Category Archives: බදාදා සටහන

ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්
ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL )
නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World)

අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් යුනෙස්කෝව ආරම්භ කරනු ලැබීම මහත් බලාපොරොත්තු දැනවූ සිද්ධියක් වීය. යුනෙස්කෝව අවධානය යොමු කළේ විද්‍යාව හා සංස්කෘතිය පිළිබඳය. නාට්සිවාදය වර්ගවාදය පිළිබඳ තම මතය සනාථ කිරීමට විද්‍යාව යොදා ගත්තේය. එය මිනිස් මනස සර්වාධිකාරයකට යට කිරීමට දෘශ්ටිවාදය යොදාගත්තේය. අනාගතය වෙනුවෙන් මෙබඳු තත්වයක් යළි උදාවීම වැළැක්වීම යුනෙස්කෝව පිහිටුවීමට එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාමාජිකයන් මෙහෙයවූ කරුණ වීය.

එහිදී කීර්තිමත් ව්‍යුහවාදී මානව විද්‍යාඥ ක්ලෝඩ් ලෙවි-ස්ට්‍රාවුස් සංස්කෘතිය නමැති සංකල්පය සංස්කෘතීන් වශයෙන් වෙනස් කිරීමට වූ දායකත්වය සහ එහි සංකල්පීය ගම්‍යමානවීම් සහ දේශපාලන ඵලවිපාක සාකච්ඡා කිරීම ෆින්කල්ක්‍රෝත් මෙහිදී අරඹයි. ප්‍රබුද්ධ යුගයේ ජීවගුණය මත පදනම්ව ඇරඹෙන මෙම කර්තව්‍යය ඉතා ඉක්මණින් ඊටම එරෙහිව හැරවීමට ව්‍යුහවාදී මානව විද්‍යාවත් ඒ අනුව ගිය ඉතිහාසඥයන් සහ පියෙරෙ බෝඩියු වැනි සමාජ විද්‍යාඥයනුත් දායක වූ අයුරු ෆින්කල්ක්‍රෝත් විග්‍රහ කරයි.

මෙම සාකච්ඡාවේදී මතුවන තේමාවන් ගණනාවකි.
Continue reading ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

Advertisements

විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය

බදාදා සටහන

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – තෙවැනි කොටස
අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්

ෆින්කල්ක්‍රෝත් ගේ රචනය සාකච්ඡා කරන්නේ මනසේ ජීවිතය මුල්කරගත් සංස්කෘතිය යන අදහස යටපත්කොට ගෙන එදිනෙදා ජීවිතය පදනම කරගත් සියලු දේ සංස්කෘතික ය යන අදහස ජයගැනීමේ සංසිද්ධිය යි. මෙහිදී නූතනත්වය තුළ ප්‍රංශය මුල් කොට ගෙන පැන නැඟුණු ප්‍රබුද්ධත්වයේ කතිකාව මත සංස්කෘතිය පිළිබඳ සංකල්පීකරණය පැණ නැඟෙන අතර ඊට එරෙහිව යමින් ජර්මනිය මුල් කොට ගෙන ජාතිකත්වය සහ ජාතිය පිළිබඳ සංකල්පීකරණය බිහිවීම ෆින්කල්ක්‍රෝත් සාකච්ඡා කරනු අපි මෙම සටහන් මාලාවේ පෙර කොටස් වලදී දුටුවෙමු. පහත ඉදිරිපත් කෙරෙන ඊළඟ කොටසේ කියවිය හැක්කේ ඉහත සිදුවීම් හා සමගාමීව ප්‍රංශය තුළ දැකගන්නට ලැබුණු විප්ලවවාදීන් සහ සම්ප්‍රදායිකවාදීන් අතර අදහස් පිළිබඳ ඇතිවූ ගැටුමයි. මෙහි විවාදයට තුඩු දුන් මූලික අදහස වූයේ ‘ලොව සිටින්නේ මිනිසා නමින් හැඳින්වෙන එක් සත්ත්ව වර්ගයක්ද? නැතහොත් මිනිසුන්ගෙන් සැදුම් ගත් බහුවිධ මානවීයත්වයක් ද?‘ යන්නයි. ප්‍රංශ විප්ලවවාදීන් ද ජාතිය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළෝය. ඒ රජු ගේ සහ පල්ලියේ පාලනයෙන් මිදුණු නිදහස් පුද්ගලයන්ගේ සංගමයක් ලෙස සාමුහික ගිවිසුමක් මත ව්‍යවස්ථාවක් පිහිටුවා ගොඩ නැඟෙන ඓහික රාජ්‍යයක් පිළිබඳ අදහස ලොව ස්ථාපිත කිරීමේ අරමුණින්. මෙයට ගතානුගතිකවාදීන්, සම්ප්‍රදායවාදීන් එරෙහි වන්නේ නව ව්‍යවස්ථාපිත නීති මගින් ඉතිහාසය සහ සිරිත් විරිත් සැණෙන් මකා දැමීම යථාර්ථවාදී නොවන බවට භාෂාවේ පැවැත්ම පදනම් කර ගනිමින් තර්ක කරමින්. මිනිසා පිළිබඳ විශ්වීය සංකල්පය ඉදිරිපත් කිරීමෙන් විප්ලවවාදීන් මානව සංස්කෘතියක් පිළිබඳ අදහස ඉදිරියට ගෙන ආවේ නම් සංස්කෘතිය ජාතිය මත පදනම් වන්නකි යන අදහස ඉදිරිපත් කිරීමෙන් සම්ප්‍රදායවාදීහු සංස්කෘතිය ජාතික සංස්කෘතියට ලඝු කළහ. අද වන විට පශ්චාත් නූතනවාදීන්ද විශ්ව මානව සංස්කෘතියක අදහසට විරුද්ධව හැම දේම සංස්කෘතික යැයි යන අදහස බදා වැළඳ ගැනීමෙන් වට රවුමෙන් විත් ජාතිකවාදීන්ගේ ස්ථාවරයට ඒම ඉතිහාසයේ සරදමක් නොවේද? ලංකාව තුළත් මෙම සාකච්ඡාවේදී ජාතිකාවාදීන් ද පශ්චාත් නූතනවාදීන්ද සිටින්නේ එකම ඔරුවේය.


(මෙම සටහනෙහි ෆින්කල්ක්‍රෝත් ගේ අදහස් වලින් වෙන් කොට අපගේ අදහස් ඇතුළත් ඡේද ඇද අකුරින් දක්වා ඇත.)

ෆින්කල්ක්‍රෝත් මෙසේ කියයි:

බහුවිධ අර්ථයෙන් මනුෂ්‍යප්‍රජාව පිරිහීම

මේ එකම සමයේදී ප්‍රංශය විප්ලවයේ ක්ෂතියෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණු අතර සම්ප්‍රදායික චින්තකයන් ජැකොබින්වාදීන්ට චෝදනා කළේ ජාතික ජීවගුණය වියුක්ත න්‍යායන්ගෙන් කෙළෙසමින් සිටින බවයි.

විප්ලවාවදියෝ “ ජාතිය දිගුකල් දිනේවා!“ යන සටන් පාඨයත් සමඟින් පූර්ව විප්ලවීය පාලක තන්ත්‍රය විනාශ කොට තිබූ බව ඇත්තය.

නමුත් ෆින්කල්ක්‍රෝත් දක්වන පරිදි ඔවුන් ජාතිය යනුවෙන් අදහස් කළේ සමානාත්මතාව පදනම් කරගත් පාලනයකි. සීයෙස් ගේ වචන වලට අනුව ජාතිය යනු පොදු නීති යටතේ ජීවත් වන සහ එකම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් විසින් නියෝජනය කරනු ලැබෙන සාංගමිකයන්ගේ සමූහනයකි. විප්ලවවාදීන් මෙලෙස – සාංගමිකයන් – යන එක් වචනයකින් අවුරුදු දහස් ගණනක සමාජීය සහ දේශපාලන සබඳතා මකා දැමූහ යැයි ෆින්කල්ක්‍රෝත් කියයි. ජාතිය යන්නේ නාමයෙන් මෙහි ලා සිදුවූයේ සාහසික ලෙස ජාතික ඉතිහාසය අහෝසි කිරීමයි.

