Category Archives: මහජන සෞඛ්‍යය

මහජන සෞඛ්‍යය

අපි කන වස – දෙවැනි කොටස
ආරිය සුබසිංහ


පසු අස්වනු කාලය

‘පසු අස්වනු කාලය’ යැයි වස විස සඳහා නීතියෙන් නියම කරන ලද කාල සීමාවක් තිබේ. එනම්, අවසාන වතාවට වස විස ගැසීමත් අස්වනු නෙළීමත් අතර කාලයයි. එය අඩුම තරමින් සති දෙකක් විය යුතුය. අවසාන වතාවට වස විස ගසා සති දෙකක් වත් යන තෙක් ඔබ එකී ද්‍රව්‍ය ආහාරයට නොගත යුතු බව එහි අදහසයි. ඒ සති දෙකේ කාලය තුළදී එකී වස විස වියෝජනය වී යන්නට යම් ඉඩක් තිබෙන බව වස විස නිෂ්පාදකයෝ කියති.

එය සත්යල වුවත් නැතත් ගොවියාට වෙනසක් නැත. ඔහු පසු අස්වනු කාලය සතේකට මායිම් නොකරයි. එය අප කළ සමීක්ෂණවලදී පැහැදිලිවම පෙනී ගිය කරුණකි. හෙට අස්වනු නෙලන වගාවට අදත් වස විස ගැසීම සාමාන්‍ය දෙයකි. සැබවින්ම කියතොත්, වැඩිපුරම වස ගසන්නේ අස්වනු නෙලන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. ‘ඉළ ඇදෙන කං නැහිල, මෙච්චර වියදං කරල අන්තිම දවස් ටිකේ මෙව්ව නිකං සත්තුන්ට කාල යන්න දෙන්ඩ පුළුවනෑ’.

වී වගාවට වැළඳෙන දුඹුරු පැල කීඩෑ හානිය කවුරුත් අසා ඇති දෙයකි. එය වැළඳෙන්නේ පැසී, අස්වනු නෙලන්නට ඔන්න මෙන්න කියා ඇති ගොයමටය. එයට වස ගසනු ලැබේ. ඊළඟට සතියක් පමණ ඇවෑමෙන් ඒවා කපා, පාගා අලෙවි කරනු ලැබේ. පසු අස්වනු කාලය ක්‍රියාත්මක වන්නේ එහෙමය.

වෙළෙඳපොළට ගෙන යෑමෙන් පසු තොග වෙළෙන්දා විසින් ද එළවළු ගොඩට වස ගස ගසන බව අපි දැන ගත්තෙමු. ඒ සිල්ලර වෙළෙන්දා ළඟට යන තෙක් නරක් නොවී තබා ගැනීමටය. එය වී සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ වී තොග ගබඩාවේදී, ගුල්ලන් වැනි සතුන්ගෙන් බේරා ගැනීම සඳහාය.

බොහෝ ගොවියන් ‘පසු අස්වනු කාලය’ යන ඒ වචනය වත් අසා නැත. ‘මොකද්ද අප්පොච්චියෙ ඒ. තවත් ගිනි ගෙඩියක් වද්ද මහත්තයො?’ යි ඔවුහු අසති. අනෙක් අතට, අලෙවි කරන්නට සූදානම් කර ගොඩ ගසා ඇති එළවළු, පළතුරු ගොඩටත් වස ගසන රටේ පසු අස්වනු කාලය ගැන කතා කිරීමද විහිළුවකි.

සති දෙකක් ඇවෑමෙන් වස විස වියෝජනය වී යනවාද? යන්න තව ප්රිශ්නයකි. එය එසේ නම් වසර 12ක් පැරණි වස විස අවශේෂ පොළොවේ හා ජලයේ තිබී හමු වන්නේ කෙසේද?
ලොව භාවිත වන කෘත්‍රිම පළිබෝධනාශක ප්රනධාන කාණ්ඩ තුනකට බෙදිය හැක. එනම්, ක්ලෝරීන් අඩංගු කාබනික සංයෝග, පොස්පරස් අඩංගු කාබනික සංයෝග හා කාබමේට යනුවෙනි. ක්ලෝරීන් අඩංගු කාබනික සංයෝග ඒ අතරින් වඩාත්ම දරුණු වේ. ඒවා වහා වියෝජනය නොවේ. ඩී.ඩී.ටී., බී.එච්.සී., හෙප්ටාක්ලෝර්, ඇල්ඩ්‍රින්, ඩිඇල්ඩ්‍රින් ආදිය නිදසුන්ය. ඒවා වසර 13ක් තරම් කාලයක් වියෝජනය නොවී පවතින බව විකිරණශීලී කාබන් යොදා ගෙන කළ පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. ඒවා මොන තරම් විනාශකාරීද යත් දියුණු රටවල් ඒවා තම රටවල් තුල පාවිච්චිය තහනම් කර තිබේ. එහෙත්, ඒවා නිපදවා තුන්වැනි ලෝකයේ රටවලට අපනයනය කිරීම නවතා හෝ තහනම් කර නැත.

දියුණු රටවලින් තිබෙන ඉල්ලුම අඩු බැවින් ඒවා මිලෙන් අඩුය. ඉතින් අපේ සමාගම්වලට ගජ වාසි ය. පහසුවෙන් වියෝජනය නොවන බැවින් ඒවා වැඩි කාලයක් ශාක තුළ හා පරිසරයේ රැඳී පවතිමින් පළිබෝධකයන් මර්දනය කරයි. ඒ සියල්ල ලාභය පමණක් සිතන ගොවියෙකුගේ පැත්තෙන් බලද්දී ද වාසිදායක කරුණු වේ. එබැවින් පමා වී වියෝජනය වසවිස වලට අපේ වැනි රටවල ගොවීන්ගෙන් අධික ඉල්ලුමක් තිබේ.

තව පැත්තක් මේ සම්බන්ධයෙන් තිබේ. වසවිස වියෝජනය වී ඇති වන කුඩා, කුඩා රසායනික අංශු විෂ රහිත ද? යන්නයි. එය විසඳී නැති ප්‍රශ්නයකි. ඒවා මුල් සංයෝග වලටත් වඩා විෂ දැයි තවම දන්නේ ලෝක පාලන බලවේග පමණි. ප්‍රශ්නයට වඩා පිළිතුරු දරුණු වූ අවස්ථා ඉතිහාසය පුරා ඕනෑ තරම් තිබේ.

රසායනික පොහොර එක් අතකින් බලද්දී වසවිසටත් වඩා දරුණුය. ඒ කැඩ්මියම් වැනි බැරලෝහ අපද්‍රව්‍ය ඒවායේ අඩංගු බැවිනි. ඒවා ජලයේ දිය වී, ළිංවල ඇති බොන ජලයට පවා මුසු වේ. එකී අපද්‍රව්‍ය විශේෂයෙන් වකුගඩුවලට හානිකරය. රසායනික පොහොර පෙට්රෝලියම් කර්මාන්තයේ අතුරු ඵලයකි. බොරතෙල් උණු කොට, පෙට්රල්, ඩීසල්, ලිහිසි තෙල් ආදී සියල්ල වෙන් කර ගත් පසු ඉතිරි වෙන මංඩියෙනි, රසායනික පොහොර සාදන්නේ. බැරලෝහ අපද්‍රව්‍ය පොහොරට එන්නේ එහෙම ය, පොළොව අභ්‍යන්තරයේ අතිශය ගැඹුරෙන්ලබා ගන්නා නිසාය. ඒවා වියෝජනය වී නොයයි, ඔබේ සිරුරට ඇතුළු වුව ද ඔබ මිය ගොස් සිරුර දිරාපත් වෙද්දී නැවත පසට හා ජලයට එකතු වේ. ‘රසායනික පොහොර වසවිසටත් වඩා දරුණු ය’ යි කීවේ එබැවිනි.

දියුණු රටවල මේ තත්ත්වයන් අවම කර ගෙන තිබේ. ඒ නීති රීති හා රෙගුලාසි පැනවීම හරහා සහ ජනතාව දැනුවත් කිරීම හරහාය. අඩු තරමින් ඔවුහු සිය රටේ පරිභෝජනය සඳහා වවන බවබෝග වසවිසෙන් නහවන්නේ නැත. ගැසුවත් ගසන්නේ විසෙන් ඉතා අඩු වසවිසය. කෘත්‍රිම පොහොර හා වසවිසෙන් සහමුළින්ම තොරව වවන බවබෝග ද ඒ රටවල තිබේ. එකී එළවළු, පළතුරු සාමාන්යගයෙන් එම වර්ගයේම සෙසු එළවළු, පළතුරු මෙන් පස් ගුණයක් තරම් මිල වේ.

අප රටේ ද එය දැන් සිදු වෙමින් තිබේ. රට පුරා තිබෙන ‘රෙඩ් ලේඩි’ වර්ගයේ පැපොල් කිලෝවක මිළ මේ වෙද්දී රුපියල් විස්සක්, තිහක් තරම වේ. එහෙත්, සතිපොලේ තිබෙන, ගමේ පැපොල් කිලෝව රුපියල් හැටක් වේ. ‘ඒ මොකද ඒ?’ යි අසද්දී ලැබෙන පිළිතුර අපූරුය. ‘මෙව්ව මේ රෙඩ් ලේඩි නෙවෙයි, හොඳ ගමේ බඩු’.

මාරකැට්ටුවේ ‍හෝ සතිපොලේ දිලිසි දිලිසී තිබෙන නැවුම් එළවළු, පළතුරු ආදිය දෙස බිය සැක රහිතව බලන්නට බැරි තත්ත්වයකි, අද උදා වී තිබෙන්නේ! තමන්ගේ පරිස්සමගැන තමන්ට ම බලා ගන්නට සිදු වී තිබේ!!.

2010 නොවැම්බර් 05 ‘රාවය‘ පුවත් පතින් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

Advertisements

මහජන සෞඛ්‍යය

අපි කන වස
ආරිය සුබසිංහ

සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි.

එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ.

මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා හෝ අක්බාර් ශාලාවල සිටි කාලයේ අප අත්විඳි සිසිල් සුළඟට වඩා සිසිල්ය, ඊට වඩා තරමක් වියළිය. ගුරුතලාව අයත් වන්නේ කඳුරට වියළි කළාපයටය, ඌව පළාතටය.

එහෙත්, වැඩි වේලාවක් ඒ සුවය විඳිමින් සිටින්නට නොලැබේ. එපා කරපු ගන්දස්සාරයක් හිටි හැටියේ මඳ සුළඟට කළවම් වී එයි. ඒ පහත ඇති අර්තාපල් වගාවට ගසන දිලීර හෝ පළිබෝධනාශක කුයිලයය.

වසවිසෙන් එම වගාව මොනතරම් නහවනවා මා දැක ඇති දැයි කියතොත් අර්තාපල් කෑම මුළුමනින් ම නැවැත්වූයෙමි.

දිනක් දෙකක් වැසි වැස යන්තම් අව් රැල්ලක් වැටෙන ඕනෑම දිනෙක එහි කොයි ගොවියාගේත් කරේ දකින්නට ලැබෙන්නේ වස ඉසින ස්ප්‍රේ යන්ත්‍රයකි. සැප ගන්නට වැලිමඩ, නුවරඑළියේ හෝ බණ්ඩාරවෙල යන ඕනෑම කෙනෙක් ඒ දසුන දකිති. වන්දනාවට හෝ පොළොන්නරු, අනුරාධපුර යන ඕනෑම කෙනෙක් ගොයමට ගසන වස කන්දරාව දකිති. රට පුරා තේ වතු වල ගසන වස කන්දරාව වෙනමම ගණන් බැලිය යුතු වේ. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස ඇති ගොටුකොළ, මුකුණුවැන්න වවන කීර කොටුවල ඉස්නා කරේ බැඳ ගත් අය දිනපතා සිටින හැටි එම මාර්ගයේ යන එන කාටත් පෙනේ.

‘කිසිම කිසි බයක් නැතුව ඇහැ පියාන කන්න පුළුවං ගෙදර අම්ම පේ වෙලා, අන්තිම පිරිසිදුවට හදපු කෑමක් විතරයි. ඔය හෝටල්වල එහෙම කෑම කොච්චර ජරාවටද හදන්නෙ කියල කවුද දන්නෙ?’ යි කවුරුත් කියති. එහෙත්, එය තව දුරටත් වලංගු නොවේ. මේ වනවිට සියල්ල කණපිට හැරී තිබේ. ගෙදර හදන කෑම වේලටත් වස විස රිංගා හමාරය. Continue reading මහජන සෞඛ්‍යය