Tag Archives: ගණනාථ ඔබේසේකර

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ සමාජීය ඉංජිනේරුවාට සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත..පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි,The Political Ideas of Leo – Strauss

1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් ආරක්ෂිත පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව කළාලය යටට අතුගා දැමීමට ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.

Continue reading නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

Advertisements

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය – ගණනාථ ඔබේසේකර

“….මේ න්‍යාය ධර්මය පිලිබඳ නව සංකල්පයක් ද භගවත් ගීතයේ හා හින්දු ධර්මශාස්ත්‍රවල එන පුරුෂාර්ථ පිළිබඳ ඝට්ඨනයන්ට වඩා වෙනස් පුරුෂාර්ථ ඝට්ඨනයක් ද බිහි කරයි. මෙය අශෝක රජු තුළ වූ පුරුෂාර්ථ ඝට්ඨනයට ද වඩා වෙනස් ය. එනම්, ආගම රැකීම රජුගේ රාජ්‍ය ධර්මයෙහි අංගයක් විය යුතුය යන බෞද්ධ මතයයි. මෙහි ඇති පුරුෂාර්ථ ඝට්ඨනයෙහි ලා මූලික වන්නේ විශ්ව ආගමක් වන බුද්ධ ධර්මය පටු අන්දමට එක් ජාතික වර්ගයක ප්‍රවේණිය හැටියට සැලකීම හා ජාතිය දේශයෙහි ඇති විශාලතම ජාතිවර්ගය අනුව හැඳින්වීම ය. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රථම බෞද්ධ රාජ්‍ය වන අතර අනෙකුත් අග්නිදිග ආසියාතික රටවලට ආදර්ශයක් ද විය. මෙහි මූලික ආකෘතිය සිංහලයන් අශෝක රජුගෙන් උපුටා ගත් බව දේවානම් පියතිස්ස අශෝක අනුකරණය කිරීමෙන් සනාථ වෙයි. නමුත් ක්‍රි.ව. හයවන සියවසෙහි දී මහාවංශය ලියැවෙන විට මේ මතය වෙනස් වී තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බව ද මේ රාජ්‍යයේ උපත හා පදනම දුට්ඨ ගාමිණී අතින් බිහි වූ බවද මහා වංශය පවසයි (ගුණවර්ධන). නමුත් අශෝකගේ අධිරාජ්‍යයෙහි බුද්ධ ධර්මයෙන් කෙරුනේ දීර්ඝකාලීනව එක්සත් කිරීමට අපහසු විවිධ ජාති වර්ග, ගෝත්‍ර වර්ග හා භාෂා වර්ග රාශියකින් සමන්විත භූගෝලීය වශයෙන් නොයෙක් දෙස පැතිරුණු රාජ්‍යයකට මතවාදී පදනමක් හා සංකේතාත්මක එකමුතු කමක් ගොඩනැංවීමය ………….දුට්ඨගාමිණීගේ චිත්තාබ්යන්තරයෙහි වූ අසහනය පිළිබඳව භික්ෂූන් දැක්වූ ආකල්පය ස්ටැනලි තම්බයියා ගෙතූ “සම්ප්‍රදායිකව මුල් බැසගත් බෞද්ධ සංස්කෘතියේ අඳුරු පැත්ත යන වාක්‍ය කණ්ඩයෙන් පැහැදිලි වෙයි. සමහර විට මේ අඳුරු සැඟවුනු යටි පැත්ත රාජ්‍ය ආගම ලෙස මුල්බැසගත් වෙනත් ආගම්වලට මෙන්ම බුද්ධ සාසනයටද පොදු විය හැක.”