ෆින්කල්ක්‍රෝත් කියන පරිදි මෙය සැබැවින්ම සිදුවිය හැක්කක්ද? විප්ලවයක් යන්නෙන් අපේක්ෂා කරන්නේ එය විය හැකිය. නමුත් අවුරුදු දහස් ගණනක සමාජීය සහ දේශපාලන සබඳතා ඒවා කොතරම් පීඩා කාරී වුවත් පරම්පරානුගතව ජීවත් වන මිනිසුන්ගේ සිත් සතන් තුළින් පුරුදු තුලින් එකවර මකා දැමිය හැකිද? යන්න සිතා බැලිය යුතුය. ජාතික ඉතිහාසය බලෙන් සැනෙන් අහෝසි කළ හැකිද? විප්ලවයකට එවැනි වෙනස් කම් සඳහා නීති රීති පැණවිය හැකිය. විප්ලවයක් මිනිසුන්ගේ සිරිත් විරිත් වෙනස් කිරීමට ආරම්භයක් විය හැකිය. හරියටම සමාජවාදී විප්ලවවලටත් ප්‍රංශ විප්ලවයටමත් සියලු මිනිසුන්ගේ ආගමික විශ්වාස සහමුලින් වෙනස් කිරීමට නොහැකි වූවා මෙනි. නමුත් තමන් ආගමකට අයිති යැයි කියන ජනගහණය අඩුවී තිබේ. තමන් ආගමික යැයි කියූවද එයින් ආයතනගත ආගම අදහන්නේ ඉතාම සුළු පිරිසකි. නමුත් ආගම නොඅදහන පිරිස් හෝ නිතිපතා පල්ලි නොයන පිරිස් වෙනස් ආකාරයේ විශ්වාසයන් අදහන්නේ නැද්ද? යන්නද විමසා බැලිය යුතුය. අද ඇති ප්‍රධාන වෙනසක් නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මිනිසුන්ගේ ඇදහීම් රාජාණ්ඩුවේ හෝ ආගමේ බලපෑමෙන් නිදහස් ව කළ හැකි වීමයි. නමුත් මතවාදය මාධ්‍ය හරහා කරන සියුම් බලපෑම අති මහත් ය. ධනවාදය පිළිබඳ මිනිසුන් තුළ ඇති විශ්වාසය එබඳු එකකි. Continue reading විප්ලවවාදීන්ගේ ජාතිය සහ සම්ප්‍රදායවාදීන්ගේ ජාතිය: මානව සංස්කෘතිය සහ ජාතික සංස්කෘතිය

“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

බදාදා සටහන
අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස

ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි:

ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි

ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි කැඳවීම (calling) ට ප්‍රහර්ෂයෙන් යුතුව එරෙහි වූ ආකාරය ඔහු විවේචනය කළේය. ශාස්ත්‍රඥයන්ගේ ප්‍රජාවේ තම සමකාලිකයන් සදාකාලික වටිනාකම් ඉහලින් ඔසොවා තැබීම පිළිබඳ තම උනන්දුව අත්හැරදමා තිබූ බව බෙන්ඩා මවිතයෙන් සටහන් කළේය. ඒ වෙනුවට ඔවුන් අනිථිභීතිකාව පිළිබඳ භාවයන් අවුස්සාලමින්, ජාතීන්ට තමන්ටම පමණක් ප්‍රේම කරන්නට සහ ඇළුම් කරන්නට, “අන් සියළු ජාතීන්ට එරෙහිව භාෂාව, කලාව, සාහිත්‍යය, දර්ශනය, ශිෂ්ටාචාරය, ‘සංස්කෘතිය‘ අතින් උත්තරීතර “ ලෙසින් තමන්ම ඉදිරිපත් කරන්නට යැයි කියා සිටිමින් තම දක්ෂතා සහ ගරුනාමය ප්‍රත්‍යන්ත අරමුණු වල සේවය සඳහා පිරිනැමූහ.

සංස්කෘතිය පොදුවේ ගැනීමේ සිට සුවිශේෂව මගේ සංස්කෘතිය දක්වා වන මෙම තත්වාන්තරකරණය නූතන යුගයේ සැබෑ ලකුණ, මානව වර්ගයාගේ සදාචාර ඉතිහාසයට එහි නිශ්චයාත්මක සහ වෙනකකට එහි හිලව් නොකළැකි දායකත්වය වීය. සංස්කෘතිය කලෙක එතුළ මිනිසාගේ අධ්‍යාත්මික සහ නිර්මාණශීලී ජීවිතය වර්ධනය වූ කලාපය වී තිබුණි. දැන් එය මගේ සංස්කෘතිය, මා අයිති ජනයාගේ මානසිකත්වය, මගේ උත්තුංගතම සිතුවිලි සහ මගේ දෛනික පැවැත්මේ සරලතම ඉඟි කා වැදුණු ජීවගුණයක් බවට පත්ව තිබුණි. බෙන්ඩාම පැහැදිළි කළ පරිදි සංස්කෘතිය යන්නේ මෙම දෙවැනි අරුත ජර්මානු රොමෑන්තිකවාදයෙහි මූලයන් තිබුණු එකකි.

ෆින්කල්ක්‍රෝත් ඉහත් සාකච්ඡා කරන පරිදි ජූලියන් බෙන්ඩා බුද්ධිමතුන් එනම් මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අයගේ කටයුත්ත ලොවට අධ්‍යාපනය දීම ලෙසින් හඳුනා ගනියි. ඔවුන්ගේ අරමුණ විය යුත්තේ ලෝකය මිස ප්‍රත්‍යන්ත දෑ නොවේ. මානව බුද්ධියට අරමුණ විය යුත්තේ ලෝකය යි. මෙහි ලෝකය යනු විශ්වීය පරිමණ්ඩලය මෙන්ම ප්‍රත්‍යන්ත දෑ ඉක්මවන පොදු ලෝකය යන්නද විය හැකිය. විශ්වීය පරිමණ්ඩලය කෙරෙහි යොමු වන්නට නම් පොදු ලෝකය කෙරෙහි එළඹුම මුල් තැනට ආ යුතුය. විශ්වීයවාදය යටකොට සුවිශේෂතාව ප්‍රහර්ශයට නඟන තැන උනන්දුව ඇත්තේ මානවයන් සමූහයක් වශයෙන් එක් කරන නොව ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරන ගුණාංග පිළිබඳය. සදාකාලික වටිනාකම් යනු කාලයෙන් හා අවකාශයෙන් සීමා නොවී සදහටම මිනිසුන් අතර පවත්නා වටිනාකම් වෙයි. ඒවා පැවතිය හැක්කේ විශ්වීය මට්ටමෙන් පමණි. එක් ජන කොටසකට හෝ කිහිපයකට සදාකාලික විය නොහැකි හෙයිනි. සදාකාලය යනු එක් ජන කොටසක් හෝ කිහිපයක ජීවන කාලය ඉක්මවා පවතින්නක් වන හෙයිනි.

අන් ජාතීන්ට එරෙහිව තමන් උත්තරීතරයැයි කියා පෑමෙහි පමණක් පලක් නොමැත්තේ එය විශ්විය තලයෙහි ඇගයීමට ලක් නොවන තාක් කල් එය හුදෙක් කියා පෑමක් පමණක් වන හෙයිනි. තමන් උත්තරීතරයැයි කියා පෑමෙහි නිශේධනාත්මක අරුතින් වුව විශ්විය තලයේ පැවැත්ම පිළිගැනීමක් ගම්‍ය වෙයි.

ෆින්කල්ක්‍රෝත් තර්ක කරන පරිදි සම්ප්‍රදායිකව සංස්කෘතිය යන්නේ හරය තිබී ඇත්තේ එය ‘මිනිසාගේ අධ්‍යාත්මික සහ නිර්මාණශීලී ජීවිතය වර්ධනය වූ කලාපය‘ යන අදහසෙහි ය. එසේ නොමැතිව මිනිසා සිටින තත්වය ප්‍රකාශයට පත්වන ස්වරූපය ලෙසින් ගැනීමෙහි නොවේ.

බෙන්ඩා සටහන් කරන්නේ යුරෝපීය සමාජයේ සිදුවෙමින් පැවැති චින්තන විපර්යාසයක් සමාජීය වශයෙන් ප්‍රකාශයට පත්වූ සංසිද්ධියක් පිළිබඳය.

