Category Archives: දේශපාලනය

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා

Globe and Mail, 2008 March 14

PDF මාදිලියෙන් කියවන්නGet PDF downloadpdf

මිනිසුන් අතර කුමාරයා‍
නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා

මයිකල් ඉග්නටියෙෆ්
පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

500jenkins11532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ පාපොච්ඡාරණය නොකරනු ඇත. එබඳු නපුරු දේ අපි කවරදාකවත් නොකරමු! නමුත් ඔහු නොනැසී පවතින්නේය, මන්ද යත් ඔහුගේ කෘති තවමත් සත්‍යයේ විෂ තුඩ අඩංගු කොටගත් බැවිනි. යුගයෙන් යුගයට මැකියවෙල්ලිගේ ශ්‍රේෂ්ඨ පණිවුඩය වී ඇත්තේ දේශපාලනඥයකු සදාචාරාත්මක යථාර්ථවාදියකු විය යුතු බවය. අප සැබැවින්ම ජීවත් වන ආකාරය අප ජීවත් විය යුතු ආකාරයෙන් කොතෙක් දුරට ඈත් වූ එකක් ද යත් සුචරිතයේ පරමාදර්ශයන්ට අනුකූලව ජීවත් වීමට උත්සාහ දරන්නන් විනාශ කරනු ලැබීම නියමිත බව මැකියවෙල්ලි කියා සිටින්නේ ය. දස්කම් පෑමට අපේක්ෂා කරන සෑම දේශපාලනඥයකුම ‘වැරදි කරන්නේ කෙසේද යන්න සහ අවශ්‍යතාවය අනුව එය යොදා ගන්නේ හෝ නොගන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු’වෙයි. Continue reading ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා

Advertisements

කාලීන

‍හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Get PDF file here

නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි.

මාලක දේවප්‍රිය

“අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න දෙයක් නොමැති තරමට. අන්තර්ජාලය ඒ බවට මනාව සාක්ෂි දරනවා. ඒ හින්දා මම කැමතියි හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය ගැන පමණක් කථා කරන්න.

pinter_portrait2‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය මා අතට පත්වන්නෙ එක්තරා අහම්බයකින්. ඒ කොළඹ සරසවියේ සිසුවකුව සිටි කාලයේ නාට්‍යයක් නිපැයීම සඳහා දිනක බ්‍රිතාන්‍යය කවුන්සිල පොත්ගුල පිරික්සීමේදී. කෘතියක් විධියට එය පිටු දහයකටත් අඩු හා චරිත ප්‍රමාණය හතරක් වීමත්, එක් පසුතලයක ගලා යන නාට්‍යයක් වීමත්, හේතුකොට ගෙන එය නිෂ්පාදනය සඳහා මම යොමු වුණා.

නාට්‍යය පරිවර්තනය කරමින් යන අතරවාරයේදියි ‘වන් ෆෝ ද රෝඩ්’ හි ගැඹුර මට අනාවරණය වන්න පටන් ගත්තෙ. බැලූ බැල්මට සරල ආකෘතියක් පෙන්නුම් කළත් මෙය ඉතා ප්‍රබල දේශපාලනික නාට්‍යයක් බව මම හඳුනාගත්තා. Continue reading කාලීන

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්

Globe and Mail, March 1, 2008

දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ

දාස් කැපිටාල් සිංහල පරිවර්තනය
දාස් කැපිටාල් සිංහල පරිවර්තනය

ෆ්‍රැන්සිස් වීන්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Download PDF

දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය.

[ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය.

අදාල විෂය පිළිබඳව කෘතියක් බිහිකළ අල්තුසර්ම පවා තම මතක සටහන් හි තමා “මාක්ස්ගේ ඡේද කිහිපයකට” වඩා කිසිවක් කියවා නොතිබුණු ප්‍රයෝගකාරයෙකු සහ රැවටිලිකාරයෙකු බව අවසානයේදී පාපොච්චාරණය කළේය.

එතෙකදු වුවත් පුළුල් අරුතින් ඔහු නිවැරදි විය: මාක්ස්ගේ ජීවිත කාලය තුළ, දාස් කැපිටාල් හි පරිසමාප්ත කළ එකම වෙළුම වූ එහි පළමු වෙළුම 1867 දී පළ කෙරුණ දා පටන්, අප වටා ඇති ලෝකය තුළ, සමකාලීන ඉතිහාසයේ නාටකයන් සහ ඝට්ටනයන් තුළ අප එය කියවා ඇත්තෙමු.

අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ නොදැනුවත්වම තමා වරනඟමින් තිබුණේ ගද්‍ය බව පුදුමයකට වගේ අනාවරණය කරගත් මොලියේර් ගේ බුර්ෂුවා මහත්මයා (gentilhomme) මෙන්, බොහෝ දෙනා මාක්ස්ගේ අදහස් අවශෝෂණය කරගෙන ඇත්තේ කවර කලෙකවත් පූර්ව දැනුවත්භාවයක් නොමැතිවය.

Continue reading ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්

තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

මීනා
දිදුලන ඇෆ්ඝන් තරුව
ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ
වීරවරියකගේ සත්‍ය කථාව

කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස්
පෙරවදන : ඇලිස් වෝකර්
පරිවර්තනය : ප්‍රභා මනුරත්න
2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/-

meena31.jpg

මීනා: චරිතාපදානය

මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා‍ ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි.

මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා හැකි, එක පැහැර සිත් ගන්නා සුළු, සරල, සුගම, සුවාවබෝධ වහරින් හා ‍ශෛලියකින් සැකැසී තිබීම අනුවර්තිකාවගේ ඉංග්‍රීසි – සිංහල දෙ-භාෂා ප්‍රාගුණ්‍යයට මෙන්ම ඇයගේ සාහිත්‍යමය ලේඛණ කුසලතාවටත් මනාව දෙස් දෙයි.

හුදු පදානුගත පරිවර්තනයක් නොකොට මෙබඳු දේශපාලන අරමුණකින් යුතු කෘතියකට ගැළපෙන පරිදි අනුවර්තනයේ මඟ ගැනීමෙන් මුල් ඉංග්‍රීසි කෘතියේ රසය එපරිද්දෙන්ම රැක ගැනීමට ප්‍රභා මනුරත්න සමත් වී ඇත. සිංහල අනුවර්තනය සැකසී ඇත්තේ ප්‍රමිතියකට අනුව රචනාවේ යෙදීමේ තෘප්තිය ලබා දෙන උක්ත – ආඛ්‍යාත ගැලපීමේ ව්‍යාකරණානුකූල ලිඛිත රචනා ශෛලිය අගය කිරීමට උගත් පැරණි පරම්පරාවේ පාඨකයන් පිනවන පරිද්දෙනි. මෙම ව්‍යාකරණ ප්‍රමිතිය මඟ හැරුණු ඇතැම් තැන්, කෘතියේ පසු මුද්‍රණයකදී නිවැරදි කර ගත හැකි සුළු දෝෂ ය.

කතුවරිය අප හමුවේ ජීවමාන කරන මීනා ඇෆ්ඝනු සමාජයේ ස්ත්‍රීන් අත්විඳි බරපතල සමාජ අසාධාරණයන්ට එරෙහිව ඔවුන්ගේ යහපැවැත්ම සඳහාත්, ස්ත්‍රීන්ගේ නිදහස සඳහාත්, පොදුවේ තම දේශයේ නිදහස උදෙසාත් කෙරුණු අරගලයක අරමුණ වෙනුවෙන් තම තරුණ ජීවිතය, අප්‍රතිහත ධෛර්යයකින් සහ අධිෂ්ඨාණයකින් කැප කළ, අපේ කාලයේ සැබෑ වීරවරියක් පිළිබඳ ආශ්වාදනීය ප්‍රතිරූපයකි. ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් ඇෆ්ඝන් කාන්තා විප්ලවීය සංවිධානය ඇරඹූ ඇය තමන් තෝරාගත් ඒ අරමුණු වෙනුවෙන්ම තිස් හැවිරිදි තරුණ වියේදීම තම ජීවිතය පිදුවා ය.

මීනා, අතිශයින් අසාමාන්‍ය ලාක්ෂණිකයන්ගෙන් හෙබි, විශද, අද්විතීය තැනැත්තියකි, සමාජීය විචාරිකාවකි, දේශපාලන ක්‍රියාකාරිණියකි. මෙම අසාමාන්‍ය ලෙස දීප්තිමත් සරසවි නීති ශිෂ්‍යාව, මැද පන්තික වෘත්තීයමය ජීවිතයක අනාගත සුව පහසුව සාමුහිකයේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කළාය. මුලින් නීතිඥවරියක වී ඇෆ්ඝනු ස්ත්‍රීන්ට සරණ වනු වස් නීති උපාධිය හැදෑරූ ඈ ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන තත්ත්වය වෙනස් වී රජයම නීතිය උල්ලංඝනය කරන තැනට පත් වූ විට දේශපාලනයෙහි ලා සෘජුවම මැදිහත් වන්නට තීරණය කළාය. දේශපාලනය නිසා ඇයට තම දේශයෙන් පිටුවහල් වන්නට සිදුවී ය, සැමියා අහිමි වීය, ඇගේ දරුවන් අනාථයන් බවට පත්වී ය.

මීනා තම ‍පෞද්ගලික ජීවිතයේ සතුට, සැපත, තම සැමියා සහ දරුවන් සමග ඇසුර, පොදු ජීවිතය වෙනුවෙන් කැප කරමින් තමා තෝරා ගත් අරමුණට සහමුලින්ම ‍සේවය කළාය. ඇය තම පුද්ගල ජීවිතයෙන් පිටස්තර අරමුණක් හා බැඳීමෙන් තම පුද්ගල ජීවිතයට, අරමුණක් අරුතක් සපයා ගත්තාය. ඇගේ දේශපාලන ජීවිතය ඇයට කීර්තිය ගෙන ආවද ආත්ම උන්නතිය හෝ ප්‍රශංසාව අපේක්ෂා නොකළ ඇය ගේ කීර්තිය වඩාත් පැතිරුනේ ඇයගේ මරණින් පසුය.

ඇය තම දේශයට ඇළුම් කළාය, අධිරාජ්‍යවාදයට එරෙහි වූවා ය, ඇෆ්ඝනිස්ථාන ජාතියක් වෙනුවෙන් කැප වී මහන්සියෙන් වැඩ කළා ය. ඇය ඇෆ්ඝනිස්ථානය තුළ සෝවියට් ශෛලියේ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට එරෙහි වූවා ය. ඇය යුද විරෝධියෙකු වුවද අහිංසාවාදිනියක නොවූවා ය, ඇඳුම් අතර තුවක්කු සඟවා ගෙන නිදහස වෙනුවෙන් සටන් කරන්නන්ට ඒවා ගෙන ගියාය, නමුත්, ත්‍රස්තවාදයට කිසිසේත් පක්ෂ නොවූවාය.

ඇෆ්ඝනු සමාජයේ නිර්ප්‍රභූන් වූ ස්ත්‍රීන්ට මුහුණුවරක් දුන් වීරවරිය මීනා යි. ඇෆ්ඝනු දේශයේ ගැහැණුන් ගේ නිදහස පතා අරගල කළ සිය ගණන් වූ නිර්ප්‍රභූ වීරවරියන්ගේ ප්‍රසිද්ධ මුහුණවර මීනා ය.

සාමුහික අරමුණක් වෙනුවෙන් දිවි පිදූ වීරවරියක් ලෙස මීනා ඇෆ්ඝනු සමාජයේ මතකයට එකතු වී එහි ඉතිහාසය ගොඩ නගන්නට දායක වීමෙන් එම ඉතිහාසයේ ම කොටසක් බවට පත් වූවාය. ඇයගේ මතකය ඇෆ්ඝනු ස්ත්‍රීන් ගේ හදවත් තුළත්, ඇය තම දිවිය ඒ වෙනුවෙන් පිදූ රාවා සංවිධානය මගින් ලොවෙහිත් ජීවත් වෙයි. මීනාගේ කථාව නිම වී එය ඉතිහාසයට එකතු වී ඇති හෙයින් ඇය හරියටම කවුරුන්දැ යි දැන් අපට කතා කළ හැකිය.

Continue reading තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

“9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”

ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ ආගම හෝ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් ඇය පළ කරන සියලු අදහස් එපරිද්දෙන්ම අප අනුමත කරන නිසා නොවේ. එමෙන්ම ඇයගේ ඇතැම් අදහස් එන ඡේදයක කොටසක් පමණක් අප උපුටා දක්වන්නේ, එහි එන අනෙක් අදහස් සවිස්තරව ගෙන හැර දැක්වීම මෙහි ලා අවකාශ නොමැති හෙයින් මිස ඒ අදහස් අපගේ පාඨකයන්ගෙන් සඟවන්නට නොවේ. සමස්ත ලිපිය ඉහත වෙබ් පිටුවෙන් ඔබට ඉංග්‍රීසියෙන් කියැවීමට හැකිය. එහි එන අනෙක් අදහස් පිළිබඳව වෙනත් අයට ‘කතිකා’ වෙබ් අඩවියට පවා ලිවිය හැකිය.

Continue reading “9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”

විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය


විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

gonpart22.jpg

අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.)

විමංසක පර්ෂදය (විප) මෙම පෝස්ටරයෙන් ප්‍රකට කරන්නේ ලොව පුරා, බොහෝ කොට නව-යවුවනියන්, තරුණියන් අතර ප්‍රචලිතව ඇති ඇඳුම් විලාසිතාවක් වන ඉණෙන් පහළට ඇඳුම් ඇඳීම (hipster) සරසවි සිසුවියන් අතර ද පැතිරී යාම පිළිබඳව තම සංවේදී භාවය යි. මෙම පෝස්ටරය ඒ කෙරෙහි මහජනයාගේ අවධානය යොමු කරවයි. මෙම පෝස්ටරය දැනට දැක ඇත්තේ කැළණිය සරසවි භූමියේ වුවත් එය සරසවි සිසුවියන් පමණක් ආමන්ත්‍රණය කොට නොව, එබඳු සඳහනකින් තොරව පළ කර තිබීමෙන් කියැවෙන කරුණක් වන්නේ මෙම විරෝධය පොදුවේ ලංකාවේ නව යවුවනියන්ට සහ තරුණියන්ට ද එල්ල විය හැකි බවයි, එහෙයින් මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡාවෙන් මතුවන අදහස් සරසවියට සීමාවිය යුතු නැති බවයි.

‘ගොං පාට්’

පළමු කොටම, මෙහි ලා අප ‘ගොං පාට්’ යන යෙදුම තේරුම් ගන්නේ කෙසේ ද? මෙම යෙදුම ව්‍යවහාරයේ පවතින අර්ථය ‘ගොනුන් සේ’ යන්නෙන් බිඳී ආ මෝඩ යන්න යැයි අප ගතහොත් ‘ගොං’ යන්නෙන් ඇඟවෙන අනිත් අර්ථය නම් කට වහරේ එන ‘ගණිකා’ යන්නට සමාන පදයක් ලෙස ඇතැමුන් යොදන ‘ගොණා’ යන්නෙන් බිඳී ආවකි. විවාදයට ලක්ව ඇති විලාසිතාව ‘බටහිර ගණිකාවන්’ ගේ එකක් යැයි කීමෙන් ‘ගොං’ යන්නට යෙදෙන ‘ගණිකා’ යන අරුත මෙහිදී තහවුරු වෙයි. අනෙක් අතට ‘ගොංපාට්’ යන්න සරසවි සිසුන් අතර ‘මෝඩ හැසිරීම’ යන්නට ද යොදා ගැනෙන බව සැලකූ විට ‘ගොංපාට්’ දැන් ඇති යැයි කීම එක්වරම සුහදශීලී බවක් පෙන්නුම් කරන අතරේම මෙම ශිෂ්‍යාවන් ගණිකාවන් හා සමාන කිරීමෙන් ඔවුන් සමාජයේ අවමානයට ලක්කිරීමක් ද අරමුණු කරන්නේ යැයි ඇතැමුන් වරදවා සිතන්නට ඉඩ තිබේ‍. විලාසිතා ලැදි සරසවි ශිෂ්‍යාවන්, නව-යුවතියන්, තරුණියන් සමාජයට බරපතල හානි කරන්නවුන් මෙන් ගෙනහැර දැක්වීම විප අරමුණ යැයි ද අප මොහොතකටවත් සිතිය යුතු නැත. අරමුණ සුහදශීලී ආමන්ත්‍රණයක් නම්, සහ ‘බටහිර රටවල ගණිකාවන්ගේ විලාසිතා අන්ධානුකරණය’ යන්නෙන් විප තම දේශපාලන දෘෂ්ටිය පළ කළේ නම් ඉන්පසු පෝස්ටරයේ ආමන්ත්‍රණය ‘තොප’ යනුවෙන් වෙනස් වන විට එය වත්මනෙහි සරසවි සිසුන් අතර ව්‍යවහාරයේ පවතින ‘තෝ’ යන යෙදුමෙහි අරුත් හා පටලවා ගෙන, විප සැඩ පරුෂ බවක් ආරූඪ කර ගන්නේ දැයි ඇතැමෙකු මවිතවීමට ඉඩ තිබේ. විමංසනයත් එබඳු සැඩ-පරුෂ ස්වභාවයකුත් එක්ව නොයන හෙයිනි. විමංසනය ලොව පිළිබඳ ඇති තතු හෙළි කළ කල්හි ඒ පිළිබඳව උරණ වීමට හෝ කෝප වීමට හේතුවක් බෞද්ධ චින්තනය අනුව තිබිය නොහැකි යැයි ඔවුන් කියනු ඇත. ‘තොප’ යන යෙදුම වත්මනෙහි සරසවි සිසුන් අතරමත් සුලබ යෙදුමක් නොවේ. එය පෙර දවස, වැඩිමනත්ම ප්‍රභූන් අන්‍යයන් ඇමතූ පදය කි (‘තොප දැකුමෙන් අප පින්කළ බව දැණිනි’). ඉතින් ‘තොප’ යෙදුම මෙකළට ගැළපෙන්නේ මන්දැ යි විප ගේ විමසුමට හසුවූවා විය යුතුය. එය එක්තරා ආකාරයක ගරු ඇමතූමක්ද වන්නේ ය යන්න ඔවුන් මෙහිදී සැළකිල්ලට ගත්තා විය යුතුය. Continue reading විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍


උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

– ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය


“අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.”

– සිසෙරෝ

අපගේ සාහිත්‍ය - කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (බලන්න, පහත ) යන ප්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප්‍රතිචාරයක් දක්වා ඇත. අමරකීර්තිගේ මෙම ලිපිය (මෙතැන කියවන්න:“සිළුමිණ” ) අප මතුකළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අප දකිමු.

story.gif පා(ග්)ලියා

අප ඉහත සඳහන් ප්‍රශ්නය මතු කළේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ සාහිත්‍ය-කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා එරට සාහිත්‍යය විචාර ක්ෂේත්‍රයේ තතු විමසමින් කළ ප්‍රකාශයක් ඇසුරෙනි. අපගේ මෙම ප්‍රතිචාරයෙහි ලා, මුලින්ම කළයුතු වන්නේ පා(ග්)ලියා ගේ අදහස් ඉදිරිපත් කිරීමේදී අපගේ අරමුණ කුමක්වීද යන්න පැහැදිළි කිරීම ය.

අපට අවශ්‍ය වූයේ, මෙබඳු විවාදාපන්න මාතෘකාවක එක් පාර්ශවයක් නියෝජනය කිරීමට නොව ඒ පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගන්නට මැදිහත්වීමයි. එවිට පාඨකයාට තමන්ගේම විනිශ්චයකට එළඹීමට හැකි වනු ඇත. මෙම ප්‍රතිචාරයෙහි ලා අපේ අරමුණ වන්නේ, තර්ක, විතර්ක හරඹයකට එළඹීම නොව, මාතෘකාව සංවර්ධනයට දායක වීමයි, එසේ කිරීමට ඉඩ ඇති තාක් දුරට සංවාදයට හවුල් වීමයි. Continue reading උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්


“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම”

– විමසුමක් සඳහා සටහනක්

“පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබද හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත් වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. ඒ නිසා විප්ලවය සහ මහා වැඩවර්ජන පිළිබද සංකල්පත් සමගවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙලූ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස යොදා ගැනීමක්. බාග විට යම් නිදහසට කරුණක් තියෙන්න පුළුවන්. හේගල්ගේ ද්වන්ධාත්මකය පිළිබඳ මගේ හයවැනි අධ්‍යයනයේ පෙන්වා දීමට උත්සාහ කළ පරිදි හේගල් ඒ වනවිටත් සිටියේ තරමක් වැඩියෙන් ඩෙකාට්වාදයේ බලපෑම යටතේ. සැබැවින්ම හේගල්ගේ ප්‍රතිභානය (genius) ඇත්තේ ඔහුගේ ද්වන්ධාත්මක ක්‍රමය තුළ නොව කාල්පනික ද්වන්ධාත්මක පියවර පිළිබඳ වූ ඔහුගේ සහජ ඥානය (intuition) තුළයි. සැළකිල්ලට ගැනෙන්නේ පද්ධතිය නොව ආතතීන් සහ ප්‍රතිරෝධයන් සඳහා ඇති ඔහුගේ හැඟීමයි. අනන්‍යතාව හා වෙනස, තමා සහ අනෙකා අතර ඇති පරාවර්තිත සබඳතාවයේ පාර්ශවයන් ලෙස සැළකීම හේගල් සදහා ඇති ප්‍රධාන කරුණක්. ප්ලේටෝ ආරම්භයේදී දකින්නේත් හේගල් අවසානයේදී දකින්නේත් මෙයයි.” (ගැඩමර් සමග කළ සම්මුඛ සාකඡචාවකින් - පරිවර්තනය දිමුතු.)

අනූවේ දශකයේ ලාංකීය තරුණ දේශපාලනයහි ලා හවුල් වූවන් ගේ ස්වයං අවබෝධය වූයේ එය සමාජය වෙනස් කරන රැඩිකල් ව්‍යාපෘතියක් බවයි. එම මතවාදය එහි අනුගාමිකයන් වූ තරුණ ජන සමූහයේ මනස සකස් කොට තම ජීවිත අර්ථ විවරණය කරන්නට චිත්තරූප සකස් කොටද දුන්නේ ය. එය වැළඳ ගත් අය මෙම මතවාදය සෙවනේ තමන්වම අර්ථ විවරණය කොට අවබෝධ කර ගත්තෝය. රැඩිකල් දේශපාලන ව්‍යාපෘතියේ දේශපාලනය ශිෂ්ඨත්වය පිළිබඳවයි. ඒ අනුව අපේ සමාජය අශිෂ්ඨ හෙයින් අපේ දේශපාලනය සමාජය ශිෂ්ඨ කිරීම සදහා යි.

තමන් ද හවුල්ව සිටි රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය පසුකලෙක විවේචන‍ය කළ ඇතැම් තරණයන් ගේ අදහසක් වූයේ නූතනත්වය අපට ලිබරල් පුද්ගලවාදය ලබාදීමේදී, එය කියා සිටින දේට ප්‍රතිපක්ෂව යමින්, අපව ශිෂ්ඨ නොකරන බව යි. දේශපාලනයේ දී අනුගමනය කළයුතු හොඳම මග රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය ය, යන අදහස අත් නොහරින අතරම එය, මුළුමනින්ම ශිෂ්ඨ මිනිසකු නිර්මාණය කිරීමේ යුතෝපියානු සංකල්පය සදහා යොදා නොගත යුතු බව ත් මෙම විවේචන‍යන් කියැවුණා. Continue reading “සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්

“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව

‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන් 2005 ජූනි 05 දින වික්ටර් අයිවන් විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපිය සහ මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 12 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ‍‍ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපිය හා සංවාදයකට හවුල් වනු වස් ලියන ලද ‍මෙම ලිපිය පළ කිරීම සඳහා රාවය පුවත් පතේ අදාල පිටු‍‍‍වේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය මහතාට ඉදිරිපත් කරන ලදී. ලිපිය ‍‍‍‍පෙරලා බැලූ ඒ මහතා පළමුව “‍මේ මදි” කියා ‍‍දෙවනුව ‍‍‍‍ෙල්ඛකයා‍‍ ‍ ‍පිළිබඳ ‍වතගොත විමසී‍මෙන් පසු ලිපිය “දිග වැඩි” යැයි කියා එය පළ කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. එම ලිපිය මුල් ආකාර‍යෙන් ම පහත පළ ‍වෙයි. Continue reading “මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව