Category Archives: භාෂාව

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

රත්න ශ්‍රී විඡේසිංහ

සංවාදය
සඳුන් ප්‍රියංකර විතානගේ

රත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්‍රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්‌සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්‍ෂිප්ත සටහන පහතින දිගහැරේ.

කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතු මොනවාද?

මම කෙතරම් සාර්ථක දැයි කියන්න මම දන්නේ නෑ. නමුත් කලාකරුවෙක්‌ විදියට මම කුමක්‌ හරි සාර්ථකත්වයක්‌ අත්කරගෙන තිබෙනව නම්, එයට ප්‍රධාන හේතුව සාහිත්‍යය, විශේෂයෙන් ම සම්භාව්‍ය සාහිත්‍යය, සමඟ පවතින මගේ ළඟ ඇසුර. සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් මා ලැබූ ආභාසය මේ වගේ සාකච්ඡාවකට ගැළපෙන විදියට කෙටියෙන් කියන්න බැරි තරම් අති විශාලයි. මේ ඇසුර මම පටන් ගත්තේ පාසලේ හයේ හතේ පන්තියෙන්. එදා සිට අපේ ගෙදර ‘ධර්මප්‍රදීපිකාව’, ‘පූජාවලිය,, ‘බුත්සරණ’, ‘අමාවතුර’ වගේ පොත් තිබුණා. මම ඒවා කියවනවා. ස්‌නායු පද්ධතියේ කොහේa දොa සිට සාහිත්‍ය නිර්මාණයේ දී මේවා ගලනවා මගේ නිර්මාණවලට, වෙනස්‌ වෙනස්‌ රූපවලින්, මගේ දැනුමකින් තොරව. ඒක නිරුත්සාහික ක්‍රියාවලියක්‌. පසුව සංස්‌කෘත සාහිත්‍යය ඇසුරු කිරීමේදී මට හමුවෙනවා, කාලිදාස ලිව්වා යෑයි සැලකෙන “ශෘංගාරතිලකය” කෘතිය. එහි තිබෙනවා, “ඉන්දීවරෙන් නයනං මුඛ මම්බුඡේන කුන්දේන දන්ත මධරං නව පල්ලවේන” ආදි වශයෙන් වූ ශ්ලෝකයක්‌. ඉන් අදහස්‌ වන්නේ “නයන ඉඳුවර වගේ, මුව පියුමක්‌ වගේ, දත් කොඳ වගේ, තොල් ලා දලු වගේ” කියන එක. අද අපි ස්‌ත්‍රී රුව වනන්න භාවිත කරන උපමා රූපක ටික තිබෙන්නේ මේ ශ්ලෝකයේ. අපි විතරක්‌ නොවෙයි, ගුරුලුගෝමිත් මේක ආශ්‍රය කරගෙන තමයි සුළුකළිඟුදාව ලිව්වේ. සියලු දෙනා ම කලින් තිබ්බ සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය ලබනවා. ගුරුලුගෝමිට බොහෝ පසු කාලෙක ප්‍රේමකීර්ති ලියනවා “නා දල්ලට පාට දෙන්න ඔබෙ තොල් පෙති දෙන්න” කියල. ඒක ගුරුලුගෝමි කිව්ව එකේ විලෝමය. ගුරුලුගෝමි ස්‌වභාවධර්මය ගන්නවා කාන්තාව මවන්න. ප්‍රේමකීර්ති ඒක එපා කියනවා. ඔහු කාන්තාවට කියනවා ස්‌වභාවධර්මය නිර්මාණය කරන්න කියල. හරිම සෞන්දර්යාත්මකයි, මේ ගනුදෙනුව. මේක අලුත් එකක්‌ නේ. එහෙත් අලුත් එක නිර්මාණය කරන්න පරණ එක දැනගෙන ඉන්න ඕනෑ. ඒ කියන්නේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කර තිබෙන්න ඕනෑ.

සම්භාව්‍ය සාහිත්‍යයේ තිබෙන්නේ අවුරුදු දස දහස්‌ ගාණක්‌ තිස්‌සේ එක්‌ රැස්‌ වෙච්ච කලාවේ සාරය. කවුරුන් හෝ සම්භාව්‍ය සාහිත්‍යය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඔහු හෝ ඇය කරන්නේ ඒ සමස්‌තය ප්‍රතික්‍ෂේප කිරීමක්‌. කෙනෙකු ගේ කෙටි ජීවිත කාලය තුළ දී මහා සාගරය වගේ තිබෙන කලාව තනිවම මුල සිටම ග්‍රහණය කර ගන්න බැහැ. Art is long but life is short යනුවෙන් ට්‍රොට්‌ස්‌කි කියන්නේ මේක යි. එනම් “කලාව දීර්ඝ යි, ජීවිතය කෙටි යි” යන්නයි. තමන් ගේ කෙටි ජීවිත කාලය තුළ දී මුළු ජීවිත කාලය ම උත්සාහ කෙරුවත් කෙනෙකුට මේ දැවැන්ත කලාවෙන් බින්දු මාත්‍රයක්‌ පමණයි ගන්න පුළුවන්. තනි මිනිහෙකුට තමන් ගේ ජීවිත කාලය තුළ දී මුල සිටම කලාව තනිවම සොයා ගන්න බැහැ. සම්භාව්‍ය සාහිත්‍යය ඕන වෙන්නේ ඒක යි. එහි තිබෙනවා මේ තාක්‌ හොඳ ම සාරය, එය දැන සිටියාම එතන සිට ඉදිරියට යා හැකියි. අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම සම්භාව්‍ය සාහිත්‍යය නොදන්නා කෙනෙක්‌ කරන්නේ අලුත් යෑයි සිතා පරණ දේවල් ම නිර්මාණය කිරීමයි. ඉදිරියට යනවා යෑයි සිතුවාට යන්නේ පස්‌සටයි. දැනට ම තිබෙන දේවල්මයි කරන්නේ. නූතන යෑයි හිතුවට කරන්නෙ පරණ වැඩ. අලුත් දේවල් කරන්න නම්, සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කරන්න ඕනෑ. කලාව කියන්නෙ අපූර්ව දේවල් නිර්මාණය කිරීමක්‌. අපූර්ව කියන්නේ පෙර නොවූ විරූ කියන එක. පෙර නොවූ විරූ ඒවා නිර්මාණය කිරීමට නම්, පෙර විරූ ඒවා දැන සිටිය යුතුයි. ඒවා තිබෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයයේ. ඒ නිසා සම්භාව්‍ය සාහිත්‍යයයේ ඇසුර නොමැතිව කලා නිර්මාණකරණය ගැන හිතන්නවත් බෑ. එහෙම පුළුවන් කියල කවුරු හරි හිතනවා නම් ඒක බරපතළ මුලාවක්‌.

ඔබේ නිර්මාණවල සම්භාව්‍ය සාහිත්‍යයේ එන යෙදුම් නූතන වාග් ව්‍යවහාරය සමඟ ගළපා කරන ලද සාර්ථක අත්හදා බැලීම් දකින්නට පුළුවන්. නමුත් අද බොහෝ නිර්මාණවල මේ ලක්‍ෂණය දකින්නට ලැබෙන්නෙ අඩුවෙන්?

මෙය පෙර ප්‍රශ්නයටම සම්බන්ධ යි. මේ දේ හොඳින් තේරුම් ගත යුතුයි. සම්භාව්‍ය සාහිත්‍යය හදාරන්නය කීමෙන් අදහස්‌ කරන්නේ ආචීර්ණ කල්පිත පැරැණි ලෝකයට යා යුතු බව නොවේ.

කවුරුවත් ඒක කරන්න යන්නේ නැහැ. මේ කියන්නේ නූතන විද්‍යාවේ හා තාක්‍ෂණයේ ජයග්‍රහණයන් පිළිගන්නවාත් සමගම සම්ප්‍රදායේ තිබෙන ගතානුගතික දේවල් බැහැර කළ යුතුයි කියන එක යි. සම්ප්‍රදායයේ ගතානුගතික දේ බැහැර කර එය අතික්‍රමණය කළ යුතුයි කියන එක යි. කලාවේ දී ඒ සඳහා සම්ප්‍රදාය පිරිසිඳ දැන ගත යුතු යි. පරතෙරට ම දන්නෙ නැති දෙයක්‌ අතික්‍රමණය කරන්න බැහැ. මුළු ලෝකය පුරාමත් මේ රටේත් ශ්‍රේෂ්ඨ කලාකරුවන් සියලු දෙනා ම කළේ ඒක. මුලින් සම්ප්‍රදාය පිරිසිඳ දැනගන්නවා. ඊට පස්‌සේ ඒකෙ ගතානුගතික දේවල් බිඳිනවා. අතික්‍රමණය කරනවා කියන්නේ ඒකයි. සාහිත්‍යයේදී මෙය කිරීමට නම් සම්භාව්‍ය සාහිත්‍ය හැදැරිය යුතුයි. එහෙම අවශ්‍ය නැති බව කවුරුන් හෝ පවසනවා නම් එය මහන්සි නොවී මුදල් සෙවීම සාධාරණීකරණයට කියන කතාවක්‌. සම්ප්‍රදාය හදාරපු අයට තමයි ඒක බිඳින්න පුළුවන්. බිඳින එක නේ නූතන වෙන්නේ. ඉතින් සම්ප්‍රදාය පරතෙරට හදාරපු නැති අයට කවදාවත් ඒක බිඳින්න බෑ. ඒ නිසා කවදාවත් ඒ අයට නූතන වෙන්නත් බැහැ.

සාහිත්‍ය නිර්මාණයේ දී අපි නව විද්‍යාත්මක වාග් ව්‍යවහාරයේ එන දේ සම්භාව්‍ය සාහිත්‍යයේ එන දේ සමඟ යොදනවා. නමුත් ඒක ගැළපෙන ලෙස කළ යුතුයි. වචන එක එකක්‌ අනිත් ඒවත් එක්‌ක ගැළපෙන්න ඕනෑ. මෙය හඳුන්වන්නේ “ප්‍රකරණය” ලෙසින්. මේක අද ඊයේ සොයා ගත් දෙයක්‌ නොවේ. භර්තෲහරී කියන්නේ ක්‍රිස්‌තු වර්ෂ 6 වැනි සියවසේ ඉන්දියාවේ හිටපු වාග් විද්‍යාඥයෙක්‌. නූතන වාග් විද්‍යාවේ පීතෘවරයෙක්‌ ලෙස සැලකෙන 19 වැනි සියවසේ හිටපු ඩී සෝසියර්ටත් බොහොම ඉස්‌සර. භර්තෲහරි ඔහුගේ ‘වාක්‍යපදිය’ කියන පොතේ සඳහන් කරනවා, භාෂාවේ වචනවලට කේවල තේරුම් නැති බව. ඉන් අදහස්‌ වන්නේ වචනයක තේරුම් එන්නේ “යෙන්” කියන ප්‍රකරණයෙන්. තේරුම ලැබෙන්නේ වචනයක්‌ වෙනත් වචන එක්‌ක වාක්‍යයක යොදන ආකාරය අනුව. වචන එහෙම එකිනෙකට ගැළපෙන ලෙස යොදනවා නම් එයයි ප්‍රකරණය. ඒ නිසා හරියට ගළපන්න දන්නවා නම්, අලුත් වචන විද්‍යාවට තාක්‍ෂණයට සම්බන්ධ වචන වුණත්, යොදා ගන්න පුළුවන්. එහෙම යෙදිය හැකි වෙන්නේ අවශ්‍ය සංදර්භය, එනම් ඒ වචනවලට අදාළ පරිසරය, නිර්මාණය කිරීමෙනුයි.

පසුගිය සති අන්ත පුවත්පතක ගුණදාස අමරසේකරයන් ප්‍රශ්න කර තිබුණා, ‘සිමෙන්ති’ කියන වචනය කවියේ දී පාවිච්චි කිරීම ගැන. ‘ආදරයේ සිමෙන්ති’ යන්න කොහොමටවත් යෙදීමට නොහැකි බව එතුමා පවසා තිබුණා. ඉන් පැහැදිලිවන්නේ එතුමා සඳහන් කළ අවස්‌ථාවේ දී ප්‍රකරණය හරියට යෙදී නැති බවයි. නමුත් සිමෙන්ති යන වචනය කවියට යොදා ගැනීමට නොහැකි කමක්‌ නැහැ. ආගන්තුක නොවන ආකාරයට සුදුසු පරිසරයක එය පාවිච්චි කළොත්, ඒක සාර්ථක කරගන්න පුළුවන්.

සාහිත්‍යය හරහා දරුවන්ට සම්ප්‍රදාය කුමක්‌ දැයි අවබෝධ කර දිය යුතු යි. නමුත් ඒක සිදුවන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනකු සම්ප්‍රදාය හා ගතානුගතිකත්වය යන සංකල්ප දෙක පටලවා ගෙන ඒ දෙකම එකක්‌ බවයි හිතන්නේ. යහපත් ආකල්ප වර්ධනයට මේ පැටලැවිලි බරපතල ලෙස බලපානවා. මෙවැනි බොහෝ ප්‍රශ්න විස¹ ගන්න පුළුවන්, සාහිත්‍යයට නැඹුරු වුණු නිර්මාණශීලී පරපුරක්‌ බිහි කර ගන්නට පුළුවන් නම්. එහි දී වැදගත් ම වැඩ කොටසක්‌ පැවරෙන්නෙ ගුරුවරුන්ට. ඔබත් ගුරුවරයෙක්‌, මේ කතිකාවේ දී ගුරුවරයා සිටින්නේ මොන වගේ ස්‌ථානයකද?

අතීතයේ පාසල්වල අතිශයින් ක්‍රියාකාරී වැඩ කළ ගුරුවරු සිටියා. ඔවුන් බොහෝ විට, සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වපු ගුරුවරු වුණා. ඔහුට පුළුවන්කම තිබුණා, අනෙක්‌ බොහෝ විෂයන් උගන්වන්න. ඔහු සාහිත්‍ය පාඩම උගන්වන්න ආවම චිත්‍රයක්‌ අඳිනවා, කවි ගායනා කරනවා, රඟ දක්‌වා පෙන්වනවා. ඒ හැම එකක්‌ ම ඔහුට පුළුවන්. රූපණ හැකියාව, ගායන හැකියාව, ඇඳීමේ හැකියාව ආදි ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ ආවරණය කරන්න ඔහුට හැකියාව තිබුණා. එවැනි ගුරුවරු අද නැහැ. අද දවසේ ඒ වගේ ගුරුවරුන් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වී තිබෙනවා. ඒ කාලෙ ගුරු විද්‍යාලවල සිංහල පුහුණු පාඨමාලාවක්‌ තිබුණා. වර්තමානයේදීත් විද්‍යාපීඨ එකක හෝ දෙකක ඒක තිබෙනවා. නමුත්, එය කෙතරම් හොඳින් ක්‍රියාත්මකයි ද කියන්න මම දන්නේ නැහැ. පාඩමක සටහන් ලියද්දී ව්‍යාකරණ නිවැරැදි ව යෙදීම සිංහල ගුරුවරයාට පමණක්‌ අදාළ දෙයක්‌ නොවෙයි. ඒක විද්‍යාව සහ අනෙක්‌ විෂයන් උගන්වන ගුරුවරුන්ටත් අදාළ යි. මම කලක්‌ විද්‍යා ගුරුවරයෙක්‌ ලෙස කටයුතු කළා. මම සැමවිටම ව්‍යාකරණානුකූලව සටහන් ලිවීමට දරුවන් උනන්දු කළා. භාෂා දැනුම දුර්වල නම් දරුවන්ට කොපමණ දැනුම තිබුණත් වැඩක්‌ නැහැ. දැනුම කොහොම ද ඔවුන් ප්‍රකාශ කරන්නෙ, නිවැරැදිව, නිරවුල් ව, භාෂාව නො දැන. භාෂාව මාධ්‍ය කරගෙනයි අපි හැම දෙයක්‌ ම කරන්නෙ. මාධ්‍ය වන භාෂාව දුර්වල නම් සියල්ල දුර්වලයි. අපි හිතන්නෙත් භාෂාවෙන් බව බොහෝ දෙනකුට අමතකයි. භාෂාව නිවැරැදි නැත්නම් හරියට හිතන්නත් බෑ. ඒ වගේ ම හිතන දේ කියන්නත් කියන දේ ලියන්නත් හැකිවෙන්න භාෂාව අවශ්‍යයි. ඒ හැම එකක්‌ ම අද ඉතාමත් දුර්වල අඩියක තිබෙන්නේ. අද ගුරුවරු පරිහරණය කරන කලා කෘති දෙස අවධානය යොමු කළාම කම්පාවක්‌ දැනෙනවා. ඒවා බොහොම පහත් අවර ගණයේ ඒවා. එය වහා නිවැරැදි කර ගත යුතු තත්ත්වයක්‌. සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වන ගුරුවරු විශේෂයෙනුත්, පොදුවේ අනෙක්‌ ගුරුවරුත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනගැනීමත්, රසාස්‌වාදන හැකියාව ලබා ගැනීමත් අත්‍යවශ්‍ය යි.

අනෙක්‌ වැදගත් ම ප්‍රශ්නය තමයි, දැන් තිබෙන විද්‍යා විෂයන් සහ කලා විෂයන් අතර පරතරය. අද දරුවන් ගෙන් ඇහුවොත් විද්‍යාව කියන එකේ විරුද්ධ වචනය මොකක්‌ ද කියලා, උත්තරය දෙන්නේ කලාව කියලා. විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව මිස කලාව නොවෙයි. විද්‍යාව සහ කලාව අතර පරතරය මේ මෑත කාලයේ නිර්මාණය කළ එකක්‌. විද්‍යාව සහ කලාව දෙක ම එකට ගමන් කළ යුතු විෂයන් දෙකක්‌. ඒ නිසා මේ පරතරය වහා ම නැති කළ යුතු ම දෙයක්‌ ව තිබෙනවා.

ඒ අධ්‍යාපනයේ තත්ත්වය. බාහිර සමාජයේ තිබෙන ශාස්‌ත්‍රීය හා සාහිත්‍ය සම්ප්‍රදායන් ගැන ඔබට පෙනෙන්නේ මොන වගේ දෙයක්‌ ද?

කනගාටුයි කියන්න, සාහිත්‍යය සහ ශාස්‌ත්‍රීය කියන අංශ දෙක වෙත ම අවධානය යොමු කළා ම පෙනෙන්නේ ශාස්‌ත්‍රීය කටයුතු සිල්ලර මට්‌ටමට වැටිලා. සාහිත්‍ය කටයුතු ඊටත් වඩා සිල්ලර මට්‌ටමට වැටිලා. විශ්වවිද්‍යාලවලින් කෙරෙන ශාස්‌ත්‍රීය කටයුතු ඉහළ මට්‌ටමක නැහැ. විධිමත් ව ගැඹුරක්‌ ඇති ව හදාරා මේ කටයුතු කළ යුතු බව නො සලකා හැරලා. තවමත් පරිහරණය වෙන්නේ, සරච්චන්ද්‍රයන් ගේ, වික්‍රමසිංහයන් ගේ, අසරසේකරයන් ගේ පොත්. මෑත කාලයේ දී ගම්ලතුන් ගේ පොත්. අලුතෙන් ගැඹුරු විෂය කරුණු හැදැරීමක්‌ සිද්ධ වෙලා නැහැ.

ඔබ සෑම විට ම අලුත් පරම්පරාව සමඟ කටයුතු කරන, ඔවුන් ගේ නිර්මාණ කාර්යයන්වලදී අතහිත දෙන කෙනෙක්‌. ඔවුන් මේ භාෂා සාහිත්‍ය හැදැරීම ගැන තිබෙන උනන්දුව සහ ඒ පිළිබඳ ඔවුන් ගේ ආකල්ප කෙබඳු ද?

මම රාවය සඟරාව පටන් ගත්ත කාලේ සිටම එනම් නවසිය අසූහයේ සිට එහි කවිපිටුව සංස්‌කරණය කරනවා. දැනටත් විශාල පිරිසක්‌ එක්‌ක ගනුදෙනු කර තිබෙනවා සහ කරමින් සිටිනවා. ගුරුවරයෙක්‌ ලෙස දිගු කාලයක්‌ වැඩ කළා. දේශන, වැඩමුළු ආදියට සම්බන්ධ වෙනවා. අධ්‍යාපන, මාධ්‍ය හා කලා ක්‍ෂේත්‍රවල බොහෝ දෙනෙක්‌ සමඟ සම්බන්ධ වෙනවා. ඒ මුණගැහුණු අය අතරේ හැදැරීමට උනන්දුවක්‌ තිබෙන අය ටිකෙන් ටික අඩු වුණා. ඒකට එක්‌ හේතුවක්‌ තමයි ශාස්‌ත්‍රාලීය මට්‌ටමෙන් ඒවා උගන්වන්න කාගෙවත් උනන්දුවක්‌ නැතිවීම. ගුරුවරුන් ගේ වුණත් ඒ අවබෝධය බොහෝ දුරට අඩු වෙලා තිබෙන්නෙ. ප්‍රධානම කාරණය මේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමය.

අධ්‍යාපන ක්‍රමය එහෙම වුණාට නිර්මාණකරණයේ යෙදෙන අයට උනන්දුවක්‌ තිබෙන්න ඕන මේක හදාරන්න. ඔවුන්ට එවැනි උනන්දුවක්‌ ඇත්තේ නැහැ. එහෙම හදාරන්න තැනකුත් නැහැ. එකම මාර්ගය ස්‌වයං අධ්‍යයන ක්‍රමයයි. ඒක බරපතළ ලෙස කියන්න ඕන. නමුත් ඒක කරන්නෙත් නැහැ. බොහොම ලෙහෙසි කෙටි පාරවල් හොයන බහුතරයකුයි ඉන්නෙ. අලුත් පරම්පරාව ගැන සතුටි විය නොහැකියි. ඔවුන් නිර්මාණ ශක්‌තිය නැති අය නොවෙයි. නිර්මාණකරණයට දක්‍ෂ, විභවයක්‌ තිබෙන අය බොහොමයක්‌ ඉන්නවා.

ඔබ අලුතෙන් දියත් කරන්නට යන භාෂා සාහිත්‍ය කලා සරසවිය පිළිබඳව පැහැදිලි කළොත්?

මට වුවමනායි, තව ඉගෙනගන්න. මට වුවමනායි, භාෂා සාහිත්‍ය කලා ශාස්‌ත්‍රවල ගැඹුරට ම කිමිදෙන්න. ඒ වගේ ම, මගේ දැනුම යාවත්කාලීන කරගන්න. හැදැරීම මම කවදාවත් නවත්වන්නේ නෑ. දැන් ඒක කරගන්න අගනා අවස්‌ථාවක්‌ ලැබී තිබෙනවා නව සරසවිය මගින්. වඩාත්ම සතුටට කරුණ වන්නේ අපට අද ඉන්න ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මේකේ උගන්වන එක. මේක අගනා අවස්‌ථාවක්‌. අපි හැමෝම දන්නවා අපේ ගුරුවරුන් දැන් වයස්‌ගත බව. අපට මෙතැන් සිට ඉදිරියට යන්න වුවමනා නම්, වැඩ කරන තරුණ පරපුර යෂ්ටිය අතට ගන්න ඕනෑ. ඒක කරන්න නම් භාෂා සාහිත්‍ය කලාවන් ගැඹුරින් හැදැරිය යුතුයි. නිසැක වශයෙන් ම මට කිව හැක්‌කේ මේ ඔවුන්ට ලැබෙන අවසාන අවස්‌ථාව බවයි.

ඒක නිසා විශ්වවිද්‍යාලවලට දොස්‌ කියමින් ඉන්නෙ නැතිව මේ ලැබුණ අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු. මම ආරාධනා කරනවා, කලාකරුවන් හැම දෙනාටමත්, නිර්මාණ සාහිත්‍යයට උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනාටත්, මාධ්‍ය කටයුතුවල යෙදෙන සන්නිවේදකයන්ටත්, ගුරවරුන්ටත්, විශේෂයෙන් ම භාෂා සාහිත්‍යය උගන්වන ගුරුවරුන්ටත්, ඒ වගේ ම කලා රස වින්දනය ගැන උනන්දු සියල්ලන්ටත් මෙයට සහභාගි වන ලෙස.

මෙය බෘහස්‌පති භාෂා සාහිත්‍ය කලා සරසවිය යි. පාඨමාලාව විෂයන් 10 කින් සමන්විත යි. ඒ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, සිංහල සාහිත්‍යයේ ඉතිහාසය, සිංහල භාෂාව, සිංහල භාෂාවේ ඉතිහාසය, නූතන සිංහල සාහිත්‍යය, නිර්මාණශීලි සිංහල ලේඛනය හා කථනය, ලෝක සාහිත්‍යය (ඉන්දියානු, අප්‍රිකානු, රුසියානු, ඉංග්‍රීසි, ප්‍රංශ), භාෂාවේ ඉතිහාසය, කලාවේ ඉතිහාසය, කලා විචාරය. දේශන සති අන්තයේ දිනක කොළඹ දී පැවැත්වෙන්නේ. එකම දේශනය සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ ම පැවැත්වෙන නිසා ඕනෑම කාර්යබහුල කෙනෙකුට දින දෙකෙන් ඕනෑ ම එකක්‌ තෝරා ගෙන මෙයට සහභාගී විය හැකි යි. ගුරුවරුන්ටත්, කලාකරුවන්ටත්, මාධ්‍යවේදීන්ටත්, භාෂාවෙන් වැඩ කරන වෘත්තිකයන්ටත් භාෂාව, සාහිත්‍යය හා කලා විචාරය මෙහි දී ගැඹුරෙන් ම ඉගෙන ගත හැකි යි. බෘහස්‌පති භාෂා සාහිත්‍ය කලා සරසවිය, 4/65, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02. ඊ-මේල් මගින් මේ ලිපිනයට එවන්නත් පුළුවන් bruhaspathi.lk@gmail/com

දිවයින වටමඬල

Advertisements

භාෂාව

” ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.”

ෂාරුක්ට ආචාර්ය පදවියක් !
ඩී. බී. කුරුප්පු

මේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. මගේ ලිපියේ සිරස්තලය හැටියට එය යොදා ගත්තේ, එයින් සිංහලයේ වත්මන් නැඹුරුවක් පිළිබිඹු කැරෙන නිසාය. මෑතක දී ආසියානු ක්‍රීඩා උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලාංකික කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගය නියෝජනය කරන බව සඳහන් වූයේ ද පුවත්පතකය. ඒ දෙකින්ම මා පුදුම නොවූයේ ඊට කලින් මෙල්බර්න් පත්තරයකට මෙහි වසන ශාස්ත්‍රපති උපාධිධාරී හිමිනමක් ලියූ ලිපියක තිබුණු වචනයක් නිසාය. උන් වහන්සේ ලියා තිබුණේ තමන් වෙත පිය නගන බුදු රදුන් දුටු පස්වග තවුසන් උන් වහන්සේට ගරුසරුවක් නොදක්වන්නට කතිකාවක් ඇති කරගත් බවය. විචාරයක් නැතිව වචන භාවිතය ගිහි පැවිදි දෙපසටම පොදු ලක්ෂණයක් වී ඇතැයි කිව යුතුය.

මා දකින දුබලතාවක් වන යට කී ප්‍රවණතාවට සමාන තවත් යෙදුමක් බොහෝ විට දක්නට ලැබෙයි. ඒ අනවශ්‍ය තැනටත් ඉංගිරිසි වචන යොදා ගැනිමය. ටයිල් පොළොව, කොමඩි චරිත, ගල් කොරිය යන වචන නිදසුන්ය. ගල් කොරිය දකින විට මට මතක් වන්නේ දෙහිවල ගල්වළ පාරය. ඔය නමත් අර ඉංගිරිසි වචනය අනුව යෙදූවකි. අදත් එය ඒ නමින්ම ඇතැයි සිතමි.

වචන අනවශ්‍ය ආකාරයට දික් කිරිම තවත් ලක්ෂණයකි. විචිත්‍ර යන්න විචිත්‍රවත් යනුවෙන් ලිවීමෙන් ලැබෙන අමුතු එළියක් නැත. විශේෂ යන්න තවත් තියුණු කරනු වස් ‘සු’ උපසර්ගය යොදනු ලැබේ. එහෙත් ඒ පදයේ අගට ‘ඊ’ ප්‍රත්‍යයක් යොදා සුවිශේෂී යනුවෙන් දිගු කරන්නේ ඇයිදැයි නොදනිමි. සුන්දර යන පදයෙන් සකස් කර ගන්නා නාමය ‘සෞන්දර්ය’ ය. එයිනුත් තවත් විශේෂයක් නිර්මාණය කිරිමට ‘සෞන්දර්යාත්මක’ යනුවෙන් හැඩ ගැසුවත් සුන්දර යන අරුතම දෙන බවයි මා කල්පනා කරන්නේ.

පැහැදිලිව ම විලාසිතාවක් බවට පත්ව ඇති මේ ප්‍රවණතාව වූ කලී හොද්දට පැණි දැමීමට වැඩි දෙයක් නොවේ. ජීවිතය වන පදයේ බහුවචන රූපය ජීවිත යන්නය. එහෙත් එය ජීවිතයන් යනුවෙන් ලිවීමේ නැඹුරුවක් ඇත. මගේ ජීවිතයේ දී අපේ ජීවිතයේ දී යනුවෙන් ඒක වචන බහුවචන අර්ථ දීමට එකම රූපය යෙදීම සිංහල වහරට හුරු වූවකි. එසේ තිබිය දී ජීවිතයන්වල බහු වචන යෙදීම විහිළුවකි. නරියා, රථය, පෙරහැර යන වචන බහුවචනයේ යෙදෙනුයේ නරි, රථ, පෙරහැර (වල්) යනුවෙන් වුවත්, නරියන්, රථයන්, පෙරහැරයන් යනුවෙන් ලියන උගත්තු ද ඇත. මට මතක් වන්නේ වසර තිස් හතකට උඩ දී රාජ්‍ය භාෂා ‍දෙපාර්තමේන්තුවේ මගේ සගයකු ‘කොළයන්’ යැයි ලියූ විට අප ඔහුට විහිලු කළ හැටිය. එදා නම් ඔහුත් ඒ වරද පිළිගත්තේය.

බසක් දියුණු වත්ම පැරණි වදන් වෙනස්වීමත්, වහර විදි පවා කාලානුරූපව හැඩ ගැසීමත් විය යුත්තකැයි සිතමි. එහෙත් ඒ වෙනස පමණක් නොව බැහැරින් අලුතින් ගන්නා වදන්ද බසට අනුරූප විදියට හැඩ ගස්සා ගැනීම එක්තරා පිළිවෙලකට, සංයමයකින් යුතුව සිදු විය යුතු යයි සිතමි. එකී සංයමය හෙවත් ශික්ෂණය හඳුන්වනුයේ වියරණය යනුවෙනි. ලේඛකයා සතු එකම අමුද්‍රව්‍යය වන වචන හා බස හැසිරවීමෙහිලා මේ ශික්ෂණය අත්‍යාවශ්‍යය. ලේඛකයා සිය නිර්මාණය කෙරෙහි යොමු විය යුත්තේ එම අමුද්‍රව්‍ය අරපිරිමැස්මකින් හා උපරිම පල නෙළා ගතහැකි ආකාරයට භාවිත කිරීමේ ශක්තියක් හා කිසියම් අතහුරුවක් ඇතිව බව සිතමි. ඉංගිරිසි ඇතුලු අනෙක් බසකින් ලියන කවුරුන් වුවත් එය හැසිරවීමේ දස්කමක් නොමැතිව ලිවීමට පසුබට වන්නේ ඒ නිසාය. සිංහල ලියන්නන් සමහරකු මෙය නොසලකන්නේ ඇයි ද යන්න නැගිය යුතු ප්‍රශ්නයකි.

ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි. Continue reading භාෂාව

භාෂාව

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා”
රත්න ශ්‍රී විඡේසිංහ

බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ රත්න ශ්‍රී විඡේසිංහ මහතා

සාහිත්‍යය යනු කලාවක්‌. මිනිසුන්ගේ හැඟීම් අවදිමත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මිනිසුන්ට ලබා දෙන කලා කෘතිය උත්තම හෝ අධම වන්නේ එහි ඇති මානව ගුණ දහම මතයි. යහපත් ගුණ ගරුක මිනිසුන් ජීවත් කරවීම බිහිකිරීම මෙහි අරමුණ වෙනවා. පිරිපුන් මිනිසකු බිහිවීම තුළ රට ලොව ගොඩ නැගිය හැකියි. රටේ සංවර්ධනය සඳහා ද සාහිත්‍ය කලාව ද යොදා ගැනීම කළ යුතුයි. එහිදී මානව සංවර්ධනය රටේ ජනතාව තුළ ඇති කිරීම තුළ අපට එකී බලා පොරොත්තුව ඉටු කළ හැකියි. සිංහල භාෂාව තරම් සුන්දර භාෂාවක්‌ ලෝකයේ නෑ. මේ නිසා අප අපගේ භාෂාව රැක ගැනීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා කීය.

2009 අගෝස්තු 17, දිවයින පුවත් පතෙනි