Category Archives: ගුණදාස අමරසේකර

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද සිල්වා ද ඊට සහභාගී වෙමිනි. 1970 දශකයේ අග භාගයෙන් ඇරඹි දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ එම ජාතික චින්තන සංවාදය පසුව ජනවාර්ගික ගැටුම මුල් කර ගත් දේශපාලන භූමියේ යථාර්ථයට හසුවීමෙන් වල් මත් වී ගිය ද, එතෙක් එය සිංහල පාඨක සමාජයේ බුද්ධිමය වර්ධනයට දායකත්වය සැපයූ, ප්‍රධාන ධාරාවේ පුළුල් තලයක දිගු කලක් පැවති එබඳු එකම සංවාදය යැයි කිව හැකිය. ( ඊට අමතරව කළ එබඳු වැදගත් මැදිහත් වීමක් ලෙස අපට සිහිපත් කළ හැක්කේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1982 ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා පළ කිරීම යි.) අප පහත පළ කරන්නේ ‘නූතනත්වය සහ ලාංකීය සමාජ දේශපාලන කතිකාව’ නමින් කුමුදු කුසුම් කුමාර 2002 දී ‘බලය’ සඟරාවට ලියූ ලිපි පෙළක ගුණදාස අමරසේකරයන් ‘ජාතික චින්තනය’ මුල් කොට ලියූ අදහස් පිළිබඳ සාකච්ඡවකට අදාළ කොටස් කිහිපයකි.

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය

මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථකවීමට හෝ එය ක්‍රියාත්මකවෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නගා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද, නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, ‘නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳව තමන් දරන ස්ථාවර අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහාගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීමද සිදුවෙයි. Continue reading නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

Advertisements

අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන – මහාචාර්ය අසංග තිලකරත්න

මහාචාර්ය අසංග තිලකරත්න
මහාචාර්ය අසංග තිලකරත්න

මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි.

"අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? "පළමු මුද්‍රණය
“අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? “පළමු මුද්‍රණය

2014 සැප්තෑම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය අබියස සිටිමින් අද දින පවත්වනු ලබන මෙම රැුස්වීමේ ආසන්නම හේතුව වන්නේ ගුණදාස අමරසේකර මහතා විසින් 1980 වර්ෂයේ මුලින් ම ප‍්‍රකාශයට පත්කරන ලද අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? නැමැති කෘතියෙහි තුන්වන මුද්‍රණය විසිදුනු ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීමත්, ඔවුන් විසින් ම සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය විසින් අමරසේකර මහතා සමඟ ජාතිකත්වය පිළිබඳව පවත්වන ලද සාකච්ඡුා ඇතුළත් ජාතිකත්ව සංකථන: ජාතිකත්වය පිළිබඳ තුලනාත්මක විග‍්‍රහයක් නම් කෘතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමත්ය. ධර්මපාල තුමාගේ ජීවිතය පිළිබඳ අනුස්මරණීය අවස්ථාවක මෙම කෘති දෙක – එකක් නැවත පළ කිරීම හා අනික් කෘතිය පළමුවරට පළ කිරීම තුළින් ධර්මපාල තුමා පෙනී සිටි, එතුමා ජීවිතය කැප කළ වැදගත් පැතිකඩක් දෙස නැවත අවධානය යොමු කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරෙන බව පැහැදිලි කරුණකි.ධර්මපාල තුමාගේ චින්තනය හා ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විදර්ශනාවක යෙදීම සඳහා උචිත අවස්ථාවක මේ මොහොතේ අප සිටිනා බවට, එතුමාගේ ජන්ම සංවත්සර අවස්ථාවට පරිබාහිරව, කරුණු කරුණු තුනක් මා දකිනවා.

1.ගුණදාස අමරසේකර මහතාද සඳහන් කරන පරිදි වර්තමාන රජය, ධර්මපාල තුමාගේ ජාතික හා දේශපාලන චින්තනයේ ප‍්‍රතිඵලයක් ලෙස බලයට පත් වු එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන පක්ෂ එකමුතුවක් විසින් පිහිටුවන ලද්දක් වීම හා එමඟින් මෙම රජය ධර්මපාල තුමා කෙරෙහි ඇති දුර ණයගැතිභාවය.

2.පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ජේ. ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙන ලද නිදහස් වෙළඳ ආර්ථික ක‍්‍රමයෙහි බහුල වු අමනෝඥ ප‍්‍රතිඵල අත්විදින ජනතාවක් ලෙස අපට සුදුසු ආර්ථික හා සමාජ දර්ශනය හා භාවිතය කවරක් ද යන ප‍්‍රශ්නය අද වන විට වඩාත් ප‍්‍රබල ලෙස දැනෙමින් තිබීම.

3.අන්තර්ආගමික සම්බන්ධතා, ආගම්ක සහ පැවැත්ම හා යහ පැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික ස්ථාවරය හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලාත්මක අවස්ථාවක අප පසුවීම.

මෙම කරුණු තුනට අදාල වන ජාතිකත්වය හා දේශපාලන ච්න්තනය, ආර්ථික චින්තනය හා ආගම්කත්වය හෙවත් බුදුදහම සහ භික්ෂූන්වහන්සේ ධර්මපාල තුමාගේ ක‍්‍රියාකාරීත්වයේ ඉතා මුලික අංග වු බව නිසැකය. Continue reading අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන – මහාචාර්ය අසංග තිලකරත්න

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය
ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්
කරුමක්කාරයෝ චිත්‍රපටියෙන්
කරුමක්කාරයෝ චිත්‍රපටියෙන්
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ සංවාද සභාවේදී ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් දැක්වූ අදහස් මෙලෙස පළ කරන්නෙමු. මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස දැක්වූ අදහස් පෙර පළ කලෙමු.
‘සාහිත්‍ය හා ඉතිහාසය’යන සාකච්ඡාවේ මාතෘකාව ‘සාහිත්‍යයේ ඉතිහාසය’යනුවෙන් මම මදක් වෙනස් කරමි. එය දේශකයාට නොඅදාළ කටයුත්තක් විය හැකියි. නමුත් අවසානයේ ඔබට පෙනේවී එය අදාළ කටයුත්තක් කියලා.මහා ගංගාවක් සේ ගලන අමරසේකරයන්ගේ කෘතී සමූහය ගැන බැරෑරුම් විචාර කතිකාවට කුඩා විකල්පයක් සටහන් කරන්න මා මෙසේ උත්සාහයක් දරනවා.අමරසේකරගේ නිර්මාණ විචාරයට ලක් කරන විචාරකයන් මතු කරන පිළිගත් සත්‍යයක් නම්,ඔහුගේ නවකතා පන්ති විග්‍රහයකින් පිරී ඇති බවයි. නවකතාවන්ගේ අභ්‍යන්තර යාන්ත්‍රණයේ සමාජ පන්ති විග්‍රහයක් තිබෙන බව අපේ විමසීමට ලක්විය යුතුයි.
අමරසේකරගේ කෘති සමූහය මුල සහ අග ලෙස මා වෙන්කර හඳුන්වන්න කැමතියි. මුල අවදිය සඳහා කරුමක්කාරයෝ,ජීවන සුවඳ,දෙපානොලද්දෝ, ගන්ධබ්බ අපදානය හා යළි උපන්නෙමි යන කෘති පහ යෝජනා කරනවා. කාලය අනුව බැලූවිට මේ කෘති සියල්ලම අයත් වන්නේ 1955-1964 වකවානුවටයි. එහෙත් මා මෙම වර්ගීකරණයට ‘රතු රෝස මල’ ඇතුළු කර ගන්නේ නැහැ. අග කොටස හැටියට මම හඳුන්වන්නේ අද සාකච්ඡාවට භාජනය වන ‘ගමනක මුලින්’ ඇරඹී ‘ගමනක අග’ දක්වා දිවෙන නවකතා සමූහයයි.
ආචාර්ය දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන විචාර දර්ශනවල දක්නට ලැබෙන එක් පොදු කරුණක් නම් ඔවුන් ‘කරුමක්කාරයෝ’ වෙනස් යයි හඳුන්වා,එය කොටුකර දැක්වීමයි. ඔවුන් එයින් අදහස් කරන්නේ එම නවකතාවල කලාත්මක වටිනාකමේ අඩුවක් තිබෙන බව නොවෙයි.මුල් කෘතීන්ට යා නොවන බවයි. දේවසිරිගේ තර්කය වන්නේ ‘කරුමක්කාරයෝ ‘ ලියැවී තිබෙන්නේ ග්‍රාමීය පහළ මැද පන්තියේ,විශ්වවිද්‍යාල නැතහොත් විද්‍යාල අධ්‍යාපනයක්වත් නොලැබුණු වෙළඳාම් කරන පවුලක් ගැන බවයි.කුමාරතුංගත් මේ කතාව ගැන දක්වන්නේ හොඳ කතන්දරයක් හැටියට පමණයි.මෙම කෘති පහේම එක්තරා ආකාරයකට පැහැදිළි හා සමාන වූ අභ්‍යන්තර යාන්ත්‍රණයක් තිබෙනවා. එම සමානත්වය මත පදනම්වූ ඒකීයත්වයක් ද තිබෙනවා. අසාර්ථක ප්‍රේමය අභ්‍යන්තර යාන්ත්‍රණයේ තේමාවයි. එය ජනිත වන්නේ පවුලෙන්. පවුල් සෙනෙහස (එය තරහව ලෙස නම් කිරීම සැර වැඩියි)වැනි හැඟීම් මඟින් ජනිතව එයින්ම පරපෝෂණ වන ලිංගිකත්වය මුසු කර ගත් රොමාන්තික ප්‍රේමයක් හට ගන්නවා. එම ප්‍රේමයේ සීමාව වන්නේ පවුලේ හැඟීම්වල සීමාවයි.සෑම නවකතාවකටම වගේ න්‍යෂ්ථික පවුලක් වගේම විස්තෘත පවුලක්ද දකින්න ලැබෙනවා. මේ ගැන මට සූත්‍ර විදිහට උදාහරණ දක්වන්න අපහසුයි තරුණ මිතුරන් කිහිපදෙනෙක් සමඟ මම මේ නවකතා කියෙව්වා. මම මෙහිදී සංජානනය කරන අදහස් මගේම අදහස් නෙවෙයි. සාමූහික අදහසක්.
ඉහතදී මම සඳහන් කළ ප්‍රේමයේ අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන කියැවීම පැහැදිළි කරන්න මම උදාහරණ තුනක් දක්වන්නම්. පළමු උදාහරණය ජීවන සුවඳ කෙටි කතා සංග්‍රහයේ එනමින්ම එන නිර්මාණයෙන් දක්වන්නම්. ජීවන සුවඳ කෙටි කතාව ඇරැඹෙන්නේ “ඉස්කෝලෙට ඇවිත් ඉන්න අලුත් ගුරුවරි මට නම් වැඩිය හිත‍ට ඇල්ලුවෙ නැහැ”කියලා කතානායක දාස්ට,ඔහුගේ මව රෑ කෑම කන විට කියන කතාවකින්. ඉන් පසුව එම ආඛ්‍යානයේදී දාස් හා ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟෙනවා.දාස්ගේ මව මේ සම්බන්ධය පවත්වාගෙන යන්න එපැයි කියන්නේ නැහැ. සමහර විට ඔවුන් අතර සම්බන්ධයක් තියෙන විත්තිය ඇය දන්නේ නැතිව ඇති.ලෙඩවීම නිසා ඔහුට සිය පෙම්වතියට ලියන ලියුම ලියා ගන්න බැරි වෙනවා. ආහාර ගන්න පවා නොහැකි වෙනවා. අකුරු ලියන්න බැරි වෙනවා.විභාගය පාස් කරගන්න බැරි විත්තිය තේරෙනවා. එය මානසික කායික රෝගයක්. පවුල් සෙනෙහස හා අසෙනෙහස අතර තිබෙන උභයාර්ථ දෝලනය මෙහි තිබෙනවා. Continue reading සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය