Category Archives: නලින් ස්වාරිස්

ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි (Je suis – I am) කියූ සැනින්ම තමාගේ ආනුභවික පැවැත්මට බාහිරව තම උත්පත්තියටත් පෙර මරණයටත් පසු සදාකාලික පැවැත්මක් ඇතැයි යන අභිමානය ජනිත වන බවත් එය ජීවිතය නිරන්තරයෙන් වෙනස් වන්නක් ජරාවට පත්වෙමින් මරණය කරා ගලා යන පැවැත්මක් ලෙස හිතුවක්කාර අන්දමින් ප්‍රතික්ෂේප කරන්නක් ද වන බවය.”

Continue reading ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

ආචාර්ය නලින් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස්

“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.”

‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201)

“සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන් වූ විවිධ අභිලාෂයන් මත යුදබිමක්ව පවතින තෙක් දේශපාලනය, පක්‍ෂ දේශපාලනය සහ පෞද්ගලික හා සාමාජික තලයන්හි මහා බල අරගලයක්ම ලෙස පවතිනු ඇත. අවශ්‍ය වනුයේ වච්ලව් හාවෙල් (Vaclav Havel)”ප‍්‍රති-දේශපාලනය” ( Anti- Political Politics) නමින් හැඳින් වූ දෙයයි. එනම්, දේශපාලනය ප‍්‍රයෝජනාත්මක හෝ කළ හැකි දේ පිලිබඳ කලාවක් සේ (Art of the possible) සැලකීම නොව මනුෂ්‍ය හෘද සාක්ෂීයේ සහ හදවතේ දේශපාලනයක් වීමයි. මෙය පංච ශීලයෙන් දැක්වෙන මූලික සදාචාරය, කි‍්‍රයාවෙන් ගෞරවනීය කිරීමෙන් පටන්ගෙන, ආර්යෂ්ටාංගික මාර්ගයේ අරමුණ කරා පොදුවේ ගමන් කිරිමයි. ආර්ය මාර්ගයේ හදවතේම ඇත්තේ සම්මා ජීවය යි – යහපත් වෘත්තීයකින් දිවි රැකගැනිමයි. මෙය ඇත්ත වශයෙන්ම දේශපාලනය තම වෘත්තිය සහ ජීවන ක‍්‍රමය බවට පත්කරගත් අයට පළමුවෙන්ම අදාල විය යුතුය.
මනුෂ්‍යන් කොතරම් දුකට පත්කරමින් වුවද බලය හා ධනය ලබාගැනීමට ඇති රාගය, තමාගේ පෞද්ගලික හා සාමූහික උන්නතියට බාදා පමුණුවන ඕනෑම දෙයක් කෙරෙහි දෝෂය දක්වන, තමන් වහල් භාවයේ ම තබා ම්ලේච්ඡ බවට පත්කරන දෑ වෙතම ඇලී සිටීමට පොළඹවන මෝහය, යන තුන් ආකාර වූ තණ්හාවට එකම ප‍්‍රතිකාරය අනුකම්පිත විප්ලවයක් පමණක්ම වන බව බුදුන් වහන්සේ පැවසූහ. මාර්ගය ඇත. අවශ්‍ය වන්නේ ‘බෞද්ධ’ යයි හඳුන්වාගන්නා රටවල පවා – එම මඟ ගැනීමට පෞද්ගලිකව මෙන්ම දේශපාලනිකව ද උවමනා අධිෂ්ඨානය පමණයි.”

Continue reading අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.

ආචාර්ය නලින් ස්වාරිස් – අනුස්මරණය

උපත 1938.11.06
විපත 2011.04.17

Nalin_Swaris_file_SLG_XX
නලින් අප අතරින් වෙන්ව ගියේ හදිසියේ ම ය. ඒ අපවත්, ඔහුවත් බලාපොරොත්තු නොවූ ලෙස ය. ජීවත්ව සිටිය දී මෙන්ම තම මරණයේදීත් නලින් තම සමීපතමයන්ගේ බලවත් අවධානය තමා වෙත ඉල්ලා සිටියේ ය. නලින්ගේ ඇසුර ලැබූ පවුලේ ඥාතීන් සහ මිතුරන්ගේ ජීවිතවලට සහ අපගේ පොදු ලෝකයට නලින්ගේ ජීවිතයෙන් ජනිත වූ ආලෝකය තුළ ඔහු අපට ඉතිරිකොට ගිය දෑ බොහෝ ය.

මිනිසෙකුගේ, විශේෂයෙන්ම නලින් වැනි සංකීර්ණ මිනිසෙකුගේ ජීවිතයක එක් අනන්‍යතාවයකට හසුකර ගත නොහැකි තැන් සහ මාණ කොතරම් තිබේදැයි අපට සිතා බැලිය හැකිය.

නලින්ගේ ජීවිතය හා බැඳුනු අන් බොහෝ අය වෙති. ඔවුනට නලින් ගැන කියන්නට ඔවුන්ගේම කථා තිබේ. මගේ මෙම ඉදිරිපත් කිරීම මගේ පර්යාලෝකයෙන් මා දුටු නලින්ගේ ජීවිතයේ මට වැදගත් යැයි හැඟෙන පැතිකඩ කිහිපයක් හසුකරගන්නට උත්සාහ ගන්නා නිසල ඡායාරූප කිහිපයක් වැනි යැයි සිතමි.

නලින් පෞද්ගලිකව දැන සිටි, අප සියලු දෙනාමත්මෙලොවින් පියමං කළ පසුත්, මෙලොව පැවැතීමේ විභවයක් ඇති නලින්ගේ බුද්ධිමය දායකත්වය පිළිබඳ යමක් පළමුව කෙටියෙන් සඳහන් කරන්නට කැමැත්තෙමි. Continue reading නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.

නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2015.04.17 වන දිනට අවුරුදු 4 ක් සම්පූර්ණ වේ. ශ්‍රී ලාංකීය බුද්ධිමය දේශපාලන විෂයට ඔහු විසින් කරන ලද දායකත්වය බටහිර මෙන්ම පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යයේ සිට නූතන, පශ්චාත් නූතන ආදී වශයෙන් වූ අනේකාකාර ඥාන මූලයන්ගෙන් පොෂිත වේ.භාෂා අටක පමණ නිපුණයෙකු වූ ඔහු ලියූ ලේඛන නොමඳ සාරගර්භ බවකින් යුක්ත වූ අතර අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණිකත්වයක් සහ මූල සවභාවයක් විදහා පෑවේය. මේ කවර හෝ මැදිහත්වීමක් ඔහුගේ දැක්ම හෝ දේශපාලනය නිර්දය ලෙස හා නොවලහා පල කිරීම ඔහු තවත් ලිබරල් ලේඛකයෙක්ගෙන් සහමුලින්ම වෙසෙසි කොට දැක්වීය. Continue reading නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – ආචාර්ය නලීන් ස්වාරිස්

ආචාර්ය නලින් ස්වාරිස් අපගෙන් සමුගෙන තෙවසරක් සම්පූර්ණ වේ.

නලින් සුවාරිස්
නලින් සුවාරිස්

ඩෙරීඩා කියන්නේ ලෝකෙ තියන හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ “සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ” නිසා කියලා (binary opposition). දෙකක් ස්වාධීනව පවතින දේවල් හැටියට (substances-නික්ත) මවා පෙන්වන (conrstruct) මේ දෙක ඇති වුනේ වෙනස difference, සංඥානනය-සන්න-කිරීමෙන් යන භාව යටපත් කිරීමෙන්-මකා දැමීමෙන්. ඔතන තමයි රහස. පාරභෞතිකය දන්නේ ඉන්ද්‍රියයන් බෙදීමෙන්, ශාරීරික ඉන්ද්‍රියයන්/මනස, මනස ස්වාධීන කරනවා. මේ බෙදීමේ මුළ -“trace” එක – සොයා ගත හැකියි.

පාරභෞතිකය ලෝකය නීචකරගන්නේ අනිච්චාවෙ භෞතිකය “සීමා” කිරීමෙන්-(තිරය). නමුත් මුළු පාරභෞතිකය-“සංකල්පීය” පිළිවෙලක් ගොඩනගා ඇත්තේ “සංකල්පීය නොවනා” ලෝකය මතයි. ශාරීරිකය වෙන් කරපු ඉන්ද්‍රීන් කයෙන් මනස ලෝකය අත් දකින්නේ. ඉන්පසු මේ සම්භවය මකලා, පාරභෞතිකය, අනත්ත, අසීමිත, සදාකාලික නිත්‍ය දෙකක් කරනවා. මේකයි පාරභෞතිකයෙ මායාව.

(2) ඩෙරීඩා විසංයෝජනය කරනා-සදාකාලික වෙනස ඇති කිරීමේ රහස හෙළිදරව් කරනවා (disclosure). නමුත් ඉන්පසු අළුත් ක්‍රමයක් හදන්නෙ නැහැ. ෆූකෝ කියන්නේ මට අනන්‍යතාවයක් දීල මාව ලේබල් කරන්න එපා, පොලීසිය අපේ හැඳුනුම්පත් (අනන්‍යතා සහතික) පරීක්ෂා කරනවා මදිද?
(3) ඩෙරීඩා බුද්ධ ධර්මය හරියට නොදන්නා නිසා ඉන්දියාවෙ හැම දර්ශනයක්ම ලෝගෝ කේන්ද්‍රීය කියලා හිතුවා. (බුද්ධාගම මම හිතන්නේ ලෝගෝ කේන්ද්‍රීය වෙලා ඇත්තේ පිරිමි ආධිපත්‍ය නිසා).

(4) ඩෙරීඩාට පෙනෙන්නේ වෙනස අන්තලීලවයි (infinite play of difference). ඒවා අනාවරණය කරනවා. ඔහුගෙ විවේචනය එතනින් නිමයි.

(5) ඩෙරීඩා පාරභෞතික ධර්මයන් ප්‍රතික්ෂේප කරනවා. මහුගෙ එක කෘතියක නම GLAS. Glass කියන්නේ මරණයක් දන්වන්නට කතෝලික පල්ලිවල ගහනා මළ සීනුව. “මම පාරභෞතිකයේ මරණයේ ඝන්ඨාව ශබ්ද කරමි”. වෙනස්කම් ස්වභාවධාර්මික වෙනස්කම් (ideology of difference) හැටියට මාරුවීමේ මිත්‍යාව හෙළිදරව් කරනවා. මේ දෘස්ටිවාදයෙන් ලෝකයේ ඇති යුද්ධ, ගැටළු, ඔහු විවේචනය කරන්නේ වක්‍රව, භාෂා විග්‍රහයෙන්-සාහිත්‍ය විග්‍රහයෙන්. නමුත් බුදුන් මෙන්, ඔහු වෙනස අන්‍යෝන්‍යතා කරගැනීමෙහි මානසික හේතුව කුමක්ද යන්න අවශ්‍ය ප්‍රමාණයට හදාරන්නේ නැහැ.

(6) බුදුන් පටන් ගන්නේ භාෂාවෙන්වත්, සාහිත්‍යයෙන්වත් නොවෙයි. අත්දැකීමෙන්. ඊට හේතුව මේකයි. ප්ලේටෝ සිට මාක්ස් සහ ඩෙරීඩා දක්වා බටහිර දර්ශනවාදියො තර්ක විද්‍යාව මගින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ. මේවා බුදුන් හැඳින්වූවේ “තර්කපරියත්ත” – කර්ක කිරීමෙන් හදාගත්තු සත්‍යතාවයන් හැටියට. බුදුන් තේරුම් කර දෙන්නේ ප්‍රායෝගික පර්යේෂණයෙන් දැන ගත්ත සත්‍යතාවයන් පමණයි. අවුරුදු හයක් විමසීම, පර්යේෂණ සහ අත්හදා බැලීම් වලට පස්සෙ දැනගත් දේවල්. ඔහුගෙ ඔළුවෙන් පමණක් නෙවෙයි මුළු දේහය තුළින්ම අත්දැකපු දේවල් ඔහුගෙ ධර්මය ඔළුවෙන් ගාතයට හෝ ආකාසයෙන් පෘථිවියට ගොඩ බැසුණු ධර්මයක් නොවෙයි.

මුළු ලිපිය සඳහා බලන්න සවිචාර

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා නිපුණයෙකු වූ ඔහු බටහිර මෙන්ම පෙරදිග දර්ශනයන් පිළිබඳ විශාරදත්වයක් පල කලේය.

කලක් මාක්ස්වාදියෙකු වූ ඔහු විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්විය. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ට ද උපදේශකයෙකු වීය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද සමාජ, දේශපාලන හා සංස්කෘතික කරුණු අරභයා ඔහු විචාරශීලී මැදිහත්වීමක් කල අතර පශ්චාත් ව්‍යුහවාදී අදහස් සිංහලෙන් හඳුන්වාදීමේදී පුරෝගාමී විය.පසුගිය කාලයේ විශ්ව විද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතද බොහෝ කණ්ඩායම් ඔහු සහ ඔහුගේ දැනුම හඹා පැමිණි අතර “එක්ස්” කණ්ඩායම ඔහු ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා යැයි වරක් තම සඟරාවක දැක්වීය.

එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය
එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය

අප පහත යළි පළ කරන්නේ 2003 මැයි 28 වෙනි දින දිනමිණ පුවත්පතේ පලවූ නලින් ස්වාරිස් සමග ශෂී ප්‍රභාත් රණසිංහ කල සම්මුඛ සාකච්ඡාවකි.

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

ශෂී ප්‍රභාත් රණසිංහ (මම) :

වර්තමාන සමාජ සාහිත්‍ය සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන “පශ්චාත් නූතනවාදය” කසායක අනුපාන ගානට අද පත් වී තිබෙනවා. ඒත් ලංකාවේ ඇතැම් බුද්ධිමතුන් කියන්නේ ලංකාවේ උපන් පශ්චාත් නූතනවාදී යෝධ පැටියා තිඹිරිගෙයිම මිය ගිය බවයි. ශ්‍රී ලංකාවට පශ්චාත් නූතනවාදය හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔබ මේ පිළිබඳ දරන අදහස පැහැදිලි කලොත්?

නලින්:

අප පශ්චාත් නූතනවාදය හැදෑරිය යුත්තේ එය අවිචාරවත් ලෙස අනුකරණය කිරීම සඳහා හෝ එය හුදු විලාසිතාවක් බවට පත් කර ගැනීම සඳහා හෝ නොවෙයි. පශ්චාත් නූතනවාදය හා සම්බන්ධ ඇතැම් අංග ලක්ෂණ හා විශ්වාස අපගේ සංස්කෘතියට හා චින්තන රටාවන්ට කොයිතරම් දුරට ගැළැපේ ද යන්න මුළින්ම අප සිතා බැලිය යුතුයි. ඇතැම් ඒවා අපේ සංස්කෘතිය හා චින්තන රටා තුලනාත්මක පදනමක පිහිටා අවලෝකනය කිරීමට අනුබලයක් වීමටත් පුළුවන්. කවුරු කොහොම කිව්වත් මේ විචාරවාදය විචාර පූර්වකව විමසීම අපගේ යුතුකමක්. එක්දහස් නමසිය අසූ ගණන්වලත් අනූගණන් වලත් පශ්චාත් නූතනවාද ලොව පුරා බුද්ධිමතුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගියා. නමුත් අද එහි ප්‍රභාව කෙමෙන් අඩු වෙමින් පවතිනවා‍. වෙනත් විචාරවාද වගේම පශ්චාත් නූතනවාදයත් තව දශක දෙකකින් පමණ මැකී යාමටත් ඉඩ තියෙනවා. ඒත් අප අවට ඇති ලෝකයත්, සත්තාවත් අවබෝධ කරගැනීමට දරන ලද පරිශ්‍රමයක් ලෙස එය විමර්ෂණයට ලක් කිරී‍මෙන් අපගේ විචාර බුද්ධිය පුළුල් කර ගත හැකියි.

Modern යන වචනය Modo යන ලතින් වචනයෙන් එන්නකි. එහි තේරුම Just Now “මේ දැන්” නැතිනම් “තත්කාලීන” යන්නයි. ඒ අනුව තත්කාලීන යන අර්ථයට “නවීන” හා “ප්‍රගතිශීලී” යන අර්ථයන් ලැබුනේ බටහිර ව්‍යවහාරය තුළින්.

“නවීන” හා “ප්‍රගතිශීලී” යන යන අදහස් ඇති වන්නේ 18 වන ශතවර්ෂයේදී ඇතිවන ප්‍රබුද්ධත්වයේ යුගයත් (Enlightenment) සමඟය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ යුරෝපය, කතෝලික ප්‍රොතෙස්තන්ත්‍ර ආදී වශයෙන් ආගමිකව බෙදී බයිබලයේ “නියම අර්ථයත්” දෙවියන්ගේ “නියම අයිතිකරුවන්” උදෙසා දරුණු ලෙස සටන් වැදුනා. මේ ලේ වැගිරීම් මැද එකල සිටි බුද්ධිමතුන්ට ක්‍රිස්තියානි නිධානය හා උරුමයන් මෙන් එහි වටිනා සාරධර්ම රැක ගත හැක්කේ කෙසේද යන ගැටලුව මතු වුනා. මෙහිදී අන්ධානුකරණයෙන් ආගමික වත්පිළිවෙත් වලට පදනම් වූ විශ්වීය සදාචාරික මගක් ගැනීම ඊට ඔවුන්ගේ පිළිතුර වුනා. මේ විශ්වීය සදාචාරය ඓතිහාසිකව විකාශණය වූයේ බටහිර ශිෂ්ටත්වය පෙරටුකොට ගෙනයි. බටහිර ශිෂ්ටත්වය නොකඩවා ඉතිහාසය තුළ යුගයෙන් යුගය පරිණාමය වෙමින් පැමිණ බටහිර හා බටහිර නොවන සමාජ අතර එක්තරා බෙදීමක් ඇති කලා. මෙහිදී බටහිර “නවීනය”, “ප්‍රගතිශීලීය” යන්නත්, බටහිර නොවන සමාජ “සම්ප්‍රදායික” හා “ගතිකත්වයෙන්” තොර ඒවා ලෙසටත් වර්ග කෙරුණා.

එහෙයින් සෙ‍සු ලෝකය ශිෂ්ට කර ඔවුනට නව ජිවනයක් සළසා දීමේ ව්‍යාපෘතිය බටහිර භාර ගත්තා පමණක් නොව යුරෝපයේ යටත් විජිත ව්‍යාපාරය සාධාරණීකරණයට ද අවස්ථාවක් එමඟින් සැලසුනා.

මේ ලෙසින් “නවීන” හා “ප්‍රගතිශීලී” ගමනක් යාමට විසිවෙනි ශතවර්ෂයට පය තැබුවේ එය ශිෂ්ටත්වයේ හිනිපෙත්තටම යන රන් යුගයක ආරම්භයක් යන බලාපොරොත්තුව ද විශ්වාසය ද කැටුවයි. නමුත් “රන් යුගයට” පය තැබූ සැනින් පළවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වී මිලියන ගණන් ජනයා මරා දැමුනා. ඉන් දශක දෙකක් ඉකුත් වීමට මත්තෙන් දෙවන මහා ලෝක සංග්‍රාමය එළැඹිණි. එහිදී ද මිලියන ගණනක් ජනයා මරා දැමූ අතර මිලියන 8 ක ජනතාවක් (යුදෙව්වන් හා වෙනත් ජාතීන්) නට්සින් විසින් “දැනුවත් සැලසුමකට”අනුව සමූල ඝාතනය කළේ ශිෂ්ට යුරෝපයේ හදවත බඳු වූ ජර්මනියේදී. හැඟීම් විරහිතව විචාරශීලී ආකෘතියකින් මෙසේ ක්‍රියා කිරීමෙන් විචාරශීලී බටහිර පුරුෂයාගේ ශිෂ්ටත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය සහමුලින්ම කඩා වැටුණා. ශිෂ්ටත්වය මැනීමේ මිම්ම ලෙස “බටහිර ශිෂ්ටත්වය” එනම් තමාව පූර්වාදර්ශයට ගත යුතු යයි පුරසාරම් දෙඩූ අභිමානය දෙදරා වැටුණි. ප්‍රගතිශීලී නවින ගමන වෙනුවට මානව වර්ගය ඉතා ම්ලේච්ඡ ප්‍රාථමික අවගමනයකට පසු බැස්සවූ නූතනත්වයේ ව්‍යාපෘතිය මුළුමනින්ම අර්බුදයට පත් වුනා. මේ බටහිර ශිෂ්ටත්වය තුළ තිබූ අර්බුදය පශ්චාත් නූතනවාදී තත්ත්වයයි. කෙටියෙන් කියතොිත් නිදහස් විචාරශීලී බටහිර (සුදු) පුරුෂයාගේ ශිෂ්ටත්වය කරා යන (නවීන ප්‍රගතිශීලී) ඓතිහාසික ව්‍යාපෘතිය කඩා වැටීම “පශ්චාත් නූතනවාදී” තත්ත්වයයි.

එදා හිටපු බුද්ධිමතුන් අන්ධ විශ්වාසවල පිහිටාගෙන සාරධර්ම ස්ථාපිත කරන්න උත්සාහ කළා. නමුත් විචාර බුද්ධියෙන් මෙය සාර්ථකව ඉටු කලේ බුදුන්වහන්සේ විතරයි. මේ නිසා අපගේ අරමුණ විය යුත්තේ පශ්චාත් නූතනවාදය විචාරාත්මක විශ්ලේෂණයකට ලක් කිරීම විනා එය අන්ධ භක්තියකින් යුතුව පිළි ගැනීම නොවෙයි. පශ්චාත් නූතනවාදය යන වචනයට වඩා මෙය පශ්චාත් නූතන තත්ත්වය යනුවෙන් අර්ථකථනය කිරීමට මා කැමතියි‍. Continue reading පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා
දිමුතු සමන් වෙත්තසිංහ

නලින් සුවාරිස්
නලින් සුවාරිස්
ආචාර්ය නලීන් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2013.04.17 වෙනි අද දිනට දෙවසරකි.

