Category Archives: බුද්ධාගම

අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

ආචාර්ය නලින් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස්

“බුදුන්ගේ ධර්මය උදුරා ගනිමින් තමන්ගේ අරමුණ ධාර්මික රාජ්‍යයක් බිහි කිරීම බව කියමින්, එහි උතුම් සාරධර්ම ගර්හාවට ලක් කරන ඊනියා, බෞද්ධ නායකයෝ එහි පූජනීයත්වය කෙළෙසීමට සාහසික වරදකරුවෝ වෙති.”

‘දිනන්නා පරදින්නා තුළ වෛරය ඇති කරයි. පරදින්නා දුක සේ වෙසේ. උපශාන්ත තැනැත්තා ජයත් පරාජයත් හැර සුවසේ වෙසේ (ධම්මපද 201)

“සිවිල් සමාජය, ලිංගික, වාර්ගික, ආගමික සහ ආර්ථික ආදී වශයෙන් වූ විවිධ අභිලාෂයන් මත යුදබිමක්ව පවතින තෙක් දේශපාලනය, පක්‍ෂ දේශපාලනය සහ පෞද්ගලික හා සාමාජික තලයන්හි මහා බල අරගලයක්ම ලෙස පවතිනු ඇත. අවශ්‍ය වනුයේ වච්ලව් හාවෙල් (Vaclav Havel)”ප‍්‍රති-දේශපාලනය” ( Anti- Political Politics) නමින් හැඳින් වූ දෙයයි. එනම්, දේශපාලනය ප‍්‍රයෝජනාත්මක හෝ කළ හැකි දේ පිලිබඳ කලාවක් සේ (Art of the possible) සැලකීම නොව මනුෂ්‍ය හෘද සාක්ෂීයේ සහ හදවතේ දේශපාලනයක් වීමයි. මෙය පංච ශීලයෙන් දැක්වෙන මූලික සදාචාරය, කි‍්‍රයාවෙන් ගෞරවනීය කිරීමෙන් පටන්ගෙන, ආර්යෂ්ටාංගික මාර්ගයේ අරමුණ කරා පොදුවේ ගමන් කිරිමයි. ආර්ය මාර්ගයේ හදවතේම ඇත්තේ සම්මා ජීවය යි – යහපත් වෘත්තීයකින් දිවි රැකගැනිමයි. මෙය ඇත්ත වශයෙන්ම දේශපාලනය තම වෘත්තිය සහ ජීවන ක‍්‍රමය බවට පත්කරගත් අයට පළමුවෙන්ම අදාල විය යුතුය.
මනුෂ්‍යන් කොතරම් දුකට පත්කරමින් වුවද බලය හා ධනය ලබාගැනීමට ඇති රාගය, තමාගේ පෞද්ගලික හා සාමූහික උන්නතියට බාදා පමුණුවන ඕනෑම දෙයක් කෙරෙහි දෝෂය දක්වන, තමන් වහල් භාවයේ ම තබා ම්ලේච්ඡ බවට පත්කරන දෑ වෙතම ඇලී සිටීමට පොළඹවන මෝහය, යන තුන් ආකාර වූ තණ්හාවට එකම ප‍්‍රතිකාරය අනුකම්පිත විප්ලවයක් පමණක්ම වන බව බුදුන් වහන්සේ පැවසූහ. මාර්ගය ඇත. අවශ්‍ය වන්නේ ‘බෞද්ධ’ යයි හඳුන්වාගන්නා රටවල පවා – එම මඟ ගැනීමට පෞද්ගලිකව මෙන්ම දේශපාලනිකව ද උවමනා අධිෂ්ඨානය පමණයි.”

Continue reading අනුකම්පිත විප්ලවයක් – ආචාර්ය නලින් ස්වාරිස්

Advertisements

සංස්කෘතිය

ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි.

සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත.

එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකව කැරෙන ආත්ම දමනයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමත් සංස්කාරකයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීමත් උගන්වනු ලැබේ. මේ අනුව ජීවිතය ගැන බුද්ධ ධර්මය දරන දෘෂ්ටිය පෞද්ගලිකත්වය වටා ගෙතුණු අතරම වඩා ප්‍රඥාගෝචර ද වෙයි. වෙනස් කළ නොහැකි ලෙස ක්‍රියාත්මක වන කර්මඵල නියමයක් ගැන එහි අවධාරණයෙන් කියවේ.

මේ කර්මඵල නියමය කෙරෙහි එකම ස්වාමියා මිනිසාය. ලෝකෝත්තර බලවේගයන් ගෙන් කිසි පිහිටක් නොලැබේ. දේව භක්තිය මත පදනම් වූ ආගමකට වඩා බුද්ධ ධර්මය වෙනස් ය. දේව භක්තිය මත ගොඩනැංවුණු ආගමක දී දෙවියන් හා මිනිසුන් අතර පැවැත්වෙන සම්බන්ධකම් විවිධ ක්‍රම ගන්නා අතර, ඒවා එම සමාජයෙහි සංස්කෘතියේම අංශ බවට පත් වේ. මේ නිසා බුද්ධ ධර්මය ඉහත කී විධියේ ලෞකික සංස්කෘතියකට අවශ්‍ය සම්පූර්ණ අංගෝපාංග එය අනුගමනය කරන සමාජයට නොදෙයි. ගම්බද සිංහල ජනයාගේ අවශ්‍යතාවනට සරිලන ලෙස සකස් වීම සඳහා, බුද්ධ ධර්මයට ජන ඇදහීම් හා හින්දු විශ්වාසයන් සමඟ සංකලනය වීමට සිදු විය. Continue reading සංස්කෘතිය