Category Archives: දර්ශනවාදය

මිනිසාගේ දෙවැනි මරණය: ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මිනිසාගේ දෙවැනි මරණය
The Defeat of the Mind (මනසේ පරාජය)
The Defeat of the Mind (මනසේ පරාජය)

“මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත් බරපතළ අර්බුදයකට ගමන් කොට තිබේ. ඒ අතරම යුරෝපීය නොවන ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් වත්මනෙහි යළිත් අලුත් වී තිබීම පෙන්නුම් කරන්නේ දේශපාලනක්‍රමයක් වශයෙන් යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇතැයි තීන්දු ප්‍රකාශ කරන්නට අප ඉක්මන් නොවිය යුතු බව නොවේද? යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්ම කරා යළි යාමේ අභියෝගය මෙන්ම එය ගැඹුරු කිරීමත් අද ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුරවැසි ජනතාවන් මුහුණ දී ඇති බරපතළ අභියෝගය වන්නේය.”

Continue reading මිනිසාගේ දෙවැනි මරණය: ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

Advertisements

සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

හනා ආරන්ඩ්ට්
හනා ආරන්ඩ්ට්
සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම විට සොක‍්‍රටීස්ගේ ඉගැන්වීම්වල යම් මූලධර්මයන් සැකයට ලක් කිරීමට ද සොක‍්‍රටීස්ගේ මරණය, ප්ලේටෝ, යොමු කළ විටය. ඇතන්ස්හි පුරවැසියන් අතරින් වඩා හොඳ හා වඩා තරුණ අයට ඒ සා පැහැදිලි වූ, සොක‍්‍රටීස්ගේ නිර්දෝෂී බව හා ඔහුගේ සුදුසුකම් ඔහුගේ විනිසකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වීය, යන කරුණ ඒත්තු ගැන්වීමේ වලංගු භාවය ප්ලේටෝ විසින් සැකයට ලක් කිරීමට හේතු විය. ප්ලේටෝගේ මෙම සැකයේ වැදගත්කම වටහා ගැනීමට අපට දුෂ්කර වන්නේ පෙයිතෝ – එනම් පෙළඹවීමේ දේවතාවිය -වෙනුවෙන් ඇතැන්ස්හී දෙවොලක් පැවතීමේ දේශපාලන වැදගත්කම පෙනුන්ම් කරන පැරණි වචනය වන පෙයිතියන් සඳහා ඒත්තුගැන්වීම යන්න ඉතා දුර්වල හා ප‍්‍රමාණවත් නොවන පරිවර්තනයක් නිසාය. ඒත්තු ගැන්වීම, යනු සුවිශේෂ වශයෙන් දේශපාලන කතා ස්වරූපය විය. තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින්, තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලාත්කාරයෙන් තොරව මෙහෙය වීය, යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයෙන්, ඔවුහු ඒත්තු ගැන්වීමේ කලාව වන අලංකාර ශාස්ත‍්‍රය, උසස්තම හා සැබෑම දේශපාලනමය කලාව ලෙස සැලකූහ. ඇපොලොජියා (Apology ) හි සොක‍්‍රටීස්ගේ කතාව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ ම උදාහරණයන්ගෙන් එකක් වන අතර ප්ලේටෝ ෆීඩෝ (Phaedo ) හි ”සංශෝධිත සමාව අයැදීමක්” ලියනුයේ මෙම කරුණු දැක්වීමට විරුද්ධව ය. උත්ප‍්‍රාසයෙන් යුතුව ඔහු එය ”වඩාත් ඒත්තු ගන්වන” ( pithanoteron, 63B) යනුවෙන් හැඳින්වූයේ පේ‍්‍රක්ෂකයා හුදෙක් පෙළඹවීමට වඩා බිය ගැන්වීම අරමුණු කෙරුණු, ශාරීරික දඬුවම් හා ත්‍යාගයන්ගෙන් ද සම්පූර්ණ වූ, ඊළඟ ආත්මයක් පිළිබඳ මිත්‍යාවකින් එය අවසන් වන බැවිනි. Continue reading සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

“විසංයෝජනය එතරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් නොවේ” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – පළමු කොටස
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම ඔහුගේ සහායකයෙකු ද විය.“සත්‍යය සහ ක්‍රමය” (Truth and Method) වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියාපෑම අභියෝගයට ලක් කලේය. විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය විවේචනය කල ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික අත්දැකීම, සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් විසින් ඕනෑම යථාර්ත සංජානනයක් අසමත් කරන බවයි. ඔහුට අනුව කෘතියක අරුත අස්ථිර වන අතර කතුවරයාගේ අරමුණ සහ කියවන්නාගේ වැටහීම අතර පරස්පර ව්‍යවහාරය අනුව වෙනස් වේ. නමුත්, සත්‍යය පිළිබඳ අදහස ගැඩමර් ඉවත නොදැමූ අතර විද්‍යාත්මක ක්‍රමය සත්‍යය තහවුරු කිරීමේ එකම මාර්ගයය යන විශ්වාසයට අභියෝග කළේය. පල වන්නේ හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග Theory culture & Society (1988) සඟරාව වෙනුවෙන් රෝයි බෝයින් (Roy Boyne) විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනයයි.

