Category Archives: ‘කතිකා’ අධ්‍යයන කවය

“සුන්දර දෙයෙහි අදාළත්වය” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

couv_heidelberghdජර්මානු දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ සුප්‍රකට The Relevance of the Beautiful: Art as Play, Symbol and Festival නමැති රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය. ගැඩමර්ගේ දාර්ශනික අර්ථවිවරණවේදය පිළිබද දීර්ඝ හැඳින්වීමක්ද සහිතයි.

පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

විසිවන සියවසේ දර්ශනවාදයේ ප්‍රමුඛතම පුද්ගලයෙක් මෙන්ම මහජන දාර්ශනිකයා (Public Philosopher) වශයෙන් හදුන්වනු ලැබූ හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ The Relevance of the Beautiful: art as Play, Symbol and Festival යන කලාව පිළිබඳ වූ විශිෂ්ඨ දාර්ශනික කෘතිය “සුන්දර දෙයෙහි අදාළත්වය” වශයෙන් කතිකා අධ්‍යයන කවය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර ඇත.

විසිවන සියවසේ දෙවන භාගයේ දාර්ශනික විවාදයන් හි ප්‍රධාන තැනට පත්ව ඇති සහ “භාෂාමය නැම්ම” යනුවෙන් හදුන්වන තැනට පත්ව ඇති බුද්ධමය ධාරාවන් වන යුගර්න් හබර්මාස් ගේ විවේචක න්‍යාය (critical thoery) ෂාක් ඩෙරීඩාගේ විසංයෝජනය (deconstruction) සහ හාන්ස් ජෝර්ජ් ගැඩමර්ගේ අර්ථකථනවේදය (hermeneutics) අතරින් ගැඩමර්ගේ දාර්ශනික අර්ථකථනවේදය හා ඩෙරීඩාගේ විසංයෝජනය මත විවාදයට පාත්‍ර වූ ජර්මන් දාර්ශනික හෛඩැගර්ගේ බලපෑම ප්‍රකටය. හෛඩැගර්ගේ ශිෂ්‍යයෙකුද වන ගැඩමර් 1960 දී පළකළ “සත්‍ය සහ ක්‍රමය” (Truth and Method) කෘතියෙන් නූතනත්වය යටතේ සමාජ සංස්කෘතික තලයන් තුළ අධිපතිභාවයට පත් වෙමින් තිබෙන අදහසක් වන සත්‍යය ස්ථාපිත කිරීමේ එකම මාර්ගය විද්‍යාත්මක ක්‍රම යොදා ගැනිමය යන අදහසට අභියෝග කළේය. ඔහු විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය ප්‍රශ්න කළේ සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් කවර හෝ යථාර්ථ සංජානනයක් පිළිබඳව අපක්ෂපාතී අර්ථකථනයක් කිරීම අසමත් කරන බව දක්වමිනි. එසේ වුවත් සිදුවෙමින් පවතින දේ අප හදුනාගන්නා තාක්කල් භාෂාව අපට පිරිනමන අර්ථකථනීය සංවාදයේ යෙදීම අපට පටන් ගතහැකි අතර අපගේම ආරම්භක ස්ථාවරයේ සීමා එමගින් අතික්‍රමණය කර අපම ගැන සහ අනෙක් අය ගැන සාරවත් වැටහමක් කරා ගමන් කළහැකිය. පඨිතයන්ගේ අර්ථයත් ඒවා වටහා ගැනීමත් පිළිබඳව අධ්‍යයනයේ දී ඔහුගේ කෘතිය මහත් බලපෑමක් කර ඇත.

කලාව පිළිබඳ ගැඩමර්ගේ මෙම කෘතිය ඔහුගේ ප්‍රධාන කෘතියෙහි සාකච්ඡා කරන කලාව පිළිබඳ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කිරීමකි. කලාව පිළිබඳ අත්දැකීම දර්ශනය සමග සම්බන්ධ කිරීම සමකාලීන චින්තනයේ ඉතා වැදගත් කටයුත්තක් ලෙස ඔහු සැලකීය. ගැඩමර් කීමට කැමති පරිදි කලාව අප මත අයිතිවාසිකම් කියාපෑමක් කරයි. කලා කෘති අත්දැකීමේ ක්‍රියාවලියේ දී විපර්යාසයට ලක්වීමෙන් තොරව අපට සටිය නොහැකි බව ඔහු පවසයි. කලාව වටහාගැනීම තමන් කවුදැයි හොදින් වටහාගන්නට සහ පිළිගන්නට මානවයන්ට පිහිට වෙයි. කර්තෘ ඔහුගේ අරමුණු වස්තුවට එරෙහි ඉහළින් පිහිටුවන ද්විධාකරණ සිතීම ජයගන්නට එවිට දර්ශනවාදයට හැකි වන බව ගැඩමර් දක්වයි. මෙම සිංහල පරිවර්තනයට ගැඩමර්ගේ අර්ථකථනවේදය පිළිබද සංස්කාරකවරුන් ඉදිරිපත් කරන දීර්ඝ හැදින්වීමක් ද ඇතුලත්ය.

කතිකා අධ්‍යයන කවය,
171/30, සරණපාල හිමි මාවත,
කොළඹ 08.

අපගේ මීළඟ ප්‍රකාශනය
දේශපාලනයේ හේතුඵලවාදය
සුප්‍රකට බ්‍රිතාන්‍ය දේශපාලන දාර්ශනික මයිකල් ඕක්ෂොට් ගේ Rationalism in Politics නමැති සුප්‍රසිද්ධ රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය, සවිස්තර හැඳින්වීමක්ද සහිතයි. දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ටත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටත් එකසේ වැදගත් කෘතියකි.

Advertisements

එක්ස් කණ්ඩායමේ ‘තග’ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම

එක්ස් කණ්ඩායමේ ‘තග‘ දැමීමේ දේශපාලනය සිවිල් සමාජ කුසින් යළි උපත ලැබීම -‘කතිකා’ අධ්‍යයන කවය
"දර්ශනය යනු කුමක්ද?" යන දේශනය කිරීමට මොහොතකට පෙර හෛඩගර් ලකාන්ගේ නිවසේ දී ලකාන් හමුවී(1955).
“දර්ශනය යනු කුමක්ද?” යන දේශනය කිරීමට මොහොතකට පෙර හෛඩගර් ලකාන්ගේ නිවසේ දී ලකාන් හමුවී(1955). වමේ සිට හෛඩගර්, ඇක්සෙලොස්, ලකාන්, ෂොන් බොෆ්‍රෙ – හෛඩගර් ‘මානවවාදය පිළිබඳ ලියුම‘ යැවූයේ මොහුටය, එල්ෆ්‍රීඩ් හෛඩගර්, සිල්වියා බතායි (ලකාන් ගේ දෙවැනි බිරිඳ. මේ වනවිට ලකාන් සමඟ විවාහ වී සිටියාය) ඡායා: http://progressivegeographies.com/

‘කතිකා’අධ්‍යයන කවය සහ එහි සාමාජිකයන් ට විවිධ ආන්තික දේශපාලන කණ්ඩායම් සහ කල්ලිවලින් සයිබර් අවකාශයේ එල්ල කෙරෙන මැර ප්‍රහාර පසු ගිය කාලය තුළ උග්‍ර වී තිබේ. අප මෙය දකින්නේ අපගේ දේශපාලන කටයුතුවල බලපෑම නිසා රිදෙන පිරිස් ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙසිනි. මෙම ප්‍රහාරවල හරය වන්නේ බියවැද්දීමෙන් අනෙකා මහජන තලයෙන් පළවා හැරීමයි. එක්ස් කණ්ඩායමෙන් උපත ලද මෙම දේශපාලනය අපට ආගන්තුක දෙයක් නොවේ. ඔවුන්ගේ මෙම ‘තග’ දැමීමේ නොහොත් මැර දේශපාලනයට අප එක්ස් කණ්ඩායමේ ආරම්භයේ සිටම එළිපිටම ප්‍රතිරෝධය දක්වා ඇත්තෙමු. එක්ස් කණ්ඩායමේ දේශපාලනයෙන් උපත ලද විවිධ කල්ලි කණ්ඩායම්වලට මෙම උපන් ගෙයි දෝෂයෙන් අදත් ගැළවිය නොහැකි සේ පෙනෙයි.