Continue reading දුටුගැමුණුගේ හෘද සාක්ෂිය – ගණනාථ ඔබේසේකර

බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර

“ගැමි සියලු දෙනා එකතු වී “අඩුක්කු” පූජාවක් මගින් දෙවියන්ට ස්තූති කරති. මෙහිදී ගමේ කපුරාළ බුදුරදුන්ට හා ප්‍රධාන ආක්ෂක දෙවිවරුන්ටත් පළමුව පූජා පවත්වා ඊ ළඟට ගමේ දෙවිවරුන් වන බණ්ඩාර දෙවියන්ට පූජා පවත්වයි. මේ වතාවත් අනුව ග්‍රාමය බණ්ඩාර දෙවියන්ගේ දයාලු ආරක්ෂාව යටතේ සිටින සදාචාර සමාජයක් (moral community) ලෙසට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. සෑම වසරකටම වරක් ගැමි ඇතැම්හු සැතපුම් 35 ක් පමණ දුරින් පිහිටා ඇති මහා වන්දනා මධ්‍යස්ථානය වන මහියංගනයට යන්නාහු ය. මේ ස්ථානය බුදු පහසින් පවිත්‍ර වූ තැනකි. වනය මැදින් යන විට ගස්වල කොළ අතු එල්ලීම මගින් ගමේ දෙවියන්ගේ අඩවියෙන් ඉවත්ව අන්‍ය දෙවිවරුන්ගේ අඩවි තුළට පිවිසීමේදී ඒ දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව යටතේ සිටින බව පිළිගන්නෙමු. පැය කිහිපයක් මෙසේ ගමන් කරද්දී තවත් වන්දනා ගමන් මාර්ග වලින් එන තවත් ගැමි පිරිස් අප හා එක් වී අවසන අප මහියංගනයට ලඟා වන විට සදාචාර සමාජය දෙගුණ තෙගුණ ලෙස විශාල වී මිනිස් ගංගාවක් බවට පත් වී තිබේ. මග දිගට අපි බුදුගුණ වර්ණනා කවි ගායනා කරන්නේ ප්‍රසාරණය වූ සමාජයේ සියල්ලන්ටම පොදු වූ භාෂාමය ප්‍රකාශනය එය වන බැවිනි. වන්දනා ස්ථානයට ලඟා වූ පසු අපි ග‍ඟෙන් නා පිරිසිඳු වී එහි ආරක්ෂක දෙවිවරුන් වන සමන් හා කතරගම දෙවියන්ට බාර හාර වී බුදුන් වැඳ සම්පූර්ණයෙන්ම බෞද්ධ වූ පුද පූජාවන්හි නිරත වෙමු. මෙහිදී වැදගත් පක්ෂපාතීත්ව සංක්‍රමණයක් සිදු වී තිබේ. ගැමින් තමන්ගේ පටු සීමාවේ සිටින ග්‍රාම දෙවියන්ට ඇති පක්ෂපාතීත්වය තාවකාලිකව හැර දමා පොදු පූජාවන් වන බුදුන් පිදීම හා ප්‍රධාන ආරක්ෂක දෙවියන් පිදීම යටතේ එක්සත් වී සිටිති. කළින් වෙන් වෙන් ඒකක ලෙස තිබුණු සදාචාර සමාජ තම අනන්‍යතාවන් හැර දමා විශාල වූ සිංහල බෞද්ධ සදාචාර සමාජයෙහි එකමුතු වී සිටිති……මහියංගන වන්දනාව ඒ හා සමාන තවත් වන්දනා ස්ථාන 16 කින් (සොළොස්මස්ථාන) එකකි. මෙය අඩු තරමින් 18 වන සියවස තරම් ඈතට දිව යන බව විශ්වාසයකි. රම්බාදෙණිය ජනයා 1968 දී මහියංගනයෙන් ඔබ්බට නොගියත් සියලු දෙනා අඩු තරමින් එතැනට හෝ යන්නට ඇත. අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි.”

Continue reading බෞද්ධ “කුමක් හෝ” යනු ශාසනය ලෙසින් – ගණනාථ ඔබේසේකර

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (අවසාන කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

“16 වැනි ශතකයේ රචිත රාජරත්නාකරය කියන්නේ ගජබාහු අලූත්කුරුව ප‍්‍රදේශයේ හිරකරුවන් පදිංචි කර වූ බව යි. පුරාණොක්තියේ මේ ස්වරූපය ම වර්තමාන ද්විභාෂක ධිවරයන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනෙයි. රාජරත්නාකරය ලියැවෙන අවධියෙහි අලූත්කුරුව පදිංචි වූ ධීවර පිරිස ඒ ළඟ දී එහි ආ සංක‍්‍රමණිකයන් විය යුතුය. එහෙයින් ඔවුන්ට ගජබාහු ගෙනා සිරකරුවන් ලෙස සලකන ලදී. එසේ කීම ඔවුන් ගජබාහු බේරාගෙන ආ මුල් සිංහලයන් ලෙස දක්වනවාට වඩා යහපත් ය. කෙසේ වුවත් අද අලූත්කුරුව පෙදෙසේ වාසය කරන්නෝ සිංහලයෝය ය. ඔවුහු ඉතා පැහැදිලි සිංහල අනන්‍යතාවක් ද දරති. සිංහල කරාව කණ්ඩායම් ද තමා පැවත එන්නේ මහා භාරතයේ එන සම්භාවනීය කෞරවයන්ගෙන් ය යි විශ්වාස කරති. බෙල් උද්ධරණය කොට දැක්වූ කඩඉම් පොතේ එන අලූත්කරුව ජනපදකරණ ප‍්‍රවාචය අලූත්කුරුවේ ධිවරයාගේ වෙනස් වුණු තත්වයට ගැළපෙන ලෙස සකස් කර ගත් පශ්චාද්කාලීන පුරාණොක්ති ප‍්‍රවාචයක් සේ සැලකිය හැකි ය. මේ කතා පුවත අනුව ගජබාහු බුදුන්ගේ සමකාලිකයෙකි. උන් වහන්සේ සම්භාවනීය කෞරවයන් වාසය කළ රටින් මේ පදිංචිකරුවන් කැඳවා ගෙන වැඩියහ.

මේ කරුණු සලකා බලන විට පෙනී යන්නේ ගජබාහු පුරාණොක්තිය හුදු ස්ථිතික වූවක් නො වන බව යි. එය විවිධ සමාජ කණ්ඩායම් අතර පවත්නා දයලේතිකය ප‍්‍රකාශයට පත්කරන්නකි. උතුරු මැදි පළාතෙන් ලබා ගත් දෙවැනි නිදර්ශනය මේ දයලේතිකය සීමාන්තයකට ගෙනා බව පෙන්වා දෙනු ඇත. ප‍්‍රදේශයෙහි වාසය කරන උසස් කුලවතුන්ගේ අදහසට අනුව රොටා වැව සිටි කම්මල්කරුවෝ පහත් කුලිකයෝ ය. ඔවුන්ගේ පහත් බව කියන්නේ ගජබාහු අල්ලා ගෙන ආ සිරකරුවන් මේ ප‍්‍රදේශයෙහි පදිංචි කරවීමක් සමඟ සම්බන්ධ කරමිනි. කෙසේ වුවත් උතුරු මැද පළාතේ වාසය කරන වැදි ජනයා මේ පුරාණෝක්තියට වෙනස් අරුතක් කවති. ඔවුන් කියන අන්දමට වැදි ප‍්‍රජාව ලංකාවේ ආදිතම වාසිකයෝ ය. රොටාවැව සිටින කම්මල් කරුවෝත් ගොවිගම කුලයට අයත් රටේ මිනිස්සු ද පසු කල සංක‍්‍රමණය වු විදේශිකයෝ ය. ඔවුහු තමන්ට අයිති නැති රටක සිටින පිටරැටියෝ ය. එහි නීත්‍යානුකුල අයිතියක් ඔවුන්ට නැත. උතුරුමැද පළාතේ සිටි හැම කණ්ඩායමක් ම ගජබාහුගේ හිරකරුවන්ගෙන් පැවත එන පිරිස් ය. ඒ ගණයට වැදි ප‍්‍රජාව අයත් නොවෙති. බොහෝ විට ඔවුන් නිවැරදි විය හැකිය. මේ දිවයිනේ සිටින හැම දෙනා ම නො වුවත් බොහෝ සිංහල කණ්ඩායම් කිසියම් කාල පරිච්ෙඡ්දයක දී ලංකාවට දකුණු ඉන්දියාවෙන් ආ සංක‍්‍රමණිකයෝ ය. මේ සමාජ විද්‍යාත්මක සත්‍යය ප‍්‍රකාශ කරන සංකේතාත්මක මාර්ගය ගජබාහු පුරාණෝක්තිය යි. “

Continue reading ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (අවසාන කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (3කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය විසින් පල කරන ලද සිරි ගුණසිංහ උපහාර ලිපි සංග්‍රහයේ පල විය.