මා ප්‍රථම වරට නලින් ස්වාරිස් හමුවී කතා කිරීමට අවස්ථාවක් ලැබුවේ කතෘ ප්‍රකාශයක් වශයෙන් පල කර තිබූ “මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග” (Buddha’s Way to Human Liberation) නම් ඔහුගේ මාහැඟි කෘතියේ පිටපතක් ලබා ගැනීමට 2001 වර්ෂයේ එක්තරා දිනයක දෙහිවල පිහිටි ඔහු ජීවත් වූ නිවසට ගිය විටය. ඒ කෙටි හමුව තුළ ඩේකාට්ගේ සිට සමකාලීන බෞද්ධ සංස්ථාව දක්වා ආකර්ෂණීය මෙන්ම නිර්දය විචාරයක් අප හමුවේ ගෙන හැර දැක්වීමට ඔහු ශූර විය. දීඝ නිකායේ වෙළුමක් අප හමුවේ තබා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍යය තිරශ්චීන විද්‍යාවක් ලෙස හඳුන්වා ඇති ආකාරය පෙන්වමින් සමකාලීන විපරීත ආගම පිළිබඳ සිතන්නට පෙළඹුවේය. කාටීසියානු ද්වෛතය යනුවෙන් වර්තමානයේ හඳුන්වන දෙය ඩෙරීඩා ට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේගෙන් විසංයෝජනය වූ ආකාරය ඔහු සිහිපත් කලේ බටහිර ප්‍රබුද්ධත්වය පිළිබඳ සැක උපදවමිනි. පාරිභෝජන සමාජයක බුදු දහම මුහුණ පා ඇති අනතුර පිළිබඳ සවිඥානික වූ ඔහු උගත් වියත් භික්ෂුන් සමග රූපවාහිනී ධර්ම දේශනා නිසා පංසල හා බෞද්ධයන් අතර සම්බන්ධය බිඳ වැටීමේ ආදීනව සාකච්ඡා කර ඉන් වැළකෙන්නැයි ඉල්ලීය. වරක් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් හමූවූ විටෙක භික්ෂුන් සහ ගිහියන් සඳහා දෙයාකාරයක ආසන පැනවීම දුටු ඔහු ඒ කුමන සමානාත්මතාවයක් දැයි බෞද්ධ සංස්ථාවේ චාරිත්‍ර විධි සහ භාවිතයන් ගැන පසු කලෙක අපගෙන් ප්‍රශ්න කලේ ඔහුගේ චින්තාව මත වැටී තිබුණ හේතුවාදී (rationalist) සෙවනැල්ලක බලපෑම නිසාද යන්න ගැටළු සහගතය.

සැබැවින්ම, බුදුන් දෙසූ මග (බටහිර අධිපතිභාවයට පත්ව ඇති ) පුද්ගලික මෝක්ෂය සෙවීමේ භාවනා හෝ යෝගී ක්‍රම වලට ලඝු කිරීමට එරෙහිව සමාජ ඓතිහාසික සංදර්භයක පිහිට වූ ඔහුගේ කෘතිය අධිපති බ්‍රාහ්මණවාදයට එරෙහිව සමාජ විමුක්ති මාර්ගයක් ලෙස බුදුන්ගේ අනත්තාවාදයත්, ක්‍රිස්තියානි පාරභෞතිකවේදයට එරෙහිව ඩෙරීඩාගේ විසංයෝජන රීතියත් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් ගෙන ආවේය. නූතනත්වයේ හේතුවාදී ප්‍රබුද්ධතා ව්‍යාපෘතිය (Enlightenment) දාර්ශනිකව බිඳ හෙලු පශ්චාත් ව්‍යුහවාදී විචාර ධාරාවේ හිණිපෙත්තට නැඟි ඩෙරීඩාට පවා මාක්ස් ගැන අගතියක් තිබු සේ ආචාර්ය නලින් ද ක්‍රිස්තියානි පාරභෞතිකවේදය පිළිබඳ විචාරයට තරම් ප්‍රබුද්ධතා ව්‍යපෘතිය ගැන විචාරයට සංවේදී නොවීම අගතියක් යැයි කිවොත් ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි ස්මරණයක දී ඔහුගේ කාර්යයට සාධාරණය ඉටු කරනු සඳහාමය. මේ ඔහුගේ “බුද්ධාගම, මානව හිමිකම් හා සමාජ නවීකරණය” නම් කෘතියේ උදෘතයකි.

“ප්‍රබුද්ධත්වය යුරෝපීය සමාජය මත පමණක් නොව සියළු සමාජ මත නිත්‍ය බලපෑමක් ඇති කල ලෝක දෘෂ්ටියක් බිහි කලේය. විශ්වයේ භූ කේන්ද්‍රීය දෘෂ්ටිය ඉවත දමා මානව වර්ගයාට එහි සත්‍ය සූර්යයා වටා එවිට අවසාන වශයෙන් භ්‍රමණය වන්නට හැකි විය. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යනු ප්‍රබුද්ධත්වයෙන් ඇරඹුණු ක්‍රියාවලියක් මස්තක ප්‍රාප්ත වීමකි. යුරෝපීයෝ එම යුගයේ වහල් වෙළඳාමේ සහ යුරෝපීය නොවන ජනයා යටත්කරගැනීමේ නියැලී සිටියත් ප්‍රබුද්ධත්වය ක්‍රිස්තියානි රාජ්‍යන්ගේ ම්ලේච්ජ භාවිතයන් සමග අනිවාර්යෙන් ගැටෙන අදහස් බිහි කළේය” (Buddhism,Human Rights and Social Renewal).

මුලින් කියැවෙන, මානව සංහතිය විද්‍යාවේ හා තර්ක බුද්ධියේ ග්‍රහණයට ගැනීමට සහ වහල් වෙළඳාමේ සිට අධිරාජ්‍යවාදය දක්වා මග පෑදූ යුරෝපීය ප්‍රබුද්ධත්වය ගැන ප්‍රංශ විප්ලවයේ අගනාකම් වලින් සන්නද්ධව සිටි ආචාර්ය නලින් ට විවේචනයක් නැතැයි කිසිවෙක් නොකියනු ඇත. එහෙත් එය අභිබවා පසුව කියැවෙන ක්‍රිස්තියානි ම්ලේච්ජත්වයට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ප්‍රගතිශීලී කාර්යභාරයක් පිළිබඳ විග්‍රහයකට ප්‍රමුඛත්වය ලැබීම ඔහුගේ චරිතය ගොඩනංවන ලද ක්‍රිස්තියානි සම්ප්‍රදාය සමග වූ අරගලය නිසා ඇති වූවක්ද? ඩාවින්චි කෝඩ් චිත්‍රපටිය පිළිබඳ සාකච්ඡාවකදී “නිර්මල පිළිසිඳ ගැනීම” පිළිබඳ කතෝලික සංකල්පය නිර්දය ප්‍රහාරයකට ලක් කළ විට එහි සිටි මගේ කිතුණු ඥාතියෙක් වික්ෂිප්ත විය. එසේත් නැතහොත්, එය හබර්මාස්ගේ “අසම්පුර්ණ හෝ නොනිමි නූතනත්වයක් (incomplete modernity) පිලිබඳ අදහසින් ලැබූ ආභාෂයකින් ඇතිවන්නක් ද? විචාර බුද්ධියේ හෝ විද්‍යාවේ විමුක්තිදායක (emancipatory) කාර්යභාරයක් තව දුරටත් ශේෂ වී ඇතැයි ප්‍රබුද්ධත්වය ගැන හබර්මාස් බළාපොරොත්තුවක් ගෙන ආවේය. විමුක්තිය (emancipation) පිළිබඳ අදහස අන් සියල්ලට වඩා නලින් පිළිබඳ ඉහත සාකච්ඡා කරන ලද දෙඅර්ථයටම යුක්තිය ඉටු කරණු ඇත. ඩෙරීඩා මිය ගිය මොහොතේ ඔහු ලියු දෙය මෙහිලා අදාලය.

“මාක්ස් කියූ පරිදි ලෝකයේ අරුත පැහැදිළි කිරීමට බොහෝ පඬිවරු උත්සාහ කරති. නමුත්, වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීමය. ඩෙරීඩාගේ චින්තනයේ සමාජය වෙනස් කිරීමට ක්‍රමවේදයක් (praxis) නොමැති වීම එහි කැපී පෙනෙන හිඟයකි.

නමුත් බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටුදායක බව හෙළිදරව් කර,එහි ඇලී ගැලී සිටීමෙන් හට ගන්නා පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි” (විභවි බුලටීනයෙන්)

සැබැවින්ම ඔහුගේ කාර්යය සද්භවවේදී (ontological) සහ ඥාන මීමංසාත්මක (epistemological) යමකට වඩා විමුක්තිදායක යමක් ලෙස දැකිය හැකිද?

ඔහු හැදී වැඩුණු කිතුනු සම්ප්‍රදාය පිළිබඳ දෘඩ විවේචකයෙක් වූ සේම විමුක්ති දහමක් වූ මාක්ස්වාදය කිසි කලෙක අත් නොහැරියේය. ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, මනෝ විශ්ලේණය කලාව ගැන ඔහු සතුවූ පුළුල් දැනුම ලාංකීය සමාජය සමග බෙදා ගැනීමේදී මූල්‍ය හෝ ආර්ථික වටිනාකම් මත ලංසු නොතැබූ බව සාක්ෂි දැරීමට බොහෝ අය ඉදිරිපත්වනු ඇත. පොදු කටයුතු පිළිබඳ ලෝකය පිළිබඳ පුරවැසි අපගේ අවධානය නිරන්තරයෙන් අවදියෙන් තැබීමට තරම් ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන් කරන ලද මැදිහත් වීම ඒත්තු ගන්වන සුළුය. කොකා කෝලා සමාගමට එරෙහිව “දි අයිලන්ඩ්” පුවත්පතින් වරක් තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේ බුද්ධිමතෙකුටත් වඩා සැබෑ පුරවැසියෙකුගේ කාර්ය සිහි ගන්වමිනි. එල්.ටී.ටී ඊ ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ විට “ආදරණීය දේශය මොර ගා හඬාපන්” යන මාතෘකාවෙන් “දි අයිලන්ඩ්” පුවත්පතට ලියූ හැඟීම්බර ලිපිය අරඹන්නේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කළ බව ඇසීමෙන් කම්පිතව වෝල්ට් විට්මාන් ලියු පද්‍යයක් සිහිපත් කරමිනි. ප්‍රධාන ධාරාවේ ලා නොගැනුණු “ලංකා” පුවත්පත වැන්නකට කිසිම බුද්ධිමය ගර්වයකින් තොරව තම අදහස් දැනුම ලබා දුන්නේ “තරුණයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා ඉංග්‍රීසියෙන් ලියන දේවල් අපිට සිංහලෙන් කියන්න බැරිද කියලා? මට ඒකෙ වැරැද්දක් පෙනුනේ නැහැ” යැයි පවසමිනි. සම්භාව්‍ය භාෂා කිහිපයක නිපුණ වූ ඔහු බොහෝ නූතන සංකල්ප වල මුල් අරුත් ග්‍රීක, ලතින් සහ ඉංග්‍රීසි භාෂා සම්ප්‍රදායන්ගෙන් ගෙනහැර පැවේ අප විමතියට පත් කරවමිනි. රතු රෝස මලේ සංඥාර්ථවේදය ගැන ලියු ලිපිය එවැන්නකි. සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික දෑ අරඹයා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ඔහු කළ රැඩිකල් මැදිහත් වීමෙන් සුවිශාල සාහිත්‍යයක් ගොඩ නැගී ඇති බව නිසැකය. කතිකා අධ්‍යයන කවය වෙනුවෙන් අපගේ පරිවර්තන වල ග්‍රීක ලතින් භාෂා පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීමට ඔහු හමුවූ අවස්ථාවක දී ප්‍රංශ භාෂා යෙදුම් පිළිබඳ ගැටළු ද නිරාකරණය කර දුන්නේය. විශ්ව විද්‍යාලයේ හෝ අන් තැනක වේවා ඔහු තම දැනුම අන් අය සමග බෙදා ගැනීමේදී කාලය පිළිබඳ තක්සේරුවකින් තොරව කැපවීම දුර්ලභ ගුණාංගයක් විය.

