Category Archives: බුදු දහම

වල්පොල ශ‍්‍රී රාහුල හිමි: පරමාදර්ශී භික්ෂුව පිළිබඳ ගවේෂණයක්

වල්පොල ශ‍්‍රී රාහුල හිමි: පරමාදර්ශී භික්ෂුව පිළිබඳ ගවේෂණයක්
මහාචාර්ය අසංග තිලකරත්න, පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

හැඳින්වීම

වල්පොල ශ‍්‍රී රාහුල
වල්පොල ශ‍්‍රී රාහුල

සෑම ථෙරවාදී භික්ෂුවක්ම ථෙරවාදී සංඝ පරම්පරාවේ නියෝජිතයෙකි. මේ අර්ථයෙන් සියලූම භික්ෂූන් වහන්සේ එක හා සමානය, සමහරු ඒ අතර කැපී පෙනෙති. මීට වර්ෂ දහ හතකට පෙර 1997 දී අපවත් වී වදාළ වල්පොල ශ‍්‍රී රාහුල මහා ස්ථවිරපාදයන් වහන්සේ එබඳු උතුමෙකි. උන් වහන්සේ විවිධ පැතිවලින් කැපී පෙනෙන අතර සංඝ සවිධානය තුළ දිගු කල් පවත්නා ලකුණක් තැබූහ. පසුගිය සතවර්ෂයේ ශ‍්‍රී ලංකා භික්ෂු සාසනයේ ගමන් මඟ හා ඊට අනුරූපව එහි ඓතිහාසික සන්තති හා විසන්තති පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා රාහුල හිමිපාණන්ගේ චරිතය හා ශාස්ත‍්‍රීය සේවාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. කෙනෙකු උන් වහන්සේ සමඟ එකඟවනු ඇත, තවත් අයෙකු එකඟ නොවනු ඇත, නමුත් කෙනෙකුට උන් වහන්සේ පහසුවෙන් මඟහැර යාමට නොහැකිය. මේ ලිපිය විවිධ පැතිකඩ සහිත මේ චරිතය පිළිබඳ පොදු අධ්‍යයනයක් නොවේ. එය බෞද්ධ භික්ෂුවක ලෙස උන් වහන්සෙගේ ජීවිතය හා සංඝ සාසනයටත් එකිනෙක සාමාජිකයාටත් එම චරිතයේ බලපෑම පිළිබඳ අවධානය යොමු කෙරෙයි.

මේ සාකච්ඡාවට ප‍්‍රවේශයක් ලෙස මම උන් වහන්සේගේ ශිෂ්‍ය අවධියත්, දේශපාලන ක‍්‍රියාකාරකම්වල මුල් අවධියත් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් උන් වහන්සේගේ චරිතය පිළිබඳ අධ්‍යයනය කරමි. අනතුරුව, රාහුල හිමිපාණන් පාදක කර ගනිමින් පරමාදර්ශී ථෙරවාද භික්ෂුව පිළිබඳ ගවේෂණය යන මගේ මූලික තේමාව සාකච්ඡා කරමි. සමාප්ති වාචකයේදී මේ සාකච්ඡාව ශ‍්‍රී ලංකා බුදු දහමේ වර්තමාන තත්වයට සම්බන්ධ කිරීමට උත්සාහ කරමි.

