Category Archives: සරච්චන්ද්‍ර

විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

සර් අයිවර් ජෙනින්ග්ස්  පේරාදෙනියේ දී
සර් අයිවර් ජෙනින්ග්ස් පේරාදෙනියේ දී

“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව.

කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ දවස්වල පුස්තකාලයට නොගිහින් සිටියා. ඒ කියන්නෙ එය පුහු ප්‍රචාරයක් යයි ඔවුන් ඇදහුවෙ නැහැ. හැම දේම අතරින් ඇයි පුස්තකාලය? මා තුළ එය මහත් කුතුහලක් දැනෙව්වා. එය සාමාන්‍ය විනාශකාරී වැඩක් වශයෙන් තේරුම් ගැනීම අපහසු වුනා.

මේ කටකතාව, ඉගෙනීම කෙරෙහි තරුණ කොටස් තුළ පැවතුණු ආකල්පය පිළිබඳව සංකේතයක් බඳුය. කැරැල්ලට නැඹුරු කොටස්, පාඩම් නොකරන ලෙසත් දේශනවලට නොයනලෙසත් අනික් සිසුන්ට කියමින් සිටියා. ශිෂ්‍යයින් හා ආචාර්‍ය්‍යවරුන් අතර සමාජයීය හා ආර්ථික පරතරයනවසිය හැට ගණන්වලදී පළල් වීමත් සමඟම, ශාස්ත්‍ර ඥානය වනාහි වරප්‍රසාද ලත් පංතියකගේ තහවුරු වරප්‍රසාද පොදියෙන් කොටසක් හැටියට සරසවි සිසුන් අදහන්නට වුනා.”

Continue reading විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

Advertisements

අමරදේව හා සිංහල දේශීය සංගීතය – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි අමරදේවගේ සේවය තක්සේරු කිරීමට පසුබිමක් වශයෙන් මෑත යුගයක අපේ සංගීතය විකාශනය වූ සැටි මඳක් සැලකීම ප්‍රයෝජනවත් යයි හඟිමි. ඈත යුගවල සිංහල සංගීතය යන්න කෙබන්දක් වී දැයි නිශ්චය කිරීම අපහසු ය. පත පොතෙන් අපට ලබාගත හැකි අල්ප වූ සාක්ෂි අනුව නිගමනය කළ හැක්කේ එය භාරතීය සංගීතයට නොවෙනස් වූ බවය. එහෙත් “දේශීය” සංගීතය යයි හැඳින්විය හැකි කිසිවක් එකල නොතිබිණැයි නිගමනය කළ නොහැකි ය. මක් නිසා ද යත්: අපේ සාහිත්‍යයෙහි පොදු ජන ජීවිතය පිළිබිඹු වන්නේ අල්ප මාත්‍ර වශයෙන් බැවිනි. නැටුම් ගැයුම් ආදිය වෙන රටවල මෙන් ලංකාවෙහි ද ජන ජීවිතයේ අංගයක් බවට පත් වී තිබුණු බව සැක රහිත ය.

එහෙත් එක් විශේෂයක් මෙතැන දී සිතෙහි තබා ගත යුතු ය. එනම් නැටුම් ගැයුම්වලටත් සී සෑම වැපරීම, ගොයම් කැපීම, ඔරු පැදීම, කරත්ත දැක්කීම ආදි කාර්යයවලටත් සම්බන්ධ නුවූ හුදු රස වින්දනය සඳහා සංගීත විශේෂයක් ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල පවතින බවය. Art Music යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මීට “සුභාවිත සංගීතය” යි ද නම් කළ හැකි ය. මේ සංගීත විශේෂයේ රස විඳීමට ශ්‍රාවකයා තුළ එක්තරා ප්‍රමාණයක පුහුණුවක් තිබීම අවශ්‍ය ය. මෙය ක්‍රමවත් පුහුණුවක් නොවුවද යටත් පිරිසෙයින් පරිසරයෙන් ලබාගත් රසඥතාවයක් විය යුතු ය. එනම් නිතර නිතර සුභාවිත සංගීතයට කන් දීමෙන් හැඩ ගැස්වෙන රසිකත්වය ය. Continue reading අමරදේව හා සිංහල දේශීය සංගීතය – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය

සරච්චන්ද්‍ර උන්නැහේගේ දෙවනි මරණය
සරච්චන්ද්‍ර සයිමන් නවගත්තේගම සමග
සරච්චන්ද්‍ර සයිමන් නවගත්තේගම සමග
සරච්චන්ද්‍ර කියන්නේ අපේ රටේ මහාර්ඝ වස්තුවක් කියලයි මගී අහල කියෝල තියෙන්නෙ. උන්නැහේ ගැන කතාබහ කරන්න මගීලට තියන දැනුම මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා. රතු පස්වලයි, ජූලි කලබලයි, වයඹ කලබලයි ගැනම හිත හිතා ලියන්නයි, කියන්නයි සිද්ධ වුනු මගීලට සරච්චන්ද්‍ර උන්නැහෙ ඔලුවට ආවෙ හේතුවකුත් එක්ක. උන්නැහේගෙ සියවෙනි උපන්දින සංවත්සරේ තියෙන්නේ 2014 ජූනි 03 දාටලු නේ. ඒක ගැනනම් පත්තරවල විස්තර වගයක් තියනව මගී දැක්කා. ආණ්ඩුවෙ සංස්කෘතිය භාර ආමතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දීලා තියනවා කියන්නෙ එන අවුරුද්ද වෙනකල් සරච්චන්ද්‍ර උන්නැහෙගේ නාට්ටිය ගැන රට පුරා කතා පවත්වන්න කියල. අලුත් නාට්ටිය හදලා ඒවාත් අලුත් පරම්පරාවලට පෙන්නන්න කියලා. හැබැයි මගී නම් තාම දැක්කේ නෑ සරච්චන්ද්‍ර උන්නැහෙගේ ඔය කියන සියවෙනි උපන්දිනේ වෙනුවෙන් කොරපු හරිහමන් වැඩ පිළිවෙලක්. ඔය ආණ්ඩුවෙ සංස්කෘතික වැඩ හොර රහසෙම කරනවද කියලා මගීට නම් දැනුමක් තේරුමක් නෑ. දැන් ඉතින් මාස තුනක් ඉවරයි. තව මාස නමයක්ම තියෙන්නෙ එන අවුරුද්ද වෙන කල්. මොනව හරි දෙයක් හෙට අනිද්දට සිද්ධ වෙයි කියල මගීල දතකට මැදගෙන බලන් ඉන්නව ඉතිං. එහෙම නැතුව සරච්චන්ද්‍ර නෝනට පැමිණිලි කොරන්නයැ.

