Category Archives: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය

“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර

බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු කළ යුතුයි. සිංහල ජාතිය, සිංහල භාෂාව, බුද්ධ ශාසනය නැතිව යනවා කියලා අනියත බියක් සිංහල බෞද්ධයන් තුළ ඇති කරල තියෙනවා. මේක තමයි මේකේ පදනම. මේ දේ ට මූලික සතුරු ප්‍රවාහය ලෙස දකින්නේ දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශවල තමන්ගේ ස්වායත්ත දේශපාලන බලය සහ නිදහස ඉල්ලීමයි. සිංහල ජනයාට තමන්ගේ භාෂාව, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම නැතිව යයි කියන බිය ඇතිවෙන්නේ කුමන හේතු පදනම් කර ගෙන ද කියන දේ පිළිබඳ විග්‍රහයකට අපි යා යුතුයි. මම හිතන්නේ නම් සිංහල බෞද්ධයන්ගේ අනාගතයට බරපතළ ම තර්ජනය එල්ල වෙන්නේ සිංහල බෞද්ධ සමාජය ඇතුළෙන් මයි………මෙහි දී 72 ව්‍යවස්ථාවට ඇතුළත් කරපු මේ බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දිය යුතුයි කියන කාරණය පිළිබඳ දෙමළ ජනතාව තුළ විශාල විරෝධයක් පවතිනවා. ඒ විරෝධය පැවතීමට හේතුව ඔවුන් බුද්ධාගමට විරුද්ධ කමක් නොවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ වසර තිහක් පැවතිච්ච යුද්ධය තුළ බුද්ධාගම, රාජ්‍යයේ කටයුතු සහ මිලිටරීකරණය සමඟ පැහැදිලි සබඳතාවක් දකින්නට ලැබුණා…….සිංහල බෞද්ධ ජාතිවාදී කොටස් මම කලින් කියපු බිය සම්බන්ධ කාරණා මත තමන්ගේ අනන්‍යතා ලක්ෂණ දෙමළ සමාජය තුළ පිහිටුවීමේ නිරන්තර උත්සාහයක යෙදෙනවා. ඒකේ ප්‍රධාන සංකේතයක් වෙන්නේ බුද්ධාගම. මේ නිසා දෙමළ ජනතාව තුළ දැඩි බියක් පවතිනවා ඔවුන් ව යටත් කර ගැනීමේ, නිදහසක් නො දීමේ ක්‍රියාවලිය තුළ බුද්ධාගම විශාල සංකේත බලයක් සමඟ රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. මං හිතන්නේ යුද්ධය අවසන් වුණා, ත්‍රස්තවාදය පරාජය කළා, අපි අනාගතය දෙස බලනවා නම් අපි උත්සාහ කළ යුත්තේ එබඳු බිය, සැක සමාජයෙන් ඉවත් කිරීමයි. අපි ලංකාවේ සමාජයේ සියලු දෙනාට සමානව සලකනවා නම්, එබඳු බියක් ඇති වන කිසිදු කාරණයක් ව්‍යවස්ථාපිත පදනමකින් ස්ථාපිත නො කළ යුතුයි. එහි දී අපි සියලු ආගම්වලට සමානව සැලකිය යුතුයි. බුද්ධාගමේ සමහරුන් කියන්නේ බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය තිබිය යුතුයි එහෙම නොවුනොත් බුද්ධාගම නැති වී යාමේ තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. බුද්ධාගමට හෝ වෙනත් සියලු ආගම්වලට ආණ්ඩුවෙන් ඔවුන්ට ලැබිය යුතු කිසියම් ආකාරයක මූල්‍ය හෝ ආයතනික සහාය ලබා දීමට ව්‍යවස්ථාවේ කිසියම් ආගමකට ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙනවා කියලා සඳහන් කිරීම අවශ්‍ය නැහැ. ඒ සඳහා ප්‍රතිපාදන සපයා ගත හැකියි. ඒ සම්බන්ධව කිසිවෙක් විරුද්ධ වෙන්නේ නැහැ. මං හිතන ආකාරයට බුද්ධාගමට එල්ල වෙලා තියෙන ලොකු ම අනතුර එල්ල වෙලා තියෙන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය කියන කාරණයෙන් නොවෙයි. ආණ්ඩුවේ අනුග්‍රහය දැන් තියෙනවා. නමුත් අද බුද්ධාගමේ වර්තමාන තත්ත්වය මොකක්ද? එතන සඳහන් වෙන්නේ බුද්ධාගම ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සංඝයා වහන්සේලා නැතිකම, පන්සල් වැසී ගෙන යාම එහෙම නැත්නම් තරුණ පිරිස් ආගමින් ඈත් වීම වගේ කාරණා…..ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය පරාජය කළා කියලා ජනවාර්ගික ප්‍රශ්නයට තුඩු දුන් මූලික කරුණු අහෝසි වෙලා නැහැ. වෙනත් විදියකින් කියනවා නම් සමහර සිංහල බෞද්ධ ජාතිකවාදී කොටස් හිතනවා වගේ දෙමළ, මුස්ලිම් කියන ජනවර්ග දෙක සිංහල ජාතියට අවශෝෂණය කර ගෙන මේ ප්‍රශ්නය විසඳීමේ හැකියාවක් අද සමාජයේ පවතින්නේ නැහැ. ඊට හේතුව ඒ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා යටත් විජිතවාදයේ පැමිණීමත් සමඟම සිංහල ක්‍රිස්තියානි සහ ඒ ජනවාර්ගික අනන්‍යතාවන් ස්ථාපිත කිරීම පදනම් කර ගෙන…….ඒ තත්ත්වය තුළ මගේ අදහස නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස්වලට එක ලංකාවක් තුළ, එක කියන කොට ඒකීය කියන වචනය මම පාවිච්චි කරන්න කැමති නැහැ. එක්සත් ලංකාවක් තුළ ජීවත් වීමට පදනම දැමිය හැකි වන්නේ ජනවර්ග පදනම් කර ගෙන නොවෙයි, එතැනිනුත් එහාට යන ආකාරයට පහළ මට්ටමින් ගම්, කුඩා නගර, මට්ටමින් ආරම්භ කළ පුරවැසියන්ට දේශපාලන බලය බෙදීම දක්වා දුර දිග යන බලය බෙදීමකින් පමණයි කියල යි මම විශ්වාස කරන්නේ.

Continue reading “ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර

Advertisements

මරණය වැළඳ නොගන්නා ගොවිතැනක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…

සමානාත්මතාවය, ගරුත්වය, ආර්ථීක සාධාරණත්වය යන මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී 2016 සැප්තැම්බර් 20 දින මහජන ව්‍යවස්ථාවක් සදහා ක්‍රියාකාරිත්වය පවත්වන ලද මහජන රැළියේ දී කවුඩුල්ලේ ජයතිස්ස දැක්වු අදහස් මෙහි වන අතර පාරිසරික ගොවිතැන තහවුරු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වැදගත්කම ඔහු එහිදී මතු කරයි. (වීඩියෝ අනුග්‍රහය වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වේලායුදන් ජයචිත්‍රා මහත්මියට අපගේ ස්තුතිය.)

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

2016 සැප්තැම්බර් 13

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

පළමුව මෙය රටපුරා ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව වෙත මේ සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා නැවත ඉස්මතු කිරිමක් පමණක් බව අපි අවධාරණය කරමු. මෙම යෝජනා මහජන නියෝජන කමිටුවේ වාර්තාවේ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ (විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ මඟ පෙන්වීමේ මූලධර්ම, පරම අයිතිවාසිකම්/මූලික අයිතිවාසිකම් පනත, රාජ්‍ය මූල්‍ය සහ ඉඩම් සංවර්ධනය හා පරිසරය සම්බන්ධ පරිච්ඡේදයන්හි) සවිස්තරාත්මක නිර්දේශයන් මගින් පැහැදිළිව ඉදිරිපත් කර ඇත.

දෙවනුව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු ඉතිහාසය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වැනි ක්ෂේත‍්‍රයන්සඳහා රජයේ මැදිහත්වීමපිළිබඳශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ගොනු කර ගත යුතු අතර, ඒ මගින් නිදහස, ගරුත්වය, යහපැවත්ම සහ මානව ආරක්ෂාව සඳහා පදනම් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බව තහවුරු කළ යුතුය. වර්තමාන මූල්‍ය හා වෙළෙදප‍්‍රතිපත්තින් මගින් ද, යුද්ධය හා නැවත ගොඩනැංවීමට හා සංවර්ධනයට අදාලව යුද්ධයෙන් පසු සිදුකරන ලද ක‍්‍රියාවලින් මගින් ද, සිදු කර තිබෙන සමාජ හා කලාපීය අසමානතාවයන් හා අස්ථීරත්වයන්උග‍්‍රකරවීම, සමාජ ප‍්‍රතිපත්තීන් දුර්වල කරවීම හා ඒවායේ සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැය අප අත්දකින මෙවන් මොහොතක මෙය ඉතා වැදගත් වේ. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

“බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම සංඝ සංස්ථාව දූෂණයට බඳුන් වීමට හේතුවක්” – කුමුදු කුසුම් කුමාර

අනාගමික රාජ්‍යයක් යනු කුමක් ද? අප මේ ප්‍රශ්නය මතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වාර්තාවේ ආගම පිළිබඳ කර ඇති එක් නිර්දේශයක් වන “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය” යන අදහස මුල් කොට ගෙන මතු වී ඇති ආන්දෝලනය සලකන විට ය. මහජන අදහස් විමසීමේ කමිටුවේ එම නිර්දේශය ඉදිරිපත් කළ එක් කමිටු සාමාජිකයකු වශයෙන් මෙම ලිපිය ලියමි.

කමිටු වාර්තාවේ ආගම පිළිබඳ දක්වා ඇති විකල්ප නිර්දේශ හය (06) ක් වෙයි. (වරහන් ඇතුළත දක්වා ඇති නම්, එක් එක් නිර්දේශය වෙනුවෙන් පෙනී සිටින කමිටු සාමාජිකයන් ගේ ය.) ඒවා නම්:

i. කිසිම වෙනසකින් තොර ව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (II වැනි පරිච්ඡේදය) 9 වැනි ව්‍යවස්ථාව තබා ගැනීම. ( කුෂාන් ද අල්විස්, ජ.නී; එම්.කේ. නදීකා දමයන්ති)

ii. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “බුද්ධාගම” නොව “ආගම්” යනුවෙන් වෙනස් විය යුතු අතර 9 වැනි ව්‍යවස්ථාව කිසිම වෙනසක් නො කර තබා ගත යුතු ය. (තේමිය එල්.බී. හුරුල්ලේ; වින්ස්ටන් පතිරාජ)

iii. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට වෙනස් කළ යුතු ය:

ශ්‍රී ලංකා ජනරජය සියලු ම ආගම්වලට සම තත්ත්වයක් දිය යුතුය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි හා 14(1)ඉ ව්‍යවස්ථාවලින් සියලු ආගම්වලට ලබා දී ඇති අයිතීන් ආරක්ෂා කරමින් රාජ්‍යය බුද්ධාගම හා බුද්ධ ශාසනය පෝෂණය කර ආරක්ෂා කළ යුතු ය. (උපුල් අබේරත්න; එම්.එල්.ඒ. කාදර්; ලාල් විජේනායක; සිරිමසිරි හපුආරච්චි; සුනිල් ජයරත්න)

iv. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය. (හරිනි අමරසූරිය; එස්.සී.සී. ඉළංකෝවන්; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එන්. සෙල්වක්කුමාරන්)

v. ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාරය පිළිගන්නා අතර ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු ය.( ඒ.එම්. නවරත්න බණ්ඩාර)

vi. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “ආගම්” විය යුතු ය. එයට අදාළ ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට සංශෝධනය විය යුතු ය.

“ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක් දිය යුතු ය.” (එස්. තවරාජා; එස්. විජේසන්දිරන්)
මෙහි පළමුවැන්න හැර අන් සියලු නිර්දේශ පෙන්නුම් කරන්නේ ඒවා ඉදිරිපත් කෙරෙන්නේ වත්මන් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත් වය දීමෙන් උදා වන ගැට‍ළු සහගත තත්වය අඩු වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන බවයි.

විවාදයට තුඩු දී ඇති ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යන්න ඉහත නිර්දේශ හය (06) අතුරෙන් එකක් පමණි. ඉහත පස්වැනි (05) නිර්දේශය ද රාජ්‍යය සහ ආගම අතර තිබිය යුතු සම්බන්ධය පිළිබඳ ගත් කළ පෙර කී එකට හරයෙන් සමාන යැයි සලකා එයට එකතු කළ ද එතන ඇත්තේ නිර්දේශ දෙකකි.

එම සියලු නිර්දේශ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සැලකිල්ලට ගැනීම සඳහා සාමාජිකයන්ගේ විකල්ප නිර්දේශ” වශයෙන් ඉදිරිපත් කොට ඇත. මෙහි “විකල්ප නිර්දේශ” යන්නේ අදහස මේ සියලු නිර්දේශ එක හා සමාන වැදගත් කමක් ඇති ලෙස සලකා කමිටුව විසින් ඉදිරිපත් කරන බවයි. රටේ ජනතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවකින් පසු එකඟ විය හැකි නිර්දේශයක් සම්පාදනය කර ගත හැකි බවයි.

වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී කමිටුව එකඟ වූයේ මහජන නියෝජන මත පදනම් ව කෙරෙන හෙයින් සියලු නිර්දේශ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡාව සඳහා එක හා සමාන වැදගත් කමකින් සලකා ඉදිරිපත් කිරීමට ය. ජනතාවගේ නියෝජනවලට සංඛ්‍යානමය අගයක් දීමට වලංගු පදනමක් සැපයීමට නො හැකි හෙයින් එසේ නො කිරීමට කමිටුව එකඟ වුණා ය. ඒ ලෙසින් ම කමිටුවේ සාමාජිකයන් වැඩි දෙනෙක් දෙන ලද නිර්දේශයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න මත එම නිර්දේශයට අන් ඒවාට වඩා වලංගුභාවයක් පැවරිය නො හැකි යැයි ද කමිටුව එකඟ වී ය.
කරුණු මෙසේ තිබිය දී ඉහත සඳහන් අනෙකුත් නිර්දේශ සියල්ල පසක ලා ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යන නිර්දේශය පිළිබඳ පමණක් විවාදයක් මතු වීම අප වටහා ගන්නේ කෙසේ ද?

මා දකින පරිදි , එයට හේතුවක් විය හැක්කේ, මෙම නිර්දේශය එහි එන ‘අනාගමික’ යන පදයත් සමගින් වටහා ගන්නා ආකාරය යි. ‘අනාගමික’ යනු ඉංග්‍රීසියෙන් යෙදෙන ‘secular’ යන පදයට සිංහලෙන් ඇති ප්‍රධාන අරුත් දෙකෙන් එකකි. එනම්, ආගමික නොවන යන්න ය. අනෙක් අරුත “මෙලොව, ලෝකායත්ත, ලෝකායත, ලෞකික” යන්න යි. Secular state යනු අනාගමික/ ලෝකායත්ත රාජ්‍යය යි. (සුචරිත ගම්ලත් ශබ්ද කෝෂය)

මෙහි ලා රාජ්‍යය යනු ජනතාවගේ “පරමාධිපත්‍යය” ක්‍රියාත්මක කිරීමට මුල් වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන පද්ධති තුනෙන් සැදුම් ගන්නා, රට පාලනය කරන රාජ්‍ය තන්ත්‍රය යි. එහෙයින් ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යනුවෙන් අදහස් කරන්නේ රට කරවන රාජ්‍යය ආගම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ගත් කළ කිසියම් ආගමක් සුවිශේෂ කොට නො සළකනු ඇති, එනම් නිල වශයෙන් මධ්‍යස්ථ ව සිටිනු ඇති, බවයි. එසේ නොමැතිව ශ්‍රී ලංකාව යනු ආගම් බැහැර කරන හෝ නො සළකා හරින රටකි යන්න ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඉන් අදහස් නොවේ. එබඳු ආගම් විරෝධී ආස්ථානයක් එහි නොවේ. මේ බව ආගම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුබිම් වූ සාකච්ඡාව පිළිබඳ ඉහත කමිටු වාර්තාවේ එන විස්තරය කියවූ කළ පැහැදිළි වෙයි.

කමිටු වාර්තාවේ ‘රාජ්‍යය අනාගමික විය යුතු ය’ යන නිර්දේශය ඉදිරිපත් කිරීමට පදනම වූයේ එක් අතකින් ආගම පෞද්ගලික ඇදහීම හා විශ්වාසය සම්බන්ධ දෙයක් වන හෙයින් එයට රාජ්‍යය මැදිහත් විය යුතු නැති බවත්, අනෙක් අතට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිදි එක් ආගමකට ප්‍රමුඛත්වයක් දීම අනිත් ආගම්වලට වෙනස් ලෙස සැලකීමක් වන බැවින් එය සමානාත්මතාවේ මූලධර්ම උල්ලංඝනය කරන අතර ආගමික අසමගියට ද, හේතු විය හැකි බවත් සැලකිල්ලට ගැනීම යි.

මේ පිළිබඳ සමාජයේ පවතින අදහසක් නම් බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම පසුගිය සමයේ සංඝ සංස්ථාව රැඩිකල් කරණයට සහ දූෂණයට බඳුන් වීමට හේතුවක් වී සංඝ සංස්ථාව කෙලසීමට ලක් වී ඇති බවයි. රාජ්‍යය සහ ආගම වෙන් කිරීම පිළිබඳ අදහස ක්‍රියාත්මක වන්නේ කුමන හෝ එක් ආගමක් රජයට බලපෑම් කල හැකි තත්වයක නො සිටිය යුතු ය යන පදනම මත ය. මන්ද යත් එක ආගමක සුවිශේෂ ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද සියල්ල සියලු පුරවැසියන් පිළිගන්නා ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද අත්‍යවශ්‍යයෙන් ම පිළිබිඹු නො කිරීමට ඉඩ ඇති හෙයිනි. නමුත් රාජ්‍යය අනාගමික භූමිකාවක් ආරෝපණය කරගැනීම රජයෙන් ආගම්වලට ලැබෙන මූල්‍ය හෝ වෙනත් ආකාරයේ අනුග්‍රහ අවශ්‍යයෙන්ම අහිමි කිරීමට හේතු විය යුතු නොවේ. රාජ්‍යය සහ ආගම වෙන් කිරීම පිළිබඳ අදහස කියා සිටින්නේ රාජ්‍යයේ තීරණ ගැනීම කුමන හෝ එක් ආගමක ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද වල බලපෑමට යටත් නො කළ යුතු බවයි.

සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්, සැබෑ සාමය සහ ප‍්‍රතිසන්ධානය ගොඩ නැඟිය හැක්කේ සැමට සමානාත්මතාව සහ යුක්තිය, අන්‍යෝන්‍ය ගරුත්වය, සියලු පුරවැසියන් එක හා සමාන කොටස්කරුවන් ලෙස සැලකීම යනාදී ප‍්‍රතිපත්ති මත මිස අසමානත්වය මත නොවේ. රාජ්‍යය අනාගමික ලෙස ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාව අපොහොසත් වීම අසමානතාව පිළිබඳ අනෙකුත් සියලු කරුණු නිරාකරණය කළ නො හැකි අන්දමට බලපාන කරුණක් ලෙස සලකන්නට සිංහල බෞද්ධ නොවන ජන කොටස්, විශේෂයෙන් දෙමළ ජනයා පෙලඹීමට ඉඩ තිබේ. ව්‍යවස්ථාවෙන් රාජ්‍යය තුළ බුද්ධාගමට ප‍්‍රමුඛතාව දීම යන අදහස යුද්ධ සමය තුළ අත්දැකීම් පසුබිමෙහි රාජ්‍යය මිලිටරි කරණය සමඟ බුද්ධාගම බැඳී ඇත යන්න සමඟ ඇති සම්බන්ධය යළි යළිත් මතු වීම මෙහි දී වැළැක්විය නො හැකි වනු ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය තීන්දු වී ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක රෙජිමය යළිත් බලයට එනු ඇතයි වත්මන් පාලක රෙජිමය වෙළා ගෙන ඇති බිය සහ ඔවුන්ට නව ලිබරල් ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කර ගැනීමේ අපේක්ෂාව මත පදනම් ව යැයි යන අදහස සත්‍යයෙන් එතරම් ම දුරස්ථ ප්‍රකාශයක් නොවන බව පෙනෙයි. මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ බලවේගවල සහාය ලැබේ යැයි විශ්වාස කරන හෙයින් ඒවා අවුළුවා ලන ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් නො කළ යුතු ය යන තීරණයට ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති සෙයකි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඇතැම් “සිවිල් සමාජ සංවිධාන” ද එම ස්ථාවරය පිළිගෙන ඇති සෙයකි.

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඇති ගැට‍ළුව නම් එහි නිර්දේශ වල එන වැදගත් මාතෘකා පිළිබඳ එකඟතාවක් නොමැතිකම’ යැයි ඇතමුන් කියන විට එහි සැඟවුන අදහසක් නම් ‘මෙම අපේක්ෂිත එකඟතාව ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති තීරණය අපේක්ෂා කරන්නකි’ යන්න යැයි තර්කයක් ඉදිරිපත් කෙරෙන්නට ඉඩ තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹීමටත් ප්‍රථම ජනාධිපති සහ අගමැති වෙන් වෙන් ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවේ ‘ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් සැලකීම’ සහ ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම’ ඉදිරියටත් නො වෙනස් ව පැවතිය යුතු බවයි. මහත් බලාපොරොත්තු ඇති කරමින් ආරම්භ කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ වාර්තාව දැන් පළ කොට ඇත. මෙම අවස්ථාවේ ආණ්ඩුව සහ ඇතැම් “සිවිල් සමාජ” සංවිධාන එම වාර්තාව ගැන දක්වන එළඹුම වටහා ගත හැක්කේ ඉහත පදනම මත විය හැකි ය. එම වාර්තාව සම්පාදනය කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කළ, මහජන නියෝජිත කමිටුවක් මඟින් නමුත් මේ දක්වා එය පාර්ලිමේන්තුවෙහි සභා ගත කොට නැත. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම වාර්තාවේ (ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව) විවෘතභාවය පිළිබඳ සිහිපත් කරමින් අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඔහු මෙහිදී වාරණය හා ස්වයංවාරණය පිළිබඳ ප්‍රශ්නය එනම් හමුදාකරණය , යුද්ධය සහ යුද්ධය නිසා වූ මානව හිමිකම් කඩවීම ගැන කිසිවක් කතා නොකිරීමට හැකිවීම ගැන මතු කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය තුළ ප්‍රායෝගිකත්වය යන සංකල්පය මතු වන්නේ භයානක ආකාරයකට බවයි.එනම් එම වචනය මෙහි භාවිතා කර ඇත්තේ වරප්‍රසාදලත් කොටසට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපහසු වන විටය.විශේෂයෙන්ම 4 වෙනි වගන්තියේ දී බුද්ධාගම පිළිබඳ කතා කරන විට මෙය පැන නැගෙන බව ඔහු පෙන්වා දුන්නේය.

Prof.Arjuna Parakrama expressed his views on “Constitution: For Whom ?” at the public discussion organized by ‘Citizens’ Council’ held on 22 June 2016 at CSR auditorium. Continue reading “ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

මහජනයා බලගන්වන්න ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ඉඩ දෙන්නෙ නෑ-ආචාර්ය නිර්මාල් දේවසිරි (Constitution: For Whom ? )

“ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින (ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිබඳ ) සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දෙන ලද වැදගත් අදහසක් වූයේ මහජනයාට දේශපාලන බලය ලැබෙන, දෛනික වශයෙන් ආණ්ඩුකරණ ක්‍රියාවලිය හැසිරවීමට හැකි රැඩිකල් ආකාරයෙන් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රභූ තන්ත්‍රය ඉඩ නොදෙන බවයි.

Dr.Nirmal Devasiri expressed his views on “Constitution: For Whom ?” at the public discussion organized by ‘Citizens’ Council’ held on 22 June 2016 at CSR auditorium.
He made the significant point that the political and economic elites of Sri Lanka would by no means allow to reform the state radically so that the public is empowered with the political power and their participation in governance is strengthened.

ව්‍යවස්ථාව කාටද ?/Constitution : For Whom ?- අහිලන් කදිර්ගාමර්/Ahilan Kadirgamar

” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී අහිලන් කදිර්ගාමර් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද කරුණක් වූයේ ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව හමුවේ මෙසේ ජනතාව අදහස් ඉදිරිපත් කිරීම විශේෂඥයන් විසින් ව්‍යවස්ථාව සකස් කළ යුතුය යන කරුණට එරෙහිව යන සුභවාදී දෙයක් බවත් ව්‍යවස්ථාව හෝ ආර්ථිකය සම්බන්ධ දේ විශේෂඥයන්ට බාරදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් බවත් ය. මේ සම්බන්ධයෙන් වැදගත් කරුණක් වන්නේ මහජනතාවගේ පැත්තෙන් පොදුජන විඥාණය නොහොත් පොදු අවබෝධයක් ගොඩ නැගීම බවත් ඉතිහාසයේ යම් යම් දේ සම්බන්ධයෙන් එසේ වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.ඔහු දැක්වූ අදහස්වලට මෙහිදී වැඩි දුරටත් සවන් දිය හැක.

Ahilan Kadirgamar expressed his views on “Constitution: For Whom ?” at the public discussion organized by ‘Citizens’ Council’ held on 22 June 2016 at CSR auditorium.
He said that the peoples’ participation in public representation process towards constitutional reforms could be seen as an important form of democratic engagement against experts making constitution. As far as democracy is concerned it is about creating a kind common sense among people with the progressive view of the changes that they seek, he argued. Continue reading ව්‍යවස්ථාව කාටද ?/Constitution : For Whom ?- අහිලන් කදිර්ගාමර්/Ahilan Kadirgamar

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම

11.2 නිර්දේශ

පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ.

1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීන් හා සියලු පුද්ගලයින් කවරෙකු හෝ විසින් මෙම නියාමක මූලධර්ම පහත සදහන් කටයුතුවලදී අනුගමනය කළ යුතු වේ.

අ. මෙම ව්‍යවස්ථාව භාවිත කිරීම හෝ විවරණය කිරීම
ආ. ඕනෑම නීතියක් පැනවීම, භාවිත කිරීමහෝ විවරණය කිරීම හෝ
ඇ. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හෝ ක්‍රියාත්මක කරන ඕනෑම විටෙක

11.2.1 නියාමක මූලධර්ම

1. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි රජයක් ස්ථාපිත කිරීමට රජය සහතික වී ඇති අතර එහි අරමුණු අතර පහත දැක්වෙන කරුණු අඩංගු විය යුතුය.

අ) සියලු පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස පූර්ණ ලෙස සාක්ෂාත් කිරීම;

ආ) ජාතික ජීවිතයේ සියලු ම ආයතනවලට මඟ පෙන්වන (සමාජීය, ආර්ථික හා දේශපාලන)සාධාරණත්වයක් සහිත සමාජ ක්‍රමයක් ඵලදායී ලෙස ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ජනතාවගේ සුබ සාධනය ප්‍රවර්ධනය කිරීම;

ඇ) ප්‍රමාණවත් ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස, තිරසර ලෙස ජීවන තත්ත්වයන් දියුණුවීම, විවේකය සහ සමාජ හා සංස්කෘතික අවස්ථාවන් හි පූර්ණ වින්දනය ඇතුළුව සියලු පුරවැසියන්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම;

ඈ) රාජ්‍යය, අන්තර්ගත සමෝධානික හා තිරසර සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය;

ඉ) පොදු යහපතට හොඳම සේවය සිදුවන ආකාරයට සියලු ස්වාභාවික හා ද්‍රව්‍යමය සම්පත් හා සමාජ නිෂ්පාදන සාධාරණ ලෙස බෙදී යා යුතුය;

ඊ) විශේෂයෙන්ම කෘෂිකර්මයේ, සත්ත්ව පාලනයේ හා ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන අංශ, රාජ්‍යය, සමූපකාර හා පුද්ගලික ව්‍යවසාය මෙන් ම පුද්ගල ව්‍යවසායකයන් අතර බෙදී යන නිෂ්පාදනය, බෙදා හැරීමේ හා හුවමාරු ක්‍රම සහිත සාධාරණ සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම;

උ) ජනතාවගේ සදාචාර හා සංස්කෘතික තත්ත්වය දියුණු කිරීම හා මානව ස්වීයත්වයේ පූර්ණ සංවර්ධනය සහ

ඌ) අසාක්ෂරතාව සම්පූර්ණයෙන් තුරන් කිරීම හා සියලු පුද්ගලයන්ට සෑම මට්ටමකදීම අධ්‍යාපනය ලැබීමට ඇති සාර්ව හා සමාන අයිතිය තහවුරු කිරීම. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

1 පරිච්ඡේදය – හැඳින්වීම

2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම).

1.1 ක්‍රියාවලිය

කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ තැපෑලෙන්, විද්‍යුත්-තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් ලිඛිතව හෝ අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනයාට ආරාධනය කරන ලදී. දින අටක් පුරා මහජන අදහස් විමසූ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්නට, අනිත් දිස්ත්‍රික්ක විසි හතරේ ම දින දෙක බැගින් මහජන අදහස් විමසීමට කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහාය ලබා ගත්තේය. මෙම දිස්ත්‍රික් රැස්වීම් සඳහා කමිටුව උප-කණ්ඩායම් ලෙස සහභාගි වීය. (ඈ ඇමුණුම බලන්න). සියලු මහජන අදහස් විමසීමේ සැසි, මාධ්‍යවලට හා මහජනයාට විවෘත විය. දින ගණනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජනයාගේ අදහස් හා නිර්දේශ අඩංගු වාර්තාවක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අවධානය සඳහා කමිටුව විසින් පිළියෙල කරන ලදී.

පාරදෘශ්‍ය භාවය පවත්වා ගැනීම සඳහා මහජනයා විසින් ඉදිරිපත් කළ අදහස් අඩංගු දත්ත සමුදාය පද්ධතියක් ද, කමිටුව විසින් ස්ථාපිත කරනු ලැබීය. මෙම දත්ත සමුදාය පද්ධතිය නිර්මාණය කරන ලද්දේ මෙම ඓතිහාසික ක්‍රියාවලිය අනාගතය සඳහා ආරක්ෂා කිරීමටත්, මහජනතාවට මෙම ලේඛන ලබාගැනීමේ පහසුවත්, සඳහායි.

මෙම ක්‍රියාවලියට මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා ප්‍රශංසනීය වේ. මහජන අදහස් ඉදිරිපත් කිරීමට දුන් කෙටි දැනුම්දීම හා කාලයේ හා මානව සම්පත්වල සීමාවන් මැද වුවත් රටේ ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් තුළ රටේ උත්තරීතර නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ හා රාජ්‍ය බලය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ වීමට අභිලාෂයක් තිබුණු බව අපට පැහැදිලිව දැක ගත හැකි විය.

කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ අය අතර සිවිල් සමාජ කණ්ඩායම්, පූජකවරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විශ්‍රාමික හා ආබාධිත පොලිසියේ හා හමුදා සාමාජිකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, වෘත්තීය සමිති සාමාජිකයින්, දේශපාලනඥයින්, ජනවාර්ගික කණ්ඩායම්, ආන්තික හා නොතකා හරින ලද කණ්ඩායම්, සුළු ජනවාර්ගික කණ්ඩායම් හා ආබාධිත පුද්ගලයන් ආදි පුළුල් නියෝජනයක් දක්වන පුද්ගලයන් හා කණ්ඩායම් වූහ.
ලිඛිතව මෙන්ම වාචික ව බහුවිධ අදහස් හා මත ඉදිරිපත් කෙරුණි. මෙහිදී වඩාත් ප්‍රශංසනීය කරුණ වන්නේ ජනතාව ඉතා අවංකව අදහස් ඉදිරිපත් කිරීම පමණක් නොව අන් අදහස්වලට සවන්දීමට දැක්වූ උනන්දුවයි. අදහස් දැක්වීමට පැමිණි බොහෝ අය, තම සහෝදර පුරවැසියන්ගේ අදහස්වලට සවන් දීමට ද, නතරවූහ. මෙම ක්‍රියාවලියට ජනතාව දැක්වූ උනන්දුව, ව්‍යවස්ථාව සැදීමේ කටයුතු වලට සහභාගී වීමට ඔවුන් දැක්වූ කැපවීම හා වෙනස් අදහස්වලට කන්දීමේ විවෘත භාවය මෙයින් පිළිබිඹු විය. මෙම මහජන අදහස් විමසීම මගින් පරිණත ප්‍රජාතන්ත්‍රීය සමාජයක වැදගත් ලක්ෂණයක් දැකිය හැකි වූයේය. එනම්, ජාතික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා හා විවාදවල නිරත වීමට ජනතාව දක්වන උනන්දුවයි. බොහෝ දුරට මෙම සාකච්ඡා හා අදහස් දැක්වීම් සාමකාමී හා විනීත වාතාවරණයක සිදු වුණි. එකිනෙකට ඉතා වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මැද වුවත් මහජනයා මෙම ක්‍රියාවලියටත්, විවෘතව අදහස් දැක්වීමට සෑම කෙනෙකුට ම ඇති අයිතියටත්, ගරු කළෝය. මෙය ඉතා ප්‍රශංසා කළ යුතු මෙන් ම අගය කළ යුතු ලක්ෂණයකි.

මෙම කටයුතුවලදී කමිටුව වැදගත් කරුණු දෙකක් නිරීක්ෂණය කළෝය. මෙයින් එකක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, තියුණු කිරීමටත්, මහජනයා දැක්වු කැමැත්ත වන අතර දෙවැන්න වන්නේ සාමය හා ප්‍රතිසන්ධානය සඳහා දැක්වූ උනන්දුවයි. ඔවුන් මේවා ළඟා කර ගත හැක්කේ කෙසේද, යන්න ගැන වෙනස් මත තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති අවංක අභිලාෂය මෙයින් පැහැදිලි විය.

මෙම ක්‍රියාවලියට සහභාගී වීමේදී අපේ ජනතාව දැක්වු අව්‍යාජත්වය හා අභිලාෂයන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් වටහාගෙන ඒවාට ගරු කළ යුතු බව මෙම කමිටුවේ අදහසයි. අප ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන් අතර ඔවුන්ට එයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ව කෘතඥතාව පළ කළෝය. ඔවුන් කමිටුව ඉදිරියට පැමිණියේ විශ්වාසී හැඟීමකින් හා යෝධ අපේක්ෂාවන් සහිතවයි. මෙය, අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවත්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත්, අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත හා ප්‍රීතිමත් රටක් ගොඩ නැඟීමට මෙය යොදා ගත හැකි බවත් බොහෝ අය කියා සිටියහ. ඔවුන් අප ඉදිරියට පැමිණියේත්, අදහස් ඉදිරිපත් කළේත්, විශාල බලාපොරොත්තු සහිතව බැවින් එම විශ්වාසය හා අපේක්ෂා බිඳ නොදැමිය යුතුය. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් අර්ථාන්විත වන්නේ ජනතාව එය තමන්ට ‘අයිති’ දෙයක් ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ නම් පමණි. මේ නිසා මහජනයාගේ අදහස්වලට අවධානය යොමු කරමින්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඔවුන්ගේ කාර්යභාරය පිළිගනිමින්, ජනතාව මෙම ක්‍රියාවලියට දිගට ම සහභාගි වන බව සහතික කිරීම තීරණාත්මක ව වැදගත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය නිතර සිදුවන දෙයක් නොවේ. මෙය නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සිදුවන තුන්වැනි ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වීම, අපේ රටේ සියලු ජනයාගේ අපේක්ෂාවන් පිළිබඳ ව සාමූහික එකඟත්වයකට එළඹීමට අතීතයේ අපේ ව්‍යවස්ථා සම්පාදකයන් අසමත් වීම පිළිබඳ සංඥාවකි. රාජ්‍යයේ ඓන්ද්‍රීයාංග, නීතියේ ආධිපත්‍යය හා ඒවා එකිනෙක අතරෙහිත් විශ්වාසය ගොඩනැගීමේ කාර්යයේදී අපි අසාර්ථක වී ඇත්තෙමු. අතීත වැරදිවලට සමාව ගැනීමේ කාර්යයට අපි නැවතත් මුහුණදී සිටිමු. එම නිසා මේ අවස්ථාව අපතේ යෑමට ඉඩ නො දිය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන අවස්ථාවාදයෙන් ඔබ්බට යෑමට තැත් කළ යුතු වෙමු. අනාගත පරම්පරාවන්ට අපි ලබා දිය යුත්තේ කුමන ආකාරයක උරුමයක් ද? එය ගිලිහී ගිය අවස්ථා හා අසාර්ථක ප්‍රයත්න පිළිබඳ ව ද? එසේ නැත්නම් ආඩම්බරයෙන් හිමිකම් පෑ හැකි දෙයක් ද? අප කළ යුත්තේ වර්තමානයේ අවශ්‍යතාවන්ට පමණක් ප්‍රතිචාර දක්වමින් පහසු මග ගැනීම ද? එසේ නැත්නම් අනාගතය ගැන විශ්වාසයෙන් සියලු දෙනාට ම සාධාරණය හා සමානත්වය සහතික කරන ශක්තිමත් හා ක්‍රියාකාරී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නැගීම ද? මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හා පුළුල් සමාජයේ විවාදයට භාජනය විය යුතු ප්‍රශ්න වේ. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)