Tag Archives: කරයියාර්

සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

නිගමනය: සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම (අවසාන කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
“නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. පූර්ව යටත් විජිත සහ මුල් යටත් විජිත කාලයන්හි කවර දේශපාලන ඒකත්වයක් පැවතිය ද ඒවා දැන් යළි අත්පත් කරගත නොහැකි ලෙස බිඳ වැටී ඇති බව පෙනේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ දෘෂ්ටිවාද වල පැවැත්ම ෆූකෝ “මර්ධිත දැනුමේ නැගිටීම” වශයෙන් හැඳින්වූ තවත් සමාජ සංසිද්ධියක් අනුක්‍රමිකව බිහි කරන්නේ ද යන්න අනුමාන කළ හැකිය. මගේ අනුමානය වන්නේ නැගෙනහිර පමණක් නොව යාපනය දිස්ත්‍රික්කයේ පවා නිදහස් මැතිවරණ අවසානයේ දී නියෝජනාත්මක ආණ්ඩු වර්ධනය කරන්නේ නම් එය සිදුවනු ඇති බවයි. නියුරෝසියාවන් තුළ වේවා, දේශපාලනය තුළ වේවා මර්ධිත දෙයෙහි යළි පැමිණීම නීට්ෂේ අදහස් කළ “සනාතන යළි පැමිණීම” නොහඟවයි. මර්ධිත දෙය යළි පැමිණෙනු ඇති නමුත් ඒ වෙනත් වේශයකිනි, සමහර විට භයංකාර ලෙසය, සමහර විට පෙරට වඩා උසස් බවට පමුණුවනු ලදුවය – ඒ වනාහී කුලය පිළිගන්නා නමුත් අසමානතාව ප්‍රතික්ෂේප කරන සමකාලීන කුල සැකසුමෙන් අප දන්නා ආකාරයටය. සමහර විට, කෙසේ හෝ ප්‍රාදේශීය දැනුම සහ ප්‍රාදේශීය ව්‍යුහයන් එවැනි මර්ධනයකට ලක් කල හැකි අතර දේශපාලනිකව කතා කරන්නේ නම් ඒවාට යළි පැමිණීමට කොහෙත්ම අවස්ථාව නොලැබෙනු ඇත. සාකල්‍යකරණ දෘෂ්ටිවාද තුළ ප්‍රචණ්ඩත්වය සහේතුක කෙරන්නේ මේ නිසාය. බුර්ෂුවා බුද්ධිමතුන්ට නම් ආශ්චර්යමත් අරුතැති වචනයක් වන “විමුක්තිය” යන්න චේතනාව වන විට පවා කෙනෙකුට නූතන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති ප්‍රචණ්ඩත්වය සහේතුක කිරීම තුළින් සියලු ප්‍රකාර මර්ධිත දැනුම මෙන්ම විසම්මුතිය තලා දැමිය හැක. ආදර්ශ විමුක්ති ව්‍යාපාරයක් වන ප්‍රංශ විප්ලවය තුළ භීෂණයේ සහේතුකකරණය සහ විමුක්තිය යන දෙකම එකට පැවතුන බව අමතක කළ යුතු නොවේ. “බිහිසුණු සුන්දරත්වයක් පහළ වී ඇත” යනුවෙන් යේට්ස් පවසන විට ඔහු අයර්ලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉස්මතු කළේ මෙම විරුද්ධාභාසය යැයි මම සිතමි.” Continue reading සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර
Advertisements

අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (2 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -(2 කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

“…මඩකලපු ප්‍රදේශය ව්‍යුහගත වී ඇත්තේ කුටි (සිංහල සහ දෙමළෙන් මඩු යන අර්ථය ඇති ) ලෙස හඳුන්වන මාතෘවංශික වරිග ඇසුරිනි.බාගදා, කරයියාර්වරු කිහිපදෙනෙක් හැරුනු විට සියලුම කුල සතුව මාතෘවංශික කුටි තිබුණ අතර ඊටත් වඩා පුදුමැති දෙය නම් මුස්ලිම්වරුන් අතර ද පවතින රටාව මෙයම වීමයි. කාරණ තවත් සංකීර්ණ කරන්නේ නම් විවාහ නීති ස්වාමියා බිරිඳගේ ඥාති සමූහයේ වාසයට යන බින්නවාසික නැඹුරුවකින් යුක්ත වීමයි…..මෙයින් සමහරක් කුටි සකස්වීම පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු සපයයි. ඉතාම ප්‍රකට ඒවා නම් සිංකල කුටි සහ වෙටාර් කුටිය. මෙම කුටි දෙක පෙන්වා දෙන්නේ මෙම පූර්ව ජනවාර්ගික කණ්ඩායම් දෙක දෙමළ කතා කරන්නන්ගේ කුලයට සහ වරිග ව්‍යුහයට අන්තර්ගතකරණය වී ඇත්තේ ඔවුන්ම මෙම ප්‍රදේශයේ ස්ථාපිත වූවාට පසුවය. මලවරකන් කුටි සම්බන්ධයෙන් ගත් කළ කේරල කඳුකරයෙන් පැමිණි සංක්‍රමණික ගෝත්‍ර කණ්ඩායම් එලෙසම අන්තර්ගතකරණය වී ඇත.තෙවනුව දකුණු ඉන්දියාවේ ස්වාධීන කුල වන චෙට්ටි එසේත් නැතහොත් වෙළෙන්දෝ වෙල්ලාල කුලයේ වරිග සහ උප කුල ව්‍යුහයන්ට ස්වීකරණය වී ඇති අතර ඔවුන්ගේ සිංහල ප්‍රතිවර්ගය සම්බන්ධයෙන් ගත් කල මෙය සත්‍ය වන්නේ හෙට්ටිගේ, හෙට්ටිආරච්චි, ලද්දුවහෙට්ටි යන වාසගම් සහිත ගොවිගම කුලයේ මුල් උප කුල සම්බන්ධයෙන් ද මෙය ප්‍රත්‍යක්ෂ වන නිසාය….”

ආචාර්ය නීලන් තීරුචෙල්වම් අනුස්මරණය වෙනුවෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර 2004 වසරේ ජූලි 29 දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී කරන ලද මෙම දේශනය The Matrilineal East Coast Circa 1968: Nostalgia and Post Nostalgia in Our Troubled Time වශයෙන් 2004 දී පල විය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කරුණා කණ්ඩායම බිඳී ගොස් හටගත් අභ්‍යන්තර යුද්ධයෙන් නැගෙනහිර පළාත උණුසුම්ව තිබූ තත්වයක් තුළ ඒ පිළිබඳ සඳහනක් මෙම දේශනයේ ආරම්භයේ වෙයි.

ලංකා ඉතිහාසය පිළිබඳ මුල්කාලීන කෘති හා සැසඳීමේදී මහාචාර්ය ඔබේසේකරගේ මෙම රචනාව සමග Buddhism Nationhood and Cultural Identity, The Coming of Brahmin Migrants: The Śudra Fate of an Indian Elite in Sri Lanka සහ The Many Faces of the Kandyan Kingdom, 1591-1765: Lessons For Our Time? යන රචනා ඥාන මීමංසාත්මකව සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය හැක්කේ මහාචාර්ය ඔබේසේකරගේ ග්‍රන්ථාවලී සංකරණයෙන් සහ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න සංස්කරණයෙන් පලවූ දුර්ලභ ඓතිහාසික ග්‍රන්ථ නම් මහනුවර සහ කෝට්ටේ යුගවල ප්‍රාදේශීය ග්‍රන්ථ වලින් හෙලිවන අප්‍රකට ඉතිහාස අධ්‍යයනය තුළ ඒවා පිහිටුවිය හැකි නිසාය. කෙසේ නමුත්, මෙම ලිපිය හෙලන අන්තර් දෘෂ්ටීන් ජනවාර්ගිකත්වය, කුලය, ආගම පිළිබඳ අධිපති ඉතිහාස ආඛ්‍යානයන් ගැටළුවට ලක් කරන බව පැහැදිළිය.මෙම කොටසෙහි සාකච්ඡා කෙරෙන්නේ මඩකලපු ප්‍රදේශයේ සංස්කෘතික සුවිශේෂත්වය පිළිබඳවය.

මඩකලපු ප්‍රදේශයේ මාතෘවංශික ඥාති ක්‍රමය සහ සමාජ ව්‍යුහය

කරයිතිව් හි පත්තිනි ප්‍රතිමාව
කරයිතිව් හි පත්තිනි ප්‍රතිමාව

මඩකලපු ප්‍රදේශයට ඉහත සාකච්ඡාවේ ඇති සම්බන්ධය කුමක් ද? මා මාගේ ආචාර්ය උපාධිය අවසන් කල පසු හැට ගණන් වල මැද පසුවන විට සිංහල ප්‍රදේශයේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ මගේ අධ්‍යයනය තරමක් දුරට සම්පූර්ණ කර තිබුණි. නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ පත්තිනි ඇදහිල්ල පුළුල්ව ව්‍යාප්තව තිබුණු බව මා දැන සිටියත් එම ප්‍රදේශය පිළිබඳ අධ්‍යයනය කිරීමට මම පසුබට වීමි. එහිදී මගේ උනන්දුව ඇවිලවූ කරුණක් නම් මෙම ඇදහිල්ල මාතෘවංශික පෙළපත සමග පවතින සමාගමයයි. මෙම සමාගමය ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය තත්වයක් වන අතර එසේ වුවත් මෙම ඇදහිල්ලේ උත්පත්ති ස්ථානය යැයි මා උපකල්පනය කරන සහ මා ක්ෂේත්‍ර පර්යේෂණ වල නියැලුනු කේරලයේ කොටුන්කොලුර් සහ කොචින් ආසන්න ප්‍රදේශ සම්බන්ධයෙන් ද එය එසේ නොවේ. Continue reading අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (2 කොටස)