Category Archives: සිනමාව

වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර


චිත්‍රපටියක් වියමනක් ලෙස කියවීමේ අදහස “මේ මාගේ සඳයි” චිත්‍රපටිය මුල්කොටගෙන මතු වී ඇති කතා බහෙන් අප සාකච්ඡාවට එකතු වේ තිබේ. කලා කෘතීන් ලෙස සැළකීම පිළිබඳ ව්‍යුහවාදී/පශ්චාත් ව්‍යුහවාදී අදහස් වල මෙන්ම, බටහිර සෞන්දර්ය න්‍යායයන්ගෙන් ද අවධාරණය කෙරෙන කරුණක් නම්, කලා කෘතියක අගය මැනෙන මිම්මක් වන්න් එහි ආකාරය නැතහොත් ආකෘතිය ඒ වෙතම රසික අවධානය ඇද ගන්නා කුමන සුවිශේෂ ලක්ෂණ ප්‍රකට කරන්නේ ද යන්න බවයි. මේ පිළිබඳව මා ඉදිරිපත් කල අදහසක් නම්, චිත්‍රපටියක් වියමනක් වීම පිළිබඳ අදහස අවධාරණය කරන්නේ, එය, ඉන් ඉදිරිපත් කරන දේ හුදෙක් අක්‍රීයව බාරගන්නා මානසික නිද්‍රෝපගත තත්වයකට ප්‍රේක්ෂකයා පත් නොකොට ඇයගේ පරිකල්පනාව අවධි කරන්නේය, ජීවිතාවබෝධය පුළුල් කෙරෙන පරිදි ලොව පවතින මිනිස් සබඳතා දැකීමේ නව මානයක් මතු කරන්නේය යන්න නම් දෙන ලද කෘතියක මෙම ස්වභාවය ගොඩ නැංවීමේ එකම ක්‍රමය එහි ආකෘතියම පමණක් ප්‍රයෝගකාරී ලෙස නිර්මාණය කිරීම නොවේය යන්නයි. එය ආකෘතිය සහ අන්තර්ගතය යන දෙ අංශයම සුසංවාදීව නිර්මාණය කෙරෙන ආකාරයෙන් කල හැකිය. එමෙන්ම ආකෘතිය අතින් සම්මත සම්ප්‍රදායන් අනුගමනය කරද්දීම, අන්තර්ගතය තුළින්, එම කෘතියට තේමාවන සංසිද්ධිය පිළිබඳ සම්මතයන්ට අභියෝග කිරීමෙන් ද, එය කල හැකි යැයි මම යෝජනා කරමි. එහිදී මම තවදුරටත් කියා සිටියේ, ලෙස්ටර්, පතිරාජ, ඔබේසේකර, විතානගේ වැනි ලාංකීය සිනමාකරුවන් වියමනක ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රකට කරන චිත්‍රපට නිර්මාණය කොට ඇති බවයි.

චිත්‍රපටියක් වියමනක් ලෙස කියැවීම පිළිබඳ ඉහත අදහස් වර්ධනය කෙරෙන පරිදි, වසන්ත ඔබේසේකරගේ “දොරකඩ මාරාව” කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අදහස් කරමි. ‘දොරකඩ මාරාව” සිනමා ආකෘතියත්, අන්තර්ගතයත් ඒකාග්‍ර කරමින් වියමනක් ලෙස ඉදිරිපත් කෙරෙන චිත්‍රපටියක් ලෙස මම දකිමි. එය සිනමා කෘතියක් ලෙස අපගේ අවධානය ඒ වෙත ඇද ගන්නේ එහි ඇති කුමන සුවිශේෂ ආකෘතික ලක්ෂණ නිසා ද යන්න පිළිබඳවත් කතාන්දරයක් වශයෙන් ගත් කල එම චිත්‍රපටියේ අන්තර්ගතයම වියමනක් ලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිලිබඳවත් අදහස් ඉදිරිපත් කරමි. (මෙම ලිපිය දියැස සඟරාවේ 2002 12 වන වෙළුමේ 9 වෙනි කලාපයේ ප්‍රථමයෙන් පල විය.) Continue reading වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර

මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

photo-0

පාලියා කියන්නේ ලිංගික ක‍්‍රියාව මුලික වශයෙන් සමාජමය නොව ස්වාභාවික ගනුදෙනුවක් බවයි. ලිංගිකත්වය යනු, ප‍්‍රතිවිරෝධයන්ගෙන් සහ එකම දේ පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ අදහසින් සැදුණු අඳුරු රාජ්‍යයකි. එය හැමවිටමත් සමාජීය ආකෘතීන්ගෙන් වටහාගත හැකි නොවේ. සමාජීය හෝ සදාචාරමය යෝග්‍යතාව පිළිබඳ කෝණයන්ගෙන් එය හරි ගැස්සිය හැකි නොවේ.

පිරිමියාට හැම සංවාස අවස්ථාවක්ම මව කරා ආපසු යෑමක්, ඇයට යටත්වීමක් වෙයි. පිරිමින්ට ලිංගික ක‍්‍රියාව අනන්‍යතාව සඳහා වන අරගලයකි. පිරිමියාගේ ලිංගික සහජය, ස්වභාවයට එරෙහිව තම අනන්‍යතාව ගොඩ ගැනීම සඳහා , ස්වභාවයේ ප‍්‍රබලම නියෝජනය වන ගැහැනිය අරභයා කෙරෙන කැත, බිහිසුණු ආක‍්‍රමණයකි. සමාජය අවශ්‍යවන්නේ මෙම සහජය පාලනය කිරිමටය. ස්වභාවය ජය ගැනීමේ අවශ්‍යතාවත්, ඊට පරාජය වීමේ බියත් අතරට මැදිවන පිරිමියා ආදරය හදාගන්නේ මේ බය යටපත් කරන්නටය. ශෘංගාරය, ස්වභාවයේ පෘථිවීමයභාවය සමාජයට ඇතුළු වන මෘදු ලක්ෂ්‍යයය, යන්න පාලියාගේ (Camilla Paglia) අදහසයි. Continue reading මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

කාන්ට්
කාන්ට්
අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු.

x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම් ගත්තේ මෙසේය. අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ සංකල්ප අගතීන්ගෙන් මිදී තැනූ චිත‍්‍රපටයකි. එනිසා, ලාංකීය ගමේ මිනිස් සබඳතා ‘පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් ඉන් නිරූපණය කෙරෙයි. මෙම ප‍්‍රකාශය ගොඩනැංවීමේදී x කණ්ඩායම පළ කරන තවත් වැදගත් මත දෙකකි. ඉන් පළමුවැන්න, ‘සෞන්දර්ය යනු මිනිසා විසින් සාමාන්‍ය ජන ජීවිතයෙන් වෙන් කොට ගොඩ නගන ලද්දකි. ‘ යන්නයි. දෙවැන්න, මෙතෙක් කල් ලාංකීය කලාකරුවන් විවිධ බටහිර සෞන්දර්ය/සිනමා න්‍යායයන් හිස දරාගෙන කලා කෘති නිර්මාණය කළ ද හඳගම ‘මේ මගේ සඳයි‘ ඒ සියල්ලෙන් මිදී නිර්මාණය කර ඇත, යන්නයි. Continue reading මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

unnamed

1. ගම සහ නගරය ප්‍රතිපක්ෂයන් ලෙසින් දැකීම

අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර මුල් කොට ගෙන බිහිවූ නවරැල්ලේ සිංහල සිනමාව මූලිකවම ගම තුළ පොදුවේත්, මායිම් ගම්මාන තුළ සුවිශේෂයෙනුත්, යුද්ධය පිළිබඳ කතන්දරවලත් සිරකරුවකුව සිටියේ ය (බලන්න, කුමුදු කුසුම් කුමාර, “පශ්චාත් නූතන දෘෂ්ටියෙන් සම්ප්‍රදායික සිංහල ගම බැලීම” ලිපිය http://kathika.lk/old/ ප්‍රාරම්භක කලාපය). ඔවුන් ඇතැමෙකුගේ එම චිත්‍රපට ගම පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රවාදයන්ගෙන් ගම්‍ය කළ කරුණක් වූයේ අශිෂ්ඨ සිංහල ගම සහ උසස් නගරය පිළිබඳ බෙදුමයි, එනම් එලෙස හඳුනා ගත් සිංහල ගමට ප්‍රතිපක්ෂව නගරය සංස්කෘතියේ සහ ශිෂ්ටභාවයේ කේන්ද්‍රය වන බවයි.

දැන් චින්තන ධර්මදාස සහ උදය ධර්මවර්ධන අධ්‍යක්ෂණය කළ ‘ආදරයේ අංශු මාත්‍රයක්’ නොහොත් How I wonder what you are! චිත්‍රපටය නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වීමත්, ලංකාව පශ්චාත්-යුද සමාජයකට පා තැබීමත් සටහන් කරයි. Continue reading නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

බමරවළල්ල
බමරවළල්ල

“………මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන ඊට ප්‍රතිපක්ෂව නොවේ ද? චිත්‍රපටියේ එන ‘පොඩි එකා’ මානව ආශාව නියෝජනය කරන “ප්‍රාථමික යටි සිත” නිරූපණය කරන්නේ යැයි ඇතැම් විචාරකයෙක් කීය. මෙම යටි සිත, නියෝජනය කරන “ප්‍රාථමික” ‘සරල”, “නූගත්” මානව ආශාවන් ජය ගැනීම හුදු පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම පිළිබඳ කරුණක් ද? පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?”

‘බඹර වළල්ල’ චිත්‍රපටය සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇති කළේය. එයට හේතුව එය බහුඅරුත් දක්වන චිත්‍රපටයක් වීමයි. විවිධ අය බඹර වළල්ල තුළ තම තමන්ට කැමති දේ දුටහ. ඇතැමුන්ට එය සමාජ යථාර්ථය නියෝජනය කළේය. තවත් අයෙකුට එය මානව යථාර්ථය විදහා දැක්වීය. තවත් කෙනෙකුට එය යටි සිත පිළිබඳ ෆ්‍රොයිඩියානු සත්‍යය විචිත්‍රවත් කළේය. Continue reading ‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන්

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන් විසිනි
දේශපාලනයේදී ඔහු අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ දේශපාලන කාර්යයන් සඳහා නිල වශයෙන් සේ ම නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගැනීමය. යුද්ධ කාලයේදී දකුණේ සමහර සංවිධාන යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කෙරෙන උද්ඝෝෂණවල නිරත විය. බිහිසුණු යුද්ධයක් පැවති අවස්ථාවකදී ඔවුන් හැසිරුණු ආකාරයේ වරදක් ඇතත් එම ව්‍යාපාර මැඬලීම සඳහා නීතියට පරිබාහිරව යොදාගත් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිපත්තිය කිසිසේත්ම සාධාරණ ලෙස සැලකිය නොහැකිය. සංකේතාත්මක වැදගත්කමක් ඇති සමහර පුද්ගලයන් අබිරහස් ලෙස ඝාතනය වූ අතර තවත් සමහර පුද්ගලයෝ අබිරහස් ලෙස අතුරුදන් වූහ. සමහර ජනමාධ්‍ය ආයතන බිහිසුණු පහරදීම්වලට ලක්විය. සිදුවූ එවැනි සමහර අවලස්සන දේවලදී ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගනු ලැබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
යුද්ධය අවසන්වීමෙන් පසුත් ඒ ක‍්‍රියාදාමය අවසන් නොකළේය. විවිධ හේතු මත රටේ විවිධ තැන්වල සිදුවූ උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහාද නිල වශයෙන් පමණක් නොව නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිසක් යොදා ගත්තේය. තතු දත් ආණ්ඩුවට සම්බන්ධ සමහර අය එම ක‍්‍රියාදාමය දෙස බලා සිටියේ කැමැත්තකින් නොව මහත් අප‍්‍රියාවකිනි. එහෙත් ඔවුන් ඒ ගැන තැන් තැන්වලදී රහසේ කටුකුටු ගෑවා මිස ප‍්‍රසිද්ධියේ විරෝධය පාන්නට බිය විය. – ඉතිරිය සඳහා බලන්න :

රාවය

‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

‘නපුරෙහි නිස්සාරත්වය’ : ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටිය නරඹා සාකච්ඡා කරමු
විසිවැනි සියවසේ දේශපාලන චින්තනයට ඉමහත් ලෙස බලපෑ ජර්මානු-යුදෙව් ජාතික දේශපාලන චින්තිකාව වන හනා ආරන්ඩ්ට් ගේ ජීවිතය පදනම් කරගත් ජාත්‍යන්තර අවධානයට පාත‍්‍ර වූ ‘හනා ආරන්ඩ්ට්’ නමැති කලාත්මක චිත‍්‍රපටියේ දර්ශනයක් සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් ජුනි මස 13 වෙනි සිකුරාදා සවස 2.30 ට මරදාන ‘සමාජය හා සාමයික කේන්ද්‍රයේ‘ පැවැත්වෙයි.

හිට්ලර් ගේ් නාසි පාලනය යටතේ 1931 දී අත්අඩංගුවට පත්ව රටින් පලායාමට බලකෙරුණු සහ පසුව රඳවා තබා ගැනීමේ කඳවුරක සිරකාරියක්ව සිටි ආරන්ඩ්ට් 1941 දී ඇමෙරිකාවට පළා ගියාය. නාසිවාදී ප‍්‍රධානියෙකු වූ ඇඩොල්ෆ් අයික්මාන් 1961 පැවැති නඩු විභාගය පිළිබඳ ‘ද නිව් යෝර්කර්’ සඟරාව වෙනුවෙන් හනා ආරන්ඞ්ට් ඉදිරිපත් කළ වාර්තාව ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. එහිදී ඇය දැන් සුපතලව ඇති ‘නපුරෙහි නිස්සාරත්වය’ නැමැති සංකල්පය හඳුන්වා දුන්නේ දරුණු නපුරු ක‍්‍රියාවල යෙදෙන බොහෝ දෙනෙකු සාමාන්‍ය මිනිසුන් ය යන්න පැහැදිළි කරන්නටය. අයික්මාන් බියකරු නමුත් අතිශය දරුණු ලෙස සහ බිය ගෙන දෙන සුළු ලෙසින් සාමාන්‍ය තැනැත්තෙකු බව ඇය නිිරීක්‍ෂණය කළාය. චිත‍්‍රපටියට පසුබිම් වන මෙම නඩු විභාගය, ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’ සහ ‘මිනිසුන් තම දේශපාලන නිදහස එක් තනි නායකයෙකු වෙත පවරා ඔහු වෙනුවෙන් සියල්ල කැප කරන්නට පෙළඹෙන්නේ මන්ද?’ වැනි අදහස් සාකච්ඡා කිරීමට අවකාශය සපයයි.

‘රෝසා ලක්සම්බර්ග්’ චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කළ කීර්තිමත් මාර්ගරෙතේ වොන් ට්‍රොටා ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටියේ අධ්‍යක්‍ෂිකාව යි. මෙහි හානා අරන්ඩ්ට් ගේ චරිතය රඟපාන්නී උත්කෘෂ්ඨ නිළි බාර්බරා සුකෝවා ය.

‘සමාජවාදී අධ්‍යයන කවය‘ සංවිධානය කරන මෙම සංවාදයට ඔබටත් ආරාධනා කරමු.

Movie Poster-1

“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?“ – සුමති ගේ ඉන්ගිරින්දු චිත්‍රපටිය

කුමුදු කුසුම් කුමාර

( ඉන්ගිරින්දු කොළඹ කොටහේන සිනෙවර්ල්ඩ් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන අවසාන දින කිහිපය යි මේ. දුරකථනය 2330017)

50723_mov-2

දෙමළ වීම නිසාම දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි නලින් ද සිල්වා අසා ඇති ප්‍රශ්නයට එක් පිළිතුරක් වන චිත්‍රපටියකි සුමති ගේ ඉන්ගිරින්දු. මෙම චිත්‍රපටිය ලාංකේය උඩරට දෙමළ ප්‍රජාව පිළිබඳ වෙයි. උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනකොටස් වල දේශපාලන නියෝජිතයන් වශයෙන් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්ව සිටින ප්‍රභූහු දේශපාලනය සහ ආර්ථික කරුණු මුල් කෙට ගෙන ලංකා රජය සමඟ විවිධ මට්ටමින් කේවල් කරමින් සිටිති. නමුත් කන්ද උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ තත්වය කුමක් ද? ඔවුහු නීතියෙන් ලංකාවේ පුරවැසියෝ ය. ඔවුන්ට ඡන්ද බලය තිබේ. ඔවුන් ගේ ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයෝ ද සිටිති. නමුත් ඔවුන්ට ලංකා රජය සළකන්නේ පුරවැසියන්ට සැළකිය යුතු පූර්ණ ආකාරයෙන්ද?

ඔවුන් අති මහත් බහුතරය ගේ පවුල් අදත් ජීවත් වන්නේ එක් කාමරයකින් සැදුම් ගන්නා ක්‍රප්‍රකට ‘ලැයිං කාමර‘ නිවාස වලය. මෙම තනි කාමර නිවසේ පවා ඔවුනට වාසය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ අවම වශයෙන් එම පවුලේ එක් සාමාජිකයෙකුවත් එම නිවස අයිති වත්තේ ක්‍රියාකාරී ශ්‍රමයේ නිරත වන තාක් පමණි. එසේ නොවන දිනට එම පවුලට එම නිවස අහිමි වෙයි. මෙහිදී වතු හිමියා නිවස් හිමි කරුවා වෙයි. කම්කරුවා නිවසෙහි කුලියට සිටින්නා බඳුය. සාමාන්‍ය කුලී නිවැසියෙකු ගේ තත්වයෙන් ලැයිං කාමර නිවැසියාගේ තත්වය වෙනස් වන්නේ නිවැසියා ගෙවල් කුලී ගෙවනවා වෙනුවට වතු හිමියා සහ රජය නියම කරන මිළට තම ශ්‍රමය වතු හිමියාට විකිණීමට බැඳී සිටීමයි. මෙය විසි එක් වැනි සියවසේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින්නේ යැයි සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනු ලැබෙන රටක එහි පුරවැසියන් සම්බන්ධයෙන් තිබිය යුතු තත්වයක් ද?

යටත් විජිත සමයේ සිට බොහෝ කලක් යන තෙක්ම වතුකරයේ දෙමළ ජනතාවට වත්තෙන් පිටත පදිංචි වීමට අවසරවත් නොතිබූ ඇපයට බැඳුණු ශ්‍රමය පිළිබඳ කොන්දේසි තව දුරටත් එලෙසින්ම වලංගු නැතත් ප්‍රජාවක සාමාජිකයෙකු වීම නිසා වසන්නට නිවසක් වෙනුවට ශ්‍රමය කැප කිරීමට සිදුවීම ඔවුනට පුරවැසියන් ලෙස ලාංකේය සමාජයේ හිමි තැන කියා පාන්නක් නොවේද? තමන් සේවය කරන වත්තේ නේවාසයට බැඳී තිබීම නිසා ඔවුන් ජිවත් වන්නේ ලාංකේය සමාජයේ සෙසු දෙමළ ජන කොටස් මත් ජීවත් වන ලෙසින් එම පොදු සමාජයේ කොටස් කරුවන් ලෙසින් නොව එයින් බැහැර කළවුන් ලෙසිනි. වත්තේ රැකියාවෙන් ඉවත්ව ඉන් පිටත රැකියාවල් සොයා යාමේ සහ පිටත පදිංචි වීමේ “නිදහස“ උඩරට දෙමළ වතු කම්කරුවනට ඇතත් ඔවුන් බොහෝ දෙනෙකුට එය යථාර්ථයක් නොවන්නේ ඔවුන් ඒ සඳහා ප්‍රායෝගිකව සූදානම් කිරීමක් උඩරට දෙමළ වතු කම්කරු පවුල් වල සාමාජිකයන් වීමේ හේතුවෙන් සිදුනොවන බැවිණි.

ඔවුන්ට තමන් ලබන වැටුපෙන් කොටසක් ඉතිරිකොටගෙන තම පවුලේ සාමාජිකයන්ගේ ආර්ථික සහ සමාජීය අභිවෘද්ධිය සඳහා එය ආයෝජනය කිරීමේ අවස්ථාවක් නොමැත්තේ ඔවුන්ට ලැබෙන වැටුප් පවුලේ එදිනෙදා නඩත්තුවට වත් ප්‍රමාණවත් නොවන හෙයිනි. වෘත්තීය සමිති කේවෙල් කිරීම් හේතුවෙන් ඔවුන්ගේ සමස්ත දෛනික වැටුප සියලු එකතු කිරීම් කළ විට අද වන විට රුපියල් 620 දක්වා ඉහල නැඟිය හැකි නමුත් මෙම දෛනික වැටුප ලැබීම සඳහා මාසයකට වැඩ කළ යුතු දින ගණන සහ කළ යුතු වැඩ ප්‍රමාණය හා බැඳුණු කොන්දේසි සහ වැටුප් වලින් කෙරෙන අඩු කිරීම් යටතේ අවසානයේ අති මහත් බහුතරයක් වතු කම්කරුවන් ලබන්නේ තනි පුද්ගලයෙකුට යැපීමට තරම් නොවන ඉතාම අඩු වැටුපක් බව ගණන් බලා තිබේ. මෙම තත්වයෙන් ඔවුනට තරමක් හෝ සහනයක් ලැබෙන්නේ පවුලක සාමාජිකයන් කිහිප දෙනෙකුටවත් වත්තේ වැඩ ලැබෙන්නේ නම් පමණි. නමුත් එය පිළිබඳ කිසිදු සහතිකයක් නැත.

ඉතින් දෙමළ වතු කම්කරුවකුට ලබාගත හැකි සමස්ත දෛනික වැටුප මාසයකට ඇති දින ගණනින් වැඩි කොට ලබාගන්නා සංඛ්‍යාව වතු කම්කරුවකුගේ ම සාමාන්‍ය වැටුප යැයි ගණන් බලා ඒ හා සසඳන විට සිංහල සුළු ගොවියෙකු ලබන්නේ යැයි ගණන් බැලූ ආදායම පහළය යන පදනම මත දෙමළ වතු කම්කරුවන්ට ඉහළ ජීවන තත්වයක් ඇතැයි ඇතැම් සිංහල ජාතිකවාදීන් ඉදිරිපත් කරන තර්කය සංඛ්‍යානමය වශයෙන් ගත් කළ වුවත් ව්‍යාජ එකක් වනු ඇත.

ඊටත් වඩා වැදගත්වන්නේ වතු කෘෂිකර්මයේ ව්‍යුහාත්මක ලක්ෂණ හා ගැට ගැසුණු සමාජීය පසුගාමී තත්වයක් දෙමළ වතු කම්කරුවනට උරුමව තිබීම යි. අධ්‍යාපනය පිළිබඳ කරුණ මෙයින් ප්‍රමුඛය. දිළිඳු සිංහල ගොවීන් ගේ දරුවනට නිදහස් අධ්‍යාපනය හරහා එක පරම්පරාවක් තුළ ඉහළට නැඟ ගැනීමේ අවස්ථාව ලබාගත හැකි වුවත් අධ්‍යාපනය හරහා කම්කරු මටට්මින් ඉහළට නැඟ ගත හැකි වන දෙමළ වතු කම්කරු දරුවන් ගණන ඉතාම අල්ප ය. වතු කම්කරු ප්‍රජාවේ දරුවනට ලබා ගත හැකි අඩු පහසුකම් සහිත රාජ්‍ය අංශයේ අධ්‍යාපනයේ දිළිඳු මට්ටම නිසා විවෘත ශ්‍රම වෙළෙඳ පොලේ රැකිය සඳහා තරඟ කිරීමේ දී වතු කම්කරු දරුවන්ට වතු අංශයෙන් පිටත වුව හිමි වන්නේ කම්කරු මටටමේ හෝ ඊට ආසන්න තලයේ අඩු ආදායම් රැකියාය.
මෙලෙස ලංකාවේ වතු කෘෂිකර්මයේ ව්‍යුහාත්මක ලක්ෂණ හා ගැට ගැසුණු උඩරට දෙමළ වතු කම්කරු ජනතාවගේ දුක්ඛිත ජීවිතය අපට පෙන්නුම් කරන්නේ මෙම ජනතාව බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් විසින් ඉන්දියාවෙන් මෙහි ගෙන්වන ලද දෙමළ ජාතිකයන් වීම නිසා ඔවුන්ට අද හිමි තම නාමික පුරවැසිභාවය පවා වුව ගරුත්වයෙන් යුතුව භුක්ති විඳීමේ දී දිළිඳුම සිංහල ගොවියන්ට වත් තිබෙන අවස්ථා අහිමිවී ඇති බව නොවේද?

ඉතින් ලංකාවේ ජනවාර්ගික ගැටුමේ පසුබිම තුළ උතුර සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ ජන කොටස්වල දේශපාලන අයිතින් දිනා ගැනීම පිළිබඳ පවත්නා ජාත්‍යන්තර අවධානය දිනාගත් කතිකාව පසුබිමෙහි උඩරට දෙමළ වතු කම්කරු ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ කරුණට හිමි තැන කුමක් ද? ඔවුන් ගේ අභිලාෂයන් කෙසේ නියෝජනය විය යුතුද?

කලෙක ලංකාවේ ආර්ථීකයේ ජීවනාලිය වූ මෙරටට විදේශ විනිමය වැඩිම ප්‍රමාණයක් උපයා දුන් අදත් මෙරටට විදේශ විනිමය උපයන ඉතා කටුක දුෂ්කර ජීවිතයක් අතීතයේ ගෙවූ අදත් දුෂ්කර තත්වයන් යටතේ ශ්‍රමය සපයන උඩරට දෙමළ වතුකම්කරුවන් ට ලංකා රජය පූර්ණ පුරවැසියන් ලෙස සළකන්නේ ද?

සුමති තම ඉන්ගිරින්දු චිත්‍රපටිය නිර්මාණය කිරීමෙන් අප හමුවේ තබන ආසන්න කරුණ මෙය යැයි සිතමි.

නමුත් ඉන් ඔබ්බට යමින් ඒ හා බැඳුණු සංකල්පීය කරුණු ගණනාවක් සුමති තල කිහිපයකදී අපගේ අවධානයට යොමු කරයි. ඉන් පළමුවැනි තලය ජාතිය, ජාතිකත්වය සහ අනන්‍යතාව පිළිබඳ සංකල්පීය කරුණු වලට අදාලය. ලාංකේය ජාතිය තුළ දෙමළ ජන ප්‍රජාවන් ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ දී උඩරට දෙමළ වතුකම්කරුවන් ට හිමි තැන කුමක් ද?

ඉන් ඔබ්බට යන අනෙක් සංකල්පීය තලට මා දැනටමත් ඉඟි කොට ඇති පරිදි අනෙකා නියෝජනය පිළිබඳ ය. සුමති තම චිත්‍රපටයෙන් මතු කරන පරිදි ලාංකේය දෙමළ ජනයා ගේ අයිතිවාසිකම් පිළිබඳ උතුර නැගෙනහිර කේන්ද්‍ර කොට ගත් කතිකාවෙන් බැහැර කළ අනෙකා උඩරට දෙමළ වතු කම්කරු ජනතාවයි.

Clipboard01_1686138fඉන්ගිරින්දු: අනෙකා විසින් කැඳවනු ලැබීම

උතුරේ අගනුවර යාපනයෙහි මැද පන්තික දෙමළ ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ සුමති උඩරට දෙමළ වතු කම්කරු නිර්ප්‍රභූ අනෙකා විසින් කැඳවනු ලැබ ඇත. එලෙස තමා කැඳවනු ලැබූ අනෙකා නියෝජනය කරන්නට ගත් සුමති ගත් උත්සාහය යි ඉන්ගිරින්දු.

අනෙකා දැන ගන්නට නියෝජනය කරන්නට අනෙකා ට හඬක් දෙන්නට අපට අවශ්‍ය වන්නේ මන්ද? අනෙකා පිළිබඳ අප දක්වන ආකල්පය අප ම පිළිබඳ ප්‍රකාශනයක් නොවේද? අප අනෙකා දැනගන්නේ කෙසේද? අනෙකා නියෝජනය කළ හැකිද? එය කරන්නේ කෙසේද?

“නිර්ප්‍රභූ තැනැත්තියට කතා කළ හැකිද?“ යනුවෙන් ගයාත්‍රි ස්පිවැක් ඇසූ සුප්‍රසිද්ධ අලංකාරෝක්තිමය නමුත් න්‍යායික ප්‍රශ්නය ද මෙය මය. ස්පිවැක් මෙහිදී මතු කළේ යටත් විජිතවාදී කතිකාව විසින් අපේ සිතීමේ ක්‍රමයම සකස් කොට තිබීම පිළිබඳ ගැටළුව මඟ හැර අපට අනෙකා නියෝජනය කළ හැකිද? යන ප්‍රශ්නය නම් සුමති ඉන්ගිරින්දු නිර්මාණය තුළින් එයට පිළිතුරක් සපයන්නට උත්සාහ කොට තිබේ.

සුමති අනෙකා ගේ කැඳවීමට සවන් දී ඔවුන් මුහුණට මුහුණ හමුවීමට තීරණය කළාය. සුමති ගේ උත්සාහය අනෙකාට හඬක් ලබා දීමයි. සුමති යෝජනා කරන්නේ කතිකාවෙන් බැහැර කළ අනෙකා සාකච්ඡාව ට ඇතුළු කිරීමය.

සුමති මෙය කරන්නේ සිනමාවේ සම්මතයට එරෙහිව යාමෙනි. ඇය තම චිත්‍රපටිය නිර්මාණයේදී වෘත්තාන්ත, වාර්තා යනාදී සම්මත ෂොනරයන් ඉක්මවා යමින් ඒ සියල්ල තම අරමුණ සඳහා යොදා ගනියි. සම්මත නිශ්චිත ආකෘතියක් අනුව නොතැනූ හෙයින් ඉන්ගිරින්දු එහි ආකෘතිය වෙත අපගේ අවධානය ඇද ගනියි. එමගින් චිත්‍රපටයෙන් නියෝජනය කරන දෑ පිළිබඳ සිතා බලන්නට අපට බලකරයි.

මෙම චිත්‍රපටියේ කතාන්දරයක් තිබේ. එහි චරිත තිබේ. එහි නමුත් අවධානය යොමු කෙරන්නේ වෘත්තාන්ත චිත්‍රපටියක කෙරෙන්නාක් මෙන් ඔවුන් ගේ පෞද්ගලික චරිත විකාශය හෝ ඒවා අතර සබඳතා වර්ධනය වන ආකාරය පිළිබඳ නොවේ. එම චරිත ඔවුන් අයිති ප්‍රජාවේ නියෝජනාත්මක චරිත ලෙස ඉදිරිපත් කරමින් ඒවා මුහුණ පාන අත්දැකීම් ඇසුරෙන් ප්‍රජාවේ කතාන්දරය මතු කිරීමටය.

එහි වාර්තාමය ලක්ෂණද අඩංගු වෙයි. ඒ සඳහා ප්‍රකාශිත ලේඛණ, පුවත් පත් වාර්තා සහ ඡායාරූප වාර්තා යොදා ගනියි. අතීත වාර්තා රඟදැක්වීමෙන් වාර්තාමය රංගනයක් ඇතුළත් කර ගනියි. නාටකයක වාද්‍ය වෘන්දය හා සමානව චිත්‍රපටයේ වෘතාන්තය මැද වාද්‍ය වෘන්දයක් අතීත කතාව ගීයට නඟමින් වර්තමානයට අර්ථ සම්පාදනය කරයි. මෙලෙස එය මාධ්‍ය සම්මිශ්‍රණයක් යොදා ගනියි.

චිත්‍රපටයේ එන කතා වාර්තාව සහ වාර්තා කතාව සුමති අපට ඉදිරිපත් කරන්නේ එහි එන චරිත එය දකින ආකාරයෙනි. ප්‍රධාන චරිතය වන ගොළු බිහිරි අනාථ යුවතිය එස්තර් වල්ලි තමා අවට සිදුවන වැදගත් හැම දේම පාහේ දකියි. ඇකෝඩියන් වාදක පීටර් ද සිදුවන දේ පිළිබඳ නිහඬ නිරීක්ෂයෙකි.

චිත්‍රපටයේ කතාන්දරය ඒක රේඛීය ආකාරයට ගලා නොයයි. සුමති හිතා මතා අතීතය සහ අනාගතය හරහා එහා මෙහා යාමක් කරයි. තිරයේ පෙන්නුම් කරන දෙයින් එක්තරා දුරකට අපගේ අවධානය දුරස්ථ කරන ලෙසින් හඬ පටය යොදා ගනියි. මේ සියලු දෙයින් කතාවට සම වැදීමේ අපේ අභිලාෂය සමගින් ගොඩ නැඟෙන සමෝධානය බිඳෙයි, අප චිත්‍රපටයෙන් විලෝපනය කරයි, එනිසා චිත්‍රපටයට සම වදිනවා වෙනුවට ඉන් කියන දෑ පිළිබඳ සිතන්න‍ට අප යොමු කරවයි.

චිත්‍රපටයෙන් නිරූපිත පරිදි මෙම ප්‍රජාවේ මිනිස්සු සහ ගැහැණු අන් ජනවර්ගයක අන් තැනෙක මිනිස්සු සහ ගැහැණු මෙන් සාමාන්‍ය මිනිස්සු වෙති. ඔවුහු විවිධ මටටමින් තමන් අතරේ හැදෙන අනාථ ගොලු බිහිරි දැරිය රැක බලාගන්නට කාරුණික වෙති, නමුත් නපුරු ද වෙති. ඔවුහු සහයෝගයෙන් කටයුතු කරති, ගැටුම් ද ඇති කර ගනිති. තම සැබෑ ජිවිතය පිළිබඳ පිටතට සඟවති, බොරු කියති. තම තමන් අතර රණ්ඩු සරුවල් කරති. තම අසරණ භාවය නිසා ඇතිවන කෝපය අනුන් මතින් පිටකරන්නට පෙළඹෙති. ඇතැම් පිරිමි ගැහැණු සැක කරති, ස්ත්‍රිය තම තෘප්තිය සඳහා ඇති දෙයක් ලෙස සළකති, ස්ත්‍රීන්ට පහර දෙති, අඩම්තේට්ටම් කරති. ගොළු බිහිරි ස්ත්‍රියකට පවා ලිංගික අතවර කරන්නට නොපැකිළෙති. පිරිමින් වශයෙන් ගෙදරට ආදායම් ගෙන එන්නට සම්මතයෙන් බැඳී ඇති හෙයින් ඒ පිළිබඳ වෙහෙසෙති. තම අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීය සමිති කටයුතු වලට, දේශපාලනය ට සහභාගී වෙති, උනන්දුවක් දක්වති, සමහරු ඒවා මඟ හරිති. ජීවිතයේ දුක් කම් කටොළු වලින් තැවෙති. සාමුහිකව ක්‍රීඩා, සංස්කෘතික කටයුතු වලට සහභාගී වීමෙන් සතුටක් විනෝදයක් ලබති.

සුමති අප හමුවේ නඟන්නේ මෙබඳු සාමාන්‍ය මිනිසුන් අයත් ප්‍රජාවක සාමාජිකයන්ට අන් මිනිසුන් හා සමානව සළකන්නට ලංකා රජය අපොහොසත් වී ඇත්තේ මන්ද? යන්නයි. ඒ පිළිබඳ ලාංකිකයන් වන අප කුමක් සිතමු ද?

(කතිකා kathika.wordpress.com වෙබ් අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරමින් නැවත පළ කළ හැකිය.)


“හනා ආරන්ඩ්ට්“ – චිත්‍රපට දැක්ම සහ සාකච්ඡාව

“හනා ආරන්ඩ්ට්“ – චිත්‍රපට දැක්ම සහ සාකච්ඡාව

HANNAH POSTER FIR MAIL

සිනමා විචාර

අහිමිවීමක පුනරාවර්තනය :
බඹර වළල්ල නැරඹීමට කවුලූවක්

කෞශල්‍ය කුමාරසිංහ
විදුර ප‍්‍රභාත් මුණසිංහ

පිවිසුම

බඹර වළල්ල ගැන බොහෝ විචාර ලියවෙයි. ඒවා සිනමා කෘතියේ සිනමාත්මක වටිනාකම් නොවටිනාකම්වල සිට අන්තර්ගත සමාජ දේශපාලන දැක්ම දක්වා විහිදෙනු පෙනේ.

මෙම චිත‍්‍රපටය පිලිබඳ පසුගිය සති කිහිපය පුරාවට විවිධ පුවත්පත්වල පළවූ සිනමා විචාරයන් මෙන්ම සමහර සම්මන්ත‍්‍රණයන් තුලින්ද අපට හමුවූ කිසිවක් මෙම කෘතිය නැරඹීම සඳහා වන කවුලූවක් නොඑසේනම් කියවීම සඳහා වන රාමුවක් සපයාදීමට අසමත්විය (මෙහිදී අපට මඟහැරුනු විචාරයන්ද තිබිය හැක). කෙසේ වෙතත් කලා විචාරකයාගේ මූලික වගකීම වන්නේ කෘතිය තුල පවත්නා අසීමිතත්වය සීමිත බවට පත්කිරීම තුලින් එකී කෘතිය නැරඹීම සඳහා වන කවුලුවක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවට අපට හමුවූයේ කෘතිය සම්බන්ධයෙන් දක්වන ලද්දාවූ විසිරුනු අදහස් දැක්වීම් සමුදායක් පමණකි. අප උත්සාහ කරන්නේ චිත‍්‍රපටය යලි නැරඹීමට කවුලූවක් තනා ගැනීමටයි.

මෙම ලිපියේ සංවාද ගැටලූව වන්නේ සංකීර්ණ ලෙස එකිනෙකාට බැඳුනු ති‍්‍රකෝණාකර මිනිස් සම්බන්ධයක් සමරූපීව, එනමුදු විවිධ වේශයන්ගෙන් චිත‍්‍රපටය තුල තුන්වරක් පුනරාවර්තනය වන්නේ ඇයිද යන්නයි. ‘බඹර වළල්ල’ යන්නෙහි ඇති ව්‍යංගාර්ථය මෙම මිනිස් ති‍්‍රකෝණයේ නැවත නැවත පැමිණීමද ?

පෙනෙන ලෙස මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන ‘පොඩි එකා’ අනෙකුත් චරිත හා සම්බන්ධවීම තල තුනක් ඔස්සේ විකාශනය වෙයි. පළමු තලය තුල ඔහු ජීව විද්‍යාත්මක ශරීරයෙන්ම පොඩි එකෙකි. බාප්පා (ලලිත් ජනකාන්ත) , අක්කා (අනුරුද්ධිකා පාදුක්කගේ) සහ අම්මා (නීටා ප‍්‍රනාන්දු) එම තලයේදී කේන්ද්‍රීයව ඔහු හා සම්බන්ධවන බව පෙනේ. මෙහිදී බාප්පා විසින් අක්කාව දුෂණය කිරීමත් (මෙය කාලයක් තිස්සේ සිදුවූ එකක් බව කෘතිය තුල නිරූපනය වෙයි). අනතුරුව ඇය ගෙල වැලළා ගැනීමත් සිදුවන අතර පොඩි එකා විසින් උදැල්ලකින් පහරදී බාප්පාව මරා දමනු ලබයි.

දෙවන තලය තුල හිරෙන් නිදහස්වන ශරීරයෙන් ලොකු ‘පොඩිඑකා’ අප්පුහාමි මාමාගේ (ජයලත් මනෝරත්න) හරක් බලමින්, කුඹුරු වැඩ කරමින් ජීවත් වෙයි. පොඩි එකා සිරගතව සිටියදී බාප්පා හා අක්කාගේ මරණයෙන් පසු උන්මත්තක බවට පත්වූ අම්මා බලාගනු ලබන්නේ අසල්වැසි අප්පුහාමි මාමාගේ පවුලේ උදවිය විසිනි. අප්පුහාමි මාමා, ඔහුගේ දියණිය වන පුංචි මැණිකා (කෞශල්‍යා සමරසිංහ) සහ උමතුව සිටින අම්මා එම තලයේදී ‘පොඩි එකාගේ’ චරිතය හා බැඳෙන ප‍්‍රධාන චරිතයෝ වෙත්. එහිදී පුංචි මැණිකාට ට සිය සිතැඟි හෙලිකරන පොඩි එකාව පිලිකුලෙන් බැහැර කරන ඇගේ දිගු කෙස්වැටිය පොඩි එකා විසින් කපා දමනු ලබයි. මෙයින් මහත් කෝපයට පත්වන අප්පුහාමි මාමා තමන්ට සිදුවූ නිග‍්‍රහයට පලිගනු වස් පොඩි එකාට පහරදී මරා දැමීමට තැත් කරයි. ඔහුගේ දිවි බේරෙන්නේ හදිසියේ එතැනට පැමිණෙන මැල් මහත්තයා (මහේන්ද්‍ර පෙරේරා) විසින් ඔහුව රෝහලට ගෙනයාම නිසාවෙනි. අප්පුහාමි මාමා පොඩි එකාගේ මවද සමඟ පොඩි එකාගේ නිවසට ගිනි තබා සිය පවුලේ උදවිය සමඟ ගමෙන්ද පිටව යයි.

කථාවේ තුන්වන තලයේදී මැල් මහත්තයාගේ හිතෛෂීයකු බවට පත්ව සිටින පොඩි එකාගේ ජීවිතය දිගහැරෙන්නේ මැල් මහත්තයා, කුමාරි (දමිතා අබේරත්න), ජිනෙ අයියා (ශ‍්‍රියන්ත මෙන්ඩිස්) යන චරිත සම්බන්ධ කරගනිමිනි. එහිදී මල්ශාලා හිමිකරුවකු හා වී වෙළදාමේ නියුතුවූවකු වන මැල් මහත්තයා වරෙක මානව හිතවාදියකු ලෙසින්ද, තවත් වරෙක ප‍්‍රචණ්ඩ අවස්ථාවාදී ව්‍යාපාරිකයකු ලෙසින්ද පෙනී සිටින්නෙකි. පොඩි එකා සහ කුමාරි මෙම තලය තුල නිරූපනය වන්නේ මැල් මහත්තයාගේ ආදරය, රැුවරණය ලබන්නන් මෙන්ම ඔහුගේ ප‍්‍රචණ්ඩ ව්‍යාපාර ලෝකයේ ගොදුරු ලෙසිනි. කුමාරි යනු වක‍්‍ර බලහත්කාරයක් සහිතව මැල් මහත්යාගේ මෙන්ම ඔහුගේ විවිධවූ සහචරයින්ගේ ආශාවන් සන්සිඳවීම සඳහා රඳවා සිටින්නියකි. පොඩි එකා සහ කුමාරි මැල් මහත්තයාගේ ග‍්‍රහණයෙන් මිදී පළා යන අතර ඔවුන් නැවත තමන් වෙතට ගෙන්වා ගන්නා මැල් මහත්තයා ඔවුන් දෙදෙනාව විවාහ කරදෙයි. මැල් මහත්තයා වෙනුවෙන් මංකොල්ලයකට සහභාගීවන පොඩි එකාව මරාදැමිමට මැල් මහත්තයා උත්සාහ කරද්දී මැල් මහත්තයා මියයන අතර පොඩි එකාගේ මිනිය දැවීමට සැලසුම්කොට තිබූ දර සෑයේ පොඩි එකා විසින් මැල් මහත්තයාගේ මිනිය දවාලයි. කථාව අවසානයේ අප දකින්නේ මැල් මහත්තයාගේ ව්‍යාපාරයන්හි හිමිකරුවා බවට පොඩි එකා පත්වී සිටින ආකාරයත් (ප‍්‍රථම වතාවට ඔහුට පොඩි එකා කියා නොව මහත්තයා යනුවෙන් ආමන්ත‍්‍රණය කරනු මෙහිදී අසන්නට ලැබේ), කුමාරි එහි සේවය කරමින් සිටින ආකාරයත්ය.

මිනිස් ති‍්‍රකෝණයක පුනරාවර්තනය

මෙම ලිපියේ සංවාද ගැටලූවට අදාල තුන් වරක් පුනරාවර්තනය වන ති‍්‍රකෝණාකාර මිනිස් සම්බන්ධය නම්කර ගැනීමට කිසියම් ඉඩක් දැන් විවරව ඇත. මුල් තලය තුල කේන්ද්‍රීය මිනිස් සම්බන්ධය ලෙස පොඩි එකා, අක්කා සහ බාප්පා හඳුනාගත හැකිය. එය නැවත දෙවන තලය තුල පැමිණෙන්නේ පොඩි එකා, පුංචි මැණිකා සහ අප්පුහාමි මාමා ලෙසිනි. තෙවන තලය තුල පොඩි එකා, කුමාරි සහ මැල් මහත්තයා ලෙස පුනරාවර්තනය වන්නේද එකී ති‍්‍රකෝණ සමබන්ධයමය. මේ සියලූ සබඳතා ස්වරූපයන් ඔස්සේ පොඩි එකාගේ ජීවිතය කරා මේ නැවත නැවත පැමිණෙන්නේ මියගිය බාප්පා හා අක්කාගේ නොමළ අවතාරයන්ද ? Continue reading සිනමා විචාර