේරුම් ගත යුතුයි. සම්භාව්‍ය සාහිත්‍යය හදාරන්නය කීමෙන් අදහස්‌ කරන්නේ ආචීර්ණ කල්පිත පැරැණි ලෝකයට යා යුතු බව නොවේ.

කවුරුවත් ඒක කරන්න යන්නේ නැහැ. මේ කියන්නේ නූතන විද්‍යාවේ හා තාක්‍ෂණයේ ජයග්‍රහණයන් පිළිගන්නවාත් සමගම සම්ප්‍රදායේ තිබෙන ගතානුගතික දේවල් බැහැර කළ යුතුයි කියන එක යි. සම්ප්‍රදායයේ ගතානුගතික දේ බැහැර කර එය අතික්‍රමණය කළ යුතුයි කියන එක යි. කලාවේ දී ඒ සඳහා සම්ප්‍රදාය පිරිසිඳ දැන ගත යුතු යි. පරතෙරට ම දන්නෙ නැති දෙයක්‌ අතික්‍රමණය කරන්න බැහැ. මුළු ලෝකය පුරාමත් මේ රටේත් ශ්‍රේෂ්ඨ කලාකරුවන් සියලු දෙනා ම කළේ ඒක. මුලින් සම්ප්‍රදාය පිරිසිඳ දැනගන්නවා. ඊට පස්‌සේ ඒකෙ ගතානුගතික දේවල් බිඳිනවා. අතික්‍රමණය කරනවා කියන්නේ ඒකයි. සාහිත්‍යයේදී මෙය කිරීමට නම් සම්භාව්‍ය සාහිත්‍ය හැදැරිය යුතුයි. එහෙම අවශ්‍ය නැති බව කවුරුන් හෝ පවසනවා නම් එය මහන්සි නොවී මුදල් සෙවීම සාධාරණීකරණයට කියන කතාවක්‌. සම්ප්‍රදාය හදාරපු අයට තමයි ඒක බිඳින්න පුළුවන්. බිඳින එක නේ නූතන වෙන්නේ. ඉතින් සම්ප්‍රදාය පරතෙරට හදාරපු නැති අයට කවදාවත් ඒක බිඳින්න බෑ. ඒ නිසා කවදාවත් ඒ අයට නූතන වෙන්නත් බැහැ.

සාහිත්‍ය නිර්මාණයේ දී අපි නව විද්‍යාත්මක වාග් ව්‍යවහාරයේ එන දේ සම්භාව්‍ය සාහිත්‍යයේ එන දේ සමඟ යොදනවා. නමුත් ඒක ගැළපෙන ලෙස කළ යුතුයි. වචන එක එකක්‌ අනිත් ඒවත් එක්‌ක ගැළපෙන්න ඕනෑ. මෙය හඳුන්වන්නේ “ප්‍රකරණය” ලෙසින්. මේක අද ඊයේ සොයා ගත් දෙයක්‌ නොවේ. භර්තෲහරී කියන්නේ ක්‍රිස්‌තු වර්ෂ 6 වැනි සියවසේ ඉන්දියාවේ හිටපු වාග් විද්‍යාඥයෙක්‌. නූතන වාග් විද්‍යාවේ පීතෘවරයෙක්‌ ලෙස සැලකෙන 19 වැනි සියවසේ හිටපු ඩී සෝසියර්ටත් බොහොම ඉස්‌සර. භර්තෲහරි ඔහුගේ ‘වාක්‍යපදිය’ කියන පොතේ සඳහන් කරනවා, භාෂාවේ වචනවලට කේවල තේරුම් නැති බව. ඉන් අදහස්‌ වන්නේ වචනයක තේරුම් එන්නේ “යෙන්” කියන ප්‍රකරණයෙන්. තේරුම ලැබෙන්නේ වචනයක්‌ වෙනත් වචන එක්‌ක වාක්‍යයක යොදන ආකාරය අනුව. වචන එහෙම එකිනෙකට ගැළපෙන ලෙස යොදනවා නම් එයයි ප්‍රකරණය. ඒ නිසා හරියට ගළපන්න දන්නවා නම්, අලුත් වචන විද්‍යාවට තාක්‍ෂණයට සම්බන්ධ වචන වුණත්, යොදා ගන්න පුළුවන්. එහෙම යෙදිය හැකි වෙන්නේ අවශ්‍ය සංදර්භය, එනම් ඒ වචනවලට අදාළ පරිසරය, නිර්මාණය කිරීමෙනුයි.

පසුගිය සති අන්ත පුවත්පතක ගුණදාස අමරසේකරයන් ප්‍රශ්න කර තිබුණා, ‘සිමෙන්ති’ කියන වචනය කවියේ දී පාවිච්චි කිරීම ගැන. ‘ආදරයේ සිමෙන්ති’ යන්න කොහොමටවත් යෙදීමට නොහැකි බව එතුමා පවසා තිබුණා. ඉන් පැහැදිලිවන්නේ එතුමා සඳහන් කළ අවස්‌ථාවේ දී ප්‍රකරණය හරියට යෙදී නැති බවයි. නමුත් සිමෙන්ති යන වචනය කවියට යොදා ගැනීමට නොහැකි කමක්‌ නැහැ. ආගන්තුක නොවන ආකාරයට සුදුසු පරිසරයක එය පාවිච්චි කළොත්, ඒක සාර්ථක කරගන්න පුළුවන්.