ගජබාහු පුරාණෝක්තිය හා ඉතිහාසය අතර ගැටලුව පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් මෙහි එයි. පත්තිනි ඇදහිල්ලේ ප්‍රභවය මෙන්ම දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් සිංහල බෞද්ධ සමාජයට අනුකලනය වීම පිළිබඳ විග්‍රහයකින් ද යුතු මෙම දීර්ඝ රචනාවේ තෙවැනි කොටස මෙහි පල කරමු.

ගජබාහු සහ කරිකාල

ගජබාහු පුරාණෝක්තිය අධ්‍යයනය කරද්දී හමු වන සිත් ගන්නා සුලූ ගැටලූවලින් එකක් නම් කාවේරි නදියේ වැඩ කටයුතු සඳහා ගජබාහුගේ පියරජුගේ කාලයේ දී ලංකාවෙන් සිරකරුවන් ලෙස සිංහල මිනිසුන් ගෙන ගිය බව කියවෙන පූජාවලිය හා රාජාවලිය යන ග‍්‍රන්ථ වල එන සඳහනයි. ගජබාහු ගියේ මේ ජනතාව බේරා ගන්නටයි. මෝසස් ද කලේ එවැන්නකි. චෝළ රාජයාගේ නම ගැන විශේෂ සඳහනක් නැතත් මෙයින් පැහැදිලි වශයෙන් කියවෙන්නේ කරිිකාල නම් මහා චෝළ රජු ගැනය. නීලකණ්ඨශාස්ත‍්‍රීගේ අදහසට අනුව මේ රජු රජ කළේ ක‍්‍රි.ව. දෙවැනි ශතවර්ෂයේදීය. එවිට එය ඓතිහාසික වශයෙන් ගජබාහුගේ පිය රජුගේ කාලයට අයත්ය. අට වැනි ශත වර්ෂයට පසු කාලයක රචිත තෙළිඟු සහ දමිළ සාහිත්‍ය කෘතිවල ද අභිලේඛන වල ද කරිකාල ලත් එක් කාර්ය සාධනයක් සේ දැක්වෙන්නේ ගංගාවක් විශාලකරණයයි. මේ සමකාලීනකරණයෙන් අප වටහා ගත යුත්තේ් කුමක්ද? එය මේ සිදුවීම් වල ඓතිහාසිකත්වය වැඩිපුර තහවුරු කරන්නේද? නැත්නම් එය දකුණු ඉන්දියාවට සහ ලංකාවට පොදු වූ පුරාණෝක්ති සම්භාරයක ඇති අන්තර් සම්බන්ධයක්ද? කරිකාල රජු ඓතිහාසික පුද්ගලයෙකු ලෙසත් පුරාණෝක්තිගත පුද්ගලයෙකු ලෙසත් යන දෙආකාරයෙන් ගෙන පරීක්‍ෂා කර බැලීමෙන් මේ ගැටලූව විසඳා ගැනීමට අපට හැකිවනු ඇත. Continue reading ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (3කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය

කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය- එච්. ජී. දයාසිසිර
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
මිළ- රුපියල් 525.00

මහාචාර්ය ඔබේසේකර සහ කථිකාචාර්ය එච්. ජී. දයාසිසිර (ඡායාරූපය -©චතුර මධුසංක)

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී. දයාසිසිර විසින් සිංහල බසට නගා පල වී ඇත.මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් ඉංග්‍රීසි බසින් රචිත දහයකට අධික කෘති අතරින් සිංහල බසට නැගුණ ප්‍රථම හා එකම කෘතිය ද මෙය වේ.

මහාචාර්ය ඔබේසේකර ඔහුගේ අන් බොහෝ ශාස්ත්‍රීය මැදිහත් වීම් වල දී මෙන්ම මෙහිදී ද ඉතිහාසය ලිවීම පිළිබඳ බාරදූර ගැටලුව යළි මතු කරයි. ලාංකික ඉතිහාසය මෙන්ම ජනප්‍රිය ඉතිහාසය තුළ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ භූමිකාව නිරූපණය වන ආකාරය ගැටලුවට ලක් කරන ඔබේසේකර ඉතිහාසකරණයේ මූලාශ්‍ර ඒවායේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තුළ පිහිටුවා අවබෝධ කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. එමෙන්ම මෙහිදී ප්‍රශ්න කෙරෙන්නේ යටත් විජිත බල ව්‍යාපෘතියේ සමාජ දේශපාලන ගම්‍යමානයන් නොසලකා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාසය සත්‍යයක් සේ බාරගැනීමේ ගැටලුවයි. කෲර දුර්දාන්ත රජෙක් ලෙස ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසගත ප්‍රතිරූපය යටත් විජිත ව්‍යාපෘතිය යුක්තියුක්ත කරණයෙන් නිදහස්ව අවබෝධ කරගත නොහැක බව ඔබේසේකර අප හමුවේ ගෙන හැර පායි. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ ප්‍රගතිශීලී, විමුක්තිදායක කාර්යක් සේ ඉතිහාසය තුළ ස්භාවිකකරණයට ලක්ව ඇති උඩරට රාජධානිය කුරිරු රජෙක් ගෙන් මුදාගැනීම පිළිබඳ ඉරණම්ගත චිත්‍රය උඩියටිකුරු කරන සාක්ෂි හා ගැටලු ඔබේසේකර අප හමුවේ තබයි. ඇහැලේපොල පවුලේ සාමාජිකයන් කුරිරු දඬුවමකට ලක් කිරීමේ ඉතිහාසගත කතන්දරයේ යටත් විජිත සම්භවය ඔබේසේකර හෙළිදරව් කරයි. තවද, සිංහලයා පිළිබඳ මුල් පුරාවෘත්ත හා බැඳි ඓතිහාසික යමක් සේ ගැනෙන වර්තමාන ජාතික කොඩියේ එන කඩුව රැගත් සිංහයාගේ සංකේතයේ නූතන බටහිර සම්භවය විචාරශීලී ලෙස මෙම කෘතියේ සාකච්ඡාවට ගෙන තිබේ. සැබැවින්ම, ලංදේසි යුගයේ පහත රට ප්‍රදේශ වල භාවිතා වූ මෙම සිංහ ධජය බ්‍රව්න්රිග් ආණ්ඩු කාරයා 1815 දී ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී ප්‍රථම වරට උඩරට ඔසවා තබන්නේ පහත රට ප්‍රදේශ නියෝජනය කිරීමට බව ඔබේසේකර පෙන්වා දෙයි.

මහාචාර්ය රජීව් භාර්ගවා මෙම කෘතිය පිළිබඳ සඳහන් කරමින් පෙන්වා දෙන්නේ “ම්ලේච්ඡ රජෙක් පිළිබඳ ප්‍රතිරූපයක් සූක්ෂම ලෙස නිමවා, සාමූහික විඥානය විශේෂයෙන්ම යටත් විජිත වැසියන්ගේ එනම් උගත් ශ්‍රී ලාංකිකයන්ගේ සිතුවිලි ග්‍රහණයට ගෙන ලිබරල් සනශීලීත්වයේ ප්‍රතිමූර්තියක් සේ පෙනී සිටින යටත් විජිත වාදීන්ගේ දුෂ්ට අතීතය යටපත් කල ආකාරය” ඔබේසේකර ගෙන හැර පාන බවයි. ජෝන් රොජර්ස් පෙන්වා දෙන්නේ “මෙම කෘතිය අධිරාජ්‍ය ව්‍යාප්තිය යුක්ති යුක්තකරණයට මුල් කාලයේ ගොඩ නංවන ලද දැනුමේ චිරස්ථායි පැවැත්ම පිළිබඳ නිදර්ශනයක් සපයන බවයි.”