The Defeat of the Mind (මනසේ පරාජය)
The Defeat of the Mind (මනසේ පරාජය)

ෆින්කල්ක්‍රෝත් යළි මෙසේ කියයි:
Volksgesit (ෆොල්ක්ස්ගයිස්ට්) නැතහොත් ජනයාගේ ජීවගුණය පිළිබඳ සංකල්පය පළමුවරට ප්‍රාදූර්භූතවූයේ හර්ඩර් (Herder) ගේ අදහස්වලය. මොන්ටෙස්කියු ගේ අදහසක් රැඩිකල්කරණයට ලක් කරමින් හර්ඩර් කියා සිටියේ ඉතාමත් උච්ඡ සිට ඉතාමත් නිහතමාන දක්වා සියලු ජාතීන් සතුව එකක් අනෙකට අතුරුමාරු කළ නොහැකි සත්තාවේ අද්විතීය ආකාරයක් තිබුණු බවයි. හර්ඩර් ට අනුව ජාතික සීමාවන් ඉක්මවා යන සියළු නීතිමය, සෞන්දර්යාත්මක හෝ සදාචාරමය වටිනාකම් වලට තම ස්වෛරීභාවය අහිමි වී තිබුණි.ෆින්කල්ක්‍රෝත් ඉහත දක්වන පරිදි හර්ඩර් මෙලෙස ප්‍රකාශ කරන්නේ ජාතිකවාදයේ ආගමනයයි. ඒ අනුව ජාතීන් අතර උසස් කම අතින් වෙනස් කම් තිබිය හැකි වුවද ඒවා හැම එකක්ම අද්වීතිය ය. ජාතික සීමාවන් ඉක්මවා යන කිසිදු වටිනාකමක් නොමැති නම් ජාතීන් අතර උසස්කම් පිළිබඳ විනිශ්චයක් කිරීමද නොහැකි ය. Continue reading “ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම

බදාදා සටහන
ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීමත් බුලත් හැපීමත් දෙකම ‘සංස්කෘතික‘ වීම
අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – පළමු කොටස

අලාන් ෆින්කල්ක්‍රෝත් තම කෘතිය පාඨකයාට හඳුන්වා දෙන්නේ පහත සඳහන් පරිදි ය.

“ ෂොන්-ලුක් ගොඩා (Jean-Luc Godard) ගේ විව්ර ස වි (vivre sa vi, ‘ඇගේම ජීවිතය ජීවත් වීමට‘) නමැති චිත්‍රපටියේ දාර්ශනිකයාගේ චරිතය රඟන බ්‍රයිස් පරේන් ඔහු වඩා උසස් ජීවිතය ලෙසින් ද හඳුන්වන මනසේ ජීවිතය එදිනෙදා ජීවිතය සමඟ සසඳයි.

බටහිර ශිෂ්ඨාචාරයේ මූලික ගොඩනැඟුම් ගලක් වන මෙම ධූරාවලීය විශිෂ්ඨභාවය හැමවිටමත් සභංගුර බිමෙක පිහිටා තිබී ඇත. අදටත් මෙය අතිමහත් විවාදයක් අවුස්සාලයි. කෙසේ වුවත් මෑතකදී පක්ෂ සහ ප්‍රතිපක්ෂ දෙපිරිසේම තර්ක නව දිශාවකට හැරී ඇත. දැන් ඔවුන් ගේ හැම එක් පාර්ශ්වයක් ම තම ආස්ථානය වෙනුවෙන් සටන් වදින්නේ සංස්කෘතියේ නම කැඳවමිනි. නමුත් සංස්කෘතිය යන්නෙන් ඔවුහු අතිශයින් වෙනස් දේ අදහස් කරති. එක් පාර්ශ්වයක් මනසේ ජීවිතයේ විශිෂ්ඨත්වය සහතික කිරීමට මෙම සංකල්පය යොදාගන්නා අතර අනෙක දවසක කාලය ගෙවන අතරතුර කරන සරළ අභිනයන් ගේ සිට ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය කිරීම දක්වා සියලු දේ සංස්කෘතික යැයි කියමින් මනසේ ජීවිතයේ විශිෂ්ඨත්වය ප්‍රතික්ෂේප කිරීමට එය යොදාගනියි. එකකට අනෙකට වඩා අභිරුචියක් පළකරන්නේ මන්ද? සිතීමට ගෙතීමට වඩා , නැතහොත් බුලත් හැපීමට, හෝ ඝනකමට බටර් ගෑ කර කළ පාන් කැබැල්ලක් උණු කෝපි කෝප්පයක පෙඟවීමේ පාරම්පරික උදෑසන වතාවත රඟ දැක්වීමට වඩා වරප්‍රසාදිත තත්වයක් ලබා දෙන්නේ මන්ද?

අපේ සංස්කෘතික ජීවිතයේ ව්‍යාධියක් පිළිබඳ හැඟීමක් තිබේ. මෙම වචනය ඇසෙත්ම කවරෙකුවත් තුවක්කුවක් එළියට ඇදීම අද සිදුවිය නොහැක්කකි, යන්න සැබෑවකි – නමුත් කවරදාකටත් වඩා වැඩි ප්‍රමාණයක් ජනයා “මනසේ ජීවිතය“ ට අභියෝග කරන්නට තමන්ගේ සංස්කෘතිය කරා යොමුවෙමින් සිටිති. මෙම ජනයාගේ මතුවීම සහ විජයග්‍රහණය පිළිබඳ කතාව මෙම පොත කියයි.”

ෆින්කල්ක්‍රෝත් කියන්නේ බටහිර ශිෂ්ඨාචාරයට එය ප්‍රමුඛ කොට සළකන දේ පිළිබඳ ඇගයීමක් තිබී ඇති බවය. නමුත් මනසේ ජීවිතය එදිනෙදා ජීවිතයට වඩා උසස්ය යන අදහස පරාජය වීමේ අනතුර හැම විටමත් තිබී ඇත. මේ දක්වා එම අනතුර සැබෑවක් බවට පත් වීමට සමත් වී නොතිබුණැයි ෆින්කල්ක්‍රෝත් ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වුවද ඔහුගේ අවසන් නිගමනය මනසේ ජීවිතය ට අභියෝග කරන ජන පිරිසක් මෑත කාලයේ වැඩි වැඩියෙන් මතුවී විජයග්‍රහණය කොට ඇති බවයි. උත්ප්‍රාසජනකව මෙය සිදුවී ඇත්තේ සංස්කෘතිය නාමයෙනි. එය සිදුවන්නේ ‘සංස්කෘතිය‘ යන්න වෙනුවට ‘සංස්කෘතික‘ යන්න ආදේශ කිරීමෙනි. සංස්කෘතියට හිමි තැනට ‘තමන්ගේ සංස්කෘතිය‘ ගැනීමෙනි.

ඉතින් සංස්කෘතිය යනු කුමක් ද?

The Defeat of the Mind (මනසේ පරාජය)
The Defeat of the Mind (මනසේ පරාජය)
මෙම ගැටුමේ එක් පාර්ශ්වයකට අනුව සංස්කෘතිය යනු මනසේ ජීවිතයේ විශිෂ්ඨත්වය ප්‍රකට කෙරෙන, එහෙයින් මනසේ ජීවිතය, සිතීම සමග සබැඳි ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණය හා බැඳි පරිමණ්ඩලයි. මීට ප්‍රතිපක්ෂව ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණයත් එදිනෙදා ජීවිතයේ ජනයා යෙදෙන සරල ප්‍රායෝගික ක්‍රියා මෙන්ම පුරුද්දෙන් යෙදෙන වතාවත් ද එක හා සමානව සංස්කෘතික යැයි අනෙක් පාර්ශ්වය කියා සිටින විට එය මනසේ ජීවිතය විශිෂ්ඨ යැයි යන අදහස ප්‍රතික්ෂේප කරයි. එනයින් සංස්කෘතිය පිළිබඳ වෙනත් කියැවීමක් ඉදිරිපත් කරයි. ශ්‍රේෂ්ඨ කෘතීන් නිර්මාණයේ සිට එදිනෙදා ජීවිතයේ ජනයා කරන දේ දක්වා වන සියලු දේ සංස්කෘතික යැයි කියන විට ඒ හැම දේකටම ලැබෙන්නේ එක හා සමාන වටිනාකමකි. කිසිවක් වඩා උසස් හෝ වටිනාකමින් අඩු හෝ නොවේ. සියලු දේම සංස්කෘතික නම් එකකට වඩා වෙනකකට අභිරුචිය දැක්විය යුත්තේ මන්ද? ඉන් කියැවෙන්නේ හරියට විශදභාවය පිළිබඳ හැඟීමක් ජනයාට අහිමි වූ බවක් ද?

අද සංස්කෘතික ජීවිතයේ ඇතැයි ෆින්කල්ක්‍රෝත් දක්වන ව්‍යාධිය පිළිබඳ හැඟීම එන්නේ සංස්කෘතික දේ නාමයෙන් සංස්කෘතිය පරාජය කිරීම ට ජනයා යොමුවීම හේතුවෙනි.

මනසේ ජීවිතය පරාජය වීමට ජනයා තමන්ගේ සංස්කෘතිය කරා යොමු වෙමින් සිටින්නේ යැයි කීමෙන් ගම්‍ය කරන කරුණ වන්නේ මනසේ ජීවිතය ත් ‘තමන්ගේ සංස්කෘතිය‘ ත් අතර වෙනස යි. මනසේ ජීවිතය හා බැඳුණු සංස්කෘතිය ත්, තමන්ගේ සංස්කෘතිය දෙකම එක නොවේ යැයි මෙයින් කියැවෙයි.

සියලු දේම සංස්කෘතික යැයි යන අදහස ඉදිරිපත් කරන්නේ, සංස්කෘතිය යනු එදිනෙදා ජීවිතයේ කටයුතු හා සසඳන කල වඩා උසස් මනසේ ජීවිතය සමඟ බැඳුණු දෙයක් යැයි කීමෙන් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු පහත් යැයි කියැවෙන බව සිතා විය යුතුය. නමුත් එය එසේ විය යුතුද? මනසේ ජීවිතයේ වඩා උසස් යැයි කීමේ අදහස සමාජීයව වඩා ප්‍රමුඛතාව දිය යුතු අංගය දෛනික ජීවිතය නොව මනසේ ජීවිතය යන්න මිස ජනයා දෛනික ජීවිතයේ යෙදෙන කටයුතු පහත් යැයි යන්න නොවේ; ජන ජීවිතයට හුදෙක් දෛනික දිවිය ගෙවනවාට වඩා උසස් අරමුණක් තිබිය යුතුය යන්නයි. අපදෛනික ජීවිතය පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙන්ම නොවේය යන්නයි.

‘සංස්කෘතිය යන වචනය ඇසෙන විට මගේ අත තුවක්කුවට යන්නේය‘ යන ප්‍රකාශය හිට්ලර්ගේ නාට්සි පක්ෂයේ නායකයන් වූ ජෝෂප් ගොබෙල්ස් හෝ හර්මන් ගොරිං කියූවක් යැයි ප්‍රසිද්ධ නමුත් එසේ නොව හන්ස් ජොහ්ස්ට් ගේ ෂ්ලාගෙටර් (Schlageter) නමැති ජර්මානු නාට්‍ය යේ එන දෙබසකැයි පිළිගැනෙයි. වැදගත් වන්නේ එයින් කියැවෙන්නේ සංස්කෘතිය දේශපාලනයට ඉමහත් බලපෑමක් කරන්නේය යන්නයි. සංස්කෘතිය දේශපාලනයට බලපාන්නේ කෙසේද? ජර්මනියේ නාට්සි පාලන සමයේ ‘සංස්කෘතිය‘ යැයි සඳහන් කළ විට නාට්සිවාදීන්ගේ අත තුවක්කුවට ගියේ නම් අද “මනසේ ජීවිතය“ නොහොත් ‘සංස්කෘතිය‘ යැයි කියන විට ඊට අභියෝග කරන්නට ජනයා තමන්ගේ සංස්කෘතිය කරා යොමු වීම ද ඒ හා සමාන දේශපාලන වැදගත් කමක් ඇති ක්‍රියාවකැයි ෆින්කල්ක්‍රෝත් යෝජනා කරන බව පෙනෙයි.

*The Defeat of the Mind ඉංග්‍රීසි පරිවර්තනය 1995 දී පළ වීය. එය ප්‍රංශ බසින් මුල් වරට පළ වන්නේ 1987 දීය.

කුමුදු