සාහිත්‍යය හරහා දරුවන්ට සම්ප්‍රදාය කුමක්‌ දැයි අවබෝධ කර දිය යුතු යි. නමුත් ඒක සිදුවන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනකු සම්ප්‍රදාය හා ගතානුගතිකත්වය යන සංකල්ප දෙක පටලවා ගෙන ඒ දෙකම එකක්‌ බවයි හිතන්නේ. යහපත් ආකල්ප වර්ධනයට මේ පැටලැවිලි බරපතල ලෙස බලපානවා. මෙවැනි බොහෝ ප්‍රශ්න විස¹ ගන්න පුළුවන්, සාහිත්‍යයට නැඹුරු වුණු නිර්මාණශීලී පරපුරක්‌ බිහි කර ගන්නට පුළුවන් නම්. එහි දී වැදගත් ම වැඩ කොටසක්‌ පැවරෙන්නෙ ගුරුවරුන්ට. ඔබත් ගුරුවරයෙක්‌, මේ කතිකාවේ දී ගුරුවරයා සිටින්නේ මොන වගේ ස්‌ථානයකද?

අතීතයේ පාසල්වල අතිශයින් ක්‍රියාකාරී වැඩ කළ ගුරුවරු සිටියා. ඔවුන් බොහෝ විට, සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වපු ගුරුවරු වුණා. ඔහුට පුළුවන්කම තිබුණා, අනෙක්‌ බොහෝ විෂයන් උගන්වන්න. ඔහු සාහිත්‍ය පාඩම උගන්වන්න ආවම චිත්‍රයක්‌ අඳිනවා, කවි ගායනා කරනවා, රඟ දක්‌වා පෙන්වනවා. ඒ හැම එකක්‌ ම ඔහුට පුළුවන්. රූපණ හැකියාව, ගායන හැකියාව, ඇඳීමේ හැකියාව ආදි ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ ආවරණය කරන්න ඔහුට හැකියාව තිබුණා. එවැනි ගුරුවරු අද නැහැ. අද දවසේ ඒ වගේ ගුරුවරුන් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වී තිබෙනවා. ඒ කාලෙ ගුරු විද්‍යාලවල සිංහල පුහුණු පාඨමාලාවක්‌ තිබුණා. වර්තමානයේදීත් විද්‍යාපීඨ එකක හෝ දෙකක ඒක තිබෙනවා. නමුත්, එය කෙතරම් හොඳින් ක්‍රියාත්මකයි ද කියන්න මම දන්නේ නැහැ. පාඩමක සටහන් ලියද්දී ව්‍යාකරණ නිවැරැදි ව යෙදීම සිංහල ගුරුවරයාට පමණක්‌ අදාළ දෙයක්‌ නොවෙයි. ඒක විද්‍යාව සහ අනෙක්‌ විෂයන් උගන්වන ගුරුවරුන්ටත් අදාළ යි. මම කලක්‌ විද්‍යා ගුරුවරයෙක්‌ ලෙස කටයුතු කළා. මම සැමවිටම ව්‍යාකරණානුකූලව සටහන් ලිවීමට දරුවන් උනන්දු කළා. භාෂා දැනුම දුර්වල නම් දරුවන්ට කොපමණ දැනුම තිබුණත් වැඩක්‌ නැහැ. දැනුම කොහොම ද ඔවුන් ප්‍රකාශ කරන්නෙ, නිවැරැදිව, නිරවුල් ව, භාෂාව නො දැන. භාෂාව මාධ්‍ය කරගෙනයි අපි හැම දෙයක්‌ ම කරන්නෙ. මාධ්‍ය වන භාෂාව දුර්වල නම් සියල්ල දුර්වලයි. අපි හිතන්නෙත් භාෂාවෙන් බව බොහෝ දෙනකුට අමතකයි. භාෂාව නිවැරැදි නැත්නම් හරියට හිතන්නත් බෑ. ඒ වගේ ම හිතන දේ කියන්නත් කියන දේ ලියන්නත් හැකිවෙන්න භාෂාව අවශ්‍යයි. ඒ හැම එකක්‌ ම අද ඉතාමත් දුර්වල අඩියක තිබෙන්නේ. අද ගුරුවරු පරිහරණය කරන කලා කෘති දෙස අවධානය යොමු කළාම කම්පාවක්‌ දැනෙනවා. ඒවා බොහොම පහත් අවර ගණයේ ඒවා. එය වහා නිවැරැදි කර ගත යුතු තත්ත්වයක්‌. සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වන ගුරුවරු විශේෂයෙනුත්, පොදුවේ අනෙක්‌ ගුරුවරුත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනගැනීමත්, රසාස්‌වාදන හැකියාව ලබා ගැනීමත් අත්‍යවශ්‍ය යි.

අනෙක්‌ වැදගත් ම ප්‍රශ්නය තමයි, දැන් තිබෙන විද්‍යා විෂයන් සහ කලා විෂයන් අතර පරතරය. අද දරුවන් ගෙන් ඇහුවොත් විද්‍යාව කියන එකේ විරුද්ධ වචනය මොකක්‌ ද කියලා, උත්තරය දෙන්නේ කලාව කියලා. විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව මිස කලාව නොවෙයි. විද්‍යාව සහ කලාව අතර පරතරය මේ මෑත කාලයේ නිර්මාණය කළ එකක්‌. විද්‍යාව සහ කලාව දෙක ම එකට ගමන් කළ යුතු විෂයන් දෙකක්‌. ඒ නිසා මේ පරතරය වහා ම නැති කළ යුතු ම දෙයක්‌ ව තිබෙනවා.

ඒ අධ්‍යාපනයේ තත්ත්වය. බාහිර සමාජයේ තිබෙන ශාස්‌ත්‍රීය හා සාහිත්‍ය සම්ප්‍රදායන් ගැන ඔබට පෙනෙන්නේ මොන වගේ දෙයක්‌ ද?

කනගාටුයි කියන්න, සාහිත්‍යය සහ ශාස්‌ත්‍රීය කියන අංශ දෙක වෙත ම අවධානය යොමු කළා ම පෙනෙන්නේ ශාස්‌ත්‍රීය කටයුතු සිල්ලර මට්‌ටමට වැටිලා. සාහිත්‍ය කටයුතු ඊටත් වඩා සිල්ලර මට්‌ටමට වැටිලා. විශ්වවිද්‍යාලවලින් කෙරෙන ශාස්‌ත්‍රීය කටයුතු ඉහළ මට්‌ටමක නැහැ. විධිමත් ව ගැඹුරක්‌ ඇති ව හදාරා මේ කටයුතු කළ යුතු බව නො සලකා හැරලා. තවමත් පරිහරණය වෙන්නේ, සරච්චන්ද්‍රයන් ගේ, වික්‍රමසිංහයන් ගේ, අසරසේකරයන් ගේ පොත්. මෑත කාලයේ දී ගම්ලතුන් ගේ පොත්. අලුතෙන් ගැඹුරු විෂය කරුණු හැදැරීමක්‌ සිද්ධ වෙලා නැහැ.

ඔබ සෑම විට ම අලුත් පරම්පරාව සමඟ කටයුතු කරන, ඔවුන් ගේ නිර්මාණ කාර්යයන්වලදී අතහිත දෙන කෙනෙක්‌. ඔවුන් මේ භාෂා සාහිත්‍ය හැදැරීම ගැන තිබෙන උනන්දුව සහ ඒ පිළිබඳ ඔවුන් ගේ ආකල්ප කෙබඳු ද?

මම රාවය සඟරාව පටන් ගත්ත කාලේ සිටම එනම් නවසිය අසූහයේ සිට එහි කවිපිටුව සංස්‌කරණය කරනවා. දැනටත් විශාල පිරිසක්‌ එක්‌ක ගනුදෙනු කර තිබෙනවා සහ කරමින් සිටිනවා. ගුරුවරයෙක්‌ ලෙස දිගු කාලයක්‌ වැඩ කළා. දේශන, වැඩමුළු ආදියට සම්බන්ධ වෙනවා. අධ්‍යාපන, මාධ්‍ය හා කලා ක්‍ෂේත්‍රවල බොහෝ දෙනෙක්‌ සමඟ සම්බන්ධ වෙනවා. ඒ මුණගැහුණු අය අතරේ හැදැරීමට උනන්දුවක්‌ තිබෙන අය ටිකෙන් ටික අඩු වුණා. ඒකට එක්‌ හේතුවක්‌ තමයි ශාස්‌ත්‍රාලීය මට්‌ටමෙන් ඒවා උගන්වන්න කාගෙවත් උනන්දුවක්‌ නැතිවීම. ගුරුවරුන් ගේ වුණත් ඒ අවබෝධය බොහෝ දුරට අඩු වෙලා තිබෙන්නෙ. ප්‍රධානම කාරණය මේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමය.

අධ්‍යාපන ක්‍රමය එහෙම වුණාට නිර්මාණකරණයේ යෙදෙන අයට උනන්දුවක්‌ තිබෙන්න ඕන මේක හදාරන්න. ඔවුන්ට එවැනි උනන්දුවක්‌ ඇත්තේ නැහැ. එහෙම හදාරන්න තැනකුත් නැහැ. එකම මාර්ගය ස්‌වයං අධ්‍යයන ක්‍රමයයි. ඒක බරපතළ ලෙස කියන්න ඕන. නමුත් ඒක කරන්නෙත් නැහැ. බොහොම ලෙහෙසි කෙටි පාරවල් හොයන බහුතරයකුයි ඉන්නෙ. අලුත් පරම්පරාව ගැන සතුටි විය නොහැකියි. ඔවුන් නිර්මාණ ශක්‌තිය නැති අය නොවෙයි. නිර්මාණකරණයට දක්‍ෂ, විභවයක්‌ තිබෙන අය බොහොමයක්‌ ඉන්නවා.

ඔබ අලුතෙන් දියත් කරන්නට යන භාෂා සාහිත්‍ය කලා සරසවිය පිළිබඳව පැහැදිලි කළොත්?

