Category Archives: සුචරිත ගම්ලත්

සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා අමරදේව – මහාචාර්ය සුචරිත ගම්ලත්

“සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා වන්නේ ඔහුයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි රස භාවයන් හා දේශීය ජන ගී, ජන නාද රටාව යන අංශ දෙකෙහිම සංකලනයෙන් ඔහු මේ තත්ත්වය නිර්මාණය කළා. ඊට පෙර යුගයන් හිදී ශාස්ත්‍රීය සංගීතය වෙනම ඇසුණා. ජනගීය වෙනම ඇසුණා. මේ අංශ දෙකම නිර්මාණාත්මක ලෙස භාවිතා කළ පළමු පුද්ගලයා වන්නේ ඔහුයි. ඒ සංගීත සම්ප්‍රදායන් දෙකෙහි එකමුතුවෙන් බිහිවුණු නිර්මාණ හරහා අප ගීතයෙන් එතෙක් අත් නොවිඳි රසභාවයන් මතුවුණා. ගීතය නිර්මාණාත්මක ලෙස පුළුල් ලෙස වර්ධනය වුණා. ඒ වගේම ජන ගීය සම්බන්ධයෙන් තිබුණු අදහස්වල වෙනසක් ද ඇති කළා……ඕනෑම කලාකරුවකුගේ හැම නිර්මාණයක්ම එක සේ උසස් යැයි කියන්න බැහැ. හැම නිර්මාණයක්ම විශිෂ්ට වන්නේ නැහැ. ඒ වගේම අමරදේවයන්ගේ ද හැම කෘතියක්ම එකසේ උසස් කෘති යැයි මා පිළිගන්නේ නැහැ. ඔහු නිර්මාණය කරපු ගායනා කරපු දේශාභිමානී ගී යටතට වැටෙන බොහොමයක් ගීත උසස් නිර්මාණ ලෙස මම පිළිගන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් 1983 කළු ජූලිය දවසෙ පේරාදෙණි විශ්වවිද්‍යාලෙ සිංහල ශිෂ්‍යයන් ද්‍රවිඩ ශිෂ්‍යයන්ට ම්ලේච්ඡ, දරුණු කුරිරු විදිහට පහර දුන්නෙ ඔහු තනු නිර්මාණය කරපු “මේ සිංහල අපගෙ රටයි” ගීතය ගායනා කරමින්.”

Continue reading සරල ශාස්ත්‍රීය සංගීතයේ නිර්මාපකයා අමරදේව – මහාචාර්ය සුචරිත ගම්ලත්

Advertisements

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය
උදේනි ජයවීර

සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි විශාරද බුද්ධිමතෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇත.ඔහුගේ අභාවය හුදෙක් සුදුර්ලභ බුද්ධිමතෙකුගේ මිය යාමක් පමණක් නොව යුගකාරක මාක්ස්වාදී බුද්ධිමතෙකුගේ සමුගැනීමක් ද වන්නේ ය. එවක විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකුව සිටි අවධියේ සම්භාව්‍ය මාක්ස්වාදයක් එහි භාවිතයත් පිළිබඳ ඔහු ලද පරිචය හා ශික්ෂණයත් එහි ලේකම්ව සිටි දීප්තිමත් මාක්ස්වාදියෙකු වූ අභාවප‍්‍රාප්ත කීර්ති බාලසූරියගෙන් ලද පිරිපහදුවත් මාක්ස්වාදී කලා විචාරකයෙකු ලෙස සුචරිත ගම්ලත් හැඩ ගස්වා පෝෂණය කළේය.

සාහිත්‍ය – කලා සම්බන්ධ මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවේ මූලධර්ම හඳුන්වාදීම හා සාහිත්‍ය – කලා විචාර ක්ෂේත‍්‍රය තුළ අපෝහක භෞතිකවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට ඔහු කළ පුරෝගාමී සේවාව ඓතිහාසිකය. එහිදී ඔහු සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ කලා විචාර භාවිතය ලංකාවේ සාහිත්‍ය කලාවන්ට උපයෝග කළේ ය. සාහිත්‍ය – කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය සංක්ෂිප්තව විභාග කිරීම මේ ලිපියේ අරමුණයි.

සිය කලා විචාරය හුදෙක් විධික‍්‍රමයකට අනුව සාහිත්‍ය – කලා මැනීමත් ලෙස නොසලකාගත් ගම්ලත් එය මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමට සාමාජික මිනිසා කරන අනවරත අරගලයට අනුපූරක භාවිතයක් සේ සලකා ගත්තේය.

දශක හතරක් ද ඉක්මවා ගිය සිය විචාර භාවිතය තුළ ඔහුට ගැටෙන්නට සිදු වූයේ යල් පැන ගිය විචාර සිද්ධාන්ත සමඟ පමණක් නොව ජාතික රාජ්‍යයකට ගැට ගැසී තිබූ ප‍්‍රතිගාමී ධනේශ්වර දෘෂ්ටිවාදයන් සමඟ ද ඔහුට ගැටෙන්නට සිදු විය.

විඤ්ඤාණවාදය, වර්ගවාදය, සිංහල ස්වොත්තමවාදය, ජාතික චින්තනය, පුරුෂොත්තමවාදය, ආගමික අගතීන්, චිරාගත මිථ්‍යාවන්, මායාවන් ඈ අවිද්‍යාවන් එහිදී ප‍්‍රමුඛ විය.

සුචරිත ගම්ලත් සුවිශිෂ්ට විචාරකයෙකුගේ තැනට එස වී ගත්තේ හුදෙක් ඔහුගේ ආසාමන්‍ය බුද්ධි මහිමය නිසා නොව බස හැසිරවීමේ වෙසරද බව, පෙරඅපර දෙදිග දර්ශනවාද හා සෞන්දර්ය විද්‍යා ඥානය, තර්ක බුද්ධිය, සම්භාව්‍ය මාක්ස්වාදය පිළිබඳ අවබෝධය යනාදියට අමතරව වෙසෙසින්ම ඔහුගේ අපෝහක භෞතිකවාදී ලෝක දෘෂ්ටිය නිසාය.

ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට විධිමත් සාහිත්‍ය – කලා විචාර සිද්ධාන්තයක් හඳුන්වාදීමට දැරූ ප‍්‍රථම ප‍්‍රයත්නය මහාචාර්ය සරච්චන්ද්‍රගේ ප‍්‍රයත්නයයි. ‘‘කල්පනා ලෝකය’’ සහ ‘‘සාහිත්‍ය විද්‍යාව’’ කෘති තුළින් නව විචාර සංකල්ප හඳුන්වා දුන් සරච්චන්ද්‍ර කාව්‍ය විචාරයේ දී කාව්‍ය රචනා තුළ මනෝගති, චිත්තා, හැගීම් ආදි මනෝභාවික අංශය විමර්ශනය කළේ ය. ඔහු කාව්‍යයේ ඥානික අගයක් නොදුටුවේ ය. Continue reading සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

සුචරිත ගම්ලත්

ගම්ලත්ට පසු ගම්ලත්?
හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක්

දිමුතු සමන් වෙත්තසිංහ14006 - Copy - Copy

පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි. Continue reading සුචරිත ගම්ලත්

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

දෙවියන් හැර ගිය දෙවොලක සිට
කැත්ලීන් ජයවරර්ධන

w1-1

සෝවියට්‌ පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය. මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා – 202, 203 පිටු – මහාචාර්ය සුචරිත ගම්ලත්)

රුසියානු මහා ලේඛක මැක්‌සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට්‌ ජනමාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව වසර 5 කට ඉහතදී මහාචාර්ය සුචරිත ගම්ලතුන් තැබූ මේ සටහන ආකස්‌මිකව අපගේ සිතට නැගෙන මොහොතකි මේ. ඒ, ඉතිහාසයේ කාල පරිච්ඡේදයක්‌ තුළ සිය මුද්‍රdව තැබූ ගම්ලතුන් ඉකුත් කාල සීමාව තුළ අපේ මාධ්‍යයට (විශේෂයෙන් රූප මාධ්‍යයට) බරපතළ ලෙස මග හැරුණේ ද යන ප්‍රශ්නය යළි යළි පැන නැගෙමින්, රැළි නැගෙමින් ඇති නිසා ය.

මහාචාර්යය සුචරිත ගම්ලතුන් හා මා අතරේ සාමාන්‍ය මට්‌ටමක හෝ ඇසුරක්‌ පැවතුණේ ගවී ගිය පස්‌වස තුළ ය. ඉඳහිට මට හමු වූ විට මා සමඟ කතා බහ කළ මේ මහාචාර්යවරයා කලක පටන් මා වේදිකාවේදී දැක තිබූ ඒ මහාචාර්යවරයා ම දැයි විමතියක්‌ මා තුළ පැන නැඟුණේ ද මේ අතරේ ය. ඒ ඇතැම් දේ මට හැඟුණ දැනුණ හැටියට ය. ප්‍රසිද්ධ වේදිකාවලදී සිංහ සෙය්‍යාවෙන් (ඇතැමුන් පවසන පරිදි දෙන්නම් බැටේ විචාරයෙන්) සෙස්‌සන් දුර්මුඛ කළ දැඩි මතධාරියකු වෙනුවට මා දුටුවේ, මට හමුවූයේ සාවධාන ලෙස අන්‍යයනට සවන් දෙන කුඩා දරුවකු තරමට, අහිංසකත්වයක්‌ ප්‍රකට කළ, නිහඬ, නිවුණු, තැන්පත්, සානුකම්පිත පුද්ගලයෙකි. මෙය වියපත් වීම ද සමඟින් පුද්ගලයකු තුළ ඉස්‌මතු වන සාමාන්‍ය තත්ත්වයකි යි සිතන්නට ඇතැම් විට මම කිසියම් උත්සාහයක යෙදුනෙමි. එහෙත් වැඩිදුරටත් සිතත්දී එය පොදු ධර්මතාවක්‌ වශයෙන් මට හඳුනාගත හැකි වූයේ ද නැත.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් පිළිබඳ ගෞරව භක්‌තියක්‌ මා තුළ තැන්පත් වූයේත් බහුතර සාහිත්‍යකාමීන්ගේ – සෞන්දර්යකාමීන්ගේ සිත්සතන් තුළ එතුමා අමරණීයත්වයට පත් වූයේත් විශේෂ කරුණක්‌ හේතුවෙනි යි මම විශ්වාස කරමි. මේ කවර නම් කරුණක්‌ දැයි වටහා ගැනීම සඳහා ‘මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා’ කෘතියෙන් ම උද්ධෘත කොට ගත් ලෙනින්ගේ අවධාරණයක්‌ දැක්‌විය හැකි ය.

මනුෂ්‍ය සංහතියේ සමස්‌ත විකාශනය විසින් නිර්මාණය කරන ලද සංස්‌කෘතිය නිසි ලෙස හදාරා වෙනස්‌ කිරීමෙන් පමණක්‌ මානව සංස්‌කෘතියක්‌ බිහිකිරීමට හැකි වන්නේ ය.

හුදෙක්‌ පැරණි වූ පළියට සැබෑ සෞන්දර්යයට පිටුපෑම කලාකරුවන් නො කළ මනා ය( එය ඉදිරි විකාසනයන් පටන් ගන්නා පදනම වශයෙන් සැලකිය යුතු ය.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා 95 පිටුව)

Socialist Realism in literature and Art (කෘතියෙන් උපුටා ගැනුණකි.)

සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම සම්භාව්‍ය මාක්‌ස්‌වාදය හඳුන්වා දෙද්දී ද ගම්ලත් සූරීන් භාවිතයට ගත්තේ සුමියුරු වූ බසකි. න්‍යායික ආස්‌ථානය කුමක්‌ වුවත් යාන්ත්‍රික මාක්‌ස්‌වාදියකු ලෙස අපට ඔහු පෙනී නොගියේ ඒ නිසා ය. සිංහල, පාලි, සංස්‌කෘත නම් වූ මිණි පත්ලෙන් ගරා ගත්, තෝරා ගත් නියම වචන නියම තැනට යෙදීමේ අපූරු හැකියාවක්‌, සුවිශේෂ කුසලතාවක්‌ සුචරිත ගම්ලත් සූරීන් සතු ව තිබිණි.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් අපේ කාලයේ වීරයකු ලෙස සිය මුද්‍රාව තබන්නේත්, මාක්‌ස්‌වාදී, භෞතිකවාදී බහුතරයකගෙන් ඔහු වෙනස්‌ වන්නේත් ඉහත කී හේතුව නිසා විය හැකි ය. අප ‘සාහිත්‍යය’ ලෙස පොදුවේ හඳුන්වන, සංස්‌කෘතයෙන් ‘කාව්‍යය’ වශයෙන් හැඳින්වෙන ‘රසය’ ජනනය කර දෙමින් ඔහු පාඨකයාගේ රසභාව පෝෂණය කළේ ය. විෂය ක්‌ෂේත්‍ර ගණනාවක පාරිභාෂිත පද සියුම් ලෙස හදාරමින් සහ ඇතැම් විට නව වදන් නිපදවමින් අනගි සම්ප්‍රදායන් ශේෂ කර තැබුවේ ය.

පුරාණ ග්‍රීකයන් නිර්මාණය කළ කලාව හා වීරකාව්‍යයනට පිටු දුන් සමාජ පදනම හා පරිකල්පනය අද නැතත් ඒ නිර්මාණ දැනුදු අපට ඉහළ සෞන්දර්යාත්මක ආස්‌වාදයක්‌ ගෙන දෙන ආකාරය පිළිබඳ ප්‍රබල හේතුවක්‌ දක්‌වන මාක්‌ස්‌ගේ අවධාරණයක්‌ මහාචාර්ය ගම්ලතුන් සිය කෘතියේ ඉතා පැහැදිලි ලෙස මෙසේ සඳහන් කරයි.

ග්‍රීක කලාවේ පිළිබිඹු වන්නේ යථාර්ථය පිළිබඳ අහිංසක වූ ද ඒ සමඟම සුත වූ ද සාමාන්‍යයෙන් ස්‌වාභාවික වූ ද සංජානනයකි. සමාජ සංවර්ධනයේ මුල් අදියරවලට, එහි ළමා අවදියට මේ සංජානනය ආවේණික ය. එහි නිරූපණය වන්නේ ස්‌වාභාවික අවංක බව සඳහා දැරෙන ප්‍රයත්නයකි. ඒ අවංක බවෙහි සෑම දෙනාටම අද්විතීය ආකර්ෂණයක්‌ ද සෞන්දර්යයක්‌ ද ඇත. අද ද අපට ඒවායින් ගැඹුරු ආස්‌වාදයක්‌ ලැබෙන්නේ එහෙයිනි.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍ය කලා – 20, 21 පිටු)

ගම්ලතුන් හඳුනා සිටියේත් බොහෝ විට ඔහුට විෂය වූයේත් ඒ අවංක බවෙහි අද්විතීය ආකර්ෂණය හා සෞන්දර්යය යි. තමාට කුලුපග නො වන විෂයයන් ගැන ලියන විටදී පවා ඔහු අතින් ඒවා විකෘතකරණයකට ලක්‌ නො වූයේ ඒ නිසයි. ඔහුගේ සංචින්තනය, වාගාලංකාරය, අනුප්‍රාණය පාඨකයා තුළ චමත්කාරය දැනවූයේ ද ඒ ඔස්‌සේයි.

මාක්‌ස්‌වාදී සාහිත්‍ය කලාව මෙන්ම විඥනවාදී සෞන්දර්ය විද්‍යාව ද ඔහුගේ ලේඛනවල සංගෘහිත ව තිබිණි. මේ සියල්ල මනා ලෙස එකලස්‌ කොට ගළපා ‘කාව්‍යය’ හා ‘කාව්‍යයට හේතු’ යන ශීර්ෂ පාඨය යටතේ එතුමා රචනා කළ (ඉරුදින පුවත්පතේ පළවූ ලිපි එකතුවක්‌ වන ‘සාහිත්‍ය ප්‍රවේශය’ කෘතියේ) සටහනකි පහතින් දැක්‌වෙන්නේ.

සැබෑ සාහිත්‍යයේ වචනවලට වෙන වචන යොදා එය වෙනස්‌ කරන්නට බැරි ය. එසේ කළ විට රචකයා යෙදූ අර්ථය භංග වේ. ‘මුහුණ සඳකි’ යන්නට ‘මුහුණ ග්‍රහලෝකයෙකි’ යන වචන ආදේශ කළ නොහැකි ය. ආදේශ කළ විට එහි අර්ථය භංග වේ.

වියත් අවියත් දෙපක්‌ෂයට ම ග්‍රහණය කර ගත හැකි අයුරින්, සරල සුගම බසින් අදහසක්‌ ප්‍රකාශ කිරීමෙහි ලා ගම්ලතුන් සතුව පැවති ශක්‍යතාවයේ මහීමාව නම් මෙය යි. මෙකල අප අත්විඳිමින් සිටින්නේ මෙලෙස ඕජෝ ගුණයෙන් යුතුව බස හැසිරවිය හැකි සමකාලීන විද්වතුන් අප අතර නො සිටීමේ ඛේදය යි. බොහෝ විට නූතන පාඨකයාට කියවීම එපා කරවන්නේ ලේඛකයාගේ බස හැසිරවීමට දරිද්‍රතාව යි.

ශාස්‌ත්‍රීය කෘතියක වේවා සාහිත්‍ය නිර්මාණයක වේවා භාෂා රීතිය සකස්‌ විය යුතු ආකාරය පිළිබඳ අදහසක්‌, ¨දැක්‌මක්‌ අප තුළ මුල් ඇදුණේ ගම්ලතුන්ගේ ඒ භාෂා ප්‍රාගුණ්‍යය අපගේ භාෂා දැනුම පිරිපහදු කිරීම නිසා ය. භාෂාවේ ස්‌ථර තුනක්‌ පෙන්වා දෙන ගම්ලත් සූරීහු එදිනෙදා කතා කරන භාෂාව, විද්‍යාත්මක භාෂාව හා කාව්‍යමය භාෂාව වශයෙන් ඒවා නම් කරති. ඉනික්‌බිතිව ඒ සම්බන්ධයෙන් කෙරෙන විවරණය මෙවැනි ය.

‘මෙහිදී විද්‍යාත්මක භාෂාව නොතකා හැර කතා කරමු. කතා කරන භාෂාව යනු මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී උනුන් අතර අදහස්‌ හුවමාරු කරගැනීමට තිබෙන උපකරණය යි. එය ඉගෙනීම සඳහා විශේෂ මහන්සියක්‌ දැරීම අවශ්‍ය නො වන්නේ ය.

කාව්‍යමය භාෂාව යනු ඈත අතීතයේ ගල්ලෙන්වල වාසය කළ කාලයේ පටන් මිනිසා හැඟීම් පැවසීම සඳහා භාවිත කළ සුභාවිත කළ, සම්භාවිත කළ, බහුලීකෘත කළ, වර්ධනය කළ, සංවර්ධනය කළ උපකරණය යි.’

අප බරපතළ ලෙස නාස්‌ති කරගෙන ඇත්තේ, අපතේ යවා ඇත්තේ විෂයාන්තර භාෂාන්තර අවබෝධයකින් සපිරි මේ අපූර්ව ශක්‌ති ජනකයම නොවේ දැයිs දැන් අපි පශ්චාත්තාපී ව සිතමු. අප උපත ලබා ඇත්තේ, සම්පත් අපතේ යෑවීම සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තැබූ දේශයක වන නිසා එක්‌ අතකින් එහි අරුමයක්‌ ද ඇත්තේ නැත.

ගම්ලතුන් හිමිකම් කීවේ ඉහත කී භාෂා ප්‍රාගුණ්‍යයට පමණක්‌ නො වේ. බහුවිධ විෂය ක්‌ෂේත්‍ර ස්‌පර්ශ කෙරෙමින් සම්පරීක්‌ෂණයෙහි යෙදෙමින් ඔහු ලියූ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ බොහෝ ය. ඒ කිසිවක්‌ විද්යුත් මාධ්‍ය සංවාද මණ්‌ඩපයකින් කතාබහට ලක්‌ කෙරුණ බවක්‌ අපට මතක නැත. රූප තිරයට ආගන්තුක වූ ගම්ලතුන්ගේ ප්‍රතාපවත් මුහුණ කැටයමක්‌ මෙන් කෙටී පැවතුණේ මෙරට රසික සිත්සතන් තුළ ය. ගම්ලතුන්ගේ පන්හිඳ තෙළිතුඩක්‌ බවට පත් වූයේ රසික සිත් වර්ණ ගැන්වීමට ය. මාක්‌ස්‌වාදී ආස්‌ථානයක්‌ නියෝජනය කළ ද ගම්ලතුන්ගේ සිත ලෝකයේ සෞන්දර්යාත්මක හා දාර්ශනික චින්තාවනට ශුෂ්ක බිමක්‌ වූයේ නැත. ‘ලියොන් ට්‍රොට්‌ස්‌කි හා සාහිත්‍යකලා’, ‘ට්‍රොට්‌ස්‌කිවාදය’, ‘මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා’ කෘති අතරට ‘බුද්ධ චරිතය’ (චරිතාපදාන) ‘අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය’ (පර්වර්තන) ‘වෙස්‌සන්තර ජාතක කාව්‍ය’ (විවරණ) හා ‘යසෝදරාවත’ ද එක්‌ වූයේ මේ අනුව ය. මේ සම්ප්‍රදායන් අප වෙත ලබා දී ඇත්තේ ගම්ලතුන්ගේ චිරකාලීන ශාස්‌ත්‍රීය ගවේෂණ හා ඒවායින් ලද සුපෝෂණය යි. එතුමන්ගේ ‘බුද්ධ චරිතය’ නම් වූ විශ්ලේෂණාත්මක චරිතාපදානයේ පහත දැක්‌වෙන ඡේදයෙන් ගම්‍ය වන්නේ ද එයයි.

‘වර්තමාන’ ශබ්දමාලා තිබුණේ නම් බුදුන් වහන්සේ දේපොළ අයිතිකාර සමාජය පිළිබඳ තම විනිශ්චය මේ ආකාරයෙන්ම සූත්‍රගත කරත් දැයි කල්පනා කිරීමෙහි ඵලයක්‌ නැත. සත්‍ය කරුණ නම් වත්මන් ශබ්දමාලා උන්වහන්සේට නො තිබූ බවයි. උන්වහන්සේට වූයේ අපෝහකවාදී දෘෂ්ටියකි. එනම් පටිච්ච සමුප්පාදය නමැති දෘඨතර නියාමය යි. මෙහි වැදගත්කම කිසිසේත් නොතකා හළ නොහැකිය. මෙය තමන්ගේම ආකාරයෙන් දේපොළ අයිතිකාර ජනසමාජය මානව සංහතියේ අවසාන ඉරණම විය නොහැකි ය යන අදහස ප්‍රකාශ කිරීමට උන්වහන්සේ මෙහෙයවයි( නිශ්චිත තත්ත්වයනට යටත්ව හටගන්නා එය ඒ තත්වයන්ගේ විනාශ වී යැමට නියමිතයි. (=අස්‌මිං අසති ඉඳං න හෝති – මෙය නැති කල මෙය නො වේ)

(බුද්ධ චරිතය – 496 පිටුව)

මේ කෘතියේම 212 පිටුවේ සිදුහත් තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියාව හා අදාළ නිරීක්‌ෂණයන් පිළිබඳව එතුමා මෙසේ සඳහන් කරයි.

මෙය විද්‍යාගාරයක කෙරෙන පරීක්‌ෂණයක්‌ වැන්න. සිදුහත්හු භය ශංකා, වෙසෙසින් මරණය එළඹෙතැයි යන භයශංකා තමන් අබිබවා යැමෙන් වලක්‌වා ගැනීමට අධිෂ්ඨානවත් වූහ. තමන් නිපදවූ එන්නතක්‌ තමාට ම එන්නත් කරගෙන පරීක්‌ෂා කරන විද්‍යාඥයකු පරිද්දෙන් සිදුහත් තවුසාණෝ ක්‍රියාවේ ද එහි ඵලයේ ද අන්තර් සම්බන්ධය නිරීක්‌ෂණය කරමින් විඳ දරාගෙන උන්හ.

