Category Archives: නවකතාව

සාහිත්‍යය

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද?

තම එදිනෙදා ජීවිතයෙහි හැම අංගයකටම අපූරු හැඩ දමා විචිත්‍ර වර්ණ කවා සෞන්දර්යයෙන් වටවුණු පරිසරයක විසීමට පුරුදු වී සිටි ජපන් ජාතිකයන්ට මෙම ඛේදනීය මොහොතේ තම දුක නිවාගන්නට උදව් වනු ඇත්තේ කුමක් ද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ”මළගිය ඇත්තෝ” පිළබඳ අප පහත නැවත පළ කරන විචාරය ජපන් ජනයාගේ දිවිපෙවෙත පිළිබඳ අවලෝකනයට මුල පුරන්නට ඔබට කෙරෙන ඇරයුමකි.

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස
ධර්මසිරි ඒකනායක

නොරිකො සමග ඇතිකරගත් සම්බන්ධය සතුටුදායක ලෙස අවසන්විය නොහැකි බව වටහා ගන්නා දෙවෙන්දොරා එයින් ගැළවීමට තෝකියෝ නුවර අතහැර කියෝතෝ නගරයට ගොස් එහි පදිංචිවෙයි. නමුත් එයින් සිදුවන්නේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි. නොරිකො කෙරෙහි තිබූ ප්‍රේමය අඩු වෙනවා වෙනුවට ඇගෙන් වෙන්වී සිටීම නිසා එය තව තවත් උග්‍ර බවට පත්වෙයි.

”කල්යාමේදී මගේ සිතේ තැවුල නිවීයාවි යයි මම සිතුවෙමි. එහෙත් සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. දවසින් දවස මගේ සිතෙහි වූ සාංකාව වැඩිවීය. පෙරටත් වඩා මම නොරිකෝගේ සමාගම පැතුවෙමි. ඇය අමතක කර දැමිය නොහැකි බව එන්ට එන්ටම පෙනෙන්ට විය. කොයිවෙලාවකවත් මගේ සිතෙහි සන්සුන් බවක් නොවීය.”
(72 පි.) “

කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග කායික සම්බන්ධතාවයක් ඇතිකර ගෙන නොරිකො කෙරෙහි ඇති ප්‍රේමය යටපත් කිරීමට තැත් කරයි. නමුත් ඒ තැත සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙයි. ස්ත්‍රියක් සමග හුදු කායික සම්බන්ධතාවයකින් ඔහුට කිසිම තෘප්තියක් ලැබිය නොහැක. ඔහු ගේ චිත්ත ස්වභාවය පහත දැක්වෙන විස්තරයෙන් හෙළිවෙයි.

”එහෙත් ඈ මැවූ මායා දැල ටික ටික ඉරී ගියේය. මම ඊට ඇඟිල්ලෙන් ඇන ඕනෑකමින් සිදුරු කළෙමි. ඈ බලන්ට යෑමෙන් කවර සෙතක්දැ’යි මම සිතන්නට වීමි. වඩ වඩා සිහිවූයේ නොරිකොය. මම නිතැතින් මමෙවාකා නොරිකො සමග සසඳා බැලීමි. මමෙවාකාගේ පිටත්තරය මොළොක්ය. එහෙත් අභ්‍යන්තරයෙහි ඈ දැඩිය. නොරිකො හාත්පසින් වෙනස්ය. පිටත්තරයෙහි ඇගේ නොනැමෙන ගතියක් ඇත. එහෙත් ඇගේ අභ්‍යන්තරය මෘදුය.” Continue reading සාහිත්‍යය

Advertisements

සාහිත්‍යය

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද?

තම එදිනෙදා ජීවිතයෙහි හැම අංගයකටම අපූරු හැඩ දමා විචිත්‍ර වර්ණ කවා සෞන්දර්යයෙන් වටවුණු පරිසරයක විසීමට පුරුදු වී සිටි ජපන් ජාතිකයන්ට මෙම ඛේදනීය මොහොතේ තම දුක නිවාගන්නට උදව් වනු ඇත්තේ කුමක් ද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ”මළගිය ඇත්තෝ” පිළබඳ අප පහත නැවත පළ කරන විචාරය ජපන් ජනයාගේ දිවිපෙවෙත පිළිබඳ අවලෝකනයට මුල පුරන්නට ඔබට කෙරෙන ඇරයුමකි.

මළගිය ඇත්තෝ
ධර්මසිරි ඒකනායක

හැඳින්වීම

නවකථා, කෙටිකථා සහ පද්‍ය විවේචනය අගය කිරීමට අනුගමනය කළ යුත්තේ කවර නිර්නායකයක් ද, එය කෙසේ විය යුතු ද යන ප‍්‍රශ්න අපේ සමාජය තුළ නිරතුරුවම සාකච්ඡාවට භාජනය වෙයි. සාහිත්‍ය නිර්මාණවල තත්ත්වය පිරිහීමකට පත්වී ඇති බවට ද නිතර නිතර ම අදහස් ඉදිරිපත් වෙයි. දැනට අවුරුදු පහකට පමණ පෙර දී එනම් නවකථා සහ කෙටිකථාකරණය වර්ධනය වෙමින් පැවති කාලයේ දී ඒවා පිළිබඳ අගය කිරීම සහ විවේචනය කිරීම සිදු වූ ආකාරය පිළිබඳව අදටත් හොඳ සැලසුමක් තිබේ. සබැවින් මෙම ලිපිය හොඳ ආදර්ශයක් ලෙසට ඉදිරිපත් කරන්නේ අපේ ඉදිරි ගමන් මගට එය මග පෑමක් වන බැවිනි.
– සංස්කාරක

“All Art is re-presentation – the giving back in conscious form of the shapeless raw material of experience.”
– Edith Wharton

පසුගිය අවුරුදු දෙක ඇතුළත දී (1962) නවකථා කරණයෙහි විශේෂ හුරුකමක් ඇති සිංහල ලේඛකයන් කීපදෙනෙක් වැදගත් නවකථා පහක් රචනා කර තිබේ. ගුණදාස අමරසේකර ගේ ”යලි උපන්නෙමි” ”දෙපා නොලද්දෝ” ආචාර්ය සරත්චන්ද්‍ර ගේ ”මළගිය ඇත්තෝ” ආචාර්ය සිරි ගුනසිංහ ගේ ”හෙවනැල්ල” හා කේ. ජයතිලක ගේ ”පරාජිතයෝ” යනු එ් නවකථා පහය. මෙම ලිපියෙන්, ”මළගිය ඇත්තෝ” නම් නවකථාව පිළිබඳ ව කෙටි විග‍්‍රහයක් කිරීම අරමුණයි.

විදේශීය රටක – එනම් ජපන් රටේ – ජීවිතය වස්තුකොට ගෙන තිබෙන බැවින් ”මළගිය ඇත්තෝ” අනික් නවකථාවලට වඩා තරමක් අමුතු ස්වරූපයක් උසුලයි. මේ නවකථාවේ ගැබ් වන්නේ කෙටි කාල සීමාවකට ජපන් රටේ පදිංචිවන සිංහල චිත‍්‍ර කලාකරුවෙකු ගේ අත්දැකීම් ය. නව අත්දැකීම් මාලාවක් අමුතු ආකාරයකට නිරූපණය කරමින් සිංහල නවකථාවේ ක්ෂේත‍්‍රය පුළුල් කිරීමට මඟ පාදන බැවින් ”මළගිය ඇත්තෝ” මීට පෙර සඳහන් කළ අනික් නවකථාවලට නෑ සබඳකම් ද දක්වයි. එබැවින් මේ ග‍්‍රන්ථය සිංහල නවකථාවලියට එකතු වූ වැදගත් නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය.

මිනිසා ගේ කායික පරිසරය අනුව හැඩ ගැසුණු ජීවන රටාවක් මූලික මානුෂික හැඟීම් සමග ගැටෙන සැටි විදහා දැක්වීම නවකථාවේ මූලික අදහස වශයෙන් සැලකිය හැකිය.

කථාවස්තුවට පසුබිම වන්නේ තෝකියෝ නගරයයි. නවකථාවේ මූලික අදහස අනාවරණය කිරීමේ දී මේ පසුබිම වැදගත් කාර්යයක් ඉටු කරයි. කතුවරයා මෙය විචිත‍්‍ර ලෙස කියවන්නා ඉදිරියේ මවා පෑමට සමත් වී තිබේ.

ජපනුන් ගේ ජීවන ක‍්‍රමයේ ඇති සියුම් රසාත්මක ගුණය පහත දැක්වෙන විස්තරයෙන් මනාව හැඟීයයි:

”ඒ රටට පැමිණි මට වහාම හැඟුණේ, බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නැති බවය. ගිනිපෙට්ටිය, තේ කෝප්පය වැනි, තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපූරු හැඩයක් දමා විචිත‍්‍ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වටවී ජීවත්වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුණි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක විසීම සිතැඟි සමථ කිරීමෙහිලා කෙතරම් උපයෝගී වන්නක් ද? කඩයකට සාප්පුවකට ගිය ද බොජුන් හලකට, අවන් හලකට ගිය ද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියෝ පිබිදෙති. යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුවද ඔව්හු රසයක් ඇතුළත් කරති, පැහැපත් වර්ණයන් කවා වානයේ බීරෑණි ගතිය පහකර දමති. සිත් පිත් නැති යන්ත‍්‍රය තුළ ඔවුහු මනුෂ්‍ය හෘදයක් තැන්පත් කරති. කෙතරම් යන්ත‍්‍ර පාවිච්චි කළත් තමා ගනුදෙනු කරන්නේ මැෂින් සමග නොව මනුෂ්‍යයන් සමගය යන හැඟීම කෙනෙකුට ඇති වේ.

”ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලාගෙන යන්නේ ස්තී‍්‍රන්යයි මට හැඟී ගියේය. පැරණි කවීන් කියූ පරිදි සියුමැලි යනගි1 අත්ත මෙන් නැවී ඔව්හු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උසුලත්ද? ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹු වී පෙනේ. ඒ මේ අත තල්ලූ කරමින් නගින බහින සෙනග අස්සේ නොකැළඹී තම කටයුතු කරන, බටහිර ඇඳුමෙන් සැරසීගත් බස් සේවිකාවගේද, යන එන්නන් පිළිගනිමින් ඔවුන්ට ස්තුති කරමින් කඩයෙහි බඩු විකුණන වෙළෙන්ඳියගේ ද ගෙදොර දොර බලා ගන්නා ගෘහණිය ගේ ද නානා වර්ණ කූරුවලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනලයෙකුගේ හැඩයට බඳින ලද ඇඟ බඳනින් ද සැරසී අමුත්තන්ට සංග‍්‍රහ කරන ගේෂා ස්ති‍්‍රයගේද සෑම ඉරියව්වකම පාරම්පරික අභ්‍යාසයක ලකුණු කැපී පෙනෙයි. සෑම ඉරියව්වකම පරමාර්ථය අක්ෂිගෝචර හැඩයක් මවා පෑමයි.”
(9-10 පිටු.)

මේ පසුබිම තිරයක් වැනි ස්ථාවර, අප‍්‍රාණික දෙයක් නොවේ. එය වැදගත් කලාත්මක කාර්යයක් ඉටුකරන, ප‍්‍රධාන අදහසට ජීවමාන සම්බන්ධතාවයක් ඇති, ජංගම වස්තුවකි. ජීවමාන බලවේගයක් මෙන් පසුබිම නවකථාවේ මුල සිට අග දක්වා පැතිර පවතී.

”මළගිය ඇත්තෝ” ජපන් රට පිළිබඳව තොරතුරු සැපයීමට ලියන ලද ප‍්‍රචාරක කථාවෙක් නොවේ. මේ නවකථාව කියවන විට ජපනුන් ගේ ජීවිතය කියවන්නා ඉදිරියෙහි විචිත‍්‍ර ලෙස නාට්‍ය ආකාරයෙන් මැවී පෙනෙයි. එබැවින් කියවන්නා එහි විස්තර වන ජීවිතයට නිතැතින් ම සහභාගි වෙයි. Continue reading සාහිත්‍යය