Category Archives: කුමුදු ගේ තීරුව

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි
කුමුදු කුසුම් කුමාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු පිළිබඳ අවධානය යොමු නොකොට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවයි. තම නමට ‘විශ්ව විද්‍යාල‘ යන පදය නීති විරෝධීව යොදා ගැනීම මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කළ යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තර්ක කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා ගත හැකි සරල ක්‍රියා මාර්ග ඇති හෙයිනි. අනෙක් අතට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දැක්වීම නීති විරෝධීකොට තහනම් කිරීම රටේ ව්‍යවස්ථාවෙන් පුරවැසියනට සහතික කෙරෙන දේශපාලන නිදහස උදුරා ගැනීමක් නොවන්නේ ද?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීමේ කථාව මුලින්ම ඉදිරිපත් කෙරුනේ ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ නමින් තමන් හඳුන්වා ගන්නා ශිෂ්‍යයන් කිහිප දෙනෙකු නවක වධයට එරෙහිව යැයි කියමින් පසුගිය දින කිහිපයක් කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදී ය. මෙහි නායකයෙකු නවක වධයේ වගකීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට පවරමින් රජයට අභියෝග කරමින් කියා සිටියේ රජයට කොන්ද පණ ඇත්නම් වහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන ලෙසයි. ඉන් පසුව මෙම සිසු ව්‍යාපාරය තමන් වගකීම ගන්නා බව කියන නවක වධය පිළිබඳ වාර්තාවක් රැගත් වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කොට තිබේ. රජයට මෙතරම් ප්‍රබල ලෙස අභියෝග කරමින් ආරක්ෂක බලධාරීන්ගේ හෝ සුපුරුදු දේශපාලන මැරවරයන්ගේ කිසිදු බාධාවකින් තොරව දින කිහිපයක් කොළඹ කොටුවේ මෙබඳු විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්නට මෙම ශිෂ්‍යයන් කිහිප දෙනාට ඉඩ ලැබීමත්, රජයට කෙරෙන මෙබඳු අභියෝගයකට මෑත කාලයේදී ස්වයංවරණයකින් තොරව මෙතරම් ප්‍රචාරයක් දෙන්නට මාධ්‍ය නොබියව ඉදිරිපත්වීමත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වර්ධනය වී ඇතිද යන්න පෙන්වන උදාහරණ ලෙස රජය ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. එමෙන්ම මෙම ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ තම නමට ‘විශ්ව විද්‍යාල‘ යන පදය යොදාගැනීම ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය නිසි පරිදි ලබා ගත්තා විය යුතුය. එසේ අවසර ගැනීමේ පදනම අනුව වෙනත් ඕනෑම සිසු ව්‍යාපාරයකට ද එබඳු අවසරයක් ලබා ගැනීම අපහසු නොවිය යුතුය. මෙයද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සංවිධානය වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස් පරිසරය සනාථ කරන්නක් යැයි රජය කියනු ඇත. නමුත් යථාර්ථය මෙයද? Continue reading ‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

Advertisements

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

කුමුදු කුසුම් කුමාර

පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි ඔහු කියන්නාක් මෙනි. රජයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු සහ ජනාධිපති රාජපක්ෂගේ සහෝදරයෙකුද වන ගෝඨාභය රාජපක්ෂගේ අදහස් බැරෑරුම්ව සළකා සාකච්ඡා කිරීම රටේ යහපත පතන්නන් ගේ වගකීමකි. මෙම ලිපිය එබඳු උත්සාහයකි.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම සිදුවූ දිනවලම ඇමති විමල් වීරවංස ඉංග්‍රීසි පුවත් පතකට පවසා තිබුණේ පශ්චාත් යුද සමාජයේ පාලන තන්ත්‍ර යේ වෙනසක් කිරීම සඳහා විදේශීය බලවේගයන්ගේ මැදිහත්වීම පහසු කිරීමට රට තුළ කළබල ඇති කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රියා කරමින් සිටින බවයි. පාලන තන්ත්‍ර යේ වෙනසක් සඳහා විදෙස් බලවේග කෙරෙහි බලාපොරොත්තු තැබීම පිළිබඳ අදහසක් ජනයා අතර පැතිර යන්නේ නම් ඊට ප්‍රධාන හේතුව රට තුළ දේශපාලනයට, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවකාශය අහිමි වී ඇති බවට විශ්වාසයක් ජනයා අතර පැතිර යාමයි. රට තුළ නීතියේ පාලනය බිඳ වැටීම සංකේතවත් කරන දිගින් දිගටම වාර්තා වූ සුදු වෑන් වලින් පැහැර ගෙන යාම පිළිබඳ පුවත් ජනයා අතර මෙබඳු හැඟීමක් තර කරන්නට හේතු වී තිබේ.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීම ඉමහත් සේ දෙස් විදෙස් අවධානය දිනා ගත්තා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන පිරිස් කුළු ගැන්වීමට ද හේතුවීය. රජය පැත්තෙන් ගත් කළ මෙම සිද්ධියේ ඵල විපාකවල වැදගත්කම ප්‍රකාශයට පත් වූ අවස්ථාවක් වූයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයි.ටී.එන් රූපවාහිනි යේ ‘දොරමඬලාව‘ වැඩ සටහනට සහභාගී වීමයි. සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කළේ මේ සඳහා කලින් සැළසුම් කොට තිබූ දොරමඬලාව වැඩ සටහන සජීවී ලෙස විකාශය වන්නට පැය කිහිපයකට පෙර හදිසියේ එය අවලංගු කොට ලේකම් වරුන් දෙදෙනාට ඒ සඳහා අවස්ථාව ලබා දුන් බවයි. දොරමඬලාවට ගෝඨාභය රාජපක්ෂ සහභාගීවීමත් එම සාකච්ඡාවට ලක් වූ කරුණු දොරමඬලාවේ දී ඉදිරිපත් වීමත් යුක්ති යුක්ත බවට හේතු මෙහෙයුම්කරු වැඩ සටහන අතර තුර විටින් විට ප්‍රේක්ෂකයනට කියා සිටියේය. කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීම අවසානයකට ඒම පිළිබඳ මුල්ම තොරතුර මහජනයාට ප්‍රකාශ වූයේද මෙම වැඩ සටහනෙහි අවසාන භාගයෙහිදී ය. පැය දෙක හමාරක් පමණ දිවෙන මෙම වැඩ සටහනෙහි අවසාන පැය භාගය ආරම්භයේදී මධ්‍යම රාත්‍රියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හෙළිදරව් කළේ කුමාර් ගුණරත්නම් පොලිසියකට භාර වූ බව වැඩ සටහන ආරම්භයට පෙර තමාට දැනගන්නට ලැබුණු බවයි. Continue reading රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි

මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ:
මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි.

උළෙලේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපති බව දැන සිටි අය පෙර අසා දැන සිටි තොරතුරු තිබුණි නම් තමන් මෙබඳු ශාරීරික පරීක්ෂාවකට ලක් වනු ඇති බව නිගමනය කරන්නට ඉඩ තිබුණි.‘රාවය‘ උළෙලට සහභාගී වූ මා දන්නා එක් තරුණ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මේ පිලිබඳ කීවේ තමාද එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වූ නමුත් ඉන් සුවිශේෂ අපහසුතාවක් නොවිඳි බවයි. පසුගිය මැතිවරණ කාලයන්හිදී කිහිප වතාවක් අරලිය ගහ මන්දිරයේ රැස්වීම්වලට ගිය රජයට හිතවත් විශ්ව විද්‍යාල කථිකාචාරයවරු එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වීම නිසා තමන්ට පත්වූ අපහසුතාවන් පිළිබඳ කටුක හාස්‍යයෙන් යුතුව කථා කරණු මම අසා ඇත්තෙමි. ශාරීරික පරීක්ෂාවට ලක්වීම අත්දැකීමේ තීව්රතාව, පරීක්ෂා කරන්නා මෙන්ම, ලබන්නා අනුවත් වෙනස් විය හැකිය. පුද්ගලයෙකු ලෙස හෝ / සහ පුරවැසියෙකු ලෙස රජය විසින් තමනට ලබා දිය යුතු අයිතිවාසිකම් හෝ / සහ ගරුත්වය පිළිබඳ යමෙකුට ඇති හැඟීම අනුව ද මෙම අත්දැකීම තමාට දැනෙන ආකාරය වෙනස් විය හැකිය. නමුත් තමා ශාරීරික පරීක්ෂාවට ලක්වීම තමා පක්ෂපාතීවන රාජ්‍ය යේ ආරක්ෂාවට අවශ්‍ය බව පිළිගන්නා අයෙකුට එය දැනෙනු ඇත්තේ පෙර කී තැනැත්තාට එය දැනෙන ආකාරයෙන්ම නොවේ.

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය

දෙවැනි කරුණ වන උළෙලට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම පිළිබඳ වික්ටර් කියන්නේ, උත්සවයට සහභාගී වීමෙන් වැළකී ආපසු ගිය කිහිප දෙනෙකුගෙන් (සහ උත්සවයට සහභාගී වූ ඇතැමුන්ගෙන් පවා) මෙම උත්සවයට එල්ල වී ඇති ‘විරෝධයට බලපා තිබෙන ඇත්ත හේතුව ලෙස සැලකිය හැක්කේ එම උත්සවයට ජනාධිපති සහභාගී කරවා ගැනීමය‘ යන්නයි. සමහරවිට ඔවුනට ජනාධිපති නරකම වර්ගයේ ඒකාධිපති නායකයෙකු ලෙස පෙනෙන නිසා එසේ කළා විය හැකි යැයි කියන වික්ටර්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු නොව ව්‍යවස්ථාවේ පිහිටෙන් සහ මහජන ඡන්දයෙන් බලය ගොඩ නඟා ගත්තෙකු බව තර්ක කරයි. ඒකාධිපතිත්වය සහ ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය දෙකම එක හා සමාන නොවේ. වික්ටර් ගේ තර්කය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු ලෙස සළකා ඔහු පරාජය කිරීම ප්‍රමුඛ තැනට ගෙන ‘රාවය‘ යෝජනා කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ දෙවැනි තැනට ලඝු කරන අය අන්තගාමී සහ ප්‍රතිගාමී න් හෙයින් ඔවුන් පරාජය කළ යුතු බවයි. (සංවත්සර උළෙල ට ‘රාවය‘ කළ ආරාධනය ස්තූති පූර්වකව භාර ගත් නමුදු මම ත් එම උළෙල ට නොගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උළෙලේ ප්‍රධාන ආරාධිතයා බව දැනගත් නිසා ඔහුට ඇති විරෝධයකින් නොව ඉන් රාවයේ පටිසෝතගාමී අපේක්ෂා ගැන ගම්‍ය කෙරුණු දේ හේතුවෙනි. දැන් මේ හේතුවෙන් මම ත් ළදරු වලිප්පුකාරයෙකුගේ තත්වයට වැටෙන්නේදැයි නොදනිමි.) Continue reading මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

කුමුදු ගේ තීරුව

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත
නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි.

මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට කැමැත්තෙමි. මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට වික්ටර් දක්වන කැමැත්ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන හෙයිනි.

මූලධර්මවාදය
වික්ටර් අයිවන් තම ලිපිය නම් කොට ඇත්තේ ‘නගර සංවර්ධනය හා මූලධර්මවාදය‘ යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ මතවාදී තලය පසුගාමී යැයි පවසන වික්ටර් ඒ කෙරෙහි බලපා තිබෙන මූලධර්මවාදී අදහස් ද ඊට හේතු වී ඇතැ යි කියයි. ඔහු හඳුනා ගන්නා විවිධ මූලධර්ම මූලයන් අතර මානව හිමිකම් දෘෂ්ටිය ද වෙයි. මානව හිමිකම් කෝණය හැම දේකටම ගෙඩි පිටින් ගිල්වන්නට දරන වෑයම විශාල අවුල් ඇති කිරීමට හේතුවිය හැකියැයි ඔහු කියයි.

ආරම්භයේදීම අවධාරණය කළ යුතු කරුණක් තිබේ. ඒ මම මානව හිමිකම් මූලධර්මවාදියෙකු නොවෙමි යන්නයි. මම කිසිම ආකාරයක මූලධර්මවාදියෙකු නොවෙමි. අද ලංකාවේ අධිපති බවට පත්ව ඇති සංවර්ධන කතිකාව සැබෑ මූලධර්මවාදයක ස්වරූපය ගනිමින් සිටියි. එය අන් සියලු දෙය, අප අගය කරන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව දයාව ඈ වටිනාකම් පවා ඒ වෙනුවෙන් කැප කරන මෙන් අපට බල කර සිටියි. රටේ දියුණුව වෙනුවෙන් අප අන් සියල්ල කැප කළ යුතු යැයි කියනු අපට නිතර අසන්නට ලැබේ. සංවර්ධන මූලධර්මවාදය නගරයේ දුප්පතුන් ට නගරයේ පුරවැසියන් ලෙස ඔවුනට ලැබිය යුතු අයිතීන් යටපත් කරන්නට උත්සාහ දරයි.

පුරවැසි අයිතීන් ගැන කතා කළ හැකි එකම විධිය මානව අයිතීන් මත පදනම්වීම නොවේ. නූතනයේදී පුරවැසි අයිතීන් සහ මානව අයිතීන් එකිනෙක මත අති පිහිතවීමක් තිබිය හැකි නමුදු පුරවැසි අයිතීන් ස්වාධීනව පැවතිය හැකිය. නගරයක පුරවැසියනට ඔවුන් එහි පුරවැසියන් වීම නිසාම ඇති අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගෙන් නගරයේ සාමුහික ජීවිතයට ඉටු විය යුතු යුතුකම්ද අතීතයේ සිටම හඳුනාගෙන තිබේ. Continue reading කුමුදු ගේ තීරුව

කුමුදු ගේ තීරුව

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘
යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි
අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ.

මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන යාමට හැකි වන අයුරින්, ගෙනයාමට හැකිවීම තුළ වන බැවිනි.

කොළඹ නගර සංවර්ධන වැඩසටහන ගෝඨාභය රාජපක්ෂගේ යැයි වික්ටර් අයිවන් කියන විටම වත්මන් නගර සංවර්ධන වැඩ පිළිවෙළට අදාල පුද්ගල සාධකය අවධාරණය කෙරේ.

පුද්ගල සාධකය සහ පුරවැසි අයිතීන්

පුද්ගල සාධකය මුල්කරගෙන දියත් කෙරෙන නාගරික සංවර්ධන වැඩපිළිවෙලවල් අමතක කරන වැදගත්ම කරුණ නම් නගර සංවර්ධන වැඩසටහන් පුරවැසියන්ගේ විය යුතු බවයි. අමෙරිකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් දියුණු ධනපති රටවල නාගරික සංවර්ධන වැඩ පිළිවෙළවල සාමාන්‍යයෙන් ගත් කළ හැම සුලු පියවරකදීම පුරවැසියන්ට දැනුම් දීම සහ ඔවුන් සහභාගීකර ගැනීම වැදගත් කොට සළකන්නේ නගරයේ ජීවය රඳා ඇත්තේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය මත යැයි ඔවුන් විශ්වාස කරන හෙයිනි. නමුත් අපේ නගර සංවර්ධනය නිලධාරීන් විසින් පුරවැසියන් මත පැනවෙනු ලබන්නක් මිස පුරවැසියන් ගේ අනු දැනුමෙන් ඇතිවන සංවර්ධනයක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හමුදා දෘෂ්ටි කෝණයකින් දේවල් බලන ආකල්පයෙන් අත්මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටි කෝණයකින් දේවල් බලන තැනකට මාරුවිය යුතු යැයි වික්ටර්‍ අයිවන් කරන යෝජනාවෙන් අපගේ ඉහත අදහස සනාථ කෙරෙයි.

මීට පෙර නගරය සංවර්ධනය කරන්නට මෙලෙස ඉදිරිපත් වූවන් අතර ඇමති මංගල සමරවීර කැපී පෙණුනු බව වික්ටර් අයිවන් සදහන් කරයි. මංගල සමරවීරලා ගේ පාලනය යටතේ එක් අතකින් අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් රතුකුරුස හන්දියේදී ජන මාධ්‍ය වේදීන්ට පොලු පහර දී කැමරා උදුරා ගනිද්දී අනිත් අතින් ගාලු මුවදොර පිටිය වටා කොන්ක්‍රීට් වාටි එලමින්, ගාලු මුවදොර ‘කථිකයන්ගේ මුල්ල‘ක් හැදුවේ පුරවැසියන්ගේ අදහස් විමසමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින්නට නොව තම ස්වයං විභූතිය සඳහා බව පැහැදිළිය.

නගර සංවර්ධනය පිළිබඳ ‘බැලූ බැල්මට පෙනෙන්නේ‘ යැයි වික්ටර් අයිවන් සඳහන් කරන සමහර කරුණු මඳක් සියුම්ව විමසා බැලූ කල ගොඩ නැඟෙන චිත්‍රය වෙනස් විය හැකිය. Continue reading කුමුදු ගේ තීරුව

කුමුදු ගේ තීරුව

ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි

ජනතා විමුක්ති පෙරමුණ තුළ වාම කණ්ඩායමක් යලිත් මතුව ඒම පෙන්නුම් කරන්නේ, දේශපාලනයෙහි නිරත වීමෙහි ලා තරුණ තරුණියන් තුළ ඇති බලවත් අවශ්‍යතාව, මහජන පරිමණ්ඩලයේ පෙනී සිට, බැබළී තම විශිෂ්ටත්වය ලොවට පෙන්නුම් කිරීමට ඔවුන් තුළ ඇති අවශ්‍යතාව කුමන දුෂ්කර තත්වයන් තුළ පවා යටපත් නොවන බවයි.

මෙම වාම කණ්ඩායම ඔවුන් නවලිබරල්වාදය පිළිබඳ විවේචනයක් ගොඩනැංවීම සහ සමාජවාදය පතා කටයුතු කරන බව පැවසීමත් සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස්විය යුතුයැයි කියා සිටීම ත් අප විසින් සැළකිය යුත්තේ සාධනීය දෙයක් ලෙසිනි.

ලාංකේය ජනතාව නව ලිබරල්වාද ප්‍රතික්ෂේපකොට ඇතැයි මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාශනයේ සඳහන් වෙයි. ඉතින් මෙය තහවුරු කරන්නට තරුණයන් ඉදිරිපත්වීම මහින්ද චින්තනය අනු දකින්නන් විසින් ද අගය කළ යුතු නොවේද?

සමාජවාදය පිළිබඳ අදහස ලංකාවේ මුල් බැස ගත්තකි. ජාතික චින්තනයේ නිර්මාතෘ ගුණදාස අමරසේකරයෝත් ලංකාව බෞද්ධ දැක්මෙන් සමාජවාදී චින්තනය උරුම කොට ගත් රටකැයි කියති. මෙය, බටහිරින් ආ සමාජවාදය මෙරට මුල් බැස ගන්නට හේතුවක් විනැයි යන අමරසේකරයන්ගේ අදහසෙහි සත්‍යයක් ඇතියි සිතිය හැකිය. ඉතින් සමාජවාදය පිළිබඳ අපේක්ෂාව මෙරටින් තුරන් වූවා යැයි සිතා සිටි ඇතැමෙකු ජනතා විමුක්ති පෙරමුණේ ඇතිවී තිබෙන කලබලයෙන් කලබල වීම තේරුම් ගත හැකිය. අපේ දේශපාලනයේ වාම සම්ප්‍රදායට මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී පක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අයිති වෙයි. බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවල හවුල් කරුවන් වාමාංශික පක්ෂ වීමෙන් මේ බව පෙනෙයි.

සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ දේශපාලන බලය බෙදාහැරීමද වත්මන් රජය පවා පිලිගත් ප්‍රතිපත්තියකි. දහතුන් වැනි සංශෝධනයෙන් එහාට බලය බෙදිය යුතුයැයි ජනාධිපතිවරයාමත් වරින් වර ප්‍රකාශ කොට තිබේ. ඉතින් එම අදහස් බැරෑරුම්ව භාර ගැනීම ගැන අප තරුණයන්ට දොස් කීම සාධාරණද?

සාධාරණය, යුක්තිය, සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටීමට මෙම තරුණයන් තුළ ඇති අභිලාෂය පෙන්නුම් කරන්නේ අප සමාජය විසින් ඔවුන් තුළ පැළ පදියම් කොට ඇති මානවීය ගුණාංගයන් ය. මෙබඳු කලෙක එබඳු තරුණ තරුණයන් පිරිසක් අප සමාජයේ තව දුරටත් ඉතිරිව සිටීම අප සමාජයේ අනාගතය පිළිබඳ කිසියම් සාධනීය බලාපොරොත්තුවක් අප තුළ දනවයි. පොදු යහපත ඉලක්ක කොට තම උරුමයෙන් වඩාගත් දේශපාලන අදහස් වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔවුන් දක්වා ඇති කැපවීම පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ධෛර්යය සම්පන්න භාවයයි, නිර්භීත කමයි. මෙම ගුණාංග තව තවත් වගා කරගන්නට අප තරුණයන් දිරිගැන්විය යුතු නොවේද? Continue reading කුමුදු ගේ තීරුව