ගම්ලතුන්ගේ විශිෂ්ටතම සම්ප්‍රදානයක්‌ වශයෙන් පෞද්ගලිකව මට සිතෙන ‘බුද්ධ චරිතය’ පොතට පසු වදනක්‌ එක්‌ කරන සමිත විෙ-වර්ධනයෝ බුදුදහම හා සුචරිතයන්ගේ බසෙහි සුසංයෝගය, ඒ අසිරිය පිළිබඳව මෙසේ පවසති.

එදෙස, මෙදෙස, පුරාතන, නූතන නන් බස්‌හි විශාරද මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ මනනයන පොබයන අසිරිමත් බස්‌වහරින් අසිරිමත් බුදු සිරිතින් ඒ අසිරිමත් බුදු සිරිතින් ඒ අසිරිමත් බස්‌ වහරත් දිදුලයි. මේ දෙකින් ම හෙළබස බැබළේ. මැණිකෙන් එය බැඳි වළල්ලත් වළල්ලෙන් එහි බැඳි මැණිකත් ඒ දෙකින් ම කරලතාවත් බබළන කලෙක මෙනි.

මේ කවර සාහිත්‍යමය වර්ණනාවකින් වුව සමුච්චයාර්ථයක්‌ දෝංකාර නංවන්නේ සමස්‌තයක්‌ ලෙස ගත් කල්හි යෑයි ද එතුමෝ වැඩිදුරටත් පෙන්වා දෙති. සාහිත්‍ය විචාරයේදී ‘වනිය’ ලෙස නම් කෙරෙන මෙය හඳුනාගත හැකි පුද්ගලයා ගම්ලතුන් හඳුන්වන්නේ ‘සුපාඨකයා’ ලෙස ය. මේ පිළිබඳ එතුමා නිදසුන් දක්‌වා ඇත්තේ මෙලෙසිනි.

පැරැන්නන් සාහිත්‍යයෙන් වාච්‍යාර්ථය පමණක්‌ ගන්නන්ට හොඳ උපමාවක්‌ කියා ඇත. ඒ මෙසේ ය:

කවිතාස්‌වාද විෂයේ

පදව්‍යුත්පත්තිමාත්‍රධී:

නීවීමෝක්‌ෂස්‍ය වේලායාං

යථා ක්‌ෂෞමාර්ඝචින්තකඃ

(කාව්‍ය රසාස්‌වාදය කරන වේලෙහි පදයන්ගේ වාච්‍යාර්ථය පමණක්‌ ගන්නා අඥානයා පිය ළඳගේ සළු පිළි ගිලිහෙන කල්හි ඒ සළු දුපිළිවල වටිනාකම ගැන පමණක්‌ කල්පනා කරන පිලිස්‌තීනුවාට සමාන ය.)

(ගුරු ගුණ සමර – 115 පිටුව – මහාචාර්ය සුචරිත ගම්ලත්)

දිවයින වටමඬල

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

වදනිසුරු ගම්ලත්හු
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

w1-1මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි. ඔහුගේ අභිලාෂයෝ විවිධාංගික වූහ. සාහිත්‍යාදී කලා, සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය, පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් ආදී වූ මානව ශාස්‌ත්‍ර විෂයයන් මෙන්ම සමාජවාදය, මාක්‌ස්‌වාදී මූලධර්ම හා මූලකෘති හා සමග සමාජවාදී භාවිතාවන්ද සමකාලීන දේශපාලනය ආදිය ඇතුළත් සමාජීය විද්‍යා ක්‍ෂේත්‍රයෙහිද ඔහු සිය ප්‍රවීණතාව පතුරුවාගෙන සිටියේය. සිංහල ලේඛකයකු වශයෙන් ඔහු විදහා දැක්‌වූ අසහාය නිපුණතාවට පදනම වූයේ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් පිළිබඳව ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම බව නොරහසකි. එම ප්‍රාචීන භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි හා තවත් භාෂා ගණනාවක්‌ ඔහු දැන සිටියේය. විශේෂයෙන් ඔහු ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳව දැක්‌වූ ප්‍රවීණතාව අගනා ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයක්‌ නිපදවීම කෙරේ ඔහු යොමු කළ බැව් පෙනේ. මෙම කර්තව්‍යයේදී තමන් තුළ වූ සිංහල, පාලි, සංස්‌කෘත භාෂා ඥනය අති විශිෂ්ට අන්දමින් ඔහු විසින් ප්‍රයෝජනයට ගෙන ඇති අයුරු විද්‍යමානය.

මෑත කාලයේ සිංහලයෙන් පොතපත ලිවූවන් අතර උසස්‌ ප්‍රමිතියකින් යුතු ඒ සා විශාල පොත් හා ලිපි ලේඛන සංඛ්‍යාවක්‌ නිමැවූ අන්‍ය විද්වතකු නොමැති තරම්ය. අප ඉහත සඳහන් කළ පරිදි එම ලිපි ලේඛන විවිධ ඉසව් රාශියක්‌ පුරා පැතිරී තිබිණි. ඔහු කුමන විෂයයක්‌ ගැන ලියූවත් ඔහුගේ වාග් විලාසය කෙතරම් රමණීය වීදයත් පාඨක අවධානය ඒ කරා ඇද ගැනීමේ හැකියාවක්‌ එහි තිබිණි.

අප ඉහත සඳහන් කළ පරිදි ගම්ලතුන් සතුවූ එම වාග් චාතූර්යය විශේෂයෙන්ම ඔවුන් සතුව තිබූ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍ය ඥනයයි. එහෙත් එබඳු ප්‍රාචීන භාෂා පටුත්වයක්‌ තිබුණු අන්‍ය කිසිදු පඬිවරයකු විදහා නොදැක්‌වූ අපූර්ව රචනා කෞශල්‍යයක්‌ ගම්ලතුන් සතුව තිබිණි. මීට උදාහරණ වශයෙන් ඔහුගේ ආචාර්යවරයකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලේඛනයකින් කොටසක්‌ සහ ගම්ලතුන්ගේ ලේඛනයකින් කොටසක්‌ උපුටා දැක්‌විය හැකිය.

මේ සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයෙන් ගත් කොටසකි.

‘සාහිත්‍යය ද ක්‍රියා කරන්නේ මේ අන්දමින්ය. එය මිනිසා අවනත කර ගන්නේ ඔහුට අණකොට තරවටු කොට නොව, ඔහුගේ සිත උණු කොටය. කම්පා කොටය. සාහිත්‍යය කෙළින්ම දැනමුතුකම් නොදෙයි. එහෙත් මිනිසා යහමඟට හරවයි’

මේ ගම්ලතුන්ගේ ‘සරච්චන්ද්‍රාභිනන්දන’ කෘතියෙන් ගත් කොටසකි.

‘අන්‍ය කලාවන් සේම කාව්‍ය කලාව ද විද්‍යාව මෙන් ලෝකය නියම පද්ධතියක්‌ ලෙස නොව සංකල්ප රූප පොකුරක්‌ මෙන් ඥනනය කරන්නා වූද, ස්‌පර්ශ කරන්නා වූ ද විධියක්‌ වන අතරම ඇතැම් හැඟීම් හා මනෝගතීන් පුදුබුවන්නා වූද විධියක්‌ වෙයි’

ගම්ලතුන්ගේ භාෂා ශෛලියෙහි විශේෂ ස්‌ථානයක්‌ තත්සම වචනවලට ලැබී තිබිණි. ‘ඥානනය කරන්නාවූ’, ‘ප්‍රසාරණය කරන්නා වූ’, ‘සුපරිපූර්ණව හා සුසංවාදව ජීවත්වීම, ‘සුශික්‌ෂිත කොට’, ‘සුභාවිත කොට’, ‘අවශෝෂණය කරගන්නා’ ආදී වූ ඔහුගේ වාග් විලාසයේ නිතර දැක්‌ක හැකිවූ යෙදුම්වල චිත්තාකර්ෂණීය ගුණයක්‌ ගැබ්ව තිබිණි. ඒ අතින් බලන කල සමකාලීන හෝ පූර්වකාලීන අන්‍ය ප්‍රාචීන භාෂා ප්‍රවීණයකු විසින් ප්‍රදර්ශනය නොකළ අන්දමේ වාග් චාතුර්යයක්‌ ප්‍රකට කළේ ඔහුගේ වාග් විලාසයෙහි තිබූ තවත් විශේෂිතා කිහිපයක්‌ නිසා බැව් පෙනේ.

මේ ඔහුගේ වාග් චාතුර්යය විදහා දක්‌වන තවත් තැනකි.

‘පැරදවිය යුතු සතුරන් නිර්ණය කර ගැනීමටත් ඔවුන්ගේ මං හසර පාදා ගැනීමටත් ඔවුන් පරදවාලීමටත් කරන අරගලයේදී ඇතිවන භග්නාශාවෙන් හටගන්නා ශෝක සන්තාපාදියත් ලැබ ගන්නා සාපේක්‍ෂ ජයග්‍රහණයන්ගෙන් ජනිත වන සුඛ ප්‍රහර්ෂාදියත් කලාවෙන් ප්‍රකාශ කෙරේ.’

(සාහිත්‍ය කලා ආදිය ගැන 20 පි)

අවශ්‍ය පරිදි තත්සම හා තත්භව වචන හැසිරවීමෙහි ඔහු තුළ වූ චාතුර්යය මෙහි දක්‌නට ඇත. මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුත්තක්‌ වන්නේ අවශ්‍ය අවස්‌ථාවන්හි කටවහරේ යෙදුම් භාවිතයට ඔහු නොපැකිල ඉදිරිපත් වූ ආකාරයයි.

‘මේ සියලු පොට වරද්දාගැනීම් සිදුවී තිබෙන්නේ යටගිය දවසින් උරුම කරගෙන කරගසාගෙන යනු ලබන විචාර මිනුම් දඬු නමැති හණමිටි කලා කෘතිය මත පටවන්ට යැමෙන්ය. අතීත විචාර මිනුම් යනු අතීත යථාර්ථයෙන් උපුටාගත් අතීත න්‍යායයි. ඒවා මැරිලාය. කලාකෘතිය නමැති නව යථාර්ථය ජීවමානය. මළ විචාර නමැති අච්චුවක ජීවමාන යථාර්ථය දඬු ගැසිය හැකිද?

(සාහිත්‍ය කලා ආදිය – 30 පි.)

‘පෞරාණික ලෝකය මළ ගොරොද්දේ අදිද්දී’

‘දැන් කළ යුත්තේ වෙනත් සංස්‌කෘතීන්ගේ වල්ගයේ එල්ලීම යෑයි ලණුදෙමින්’

‘ලොව පුරාම වෘත්තීය සමිති ව්‍යාපාරය කුජීත වී ඇත’

‘ධනේශ්වර ක්‍රමය මුළුමනින්ම පල්වන්නටත් ලෝක ආර්ථිකය පල්ලම් බහින්නටත්’

(‘කොමියුනිස්‌ ප්‍රකාශනය පිළිබඳ අධ්‍යයනයක්‌’ කෘතියෙන් ගත් නිදසුන් කීපයකි.)

කට වහරේ ප්‍රබල දෙස යෙදෙන මේ යෙදුම් අවශ්‍ය අර්ථය ව්‍යක්‌ත ආකාරයෙන් පැවැසීම සඳහා උචිතතම වන බව දුටු ගම්ලත්හු නොපැකිළ ඒ යෙදුම් භාවිතයට ගත්හ.

සුචරිත ගම්ලත් තමන් ප්‍රතික්‌ෂේප කරන දේ නිර්දය විවේචනයට භාජන කළ අයකු ලෙස ප්‍රකටය. ඔහු ඒ සඳහා ඇතැම් විට සංයමයෙන් යුත් වදන් මාලා යොදාගනී. ඇතැම්විට එසේ නොකරයි.

මේ ඔහු එක්‌ කෙටිකතා සංග්‍රහයක්‌ අවඥවට භාජන කළ ආකාරයයි.

‘කතුවරයාට කිරීමට ඉතුරුවන එකම දෙය කුමක්‌ද? මෙකී සංවේදනා හා ධාරණා වාර්තා කිරීම පමණි. ජංජාලයක්‌ බඳු මේ සංවේදනා හා ධාරණ වාර්තා තුළ වෛෂයික ලෝක නියාම නැති, මේ වාර්තාවලින් කියෑවෙන දෙය නම් කතුවරයා ඇතැම් දේවල් දැක හා අසා ඇති බවත් ඒ දැකුම් හා ඇසුම් ලේඛනගත කිරීම සඳහා ඔහුට පෑන වැනිය හැකි බවත් පමණි’.

(විචාර ප්‍රතිවිචාර 60 පි.)

ඇතැම් දේ ගම්ලත් ප්‍රතික්‌ෂේප කරන්නේ වඩා ප්‍රබල භාෂා ශෛලියකිනි(

‘බකුතින්වාදයේ වත්මන් දියාරුවක්‌ වන සියලු අධිකාරයනට, විශේෂයෙන්ම සම්භාව්‍ය මාක්‌ස්‌වාදයට හිස්‌ කෝම්බ දමාගසන එහෙත් ඊට සෘජු විකල්පයක්‌ ඉදිරිපත් නොකරන පශ්චාත් නූතනවාදය නමැති මදාවි අච්චාරුවාදය, කලා විහීන වූ ජනප්‍රිය සංස්‌කෘතිකවාදය, සාහිත්‍යය කැබලිති කරන පශ්චාත් යටත්විජිතවාදය යනාදී මේ පඹගාලෙහි පැටලුණු…’

(විචාර ප්‍රතිවිචාර – 152 පි.)

ඇතැම් විට ගම්ලතුන්ගේ පෑන අසිපතක්‌ සේ ක්‍රියාත්මක වී තමා ප්‍රතික්‌ෂේප කරන අය නිර්දය ප්‍රහාරයට ලක්‌ විය.

‘මේ කාලයේ තමාගේ… නාට්‍යය තහනම් කෙරිණැයි කියමින්… නාහෙන් අඬමින් ඇවිද්දේය. එහෙත් ආණ්‌ඩුවේ කලා ඝාතනයට විරෝධය පා ලිපියක්‌ අප පත්‍රයට ලියන ලෙස ඉල්ලූ කල්හි ඔහු එයින් කට්‌ටි පැන්නේය. ඔහුගේ කතාව බොරුවකැයි මම තවමත් සලකමි. දැන් ඔහු යූ.ඇන්.පී. ආණ්‌ඩුවේ වසුරු බුදිමින් වැජඹේ’

(විචාර ප්‍රතිචාර – 41 පි.)

මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ ආකර්ෂණීය වූ වාග්විලාසය ඇතැමුන්ට ආදර්ශයක්‌ විය. ඔහු නිතර නිවැරැදි බස්‌ වහර භාවිතයෙහි යෙදීමට ප්‍රවේසම් වූයේය. ඔහු විසින් භාවිතයට ගන්නා ලද ඇතැම් යෙදුම් අන්‍යයන් අතර ජනප්‍රිය වූ අවස්‌ථා ඇත. ඒ අතර ‘අනන්‍යවීම’, ‘ඇස්‌ නිලංකාරවීම’, ‘නිම්වළලු ප්‍රසාරණය’, ‘ඥානනය’, ‘ඥන මණ්‌ඩලය ව්‍යාප්ත කිරීම’, ‘සමතික්‍රමණය’ ආදිය විශේෂ වේ. අන්‍ය ලේඛකයන් කෙරේ එබඳු බලපෑමක්‌ ඇති කළ හැක්‌කේ දුර්ලභ ගණයේ බුද්ධිමතෙකුට පමණි.

මෙම සටහන අවසන් කරනු සඳහා පෞද්ගලික කරුණක්‌ සඳහන් කිරීමට කැමැත්තෙමි. සුචරිත ගම්ලත් සහ මා පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුවූයේ එකට 1959 දීය. අපි දෙදෙනාම සිංහල විශේෂ උපාධිය සඳහා ශිල්ප හැදැරූවෙමු. එම දිනවල අප දුටු දෙයක්‌ නම් ඔහු අපට වඩා මේරූ, අපට වඩා ඇසූ පිරූ තැන් ඇති අයකු බවයි. විශේෂයෙන් පාලි හා සංස්‌කෘති ඥානය ඔහු සතුව තිබෙන්නට ඇත. තමා ගෙන ආ එම දැනුම විශ්වවිද්‍යාලයේදී වඩා මුවහත් කරගත් බව පෙනේ. අපේ පන්තියේ සිටි තිදෙනෙක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරු වූහ. ගම්ලත්හු යාපනයේද පසුව රුහුණේද මහැදුරු වූහ. ඒ. ඒ. අභයසිංහයෝ කැලණියේ මහාදුරුව සිට ඉසිඹු ලත්හ. මම පේරාදෙණියෙහි සිට ඉසුඹු ලෑවෙමි. මා ගම්ලතුන්ගේ ඇතැම් අදහස්‌ විවේචනය කළ ද එය ඔහු හා මා අතර පෞද්ගලික ආරවුලක්‌ නොවන ශාස්‌ත්‍රීය සංවාදයක්‌ පමණක්‌ විය. මේ සටහන තබන්නේ ඔහුගේ ශාස්‌ත්‍රවන්තභාවය කෙරේ මා තුළ වූ ගෞරවය නිසාය.

දිවයින වටමඬල

සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?

සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?
දිමුතු සමන් වෙත්තසිංහ

සුචරිත ගම්ලත් ශූරීන්
සුචරිත ගම්ලත් ශූරීන්
එවකට නව යොවුන් වියේදී සිංහලෙන් පමණක් කියවීමට හැකිවූ අප තරණය කරමින් සිටි විශාලම මහද්වීපය මාර්ටින් වික්‍රමසිංහ වූ කලෙක ගම්ලතුන්ගේ මාක්ස්වාදී විචාරය හමුවීමෙන් අප තුළ ඇති කලේ තිගැස්මකි.බුද්ධිමය උද්දීපනයකි, ආශ්වාදයකි. වික්‍රමසිංහගේ බෞද්ධ මානව වාදී දෘෂ්ටිය කෙරෙහි වූ ඔහුගේ නිර්දය මාක්ස්වාදී විචාරය වික්‍රමසිංහයන්ට ඇළුම් කළ අප කෙරේ ඇති කලේ බුද්ධි ශෝධනීය ආනුභාවයකි.වරක් ගුවන් විදුලි සංවාදයකදී ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් නිර්මල බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ දෘඩ ප්‍රහාරයකට ලක්කළ විට එහි සිටි “සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය” යනුවෙන් මාක්ස්වාදී කලා විචාරය ගැන පොතක් පවා ලියු සයිමන් නවගත්තේගම ට කරගත හැකි වූයේ තමාට ආවේණික මෘදු යටහත් ස්වරයෙන් එතුමන්ට එසේ නොකියන්නැයි යැදීම පමණි.නවගත්තේගමයෝ අප බොහෝ දේ උගත්තේ එතුමන්ගෙන් යැයි ශෝක පීඩිතව කෘතගුණ සිහි කළේ පුජනීය දෙයක් කෙළෙසුනු පරිද්දෙනි.

මේ සියල්ල එසේ තිබියදී පෙර අපර දෙදිග භාෂා ගණනාවක නිපුන මේ රැඩිකල් මාක්ස්වාදී පඬිවරයා තම ගුරුවරයා වූ ලිබරල්වාදී මහාචාර්ය සරච්චන්ද්‍රට උපහාර දක්වන්නට දණ නැමීමට පසුබට නොවූවා පමණක් නොව ඒ සඳහා නරකාදියට වුවත් යාමට සූදානම් බව ප්‍රකට කලේ එවකට රජයේ වේදිකාවට ගොඩ වීමෙනි. මේ නිසා ඔහු හතරවන ජාත්‍යන්තරයෙන් නෙරපිණි.මෙය සිහිපත් කරන්නේ “ප්ලේටෝ ගේ සතුරන් සමග සත්‍යය දකිනවාට වඩා ප්ලේටෝ වන් මිනිසෙකු සමග ඉබාගාතේ යාම යෙහෙකි” යන රෝම මහා කවි සිසරෝ ගේ ප්‍රකාශය මිස “යු.එන්.පී ආණ්ඩුවේ සංස්කෘතික ඇමති වි.ජ.මු.ලොකු බණ්ඩාර සමග එකම වේදිකාවට නැගගත් ඔහු සංස්කෘතිය රැක ගත යුතු යැයි බිරුසන් දුන්නේය” යනුවෙන් මහාචාර්ය විජේගුණසිංහ මැතිණිය කරන ඒත්තු ගැන්වීම නම් නොවේ.ගම්ලතුන්ට කෙසේවෙතත් අපට වැදගත් ප්‍රශ්නයක් ඇය නගන්නීය; “කාගෙන් සංස්කෘතිය රැක ගන්නද? මාක්ස්වාදීන්ගෙනි.”

එංගල්ස් විසින් පොදු ජනයාගේ සංස්කෘතිය ඇගයු උදෘතයක් ආචාර්ය අමුණුගම ගේ කෘතියක ගෙන හැර දක්වා තිබු බවක් මතකයේ ඇත.ඔහු අසූව දශකයේ සමහරුන් “කනත්තේ විවාදය” යැයි හැඳින් වූ දෙයින් ජනප්‍රිය සංස්කෘතියට බුද්ධිමය යුක්ති යුක්තකරණයක් දෙන්නට තැත් කලේය.ඇසූ පිරූ තැන් ඇති විචාරකයෙකු වූ රෙජී සිරිවර්දන මාක්ස්වාදී දෘෂ්ටියෙන් බෙතෝවන් ගේ සංගීත රචනා හා බයිලා අතර වෙනස අමතක කරන්නට කියන්නාක් මෙන් එය සංදර්භ ප්‍රශ්නයකට ලඝු කළේය.ඉඳින්, සංස්කෘතිය ගැන ගම්ලත් ගේ ස්ථාවරය සැබවින්ම මාක්ස්වාදී වී ද? මේ අතුරු කථාව එක්දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයෙනි.ගුවන් විදුලියේ විකාශය වූ “රූපණ මණ්ඩපය” නම් සංවාද වැඩසටහනට පැමිණ සිටියෝ අතර මහාචාර්ය ගම්ලත් සහ ගාමිණී විජේතුංග දෙපල ද වූහ.මාතෘකාව “නිර්ධන පංතියට සංස්කෘතියක් ඇද් ද” යන්නය. ඔහුගේ තර්කය කෙතෙක් දුරට සියල්ලන් අභිභවනය කලේ ද යත් ගාමිණී විජේතුංගට ඔහුගේ අදහස මාක්ස් නැවතුණු තැන අපිත් නවතිමු ද” යනුවෙන් සිළුමිණ කොළමක යළි විස්තර කරන්නට සිදුවිය. විජේතුංග මාක්ස් නැවතුණ තැනෙන් ඔබ්බට ධනවාදයේ වර්ධනය ගැන සහ පශ්චාත් ධනවාදී යුගයේ සංස්කෘතික භාණ්ඩ ගැන සිහිපත් කර මාක්ස්වාදයට පශ්චාත් නූතන ඌණ පූරණයක් දෙන්නට සැරසෙන විටත් ගම්ලත් නිර්භීතව සහ සරලව කීවේ නිර්ධනයාට සංස්කෘතියක් නැති බවයි.ව්‍යාජෝක්තියෙන් කීවේ එසේ ඇත්නම් ඒ සවසට තැබැරුමේ දී මධුවිත තොල ගා ගැනීමෙන් බවයි. කරුණු මෙසේ හෙයින් ජනරජයක පැවැත්මට කවීන් අනවශ්‍ය යැයි කීමෙන් ප්ලේටෝ සාහිත්‍යයේ ශක්තිය ගැන උසස් ආකල්පයක් දැරුවේ යැයි වෝල්ටර් බෙන්ජමින් පැවසූ පරිදි නිර්ධනයාට සංස්කෘතියක් නැතැයි කීමෙන් ගම්ලත් සංස්කෘතිය ගැන උසස් ස්ථාවරයක් දැරුවේ යැයි පැවසීමට ඉඩ නැත් ද? මේ නිසා කිසිවෙක් ඔහුට ප්‍රතිගාමියෙකු යැයි කියනු අපට ඇසී නැත.සම්භාව්‍ය සාහිත්‍ය කෘති වලට අර්ථ ව්‍යාඛ්‍යාන සැපයූ ඔහු එතැන් හි මාක්ස්වාදයේ ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් අර්ථකතන දෙන්නට උත්සුක වූ බවක් මා නම් දන්නේ නැත.එවිට එක්තරා දේශපාලන කණ්ඩායමක් ඔහුගේ මාක්ස්වාදය කීර්තී බාලසූරිය ගෙන් සොරා ගත් එකක් යැයි දැක්වීම අයුක්ති සහගතය.නැතහොත්,සමාජ දේශපාලනයේ දී ප්‍රගතිශීලියෙක් කර භාෂා සාහිත්‍ය සහ කලා ලෝකයේදී ප්‍රතිගාමියෙක් කිරීම එසමාන නොමේරුණුකමකින් යුක්ත වූවකි.සමාජ දේශපාලනයේ දී මෙන්ම භාෂා සාහිත්‍යය සහ කලා ලෝකයේ දී යහපත් සහ උසස් දේ තෝරා ගැනීමේ සමර්ථතාවය රසඥතාවය මිස අන් කවරක් ද? භාෂා සයක නිපුණ, භාෂාවේ හා සාහිත්‍යයේ උසස් ප්‍රමිතීන් පැතු ගම්ලතුන් වැන්නෙක් මාක්ස්වාදී පොතේගුරුවාදය වෙනුවෙන්, භෞතිකවාදයේ, සමාජවාදයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කිච දේ වැළඳ ගැනීම නම් පිළිස්තීනු ව්‍යවහාරයකට වැටීම බළාපොරොත්තු විය යුත්තක් ද්? ඔහු සැබවින්ම පිළිස්තීනුවාදය පිළිකෙව් කළ අයෙකි.සර්ව සමතලාකරණ පශ්චාත්වාදීන්ට නොපෙනෙන පැත්තක් ඇත.එනම් ඔහු උසස් රසඥතාවයකින් හෙබි විශිෂ්ට මිනිසෙකු වූ බවයි.හනා අරෙන්ඩ්ට් එවැන්නකු හැඳින්වූයේ “අතීතයෙන් මෙන්ම වර්තමානයෙන් ද මිනිසුන් අතර දේවල් අතර සිතිවිලි අතර තම ඇසුර තෝරා ගන්නට දන්නෙකු” ලෙසය.

එවැනි යහපත් මිනිසෙකුගේ සදාචාර විනිශ්චය තුළ දුර්වලයාගේ පස ගත් වාමාංශික දේශපාලනය,පීඩිත දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතිය සේම සර්ව කාලීන සාහිත්‍ය කලා කෘති පැවතීමේ වරද කිම? සද්ගුණයන් ඉගැවිය හැකිය යන සොක්‍රටීස් ගේ කියමන ඔහු විශ්වාස කලා හෝ නොකලා පවත්නා ඔනෑම දෙයක් එලෙසින් බාර ගැනීම වෙනුවට යහපත් හා උසස් දේ කෙරේ තම ජනයා නංවාලීමට නොවේද ඔහු කාලය ශ්‍රමය කැප කලේ? මා ඔහු කිසි කලෙක හමුවී නැතත් කතිකා අධ්‍යයන කවය වෙනුවෙන් “සුන්දර දෙයෙහි අදාළත්වය” කෘතිය පළ කරන සමයේ භාෂා පරිවර්තන ගැටළුවක් නිරාකරණය කර ගැනීමට දුරකථනයෙන් ඇමතු කල නොපිරිහෙලා ඉටු කර දුන් බව සිහිපත් කල යුතුය.ඔහුගේ ශබ්ද කෝෂයේ සංස්කරණයේ නියැලුණු විද්‍යාර්ථියෙකුට සෝදුපත් බැලීමට අප දුන් හේගල්ගේ “ස්වසවිඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය” රචනාව ඇස ගැසීමෙන් තරුණයන් එවැනි දේ කිරීම ගැන ඉමහත් ප්‍රශංසා කළ බව අප මිත්‍ර දිනේෂ් සඳහන් කලා මතකය.එතුමන් ගැන සමීප යමක් වූයේ නම් එපමණය.
ගම්ලතුන්ගේම කෘතියක කොටසකින් මෙය අවසන් කරමි.

සාහිත්‍යය හා අනෙකුත් කලාවන් පමණ
මගේ ජීවිතයට ළංවූ
අන් කිසිවක්
බාහිර ලෝකයේ නැති තරම්ය
එවායේ වස්තු විෂය නම් මගේත්
මා දන්නා නො දන්නා අනෙකුත් අයගේත් ජීවිතමයි.
මට හරි හැටි තේරුම් ගන්ට අමාරුත්
මා මෙතරම් හොඳින් දන්නා කියන
ජීවිතය ම යි.

මහාචාර්ය සුචරිත ගම්ලත්
“සාහිත්‍ය ලෝකය හා සැබැ ලෝකය” පෙර වදනින් (1971)

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”

“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”
සුචරිත ගම්ලත්

ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක්‌ වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස්

…………………..

යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්‌.

…………………

වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක්‌ නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්‌. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්‌.

…………………

වර්තමාන නව කතාව ඉතාම පහත් තත්ත්වයට ඇද වැටෙන්න හේතු වුණ මූලික කාරණා දෙකක්‌ තියෙනවා. ඉන් පළමු වැන්න තමයි විශ්ව සාහිත්‍ය පරිශීලනය නොකිරීම. අනෙක්‌ කරුණු තමයි පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය නොකිරීම. මේ දෙකම කරන්න ශක්‌තියක්‌ මේ අයට නැහැ. විශ්ව සාහිත්‍ය පරිශීලනය කරන්න ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්න සිංහල දන්නේ නැහැ. සිංහලත් දන්නැති ඉංග්‍රීසීත් දන්නේ නැති පිරිසක්‌ තමයි අද සාහිත්‍ය කරණයෙ යෙදෙන්නේ. සම්මාන විනිශ්චය මණ්‌ඩලවල ඉන්නෙත් ඒ වගේ අය. මේ ගොල්ලො නව කතාව කියන්නෙ මොකක්‌ද වත් දන්නේ නැහැ. පිළී ගඳ ගහන, හඩු බාසාවෙන් මොකක්‌ හරි ලියුවහම නව කතාවක්‌ කියලා කියනවා. නව ආකෘති කිය කිය මේවට සම්මානත් දෙනවා. මේව ලියන අයයි සම්මාන දෙන අයයි අතරෙ කිසිඳු වෙනසක්‌ නැහැ. දෙගොල්ලොම එකම බෝට්‌ටුවෙ. Continue reading “සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”

කාව්‍ය 

කාව්‍ය හේතු
– සුචරිත ගම්ලත්

කාව්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය.

කාව්‍යය, සාහිත්‍යය නිර්මාණය කරන්නට සැමදෙනාට ම බැරි ය. එයට හැකියාව තිබෙන්නේ ඇතැම් විශේෂ පුද්ගලයන්ට ය.

කිවි පද බැඳුම් ගුණ දොස් කිවිඳුන් ම මිස
නැණ මඳ කුකවි දැන ගත හැකි කවර ලෙස

කියා අලගියවන්නයන් කියු කීම සැබැවින් ම සත්‍යයකි.
පුරාණ ඉන්දියාවේ මෙවැනි සුභාෂිතයක් (ප්‍රඥාවන්ත කියමනක්) විය.

ශාතේෂු ජා‍යතේ ශූර :
සහස්‍රේෂු චපණ්ඩිත :
චක්තා ශතසහස්‍රේෂු :
කවිස්තත්‍ර සුදුර්ලභ :

(ශූරයෙකු උපදින්නේ සිය ගණනකට එකෙකි. පණ්ඩිතයෙකු උපදින්නේ දහස් ගණනකට එකෙකි. කථිකයෙකු උපදින්නේ ලක්ෂ ගණනකට එකෙකි. කවියෙකුගේ ඉපදීම නම් ඊටත් වඩා දුර්ලභ ය). කිසියම් පුද්ගලයෙකු හදිසියේ උපන් ප්‍රබල හැ‍ඟීමක් ප්‍රකාශ කිරීම් වසයෙන් ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් හෝ කියු කීමක් කාව්‍යක් නො විය හැකි ය යි මම නො කියමි. බොහෝ ජනකවි පහළ වී තිබෙන්නේ එලෙස ය.

මැදවත්තේ සෙල්ලම් පාරකි යන්ට
මල් පිපිලා සුවඳේ බැරුවා යන්ට

යන ඉහත ද උපුටා දැක්වූ ජනකවි දෙපදය පහළ වූයේ එලෙස ය. වන රොදෙහි මල් පිපී හමන සුවඳින් වශීකෘත වූ ගැමියෙකුගේ මුවින් නිරායාසයෙන් මෙන් එය ගලා ආවේ ය. එය ඉතා හොඳ කවියකි.

එහෙත් අද දින අප කාව්‍යය හෝ සාහිත්‍යය කියා කියන්නේ මෙබඳු ගැමි රචනාවලට ම නො ව දැන උගත්, පුහුණු වූ නිර්මාණකරුවන් සිතා මතා කරන නිර්මාණවලට ය.

ඉතිරිය කියවන්න, බලන්න, 2010 අගෝස්තු 15, ඉරුදින පුවත් පතේ රසාංජලී යේ සති සංචිත්තා ලිපි මාලාවේ සාහිත්‍ය දර්පණ ii, “කාව්‍ය හේතු“ ලිපිය.

සාහිත්‍යය


පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි.

” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”
මහාචාර්ය සුචරිත ගම්ලත්

සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන

  ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි
ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි
සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන සියලු නවකතා හා ඒ යුගවල ශෛලීන් ආදියත් ඔහු හදාරා තියෙන්න ඕන.

“යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි “

පැරැණි සංස්‌කෘත විචාරකයනුත් මේ ගැන කියා තිබෙනවා. ඔවුන් කියනවා කලා නිර්මාණයේ නීති තුනක්‌ තිබෙනවා කියල. එකක්‌, සහජයෙන් එන සාහිත්‍ය ලැදියාව. දෙවැන්න සතතාභ්‍යාසය. ඒ කියන්නෙ වෙනත් කලාකරුවන් කළ කලා නිර්මාණ ඇසුරු කරමින් නිරන්තර අභ්‍යාසය. ඊළඟට ව්‍යුත්පත්තිය. එනම් බොහෝ කොට හැදෑරීම, දැන ගැනීම. Education. උදාහරණයකට මම අද උදේ “ශාරංගධර” කියා සංගීතය ගැන මධ්‍යකාලීන යුගයේ ලියෑවුණු පොතක්‌ කියවමින් සිටියා. ඒ පොතේ කියනවා ගේය පද රචකයා දැන ගත යුතු විෂය විසි හතක්‌ ගැන. යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි. ඒ හැදෑරීම තුළින් අර සම්ප්‍රදාය ඔහුගේ ස්‌නායු පද්ධතියට ආවාමයි කාව්‍යාත්මක විධියට ඔහුට යථාර්ථය ග්‍රහණය කර ගත හැක්‌කේ. දැන් අපේ නවකතාකාරයො මේ සම්ප්‍රදාය දැන ගෙන තිබෙනවාද? බටහිර නවකතා කියවා තිබෙනවාද? සිංහල චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය කියවා තිබෙනවාද? හැබැයි සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් දෙස බැලුවාම ඔවුන් ඒ සම්ප්‍රදාය හදාරා තිබෙනවා.

අද ඔය සම්මාන දිනා සිටින ලේඛකයන්ගෙන් ඔවුන් කියැවූ බටහිර සාහිත්‍ය කෘති ගැන අහන්න. පැරැණි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගැන අහන්න. කිසි දෙයක්‌ දන්නෙ නැහැනෙ. ඉංග්‍රීසි දන්නෙත් නැතුව පාලි – සංස්‌කෘතික භාෂා දන්නෙත් නැතුව ඒ සියලු දේ අද ඉවරවෙලානෙ. පැරැණි සිංහල සාහිත්‍යය තියා වර්තමාන සිංහල සාහිත්‍යයවත් ඔවුන් දන්නේ නැහැ.

” “ගම් පෙරළියෙන්” ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා”

“ගම් පෙරළියෙන්” ඇත්තටම කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්‌තරා සන්ධිස්‌ථානයේදී ඇති වූ විශාල සමාජ විපර්යාසයක්‌ ගැනයි. ඒ සමාජ විපර්යාසයට “ගම් පෙරළියෙන්” හේතූත් පෙන්වනවා. බටහිර ධනවාදය මෙරට එවකට තිබූ වැඩවසම් සමාජය ඇතුළට කාගෙන ගොස්‌ ඒ ජීවන ක්‍රමය විනාශ කර දැමීම පමණක්‌ නොවෙයි, ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා.

“පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන”

පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන. එපමණක්‌ නොවෙයි. ඔහු කවියෙක්‌, සාහිත්‍යකාරයෙක්‌ වෙන්නත් ඕන. එහෙම මිනිස්‌සු අපට නැහැ. එහෙම හිටපු එක්‌ පරිවර්තකයෙක්‌ මම දන්නවා. ඒ, ඒ. පී. ගුණරත්න.

“මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි”

මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි. හුදෙක්‌ කතාව පරිවර්තනය කරන්නෙක්‌.

ඉස්‌සෙල්ලා පරිවර්තකයා සාහිත්‍යකාරයෙක්‌ වෙන්න ඕනෙ.

“අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ”

අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ.. ඉන්දියාවෙන් ආපු චින්තනයක්‌ අපට තිබුණෙ. බුද්ධාගම ආවෙත් අපට ඉන්දියාවෙන්. දැන් සාහිත්‍ය කලා යනාදිය අපට බුද්ධාගමෙන් ආවෙ නැහැනෙ. ආවෙ සංස්‌කෘතවලින්.

“බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා”

බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා. සංගීතය, නැටුම් බෞද්ධාගම තුළ හඳුන්වන්නේ ගර්හිත කලා වශයෙන්. චිත්‍ර කලාවට පමණයි බෞද්ධාගම තුළ ඉඩක්‌ තිබුණේ

“මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා”

මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා. බොහෝවිට සාහිත්‍යය නිර්මාණය කළේ ත්‍රිභාෂික උගත්තු. එකල සාහිත්‍යකරුවන්ගේ භාෂාව පිරිහිලා තිබුණෙ නැහැ. අද තියෙන භාෂාවෙන් එදා ලිව්වා නම් කවුරුවත් ඒ පොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා එදා දුන්නු සම්මානවලත් හොඳ මට්‌ටමක්‌ තිබුණා.

ඉස්‌සෙල්ලාම සාහිත්‍ය මණ්‌ඩලයේ සභාපතිව සිටියේ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවො. උන්වහන්සේ විද්‍යංලාකාර පිරිවෙනේ නායක හාමුදුරුවෝ. පාලි, සංස්‌කෘත, ප්‍රකෘත දන්නා මහා ඉහළ පණ්‌ඩිත හාමුදුරුවරු නමක්‌. උන්වහන්සේ නවකතා විවේචනය කරන්න ගියේ නැහැ. සාහිත්‍ය මණ්‌ඩල සභාපති පුටුවේ වාඩිවෙලා හිටියා. ඒත් දැන් ඒ පුටුවල ඉන්නේ කවුද?

“ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො’

ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො.

හේතුව පරිහානිය. බලන්න, අපේ පාසල් අධ්‍යාපනයෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය නැති කළේ නැද්ද? ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො. පුස්‌සො තමයි විචාරකයො වෙන්නෙත්, නවකතා ලියන්නෙත්, කෘති විනිශ්චය කරන්නෙත්a.