සරච්චන්ද්‍ර උන්නැහෙ කියන්නේ මොනතරම් වටින වස්තුවක්ද කියලා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මතක් කරල දෙන්න ඕන කමක් තියෙනවායැ. උන්නැහෙලා, මාදුලුවාවේ නායක හාමුදුරු ගොල්ලෝ ඇත්ත කථා කළා කියලා ධර්මිෂ්ඨ ආණ්ඩු සලකපු විදිය බුලර්ස් පාරේ බෞද්ධ සමිති සම්මේලන හෝල් එක ලඟ තියෙන කාණු වලට අදත් මතක ඇති මගේ හිතේ. ඒ පාපකර්ම වලට හවුල් වෙච්ච ඇමතියෝ එතකොට ඔය මොකක්ද සේවක සංගමේ මොකක්ද ඔව් ඔව් ජාතික සේවක සංගමේ කෙරුම්කා‍රයෝ වැඩිදෙනෙක් ධර්මිෂ්ඨ ලොක්කොත් එක්කම වැලිගම් ගිහින් උනාට, තව කෙරුම්කා‍රයෝ දැනටත් ලොක්කෝ වෙලා ජනාධිපතිතුමාගේ අත් දෙක ශක්තිමත් කරන්නේ ඔය යස අපූරුවට. අනිච්චං දුක්ඛං සංසාරේ කිව්වාලු. කලකදි වහලු කලකදි රහ වෙනවාලූ කියලා තියෙන්නේ කට කහනවට යැ. ඕන් ඒකෙන් මේකෙන් මගීට කියන්න ආපු කතාවත් අමතක වුනානේ. සරච්චන්ද්‍ර උන්නැහෙගේ උපන් දිනේ වගේම උන්නැහෙගේ අපිට නැති වෙච්ච දවසත් පහු වුනානේ පසුගිය අගෝස්තු 16 වෙනිදා. අනේ ඉතින් අවුරුදු දාහතක් ගෙවිලා ගියාද කියලත් හිතෙනවා. 96 දී නැති වෙච්ච උන්නැහේ ගැන මගීට මහා අරුම පුදුම ලියවිල්ලක් හම්බවුනානේ කියවන්න. දිනපතා පත්තරේක. මොකක්ද පත්තරේ? හරි රිවිර කියන පත්තරේට රත්නපුරේ පැත්තේ කවිකාර මහත්තැන් කෙනෙක්. කොඩිතුවක්කු වගේ නමක් තියෙන උන්නැහේ කෙනෙක්. සරච්චන්ද්‍ර උන්නැහේ ආපහු ඝාතනේ කොරනවද කියලා මගීට නිකමට කල්පනා වුනා එතුමාගේ ලියුම් කඩදහි දෙකක් කියෙව්වම. අඟහරුවාදා දවස් තුනක ඔය තිබුනෙ සරච්චන්ද්‍ර උන්නැහෙගේ ගැනයි පේරාදෙනිය ගැනයි. ඒ මදිවට උන්නැහේ තමන්ගේ නමගම වෙනස් කරපු එක ගැන පවා ඔය කවිකාර මහත්තැන් ලියල කියලා තිබුණ. අනේ ඉතිං මගීල වගේ පුරුතග්ජනයින්ට ඔය කවිකාර මහත්තැන්ල පත්තර පිටු පුරවලා ලියන කියන මළගිය ඇත්තෝ නවකතාවේ නැතෙයි කියන බෞද්ධ අනිත්තියතා දැක්මද මොකක්ද කියන එක වගේ දේවල් ගැන මහා දැනුමක් කොයින්ද? ඒවා ගැන කියෝල බලලා උන්නැහේල කියන කොරන කාරණාවල ඇත්තක් නැත්තක් තියනවාද කියලා මගීලටවත් තේරුම් බේරුම් කරලා දෙන්න පුලුවන්. සරච්චන්ද්‍ර උන්නැහේගෙම ගෝල බාල ආචාරිය, මහාචාරිය උත්තමයෝ හතර පස් දෙනෙක් මත් ඉන්නව නේද තාම. ඉතිං, ඒ කට්ටිය තමන්ගේ ගුරුතුමා අවුරුදු දහ හතකට පස්සේ ආපහු මේ විදියට ඝාතනය කරන්න ඉඩ දීලා නිස්සද්දව ඉන්නේ මොකෝ කියලා මගීලට තේරෙන්නේ නෑ. සරච්චන්ද්‍ර වගේ උත්තමයෝ ඉපදිලා අවුරුදු 100ක් වෙනකොට මේවා අහන්න වෙන එකනේ පුදුමේ අම්මපා.
මගී

ඇත්ත පුවත් පතේ මගියාගේ කොලම
සැප්තැම්බර් 01, 2013

http://aththa.lk/

සාහිත්‍යය

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද?

තම එදිනෙදා ජීවිතයෙහි හැම අංගයකටම අපූරු හැඩ දමා විචිත්‍ර වර්ණ කවා සෞන්දර්යයෙන් වටවුණු පරිසරයක විසීමට පුරුදු වී සිටි ජපන් ජාතිකයන්ට මෙම ඛේදනීය මොහොතේ තම දුක නිවාගන්නට උදව් වනු ඇත්තේ කුමක් ද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ”මළගිය ඇත්තෝ” පිළබඳ අප පහත නැවත පළ කරන විචාරය ජපන් ජනයාගේ දිවිපෙවෙත පිළිබඳ අවලෝකනයට මුල පුරන්නට ඔබට කෙරෙන ඇරයුමකි.

මළගිය ඇත්තෝ
ධර්මසිරි ඒකනායක

හැඳින්වීම

නවකථා, කෙටිකථා සහ පද්‍ය විවේචනය අගය කිරීමට අනුගමනය කළ යුත්තේ කවර නිර්නායකයක් ද, එය කෙසේ විය යුතු ද යන ප‍්‍රශ්න අපේ සමාජය තුළ නිරතුරුවම සාකච්ඡාවට භාජනය වෙයි. සාහිත්‍ය නිර්මාණවල තත්ත්වය පිරිහීමකට පත්වී ඇති බවට ද නිතර නිතර ම අදහස් ඉදිරිපත් වෙයි. දැනට අවුරුදු පහකට පමණ පෙර දී එනම් නවකථා සහ කෙටිකථාකරණය වර්ධනය වෙමින් පැවති කාලයේ දී ඒවා පිළිබඳ අගය කිරීම සහ විවේචනය කිරීම සිදු වූ ආකාරය පිළිබඳව අදටත් හොඳ සැලසුමක් තිබේ. සබැවින් මෙම ලිපිය හොඳ ආදර්ශයක් ලෙසට ඉදිරිපත් කරන්නේ අපේ ඉදිරි ගමන් මගට එය මග පෑමක් වන බැවිනි.
– සංස්කාරක

“All Art is re-presentation – the giving back in conscious form of the shapeless raw material of experience.”
– Edith Wharton

පසුගිය අවුරුදු දෙක ඇතුළත දී (1962) නවකථා කරණයෙහි විශේෂ හුරුකමක් ඇති සිංහල ලේඛකයන් කීපදෙනෙක් වැදගත් නවකථා පහක් රචනා කර තිබේ. ගුණදාස අමරසේකර ගේ ”යලි උපන්නෙමි” ”දෙපා නොලද්දෝ” ආචාර්ය සරත්චන්ද්‍ර ගේ ”මළගිය ඇත්තෝ” ආචාර්ය සිරි ගුනසිංහ ගේ ”හෙවනැල්ල” හා කේ. ජයතිලක ගේ ”පරාජිතයෝ” යනු එ් නවකථා පහය. මෙම ලිපියෙන්, ”මළගිය ඇත්තෝ” නම් නවකථාව පිළිබඳ ව කෙටි විග‍්‍රහයක් කිරීම අරමුණයි.

විදේශීය රටක – එනම් ජපන් රටේ – ජීවිතය වස්තුකොට ගෙන තිබෙන බැවින් ”මළගිය ඇත්තෝ” අනික් නවකථාවලට වඩා තරමක් අමුතු ස්වරූපයක් උසුලයි. මේ නවකථාවේ ගැබ් වන්නේ කෙටි කාල සීමාවකට ජපන් රටේ පදිංචිවන සිංහල චිත‍්‍ර කලාකරුවෙකු ගේ අත්දැකීම් ය. නව අත්දැකීම් මාලාවක් අමුතු ආකාරයකට නිරූපණය කරමින් සිංහල නවකථාවේ ක්ෂේත‍්‍රය පුළුල් කිරීමට මඟ පාදන බැවින් ”මළගිය ඇත්තෝ” මීට පෙර සඳහන් කළ අනික් නවකථාවලට නෑ සබඳකම් ද දක්වයි. එබැවින් මේ ග‍්‍රන්ථය සිංහල නවකථාවලියට එකතු වූ වැදගත් නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය.

මිනිසා ගේ කායික පරිසරය අනුව හැඩ ගැසුණු ජීවන රටාවක් මූලික මානුෂික හැඟීම් සමග ගැටෙන සැටි විදහා දැක්වීම නවකථාවේ මූලික අදහස වශයෙන් සැලකිය හැකිය.

කථාවස්තුවට පසුබිම වන්නේ තෝකියෝ නගරයයි. නවකථාවේ මූලික අදහස අනාවරණය කිරීමේ දී මේ පසුබිම වැදගත් කාර්යයක් ඉටු කරයි. කතුවරයා මෙය විචිත‍්‍ර ලෙස කියවන්නා ඉදිරියේ මවා පෑමට සමත් වී තිබේ.

ජපනුන් ගේ ජීවන ක‍්‍රමයේ ඇති සියුම් රසාත්මක ගුණය පහත දැක්වෙන විස්තරයෙන් මනාව හැඟීයයි:

”ඒ රටට පැමිණි මට වහාම හැඟුණේ, බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නැති බවය. ගිනිපෙට්ටිය, තේ කෝප්පය වැනි, තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපූරු හැඩයක් දමා විචිත‍්‍ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වටවී ජීවත්වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුණි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක විසීම සිතැඟි සමථ කිරීමෙහිලා කෙතරම් උපයෝගී වන්නක් ද? කඩයකට සාප්පුවකට ගිය ද බොජුන් හලකට, අවන් හලකට ගිය ද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියෝ පිබිදෙති. යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුවද ඔව්හු රසයක් ඇතුළත් කරති, පැහැපත් වර්ණයන් කවා වානයේ බීරෑණි ගතිය පහකර දමති. සිත් පිත් නැති යන්ත‍්‍රය තුළ ඔවුහු මනුෂ්‍ය හෘදයක් තැන්පත් කරති. කෙතරම් යන්ත‍්‍ර පාවිච්චි කළත් තමා ගනුදෙනු කරන්නේ මැෂින් සමග නොව මනුෂ්‍යයන් සමගය යන හැඟීම කෙනෙකුට ඇති වේ.

”ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලාගෙන යන්නේ ස්තී‍්‍රන්යයි මට හැඟී ගියේය. පැරණි කවීන් කියූ පරිදි සියුමැලි යනගි1 අත්ත මෙන් නැවී ඔව්හු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උසුලත්ද? ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹු වී පෙනේ. ඒ මේ අත තල්ලූ කරමින් නගින බහින සෙනග අස්සේ නොකැළඹී තම කටයුතු කරන, බටහිර ඇඳුමෙන් සැරසීගත් බස් සේවිකාවගේද, යන එන්නන් පිළිගනිමින් ඔවුන්ට ස්තුති කරමින් කඩයෙහි බඩු විකුණන වෙළෙන්ඳියගේ ද ගෙදොර දොර බලා ගන්නා ගෘහණිය ගේ ද නානා වර්ණ කූරුවලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනලයෙකුගේ හැඩයට බඳින ලද ඇඟ බඳනින් ද සැරසී අමුත්තන්ට සංග‍්‍රහ කරන ගේෂා ස්ති‍්‍රයගේද සෑම ඉරියව්වකම පාරම්පරික අභ්‍යාසයක ලකුණු කැපී පෙනෙයි. සෑම ඉරියව්වකම පරමාර්ථය අක්ෂිගෝචර හැඩයක් මවා පෑමයි.”
(9-10 පිටු.)

මේ පසුබිම තිරයක් වැනි ස්ථාවර, අප‍්‍රාණික දෙයක් නොවේ. එය වැදගත් කලාත්මක කාර්යයක් ඉටුකරන, ප‍්‍රධාන අදහසට ජීවමාන සම්බන්ධතාවයක් ඇති, ජංගම වස්තුවකි. ජීවමාන බලවේගයක් මෙන් පසුබිම නවකථාවේ මුල සිට අග දක්වා පැතිර පවතී.

”මළගිය ඇත්තෝ” ජපන් රට පිළිබඳව තොරතුරු සැපයීමට ලියන ලද ප‍්‍රචාරක කථාවෙක් නොවේ. මේ නවකථාව කියවන විට ජපනුන් ගේ ජීවිතය කියවන්නා ඉදිරියෙහි විචිත‍්‍ර ලෙස නාට්‍ය ආකාරයෙන් මැවී පෙනෙයි. එබැවින් කියවන්නා එහි විස්තර වන ජීවිතයට නිතැතින් ම සහභාගි වෙයි. Continue reading සාහිත්‍යය