Category Archives: සමාජ විචාර

සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

“සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින් හැරී එමි) වෙසෙසි කොට ගත යුතුය. මහජන ස්ථානයක් වශයෙන් සාප්පු සංකීර්ණය පිරිනමන්නේ සමාජශීලීත්වය හෝ සංවාදය නොව සමූහචාරීත්වයයි, එනම්, ජෝන් බ්‍රින්කර්හෝප් ජැක්සන් හොඳින් විස්තර කළ අංග ලක්ෂණය වන අනන්‍යතාවක අමුද්‍රව්‍ය සොයා තම පෞද්ගලික ගවේෂණයේ නිරත බොහෝ දෙනා එකවර පැමිණීමයි “ඉක්මනින් හෝ පසුව හෝ තමන්ගේ වෙන්වූ මාර්ගයන්ගේ ගමන් කරන විෂමජාතීය වූ මහජනතාවක් විසින් හවුලේ භුක්ති විඳිනු ලබන අවකාශීය අත්දැකීමක් ඉන් පිරිනැමේ.” තථ්‍ය ලෙසම දේශපාලන භූමිදර්ශනයක් ලෙසින් ගත් මහජන චතුරස්‍රයෙන් ජැක්සන් මෙය වෙසෙසි කොට දක්වයි, මෙහිදී, මහජන චතුරස්‍රය ට “පැමිණෙන්නවුන් තමන් සියල්ලන් ප්‍රජාවේ සාමාජිකයන්, වගකීම් සහිත පුරවැසියන් බව සහ කලින් කලට ඔවුන් මහජන සාකච්ඡා වලට සහභාගී වනු ඇති සහ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට බසිනු ඇති බව දැනටමත් හොඳින් දන්නේය යන්න උපකල්පනය කෙරෙයි.”

Continue reading සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

Advertisements

සමාජ විචාර

පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
කුමුදු කුසුම් කුමාර

තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි.

මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ දැන් ලංකාවේ ජනයා සාමකාමීව වසන හෙයින් එය දැක බලාගැනීමට ඉන්දීය බලධාරීන් ලංකාවට පැමිණිය යුතු බවයි. මෙම තහනමට කුමාර් සංගක්කාර දැක්වූ ප්‍රතිචාරය වූයේ මෙලෙස දේශපාලනය විසින් ලාංකේය ක්‍රීඩකයන්ට තහංචි දැමීම වැනි අගතිකාමී ක්‍රියාවලින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සීමා කළ නොහැකි වනු ඇති බවයි. හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් දේශපාලක අර්ජුන රණතුංග කියා සිටියේ මෙම තහනම යටතේ ලාංකේය ක්‍රීඩකයන්ට ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල අයි පී එල් තරඟ වලට සහභාගීවීමට ඉඩ හැරීමෙන් ලංකා රජය “අපේ රටට එරෙහිව එල්ල වී ඇති මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබද චෝදනා අනුමත කරන “ බවයි. මන්ද යත් ජයලලිතා සහ කරුණානිධි දෙපළ ලාංකේය ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ ක්‍රීඩා කිරීමට ඉඩ දිය යුතු නැතැයි කියන්නේ ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් හෙයිනි. එහෙයින් ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට යන ක්‍රීඩනයනුත් මෙම චෝදනාව සනාථ කිරීමට අනුබල දෙති. තමිල්නාඩු නායකයන් මෙහිදී කරන්නේ ක්‍රීඩාව සමඟ දේශපාලනය කිරීම ය යන්න අර්ජුන රණතුංග ගේ අදහසයි.

ඉන්දියවේ ජාතික පුවත් පතක් වන ‘ ද හින්දු‘ පුවත් පත මාර්තු 27 වැනිදා තම කතුවැකියෙන් කියා තිබුණේ ජයලලිතා ගත් මෙම තීරණයෙන් ක්‍රීඩාවේ සහ දේශපාලනයෙහි ජාතිවාදය සහ ජනවාර්ගික අනන්‍යතාවේ පදනම මත වෙනස් කම් කිරීම අනුමත කෙරුණු බවයි. ලාංකේය ක්‍රීඩකයන් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රෑරකම්වලට විරෝධය පෑම සමඟ පටලවා ගත යුතු නැත. නීතිය සහ සාමය රැකීමේ තම වගකීම ජයලලිතා පැහැර හැර තිබේ. ජනයා එකට එක් කරන ක්‍රීඩාව අන්ධදේශානුරාගයේ සහ ජනවාර්ගික බන්ධුතාවේ යානයක් බවට පත් කොට ඇතැයි ‘ ද හින්දු‘ පුවත් පත කියා සිටියා ය.

මුරලිදරන් තම ප්‍රකාශයෙන් පිළිතුරු දෙන්නේ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ලවන චෝදනා පිළිබඳ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයා ගේ දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් බහුතරයක් මුරලිදරන් සමඟ එකඟ නොවන තත්ත්වය ගැන මුරලිදරන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද?

සංගක්කාර ගේ ප්‍රකාශයෙන් ප්‍රකට කෙරෙන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව උග්‍ර ලෙස වාණිජකරණය සහ දේශපාලනීකරනය වි ඇති තත්ත්වයක් තුළ පවා ක්‍රීඩකයන් තුළ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ හැඟීමක් රැඳී තිබීම නම් එය අගය කළ හැකිය. මෙම තහනම පිළිබඳ ක්‍රීඩා ලෝලීන් අතර ඇති වී තිබෙන උණුසුම පෙන්නුම් කරන්නේද ක්‍රීඩාවක් වශයෙන් ක්‍රිකට් නැරඹීමට ඔවුන් තුළ ඇති ඇල්ම සහ ඊට දේශපාලන හෝ වෙනත් අයුතු යැයි සැළකෙන බලපෑම් වලින් බාධා ඇතිවීමට ඔවුන් තුළ ඇති විරෝධය යි.

අර්ජුන රණතුංග එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට මාන බලන සේය. ඔහු කියන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ල වී ඇති චෝදනා තමන් අනුමත නොකරණ බවය. එසේ යෝජනා කරමින් ලාංකේය ක්‍රීඩකයන් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත වලද ක්‍රීඩා කිරීමට නොයායුතුය යන ඔහුගේ ස්ථාවරය රාවණ බලකාය නමැති සීමාන්තික සංවිධානයක් දරන අදහසමය. එය ජයලලිතා පැනවූ තහනම මුල් කොටගෙන ඉන්දීය විරෝධයක් ගොඩ නැංවීම අරමුණු කරයි. ක්‍රීඩාව සමඟ දේශපාලනය පටලවා ගත යුතු නැතැයි කියන අර්ජුන රණතුංග ගේ අදහස හා සමාන අදහසක් දරන ‘හින්දු‘ පුවත්පත මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ල වී ඇති චෝදනා ද ප්‍රතික්ෂේප නොකරයි. එය ඉදිරිපත් කරන තර්කය ක්‍රීඩාව පමණක් නොව දේශපාලනයත් ජාතිවාදයෙන් සහ ජනවාර්ගික අනන්‍යතාවේ පදනම මත වෙනස් කම් කිරීමෙන් නිදහස් විය යුතුය යන්නයි. ඒ අනුව ඉන්දියානු හෝ ලාංකේය ජාතිකවාදය ක්‍රීඩාවට ඈඳා ගැනීම ලාංකේය ක්‍රීඩකයන්ට තහනම් පනවන තමිල්නාඩු ජාතිකවාදය හා සමානය.

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය

ක්‍රීඩාවේ පිවිතුරු බව රැක ගැනීම පිළිබඳ මෙම සියලු යහ ප්‍රාර්ථනා පසුබිමෙහි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය සාකච්ඡා කිරීම වඩා වැදගත් වෙයි. Continue reading සමාජ විචාර

සමාජ විචාර

කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම
සහෘද විසිනි

සුචරිත ගම්ලත් ශූරීන් ගේ අභාවයෙන් අපේ යුගයේ කැප වූ බුද්ධිමතෙකු අපට අහිමි වීය. මතවාදීව ට්‍රොට්ස්කිවාදියෙකු වූ සුචරිත ගම්ලත් සාහිත්‍යය සහ කලාව පිළිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් වෙනස් මත දරන්නන් විවාදයට කැඳවන ලෙසින් ප්‍රබල මත ඉදිරිපත් කරමින්, අප සමාජයේ සාහිත්‍යය, කලාව සහ භාෂාව පිළිබඳ කතිකාව නිරතුරුව අවදි කෙළේය, පවත්වා ගෙන යාමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහු තමා දරන මතය වෙනුවෙන් දැඩිව සහ අඛණ්ඩව සමාජයේ පෙනී සිටි අතර අවස්ථාවාදී ලෙස තම ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. සමාජ යුක්තිය සහ සාධාරණය පිළිබඳ කරුණු වලදී ඔහු හැමවිටමත් නොසැලී පීඩිතයාගේ පස ගත්තේය. ඒ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ දුන්නද හේ තම පිළිවෙත පාවා දුන්නේ නැත. ඔහුගේ මතවාදී කැපවීම ඇතැම් විට කෙතරම් උග්‍රවීද යත් ඔහුගේ රුහුණ විශ්ව විද්‍යාලයේ සේවය කළ සමයේ, තමන් දැරූ දේශපාලන අදහස් අනුව ක්‍රියා කළ හෙයින් එකළ රජයේ දේශපාලන බලපෑම් මත ඔහු විශ්ව විද්‍යාලයේ සේවයෙන් නෙරපන ලදැයි කියනු ලැබේ. රැකියාව අහිමි වීමේ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ දුන්නද හේ තම පිළිවෙත පාවා දුන්නේ නැත.ඇතැම් විචාරවල නිර්දය ස්වභාවය හේතුවෙන් ඊට ‘දෙඤ්ඤං බැටේ විචාරය’ යනුවෙන් නමක්ද ඔහුගේ විවේචකයන් විසින් පටබඳිනු ලැබිණි. තමා දැරූ මතවාදී ස්ථාවරය කිසිසේත්වෙනස් නොකිරීම ඔහු දකින්නට ඇත්තේ තමා විශ්වාස කරන දේ වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුකව පෙනී සිටීම ලෙස යැයි අපට සිතිය හැකිය. ඔහු කිසි විටෙක පෞද්ගලික වාසි තකා ආණ්ඩු හෝ දේශපාලකයන් පසුපස ගිය වගක් අප අසා නැත. උසස් කලාවක් සහ සංස්කෘතියක් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටි ගම්ලත් ශූරීන් කලාවේ සහ සංස්කෘතියේ විශේෂයෙන් භාෂාවේ සහ සාහිත්‍යයේ වත්මන් පිරිහීම පිළිබඳ නිර්දය විවේචකයෙකු වීය. ආචාර්ය සුචරිත ගම්ලත් ට ලංකාවේ විශ්ව විද්‍යාල සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනොනැමීම ප්‍රකට කරන්නේ එම විශ්ව විද්‍යාල වල බුද්ධි අහේනිය මිස ගම්ලත් ශූරීන්ගේ බුද්ධි ප්‍රභාව සහ ප්‍රාමාණික ඥාන මණ්ඩලය පිළිබඳ නිවැරදි විනිශ්චයක් ඔවුන් සතුව ඇති බව නොවේ. අප අද ජීවත්වන්නේ සුචරිත ගම්ලත් ශූරීන් වැන්නවුන්ගේ බරපතළ හිඟයක් ඇති කාලයකය. ඔහුගේ සියලු අදහස් සහ මතවාදී ස්ථාවරයන් සමඟ අප සහමුලින් එකඟ නොවූවද සමාජයේ බුද්ධිමය සංවාදය නිරතුරුව අවුලුවා ලූ කැප වූ බුද්ධිමතෙකු අපගේ සමාජයට අහිමි වීමේ ශෝකය සහ ඉන් ඇතිවූ බරපතල පාඩුව අපි මෙසේ සටහන් කර තබමු.

“සමාජ විචාර” (samajavichara) facebook අඩවියෙනි.

සමාජ විචාර

රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර
Colours of Ceylonism
නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.

මෙහි අසාර්ථකභාවය නිසාම එය හුදෙක් පවුල්වාදීව රට සූරාකන මාදිලි බවට පත්වන්නට එතරම් කල් ගත වූයේ නැත. අද වන විට එය සම්පූර්ණයෙන්ම පවුල්වාදීව හා පුද්ගලිකව රට සූරාකන මාදිලි බවට පත්ව ඇත. අධිරාජ්‍යවාදීන් හට මෙයින් සිය පල නෙලාගත හැකි නොවූවා යැයි මින් අදහස් වන්නේ නැත. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදය බලාපොරොත්තු වූ ආකාරයට අදාල සේවාවන් සිදු වූයේ නැත. මේ රටේ කුරුඳුකාර මධ්‍යම පන්තිය අහෝසි වෙමින් සිටී. මෙහි අන්තිම පුරුක් මේ වන විට පාර්ලිමේන්තුව,පළාත්සභා සහ එවැනි තත්ව අත් කරගනිමින් සිටිති.

ව්‍යුහයන්හි අසාර්ථකභාවය හා රට තුල ඇති වූ තත්වයන් මත 1971 සහ 1980 ගණන් වල උතුරේ ද යලි 1990 දක්වා දකුණේද වශයෙන් ආයුධ භාවිතයෙන් සමාජය තුළ බලය පැතිරවීමට දරන ලද උත්සාහයන් කි‍්‍රයාත්මක විය. මෙය අද වන විට උතුරේ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. රට කිසිවෙකුට පාලනය කල නොහැකි තත්වයන්ට පත් වූ අතර මෙය රට සූරාකන දියුණු රටවල් සඳහා ද පාඩුවක් බවට පත්විය. පොදුවේ ගත්කල අධිරාජ්‍යවාදීන් විසින් භාවිතා කල මෙම පැරණි ව්‍යුහ අසාර්ථකවීම් ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් බොහොමයක් තුළ සිදු විය. ඔවුන් මෙයට විකල්ප සොයන ලදී.

ලෝක පරිමානව මේ සදහා විකල්ප වශයෙන් සහ සමාජවාදී මතවාදය වෙනුවට මතවාදයන් සමාජගත කිරීම සදහා ඔවුන් විසින් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය රටවල් වලට හඳුන්වා දෙන්නට විය. ලංකාවේ මේ සදහා ගැලපෙන කණ්ඩායම් සොයා එය ව්‍යාප්ත කිරීමක් ද දක්නට විය. මෙහි ප‍්‍රධාන පරමාර්ථය වූයේ අධිරාජ්‍යවාදී රටවලට ගැලපෙන මතවාද ඔවුන්ගේ සූරාකෑම හා සම්පත් මංකොල්ලයට අදාලව සමාජගත කිරීමයි. මේ සදහා රට ගැන වඩාත් දන්නා පිරිස් අවශ්‍ය විය. ලංකාවේ අතීත භාවිතයන් තුළ වාමාංශික කි‍්‍රයාකාරීන් මේ සදහා ඉතා හොඳ ආරම්භයක් ලබා දෙන ලදී. එයට ඓතිහාසික හේතුවක්ද විය.

අධිරාජ්‍යවාදීන් හසු කරගන්නා ලද නව ස්ථරය වූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාර වල වැඩකරන ද හා වාමංාංශික මතවාද ඇති බුද්ධිමතුන්ය. හේ පිරිස් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ , දේශපාලනය තුළ ඉඩකඩක් නොලද පිරිසකි. නමුත් රට ගැන ඇති ආදරය හා උවමනාව මේ අයගෙන් පහව ගොස් නොතිබුනි. එසේම වාමාංශික අදහස් වලට ඇති බිය හෝ පරාධීනභාවය නිසා නව මතවාදයන් ද සොයමින් සිටි පිරිසකි. මේ පිරිසට රාජ්‍ය නොවන සංවිධාන බලවත් ආශිර්වාදයක් විය. මෙම පිරිස 70 දශකයෙන් පසු සිය දේශපාලන වේදිකාව බවට පත් කරගන්නට තැත් කරන ලද්දේ මේ රාජ්‍ය නොවන සංවිධානයි. අරමුණුසහගතව කරන ලද විශේෂීකරණ ව්‍යපෘති තුළ ඔවුන්ගේ සමාජීය අරමුණු කිසිවක් ඉටු නොවූව ද ඔවුන්ගේ පදු්ගලික අරමුණු මේ තුළ ඉටු විය.

මෙම පැලැන්තිය විසින් ලංකාව පුරා ම සමාජීයව හිතවත් මිනිසුන් මෙම රෝගයට ගොදුරු කර ගන්නා ලදී. තව දුරටත් රාජ්‍ය නොවන සංවිදාන ඔවුන් විසින් හඳුනා ගන්නා ලද්දේ හුදෙක් මුදල් ලැබීමේ හා යැපීම් ක‍්‍රමෝපායක් ලෙසය. සමාජයේ සිටින සමාජය වෙනුවෙන් වැඩ කල යුතු යැයි සිතන පක්ෂ දේශපාලනයේ සිටි හෝ නොසිටි පිරිස් ක‍්‍රමිකව රාජ්‍ය නොවන සංවිදාන කරා ඇදී එන්නට විය. මේ තුළ මෙම පැලැන්තියේ ජීවනෝපාය මාර්ගය බවට පත් වූයේ රාජ්‍ය නොවන සංවිධානයි.

අද වන විට ඕනෑම ගමක රාජ්‍ය නොවන සංවිධාන තැරව්කරුවෙක් හෝ කිහිප දෙනෙක් සිටී. රාජ්‍ය නොවන සංවිධාන විසින් ගම් වල හා නගර වල මෙන්ම වතුකරයේ සිටින අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ මනස් ආධාර මානසිකත්වයට ඇද දමා තිබේ. පොදු සාමූහිකත්වය වෙනුවට පරාධීන පුද්ගලික හා ජාවාරම්කාර පෞරුෂයන් බවට මෙම පෞරුෂයන් පත්ව ඇත.

ප‍්‍රජාවේ නායකත්වයන් සියල්ල හිමිව තිබුනේ මෙම පුද්ගලයින්ටය. නමුත් විවිධාකර අක‍්‍රමිකතා හා පුද්ගලික ලාභ ප‍්‍රයෝජන නිසා වසර සිය ගණනක් ගොඩනැගී තිබූ ග‍්‍රාමීීය නායකත්ව පෞරුෂය මේ තුළ විනාශ වී ඇත. මෙය ප‍්‍රබලව බලපාන්නේ ඔවුනොවුන්ගේ සමාජීය ජීවිතයටය. මේ වන විට ගෝලීයකරණ තත්වයන් තුළ ගම්වල සමාජ ජීවිත වේගයෙන් වෙළඳපලකරනය වෙමින් පවතී. ඒ තුළ තත්වය තවත් භයානකව ඇත.

ප‍්‍රජාවේ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් නිරන්තරව සිතන්නේ තමාගේ පුද්ගලික හා ගමේ විශේෂීකරනය වූ ප‍්‍රශ්න කෙරෙහිය. ගැටළු වලට හේතූන් වශයෙන් සීමාකාරී පටු සාධකයන් හුවා දක්වන ඔවුහු මෙම මතවාදයන් නිරන්තර ගම් පුරා පතුරවමින් සිටිති. මෙය වසංගතයක් පමනට පත්ව ඇත. එම තත්වය පොදුවේ සමාජීය ගොඩනැංවීම් හා පොදු සමාජ තත්වයන් සදහා ප‍්‍රබල බාධාවක් ලෙස පෙනී සිටිති. පොදු ජනතාව මෙම රැවැටීමේ ගොදුරු බවට පත්ව ඇත.

අනෙක් අතට මෙම පිරිස ද මෙම රෝගය බෝවීමට පෙර සමාජීයව බොහෝ දේ ගැන උනන්දු වූ සහ ඓන්දී‍්‍රය බද්ධ වූ පිරිස් ය. රාජ්‍ය නොවන සංවිධාන විසින් බිහි කරන ලද මෙම පිරිස සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම සදහා වන ප‍්‍රබල බාධකයක් ලෙස හඳුනාගැනීමට පුලූවන. නමුත් මෙම පිරිස් සමාජ ව්‍යාපාර සදහා අවශ්‍ය නොවන බව මින් අදහස් නොකෙරේ. මෙම තත්වය වටහා ගැනීම හා පිලියම් යෙදීමේ භාරධූර ජාතික කාර්යභාරයේ වගකීම ද නැවත වතාවක් හිමි වන්නේ සමාජ ව්‍යාපාර වල කේඩරයන්ටය.


දැන් ඉදිකෙරෙමින් පවතින Colours of Ceylonism අන්තර්ජාල වාර සංග්‍රහයේ මුල් කලාපයෙන් උපුටා ගන්නා ලදී.