Category Archives: මාධ්‍ය භාවිතාව

සිළුමිණ ‘විවර’ අතිරේකයේ, ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් කරන්නෙකුට ඉඩ කඩ

කර්තෘ
සිළුමිණ
ලේක්හවුස්

ප්‍රිය මහත්මයාණනි,

ලංකාවේ රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ යටතේ ඇති සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය කලා හරසරණිය නමින් හඳුන්වන ‘විවර’ නම් අතිරේකයේ රසික කොටුදුරගේ  ගෙනයමින් තිබෙන ක්‍රියාමාර්ගයක්  බොහෝ දෙනෙකුගේ ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් විය හැකි නිසා මේ ගැන ඔබට දැනුම් දීමට තීරණය කළෙමු.


‘කතිකා’ සංවාද මණ්ඩපය නම් බ්ලොග් පිටුව (kathika.wordpress.com ) අවුරුදු 12 පමණ තිස්සේ දේශපාලන සමාජ සංස්කෘතික පරිමණ්ඩලයන්හි ශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය අවලෝකනයන් උදෙසා ‘කතිකා’ අධ්‍යයන කවය විසින් පවත්වාගෙන එන්නකි. අපගේ ශාස්ත්‍රීය ප්‍රකාශනයන් පමණක් නොව බොහෝ ස්වාධීන අන්තර් ඥානනීය ලේඛන අන්තර්ජාල පාඨකයන් වෙත ඒමට අපි කටයුතු කළෙමු. ඒ එවැනි ශාස්ත්‍රීය සංවාදයක් ඇති කිරිමේ අරමුණෙනි. ඒ සෑම විටම වෙනත් මූලාශ්‍රයකින් ගත්විට පිළිගත් මූලධර්ම අනුව මූලාශ්‍ර නිසි පරිදි දැක්වීමටත්, බුද්ධිමය හිමිකම් ඇති ලේඛන වලදී අදාළ හිමිකරුගේ අවසරය මත අදාළ මූලාශ්‍ර සහිතව පල කිරීමට කටයුතු කර ඇත්තෙමු. 

එසේ පල කිරීමේදී අප අනුගමනය කළ මූලධර්මය වූයේ නිසි පරිදි අපගේ මූලාශ්‍රය සහ පල කිරීමේදී අප උපුටා දැක්වූ මූලාශ්‍රය සඳහන් කර අන් අයටද එසේ පල කිරීමට අවස්ථාව සැලසීමය. අප එසේ කළේ ප්‍රජාතාන්ත්‍රික ලෙස දැනුම සමාජගත වීම යහපත් බව අපද පිළිගන්නා නිසාත් එවැනි ඥානයේ ප්‍රජාතන්ත්‍රීයකරණයක් ආචාර ධර්මීය සහ ගුණාත්මක වන්නේ එහි හිමිකරුවන් වන අනෙකාගේ ශාස්ත්‍රීය මැදිහත්වීම, දායකත්වය, සහ ශ්‍රමය ඇගයීමට ලක් කිරීමෙන් නිසාත්ය. ලංකාවේ රජයේ ප්‍රධාන ජාතික පුවත්පතක ශාස්ත්‍රීය අතිරේකයක මේ මූලික මූලධර්ම ගැන අවබෝධයක් නැති  පුද්ගලයෙකුට මූලිකව ක්‍රියාකාරී වීමට ඉඩ ලැබී තිබීම කණගාටුවට කරුණකි. 


අප රසික කොටුදුරගේ ගේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් මතුකරන කරුණ අදාළ ‘විවර’ නම් අතිරේකයේ ඔහු පළ කරන මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලිපි වලටය. ඒවාද අනුන් පරිවර්තනය කල, ලියා පල කල ඒවාය. ඔහු මේවා ලබාගන්නේ ‘කතිකා’ සංවාද මණ්ඩපයේ  බ්ලොග් අඩවියෙනි.මහාචාර්ය ගණනාථ ඔබේසේකර ශාස්ත්‍රිය කටයුතු මූලික වශයෙන් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔහුගේ ලිපි සිංහලෙන් පලවී ඇත්තේ අල්ප ප්‍රමාණයකි.ඒවායින් යම් ප්‍රමාණයක් අන්තර්ජාල ගතවී ඇත්නම් ඒ ‘කතිකා’ සංවාද මණ්ඩපය තුළිනි. මහාචාර්ය ඔබේසේකරගේ  ලිපි මෙසේ පල කිරීමට කටයුතු කලේත්, යම් ලිපි පර්වර්තනය කර පල කලේත් ඒවා අප සමාජය පිළිබඳ තියුණු අන්තර් දෘෂ්ටීන් පල කරන්නන් වන නිසාය. නමුත් මූලාශ්‍ර පිළිබඳ කිසිම සඳහනක් නැතිව රසික කොටුදුරගේ ක්ෂණයෙන් මේ සියල්ල “කොපි ඇන්ඩ් පේස්ට් කර” තම නමින් දිණමිණ, සිළුමිණ පුවත් වල පළ කරමින් සිටී. ඔහු මහාචාර්ය ඔබේසේකරගේ ශාස්ත්‍රීය පසුබිම හා කාර්යය ගැන නිසි අවබෝධයකින් තොරව කරමින් සිටින මෙම කටයුත්ත නිසා බොහෝ විකෘති තොරතුරු ඔහුගේ ලිපි තුළින්  ඉදිරිපත් වී ඇත.  එපමණක් නොව, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පරිවර්තනය කල මහාචාර්ය ඔබේසේකරගේ  රචනාවක් කොටස් වශයෙන් පල කිරීමේදී රසික කොටුදුරගේ “සංවාදයක් ඇසුරෙන් සකස් කළ” සහ “දේශනයක් ඇසුරෙන් සකස් කළ” යන අරුත් දැනවෙන සේ මුල් ලේඛකයාගේ සහ පරිවර්තකයා ගේ නම් සඳහන් නොකර වංචනික ලෙස බුද්ධිමය දේපළ සොරාගැනීමේ ක්‍රියාමාර්ගයක් ගෙන යන බව පෙනේ.
Continue reading සිළුමිණ ‘විවර’ අතිරේකයේ, ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් කරන්නෙකුට ඉඩ කඩ

Advertisements

මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස

මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
– නිර්මාල් රංජිත් දේවසිරි

පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි.

මගේ අදහස වන්නේ මේ සිදුවීම හරහා ලංකාවේ පවත්නා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ නිදහස සහ ඒවාට ඇති සීමාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි බවයි. පෙනෙන විදිහට මෙම ලිපිය ලක්බිම පුවත්පතේ පළ නොවීමට ප‍්‍රධාන හේතුව වූයේ එමගින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගොඨාභය රාජපක්ෂ විවේචනයට ලක්කරනු ලැබ තිබීමයි. සාමාන්‍යයෙන් මගේ ලිපියේ අඩංගු කරුණු වලට වඩා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ලක්බිම පුවත්පතේ පළ වීම දක්නට පුළුවන. එය එසේ නම් මෙම ලිපිය පළනොවීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව කෙනෙක් තුළ විමතියක් ඇතිවීමට ඉඩ තිබේ.

එය තේරුම් ගන්නේ කෙසේ ද?

වර්තමානයේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව විවේචනාත්මක දේ පළ කිරීම තහංචියක් බවට පත්වී තිබීමයි. විද්‍යුත්මාධ්‍යවල ඒ මහතා සම්බන්ධයෙන් විවේචනාත්මක යමක් ප‍්‍රකාශකෙරන සෑම අවස්ථාවකම හඬ නිහඬ කිරීම සිදුවේ. Continue reading මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස

වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව

කුමුදු ගේ තීරුව
වෙබ් අඩවි තහනම:ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව

රජය පුවත් වෙබ් අඩවි ගණනාවකට තහනමක් පණවා තිබේ. චෝදනාව මෙම වෙබ් අඩවි පුද්ගලයන් ට අපහාස වන අන්දමේ පුවත් පළ කරන බවයි. මෙම කරුණ මුල් කොට ගෙන ජන මාධ්‍යවල විවාදයක් ගොඩ නැඟී තිබේ. මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ සදාචාරය පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. අන් අය කියන්නේ වෙබ් අඩවිවලට මාධ්‍ය සදාචාරයක් තිබිය යුතු යැයි තමන් පිළිගන්නා නමුත් වෙබ් අඩවි තහනමට රජය ගත් තීරණය පළමුව තහනම පනවා දෙවනුව ඊට නීත්‍යානුකූල භාවයක් ආරෝපණය කරන්නට ගන්නා වෑයමක් වන බවත් ය. මාධ්‍යයට පූර්ණ නිදහස තිබිය යුතුයැයි දැන් කියන ලිබරල්වාදීහු ද වෙති. විපක්ෂයේ සිටියදී කරන වෙනත් බොහෝ දේශපාලන විවේචන මෙන්ම මෙයද තමන්ට බලය ලැබුණු විට පහසුවෙන් අමතක කරන්නක් බව ඔවුනට දැන් අමතකය. මංගල සමරවීර ගේ ලිබරල් දේශපාලනය මෙබඳු එකකි.

එක් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු පවසා තිබුණේ මාධ්‍ය සදාචාරයක් අවශ්‍ය නමුත් එය මාධ්‍ය ඇතුළතින්ම ගොඩ නැඟෙන්නක් විය යුතු බවයි. ඒ එම රාජ්‍ය මාධ්‍ය ආයතනය ‘අපක්ෂපාතීතවය‘ අතින් ගත් කළ ඊටම අයත් සුවිශේෂ මාධ්‍ය සදාචාරයක් අනුව කටයුතු කරන නිසා විය යුතුය. වෙබ් අඩවි තහනම පිළිබඳ තීරණය තම උග්‍ර පක්ෂපාතීත්වය රජයට ප්‍රකාශ කිරීමට රජයේ නිලධාරියෙකු ගත් අධි-උද්යෝගීමත් වෑයමක් ලෙස අඟවමින් ඊට ඇති තම වගකීමෙන් ගැලවෙන්නට රජයේ නිලධාරී තනතුරක් දරන විශ්ව විද්‍යාල මහැදුරු තනතුරු ධාරියෙකු ගත් උත්සාහයක් පිළිබඳ ද වාර්තා වීය.

මාධ්‍යයට පමණක් නොව රාජ්‍යයටද දේශපාලනඥයන්ටද සදාචාරයක් තිබිය යුතුය. මෙම විවාදයේදී ඇතැමුන් සංවාදශීලී යැයි කියාපාමින් මාධ්‍යයට සදාචාරයක් නැතැයි පිටු පුරවමින් ලිපි ලියන්නේ ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් තම යුතුකම් සහ වගකීම් පිළිබඳ සදාචාරයක් නොමැතිව හැසිරෙන බව අමතක කරමිනි. Continue reading වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව