Tag Archives: ගණනාථ ඔබේසේකර

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ පස්වැනි කොටස

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

–   පස්වැනි කොටස

 ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර

ඉතිහාසය පුනරුත්ථාපනය හා සංස්කෘතික
අනන්‍යතාවෙහි අවිනිශ්චිතතාව

ස්වයංසිද්ධ අනන්‍යතාව දෙවිදියකට, එනම් සමාජයක් තුළ සිටින්නන්ට මූලභූත වූ ලෙසටත්, බැහැරින් සිටින්නන්ට (විග්‍රහ කරන්නාට මෙන්) සංස්කෘතිකමය වශයෙන් නිර්මාණය කරන ලද්දක් ලෙසටත්, පෙනෙන නිසා මෙම කාරණය ඉතිහාස ප්‍රකරණය තුළ යළිත් බහා බැලීම සුදුසු ය. අප ඉහත උපුටා දැක්වූ රිචඩ් හෙල්ගර්සන් ගේ ජාතිකත්වයේ ස්වරූප (Forms of Nationhood) කෘතියෙහි විස්තර කර ඇති පරිදි එංගලන්තයේ ප්‍රාදුර්භූත වෙමින් පැවැති ජාතිකත්ව හැඟීමට ආධාරක වෙමින් එයට සාහිත්‍යමය ප්‍රකාශනයක් පළමුවන එලිසබත් රැජිනගේ කාලයේදී කවියන්, ඉතිහාසඥයන්, නාට්‍යකරුවන්, දාර්ශනිකයන්, සංචාරක ග්‍රන්ථ රචකයන් හා ආගමික ග්‍රන්ථ නිර්මාපකයන් විසින් සැපයුණි. හෙල්ගර්සන් කියන පරිදි “1550 හා 1560 දශකවල උපන් අයට ඉංග්‍රීසි දේවල් විශේෂ උත්සන්නතාවයකින් යුතුව වැදගත් ලෙස පෙනෙන්නට විය. මීට එක් හේතුවක් නම් මීට පෙර තිබුණාට වඩා එංගලන්තය වැදගත් වීම ය; දෙවන හේතුව අනෙක් අනන්‍යතා හා අධිකාරීත්ව ප්‍රභවයන් අඩුවෙන් වැදගත් වීම ය.”   හෙල්ගර්සන් කියන්නේ එම පාඨ ග්‍රන්ථ “ඉංග්‍රීසිභාවය” පිළිබඳ විස්තරයක් සපයනු ඇති නමුත් ඒ අනන්‍යතාව ප්‍රකාශ කරන විදි කීපයක් තිබිය හැකි බව ය. ඒ විදි සමහරවිට එකිනෙකට ප්‍රතිවිරෝධී වන්නටත් පුළුවන. උදාහරණ වශයෙන් ජෝන් ෆොක්ස් ගේ “කර්තව්‍ය හා ස්මාරක” Acts and Monuments නම් පිටු 2314 කින් යුත් ග්‍රන්ථයෙහි ක්‍රිස්තු සාසනය  [the very much like the Sinhala concept of sasana බෙහෙවින් සාසනය පිළිබඳ සිංහල සංකල්පය හා සමානව] විශ්ව සාධාරණ වන්නාසේ ම සුවිශේෂී ද වන ලෙස විස්තර වේ.  හෙල්ගර්සන් දක්වා ඇති පරිදි ප්‍රොතැස්තන්ත කිතු සසුන වෙනුවෙන් ජීවිතය පූජා කළ අය එංගලන්ත රාජ්‍යයට පරිබාහිර වූ සංකල්පිත සංස්ථාවක් [an imagined community පරිකල්පිත ප්‍රජාවක්]  ලෙස ෆොක්ස් හා වෙනත් ආගමික චින්තකයක් විසින් නිරූපණය කර ඇත. ඒ අතරම ඇතැම් පසුකාලීන චින්තකයන් ප්‍රොතැස්තන්තවාදය හා ඉංග්‍රීසි භාවය වෙන් නොවන සේ බැඳී ඇති සේ දුටු අයුරු ද හෙල්ගර්සන් විසින් විස්තර කර තිබේ.  මේ කටයුතු වල අවසන් ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසිභාවය පිළිබඳ ස්වයංසිද්ධ අනන්‍යතාවක් ගොඩ නැගීමට ආධාරක වීම ය.   වර්ෂ 1707 දී එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය එකමුතු වීමෙන් පසු සිදු වුණේ බ්‍රිතාන්‍ය අනන්‍යතාවක් ගොඩ නැගීම ය. මෙය ලින්ඩා කොලී විසින් “බ්‍රිතාන්‍යයෝ: ජාතිය පුරුද්දා ගැනීම” (Britons: Forging the Nation) නම් ග්‍රන්ථයෙන් විස්තර කර ඇත. මේ ග්‍රන්ථ නාමයෙහි දෙපැත්ත කැපෙන අරුතක් තිබෙන බව කොලී ට නොපෙනුණා විය හැකිය. “Forge” යනු “පුරුද්දා ගැනීම” යන අරුත මෙන්ම “බොරුවක් කිරීම” යන අරුතද ඇත්තේය. එනම් ජාතියක් මවා පෙන්වීම යැයි ද එයට අරුත් කිව හැකිය.