යටත් විජිත තත්වයෙන් නිදහස ලබා අඩ සියවසකට අධික කාලයක් ගෙවී ඇතත් අපගේ ඥාන පද්ධතීන්, චින්තනය යටත් විජිතහරණය කිරීමේ දුෂ්කරතාවය පිළිබඳ එක් කථාවක් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසය වෙත මහාචාර්ය ඔබේසේකරගේ යළි පිවිසීමෙන් උගත හැකි පාඩමකි.
සියළු ශ්‍රී ලාංකිකයන් කියවිය යුතු කෘතියක් වන මෙය ඉතා කෙටි කලකින් සිංහල බසින් කියවන්නන් අතරට ගෙන ඒමට මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙන්ම මෙහි පරිවර්තකයා වන කථිකාචාර්ය එච්. ජී. දායාසිසිර කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීය වේ.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක් වන අතර ඔහු කලක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ද, ඇ.එ.ජ. යේ සන් ඩියගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ද සේවය කර ඇත.මානව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන බුද්ධිමතෙකු වන ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයකට අධික වන අතර සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. ඔහුගේ පර්යේෂණ සහ කෘති බොහොමයක් ලාංකික සාමාජය පිළිබඳව වන අතර මේ වන විට 1818 අරගලය පිළිබඳ ඔහුගේ කෘතිය නිම කරමින් සිටියි.

එච්. ජී. දයාසිසිර වෘත්තියෙන් පුරාවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වන අතර මහාචාර්ය ඔබේසේකර ගේ පර්යේෂණ සහායකයෙකු ලෙස ද කටයුතු කරයි.

එම කෘතියේ දරුවන් වංගෙඩියේ කෙටවීමේ කතාව යලිආවර්ජනය නම් කොටස මෙහි පල කරමු.

Continue reading මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“….1818 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම කැරැල්ල ඇරඹිණි. එම වර්ෂයේදීම මහනුවර අවසාන රජුගේ නෑයෙකු සිහසුනට උරුමකරුවෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු තම පිරිවර ද සමග දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි (හින්දූන්ගේ ද බෞද්ධයින්ගේ ද වැද්දන්ගේ ද දෙවියෙකු වන) කතරගම මුරුගන් දේවාලය වෙත ගියේ ය. එහි පූජකයා විසින් මෙම රාජ්‍ය උරුමක්කරුට කඩුවක් හා අනෙකුත් මෙවලම් ද ලබා දෙන ලදී. ඉන්පසුව මොහු කුලීන බණ්ඩාර වැද්දෙකු වූ ද මහනුවර රාජධානියේ වැදගත් නායකයෙකු වූ ද කිවුලේගෙදර මොහොට්ටාල මුණ ගැසී ඇත. ඔහු තවත් වැද්දන් දෙසීයක් සමග බ්‍රිතාන්‍ය විරෝධයට නායකත්වය සැපයි ය. රාජ්‍ය උරුමක්කරු වැදිරටේ සඟවා තැබුණු අතර වැද්දන් විසින් ආරක්ෂා කරනු ලැබිණි. මෙම රාජ්‍ය උරුමක්කරු විධිමත් ලෙස රාජ්‍යත්වයට පත්කරන අවස්ථාවේ දී අදාළ පූජාවිධිවලට ද බෞද්ධ මහනුවර නායකයින් සමග වැද්දන් ද සහභාගි වී ඇත. මෙම අවස්ථාව පෝල් ඊ. පීරිස් නම් ඉතිහාසඥයා විසින් උඩරට විරෝධය පිළිබඳව ද විස්තර කරමින් 1950 දී ලියන ලද ‘සිංහලේ හා දේශප්‍රේමියෝ’නම් කෘතියේ හැර අනෙක් සාමාන්‍ය ඉතිහාස ලේඛන විසින් අමතක කර දමා ඇති බව පෙනේ. ඇත්තවශයෙන් ම සිංහලයෝ සහ වැද්දෝ යන දෙගොල්ලෝ ම බ්‍රිතාන්‍යයන්ගේ සාහසික මර්ධනයට අතිශයින් ම ගොදුරු වූහ…..” Continue reading ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

නිගමනය: සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම (අවසාන කොටස)
පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
“නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. පූර්ව යටත් විජිත සහ මුල් යටත් විජිත කාලයන්හි කවර දේශපාලන ඒකත්වයක් පැවතිය ද ඒවා දැන් යළි අත්පත් කරගත නොහැකි ලෙස බිඳ වැටී ඇති බව පෙනේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ දෘෂ්ටිවාද වල පැවැත්ම ෆූකෝ “මර්ධිත දැනුමේ නැගිටීම” වශයෙන් හැඳින්වූ තවත් සමාජ සංසිද්ධියක් අනුක්‍රමිකව බිහි කරන්නේ ද යන්න අනුමාන කළ හැකිය. මගේ අනුමානය වන්නේ නැගෙනහිර පමණක් නොව යාපනය දිස්ත්‍රික්කයේ පවා නිදහස් මැතිවරණ අවසානයේ දී නියෝජනාත්මක ආණ්ඩු වර්ධනය කරන්නේ නම් එය සිදුවනු ඇති බවයි. නියුරෝසියාවන් තුළ වේවා, දේශපාලනය තුළ වේවා මර්ධිත දෙයෙහි යළි පැමිණීම නීට්ෂේ අදහස් කළ “සනාතන යළි පැමිණීම” නොහඟවයි. මර්ධිත දෙය යළි පැමිණෙනු ඇති නමුත් ඒ වෙනත් වේශයකිනි, සමහර විට භයංකාර ලෙසය, සමහර විට පෙරට වඩා උසස් බවට පමුණුවනු ලදුවය – ඒ වනාහී කුලය පිළිගන්නා නමුත් අසමානතාව ප්‍රතික්ෂේප කරන සමකාලීන කුල සැකසුමෙන් අප දන්නා ආකාරයටය. සමහර විට, කෙසේ හෝ ප්‍රාදේශීය දැනුම සහ ප්‍රාදේශීය ව්‍යුහයන් එවැනි මර්ධනයකට ලක් කල හැකි අතර දේශපාලනිකව කතා කරන්නේ නම් ඒවාට යළි පැමිණීමට කොහෙත්ම අවස්ථාව නොලැබෙනු ඇත. සාකල්‍යකරණ දෘෂ්ටිවාද තුළ ප්‍රචණ්ඩත්වය සහේතුක කෙරන්නේ මේ නිසාය. බුර්ෂුවා බුද්ධිමතුන්ට නම් ආශ්චර්යමත් අරුතැති වචනයක් වන “විමුක්තිය” යන්න චේතනාව වන විට පවා කෙනෙකුට නූතන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති ප්‍රචණ්ඩත්වය සහේතුක කිරීම තුළින් සියලු ප්‍රකාර මර්ධිත දැනුම මෙන්ම විසම්මුතිය තලා දැමිය හැක. ආදර්ශ විමුක්ති ව්‍යාපාරයක් වන ප්‍රංශ විප්ලවය තුළ භීෂණයේ සහේතුකකරණය සහ විමුක්තිය යන දෙකම එකට පැවතුන බව අමතක කළ යුතු නොවේ. “බිහිසුණු සුන්දරත්වයක් පහළ වී ඇත” යනුවෙන් යේට්ස් පවසන විට ඔහු අයර්ලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉස්මතු කළේ මෙම විරුද්ධාභාසය යැයි මම සිතමි.” Continue reading සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර ( 5 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)
පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ

“යාපනයට යාබද සහ සාමාන්‍යයෙන් යාපන රජුගේ සම්ප‍්‍රදායික ආධිපත්‍යයට යටත් වන්නියේ මෙම ප‍්‍රදේශයේ දෙමළ කතා කරන්නන් ප‍්‍රමුඛ බව සිතියම් වලින්ම පෙන්නුම් කෙරේ. මලබාර්වරුන්ගේ මෙම ප‍්‍රදේශයෙන් දකුණට වන්නට සහ පුත්තලමෙන් උතුරට වන්නට ඇත්තේ දැන් මුළුමනින්ම වාගේ සිංහල වී ඇති ”දෙමළ හත්පත්තුව”යි (දෙමළ පදිංචිකරුවන්ගේ දිස්ත‍්‍රික්ක හත). එමෙන්ම මීගමුව ප‍්‍රදේශය තුළ තවදුරටත් දකුණට වන්නට ඇත්තේ අලූත්කුරු කෝරළයයි (කුරුවරුන්ගේ නව දිස්ත‍්‍රික්කය). මෙයද වර්තමානයේ මුලූමනින්ම සිංහල ප‍්‍රදේශයක් වන නමුත් සිංහල කෘති වලට අනුව මාගේ ප‍්‍රියතම පුරාවෘත්ත ගත රජු වන ගජබාහු විසින් චෝල දේශයෙන් ගෙනන ලද සිරකුරුවන් පදිංචි කළ ප‍්‍රදේශය යි. වෙනත් වචනවලින් පවසන්නේ නම් පුරාතනයේ පදිංචි කල දකුණු ඉන්දීය ප‍්‍රජාවන් හස්තියෙකුගේ බාහුවකින් යුතු වීර රජෙකු විසින් චෝල දේශයෙන් ගෙන එන ලද අය වශයෙන් හුදෙක් නම් කෙරුනේ අධිපති සිංහල පරිසරයට ස්වීකරණය වූ විටය.”

Continue reading අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර ( 5 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)
පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ
දෙවැනි රාජසිංහ
දෙවැනි රාජසිංහ

“පුරාවෘත්තවලට ඓතිහාසික වලංගුතාවයක් නොතිබිය හැක; නමුත් පුරාවෘත්ත යටින් ඇති දේශපාලන අරුත් වලට එවැනි වලංගුතාවයක් ඇති අතර, එනම් අවම වශයෙන් 15 වන ශත වර්ෂය තුළ සහ ඉන්පසුව නැගෙනහිර වෙරළ නුවර රාජධානියේ කොටසක්ව පැවතුණේ රජුගේ විධිවත් ආධිපත්‍යයට යටත් වු මුක්කුවාර්වරුන්ගේ ප‍්‍රධානත්වය යටතේය.

මෙම අදහස තවදුරටත් විස්තර කිරීමට මට ඉඩ දෙන්න. නැගෙනහිර වෙරළ, ලන්දේසී මූලාශ‍්‍ර වලට අනුව ආසියාවේ ඉතා සමෘද්ධිමත් නගරයක් වූ බින්තැන්න ලෙසින් ද හැඳින්වූ මහියංගනය වෙළඳ මධ්‍යස්ථානය කරගෙන මඩකලපුවේ සහ ත‍්‍රිකුණාමලයේ සිට නුවර දක්වා දිවුන වෙළඳ මාර්ග කිහිපයකින් යාවී තිබුණි. මෙම වැදගත්කමේ පාර්ශ්වයක් හට ගත්තේ නැගෙනහිර සමඟ වෙළඳාමෙන් වන අතර විශේෂයෙන්ම වැදගත් වූයේ නුවර වැසියන්ට ලූණු සහ කරවල කළමණා සැපයූ මුස්ලිම් වෙළෙන්දන්ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් නුවරට පහර දුන් විට හෝ පහරදීමට තර්ජනය කළ විට රජවරු බින්තැන්නේ සටන්කාමී වැද්දන්ගේ ආරක්‍ෂාව යටතට තම පවුල් යැව්වෝය. මෙම වැද්දන්ගෙන් සමහරෙක් ඒ වන විටත් රජුගේ මාළිගයේ හේවායින්ගේ කොටසක් බවට පත්ව තිබුණි. විකල්ප අගනුවරක් ලෙස එහි තිබූ වැදගත්කම නිසාම බින්තැන්න-අලූත්නුවර ලෙස යළි නම් කෙරිණි. ඉතා බලවත් නුවර රජෙක් වූ දෙවැනි රාජසිංහ උපත ලැබුවේ බින්තැන්න – අලූත්නුවරය.

Continue reading 1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)