සරත් ෆොන්සේකා පිළිබඳ සිද්ධියේදී දයාන් ජයතිලක හා ඇති කරගත් විවාදය කියවූවෙක් ඔහු ජාතිවාදියෙකු යැයි පැවසූ කතාවක් කොහේදී හෝ ඇසුණු බවක් මතකයේ ඇත. විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂය සමග සමීපව සිට උතුරු නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලද ඔහු පසු කාලයේ ඉන්දීය හමුදාව සහ එම පළාත් සභා දේශපාලනය විසින් අහිංසක ජනයා මත මුදාහල පීඩනය ගැන විවේචකයකු වන විට ඔහු එල්.ටී.ටී. ඊ. කාරයෙකු යැයි කිසිවෙක් කිවහොත් එතරම් බොළඳ ප්‍රකාශයක් ලෙස එය සැළකිය යුතුය. ත්‍රස්තවාදය පිළිබඳ ඔහුගේ විවේචනය වුයේ සිංහල බෞද්ධ රාජ්‍යය දෙමල ජනයාට පීඩා කරන අයහපත් එකක් නම් ඔවුන්ගේ විමුක්තිකාමීන් ඊට වඩා යහපත් විය යුතු බවයි. කවර ආකාරයක වත් ප්‍රචන්ඩත්වයක් නොඉවසූ ඔහු මනුෂ්‍යත්වයේ ඇබිත්තක්වත් ඇත්තෙක් යුද්ධයකට පක්ෂ නොවනු ඇත යනුවෙන් “දි අයිලන්ඩ්” පුවත්පතට ලීවේය.

ඔහුගේ සමාජ කාර්යයට යුක්තිය ඉටු කරනු ඇත්තේ ජාතිවාදය වැනි යෙදුමක් නොව “දේශප්‍රේමියා යනු තම පුරයේ යුතුකම වෙනුවෙන් සහභාගි වන්නා” යන රෝම කවි සිසරෝගේ හෝ පුරවැසියා යනු “පුරයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නා” යන ඇරිස්ටෝටල්ගේ අර්ථ දැක්වීම්ය. සැබවින්ම ඔහු මියයන තෙක්ම තම රාජ්‍යයේ හෝ පුරයේ යහපත වෙනුවෙන් බුද්ධියෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන්ද නිරතුරුව මැදිහත් වූ ඇරිස්ටෝටලියානු අරුතේ පුරවැසියෙක් හෝ සිසරෝගේ අරුතේ දේශප්‍රේමියෙකි. එවැන්නෙකු ෆොන්සේකා පිළිබඳ සිද්ධියේදී තම පක්ෂපාතකම ප්‍රකාශ කලේ දේශය වෙනුවෙනි. රාජ්‍ය කරවන්නන් රාජ්‍යය අනතුරේ දමන යුගයක, බොදු බල සේනාවේ “ලුම්පන් බුද්ධාගම” බෞද්ධ සමාජ ජීවිතය මිලිටරීකරණය කරන යුගයක නලින් ස්වාරිස් ජීවතුන් අතර සිටියා නම් කවර මගක් ගනු ඇත් ද?