දැන් අපේ භික්ෂූන් විසින් ලියා ඇති ඉතිහාසමය පාඨග්‍රන්ථ ගැන වඩා හොඳ අන්තර්ඥානයක් ලැබීමට පුළුවනැයි සිතමි. මහාවංශය වනාහි සිංහල බෞද්ධ අනන්‍යතාව පිළිබඳව තොරතුරු සපයන පාඨග්‍රන්ථයක් පමණක්ම නොවේ. වඩා වැදගත්ම එය ඊට පෙර රචිත දීපවංශය නොකළ අයුරින් එබඳු අනන්‍යතාවක් නිර්මාණය කර ගැන්මට උපකාර වන්නකි. එම අනන්‍යතා නිර්මාණය සඳහා මහාවංශයේ වීරයා වන දුට්ඨගාමිණී අභය (ක්‍රි.පූ. 161-137) කේන්ද්‍රීය සාධකය වන්නේය. ඒ වන විටත් තම ධර්මයට තෝතැන්න වන්නේ යැයි බුදුන් විසින් ආශිර්වාද කරන ලද දේශය ශාසනය හා සමග බද්ධ කරන පුද්ගලයා ඔහු ය. තමන් විසින් ලක්ෂ ගණන් ජනයා මරණයට පත් කිරීමේ විපාකය කුමක් වේ දැ යි මනසින් පීඩිත වූ රජු භික්ෂූන්ගෙන් විචාළ කල භික්ෂූන් දෙන පිළිතුර නම් ඔහු අතින් මරණයට පත් වූයේ සතුන්ගෙන් නොවෙනස් වූ දමිළ මිථ්‍යා දෘෂ්ටිකයන් නිසා ඔහු අතින් සැබවින්ම පාපයක් සිදු ව නැත කියාය. වඩාත් කෘතවේදීව මහාවංශය විසින් දුට්ඨගාමිණී වෙත ඊළඟ බුද්ධත්වයට පත් වන්නට සිටින මෛත්‍රිය බෝධිසත්වයන් සමීපයේ දෙව්ලොව තැනක් සාදා දී තිබේ.

 දුටුගැමුණු එලාර යුද්ධය(දඹුලු විහාර චිත්‍රයකිනි)
දුටුගැමුණු එලාර යුද්ධය(දඹුලු විහාර චිත්‍රයකිනි)

ඊ ළගට  මහාවංශය විසින් ජාතිකත්වය ඉහත සඳහන් කළ දෙ අරුතින් “නිර්මාණය” [ forge the nation ජාතිය පුරුද්දා ගැනීමේ]  කරන්නට වෑයම් දරා තිබේ. මේ “නිර්මාණ” [forging පුරුද්දා ගැනීමේ] කාර්යය සිදු වුණේ දුට්ඨගාමිණී කාලයේදී නොව මහාවංශය ලියැවුණු ක්‍රි.ව. හයවන සියවසේදී ය. එදා සිට මේ “නිර්මාණ” [ forging පුරුද්දා ගැනීමේ]  ක්‍රියාව අඩු වැඩි වෙමින් දිගින් දිගට පැවත ආයේ වෙනත් ජාතීන් අරභයා සිදුවන ආකාරයට ම ය. මහාවංශය පදනම් කරගෙන සර්වව්‍යාපී සිංහල බෞද්ධ අනන්‍යතාවක් ගොඩ නැගීම හෝ එබන්දක් නැතැයි කියා පෑම යන දෙකම නිෂ්ඵල දේ ය. ඒ කාල පරිච්ඡේදය තුළ එම අනන්‍යතාව කෙතරම් දුරට පැතිර තිබුණේ දැ යි නියත වශයෙන් අපට කවදාවත් දැන ගත නොහැකි ය. අපට සීගිරි කැටපත් පවුරු ගී වලින් පෙනෙන අයුරු ක්‍රි.ව. 8 වන සියවසේ සිට 12 වන සියවස පමණ තෙක් දුර බැහැර පළාත්වලින් ආ සිංහල ජනයා වන්දනා කේන්ද්‍රස්ථානයන්හිදී එකිනෙකා මුණ ගැසුණු බව දනිමු. ඒ සඳහා පොදු භාෂාවක් හා ලේඛන ක්‍රමයක් උපකාරී විය.   දහතුන් වන සියවසේදී ජනප්‍රිය සාහිත්‍යයක් බිහි වන විට භාෂාව හා ලේඛන ක්‍රමය නූතන ස්වරූපයට අතිශයින් සමානව තිබුණි. එම ග්‍රන්ථ අතුරෙන් එකක් වන පූජාවලියේ “උද්දේසික පූජා” නම් 32 වන පර්ච්ඡේදයෙහි සිංහල බෞද්ධ අනන්‍යතාව ගැන අති චිත්තාකර්ෂණීය විස්තරයක් එන්නේය:

“මේ ශ්‍රී ලංකාද්වීපය නම් අබුද්ධෝත්පාද  කාලයෙහි යක්ෂයන්ටම නිවාස වෙයි.  බුද්ධෝත්පාද කාලයෙහි ම මනුෂ්‍යයන්ට වාස වෙයි. සමහර බුදුන්ගේ ප්‍රථම බෝධියෙහිදීම මෙහි යක්ෂයෝ ප්‍රලයව මනුෂ්‍යයන්ට වාස වෙයි. සමහර බුදුහු තමන් වහන්සේ ම වැඩ යක්ෂයන් ප්‍රලය කොට මනුෂ්‍ය වාසය කරවා සසුන් පිහිටුවන සේක. අනන්තාපර්යන්ත වූ  බුදුන්ගේ බෝධි වල දක්ෂිණ ශාඛා හා ධර්මධාතු  ශාසන ප්‍රතිෂ්ඨිත වනු ඒකාන්ත හෙයින් මේ ලංකාද්වීපය බුදුන්ගේ ම තුණුරුවන් භාණ්ඩාගාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්ෂයන්ගේ වාසය ස්ථිර නුවූවා සේම ස්ථීර නොවේ ම ය. මිථ්‍යාදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්‍යය කෙළේ වී නමුත් ඔවුන්ගේ වංශ ප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේ ම ආනුභාව විශේෂයෙක් ම ය. එසේ හෙයින් මේ ලක්දිව සම්‍යක්දෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙන හෙයින් උන්ගේ කුල ප්‍රවෙණිය පවතින්නේ ද එකාන්තම ය. මේ මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමානයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවෙහි අප්‍රමාදව ආඥවක්‍රය හා ධර්මචක්‍රය රක්ෂා කොට රාජ්‍යය කොට කුල ප්‍රවෙණිය රක්ෂා කළ යුතු.”

මෙම කල්පයෙහි පළමු බුදුවරයන් වූ කකුසද බුදුන් වහන්සේගේ කාලයේදී මේ දිවයින “ඔජද්වීප” (එනම් ජීවධාතුව වන ඕජස් අඩංගු දිවයින) වූ බවත් එකල අනුරාධපුරය  අභයපුර නම් වී එහි රජු අභය නම් වූ බවත් පූජාවලිය තව දුරටත් කියයි. මෙහි ජනයාගේ පුණ්‍යවන්තභාවය දත්තා වූ බුදුහු මහා කරුණාවෙන් යුතුව 40,000 ක් භික්ෂූන් පිරිවරා ගෙන අහසින් වැඩ එදා දේවකූට නම් වූ මිහින්තලයට පැමිණි සේක. එහි රැස් වූ ජනයා බුදු පුද පැවැත් වූ අයුරු විස්තර කරන පූජාවලිය එදා අනුරාධපුරයේ විවිධ ශුද්ධ ස්ථාන බුදුන් වහන්සේ විසින් ශුද්ධ භූමි භාවයට පත් කැරුණු සැටිද කියන්නේය. මේ අන්දමින් කෝණාගමන හා කාශ්‍යප යන මේ භද්‍රකල්පයට අයත් අන්‍ය බුදුවරු ද මේ භූමියට වැඩ එම කාර්යයය ම ඉෂ්ට කළාහු ය. අවසන අපගේ යුගයේ ගෞතම බුදුහු ද එයම කළහ.