රෝයි: දාර්ශනිකයෙක් කෙතරම් බැරෑරුම් විය යුතුද? න්‍යායික කාර්යයට හිමි දුක්මුසු කර්කෂබව චින්තනයේ එකම ශෛලීය වීමට අවශ්‍ය නැතැයි කියවෙන එක්තරා පෙන්වා දීමක් ද තිබෙනවා. කෙනෙක් ෂේක්ස්පියර්ගේ ප‍්‍රහසන මෙන්ම ඉතා විධිමත් දාර්ශනික සම්ප‍්‍රදායන් ඇතුළතදී නීට්ෂේ (Friedrich Nietzshe) ගේ Die Frohliche Wissenshaft (Gay Science) ද ගෙනහැර දැක්වීමට ඉඩ තිබෙනවා. ඉතා මෑත අවධිවලදී නම් ඇත්තේ විසංයෝජනවාදී (deconstructionist) ලිවීමේ ඇති හාස්‍යය ගෙනදෙන ගැරහීමය චින්තන ජීවිතය ගත කළ යුත්තේ තපසෙන්ද?

ගැඩමර් : මම නීට්ෂේ කෘතිය මහත්සේ අගය කරනවා. එය සමහර විට ඔහු ලියූ ඒවායින් හොඳම එකද විය හැකියි. නමුත් එහි මතුපිටින් පෙනෙන හාස්‍යය එහි ඇති සාරය යැයි කීමට නම් මගේ කැමැත්තක් නැහැ. නීට්ෂේ සීමාන්තිකවාදයේ ප‍්‍රාඥයෙක්. ඔහුගේ කෘතිය අකුරෙන් ලියූවද වහා පුපුරණ සුඵ යමක් වාගෙයි.

කෙසේ නමුත්, විසංයෝජනය සම්බන්ධයෙන් සළකා බලන කළ මෙය ඒ තරම් බැරෑරුම් ප‍්‍රයත්නයක් ලෙස මටනම් පෙනෙන්නේ නැහැ. නිදර්ශනයක් වශයෙන් ඩෙරීඩාගේ Eperons ගතහොත් එය සාහිත්‍යමය කී‍්‍රඩාවකට වැඩි යමක් නොවේ. අපගේ මානවීය ආගමික සහ සදාචාරාත්මක ලැදිකම් සහ වුවමනාවන් සම්බන්ධයෙන් එය කිසිසේත්ම පිහිටුවාලිය නොහැකියි. නීට්ෂේට තිබූ සාධාරණ හේතු සමානවන ඒවා විසංයෝජනවාදියාට නම් නැහැ. මන්ද නීට්ෂේ සටන් කළේ ගල් ගැහුන ව්‍යාජ ක්‍රිස්තියානි සමාජයකට එරෙහිවයි. නමුත් මෙම වර්තමාන නීට්ෂියානු ආකල්පයට තම දිශානතිය සොයාගත හැකි තැනක් තිබෙන බවක් මට පෙනෙන්නේ නැහැ. එය වුවමනාවටත් වඩා ස්වාර්ථයම සළකා පවතිනවා. ඉතිං එහි ප‍්‍රතිඵලය වන්නේ එක්තරා ආකාරයකින් තමාවම තෘප්තිමත් කරගැනීමක්.

රෝයි : වර්තමානයේ අප ජීවත් වන්නේ ගල් ගැහුණ ව්‍යාජ ක‍්‍රිස්තියානි සමාජයක නොව අස්ථි මෙන් අනම්‍ය බවට පත්වූ පශ්චාත් – ධනවාදී නිලතන්ත‍්‍ර සමාජයක යැයි කීමට ඉඩ නැද්ද? නූතනත්වය යකඩ කූඩුවක් (iron cage) ලෙසින් වටහාගත් මැක්ස් වේබර්ගේ ප‍්‍රවාදයේ හෝ විචාර බුද්ධියේ විනාශය (destruction of reason) පිළිබඳ ජෝර්ජ් ලූකාෂ් (Georg Lukacs) ගේ වරනැගීම් හී කිසියම් හෝ සත්‍යයක් තිබේ නම් ඩෙරීඩාගේ,ඩෙලියුසේ (Gilles Deleuze) ගේ සහ අනෙක් අයගේ සෙල්ලක්කාර න්‍යායකරණය ඉතා බැරෑරුම් කරුණක් ලෙස, ගල් ගැහුනු තැනට පත් අප ස්වරූපයට එරෙහිව නීට්ෂේ විසින් කුඵ ගැන්වූ ප‍්‍රහාරයක් ලෙස අපට අර්ථ දැක්විය නොහැකිද?

