Category Archives: එදිරවීර සරච්චන්ද්‍ර

මනමේ පරිණත වීම

maname_002

මයිකල් ප්‍රනාන්දු

මෙම ලිපිය සකස් කරන ලද්දේ මහාචාර්ය ආරිය රාජකරුණා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසුව ඔහුගේ ද අනුමැතිය ඇතිවය.

ලෝකප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ වරක් ප්‍රකාශ කළ පරිදි හොඳ චිත්‍රයක් ද පණ ඇති ජීවියෙකු ලෙස ක්‍රමයෙන් වර්ධනය වෙයි. එයට හේතුව එම චිත්‍රය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පසුබිම මෙන්ම ඔවුන්ගේ ආකල්ප ද ඓතිහාසිකව පවතින පරිසරය අනුව වෙනසකට පාත්‍ර වීමයි.

ලෝකයේ හොඳම නාට්‍යකරුවන්ගේ නාට්‍යයද ඔවුන් ජීවත් වූ අවධියේම නොයෙක් වෙනස්කම් වලට පාත්‍ර වී වෙනස් වී ඇත. නාට්‍යයේ රඟපාන නළු නිළියන් චරිතයන්ට සපයන අර්ථ කථන මෙන්ම ප්‍රේක්ෂක හා විචාර ප්‍රතිචාර නිසා ද නාට්‍යකරුවෝ සිය නාට්‍යවල සමහර වෙනස්කම් කරති. බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ගැලීලියෝ ගැලිලි බ්‍රෙෂ්ට්ගේ ජීවිත කාලය තුළම මෙසේ වෙනස් වෙමින් වැඩුණු නාට්‍යයකි.

මෙරට වර්තමාන නාට්‍ය කලාවේ පුරෝගාමියා වන එදිරිවීර සරච්චන්ද්‍රගේ කපුවා කපෝති නාට්‍යයේ සිදු කරන ලද මෙබඳු වෙනස්කම් පිළිබඳව ඔහු විසින්ම සඳහන් කරනු ලැබ ඇත‍.

සිංහල නාට්‍යය නව මගකට යොමු කළ මනමේ නාට්‍යය මුල් නිෂ්පාදනයේ සිට බලවත් වෙනස්කම් කිහිපයකට පාත්‍ර වී ඇත. සමහර වෙනස්කම් ගැන සරච්චන්ද්‍රම සඳහන් කරයි. උදාහරණයක් ලෙස මුල් නිෂ්පාදන වල තිබූ බහුබූතයා සහිත පූර්ව රංගනය පසුව ඉවත් කරන ලද ආකාරය ඔහු නොයෙක් තැන්වල දක්වා ඇත. එහෙත් සරච්චන්ද්‍ර ප්‍රසිද්ධියේ සඳහන් නොකරන එහෙත් මනමේ නාට්‍යයේ අර්ථය කෙරෙහි විශාල බළපෑමක් කළ වෙනස් කිරීම් කිහිපයක් ද හමු වේ. ඉන් එක් වෙනසක් මහාචාර්ය ආරිය රාජකරුණා පහත සඳහන් ලෙස විස්තර කොට දක්වයි:

Maname “මනමේ නාටකය ආරම්භ වනුයේ පොතේ ගුරු විසින් ගයන පද්‍ය දෙකකිනි. එහි දෙවන පද්‍යය මගින් මනමේ පුවත රඟ දැක්වීමෙන් නාට්‍යකරුවා අපේක්ෂා කෙළේ කුමක්දැයි දක්වා ඇත්තේ මෙසේය.

පොරණ දඹදිව පසිඳු බරණැස් රජුගේ පුත් මනමේ කුමරු සොබ නා
සරණ කර රාජගුරු දියණි රුසිරෙන් යුත් සිය පුරයට ගෙනය නා
කරන දනමන ලොලා එකුමරි වැදිරජු දැක ඔහුට අනුරාගෙ නා
දරන තැත ලැබුමටා පාමු පෙර ඇදුරු පෑ පිළිවෙළ නොකඩමි නා

මනමේ නාටකයේ 1958 වර්ෂයේ පළවූ පළවන මුද්‍රණයේත් 1962 වර්ෂයේ පළවූ දෙවන මුද්‍රණයේත් 1965 වර්ෂයේ පළවූ තුන්වන මුද්‍රණයේත්1986 වර්ෂයේ පළවූ සතරවන මුද්‍රණයේත් මෙම පද්‍යය මෙලෙසම යොදා තිබෙනු දැකිය හැකිය. එතෙක් රඟ දැක්වූ සෑම රංගනයකදීම සිදුවූයේත් එම පද්‍යය එලෙසම ගායනා කිරීමයි‍.

කෙසේ වුවද 1995 වර්ෂයේදී ගොඩගේ සමාගම විසින් පළ කෙරුණු එහි පස්වන මුද්‍රණයේ දී මෙම පද්‍යය මහත් වෙනසකට භාජනය කොට තිබෙනු දක්නට ලැබේ. මුල් මුද්‍රණවලට ඇතුළත් එම පද්‍යයේ තුන්වන පාදය පස්වන මුද්‍රණයේදී වෙනස් කොට ඇත්තේ මෙසේය.

කරන දන මන ලොලා එකුමරිය දැක වැදිරජු ඇයට අනුරාගෙ නා
දරන තැත ලැබුමටා පාමු පෙර ඇදුරු පෑ පිළිවෙළ නොකඩමි නා

මනමේ පළමු මුද්‍රණ සියල්ලටම ඇතුළත් “කරන දන මන ලොලා එකුමරි වැදිරජු දැක ඔහුට අනුරාගෙනා” යන ඛණ්ඩය මනමේ පස්වන මුද්‍රණයේ දී “කරන දන මන ලොලා එකුමරිය දැක වැදි රජු ඇයට අනුරාගෙනා” යනුවෙන් වෙනස් කොට තිබේ. මුලින් දැක් වූ පද්‍යයට අනුව නම් කරලිය මත රඟ පා දැක්වෙනුයේ මනමේ කුමරිය වැදි රජු කෙරෙහි පහළ වූ අනුරාගය නිසා ඔහු ලබා ගැනීමට දැක්වූ ප්‍රයත්නයයි. පසුව දැක්වූ පද්‍යයට අනුව නම් කරලිය මත රඟ පා දැක්වෙනුයේ වැදි රජු මනමේ කුමරිය කෙරෙහි පහළ වූ අනුරාගය නිසා ඇය අත්පත් කර ගැනීමට දැරූ ප්‍රයත්නයයි. මෙහිදී විශේෂයෙන්ම මනමේ කුමරියගේ චරිතය මහත් විපර්යාසයකට භාජනය වී තිබෙනු දැකිය හැකිය. මනමේ නාටකය පළමු වරට නිෂ්පාදනය කොට අවුරුදු හතළිහකට පමණ පසුව මුල් පිටපත මෙබඳු විපර්යාසයකට භාජනය කිරීමට හේතුව කුමක්ද?

1985 පළ වූ සරච්චන්ද්‍ර‍ ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නමැති කෘතියෙහි 194 වන පිටුවේ මෙසේ සඳහන් වේ.

‘මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොටගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයේදී හෝ ඇමෙරිකාවේදී අකිරා කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රෂොමොන්’ නම් චිත්‍රපටය බැලීමෙන් පසුය.’

රෂෝමොන් චිත්‍රපටයත් (1950) මනමේ නාටකයත් (1956) අතර මහත් සම්බන්ධයක් පවතින බව මෙයින් පෙනී යයි. මම 1989 දී රෂෝමොන් චිත්‍රපටයේ තිරනාටකයත් ඊට මූලාශ්‍රය වූ ජපන් කෙටිකතා දෙකත් සිංහලයට පරිවර්තනය කොට පළ කෙළෙමි. ඊට ඇතුළත් ‘රෂෝමොන් පිළිබඳ විමර්ශනයක්’ නමැති නිබන්ධය මගින් රෂෝමොන් චිත්‍රපටය මනමේ නාටකය කෙරෙහි බෙහෙවින් බලපා තිබෙන බව පළමු වරට පෙන්වා දුනිමි. තවද චිත්‍රපටය හා නාටකය අතර පවතින සමානකම් කිහිපයක් උදාහරණ සහිතව පෙන්වා දුනිමි‍. එහිදී ඉහතින් දැක්වූ පොතේ ගුරුගේ කවි පදය ගෙන හැර පාමින් මම මෙබඳු ප්‍රකාශයක් කෙළෙමි.
maname_2“රංගනයට වස්තු බීජයේ බිසව වැදි රජු දැක ඔහුට අනුරාගයෙන් ඔහු ලබා ගැනීමට දැරූ ප්‍රයත්නයයි. බිසව තුළ වැදි රජු කෙරෙහි අනුරාගයක් හටගත් බව මින් හෙළිවේ.” තව දුරටත් මෙසේද ප්‍රකාශ කෙළෙමි. “කතුවරයා අතින් නිරූපණය වනුයේ සාම්ප්‍රදායික මනමේ බිසවම බව යට දැක්වුණු නිදසුන් මගින් පෙනී යයි.” (රෂෝමොන්, ප්‍රථම මුද්‍රණය (120-21 පිටු)).

මනමේ බිසවගේ චරිතය පිළිබඳව පළ කෙරුණු මගේ එකී මතය තමා අතින් නිරූපණය වූ මනමේ බිසවගේ චරිතයට අභියෝගයක් ලෙස කතුවරයාට හැඟී යන්නට ඇත. එනම් තමා අතින් නිරූපණය වූයේ සාම්ප්‍රදායික මනමේ බිසවගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් වූත් අතිශයෙන්ම සංකීර්ණ වූත් චරිතයකි යන මතයට එල්ල වුණු අභියෝගයක් ලෙස කතුවරයාට පෙනී යන්නට ඇත. එහෙත් තම අපේක්ෂාවට පටහැනි අදහසක් පළ කෙරෙන බිසව පිළිබඳ පද්‍යයෙහි කිසියම් වෙනසක් සිදු කිරීමට ඔහු තීරණය කරන්නට ඇත. ඊට අනුකූල වන පරිදි “කරන දන මන ලොලා එකුමරි වැදිරජු දැක ඔහුට අනුරාගෙනා” යන පද්‍ය පාඨය ඉවත් කොට ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් පළ කෙරෙන “කරන දන මන ලොලා එකුමරිය දැක වැදිරජු ඇයට අනුරාගෙනා” යන පද්‍ය පාඨය යොදා ගැනීමට කතුවරයා පෙළඹෙන්නට ඇතැයි නිගමනය කළ හැකිය. වැදි රජු පිළිබඳ එම ප්‍රකාශය ද නාට්‍යයට ගැළ‍පෙන බව කිව යුතුය.

මෙසේ වෙනසකට භාජණය කෙරුණු පද්‍යය ඇතුළත් මනමේ නාටකයේ පස්වන මුද්‍රණය පළමුවරට පළ වූයේ 1995 දී බව මීට පෙර ද සඳහන් කෙරිණි. ඊ ළඟ වර්ෂයේදී එනම් 1996 ජනවාරි මාසයේදී කතුවරයා පේරාදෙණියට පැමිණි අවස්ථාවෙහි එහි පිටපතක් තුටු පඬුරු වශයෙන් මට තිළිණ කෙළේය. එය තිළිණ කළ දිනය ලෙස සඳහන් වී ඇත්තේ 1996 ජනවාරි මාස 6 වන දායි. එදින මගේ රෂෝමොන් පරිවර්තනය පිළිබඳව ද අපි සාකච්ඡා කෙළෙමු. එහෙත් මනමේ නාටකයේ ඉහත සඳහන් පද්‍යයේ මෙබඳු වෙනසක් සිදු කොට තිබීම පිළිබඳ කිසිවක් සරච්චන්ද්‍ර හෙළි කෙළේ නැත. එම වර්ෂයේම අගෝස්තු මස 16 වන දින එතුමා අභාවප්‍රාප්ත විය.

මනමේ නාටකයේ මෙබඳු වෙනසක් සිදු කොට තිබෙන බව බොහෝ කාලයක් ගතවන තුරුම මගේ අවධානයට යොමු වූයේ ද නැත. මීට ප්‍රධාන හේතුව නම් මනමේ නාටකය පිළිබඳ මගේ දේශන සඳහා මම හැම විටම එහි ප්‍රථම මුද්‍රණය යොදා ගැනීමයි. මෑත දී පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට මනමේ පිළිබඳ දේශනයක් සඳහා එහි 1995 මුද්‍රණය යොදා ගැනීමට සිදු විය. කතුවරයා මනමේ නාටකයේ මෙබඳු වෙනසක් සිදු කොට තිබෙන බව එම අවස්ථාවෙහි ප්‍රථම වරට මට අවබෝධ විණි. එය සිදු වූයේ කතුවරයා එහි පිටපතක් තිළිණ කොට අවුරුදු 15 කට පමණ පසුවයි. එනම් එතුමා අභාවප්‍රාප්ත වී අවුරුදු 15 කට පමණ පසුවයි.

මහාචාර්ය ආරිය රාජකරුණා සඳහන් කරන ඉහත සඳහන් අවස්ථාව හැරුණු විට නාට්‍යයේ තවත් ස්ථාන කිහිපයක් සරච්චන්ද්‍ර විසින් පසුව වෙනස් කරනු ලැබ ඇති ආකාරය මෙම ලේඛකයාගේ අවධානයට යොමු විය. 1958, 1962 හා 1965 වර්ෂවල පළ වූ මනමේ මුද්‍රිත පිටපත අනුව වැදි සෙනඟ සමඟ පැමිණෙන වැදි රජු දකින කුමරිය මෙසේ කියයි.

“කුමරි – වචනය”
මොහුගේ භයංකර විලාසයක් නොමැත්තේය.,
හිමිතුමනි, ඔහුගේ තේජස් පෙනුමෙන් ඔහු රජෙකු විය යුතු යයි සිතමි,
(මනමේ, 1965 මුද්‍රණය – 26 පිටුව)

එහෙත් 1995 ගොඩගේ සමාගම විසින් පළ කරණ ලද මුද්‍රණයෙන් මේ කොටස ඉවත් කොට ඇත. මහාචාර්ය රාජකරුණා සඳහන් කරන අන්දමට කුමරිය තුළ වැද්දා කෙරෙහි ප්‍රේමයක් පහළ වීය යන අදහස ප්‍රේක්ෂකයා තුළ ඇතිවීම සඳහා කරන ලද වෙනස සමඟ මෙම වෙනස ද අනුකූල යයි කිව හැකිය.

මේ හැරුණු විට 1995 මුද්‍රණයේ මුල් පිටපතේ නොතිබූ තවත් වෙනස් කිරීමක් දක්නට ඇත. මනමේ කුමරු මිය ගිය පසු වැද්දා සමඟ යන මනමේ කුමරිය මුල් නාටකයේ දී මෙසේ පවසයි.

“දිරියෙන් යුද කළ – ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා – පිරුණයි ආලේ
නැතිමුත් රජකම – ඔබමයි පතන්නේ
ඇත මට හිමගිර – ඔබ සමඟින්නේ”
(1965 – මුද්‍රණය)

මෙම පද්‍යයට 1995 මුද්‍රණයේ දී මෙන්ම පසුකාලීන රංගනයන්හිදී ද සරච්චන්ද්‍ර තව පද දෙකක් එක් කොට ඇත. ඒ අනුව ඈ පවසන්නේ මෙසේය.‍

“දිරියෙන් යුද කළ – ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා – පිරුණයි ආලේ
වනයේ නෙක බිය – පහව යමින්නේ
චංචල වූ සිත – සැනසුම දෙන්නේ
නැතිමුත් රජකම – ඔබමයි පතන්නේ
ඇත මට හිමගිර – ඔබ සමඟින්නේ”
(1995 මුද්‍රණය)

ප්‍රේක්ෂක හා විචාර ප්‍රතිචාර නිසා ද තමා මුලින් මැවූ චරිතය තමා ‍නොදැනුවත්වම වෙනස් මුහුණුවරක් ගත්තා සේ පෙනීම ද මෙම වෙනස්කම් වලට හේතු වූ බව පෙනේ. සරච්චන්ද්‍ර මනමේ නාටකය ගැන ලියන විට මෙන්ම කතා බහ කරන විට ද තමා විසින් පැරණි කතාවල එන මනමේ කුමරියගේ චරිතයට නව අර්ථකථනයක් දෙන ආකාරය මෙන්ම පසුව තමාගේම මුල් පිටපතට කරන ලද සමහර වෙනස්කම් පිළිබඳව ද සඳහන් කොට ඇත.

1985 වර්ෂයේ මුල් වරට පළ කරන ලද සිය “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියේ 197 පිටුවේ මෙසේ සඳහන් කරයි:

“තවත් අතකින් මට ‘රෂොමොන්’ කතාවෙන් ආදර්ශයක් ගත හැකි විය. මුල් ජාතකයෙහි හා ගැමි නාටකයෙහි නම් බිසවගේ චරිතය දක්වා ඇත්තේ පති ද්‍රෝහී වූ ගහැණියකගේ මෙන් ය. මට වුවමනා කළේ එහි නිරූපිත සිද්ධිය වෙනස් අයුරකින් විවරණය කිරීමය. වනාන්තරය මැදින් යන විට, තම ස්වාමියා කෙතරම් දක්ෂ ධනු ශිල්පියෙකු වුව ද, ඔහු කෙරෙහි ඇගේ විශ්වාසය මඳක් සසල විය. වනයේ අවිනිශ්චිත අතුරු ආන්තරාවලින් තමා ආරක්ෂා කිරීමට ඔහුට හැකි වේ දැයි ඈ තුළ සැකයක් උපදී. ඒ වේලාවෙහි වනයේ ප්‍රතිමූර්තියක් බඳු වැදි රජ කෙනෙක් කොහෙන්දෝ ප්‍රාදුර්භූත වේ. ඔහු දැකීමෙන් ඇගේ සිත අස්වැසේ. ඔහු මැරීමට තම සැමියාට කඩුව දෙන්නට ඈ පැකිලෙන්නේ මේ ‍හෙයිනි. එහෙත් ඔහු මරුමුවට පත් වූ පසු ඈ වැදි රජට කියන්නේ ඔහු දුටු විගස තම සිත ඔහු කෙරෙහි ඇළුණු බවය.” සරච්චන්ද්‍ර පසුව සැමියා මිය ගිය පසුව වැදි රජ අමතන බිසවගේ මුවට නංවන,

වනයේ නෙක බිය – පහව යමින්නේ
චංචල වූ සිත – සැනසුම දෙන්නේ

යන දෙපදය එක් කිරීම කුමරියගේ සිත තුළ පැවති අනාරක්ෂිතභාවය වඩා තීව්‍ර ලෙස හෙළි කිරීමේ අදහසින් කරන ලද වෙනසක් බව පෙනේ.

මේ අනුව කුමරියගේ සිත තුළ වැදි රජු කෙරෙහි ඇතිවන හැඟීම ඇයම වැදි රජුට පවසන අන්දමේ “ප්‍රබල ආලයකට” වඩා වනයේ පරිසරය තුළ ඔහුගෙන් ලැබෙන සේ දැනෙන ආරක්ෂාව පිළිබඳ හැඟීමකි.

සමහර විචාරකයින් (විශේෂයෙන්ම කාන්තා විචාරකයින්) “චපල විය සිත ප්‍රබල ආලෙන්” යන වදන් බිසවගේ මුවට නැංවීමෙන් ඇය චපල කාන්තාවක ලෙස දැක්වීම විවේචනය කළ ද එය හුදෙක් ඒ අවස්ථාවේ වැදි රජුගේ සිත සතුටු කිරීම සඳහා කරන ලද වදනක් සේ ගනිමින් සරච්චන්ද්‍ර ඒ පිළිබඳ කිසිඳු වෙනසක් සිදු ‍නොකිරීම ද මෙහිදී අවධානය යොමු කළ යුතුය. ‍

මෙසේ බලන විට 1956 දී රචනා කොට 1958 ප්‍රථම වරට මුද්‍රණය කරන ලද පිටපතේ හා මුල් නාට්‍යයේ සිටි මනමේ කුමරියගේ චරිතය සරච්චන්ද්‍ර අතින්ම ක්‍රමයෙන් වෙනසකට පාත්‍ර වූ බව පෙනේ. එම වෙනස්කම් නිසා මුල් නාට්‍යයේ ඉදිරිපත් වූ මනමේ කුමරියට වඩා වෙනස් වූ සංකීර්ණ චරිතයක් දැන් රංග ගතවන මනමේ නාට්‍යයෙන් නිර්මාණය වන බව ද කිව යුතුය. මෙය මනමේ නාට්‍යයේ ක්‍රමාණුකූල පරිණත වීමක් ලෙස හැඳින්වීම නිවරදය.

2014 පෙබරවාරි 23 ඇත්ත පුවත් පතින් කෘතඥ පූර්වකව උපුටා පළකරන ලදී.

Advertisements

සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය

සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය
සරච්චන්ද්‍ර සයිමන් නවගත්තේගම සමග
සරච්චන්ද්‍ර සයිමන් නවගත්තේගම සමග
සරච්චන්ද්‍ර කියන්නේ අපේ රටේ මහාර්ඝ වස්තුවක් කියලයි මගී අහල කියෝල තියෙන්නෙ. උන්නැහේ ගැන කතාබහ කරන්න මගීලට තියන දැනුම මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා. රතු පස්වලයි, ජූලි කලබලයි, වයඹ කලබලයි ගැනම හිත හිතා ලියන්නයි, කියන්නයි සිද්ධ වුනු මගීලට සරච්චන්ද්‍ර උන්නැහෙ ඔලුවට ආවෙ හේතුවකුත් එක්ක. උන්නැහේගෙ සියවෙනි උපන්දින සංවත්සරේ තියෙන්නේ 2014 ජූනි 03 දාටලු නේ. ඒක ගැනනම් පත්තරවල විස්තර වගයක් තියනව මගී දැක්කා. ආණ්ඩුවෙ සංස්කෘතිය භාර ආමතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියනවා කියන්නෙ එන අවුරුද්ද වෙනකල් සරච්චන්ද්‍ර උන්නැහෙගේ නාට්ටිය ගැන රට පුරා කතා පවත්වන්න කියල. අලුත් නාට්ටිය හදලා ඒවාත් අලුත් පරම්පරාවලට පෙන්නන්න කියලා. හැබැයි මගී නම් තාම දැක්කේ නෑ සරච්චන්ද්‍ර උන්නැහෙගේ ඔය කියන සියවෙනි උපන්දිනේ වෙනුවෙන් කොරපු හරිහමන් වැඩ පිළිවෙලක්. ඔය ආණ්ඩුවෙ සංස්කෘතික වැඩ හොර රහසෙම කරනවද කියලා මගීට නම් දැනුමක් තේරුමක් නෑ. දැන් ඉතින් මාස තුනක් ඉවරයි. තව මාස නමයක්ම තියෙන්නෙ එන අවුරුද්ද වෙන කල්. මොනව හරි දෙයක් හෙට අනිද්දට සිද්ධ වෙයි කියල මගීල දතකට මැදගෙන බලන් ඉන්නව ඉතිං. එහෙම නැතුව සරච්චන්ද්‍ර නෝනට පැමිණිලි කොරන්නයැ.

සරච්චන්ද්‍ර උන්නැහෙ කියන්නේ මොනතරම් වටින වස්තුවක්ද කියලා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මතක් කරල දෙන්න ඕන කමක් තියෙනවායැ. උන්නැහෙලා, මාදුලුවාවේ නායක හාමුදුරු ගොල්ලෝ ඇත්ත කථා කළා කියලා ධර්මිෂ්ඨ ආණ්ඩු සලකපු විදිය බුලර්ස් පාරේ බෞද්ධ සමිති සම්මේලන හෝල් එක ලඟ තියෙන කාණු වලට අදත් මතක ඇති මගේ හිතේ. ඒ පාපකර්ම වලට හවුල් වෙච්ච ඇමතියෝ එතකොට ඔය මොකක්ද සේවක සංගමේ මොකක්ද ඔව් ඔව් ජාතික සේවක සංගමේ කෙරුම්කා‍රයෝ වැඩිදෙනෙක් ධර්මිෂ්ඨ ලොක්කොත් එක්කම වැලිගම් ගිහින් උනාට, තව කෙරුම්කා‍රයෝ දැනටත් ලොක්කෝ වෙලා ජනාධිපතිතුමාගේ අත් දෙක ශක්තිමත් කරන්නේ ඔය යස අපූරුවට. අනිච්චං දුක්ඛං සංසාරේ කිව්වාලු. කලකදි වහලු කලකදි රහ වෙනවාලූ කියලා තියෙන්නේ කට කහනවට යැ. ඕන් ඒකෙන් මේකෙන් මගීට කියන්න ආපු කතාවත් අමතක වුනානේ. සරච්චන්ද්‍ර උන්නැහෙගේ උපන් දිනේ වගේම උන්නැහෙගේ අපිට නැති වෙච්ච දවසත් පහු වුනානේ පසුගිය අගෝස්තු 16 වෙනිදා. අනේ ඉතින් අවුරුදු දාහතක් ගෙවිලා ගියාද කියලත් හිතෙනවා. 96 දී නැති වෙච්ච උන්නැහේ ගැන මගීට මහා අරුම පුදුම ලියවිල්ලක් හම්බවුනානේ කියවන්න. දිනපතා පත්තරේක. මොකක්ද පත්තරේ? හරි රිවිර කියන පත්තරේට රත්නපුරේ පැත්තේ කවිකාර මහත්තැන් කෙනෙක්. කොඩිතුවක්කු වගේ නමක් තියෙන උන්නැහේ කෙනෙක්. සරච්චන්ද්‍ර උන්නැහේ ආපහු ඝාතනේ කොරනවද කියලා මගීට නිකමට කල්පනා වුනා එතුමාගේ ලියුම් කඩදහි දෙකක් කියෙව්වම. අඟහරුවාදා දවස් තුනක ඔය තිබුනෙ සරච්චන්ද්‍ර උන්නැහෙගේ ගැනයි පේරාදෙනිය ගැනයි. ඒ මදිවට උන්නැහේ තමන්ගේ නමගම වෙනස් කරපු එක ගැන පවා ඔය කවිකාර මහත්තැන් ලියල කියලා තිබුණ. අනේ ඉතිං මගීල වගේ පුරුතග්ජනයින්ට ඔය කවිකාර මහත්තැන්ල පත්තර පිටු පුරවලා ලියන කියන මළගිය ඇත්තෝ නවකතාවේ නැතෙයි කියන බෞද්ධ අනිත්තියතා දැක්මද මොකක්ද කියන එක වගේ දේවල් ගැන මහා දැනුමක් කොයින්ද? ඒවා ගැන කියෝල බලලා උන්නැහේල කියන කොරන කාරණාවල ඇත්තක් නැත්තක් තියනවාද කියලා මගීලටවත් තේරුම් බේරුම් කරලා දෙන්න පුලුවන්. සරච්චන්ද්‍ර උන්නැහේගෙම ගෝල බාල ආචාරිය, මහාචාරිය උත්තමයෝ හතර පස් දෙනෙක් මත් ඉන්නව නේද තාම. ඉතිං, ඒ කට්ටිය තමන්ගේ ගුරුතුමා අවුරුදු දහ හතකට පස්සේ ආපහු මේ විදියට ඝාතනය කරන්න ඉඩ දීලා නිස්සද්දව ඉන්නේ මොකෝ කියලා මගීලට තේරෙන්නේ නෑ. සරච්චන්ද්‍ර වගේ උත්තමයෝ ඉපදිලා අවුරුදු 100ක් වෙනකොට මේවා අහන්න වෙන එකනේ පුදුමේ අම්මපා.
මගී

ඇත්ත පුවත් පතේ මගියාගේ කොලම
සැප්තැම්බර් 01, 2013

http://aththa.lk/

සාහිත්‍යය

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද?

තම එදිනෙදා ජීවිතයෙහි හැම අංගයකටම අපූරු හැඩ දමා විචිත්‍ර වර්ණ කවා සෞන්දර්යයෙන් වටවුණු පරිසරයක විසීමට පුරුදු වී සිටි ජපන් ජාතිකයන්ට මෙම ඛේදනීය මොහොතේ තම දුක නිවාගන්නට උදව් වනු ඇත්තේ කුමක් ද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ”මළගිය ඇත්තෝ” පිළබඳ අප පහත නැවත පළ කරන විචාරය ජපන් ජනයාගේ දිවිපෙවෙත පිළිබඳ අවලෝකනයට මුල පුරන්නට ඔබට කෙරෙන ඇරයුමකි.

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස
ධර්මසිරි ඒකනායක

නොරිකො සමග ඇතිකරගත් සම්බන්ධය සතුටුදායක ලෙස අවසන්විය නොහැකි බව වටහා ගන්නා දෙවෙන්දොරා එයින් ගැළවීමට තෝකියෝ නුවර අතහැර කියෝතෝ නගරයට ගොස් එහි පදිංචිවෙයි. නමුත් එයින් සිදුවන්නේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි. නොරිකො කෙරෙහි තිබූ ප්‍රේමය අඩු වෙනවා වෙනුවට ඇගෙන් වෙන්වී සිටීම නිසා එය තව තවත් උග්‍ර බවට පත්වෙයි.

”කල්යාමේදී මගේ සිතේ තැවුල නිවීයාවි යයි මම සිතුවෙමි. එහෙත් සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. දවසින් දවස මගේ සිතෙහි වූ සාංකාව වැඩිවීය. පෙරටත් වඩා මම නොරිකෝගේ සමාගම පැතුවෙමි. ඇය අමතක කර දැමිය නොහැකි බව එන්ට එන්ටම පෙනෙන්ට විය. කොයිවෙලාවකවත් මගේ සිතෙහි සන්සුන් බවක් නොවීය.”
(72 පි.) “

කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග කායික සම්බන්ධතාවයක් ඇතිකර ගෙන නොරිකො කෙරෙහි ඇති ප්‍රේමය යටපත් කිරීමට තැත් කරයි. නමුත් ඒ තැත සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙයි. ස්ත්‍රියක් සමග හුදු කායික සම්බන්ධතාවයකින් ඔහුට කිසිම තෘප්තියක් ලැබිය නොහැක. ඔහු ගේ චිත්ත ස්වභාවය පහත දැක්වෙන විස්තරයෙන් හෙළිවෙයි.

”එහෙත් ඈ මැවූ මායා දැල ටික ටික ඉරී ගියේය. මම ඊට ඇඟිල්ලෙන් ඇන ඕනෑකමින් සිදුරු කළෙමි. ඈ බලන්ට යෑමෙන් කවර සෙතක්දැ’යි මම සිතන්නට වීමි. වඩ වඩා සිහිවූයේ නොරිකොය. මම නිතැතින් මමෙවාකා නොරිකො සමග සසඳා බැලීමි. මමෙවාකාගේ පිටත්තරය මොළොක්ය. එහෙත් අභ්‍යන්තරයෙහි ඈ දැඩිය. නොරිකො හාත්පසින් වෙනස්ය. පිටත්තරයෙහි ඇගේ නොනැමෙන ගතියක් ඇත. එහෙත් ඇගේ අභ්‍යන්තරය මෘදුය.” Continue reading සාහිත්‍යය