Category Archives: නාට්‍ය කලාව

කලාව

නාට්‍ය කලාව හා කථා කලාව
– එදිරිවීර සරච්චන්ද්‍ර

පොදුවේ සාහිත්‍යය යන නමින් හඳුන්වනු ලබන කලාව, නාට්‍ය කලාව, කාව්‍යය හා කථා කලාව වශයෙන් වර්ග කරන්නට පුළුවන්. මේ වර්ග තුනට පොදු වූ කිසිවක් තිබෙනව – එනම් ඒවායේ මාධ්‍යය භාෂාව වීමයි. වෙනත් කලා සමග සන්සන්දනය කරලා බැලූවොත් මේ අතින් ඒවා වෙනස් බව අපට පෙනෙනවා. සංගීතය, චිත‍්‍ර කලාව යන මේ කලා වර්ග සමග සන්සන්දනය කරලා බලමු. සංගීතයේ මූල ද්‍රව්‍යය – ස්වරයයි. චිත‍්‍ර කලාවේ මූල ද්‍රව්‍යය රේඛා හා වර්ණ යන මේවායි. මේ මූල ද්‍රව්‍ය මාර්ගයෙන් තමයි රසිකයා තුළ වින්දනයක් – ආස්වාදයක් ඇති කරන්නෙ. ඒ නිසා ස්වර, සංගීතයේ මාධ්‍යය ලෙසත්, රේඛා හා වර්ණ චිත‍්‍ර කලාවේ මාධ්‍යය ලෙසත් හඳුන්වන්න පුළුවන්.

අද අපේ සැලකිල්ලට භාජනය වන්නේ භාෂාව කෙරෙහි නිසා, භාෂාව සතු වූ කාර්යය දෙකක් තිබෙන බව කිව යුතුයි. එකක් නම්, පඤ්චේන්ද්‍රියන්ට ගොදුරුවන යමක් ඉඳුරා ම කියා පෑම. මීට වාච්‍යාර්ථයයි කියනවා. විද්‍යාවෙහි භාෂාව යොදන්නේ මේ කාර්යය සඳහායි. වෛද්‍ය විද්‍යාවේ ලෙඩ දුක් ගැන, විෂ බීජ ගැන, ඖෂධ ගැන තතු කියා පානව. භාෂාවේ අනිත් කාර්යය මනසට නොවේ හදවතට කතා කිරීමයි. ‘මේ මල් කහ පාටයි’ කියා අපි කීවොත්, නැත්නම් ‘මේ මල් සිනිඳුයි’ යි කියා කීවොත්, එය ඇසට, ස්පර්ශයට ගොදුරුවන ලක්ෂණයක් ගැනයි අපි කියන්නේ. ඒත්, ‘මේ මල් ලස්සනයි’ කීවොත් එය හදවතට ගොදුරු වන දෙයක් ගැනයි අපි කියන්නෙ. කාව්‍යයේ භාෂාව යොදන්නේ මේ දෙ වෙනියට සඳහන් කළ කාර්යය සඳහායි. මේ කරුණ පැරණි කවියෙක් ඉතා පැහැදිලි ලෙස පවසන පද්‍යාර්ථයක් මම කැමතියි උපුටා දක්වන්න.

එනම්:
ගතො සතමර්තො භාතීන්දුර් යාන්නි වාසාය පක්ෂිණ:
ඉත්‍යෙවමාදි කිං කාව්‍යං? වාර්තාමෙනාම් ප‍්‍රචක්ෂතෙ –

ඉර බැස ගියේය, හඳ පායයි, සියොත් කැල වාසය සොයා යති- ඉදින් මෙවැනි දේ කවර කාව්‍යය ද? ඒවා වාර්තා කියා හඳුන්වමු.

හැබැයි මෙවැනි කියමන් රසාත්මක වාක්‍ය වශයෙන් ගිණිය හැකි අවස්ථා තියෙනවා – එනම් කිසියම් අවස්ථාවක රසිකයා තුළ වින්දනයක් දැනවීමට යොදා තිබෙනවා නම් මේ කරුණු අපේ ප‍්‍රස්තුතයෙන් පිට නිසා ඒ ගැන යමක් සවිස්තර ව සාකච්ඡා කිරීමට මම අදහස් කරන්නේ නෑ. Continue reading කලාව

Advertisements

කලාව

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි”

මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා.

සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද. ඇන්ටිගනී මුහුණදෙන හෘද සාක්ෂියේ ප්‍රශ්නයයි. ඇගේ බාප්පා මුහුණ දෙන රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නයයි දෙකම බැලුවම සාධාරණයි. නමුත් එක් නීතියක් ඉටුකරගන්නාවිට අනෙක් නීතිය බිඳෙනවා.

නාට්‍යයේ හැටියට මේ දෙදෙනාම ඛේදවාචක දෙකකට මුහුණපාන අයුරු පෙනෙනවා. බොහෝ දේශපාලනික දේවල්, මනුෂ්‍යයා සම්බන්ධ දේවල් අද මේ මොහාතෙත් අපගේ ජීවිතය ඇතුළේ, සමාජය ඇතුළේ සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා මේ නාට්‍යය වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි. මේ සංවාදය පියා පුතු අතර, පියා දියණිය අතර, සහෝදර සහෝදරියන් අතර ගොඩනැඟෙනවා. එනම් නාට්‍යය ගොනුවන්නේ රාජ්‍යයේ ප්‍රධාන පුරවැසියෝ පස්දෙනා අතර.

ඕනෑ ම හොඳ නාට්‍යයක මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබෙනවා. …..හොඳ ස්වතන්ත්‍ර නාට්‍යයක් ලිවීම සඳහා ලෝක නාට්‍ය සාහිත්‍යය හැදෑරීමෙන් ලැබෙන පරිචය වැදගත් වෙනවා.


“ඕනෑ ම හොඳ නාට්‍යයක මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබෙනවා” යන මැයෙන් 2010 අ‌ගෝස්තු මස 8 වැනිදා සිළුමිණ පුන්කලස කලාපයේ පළවූ ‘ඇන්ටිගනි’ නිෂ්පාදක, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සමග නුවන් නයනජිත් කුමාර කළ සාකච්ඡා‍වකින් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

මුලු ලිපිය මෙහි බලන්න – “ඕනෑ ම හොඳ නාට්‍යයක මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබෙනවා”

කාලීන

‍හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Get PDF file here

නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි.

මාලක දේවප්‍රිය

“අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න දෙයක් නොමැති තරමට. අන්තර්ජාලය ඒ බවට මනාව සාක්ෂි දරනවා. ඒ හින්දා මම කැමතියි හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය ගැන පමණක් කථා කරන්න.

pinter_portrait2‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය මා අතට පත්වන්නෙ එක්තරා අහම්බයකින්. ඒ කොළඹ සරසවියේ සිසුවකුව සිටි කාලයේ නාට්‍යයක් නිපැයීම සඳහා දිනක බ්‍රිතාන්‍යය කවුන්සිල පොත්ගුල පිරික්සීමේදී. කෘතියක් විධියට එය පිටු දහයකටත් අඩු හා චරිත ප්‍රමාණය හතරක් වීමත්, එක් පසුතලයක ගලා යන නාට්‍යයක් වීමත්, හේතුකොට ගෙන එය නිෂ්පාදනය සඳහා මම යොමු වුණා.

නාට්‍යය පරිවර්තනය කරමින් යන අතරවාරයේදියි ‘වන් ෆෝ ද රෝඩ්’ හි ගැඹුර මට අනාවරණය වන්න පටන් ගත්තෙ. බැලූ බැල්මට සරල ආකෘතියක් පෙන්නුම් කළත් මෙය ඉතා ප්‍රබල දේශපාලනික නාට්‍යයක් බව මම හඳුනාගත්තා. Continue reading කාලීන