Category Archives: නාගරික සංවර්ධනය

‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘

“මට හිතෙන්නේ කොළඹ තිබෙන තදබදයට පිළියම වෙන්නේ අධිවේගී මාර්ගවත් ගුවන් පාලම්වත් නෙමෙයි. පොදු ප‍්‍රවාහන සේවාව දියුණු කිරීමයි. අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුක්ත, හැමෝටම යන්න පුළුවන්, කොළඹට වැඩි ප‍්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් මිල මුදලක් අඩුකරන පරිසරයක් රකින පොදු ප‍්‍රවාහන සේවාවකුයි අවශ්‍ය වන්නේ.“

“තදබදය ඇතිවෙලා තියෙන්නේ, පෞද්ගලික වාහනවලින් එන නිසා. පෞද්ගලික වාහන අයිතිකාරයන්වත් පාවිච්චිකරන්නවත් එපා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විකල්පයක් දෙන්න පුළුවන් ඔවුන්ට වාහනයක් තිබුණ වුණත් ඒක ගෙදර තියලා පොදු ප‍්‍රවාහනයෙන් එන්න. ඒ සඳහා ඉතා හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් තිබිය යුතුයි. ආකර්ෂණශීලී පොදුප‍්‍රවාහනයක් තිබිය යුතුයි. මේ වෙනකොට ඉන්දියාවේ නගර 6කට වඩා බස්වලට ප‍්‍රමුඛතාව දීලා ඉතා හොඳ තත්ත්වයේ බස් සේවාවකට ගැළපෙන මාර්ග නිර්මාණය කරනවා. ඒවා අපේ වගේ බස් නෙමෙයි. කෝච්චි වගේ දිග බස් ධාවන ක‍්‍රමයක්. පාරවල් පළල් කරන්න හෝ පුළුල් පාරවල් දෙන්න ඕන නැහැ. දකුණු ඇමෙරිකාවේ බොහෝ නගර හා චීනයේ නගර 30ක් මේ ක‍්‍රමය තමයි පාවිච්චි කරන්නේ. අපි තාම යන්නේ ගිය ශතවර්ෂයේ භාවිත වුණු ගොඩනැගිලි කඩලා පාරවල් හදන ක‍්‍රමයකට.“

Continue reading ‘අධිවේගී මාර්ගය සාර්ථකයැයි කිව හැක්කේ ඇතුළත පිහිටි නගර සංවර්ධනය වුවහොත් පමණයි‘

Advertisements

කුමුදුගේ තීරුව, නගර සංවර්ධනය, නාගරික සංවර්ධනය

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘
“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම:
ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම්

ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා.
රොබට් මෝසස් ගේ කියුමක්

සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි.
ජේන් ජේකබ්ස්

ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ පොදුවේ නගර සංවර්ධනය පිළිබඳ අපගේ සාකච්ඡාව සරු එකක් බවට පත්කිරීමට නම් අප ඊට පදනම් විය හැකි විග්‍රහයක් නගර සැළසුම්කරණය පිළිබඳ ජාත්‍යන්න්තරව පැවතී ඇති සාකච්ඡාව ඇසුරෙන් සම්පාදනය කරගත යුතුය යන අදහස මම මීට පෙර ඉදිරපත් කළෙමි (බලන්න, “යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි” රාවය, 2011 ඔක්තෝබර් 30). ඒ සඳහා දහනවවැනි සියවසේ අගභාගයේ ඇරඹී විසිවැනි සියවසේ අගභාගය දක්වා ලොව නාගරික සංවර්ධනයේ අධිපති මතවාදයව පැවැති “නාගරික නවීකරණය“ (urban renewal) ට පදනම්වන නවීකාරක සංකල්පීකරණයන් ප්‍රබලව අභියෝගයට ලක්කළ ජේන් ජේකබ්ස් ගේ ජන හිතකාමී නගර සැළසුම්කරණ අදහස් සළකා බැලිය යුතු බව මම යෝජනා කළෙමි. මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ එම කටයුත්තට මුල පුරන්නටය.

නමුත් ඊට පෙරවදනක් ලෙස “දකුණු ආසියානු නගර වාසයට සුදුසු බවට පත්කිරීම: අතීතයෙන් පර්යාලෝකයක්” යන මැයෙන් රාමචන්ද්‍ර ගුහා මෑතදී කොළඹ දී පැවැත්වූ නීලන් තිරුචෙල්වම් අනුස්මරණ දේශනයෙහිදී, පළ කළ මූලික අදහස් කිහිපයක් මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමි.

පැට්රික් ගෙඩෙස් ගේ නගර සැළසුම් දර්ශනය
එම මාතෘකාවට ගුහා ප්‍රවිෂ්ඨ වූයේ මෙසේය: “දකුණු ආසියාවේ වෙනත් බොහෝ නගර මෙන් කොළඹ නගරයද මෑත කාලයේදී අත්දුටු ‍කඩිනම් වර්ධනය එහි සමාජීය සහ පරිසරමය නිර්මිතය මත බර පටවා ඇත. මෙම වර්ධනය පුරවැසියන් සහ සැළසුම්කරුවන් යන දෙපිරිසම හමුවේ මතුකරන ප්‍රශ්න ගණනාවකි. ඒ සියල්ලේ හරය වන්නේ නගර වැසියන්ගේ ජීවිත වචනයේ සියලු අර්ථයෙන් වාසයට සුදුසු බවට පත් කරන්නේ කෙසේද? යන්නයි.“ මෙයට පිළිතුරු සොයන්නට ගුහා ඉන්දියාවේ නගර සැළසුම් කෙරෙහි මහත් බලපෑමක් කළ ස්කොට් ජාතික නගර සැළසුම් ශිල්පී පැට්රික් ගෙඩෙස් අනුදත් මූලධර්ම පිළිබඳ සාකච්ඡාවකට යොමුවෙයි. 1921 දී කොළඹ නගරය සඳහා පළමු සැළැස්ම සකස් කළේ ද ගෙඩෙස් බවත් ඔහුගේ අරමුණ වූයේ කොළඹ “පෙරදිග උද්‍යාන නගරය” බවට පත්කිරීම බවත් සඳහන් ය. ගුහා සඳහන් කළ පරිදි ගෙඩෙස් සම්ප්‍රදායට ගරුකළ නමුදු අතීතයට යොමුවූ ප්‍රතිගාමියෙකු නොවීය. එමෙන්ම ඔහු කාන්සාවෙන් යුතු රොමෑන්ටික්වාදියෙක් හෝ උග්‍ර නවීකාරකයෙකුවත් නොවීය.

ගෙඩෙස්

ගුහා දැක්වූ පරිදි, ගෙඩෙස්ගේ නගර සැළසුම් තුළින් දිවෙන කේන්ද්‍රීය තේමා තුනක් වීය. ඒවා නම් සොබා දහමට ඇති ගරුත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ගරුත්වය සහ සම්ප්‍රදායට ඇති ගරුත්වයයි. ප්‍රජාතන්ත්‍රවාදයට වාදයට ගරු කිරීමෙහි ලා ගෙඩෙස් අවධාරණය කළ කරුණක් වූයේ නගර වර්ධනයෙහි ලා පුරවැසි සහභාගීත්වය තිබීමේ අවශ්‍යතාවයි. ප්‍රජාතන්ත්‍රවාදී නගර සැළසුම්කරුවා අවවරප්‍රසාදිත කණ්ඩායම්වල අවශ්යවතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ගෙඩෙස්ගේ ප්‍රජාතන්ත්‍රීය ඉවෙහි තව පැත්තක් වූයේ නගරය ‘වැඩි දියුණු‘ කිරීම සඳහා හෝ මෝටර්රිය පදවාගෙන යා හැකිවනු වස් මහා මාර්ග ඉදිකිරීම සඳහා ගොඩනැගිලි අමනෝඥ ලෙස විනාශ කිරීමට ඔහු තුළ වූ විරුද්ධතාව යි. පැට්රික් ගෙඩෙස් ගේ ඉහත අදහස් නගර සංවර්ධනය පිළිබඳ අපගේ වත්මන් අදහස් යලි සිතා බැලීමට අපට කැඩපතක් සපයයි. Continue reading කුමුදුගේ තීරුව, නගර සංවර්ධනය, නාගරික සංවර්ධනය

කුමුදු ගේ තීරුව

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘
යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි
අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ.

මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන යාමට හැකි වන අයුරින්, ගෙනයාමට හැකිවීම තුළ වන බැවිනි.

කොළඹ නගර සංවර්ධන වැඩසටහන ගෝඨාභය රාජපක්ෂගේ යැයි වික්ටර් අයිවන් කියන විටම වත්මන් නගර සංවර්ධන වැඩ පිළිවෙළට අදාල පුද්ගල සාධකය අවධාරණය කෙරේ.

පුද්ගල සාධකය සහ පුරවැසි අයිතීන්

පුද්ගල සාධකය මුල්කරගෙන දියත් කෙරෙන නාගරික සංවර්ධන වැඩපිළිවෙලවල් අමතක කරන වැදගත්ම කරුණ නම් නගර සංවර්ධන වැඩසටහන් පුරවැසියන්ගේ විය යුතු බවයි. අමෙරිකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් දියුණු ධනපති රටවල නාගරික සංවර්ධන වැඩ පිළිවෙළවල සාමාන්‍යයෙන් ගත් කළ හැම සුලු පියවරකදීම පුරවැසියන්ට දැනුම් දීම සහ ඔවුන් සහභාගීකර ගැනීම වැදගත් කොට සළකන්නේ නගරයේ ජීවය රඳා ඇත්තේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය මත යැයි ඔවුන් විශ්වාස කරන හෙයිනි. නමුත් අපේ නගර සංවර්ධනය නිලධාරීන් විසින් පුරවැසියන් මත පැනවෙනු ලබන්නක් මිස පුරවැසියන් ගේ අනු දැනුමෙන් ඇතිවන සංවර්ධනයක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හමුදා දෘෂ්ටි කෝණයකින් දේවල් බලන ආකල්පයෙන් අත්මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටි කෝණයකින් දේවල් බලන තැනකට මාරුවිය යුතු යැයි වික්ටර්‍ අයිවන් කරන යෝජනාවෙන් අපගේ ඉහත අදහස සනාථ කෙරෙයි.

මීට පෙර නගරය සංවර්ධනය කරන්නට මෙලෙස ඉදිරිපත් වූවන් අතර ඇමති මංගල සමරවීර කැපී පෙණුනු බව වික්ටර් අයිවන් සදහන් කරයි. මංගල සමරවීරලා ගේ පාලනය යටතේ එක් අතකින් අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් රතුකුරුස හන්දියේදී ජන මාධ්‍ය වේදීන්ට පොලු පහර දී කැමරා උදුරා ගනිද්දී අනිත් අතින් ගාලු මුවදොර පිටිය වටා කොන්ක්‍රීට් වාටි එලමින්, ගාලු මුවදොර ‘කථිකයන්ගේ මුල්ල‘ක් හැදුවේ පුරවැසියන්ගේ අදහස් විමසමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින්නට නොව තම ස්වයං විභූතිය සඳහා බව පැහැදිළිය.

නගර සංවර්ධනය පිළිබඳ ‘බැලූ බැල්මට පෙනෙන්නේ‘ යැයි වික්ටර් අයිවන් සඳහන් කරන සමහර කරුණු මඳක් සියුම්ව විමසා බැලූ කල ගොඩ නැඟෙන චිත්‍රය වෙනස් විය හැකිය. Continue reading කුමුදු ගේ තීරුව

නාගරික සංවර්ධනය

m10-sri1-480

සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම!
– පුරවැසියා විසිනි
ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට අමතක වන කරුණ ලෙස පෙනෙන්නේ සමෘද්ධිමත් නගරය යනු හුදු හෞතිකව දියුණු, අලංකාර කළ, සංචාරකයන් සහ පොහොසතුන් පමණක් සැප සම්පත් විඳින නගරය නොවන බවයි. සශ්‍රීක නගරය සියලු පුරවැසියන්ට ඉහළ ජීවන තත්වයක් ලබා දීමටද, සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමටද, හැම කටයුත්තකදීම ඔවුන්ගේ සහභාගීත්වය සහ එකඟත්වය ලබා ගැනීමටද ක්‍රියා කරන හෙයින්, ස්ථායි බවින් යුතුව, මිනිස් කමින් බැබළෙන නගරය වන්නේය.

වත්මන් නාගරික සංවර්ධන යෝජනා ලංකාවේ නූතන ඉතිහාසය පුරා ඓන්ද්‍රීයව සිදුවූ විකාශනයන් හි ප්‍රථිපල ඉමහත් රාශියක් වැරදි ලෙස සළකා ඒ සියල්ල එක රැයින් නිවැරදි කරන්නට ඇති විශ්වකර්ම අපේක්ෂාවක් පිළිබිඹු කරයි. Continue reading නාගරික සංවර්ධනය

නාගරික සංවර්ධනය

පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම
තිසරණී ගුණසේකර, 2011 / 10/ 02 සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ The Octopus And Its Tentacles නමැති ලිපියෙන් උපුටා ගැණුනි.
“ “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත.“ – රාජ්‍ය ආරක්ෂක ලේකමි(ඩේලි නිව්ස් – 27.9.2011). පහත වීඩියෝ පටය අනාවරණය කරන පරිදි 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ)  මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු ඇතිව නොතිබුණු ක්‍රෑර බවකින් යුතුව කඩා බිඳ දමන ලදී’ “

http://www.thesundayleader.lk/2011/10/02/the-octopus-and-its-tentacles/



http://www.youtube.com/user/yatvwebcast?blend=2&ob=5#p/u/0/86eyCKs8Xms

මෙම වීඩියෝ පටයේ දැකිවෙන පරිදි මෙලෙස තම නිවෙස අහිමි වූ එක් 64 හැවිරිදි කාන්තාවක් තම මුලු ජීවිතයම ගෙවා ඇත්තේ දැන් මෙලෙස ඇයට අහිමි කරන ලද නිවෙසේ ය.
රාජ්‍ය ආරක්ෂක ලේකමි තුමනි, මිව්ස් වීදියේ වැසියනට මෙම අයුක්තිය කළ අයට නිසි දඬුවම් දෙන්න! එම වැසියනට යුක්තිය සහ සාධාරණය ඉටු කරන්න !!

නාගරික සංවර්ධනය

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද?
– පුරවැසියා විසිනි

දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන ගත කිරීම, “අනවසර“ පදිංචි කරුවන්, අඩු ආදායම් ලාභී ජනකොටස් නැවත පදිංචි කිරීම වැනි අනෙක්වා, හැමදාමත් නගර සංවර්ධන න්‍යාය පත්‍රයන්හි තිබී ඇති, යළි යුද්ධයෙන් පසු පණ ගැන්වුණු ඒවා ය. නගරයේ කටයුතු ප්‍රවීක්ෂණය සඳහා රූපවාහිනී කැමරා සවිකිරීම වැනි තවත් ඒවා ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් ක්‍රියාත්මක වූ අලුත්ම වැඩ පිළිවෙල වෙයි. මේ හා සමාන වැඩ පිළිවෙලවල් රටේ වෙනත් ප්‍රධාන නගර වලත් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතී ඇත.

මේ සියලු වෙනස් කම් පසුගිය කාලය තුළ සිදුවූයේ, කොළඹ නම්, මහජන ඡන්දයෙන් පත්වූ නගර සභාව, එක්කෝ යුද්ධය නිසා, නැතහොත් දේශපාලන වියවුල් නිසා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළය. දැන් කලකට පසු යලිත් වරක් ඡන්දයෙන් තම නගර සභාව පත් කරගැනීමේ අවස්ථාව කොළඹ ඇතුලු රට පුරා නගර ගණනාවක ජනතාවට ලැබී තිබේ.

මෙය, යුද්ධය සමයේ හීන වී ගිය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් යළි ගමේ පමණක් නොව නගරයේ ද පණ ගන්වන්නට ලැබෙන අවස්ථාවකි; හදිසි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම ට ආණ්ඩුව තීරණය කොට ඇති හෙයින් වසර තිහක් පමණ කාලයකට පසු හදිසි නීතියෙන් තහංචි නොවැටුණු පරිසරයක තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උරගා බලන්නට ජනතාවට ලැබෙන අවස්ථාවකි.

හදිසි නීතිය අහෝසි කළේයැයි ආණ්ඩුව කියා සිටියත් විපක්ෂය කියා සිටින්නේ සැප්තැම්බර් 06 වැනිදා නිතුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සියලුම හදිසි නීති වරප්‍රසාද සහ රෙගුලාසි ඒ අයුරින්ම ක්‍රියාත්මක කෙරෙන බවයි. ඒ අනුව මහජන රැස්වීම්, විරෝධතා, උද්ඝෝෂණ, ශිෂ්‍ය අරගල, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැලැක්වීමේ බලය ත්‍රිවිධ හමුදා සෝදිසි කිරීම් සඳහා වන බලය ද අත් අඩංගුවට ගැනීම සඳහා වුණ බලයද මේ අති විශේෂ ගැසට් පත්‍රය අනුව තවමත් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. ආණ්ඩුව, හදිසි නීතිය ඉවත් කිරීම සැබෑ බවට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය තහවුරු කරන බවට පොරොන්දුවක් ජනතාවට ලබා දිය යුතු අතර අති විශේෂ ගැසට් පත්‍රය මගින් එම අයිතීන් උල්ලංඝනය කිරීමට ඇති ඉඩකඩ වහා ඉවත් කළ යුතුය. Continue reading නාගරික සංවර්ධනය