මට වුවමනායි, තව ඉගෙනගන්න. මට වුවමනායි, භාෂා සාහිත්‍ය කලා ශාස්‌ත්‍රවල ගැඹුරට ම කිමිදෙන්න. ඒ වගේ ම, මගේ දැනුම යාවත්කාලීන කරගන්න. හැදැරීම මම කවදාවත් නවත්වන්නේ නෑ. දැන් ඒක කරගන්න අගනා අවස්‌ථාවක්‌ ලැබී තිබෙනවා නව සරසවිය මගින්. වඩාත්ම සතුටට කරුණ වන්නේ අපට අද ඉන්න ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මේකේ උගන්වන එක. මේක අගනා අවස්‌ථාවක්‌. අපි හැමෝම දන්නවා අපේ ගුරුවරුන් දැන් වයස්‌ගත බව. අපට මෙතැන් සිට ඉදිරියට යන්න වුවමනා නම්, වැඩ කරන තරුණ පරපුර යෂ්ටිය අතට ගන්න ඕනෑ. ඒක කරන්න නම් භාෂා සාහිත්‍ය කලාවන් ගැඹුරින් හැදැරිය යුතුයි. නිසැක වශයෙන් ම මට කිව හැක්‌කේ මේ ඔවුන්ට ලැබෙන අවසාන අවස්‌ථාව බවයි.

ඒක නිසා විශ්වවිද්‍යාලවලට දොස්‌ කියමින් ඉන්නෙ නැතිව මේ ලැබුණ අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු. මම ආරාධනා කරනවා, කලාකරුවන් හැම දෙනාටමත්, නිර්මාණ සාහිත්‍යයට උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනාටත්, මාධ්‍ය කටයුතුවල යෙදෙන සන්නිවේදකයන්ටත්, ගුරවරුන්ටත්, විශේෂයෙන් ම භාෂා සාහිත්‍යය උගන්වන ගුරුවරුන්ටත්, ඒ වගේ ම කලා රස වින්දනය ගැන උනන්දු සියල්ලන්ටත් මෙයට සහභාගි වන ලෙස.

මෙය බෘහස්‌පති භාෂා සාහිත්‍ය කලා සරසවිය යි. පාඨමාලාව විෂයන් 10 කින් සමන්විත යි. ඒ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, සිංහල සාහිත්‍යයේ ඉතිහාසය, සිංහල භාෂාව, සිංහල භාෂාවේ ඉතිහාසය, නූතන සිංහල සාහිත්‍යය, නිර්මාණශීලි සිංහල ලේඛනය හා කථනය, ලෝක සාහිත්‍යය (ඉන්දියානු, අප්‍රිකානු, රුසියානු, ඉංග්‍රීසි, ප්‍රංශ), භාෂාවේ ඉතිහාසය, කලාවේ ඉතිහාසය, කලා විචාරය. දේශන සති අන්තයේ දිනක කොළඹ දී පැවැත්වෙන්නේ. එකම දේශනය සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ ම පැවැත්වෙන නිසා ඕනෑම කාර්යබහුල කෙනෙකුට දින දෙකෙන් ඕනෑ ම එකක්‌ තෝරා ගෙන මෙයට සහභාගී විය හැකි යි. ගුරුවරුන්ටත්, කලාකරුවන්ටත්, මාධ්‍යවේදීන්ටත්, භාෂාවෙන් වැඩ කරන වෘත්තිකයන්ටත් භාෂාව, සාහිත්‍යය හා කලා විචාරය මෙහි දී ගැඹුරෙන් ම ඉගෙන ගත හැකි යි. බෘහස්‌පති භාෂා සාහිත්‍ය කලා සරසවිය, 4/65, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02. ඊ-මේල් මගින් මේ ලිපිනයට එවන්නත් පුළුවන් bruhaspathi.lk@gmail/com

දිවයින වටමඬල

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය
කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට දැන් දින 80 කි. ඔවුනගේ ඉල්ලීම් වලට සාධනීය විසඳුමක් මේ දක්වා ඉදිරිපත් කොට නොමැති රජය දැන් එය මර්ධනය කිරීමට සූදානම් වෙමින් සිටින බව පෙනෙයි. රජයට අවශ්‍ය නම් ආචාර්ය සමිති සම්මේලනය මර්ධනය කිරීම විනාඩි දහයකින් කළ හැකි බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කොට තිබීමෙන් පෙනී යන්නේ එබඳු මර්ධනයක් පිළිබඳ රජය සළකා බලමින් සිටින බවයි. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නීත්‍යානුකූල වැඩ වර්ජනය මර්ධනය කිරීමට රජය පැත්තෙන් කිසියම් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකිද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ඇති බුද්ධි තොරතුරුවලට අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සාමකාමී වැඩ වර්ජනය සැබෑ ලෙසම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ද? මෙම ප්‍රශ්ණ පැණ නගින්නේ එක් අතකින් මෙම වැඩ වර්ජනයට විසඳුමක් දීම රජය විසින් දිගින් දිගටම කල් දමමින් සිටින අතරතුර අනෙක් අතට කුමන්ත්‍රණ කතා ගොතමින් වර්ජනය මර්ධනය කිරීමට රජය අර අඳින බවට සැකයක් මතු වී ඇති හෙයිනි.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියා සිටින්නේ මේ වනවිට තම අවම ඉල්ලීම් රජයට ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමේ ඉඩකඩ ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සමග මෙතෙක් කළ සාකච්ඡා වලින් පෙනීයන නමුත් එබඳු විසඳුමකට එළඹීමට රජය ඇතුළතින්ම බාධා එල්ල වෙමින් පවතින බවයි.

ඔවුන් හඳුනාගන්නා පරිදි මෙම බාධා මූලිකව එල්ල වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක නියෝජනය කරන පාර්ශ්වයෙනි. තනතුරු ලාභාපේක්ෂාවෙන් රජයට පක්ෂපාතීත්වය පෙන්වන විශ්ව විද්‍යාල ආචාර්යවරු අතළොස්සක් ද මේ සඳහා එකතු වී සිටිති. මෙම ප්‍රශ්නය පිළිබඳ ගණුදෙනුව තමන් අතට පවරා දෙන ලෙස මොවුන් දිගින් දිගටම රජයට බලකරන බව වාර්තා වී තිබේ. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව රජයේ මාධ්‍ය තුළින් පෙනී සිටින්නේ මොවුන් ය. අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් පිළිබඳ විසඳුමක් ඉදිරිපත් කිරීම කඩාකප්පල් කිරීමට දිගින් දිගටම කටයුතු කරන මෙම සුළු කණ්ඩායම යොදා ගන්නා උපක්‍රමය වී ඇත්තේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ රජයේ ඇති සංවේදීභාවය තම වාසියට යොදාගැනීමයි.

ඔවුන් මේ සඳහා රාජ්‍ය ආරක්ෂක බලධාරීන් තම මතයට දිනාගැනීමට ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය පිටුපස රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් එම වැඩ පිලිවෙළට අනුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සරසවි ඇදුරන්ගේ වර්ජනය විසඳීමට දරන උත්සාහයට පහසුකම් සපයන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ධම්ම දිසානායක දෙදෙනාද මෙම කුමන්ත්‍රණයේ අදිසි හස්තයකින් මෙහෙයැවෙන බවත් ඇතුළත් පුවතක් ගොතා ඇති බව කියැවෙයි. ඔවුන්ට මේ සඳහා මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ ගේ නම ගෑවීමට ඉහත විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙදෙනාට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු පිළිබඳ ඔහුට තිබී ඇති සම්බන්ධය ද උදව් වී ඇත. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිත්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ ත් ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දරන මත සහ ඒ හා සම්බන්ධ ඔවුන් ගේ අතීත ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ද ඔවුන්ගේ “රාජ්‍ය විරෝධීභාවය“ පිළිබඳ සාක්ෂි වශයෙන් ඔවුනට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරන්නන් යොදා ගනු ඇත.

මෙම කුමන්ත්‍රණ කතාව ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය පරාජය කිරීම සඳහා යොදා ගන්නා හුදු උපක්‍රමික අවියකට එහා යන දෙයක් බව යෝජනා කරන නව වර්ධනයක් පසුගිය දින වාර්තා වීය. එය නම් මෙම වර්ජනය ‘සුහර්තෝ ක්‍රමය‘ට රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් බවට මාධ්‍ය පළ කළ වාර්තාවයි. රජයේ බුද්ධි අංශ වාර්තාවක් ලෙස මුලින්ම සැප්තැම්බර් 16 වැනිදා සති අන්ත මවුබිම පුවත් පතේ පළවූ දේශපාලන තොරතුරු සටහනක සඳහන් වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ රැස්වීමකට සහභාගී වූ විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් ගෙන් එක් අයෙක් ‘සුහර්තෝ ක්‍රමය‘ට රජය පෙරලීම පිළිබඳ උපදෙස් ලබා දුන් බවයි. ඊට පසුදින සඳුදා රජයේ දිනමිණ පුවත් පත මුල් පිටුවේ වාර්තා කළේ මෙම කුමන්ත්‍රණය ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීම්වලදී සාකච්ඡා කළ බවයි. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දැනටමත් මාධ්‍ය වෙත පැහැදිළිව ප්‍රකාශ කොට ඇති පරිදි මෙම වාර්තාව අමූලික බොරුවකි. ආචාර්ය සමිති සම්මේලනය කිසිදු විටෙක රජය පෙරළීමේ කුමන්ත්‍රණයක නිරතව සිට නැති බවත් ඉහත සඳහන් ආකාර සාකච්ඡාවක් තම විධායක සභාවේ කිසිසේත්ම සිදුනොවුණු බවත් නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කොට සිටියි. එසේනම් මෙම “බුද්ධි අංශ“ වාර්තාවල පදනම කුමක් ද? එය වහාම ජනතාවට හෙළි කිරීම රජයේ වගකීමයි.

මෙම කුමන්ත්‍රණ පුවත මාධ්‍යවල පළවීමෙන් පසු ඒ අනුව යමින් රාජ්‍ය මාධ්‍ය පොදුවේත් අයි.ටී.එන් රූපවාහිනී නාලිකාව සහ ගුවන් විදුලි සංස්ථාව විශේෂයෙනුත් ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව කරන ප්‍රහාර උග්‍ර කොට ඇත. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ට අමතරව රජයේ වෙනත් දේශපාලනඥයෝද දැන් දැන් මෙම මාධ්‍ය ප්‍රහාර වලට පිවිස සිටිති. එම ප්‍රහාරවල අරමුණ ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව මැර ප්‍රහාර සහ රාජ්‍ය මර්ධනය දියත් කිරීමේ වැඩ පිළිවෙලකට යුක්ති යුක්තභාවය සැපයීම බව පෙනී යයි. ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයට එරෙහිව කෙරෙන විවිධාකාර තර්ජන පිළිබඳ නව වටයක් ඇරඹී ඇති බව පෙනෙයි.

ඉහත ආකාරයේ මාධ්‍ය ප්‍රහාර වලට තම නමද ඈඳා ගෙන තිබීමට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය උයන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ තමා මෙබඳු කුමන්ත්‍රණයකට හවුල් ය යන අදහස තමා ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටනට තිරය පිටුපස සිට නායකත්වය දෙන්නේ තමා ය යන්න තමා ලැබිය නොයුතු ගෞවරයක් තමාට පවරන බවයි.

ඉතින් ඉහත පසුබිම තුළ අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ රජය පෙරලීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කුමන්ත්‍රණය කරන්නේය යන කතන්දරය රාජ්‍ය ආරක්ෂක බලධාරීන්ට ඇති බුද්ධි තොරතුරු අනුව ඔවුන් සැබෑ ලෙසම විශ්වාස කරන්නේද? යන්නයි. එබඳු ස්ථාවරයක් ගැනීමට සත්‍ය සාක්ෂි රජය සතුව තිබේද? එසේ ඇත්නම් රජය එම තොරතුරු වහා ප්‍රසිද්ධ කොට මෙම “කුමන්ත්‍රණ කරුවන්“ හෙළිදරව් කිරීමට පියවර ගත යුතුය. එසේ නොකොට මාධ්‍ය මගින් යුක්තිය පසිඳලීමේ ලා අයි.ටී.එන් සහ ගුවන් විදුලි සංස්ථාව ඇතුලු රජයේ මාධ්‍යවල ක්‍රියාත්මක කෙරෙන සමරසිංහ-අබේසුන්දර කල්ලියට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කටයුතු විනිශ්චය කිරීමට රාජ්‍ය ආරක්ෂක බලධාරීන් ඉඩ දී සිටින්නේදැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටිනු ඇත.

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
ශ‍්‍රී ලාංකික කලාකරුවන්ට රටේ අධ්‍යාපනයේ වර්තමාන තත්වය පිළිබඳ තම අදහස් පළ කිරීමට අවස්ථාව සලසනු පිණිස සමුළුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කර ඇත. මෙම අවස්ථාවට ඔබගේ සහභාගීත්වය අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ප‍්‍රකට හා සමාජමය සවිඥානිකත්වයෙන් යුතු කලාකරුවන් වශයෙන් මෙම රටේ අධ්‍යාපනයෙහි වර්තමාන තත්වය පිළිබඳ ඔබගේ අදහස් අතිශය වැදගත් බව අපගේ විශ්වාසයයි. Continue reading රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත
– කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත් කරන්නට මෙම අරගලය සමත් වී ඇති බව මෙම රැළිය සටහන් කළේය. එපමණක් නොව මෙම රැළිය පශ්චාත් යුද ලංකා සමාජයේ වැදගත් දේශපාලන කඩඉමක් ද සළකුණු කරන්නේ යැයි සිතමි.

එය යුද සමයේ මර්ධනයට ලක් වූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යළි අත්පත් කර ගැනීමෙහි ලා ලාංකේය ජනතාව තැබූ තීරණාත්මක මුල් පියවරක්ද වන්නේය. පශ්චාත් යුද සමයේ පළමු වරට දේශපාලන පක්ෂයක් නොවන සංවිධානයක් වන වෘත්තීය සමිතියක් මහජන සහභාගිත්වයෙන් කොළඹ නගරයේ පිට්ටනියක සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන විශ්ලේෂකයන් නිරීක්ෂණය කොට තිබුණි. කොළඹ වීදි පුරා සාමකාමී ලෙස පෙළපාලි ගිය සරසවි ඇදුරන් සහ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සාමාජිකයන් හයිඩ් පාක් එකට ඇතුලු වූ පසු අවට පාරවල් සියල්ල වාහන ගමනාගමනය නොහැකි වන සේ පැය කිහිපයක් වසා තැබීමේ ප්‍රථිපලය වූයේ මහජනයාට මෙම රැළිය දැක බලා ගැනීමට අවස්ථාව අහිමි කිරීම යි. අරමුණ එය වී නම් එය රජය තමනට එරෙහිව නැගෙන ජන මතය ගැන සත්‍යය ජනතාව දැන ගන්නවාට බිය බව පෙන්නුම් කරයි.

මෙම රටේ බුද්ධිමය ප්‍රජාව වූ පිරිස සමග සංවාදයකට යනවා වෙනුවට සරසවි ඇදුරු වෘත්තීය ක්‍රියා මාර්ග ඇරඹුණු පසුගිය වසරේ සිටම, ඔවුන් සතුරන් ලෙස සළකා කටයුතු කරන්නට රජය පෙළඹීමෙන් පෙන්නුම් කෙරුණේ මෙම ප්‍රජාව පිළිබඳ නිසි තක්සේරුවක් රජයට නොමැති වූ බවයි. රජයට සමාජයේ පවත්නා යථාර්ථය පිළිබඳ නිවැරදි අදහසක් හෝ නිසි උපදෙස් දීමට සමත් බුද්ධි මණ්ඩලයක් හෝ නොමැති බවයි. රජය උසස් අධ්‍යාපන ඇමති ලෙස එස්.බී. දිසානායක පත් කිරීම පෙන්නුම් කළේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ මූල්‍ය වගකීමෙන් රජය නිදහස් වන අතර එම අංශය ඉදිරියේදී පිහිටුවෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමයට යටත් කෙරෙන මට්ටමකට ගෙන ඒමේ රජයේ පිළිවෙතයි. රාජ්‍ය අංශයේ සරසවි පද්ධතියත් පාසැල් අධ්‍යාපනයත් වෙළඳ පොල තර්කණයට යට කිරීමට රාජපක්ෂ රෙජීමය ගෙන ඇති තීරණය පෙන්නුම් කරන්නේ එය ස්ථිරසාරව නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බවයි. මේ පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, මිලින්ද මොරගොඩ පිහිටුවූ පාත් ෆයින්ඩර් වැනි රාජ්‍ය නොවන ආයතනත් අධ්‍යාපන වෙළඳාමට බැස සිටින පෞද්ගලික අංශයත් එසේ බැසීමට බලාපොරොත්තුවන දේශපාලනඥයනුත් සිටිති. මේ සියල්ලම පෙන්නුම් කළ එක් ප්‍රධාන දෙයක් නම් මහින්ද චින්තනයේ සහ මහින්ද රාජපක්ෂ රජයේ බුද්ධි විරෝධී පිළිවෙත යි. Continue reading සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත

නිදහස් අධ්‍යාපනය සඳහා වන පාද යාත්‍රාව

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය
මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල අණතුරු ඇඟවීම්වලින් පසුව වෙනත් විකල්පයක් නොමැති තැනට ඔවුන්ව පත් කල නිසා ය.

ආචාර්ය සංගම් නව වැටුප් ක‍්‍රමයක් පිළිබඳතම ඉල්ලීම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය ඉහල නැංවීමට අවශ්‍යවන මානව සම්පත ගොඩ නැගීම ඉලක්ක කර ගෙන තිබෙන බව ඉතා පැහැදිලිව ගතවූ වසරක කාලය තුල බලධාරීන්ට පෙන්වා දෙන ලදි. මේ සාකච්ඡාවල දී ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍යවන පුලුල් ප‍්‍රතිපත්ති පරිසරය ඉලක්ක කර ගත් කාරණා හඳුනා ගැනීම සිදුවු අතර මෙවර තම ඉල්ලීම් පිළියෙල කරනවිට ඒවා එම පුලුල් ප‍්‍රතිපත්ති රාමුව සමඟ බද්ධ කිරීමට ආචාර්ය සංගමය විසින් පියවර ගන්නා ලදි. මේ නිසා මෙවර ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පෙර වර්ෂය සමඟ සසඳන විට ඒවාට වඩා විශාල ගූණාත්මක වෙනසක් පෙන්නුම් කරයි.

මෙහිදී ඉතා ඉහළින් කැපී පෙනෙන්නේ රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ය. නිදහස් අධ්‍යාපනය සඳහා රාජ්‍යය විසින් සිදුකරන ආයෝජනය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට සැලැස්මක් අවශ්‍ය බව ආචාර්යවරු ඉල්ලා සිටිති. ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති සම්මුතියවන දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 6 කට සමානවන ප‍්‍රමාණයක් අධ්‍යාපනය සඳහා රජයේ වියදමින් වෙන් කල යුතු බව ඔව්හු ඉල්ලා සිටිති. අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය වැඩි දියණු කරන ඉලක්ක සහිතව ක‍්‍ර‍්‍රමයෙන් ක‍්‍රමයෙන් එය ඉහල නැංවීමට පොරොන්දුවන පැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඔවුන්ගේ මතය වෙයි. මේ සඳහා අවබෝධතා ගිවිසුමක් ඔව්හු ඉල්ලා සිටිති.

ආන්ඩුව මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂ ද මේ සඳහා දැනටමත් මූල ධර්මීය වශයෙන් එකඟතාවයක් පෙන්නුම් කර තිබීමෙන් පෙනෙන්නේ මේ ප‍්‍රශ්ණය පිළිබඳව රාජ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගන්නා මට්ටම වෙතට එම ඉල්ලීම ගමන් කර ඇති ආකාරයයි. මෙම ඉල්ලීම තම සටනට හුදු අලංකාරයක් ඇති කිරීමට ඉදිරිපත් කර තිබෙන්නක් යයි සමහර අංශවලින් එල්ල වූ චෝදනාව ප‍්‍රතික්ෂේපවීම එයින්ම පෙන්නුම් කර ඇත. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධානණ, ජන මාධ්‍ය, දෙමාපියන් සහ බහූ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සරසවි ආචාර්ය සංගම් විසින් බොහෝ දේ සිදුකර ඇති අතර ඔවුන් අතරින් වඩා දුර යන සංවාදයක් දැන් දැන් ඇරඹෙමින් තිබේ. රාජ්‍ය අධ්‍යාපනයේ ගූණාත්මක තතත්‍වය ඉහළ නංවන අයුරින් ආන්ඩුව අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කල යුතු යයි ඉල්ලන අත්සන් දශ ලක්‍ෂයක් එකතු කිරීම සඳහා ප‍්‍රචාරක ව්‍යාපාරයක් ආචාර්ය සංගම් විසින් රට පුරා දියත් තර ඇත.

සෑම දරුවකුටම ලබා දෙන අනිවාර්ය අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් බවට එදා පත් වූයේ අධ්‍යාපනයේ පරමාර්ථය පුද්ගලයා නිදහස් මනසක් සහිතව ගොඩ නගන්නට මූලික අඩිතාලම දමන නිසා ය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන්නේ පුද්ගලයා වහල්, වැඩවසම්, වෙළඳපල යනාදී කිසිදු ආර්ථික විය ගසක දාසයකු කිරීම හෝ දේශපාලන හෝ වෙනත් කිසිදු බලධාරී පාලන දහරාවකට යටත් මානසිකත්වයට පත් කිරීම නොවේ. ඔහු හෝ ඇයව එබඳු බලපෑම් ඉදිරියේ අදීනව සිටින නිදහස් මිනිසකු බවට පත් කිරිම ය. අධ්‍යාපනයේ දී වැදගත් වන මෙම විමුක්තිදායක අධ්‍යාපනය (Emancipatory Education), ලබා දීමේ වගකීම රාජ්‍යය විසින් භාර ගැනීම නිදහස් අධ්‍යාපනය යනුවෙන් එදා අදහස් කරන ලදි. Continue reading අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්
රුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි

2012 අගෝස්තු මස 06 වන දින දිවයින පුවත්පතේ වම් ඉවුර විශේෂාංගයට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය සාධාරණද ? මැයෙන් ලියන ලද ලිපිය කියවීමෙන් දැඩි මවිතයට හා කලකිරීමට පත්වීමු. එම ලිපිය වම් ඉවුර විශේෂාංගයේ පළවුවත් දකුණු ඉවුරට ආවඩමින් පොදුජන පාඨකයා නොමඟ යැවීමට දැරූ කුහක උත්සාහයක් ලෙස හැඟී ගිය බැවින් එයට පිළිතුරක් සැපයීමට අදහස් කළෙමු.

එම විශේෂාංගය දිවයින පුවත්පතට ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් කේෂ්ත්‍රයේ රැඳී සිටිය ද ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ පසුගිය දා “Gota’s War” නමින් ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය සුනුවිසුණු කිරීම පිළිබඳ ව ලියන ලද කෘතියෙනි. ශ්‍රී ලංකාවේ දශක තුනකට අධික කාලයක් සියලු ජන කොටස් පීඩනයට ලක්වූ කුරිරු යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව එහි ඓතිහාසික පසුබිම විවරණය කිරීමට ගත් උත්සාහයක් ලෙස එම කෘතිය පෙන්නුම් කරන නමුදු, යුද්ධය වෙනුවෙන් අනේක විධ කැපකිරීම් කළ බොහෝ පාර්ශවයන් අමතක කොට එහි ගෞරවය එක් පාර්ශවයකට හිමිකර දීමට චන්ද්‍රප්‍රේම මහතා ට තිබූ අවශ්‍යතාව කෙබඳු එකක් ද යන්න එම කෘතිය “ගෝඨාගේ යුද්ධය” ලෙස නම් කොට තිබීමෙන් ම ප්‍රකට වෙයි. එනිසා ම පේමචන්ද්‍ර මහතා වම් ඉවුරට ලියූ “විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණද?” යන ලිපිය ද වරදාන අපේක්ෂාවෙන් එක් පාර්ශවයක් සතුටු කිරීමට ගත් උත්සාහයක් බව පොදු පාඨකයාට හැඟී යනු ඇත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා සිය ලිපිය ආරම්භ කරන්නේ මෙතරම් කාලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක යෙදුන අවස්ථාවක් ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වත් මතක නැති බව පවසමිනි. සත්‍ය වශයෙන්ම දශක හතකට ආසන්න ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක ට එලඹි ප්‍රථම අවස්ථාව මෙය යි. එනිසා චන්ද්‍රප්‍රේම මහතාට තබා කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට එබඳු වැඩ වර්ජනයක මතකයක් තිබීමට හේතුවක් නැත. එසේ ම වෘත්තීය සටන් ඉතිහාසය තුළ සිය වැටුප 5% කින් කප්පාදු කරද්දීත් වැඩ වර්ජනයකට අවතීර්ණ නොවූ එකම වෘත්තීය කණ්ඩායම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බව චන්ද්‍රප්‍රේම මහතා ට මතක්කර දීමට කැමැත්තෙමු. Continue reading වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්