වල්පොල ශ‍්‍රී රාහුල – ශිෂ්‍ය අවධිය

වල්පොල ශ‍්‍රී රාහුල මහා ස්ථවිරපාදයන් වහන්සේ ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ වල්පොල නම් වූ ගමෙහි දස දෙනෙකුගෙන් යුත් පවුලක ලාබාලතම සාමාජිකයා වශයෙන් 1907 දී උපත ලැබූහ. දහතුන් වන වියේදී උන් වහන්සේ ගමේ පන්සලෙහි දී පැවිදි කරන ලද අතර වල්පොල ධම්මදස්සී යන නම තබනු ලැබීය. මේ නම වර්ෂ අටකට පමණ පසු වල්පොල රාහුල ලෙස වෙනස් කරනු ලැබිණි. ආරාමික ජීවිතය අත්‍යන්තයෙන්ම අනුගමනය කිරීමට කැප වූ පඬිවරයකු වූ පරගොඩ සුමනසාර ස්ථවිර පාදයන් වහන්සේ වෙත වැඩිදුර අධ්‍යාපනය සඳහා භාර දීමත් සමඟ රාහුල හිමියන්ගේ ජීවිතයේ පළමු තීරණාත්මක අවධිය එළඹිණි. තමන් වහන්සේ අපේක්ෂිත පරමාදර්ශයට ළඟාවීම සඳහා විනය අකුරටම පිළිපැදි පරගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ උන් වහන්සේගේ සමකාලිකයන් බොහෝ දෙනෙකුට වඩා වෙනස් වූහ. උන් වහන්සේ එකකුදු නොබිඳ විනය නීති සියල්ල අකුරටම පිළිපැදීමට උත්සාහ ගත් අතරම ධුතාංග සමාදානයේද යෙදුනහ. විනය නීති අකුරටම පිළිපැදීමේ දුෂ්කරතාව අවබෝධ කරගත් සුමනසාර ස්ථවිරයෝ තමන්ගේ උපසම්පදා ශීලය අත්හැර සංඝ සමාජයේ පහළ ස්තරයේ වන සාමණේර භාවයට නැවැත පත්වීමේ නිර්භය තීරණය ගත්හ. ඉන් නොනැවැතී උන් වහන්සේ සහ රාහුල හිමියන් ඇතුලූ ශිෂ්‍යයෝ පහසුකම් සහිත ආරාමික ජීවිතය අතහැර වන වැදී ආරණ්‍යක ජීවිතයක් අරඹූහ. නූතන පහසුකම් අත්හැරීමත්, අවම අවශ්‍යතා සහිත සරල දිවි පැවැත්මත් මේ ජීවිතයේ මූලික ලක්ෂණය විය. ඒ අනුව, පිණ්ඩපාතයෙන් යැපෙමින්, දුර්වර්ණ සිවුරු දරමින් පොල්කටු කෝප්ප භාවිතා කරමින් මුදල් භාවිත නොකරමින් මේ පිරිස ජීවත් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායම පොල්කටු නිකාය ලෙස අවඥාවෙන් හැඳින්විණි. මේ අතර උපසම්පදාව අත්හැරිමට පාදක වූ පරිපූර්ණතාධ්‍යාසය මතම සුමනසාර හිමියෝ ගිහිබවට පත්වීමට තීරණය කළහ. ගිහියකු බවට පත්වූ එතුමා බ‍්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් තමන්ගේ පැවිදි ශිෂ්‍යයන්ට මඟ පෙන්වීය. සුමනසාරයන්ගේ සදාචාර පරිපූර්ණතාවය හා පරමාදර්ශී භාවය රාහුල හිමියන්ගේ ශිෂ්‍ය අවධියට මහත් බලපෑමක් කෙළේය. ප‍්‍රසිද්ධ සිංහල පුවත්පතක් වූ සිංහල ජාතිය පුවත්පතට රාහුල හිමියන් සැපයූ ලිපි මූලික වශයෙන් උන් වහන්සෙගේ මාර්ගොපදේශකයාගේ බලපෑම පෙන්වන ආරාමික ජීවිතයේ විනය සම්බන්ධ කරුණු පිළිබඳවය.

වසර කිහිපයක මේ ආරණ්‍යක ජීවිතයෙන් පසු විවාදාත්මක ලේඛකයකු ලෙස නම් දරාගත් රාහුල හිමියෝ කොළඹට වැඩම කළහ. අධ්‍යයන කටයුතු දිගටම කිරීම උන් වහන්සේගේ අධ්‍යාශය විය. තම සොහොයුරු වික්ටර් හෑගොඩ මහතාගේ මූල්‍යාධාර මත උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමේ අභිලාසයෙන් උන් වහන්සේ ඉන්දියාවට වැඩම කළහ. සෞඛ්‍ය හේතු ඇතුලූ විවිධ හේතු මත මේ උත්සාහය අසාර්ථක වූ නිසා නැවැත ලංකාවට වැඩම කළ රාහුල හිමියෝ තම හිතමිතුරන්ගේ මාර්ගෝපදේශකත්වය මත ස්වයං අධ්‍යයනයේ යෙදුනහ. මේ මිතුරන් අතර ගණිතය හා විද්‍යාව ඉගෙනීමට අතදුන් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආචාර්යවරයකු වූ එස්. තංගරාජා මහතා සහ ඉංග‍්‍රීසි ඉගෙනීමට දායක වූ නාලන්ද විද්‍යාලයේ නේවාසිකාගාර පාලකයකු වූ ඞී. එස්. ගුණසේකර මහතා විශේෂයෙන් සඳහන් කළ යුතුය. උන් වහන්සේ ගමේ පාසලෙහි මාස කිහිපයක් ලත් අධ්‍යාපනය හැර සිලෝන් යුනිවර්සිටි කොලේජ් (ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලය) ආයතනයට ඇතුළත්ව ආචාර්යවරයා සහ උපදේශකවරයා ලෙස මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගෙන් අධ්‍යාපනය ලබන තෙක් වෙනත් කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොලැබූහ. මේ අවධියේදී රාහුල හිමියෝ අනාගත ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකයන් වන එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්. ඒ. වික‍්‍රමසිංහ ආදීන්ගේ සදාශ‍්‍රය ලැබූ අතර ලංකාවට සැපත් මහත්මා ගාන්ධි, හොරණ ශ‍්‍රීපාලි කොලීජියට මුල්ගල් තැබූ රවීන්ද්‍රනාත් තාගෝර් සහ දේශන මාලාවක් පැවැත්වීමට කොළඹට සැපත් ජේ. ක‍්‍රිෂ්ණමූර්ති වැනි ජාත්‍යන්තරව සම්භාවනීයත්වය ලැබූ විශිෂ්ටයන් මුණගැසීමට අවස්ථාව ලත්හ.

විවාදාත්මක අවධියක්: ආගමික හා දේශපාලනික ක‍්‍රියාදාම පිළිබඳ විවරණයක්

රාහුල තෙරුන්ගේ මේ ශිෂ්‍ය අවධියේ එක් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ බෞද්ධ භික්ෂූන්ගේ හා බෞද්ධ සාමාන්‍ය ගිහි ජනයාගේ බෞද්ධ පිළිවෙත් සම්බන්ධ විවිධ කරුණු පිළිබඳව සත්‍යොදය නමින් ලියා නොමිලේ බෙදා හරින ලද පත‍්‍රිකා යි. මේ පත‍්‍රිකා 1933 දෙසැම්බර් සිට 1934 සැප්තැම්බර් මස දක්වා කාලය තුළ ලියන ලදී(1). රටෙහි බහුතරයකගේ ආගම වන බුද්ධාගමෙහි ඉතා සංවේදී කරුණු පිළිබඳව මේ පත‍්‍රිකාවන්හි පළ කරන ලද අදහස් විවේචනාත්මකව සිතීම පිළිබඳ මාර්ගෝපදේශසංග‍්‍රහයකි. සමහර ජනප‍්‍රිය බෞද්ධ පිළිවෙත් බුදුරදුන්ගේ මූලික දර්ශනය හා කෙතරම් දුරට ප‍්‍රතිරෝධ වන්නේදැයි තියුණු විවේචනාත්මක බුද්ධියකින් යුතුව රාහුල හිමියෝ මේ පත‍්‍රිකාවලදී පෙන්වා දුන්හ. රාහුල තෙරුන්ගේ ප‍්‍රහාරයට ලක් වූ පිළිවෙත් අතර බුද්ධ පූජා ලෙස ආහාර පිරි නැමීම, සංඝයා අතර වන කුල භේදය, ධර්ම දේශකවරුන්ට ඔවුන් විසින් කරන ලද සේවයට ගෙවීමක් හා සමානව කරනු ලබන, ධර්ම පූජා යි වැරදි ලෙස වැරදි ලෙස නම් කෙරුණු පූජාව විය. රාහුල තෙරහු ඉතා තදින් මේ පිළිවෙත්වලට විරුද්ධව තර්ක කළ අතර ඒවා බෞද්ධදර්ශනය කෙතෙක් දුරට උල්ලංඝනය කෙළේදැයි පෙන්වූහ. මීට අතිරේකව, දෙවතාරාධනය, පෝය දිනය විශේෂ දිනයක් ලෙස සැලකීමේ සංකල්පය, සාංඝික දාන පිරිනැමීමේ පිළිවෙත හා ඒ හා සම්බන්ධ ජනප‍්‍රිය මතය, ත‍්‍රිවිධ රත්නයේ නාමයෙන් මුදල් රැුස්කිරීම, අනාගත ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් පින් කිරීම ආදිය උන් වහන්සේ ප‍්‍රශ්න කළහ. Continue reading වල්පොල ශ‍්‍රී රාහුල හිමි: පරමාදර්ශී භික්ෂුව පිළිබඳ ගවේෂණයක්

Advertisements