ගැඩමර් ඩෙරීඩා සමග
ගැඩමර් ඩෙරීඩා සමග
ගැඩමර් : සමහරවිට ඒක එහෙම වෙන්න පුඵවන් ඩෙරීඩාගේ මුල් කාලීන ප‍්‍රපංචවේදී කාර්යය කෙරේ මගේ සැළකිය යුතු ගෞරවයක් තියෙනවා. ඒ වාගේම හෛඩගර් මෙන්ම මෑතදී ඩෙරීඩා ද නීට්ෂේ වනාහී පාරභෞතිකවේදියෙකු යැයි දැක්වූ චරිතායනය ප‍්‍රශ්න කිරීම නිවැරදි බව මා පිළිගන්නවා. දාර්ශනික සංගතිය (philosphical coherence) පිළිබඳ ගැටඵව නීට්ෂේගේ සැළකිල්ලට ලක් නොවන තරම්. නීට්ෂේගේ කෘතිය විවෘත ක්ෂේත‍්‍රයක් බව ඇත්තක් නමුත් මෙම කෘතිය තුළ නීට්ෂේ දැන සිටියාටත් වඩා ගැඹුරු වූ ස්ථරයක් හෛඩගර් අනාවරණය කරගන්නවා. බලය වෙත කැමැත්ත සහ නිට්ෂේගේ චින්තනයේ අභ්‍යන්තර විපර්යාසයෙන් අතර පවතින ගැඹුරු සාම්‍යය පිළිබඳ හෛඩගර් විසින් කරන ලද අර්ථ විවරණය නිට්ෂේගේ ස්ථාවරයේ ඇති සීමාන්තික බව (extremism) ට හෙඵ සැබෑ අන්තර් දැක්මකින් යුක්තයි එසේ වුවත් සමකාලීන නීට්ෂියානුවාදය ඉබේම අනුමත කරන තැනට පත්වීමට මාහට හැකියාව දෙන අපේක්ෂාවෙන් සහ පූර්ව කොන්දේසි රැසක් මා සතුව නෑ.

රෝයි : මෙම සීමාන්තිකවාදය නම් මතිය ගැන තව පොඞ්ඩක් කීවොත්

ගැඩමර් : හෛඩැගර් ගැන යමක් කීම මෙහිදී අදාළයි මන්ද ඔහුත් සීමාන්තිකවාදියෙක් මා හට අතිශයින්ම වැදගත් වන දෙයක් වූයේ අතීතයේ සිට අපගේ උග‍්‍ර අවස්ථාවන් දක්වා වූ විකාශනය හෛඩගර් විසින් විශ්ලේෂණය කර දක්වනු ලැබීමයි. එනම් අපගේ තාක්ෂණික යුගය වනාහී ග‍්‍රීක ආරම්භයේ අවසාන ප‍්‍රතිඵලය වන්නේ කෙසේද යන්න පෙන්නුම් කරමින් හෛඩගර් අදහස් පිළිබඳව සමස්ථ අපරදිග ඉතිහාසයේ අභ්‍යන්තර ප‍්‍රතිඵලය වන අභ්‍යන්තර සංගතිය වැඩි දියුණු කර දැක්වීමයි මට අභාෂයක් බවට පත්වූයේ මෙම අභ්‍යන්තර සංගතියයි. ඇරිස්ටෝටලියානු ශෛලිය අතින් ගත් කළ සාධ්‍යතා (teleological) භෞතිකවේදී පද්ධතියක් සහ පාරභෞතිකවේදී පද්ධතියක් නූතන සමාජීය ප‍්‍රයෝජ්‍යතාවාදී සහ කාර්මික විප්ලවයකින් කෙළවර වීම වැන්නක් කෙසේ සිදුවිය හැකිව තිබුණේදැයි යන්න පිළිබඳ ළඟන්නා අන්තර් දැක්මක් මා හට දුන් පළමුවැන්නා හෛඩැගර්. මේ දක්වා මම බොහෝ දේ එයින් ඉගෙන ගෙන තිබෙනවා. අනෙක් අතට නීට්ෂේගේ අවසාන මිනිසා (last man) යන්න සමඟ සමාන්තරව පවතින යමක් වන පැවැත්ම සම්පූර්ණයෙන්ම අමතක වන සුලුවීම (complete forgetfulness) පිළිබඳ හෛඩගර්ගේ දැක්ම ගැන මට ඒ තරම් ස්ථිර වෙන්න බෑ. පර්යාලෝකයන් වශයෙන් මෙම අදහස් දෙක සතුව ඒවාට හිමි අදාළත්වය තිබෙනවා. නමුත් ඒවා තනි තනිව හෝ ඔවුන්ගේ චින්තනයේ අග‍්‍රස්ථාන ලෙස හෝ නොගත යුතුයි. මේ නිසා අප සුරැකිය හැක්කේ දෙවි කෙනෙක් විසින් පමණකැයි හෛඩැගර් කියන විට මම ඔහුව පිළිපදින්න යන්නෙ නෑ. පැවැත්ම සම්පූර්ණයෙන් අමතක වන සුළුවීම ඉෂ්ඨ කරගත හැකි යමක් නොවෙයි. මානව ජීවිතයෙන් මරණය කිසිදා මුලිනුපුටා දැමිය නොහැකිවාක් මෙන් කාර්මික තාක්‍ෂණික විප්ලවය මානව තත්ත්වය මුළුමනින්ම විපර්යාසයට ලක් නොකරනු ඇතැයි මට නම් නිසැකයි.

රෝයි : ඔබගේ කෘතිය වහා විනිවිද පෙනෙන සුළු යැයි කීම සත්‍ය නොවූවත්, ඔබගේ සත්‍යය සහ ක‍්‍රමය (Truth and Method) නම් කෘතිය සමඟ හෛඩගර්ගේ පැවැත්ම සහ කාලය (Being and Time) කෘතිය සැසඳූ විට පෙනෙන දෙය නම් ඔබගේ කෘතිය හෛඩැගර්ගේ කෘතියට වඩා පාරදෘශ්‍ය බවින් වැඩි බවයි. මේ ගැන ඔබගේ අදහස් පළ කරන්න පුළුවන්ද?

ගැඩමර් : මම හෛඩගර් සමඟ මාව සන්සන්දනය කරන්න යන්නේ නැහැ. කිසිම සැකයක් නෑ. ඔහු නිරපේක්‍ෂවම පළමු පෙළේ චින්තකයෙක්. නමුත් මා කිවයුතු යම් දෙයක් තිබේ නම් ඒ මෙයයි. ප‍්‍රකාශකයන්ගේ නියම අභිප‍්‍රාය නොව වචන වල රහස් කතා කිරීමට ඉඩ දීම අතින් හෛඩැගර් ඉන්ද්‍රජාලිකයෙක් වුණා. හෛඩගර් විසින් කරන ලද වචන පිළිබිඹු වූ අනාවරණයන්ගේ බලය නම් ඔහුගේ නිර්මාණශීලී ජීව ගුණය සහ පඨිතය (text) අතර සත්‍ය හමුවක් ඇති කිරිම නම් ප‍්‍රතිඵලය ඒවා සතුව තිබීමයි. මගේ ක‍්‍රියාමාර්ගය වඩා ද්වන්ධාත්මකයි (dialectical). මා හට නම්, පඨිතය හා සම්බන්ධ හමුවීමේ හරය පවතින්නේ විතර්කණයේ සහ මැදිහත්වීම් අඛණ්ඩ ගලායාම තුළමයි. හෛඩැගර්ගේ මෙම නිරන්තර කුපිත කරවන සුළු බල කිරීම එහි නැහැ. යුර්ගන් හබර්මාස් වරක් පැවසුවේ හෛඩැගර්ව නාගරීකරණය කළ පුද්ගලයා මම බවයි. ඉතින් බොහෝ සෙයින් සංවාදශීලී ස්වභාවයක් මගේ ලිවීම වසා පවතින බව සත්‍යයක්. මම අනෙක් අයට සවන්දීමට කැමතියි. ඒවගේම මා හට එරෙහිව ඔවුන්ගේ තර්කයේ ඇති ශක්තිමත් තැන සෙවීමට සහ පිලිගැනීමට හැමවිටම මගේ නැඹුරුවක් තියෙනවා. හෛඩගර් එවැනි කෙනෙක් නොවෙයි.

රෝයි : ඔබ විස්තර කරන හෛඩගර්ගේ දර්ශනයේ ඇති මෙම ප‍්‍රතිතෝලන (countervailing) නිර්මාණශීලී බලවේගයට ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කිරීමට කාර්යභාරයක් තිබුණාද?

ගැඩමර් : හෛඩගර්ගේ දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය සිද්ධිය බොහෝ දුරට තේරුම් ගත යුත්තේ ඔහු, සීමාන්තික අරුතකින්, ඒසා ශ්‍රේෂ්ඨ මිනිසෙක් යන කරුණට සම්බන්ධවයි. ඔහුට සංස්කෘතික පසුබිමක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු සෑම දෙයක්ම මුදුන් පමුණුවා ගත්තේ ඔහුම මහන්සි වී වැඩ කිරිමෙන් සහ ඔහු සතුවූ අතිවිශාල ඒකාග‍්‍රතා බලයෙන්. කිසිම දෙයක් සම්බන්ධයෙන් ඔහු කිසිවෙකුටත් ණයගැති නෑ. තමා නිර්මාණශීලී ලෙසින් පැවැත්ම යන්න යළි සොයාගත් අවස්ථාව සහ භූමිය යන කරුණ සම්බන්ධයෙන් හැරුණු විට ඔහු තම දාර්ශනික සම්ප‍්‍රදායටවත්, තම ගුරුවරුන්ටවත් ණය ගැති නෑ. නාසි ව්‍යපාරය සතු විප්ලවකාරී ජවය ශ්‍රේෂ්ඨ චින්තකයෙක් විසින් වංශවත් කළ හැකියැයි විශ්වාස කරන තැනට ඔහු පත්වූයේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන්නේ සමහර විට මෙම ස්වයං – සංවර්ධනයෙන්, ඔහුගේ මුළු ජීවිතය පුරාම වූ තමාගේ තැන තමාම පිහිටුවා ගන්නා ස්වරූපයෙන් (autocephalous character) වෙන්න පුළුවන්. කිසිම සැකයක් නෑ මේක මතිභ‍්‍රමයක්, භයානක මතිභ‍්‍රමයක්, ඒවාගේම වසරක් ගතවීමෙන් පසු ඔහු මෙය වටහාගත්තා. ඔහුගේ මතිභ‍්‍රමය, ඔහු ප‍්‍රසිද්ධියේ පාපොච්චාරණය නොකරන්න හේතුව මානවීය සීමාවන් පිළිබඳ ප‍්‍රශ්නයක් බවයි මගේ විශ්වාසය. ඔහුගේ වැරැද්ද ඔහු පිලිගත්තත් එය කීමට තරම් සංවේදී වුණේ නැහැ.

රෝයි : හෛඩැගර්ගේ ජීවිතයේ එම අතුරු කතාව, ඔබ විස්තර කළ ආකාරයෙන් කෙනෙක් තීරණය කරන්න ඉඩ තියෙනවා. චින්තනය සහ සැබෑව අතර සහ න්‍යාය සහ භාවිතය අතර පරතරය අවම කිරීමට ජාතික සමාජවාදය දර්ශනවාදය සඳහා අවස්ථාවක් දී ඇතැයි හෛඩගර් සිතූ බව. මෙම භේදය පිළිබඳ සංජානනය හා පරීක්ෂාව දාර්ශනික සම්ප‍්‍රදාය මත වූ බොහෝ ප‍්‍රහාරයන්ට සැබැවින්ම කේන්ද්‍රය වී තිබෙනවා. මින් වඩාත් බලවත් එකක් වන්නේ හේගල් පිළිබඳ මාක්ස්ගේ පරීක්ෂාව. ඔබගේම කාර්යයට ප‍්‍රායෝගික ආදාළත්වයක් තිබේ යැයි ඔබ සිතනවාද?

ගැඩමර් හෛඩගර් සමග
ගැඩමර් හෛඩගර් සමග
ගැඩමර් : මෙම ප‍්‍රශ්නයට මට්ටම් දෙකකින් උත්තර දෙන්න මට ඉඩ දෙන්න. සියල්ලටම පෙර, මගේ කාර්යයට ලැබුණු යම් යම් ප‍්‍රතිචාර වලින් මම වඩා තෘප්තියට පත් වූ අවස්ථා තියෙනවා. එවැනි ප‍්‍රතිචාර තුනක් සැනෙන් මගේ මතකයට නැගෙනවා. සංවාදකරණය (dialogizing) පිළිබඳ මගේ න්‍යායෙන් ආභාෂය ලැබූ මානවවංශවේදීන් කණ්ඩායමක් එවන ලද ලිපි සහ රචනා ගණනාවක් එක් දිනකදී කැලිපෝනියාවෙන් මට ලැබුණා. එකෙකුගේ පර්යාවලෝකනයෙන් සත්‍යය උදා නොවන්නේය යන ප‍්‍රවාදය ඔවුන් බැරෑරුම් ලෙස සළකා බලා තිබුණා. ඒ වගේම මානවවංශවේදී (ethnological) සම්ප‍්‍රදායේ ස්ථාපිත වාස්තවීකරණවාදයෙන් (objectivism) වැළකීමට ඔවුන් ඉගෙන ගනිමින් තිබුණා. ඔවුන්ගේ අදහසට අනුව මෙම නැවත දිශානතිගත වීම, නව අන්තර් දෘෂ්ටීන් සහ න්‍යායික සංවර්ධනයන් පිළිබඳ පොරොන්දුවක් ලබා දෙනවා. මෙහිදී අවධානමේ ඇති දෙය නම් ඇත්තෙන්ම මානවවංශවේදී සත්‍යය පිළිබඳ පද්ධතික ක‍්‍රමයේ ප‍්‍රගතියක්. දෙවන ප‍්‍රතිචාරය ලැබුණේ ඔක්ස්ෆර්ඞ් හි ගෘහ නිර්මාණ ශිල්ප ගුරුකුලයකින්. කලාව පිළිබඳ බොහෝ නූතන සිතීම් ලාක්ෂණික කර දැක්වෙන විසංදර්භීයවාදය (decontexualism) ගැන මගේ පරික්ෂාව ඔවුන් අනාවරණය කරගෙන තිබුණා. කලාව අතීතයේ සංගතිය හා සන්දර්භය තුළින් අර්ථ දැක්විය යුතුය යන පැරණි සත්‍යයෙන් මඟපෙන්වනු ලැබූ ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය භාවිතාව රඳා පවතින්නේ නූතනවාදී ගෘහ නිර්මාණශිල්පය ඉරණම්කාරී ලෙස සළකුණු කෙරුණ ඓතිහාසික හුදෙකළා පිළිවෙත (historical isolationism) ප‍්‍රතික්ෂේප කිරීමක් මත. අවසාන වශයෙන්, හයිල්ඞ්බර්ග් හි විද්‍යා ශාස්ත‍්‍රාලයට මම මගේ ඉදිරිපත් කිරීමක් කළ අවස්ථාව පිළිබඳ තෘප්තිමත් මතකයක් මට තියෙනවා. බලාපොරොත්තු වූ තරමටම මගේ මාතෘකාව වූයේ අර්ථකතනවේදය පිළිබඳවයි. ඒ වගේම නීතිවේදීන් ගණනාවකගේ පැත්තෙන් නීතිවේදී අර්ථකථනවේදය නව පණක් ලැබීමෙහිලා පවතින ප‍්‍රාරම්භක අපක්ෂපාතී බව පැහැදිළිව දකින්න හැකි වුණා. කෙසේ නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සිත් වෙනස් කර ගත්තා.

මෙම ප‍්‍රශ්නය දෙවන මට්ටමකදී ඇමතීම සඳහාහැරල්ඞ් ගාර්පින්කල් (Harold Garfinkel) ගේ දේශනයකට සවන්දීමෙන් අනතුරුව ඔහු හමුවීමට ලැබීම සිහිපත් කරන්න කැමතියි. මම ඔහුට පවසා සිටියේ ඔහු ඇරිස්ටෝටල්වාදියෙක් බව සමහරවිට ඔහු නොදන්නවා විය හැකි බවත් ඔහු කරමින් සිටින දෙය ඇරිස්ටෝටල් ප‍්‍රායෝගික දර්ශනය යැයි කියූ දෙය බවත්ය. එනම් සංයුක්ත තත්ත්වයන් තුළින් පොදු රීති අනාවරණය කරගැනීම ඔහු කලේ නැහැ. නමුත් ඊට වෙනස්ව සංයුක්ත අත්දැකීම් වලින් මතුවන පොදු රීති කෙරේ යොමු කිරීමයි ඔහු කළේ. මේ සඳහා වූ ඔහුගේ ප‍්‍රතිචාරයෙන් කියැවුණේ: “ඉතිං, මගේ කිසිම විරෝධයක් නෑ. මම ඇරිස්ටෝටල්ගේ මාර්ගයේ යනවා කියන ඔබගේ කියමනට.” මෙහි ඇති වැදගත් කරුණ නම් අර්ථකථනවේදය යනු ප‍්‍රායෝගික දර්ශනවාදය නව්‍යතාවයට පත් කිරීමය යන්න දැක්වීමයි. න්‍යාය පිළිබ ඳ, එනම් යථාර්ථය පැහැදිළි කිරීම සඳහා වූ උපකරණයක් ලෙස ගන්නා න්‍යාය පිළිබඳව ඇති නූතන සංකල්පය, භාවිතය පිළිබඳ සමස්ථ සංකල්පයම විකෘති කොට තිබෙනවා. නමුත් න්‍යාය කියන්නේ මානව සත්ත්වයන්ගේ ආකල්පයක්. මෙම ආකල්පය සඳහා ස්වයං-පාලනය සහ ශික්ෂණය විශාල වශයෙන් අවශ්‍යයයි. ඒවා විද්‍යාත්මක සංස්කෘතියක් තුළදී නීට්ෂේ අගය කළ සද්ගුණයන් (virtues). එවිට, න්‍යාය යනු මානව භාවිතයේ ආකාරයක්: භාවිතය යන්න න්‍යායක් ආදේශ කිරීමක් ලෙස දැකිය යුතු නැහැ.

රෝයි : න්‍යාය පිළිබඳ ඔබගේ සංකල්පනය කිසියම් වෙනමම තෝරාගත් යථාර්තයකට ආදේශ කරන උපකරණයකට වඩා ලෝකය තුළ ඉඳීමේ ආකාරයක් නම්, එක්සත් ජනපදයේ දැනට කෙරීගෙන යන ඔබගේ බොහොමයක් කාර්යය සමග එය සුළු වශයෙන් විරුද්ධාභාසීය නොවේ ද?

ගැඩමර් : 1945 සිට ජර්මනියේ අර්ථකතනවේදී දර්ශනයට එරෙහිව ඒක පාර්ශවීය ප්‍රතික්‍රියාවක් තිබිලා තියනවා. එය අඩු හෝ වැඩි වශයෙන් ජර්මන් සංස්කෘතියේ ව්‍යසනය මගින් කුපිත කරන ලද්දක්. එවැනි විනාශදායක විපාක වලින් යුතු යැයි පෙනෙන සංස්කෘතික ආකාරයන් සමග ගමන් කිරීමේ පසුබෑමක් තිබුණා. දැන් ඇමරිකානු සංස්කෘතියේ අධිපති ඌරුව විශ්ලේෂී ශෛලිය. විශ්ලේෂී කාර්යය ඉතා බැරෑරුම් බුද්ධිමය කාර්යක් වුවද, ඉන් අනෙක් චින්තන ප්‍රකාරයන් පිළිබඳ පිළිගැනීමක් නැහැ. එහි සංස්කෘතික භෝජනය කර්කශ එකක්. මම මාගේ අර්ථකතනවේදී ක්ෂිතිජය ඉදිරිපත් කල විට ඇමරිකානු ශාස්ත්‍රඥයෝ බොහෝ දෙනෙක් එය ඉතා ඵලදායි විය හැකි බව අවබෝද කර ගන්න තැනට පත්වුණා. මම මෙම නව කලාපයට අත ගැසුවේ පුරෝගාමීයෙකු ලෙස නොවේ – එවැනි උනන්දුවක් මට තිබුණේ නැහැ – ඒ පරිවර්තනය පිළිබඳ මා තුළ සුවිශාල විශ්වාසයක් නැති නිසා. පරිවර්තනය අදහස්වල පරමාදර්ශීය මැදිහත්වීමක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ. අනෙක් අතට විදේශීය භාෂාවක් කතා කරන්නෙකුගේ සීමිත ප්‍රවීණත්වයකින් යුතුව පවා ගැටලුකාරී බව අඩු මැද පිහිටි ගණුදෙනුවක් ගොඩ නගන්න පුළුවන්. පසුගිය අවුරුදු පනහ තිස්සේ වැඩෙන සුළු ලෙසින් මේ පිළිබඳ ප්‍රමාණවත් සාර්ථකත්වයක් මා භුක්ති විඳ ඇති බව මට හැඟෙනවා. මා හට එය ඉතාමත් උත්තේජනාත්මක වී ඇති අතර මම ඉන් බොහොමයක් ඉගෙනගෙන තියනවා.

කුමුදු ගේ තීරුව

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය

ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය.
– ලෙනින්

ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබු‍ණේ බූන්දි වෙබ් අ‍ඩවියේ ය.

“එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු ඇති එක්කෝ දේශපාලනමය නැතහොත් අධ්‍යාත්මික ස්වභාවයේ කිසිදු ප්‍රභූතන්ත්‍රයක්, කිසිදු පංතියක් ඉතිරි කොට නොමැත.”
– හනා ආරන්ඩ්ට්, ධනවාදී සමාජය පිළිබඳ, The Human Condition, 5 පිටුව

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

Continue reading කුමුදු ගේ තීරුව

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්

Globe and Mail, March 1, 2008

දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ

දාස් කැපිටාල් සිංහල පරිවර්තනය
දාස් කැපිටාල් සිංහල පරිවර්තනය

ෆ්‍රැන්සිස් වීන්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Download PDF

දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය.

[ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය.

අදාල විෂය පිළිබඳව කෘතියක් බිහිකළ අල්තුසර්ම පවා තම මතක සටහන් හි තමා “මාක්ස්ගේ ඡේද කිහිපයකට” වඩා කිසිවක් කියවා නොතිබුණු ප්‍රයෝගකාරයෙකු සහ රැවටිලිකාරයෙකු බව අවසානයේදී පාපොච්චාරණය කළේය.

එතෙකදු වුවත් පුළුල් අරුතින් ඔහු නිවැරදි විය: මාක්ස්ගේ ජීවිත කාලය තුළ, දාස් කැපිටාල් හි පරිසමාප්ත කළ එකම වෙළුම වූ එහි පළමු වෙළුම 1867 දී පළ කෙරුණ දා පටන්, අප වටා ඇති ලෝකය තුළ, සමකාලීන ඉතිහාසයේ නාටකයන් සහ ඝට්ටනයන් තුළ අප එය කියවා ඇත්තෙමු.

අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ නොදැනුවත්වම තමා වරනඟමින් තිබුණේ ගද්‍ය බව පුදුමයකට වගේ අනාවරණය කරගත් මොලියේර් ගේ බුර්ෂුවා මහත්මයා (gentilhomme) මෙන්, බොහෝ දෙනා මාක්ස්ගේ අදහස් අවශෝෂණය කරගෙන ඇත්තේ කවර කලෙකවත් පූර්ව දැනුවත්භාවයක් නොමැතිවය.

Continue reading ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….

“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50” විශේෂාංගය යටතේ එහි එන තෝරාගත් පොතක් පිළිබඳ පළමු ලිපිය වශයෙන් ප්ලේටෝ ගේ ජනරජය ගැන සයිමන් බ්ලැක්බර්න් ලියූ, හේමරත්න ලියනආරච්චි විසින් පරිවර්තනය කළ ලිපිය පසුගිය වතාවක ඉදිරිපත් කළෙමු.

අද අප පහත පළකරන්නේ, සාහිත්‍යධරයෙකු වන හේමරත්න ලියනආරච්චි ප්ලේටෝ පිළිබඳව ලියූ අදහස් කිහිපයකි. මේ අදහස් දෙකොටස, බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය නමින් ලියනආරච්චි මහතා, පළකිරීම සඳහා සංස්කරණය කරමින් සිටින, කෘතියෙන් දෙපළකින් උපුටා ගැණුනු ඒවාය.

ප්ලේටෝ

I

බුඬිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම

(ක්‍රි.පූ.427-347)

පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක් සදිසි සංකල්පයක් දායාද කරනු ලබන්නේ ප්ලේටෝ විසිනි. ඒ පළමුවන පරිච්ඡේදයේ දී ද සඳහන් කරන ලද – ජනරජය ‍කෘතියෙහි සඳහන් වන -“දර්ශනය හා කාව්‍යය අතර දීර්ඝ කාලීන අරගලය” යන සංකල්ප‍යයි. Continue reading

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – ජනරජය

සයිමන් බ්ලැක්බර්න් – Globe and Mail පෙබරවාරි 9, 2008
පරිවර්තනය : හේමරත්න ලියනආරච්චි

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ අප මෙතෙක් පළ කළේ ශ්‍රේෂ්ඨතම කෘතීන් තේරීම පිළිබඳ Globe and Mail පුවත්පතේ පාඨකයන් පළ කළ අදහස් ඇසුරින් සකස් කළ ලිපි කිහිපයකි. එම ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ පළමු ලිපිය ප්ලේටෝ ගේ ජනරජය පිළිබඳ අප පහත පළ කරන්නෙමු. මෙම පළමු ලිපියට ජනරජය තෝරා ගැණුනේ ‘ලොව ශ්‍රේෂ්ඨ පොත් 50’ පිළිබඳ එළඹුණු කිසිදු අනු පිළිවෙළකට අනුව නොව හුදු අහම්බයක් වශයෙනි. Globe and Mail පුවත් පතේ ජනරජය පිළිබඳ ලිපිය පළ වූයේ පස්වැනි ලිපිය වශයෙනි. එම ලිපි පළ කිරීම ද අනුපිළිවෙළකට කළ තේරීමක් නොවන බව Globe and Mail පුවත්පත ද අවධාරණය කර සිටියේය.

බටහිර දර්ශණය වූ කලී ප්ලේටෝට සපයන ලද අධෝලිපි ආවලියකැ යි ප්‍රසිද්ධ ලෙස හඳුන්වනු ලැබ ඇත.* ක්‍රි. පූ. 375 දී පමණ රචිත ප්ලේටෝගේ අත්‍යුත්කෘෂ්ට කෘතිය වන ජනරජය එදාට මෙන් අදට ද අදාළ වෙයි.

අවදානමට ලක් ව පවතින්නේ ‘අපට ජීවත් වීමට සිදු ව ඇත්තේ කෙසේ ද’ යන්න බව සිය ගුරු දෙවි සොක්‍රටීස්ගේ හඩින් ප්ලේටෝ අපට පවසයි. සැබැවින් ම ඔහු දෙ ආකාර ප්‍රතිවාදීන් අභිමුඛස්ථ වීමේ දී මෙම කරුණ ඉස්මතු වෙයි. එකෙක් ආචාරවන්ත වූ ද සම්ප්‍රදායානුකූල වූ ද බුහුටි ලෙස කාර්ය ඉටු කර ගන්නා වූ ද අය විසින් නියෝජනය කෙරෙයි. අනෙක් ප්‍රතිවාදියා වූ කලී ‘ශක්තිය යුක්තිය යි’ යන දහමයි ; ‘ප්‍රඥාව සමන්විත වන්නේ භක්ෂණය කරනු ලබන නොව භක්ෂණය කරන සුනඛයාගෙනි’ යන – නරුමවාදී, ඇනුම්පදකාර ත්‍රැසිමැකස් විසින් නියෝජනය කරනු ලබන – ප්‍රේක්ෂණයයි. Continue reading ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – ජනරජය