Tag Archives: අධිපතිභාවය

මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද?

ලංකාවේ වර්ථමානයේ වැදගත්ම දේශපාලන කටයුත්ත වියයුත්තේ ජනතාව අත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා නවලිබරල්වාදයට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කිරීම යැයි සිතමි.

2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාගත්තෙමු යැයි සිතූ මෙහොතේම අපට එම ජයග්‍රහණයෙහි ඵල නෙලා ගැනීම අහිමි වූයේ කල්තබාම නවලිබරල්වාදීන් විසින් සැළසුම් කොට තිබූ පරිදි ඔවුන් දේශපාලන බලය වහා තමන් අත ගොනු කර ගත් හෙයිනි.

2019 ජනාධිපතිවරණයෙන් යළි රාජපක්ෂ ජ  බලයට ගෙනැවිත් දෙවනුව එය පරාජය කළ හැකි යැයිද එමගින් 2015 ජනවාරි 8 ව්‍යාපාරය යළි ඇරඹිය හැකි යැයිද විශ්වාස කිරීම ප්‍රකට කරන්නේ, හනා ආරන්ඩ්ට් ගේ තර්කයක් ගෙන කියන්නේ නම් නිමවන්නාගේ මානසිකත්වය (fabricators mentality) දේශපාලනයට ගෙන ඒමේ උත්හාසයකි යැයි කිව හැකිය. එය දේශපාලනයට මෙවලම්කාරී සිතීම (instrumental thinking) ගෙන ඒමකි.

ආරන්ඩ්ට් තර්ක කරන පරිදි, නිමවන්නා තමන් අරමුණු කරන දේ නිමැවීමට තමන් අත ඇති ද්‍රව්‍ය විපර්යාස කිරීම අරමුණු කරයි. අධිපතිභාවය, ප්‍රචණ්ඩත්වය සහ අරමුණු වෙනුවෙන් මං කැපකිරීම, නිමැවීමේ කටයුත්තේ අත්‍යංග ගුණාංග වෙති.

“And, indeed, among the outstanding characteristics of the modern age from its beginning to our own time we find the typical attitudes of homo faber: his instrumentalization of the world, his confidence in tools and in the productivity of the maker of artificial objects; his trust in the all-comprehensive range of the means-end category, his conviction that every issue can be solved and every human motivation reduced to the principle of utility; his sovereignty, which regards everything given as material and thinks of the whole of nature as of “an immense fabric from which we can cut out whatever we want to resew it however we like”;  his equation of intelligence with ingenuity, that is, his contempt for all thought which cannot be considered to be “the first step . . . for the fabrication of artificial objects, particularly of tools to make tools, and to vary their fabrication indefinitely”; finally, his matter-of-course identification of fabrication with action.”

Hannah Arendt. The Human Condition.   p.305

ආරන්ඩ්ට් දකින පරිදි,  ක්‍රියාව (action) නැතහොත් දේශපාලනය වූ කලී බහුවිධ පුද්ගලයන් අතර ගණුදෙනු පිළිබඳ සැළකිල්ල දක්වන සංසිද්ධිය කි. නිමැවුමේ මූලධර්ම දේශපාලනයට ආදේශ කළ විට,ප්‍රචණ්ඩව සළකනු ලබනු ඇති ද්‍රව්‍ය බවට පත්වනු ඇත්තේ සහ සාධනය කිරීමට අපේක්ෂා කරන අරමුණ  වෙනුවෙන් බිලිදෙනු ඇත්තේ අන්‍ය ජනතාව යි. නිමැවුමේ මූලධර්මය දේශපාලනයට ගෙන එන තැනැත්තා සිතන්නේ  ඉතිහාසය තැනීම හරියට මේසයක් තනන්නාක් වැනි කාර්යයක් යනුවෙනි.එවැනි දේශපාලන ව්‍යාපෘතියක් මානවයන් වන අපට අප අරඹන ක්‍රියා අපට අවශ්‍ය පරිදි පාලනය කළ හැකිය යන විශ්වාසය මත පදනම් වෙයි.දේශපාලනයේදී අප මුදා හරින ක්‍රියාවන් හි ප්‍රථිඵල අපට පාලනය කළ නොහැක. මන්ද යත්, අප ආරම්භ කරන දේශපාලන ක්‍රියා අනෙකුන්ගේ ක්‍රියා සහ ප්‍රතික්‍රියාවන්හි ඵල  සමග බලාපොරොත්තු කඩවන පරිද්දෙන් පටලැවෙන හෙයිනි.අපේ ක්‍රියා මුදාහරින ක්‍රියාවලීන් අසීමිත සහ යළි හැරවිය නොහැකි වීමට ඉඩ තිබේ. (Margaret Canovan. 1992. Hannah Arendt: a reinterpretation of her political thought. Cambridge) 

මේ අනුව සළකා බලන කළ, රාජපක්ෂ රෙජිමයේ ඒකාධිකාරවාදය පරාජය කිරීමට මෙවලම්කාරී සිතීම ගෙන ඒම  තුළ රාජපක්ෂ රෙජිමයේ අනෙකා ලෙසින් තමන්මත් ඒකාධිකාරී දේශපාලනයකට යොමු වීමේ නැඹුරුවක් අපගේ දේශපාලන සිතීම තුළ තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රථිෂ්ඨාපනය කිරීමේ අරමුණට එරහිව යයි.

2015 ජනවාරි 8 ව්‍යාපාරය යළි ඇරඹිය හැක්කේ යළි බහුජන දේශපාලනය ගොඩ නැංවීමෙනි. එනම් බහුජනතාව යළි දේශපාලනයට කැඳවීමෙනි.ඒ සඳහා නවලිබරල්වාදය අප සමස්ත සමාජය වෙලා ගෙන ඇති අයුරු පිළිබඳ විග්‍රහය අප සමාජ ගත කළ යුතු ය.

අවුරුදු 200 ක් ඉක්මවූ ඉතිහාසයක් තුළින් පැමිණ ඔබාමා ජනාධිපති කළ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඉන් අනතුරුව ජනාධිපති ලෙස පත් කළේ ට්‍රම්ප් ය. මෙය අපට සිහිපත් කළ යුත්තේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් වන අරගලය වරක් දිනා සදාකාලයටම නොවෙනස්ව පවත්වා ගෙන යා හැකි, එක් ජයග්‍රහණයකින් කෙළවර වන ව්‍යාපෘතියක් නොවන බවය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? යන්න පිළිබඳ අලුතින් සිතීමට ද දැන් කාලය පැමිණ ඇති බවය.

– කුමුදු

Advertisements