සිවිල් සමාජයේ ආධිපත්‍යය දරන්නේ යැයි ඔවුන් විශ්වාස කළ පුද්ගලයන් සහ සංවිධානවලට ඔවුන්ගේ පෞද්ගලික හෝ වෘත්තීය ජීවිත පදනම් කොට ගෙන අභූත චෝදනා, අවලාද සහ අපවාද එල්ල කොට ඔවුන් නිහඬ කිරීම මොවුහු තම දේශපාලනය කොට සැළකූහ. එබඳු ප්‍රහාර වටයක අවසානයේ එක්ස් කණ්ඩායමේ ලේකම් එකළ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වූයේ “ග්‍රවුන්ඩ් එක දැන් ක්ලියර්”යන්නයි. එක්ස් කණ්ඩායමේ දේශපාලනයෙන් උපත ලද ඊනියා ප්‍රැක්සිස් කණ්ඩායමත් පළමු වරට මහජන තළයට පිවිසියේ ‘කතිකා’අධ්‍යයන කවයේ සාමාජිකයන්ද ඇතුළු ඔවුන් සිවිල් සමාජ යේ ආධිපත්‍යය දරන්නේ යැයි විශ්වාස කරන පුද්ගලයන් ගණනාවකට අභූත චෝදනා මත පහර දෙමින් ඔවුන් ඉතිහාසයේ කුණු බක්කියට වැටී ඇතැයි කියමිනි. මේ ඔවුන් දන්නා දේශපාලනය යි. සිතින් මවාගත් සතුරන් අනෙකා කරගනිමින් අභූත චෝදනා මත අවලාද අපහාස යනාදියෙන් ඔවුනට පහර දී ඔවුන් ගේ කාලය අවසාන යැයි තමන්ට ප්‍රකාශ කොට ගෙන එම සිතින් මවාගත් නිදහස් කලාපයේ තමන් රජුන් යැයි අනුගාමිකයන්ට ප්‍රකාශ කොට එම ප්‍රමෝදයෙහි ගැලීම මොවුන්ගේ වින්දනය යි. අද වන විට “ග්‍රවුන්ඩ්” එකෙන් “ක්ලියර්” වී ඇත්තේ කවුදැයි යන්න ඔවුන්ගේ දේශපාලන භූමියේ සීමාවන් විමසා බැලූවිට දැකිය හැකි වනු ඇත. අපට විරුද්ධව එල්ල කෙරෙන මෙම සයිබර් මැර ප්‍රහාර මෙම කල්ලි සහ කණ්ඩායම් අනුදත් ලිබරල් දේශපාලනය මෙරට දේශපාලනයෙහි ලා ජාතිකවාදය අධිපති බවට පත්වීමෙන් දැඩි ලෙස අර්බුදයට යාම හේතුවෙන් සිදුවන්නක් ලෙසද අපි දකිමු. තමන්ගේ වෙබ් අඩවි සඳහා පිරිස් අද්දා ගැනීමෙහි ලා මොවුන්ගේ උපක්‍රමය වන්නේ සිතින් මවාගත් සතුරන්ට එරෙහිව ඕපා දූප ලියා ඒවා කියවීමේ අභිරුචියෙන් පෙළෙන්නන් ආමන්ත්‍රණය කිරීම යි. ඒ අර්ථයෙන් ගත් කළ මේවා සහ අනෙක් “ගොසිප්” වෙබ් අඩවි අතර ඇති වෙනසක් නැත. මේවා දේශාපාලනයේ නාමයෙන් ඕපා දූප,දූෂමාණ ආරංචි පතුරුවන “ගොසිප්” වෙබ් අඩවි ය.

අපට එරෙහි මෙම ප්‍රහාරයට අලුතින්ම එකතු වී ඇත්තේ තුන මාන නමින් හැදින්වෙන නමුත් අදහස් සහ දේශපාලනය අතින් ඒකමානීය වන වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය පසුගිය දිනෙක අපට එරෙහිව ලියා තිබූ ඕප දූප ගැන අපට කෙටියෙන් කීමට ඇත්තේ මෙය එක්ස් කණ්ඩායමේ ‘තග’ දැමීමේ දේශපාලනයම යළි පුනර්ජීවනය ලැබීමක් හැර අන් කිසිවක් නොවන බවයි. පැරණි එක්ස් කණ්ඩායමේ ‘තග’ දැමීමේ දේශපාලනය හා ඔවුන්ගේ නව ආන්තික දේශපාලනයත් අතර පැහැදිලි වෙනසක් ඇත. එය නම් එන් ජී ඕ මුදලින් නඩත්තු වෙමින් වුව පැරණි එක්ස් කණ්ඩායම තම ප්‍රහාර එල්ල කළේ සිවිල් සමාජයට එරෙහිවය. අද ඒකමානීය වෙබ් අඩවිය අයත් වන පෙරටුගාමී පක්ෂය ඉන්නේ ලිබරල් එන් ජී ඕ සිවිල් සමාජ ඔඩොක්කුවෙහිය. අනෙක් අතට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තමන් න්‍යාය සපයන්නේ යැයි පුරසාරම් දොඩන ඊනියා ප්‍රැක්සිස් කණ්ඩායමේ ලිබරල් න්‍යායචාර්යවරුන් ඉන්නේද ලිබරල් එන් ජී ඕ සිවිල් සමාජ ඔඩොක්කුවෙහිය.

අපගේ දේශපාලනය පුරවැසියන්ගේ විචාරශීලීත්වය පෝෂණය කෙරෙන අයුරින් පොදු මහජන කටයුතු පිළිබඳ ලෝකයේ සංවාදය ශක්තිමත් කිරීමට අවැසි දෑ සම්පාදනය කිරීමේ ලා මෙන්ම ඊට මැදිහත්වීමේ ලා කටයුතු කිරීම යි. ඒ හැරුණු විට දේශපාලන පක්ෂ, කාඩර්වරු ගොඩනැගීමට හෝ දේශපාලන පොර පිටියේ චණ්ඩි කම් පෙන්වා පිරිස් ඇද ගැනීමට අපට බලාපොරොත්තුවක් නැත. ඒනිසා ඕපා දූප සහ මඩ ප්‍රහාරවලින් යුතු වින්දනාත්මක සංදර්ශනවලට පිළිතුරු බැඳීමට කාලය මිඩංගු කිරීමට අවශ්‍යතාවක් අපට නැත. මේ ගැන අප මෙයට පෙර ද පැහැදිළි කිරීම් කර ඇත.

කාන්තා විමුක්ති ව්‍යාපාරයේ සටන් පාඨයක් බවට පත් “පෞද්ගලික දේ දේශපාලනිකය” යන පාඨය දේශපාලනය සඳහා පොදුවේ ආදේශ කිරීම ඒක මාන කණ්ඩායමේ ලිබරල් දේශපාලනය සමඟම ගැලපෙන්නේ නැති වීම ඔවුන්ට නොතේරීම අපට පුදුමයක් නොවේ. ලිබරල්වාදී දේශපාලනයේ හරයෙහි ඇත්තේ පෞද්ගලික දේ හෝ පුද්ගලයා රාජ්‍යයෙන් හෝ දේශපාලනයේ බලපෑමෙන් නිදහස් කොට රැක ගැනීමයි. ඉතින්, ලිබරල්වාදයෙන් ඉතිහාසය අවසන් වේ යැයි දැක්වෙන පාඨයට මුල්වූ හේගල් හැදැරීම තව දුරටත් අවශ්‍යය.

ඒක මාන වෙබ් අඩවිය හෛඩගර් සහ ගැඩමර් 20 වන සියවසේ ජාතිවාදීන් සහ ෆැසිස්ට්වාදීන් යැයි එක පහරින් බැහැර කොට  දැමීම එක්ස් කණ්ඩායමේ සිට පෙරටුගාමී පක්ෂය දක්වා සමකාලීන ලිබරල් දේශපාලන ගැලරිය පිනවීමේ දී ඇති වූ විපර්යාසයන්ය. කලක් ඩෙරීඩා පිළිබඳ තම ශ්‍රේෂ්ඨ ගුරුවරයා වූ නලින් ස්වාරිස් හදිසියේම අයිලන්ඩ් පුවත්පතේ ජාතිවාදියා වී ඇත්තේ මෙම ලිබරල් විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසය. මේ පිළිබඳ කෙටි පැහැදිළි කිරීමක් අවශ්‍ය කෙරෙයි.

ප්ලේටෝ සිරැකියුස් යාම

නාසිවාදීන් හෛඩගර් විශ්ව විද්‍යාලයේ රෙක්ටර් ලෙස පත් කිරීම සහ ඔහු එහිදී කළ සමාරම්භක දේශනය ගැන සුවිශාල ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඇත. හෛඩගර් තම ස්ථාවරය පසුව වෙනස් කර ගත්තා පමණක් නොව ඔහුගේ පාපෝච්ඡාරණය (ස්පීගල් සම්මුඛ සාකච්ඡාව ) මරණින් පසුව පළ විය. හෛඩගර්ගේ ශිෂ්‍යයෝ මෙන්ම, ඔහුගේ ආභාෂය ලැබූ අය අර්ථකථනවේදය, පශ්චාත් ව්‍යුහවාදය, පශ්චාත් නූතනවාදය ආදී චින්තන ධාරාවන්ගෙන් පැමිණෙන අතර ඒ කිසිවෙකුත් හෛඩගර් ගේ මේ මතිභ්‍රමය මුල් කරගෙන ඔහුගේ මුළු මහත් දාර්ශනික චින්තාවම අවතක්සේරු කිරීමට හෝ හෙළා දැකීමට තරම් අසංවේදී නොවූ බව සිහිපත් කළ යුතුය. හෛඩගර්ගේ ශිෂ්‍ය, අර්ථකතනවේදයේ ආදී කතෘ ගැඩමර්ට අනුව ශ්‍රේෂ්ඨ චින්තකයෙක්ට දේශපාලන ව්‍යාපාරයකට වංශවත් මුහුණුවරක් දිය හැකි යැයි මතිභ්‍රමයක හෛඩගර් පැටලී සිටියේය. නාසි පාලනය යටතේ විශ්ව විද්‍යාල ප්‍රධානියා ලෙස අයාලේ ගිය ගමනින් පසු යළිත් ඉගැන්වීම සඳහා හෛඩගර් පැමිණි විට ඔහුගේ සගයෙකු “සිරැකියුස් ගිහින් ආවද?” යි උපහාසයෙන් ඇසූ බව සුප්‍රසිද්ධ යැයි මාර්ක් ලිලා තම The Reckless Mind: Intellectuals in Politics කෘතියෙහි සදහන් කරයි. මෙම සඳහන තරුණ පාලක ඩයෝනීසියස් දර්ශනය සහ යුක්තිය දෙසට හැරවීමේ බලාපොරොත්තුවෙන් ප්ලේටෝ සිසිලිය බලා යෙදුණු ගමන් අවස්ථා තුන පිළිබඳ ය. මෙම අධ්‍යාපනික උත්සාහය අසාර්ථක වූ අතර ඩයෝනීසියස් දිගටම ඒකාධිපතියෙක් ව සිටියේය, ප්ලේටෝ තම ජීවිතය නූලෙන් බේරා ගත්තේය. හෛඩගර් දර්ශනවාදය දේශපාලනයට විශේෂයෙන් හිට්ලර්ගේ ජාතික සමාජවාදයට මඟ පෙන්විය හැකි යැයි ක්ෂණයකට හෝ විශ්වාස කිරීම ඔහුගේ ඛේදාන්තහාස්‍ය දෝෂය වූයේය යන්න ප්ලේටෝ සිරැකියුස් යාම සම්බන්ධ සමාන්තර උදාහරණය හෛඩගර් පිළිබඳ සාකච්ඡාවලදී යළි යළිත් සඳහන් කිරීමට හේතුව බව මාර්ක් ලිලා දක්වයි.

ගැඩමර් 1933 හිට්ලර්ගේ නැඟීම සිදුවන යුගයේ දේශපාලන අවදානම ගෙන විශ්ව විද්‍යාල බුද්ධිමය එකඟතාවයකින් යුතුව පවත්වාගෙන යාමට ක්‍රියා කළේය. ඒ පිළිබඳ සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, “එය බියකරු අවදි කිරීමක් වූ අතර පුරවැසියන් ලෙස ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මකවන්නට අසමත් වීම ගැන අපටම අප නිදොස් කරන්නට නොහැකි විය. අපි හිට්ලර් සහ ඔහුගේ වර්ගයේ අය අඩුවෙන් තක්සේරු කර තිබුණෙමු……. ගුරුවරයෙකු වශයෙන් මගේ කටයුත්ත මා දුටුවේ ජර්මන් ශාස්ත්‍රාලයීය තරුණයන් තුළ තමාටම සිතීමට ඇති ධෛර්යය ශක්තිමත් කිරීමත් සහ විනිශ්චය පිළිබඳ ඔවුන්ගේම හැඟීම ශක්තිමත් කිරීමත් තුළය. මෙයින් පළමු කොටම අදහස් වන්නේ ඉගැන්වීමේ න්‍යාය සහ භාවිතය සම්බන්ධයෙන් සංවාදයෙහි මූලිකභාවය තුළ නිරත වීමයි “යනුවෙනි. එබැවින් දාර්ශනිකයන්ට ෆැසිස්ට් ලේබල් අලවනවාට වඩා අනෙකා සංවාදයෙන් පලවා හැරීමේ තම ෆැසිස්ට් භාවිතය ගැන ඒකමානීය ජනාන්දෝලකයන් සිහි එලවා ගනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිද?