Category Archives: සාහිත්‍ය විචාර

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය
උදේනි ජයවීර

සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි විශාරද බුද්ධිමතෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇත.ඔහුගේ අභාවය හුදෙක් සුදුර්ලභ බුද්ධිමතෙකුගේ මිය යාමක් පමණක් නොව යුගකාරක මාක්ස්වාදී බුද්ධිමතෙකුගේ සමුගැනීමක් ද වන්නේ ය. එවක විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකුව සිටි අවධියේ සම්භාව්‍ය මාක්ස්වාදයක් එහි භාවිතයත් පිළිබඳ ඔහු ලද පරිචය හා ශික්ෂණයත් එහි ලේකම්ව සිටි දීප්තිමත් මාක්ස්වාදියෙකු වූ අභාවප‍්‍රාප්ත කීර්ති බාලසූරියගෙන් ලද පිරිපහදුවත් මාක්ස්වාදී කලා විචාරකයෙකු ලෙස සුචරිත ගම්ලත් හැඩ ගස්වා පෝෂණය කළේය.

සාහිත්‍ය – කලා සම්බන්ධ මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවේ මූලධර්ම හඳුන්වාදීම හා සාහිත්‍ය – කලා විචාර ක්ෂේත‍්‍රය තුළ අපෝහක භෞතිකවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට ඔහු කළ පුරෝගාමී සේවාව ඓතිහාසිකය. එහිදී ඔහු සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ කලා විචාර භාවිතය ලංකාවේ සාහිත්‍ය කලාවන්ට උපයෝග කළේ ය. සාහිත්‍ය – කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය සංක්ෂිප්තව විභාග කිරීම මේ ලිපියේ අරමුණයි.

සිය කලා විචාරය හුදෙක් විධික‍්‍රමයකට අනුව සාහිත්‍ය – කලා මැනීමත් ලෙස නොසලකාගත් ගම්ලත් එය මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමට සාමාජික මිනිසා කරන අනවරත අරගලයට අනුපූරක භාවිතයක් සේ සලකා ගත්තේය.

දශක හතරක් ද ඉක්මවා ගිය සිය විචාර භාවිතය තුළ ඔහුට ගැටෙන්නට සිදු වූයේ යල් පැන ගිය විචාර සිද්ධාන්ත සමඟ පමණක් නොව ජාතික රාජ්‍යයකට ගැට ගැසී තිබූ ප‍්‍රතිගාමී ධනේශ්වර දෘෂ්ටිවාදයන් සමඟ ද ඔහුට ගැටෙන්නට සිදු විය.

විඤ්ඤාණවාදය, වර්ගවාදය, සිංහල ස්වොත්තමවාදය, ජාතික චින්තනය, පුරුෂොත්තමවාදය, ආගමික අගතීන්, චිරාගත මිථ්‍යාවන්, මායාවන් ඈ අවිද්‍යාවන් එහිදී ප‍්‍රමුඛ විය.

සුචරිත ගම්ලත් සුවිශිෂ්ට විචාරකයෙකුගේ තැනට එස වී ගත්තේ හුදෙක් ඔහුගේ ආසාමන්‍ය බුද්ධි මහිමය නිසා නොව බස හැසිරවීමේ වෙසරද බව, පෙරඅපර දෙදිග දර්ශනවාද හා සෞන්දර්ය විද්‍යා ඥානය, තර්ක බුද්ධිය, සම්භාව්‍ය මාක්ස්වාදය පිළිබඳ අවබෝධය යනාදියට අමතරව වෙසෙසින්ම ඔහුගේ අපෝහක භෞතිකවාදී ලෝක දෘෂ්ටිය නිසාය.

ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට විධිමත් සාහිත්‍ය – කලා විචාර සිද්ධාන්තයක් හඳුන්වාදීමට දැරූ ප‍්‍රථම ප‍්‍රයත්නය මහාචාර්ය සරච්චන්ද්‍රගේ ප‍්‍රයත්නයයි. ‘‘කල්පනා ලෝකය’’ සහ ‘‘සාහිත්‍ය විද්‍යාව’’ කෘති තුළින් නව විචාර සංකල්ප හඳුන්වා දුන් සරච්චන්ද්‍ර කාව්‍ය විචාරයේ දී කාව්‍ය රචනා තුළ මනෝගති, චිත්තා, හැගීම් ආදි මනෝභාවික අංශය විමර්ශනය කළේ ය. ඔහු කාව්‍යයේ ඥානික අගයක් නොදුටුවේ ය. Continue reading සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

Advertisements

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”
සුචරිත ගම්ලත්

ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක්‌ වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස්

…………………..

යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්‌.

…………………

වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක්‌ නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්‌. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්‌.

…………………

වර්තමාන නව කතාව ඉතාම පහත් තත්ත්වයට ඇද වැටෙන්න හේතු වුණ මූලික කාරණා දෙකක්‌ තියෙනවා. ඉන් පළමු වැන්න තමයි විශ්ව සාහිත්‍ය පරිශීලනය නොකිරීම. අනෙක්‌ කරුණු තමයි පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය නොකිරීම. මේ දෙකම කරන්න ශක්‌තියක්‌ මේ අයට නැහැ. විශ්ව සාහිත්‍ය පරිශීලනය කරන්න ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්න සිංහල දන්නේ නැහැ. සිංහලත් දන්නැති ඉංග්‍රීසීත් දන්නේ නැති පිරිසක්‌ තමයි අද සාහිත්‍ය කරණයෙ යෙදෙන්නේ. සම්මාන විනිශ්චය මණ්‌ඩලවල ඉන්නෙත් ඒ වගේ අය. මේ ගොල්ලො නව කතාව කියන්නෙ මොකක්‌ද වත් දන්නේ නැහැ. පිළී ගඳ ගහන, හඩු බාසාවෙන් මොකක්‌ හරි ලියුවහම නව කතාවක්‌ කියලා කියනවා. නව ආකෘති කිය කිය මේවට සම්මානත් දෙනවා. මේව ලියන අයයි සම්මාන දෙන අයයි අතරෙ කිසිඳු වෙනසක්‌ නැහැ. දෙගොල්ලොම එකම බෝට්‌ටුවෙ. Continue reading “සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”