මෙහිදී මේ අසහාය ග්‍රන්ථය සවිස්තර ලෙස විග්‍රහයට භාජන කිරීමට නොහැකි නමුත් එයින් මහාවංශයටත් වඩා ඔබ්බට යමින් මේ මහා භද්‍රකල්පයේ මෙතෙක් වූ සියලු බුදුවරුන් විසින් පමණක් නොව ඊට පෙර වූ බුදුවරුන් විසින් ද මේ ද්වීපය ශුද්ධභාවයට පත් කර ඇත යන “සදාකාලික ප්‍රතිගමන” (eternal return) පුරාණෝක්තිය ස්ථාපිත කර ඇති අයුරු පෙන්වා දෙනු කැමැත්තෙමි. මිත්‍යා දෘෂ්ටිකයන්ට මෙහි විසිය නොහැකිය. යුක්ති සහගතව රජ කල හැක්කේ බෞද්ධ රජවරුනට පමණි.  බෞද්ධ ධර්මානුගත දෘෂ්ටිය අනුව විමුක්ති මාර්ගයක් ලෙස සාසනය පිහිටුවා ලිය හැක්කේ බුදුවරයෙකු විසින් පමණි.  එහෙත් මෙහිදී බෞද්ධ ඉතිහාස අර්ථයෙන් දැක්වෙන සාසනය පිහිටුවා ලන්නේ බෞද්ධ රජවරුන් විසිනි.  මගේ අදහස අනුව පූජාවලියේ එන ප්‍රකාශනය මහාවංශ ප්‍රකාශනයට වඩා වැදගත් ය. මන්ද යත්, සිංහලයෙන් ලියැවුණු හෙයින් එය පාලි මහාවංශයට වඩා සිංහල ජනයාට සෘජුවම කියවා හෝ මහ පිරිස් මැද කියවන ලද විට අසා ග්‍රහණය කරගත හැකිව තිබුණු බැවිනි.  එහෙත් මේ කරුණ ද එහි ඓතිහාසික ප්‍රකරණය තුළ බහා දැකිය යුක්තකි.  පූජාවලිය ලියවුණේ 1214 දී කාලිංග මාඝ විසින් කරන ලද අති විනාශකාරී ආක්‍රමණයෙන් පසුව ය. මේ ආක්‍රමණයත් වෙරළාසන්න වෙළඳ කටයුතු ලාභදායක කළ ඓතිහාසික බලවේගත් විසින් සිංහල රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීමට හේතු කාරක විණි.  ඒ යුගයේ පැවැති උත්සන්න අවශ්‍යතාවක් සපුරා ගැනීමේ අරමුණ ග්‍රන්ථයෙහි පිළිබිඹු වේ. එහෙයින් බුදුවරුන් මෙතැනට නිබඳව ආපසු එනු ඇත යන විශ්වාසයේ එල්බී සිටිනු පෙනේ.  පූජාවලිය ලියන විට අනුරාධපුරය අතහැර දමා ගොස් තිබුණි. එහෙයිනි එහි අතීත ශ්‍රී විභූතිය හුවා දක්වමින් ඒ ගැන සාංකාවෙන් බලනු ලබන්නේ.

මී ළගට මහාවංශය හා පූජාවලිය කියවන කල අප ඇස ගැසෙන එක්තරා ගැටළුවක් වෙත අවධානය යොමු කරනු කැමැත්තෙමි. සිංහල වීම යනු බෞද්ධ වීමය.  ඒ එකම අනන්‍යතාවෙහි පැතිකඩ දෙකකි.  එහෙත් බෞද්ධ වීම යනු සිංහල වීම නොවේ.  මේ ග්‍රන්ථ ලිවූ භික්ෂූන් ද දැන සිටි පරිදි සිංහලයන් නොවූ බෞද්ධයෝ ද සිටි‍යහ.  මෙහිදී ප්‍රශ්නය වන්නේ අනන්‍යතාවෙහි කුමන අංශ වඩා බලවත් වන්නේ ද? යන්නයි.  මහාවංශයත් නියත වශයෙන් ම පූජාවලියත් පවසන්නේ වඩා බලවත් බෞද්ධ අංශය බවයි.  මීට හේතු දැකීම අපහසු නැත.  එය යුක්ති යුක්ත බව දකුණු ඉන්දීය බෞද්ධයන් හා සමග නිරතුරුව ම සබඳතා පවත්වමින් සිටි භික්ෂූන්ට පෙනෙන්නට ඇත.  මේ කාලයේදී බුදුසමයානුගත නගර ගණනාවක් දමිළ දේශයෙහි තිබුණි. එසේම කලින් කල ආක්‍රමණිකයන් හා සමග පැමිණ මෙහි පදිංචි වී බෞද්ධයන් බවට පත් වූ ජන පිරිස් නොසිටියා යයි කිව නොහැක. 15 වන සියවසේ දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ විජයබා පිරිවෙනේ දමිළ භික්ෂූන් සිටි බව ද එහි දමිළ භාෂා සාහිත්‍යය අධ්‍යයනය වූ බව ද පෙනේ.

මහියංගනයේ යකුන් දමනය (කැළණි විහාර සිතුවමක්)
මහියංගනයේ යකුන් දමනය (කැළණි විහාර සිතුවමක්)

‍ඓතිහාසික පාඨග්‍රන්ථයන් පසෙක තබා මී ළගට ජන සම්ප්‍රදායට හා ගැමි පූජාකර්ම දෙසට හැරෙමු.  මේ පූජාකර්ම ජාතික ඉතිහාසයේ මුල සිට ම පැවත ආ බවට සැක නැත.  මේ  පූජාකර්මයන්හි නිතර නාට්‍යානුසාරයෙන් රඟ දැක්වෙන පුවතක් ඇත.  පූජා කර්මය සිදුවන කරළියෙහි බෞද්ධ ආරක්ෂක දේවතාවුන්ගේ භූමිකාව රඟපාන පාත්‍රයෝ දෙදෙනෙක් පොල්ලක් දෙකෙළවරින් ගෙන කඩවත මුර කරති. මේ කඩවතින් ශ්‍රී ලංකාවට ඇතුළු වන තැන සංකේතාත්මකව නිරූපණය වේ. ආගන්තුක දෙවියෙක්, වෙළෙන්දෙක් හෝ වෙළඳ පිරිසක් මේ කඩවත බිඳ ඇතුළු වීමට වෑයම් කල ද ඒ වැළැක්වීමට දෙවිවරු සමත් වෙති. මේ ආගන්තුකයන් දෙමළ බසට නැඹුරු වූ කැඩුණු සිංහලයෙන් කථා කරන අතර එම බස දෙපිට කැපෙන අදහස්, අපහාස, කවට වදන් ආදියෙන් සමන්විතය.  සිංහල මෙන්ම බෞද්ධ වතාවත් නොදන්නා ඔවුන් කියන දෑ ප්‍රේක්ෂකයන්ගේ නොමඳ හාස්‍යයට කාරණා වේ.  ආරක්ෂක දේවතාවුන් දැඩිව සිටින හෙයින් ක්‍රමයෙන් ආගන්තුකයෝ භාෂාවෙන් හා චාරිත්‍රාදියෙන් තමන් කළ වැරදි වටහාගෙන ආරක්ෂක දෙවිවරුන්ට නමස්කාර කොට බුදුරදුන්ගේ බලමහිමය ද පිළිගෙන හීලෑ වෙති.  එවිට දෙවියෝ කඩවත විවෘත කොට එම ආගන්තුකයන්ට ඇතුළු වීමට අවසර දෙති.

මා සිතන්නේ මේ පූජාකර්මයන් විසින් වැදගත් ඓතිහාසික ක්‍රියාදාමයක් සංකේතාත්මකව නිරූපණය කරන බවය.  පිටින් එන මේ ආගන්තුකයෝ ශ්‍රී ලාංකික බෞද්ධයන් ලෙස “ස්වභාවී කරණයට” (naturalization) පත් කරනු ලබති.  ඉන් පසුවය ඔවුන්ට රටේ රට වැසියන් ලෙස රාජකාරිය කිරීම වැනි පුරවැසිභාවයේ අයිතිවාසිකම් ලැබිය හැක්කේ.  මීට පෙර අවස්ථාවක මා විස්තර කළ “ජනාවාසකරණ පුරාණෝක්ති” (colonization myths) මගින් දැක්වෙන මෙහි ආ දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් සිංහලයන් හා බෞද්ධයන් බවට පත් කිරීම   (හෙවත් සාසනකරණය) ද මෙම පූජාකර්මයන්හි දැක්වෙන සිද්ධියට සමාන්තර වේ.  පත්තිනි පූජාව අරභයා මා ලියූ ග්‍රන්ථයේ මේ සංක්‍රමණිකයන්ගේ පූජාවිධි පාඨග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කෙරුනු අයුරු විස්තර කර ඇත.

දිවයිනේ බස්නාහිර, සබරගමුව හා දකුණු ප්‍රදේශයන්හි ප්‍රචලිත එම පූජාකර්මයන්ට හාත්පසින් වෙනස් ස්ථාවරයක් පූජාවලිය ගන්නා බව පෙනේ.  පූජාකර්ම පෙන්නුම් කරන්නේ ආගන්තුක දෙවිවරුන් සිංහල බෞද්ධ භාවයට පත් කර ගැනීම ගැනය.  ග්‍රාමීය පූජාකර්ම වලදී අනන්‍යතාවේ දෙපක්ෂයම අවධාරණය වේ.  දකුණු ඉන්දීයාවෙන් පැමිණි විවිධාකාර ආගන්තුකයන් පිළිබඳ ප්‍රශ්නයට මුහුණ පෑමට සිදු වුනේ සාමාන්‍ය ජනතාවටය.  එහෙත් බෞද්ධ අනන්‍යතාව සිංහල ද වීම ඔවුන්ට අර්ථවත් විය.  කොන්දේසි විරහිතව සිංහල යන්න පෙරටුකොට ගැනීම යටත් විජිත අවධියෙහි නිර්මාණයකි.

පහතරට බොහෝ බලි යාගයන්හිදී යක්ෂයන් සඳහා කුකුළෙකු බිල්ලක් ලෙස දීම අවශ්‍යය.  මෙය බොහෝ විට හුදු සංකේතයක් වන්නේ කුකුළා මරන්නේ නැතිව ලේ ටිකක් පමණක් බිලි ‍ලෙස ගන්නා බැවිනි.  යාබද ගඟහේන්වල ගමේදී යකැදුරා නිතරම කුකුළු බිල්ල බෙල්ල කපා මරා ලේ බීවේය.  මේ සිරිත “නීච කුල තීන්දුව” නම් යාතු කර්මයේ දී අසාමාන්‍ය නොවේ.
මෙබඳු අවස්ථා බොහෝය.  දමිළයන් හා සිංහලයන් මුණ ගැසෙන සංස්කෘතික ප්‍රදේශ ඇත.  ගිණිකොණ දිග පානම එබඳු තැනකි.  උතුරෙන් දමිළ ජන ප්‍රදේශයත් දකුණෙන් සිංහල ජන ප්‍රදේශයත් අතර පිහිටි මෙහි එකම පවුලේ හීන්බණ්ඩා කෙනෙකු හා සුබ්‍රමනියම් කෙනෙකු සිටිය හැකි අතර සිංහල දමිළ අන්තර් විවාහ ද දැක්ක හැකිය.

පාද සටහන්

1. Jone Helgerson, Forms of Nationhood: The Elizabethan Writing of England,  (Chicao, Univ. of Chicago Press, 1992), p.3
2. එම, 263 පිටුව
3. එම, 277 පිටුව
4. සීගිරි කුරුටු ගී එහි කැටපත් පවුරේ ලියැවී තිබේ.  සීගිරි බලකොටුව පළමුවන කාශ්‍යප (ක්‍රි.ව. 473-491) ගේ නිර්මාණයකි.  බලන්න S. Paranavitana, Sigiri Graffiti, Vols. 1 and 2 (London, Oxford Univ. Press, 1956). පරණවිතානයන්ගෙන් අත හැරුණු තවත් කුරුටු ගී ගැන බලන්න. Sita Padmini Gooneratne, H.T. Basnayake and Senake Bandaranayake, “The Sigiri Graffiti” in Sigiriya Project: First Archaeological Excavation and Research Report, (Colombo, Ministry of Cultural Affairs, 1984), pp. 196-98: “Sigiri Graffiti: New Readings” Further Studies in the Settlement Archaeology of the Sigiriya – Dhambulla Region, (Colombo, PGIAR Publication, 1994), pp. 199-223
5. මා සිතන්නේ මයුරපාද හිමියන් මේ වචනය යෙදුවේ “ධර්මයෙහි හරය” යන අරුතින් මිස අභිධර්මය අරුතකින් නොවේ කියාය.
6. මයුරපාද ථෙර, පූජාවලිය, සංස්. පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල ථෙර, (කොළඹ, ගුණසේන සමාගම, 1986), 746 පිටුව.
7. එම 746 – 47 පිටු.  පූජාවලියේ මෙම කොටස මහාවංශයට සියවසකට පමණ පෙර ලියන ලද දීපවංශයෙන් ගැනුණ ද දීපවංශයේ දමිළ විරෝධී හැඟීමක් මහාවංශයේ හෝ පූජාවලියේ මෙන් නොමැති බව කිව යුතු වේ.  දීපවංශයේ වීරයෝ වනාහි බුදුසමයේ ආදී කර්තෘ බුදුන් වහන්සේ, එහි අනුග්‍රාහක අශෝකාධිරාජයා හා දිවයිනේ එය පිහිටුවිමට උපස්තම්භක වූ දේවානම්පියතිස්ස රජ යන අයයි.  (මතු සම්බන්ධයි)

කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.

Advertisements

“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර (සිවුවැනි කොටස) : ස්වයංසිද්ධ අනන්‍යතාවන් (Axiomatic identities) නිර්මාණය

IMAGE0172

එසේ ස්වයංසිද්ධ අනන්‍යතාවය යථාර්ථයක් වූ හෙයින් බෞද්ධ ඉතිහාසයේ විටින් විට දකුණු ඉන්දියාවෙන් පැමිණියවුන්, ඔවුන්ගේ දෙවිවරුන්, යාතුකර්ම, භාෂාව හා පාඨ ග්‍රන්‍ථ බෞද්ධභාවයට පත් කර ගැනීමක් හෙවත් සාසනකරණයක් [“naturalization” “ජාති ප්‍රවේශනය” ] කරගනු [a continual අඛණ්ඩව] දැක්ක හැකිය. දිගු කාලීන ඉතිහාස දෘෂ්ටියෙන් බැලූ කල බොහෝ සිංහලයෝ මෙසේ ස්වභාවීකරණය වූ දකුණු ඉන්දීය සංක්‍රමණිකයෝ වෙත්. මේ සාසනකරණය සිංහල බහුතරය වෙසෙන පෙදෙස්වල පහසු වූයේ සංක්‍රමණිකයන් ඊට ප්‍රතිරෝධයක් නොපෑ බැවිනි. ඒ ආකාරයෙන්ම යාපනේ අර්ධද්වීපයෙහි අඩුම තරමින් 15 වන සියවසට පසු කේරළ හා දමිළ ජනයා විසින් ආධිපත්‍ය දරන ලද හෙයින් එහි කලින් සිටි සිංහල භාෂකයන් අරභයා ද සිදු කෙරෙන්නට ඇත.
“සිංහල බෞද්ධ” නම් සංස්කෘතික අනන්‍යතාව යනු විවිධාකාර වූ සමාජානුයෝජනය (socializing) උපක්‍රම හා සංස්කෘතික භාවිතාවන් සමුදායක අවසාන ප්‍රතිඵලය ලෙස ලැබෙන්නක් නම් එබඳු උපක්‍රමයන් නොපැවතුන අවස්ථාවක එය අසම්පූර්ණ ස්වභාවයෙන් පවතිතැයි කීම යුක්ති යුක්තය. මීට උදාහරණයක් දක්වනු කැමැත්තෙමි. මා ඉහත විස්තර කළ වන්දනා ගමන ඇරඹූ රම්ඹාදෙණිය වනාහි සිංහල ගමකි. එහෙත් එදා එහි බෞද්ධ පන්සලක් නොතිබිණි. අසල ගම්වලද තිබු‍ෙණ් නැත. පිරිතක් වැනි වැදගත් අවශ්‍යතාවක් සඳහා මදක් එපිට වූ ඇටන්වෙල ගමෙන් භික්ෂූන් කැඳවාගෙන එන ලදී. අපට එදා පෙනුනේ රම්ඹාදෙණිය ජනයා බෞද්ධ සංස්කෘතියට සම්පූර්ණයෙන්ම අන්තර්ග්‍රහණය වී නැත කියා ය. උදාහරණ වශයෙන් සියලු දෙනාම පාහේ දඩයමේ ගිය අතර මෙය උසස් ක්‍රියාවක් ලෙස සැලකුණි. වෙසක් දවසේ ම ගමේ ආරච්චි ගඟේ මාලු ඇල්ලුවේ බෞද්ධ ගමක කවදාවත් සිදු නොවන දෙයක් කරමිණි. . බෞද්ධ පින්කමක යෙදීමට පෙර දින රාත්‍රියේ යකුන්ගෙන් අවසර ගැන්මේ “forgiveness” චාරිත්‍රයක් තිබුණු කාලය ඇතැමුන්ගේ මතකයේ තවම තිබුණේය. මෙහි “යකුන්” යනු වැදි ජනයා සිය මුතුන් මිත්තන් සේ සලකන “නෑ යකුන්ය”. [I felt that this society was one time culturally close to those of the Vaddas in whose proximity they now live. මෙම සමාජය එක් කලෙක ඔවුන් අද ඔවුනට සමීපව වසන වැද්දන්ගේ ඒවාට සංස්කෘතිකමය වශයෙන් සමීප යැයි මට හැඟුණි.] මේ සාධකයන්ගෙන් පෙනෙන්නේ රම්ඹාදෙණිය යනු අප ක්ෂේත්‍ර පර්යේෂණ කරන විටත් සම්පූර්ණ බෞද්ධභාවයට පත් නොවී තිබුණු අතීත වැදි ගමක් බවය.

Continue reading “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර (සිවුවැනි කොටස) : ස්වයංසිද්ධ අනන්‍යතාවන් (Axiomatic identities) නිර්මාණය

අනන්‍යතාව හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ – “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

තමන් මධ්‍යයේ සිටින තමන්ගේ ඥාතී වූ එහෙත් තමන්ගෙන් විසංයෝජනය වූ පිරිසක් වන වැද්දන් හා සිංහලයන් අතර පවතින සමානභාවය හා අසමානභාවය සංකේතාත්මක රමණීය ලෙස ලෙස පෙන්වන අවස්ථාවක් ලෙස මහියංගනයේ වාර්ෂික පෙරහරට ඇතුළත් “වැදි පෙරහැර” දැක්විය හැකිය.
තමන් මධ්‍යයේ සිටින තමන්ගේ ඥාතී වූ එහෙත් තමන්ගෙන් විසංයෝජනය වූ පිරිසක් වන වැද්දන් හා සිංහලයන් අතර පවතින සමානභාවය හා අසමානභාවය සංකේතාත්මක රමණීය ලෙස ලෙස පෙන්වන අවස්ථාවක් ලෙස මහියංගනයේ වාර්ෂික පෙරහරට ඇතුළත් “වැදි පෙරහැර” දැක්විය හැකිය.

අපි මෙහිදී ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභව ප්‍රවෘත්තිය දෙසට හැරෙමු. ඒ අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව [ විජය මගින් through Vijaya] සිංහලයන් හා ඥාතිත්වයක් ඇතත් [විජය කුවේණි විවාහ කොට ගෙන එම විවාහයෙන් ලද දරුවන් දෙදෙන Vijaya married Kuveni and …… his two children by that marriage] වනයට පිටුවහල් කරන ලදුව දඩයමින්, එනම් [ඉතා] අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් වෙසෙන නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වෙති. [සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මෙම සංගමයෙන් “පුලින්දන්“ (“දඩයක්කරුවන්“, එනම්, වැද්දන්) පැණ නැඟුණු බව අපි දුටුවෙමු. We noted that out of this union of brother and sister sprang the Pulindas (“hunters”, that is, Vaddas] [දඩයම් කිරීම සහ බුදුදහම අතර ඇති ප්‍රතිපක්ෂය පිළිබඳ පුරාකෘතික පුරාණොක්තිය බොහෝ බෞද්ධයන් දන්නා අතර එය පළමුවරට ඉදිරිපත් කෙරෙන්නේ ‘මහාවංශය‘ යෙහි ය. එය විස්තර කරන පරිදි අහසින් පියාඹා ආ අර්හත් මහින්ද හිමි දේවානම්පියතිස්ස රජු දඩයමේ ගිය මිහින්තලා කඳු මුදුනට ගොඩ බැස්ස විට රජු බුදුදහමට හරවාගත් අතර මෙම පුරාකෘතික වැරදි ක්‍රියාව සිදුවූ ස්ථානය පළමු භික්ෂූන්ට භාවනාව සඳහා භූමියක් සහ බොදු පුද සහ වන්දනාව සඳහා කේන්ද්‍රයක් බවට පත්වීය. මෙම පුරාණොක්තින්ට වාච්‍යාර්ථ සත්‍ය වටිනාකමක් නැත. ඒවා පෙන්වන්නේ අධිපති කණ්ඩායම විසින් තමන් මධ්‍යයේ සිටි තමනට ඓතිහාසික සහ ආර්ථික බැඳීම් මගින් තමනට සම්බන්ධයක් ඇති නමුත් තමන්ට පිටස්තර වන ප්‍රජාවක් ලෙසින් වැද්දන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම යි.

අප පහත පළකරන්නේ දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය නමැති පොතෙහි පළ කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ (පිටු 23-64) නමැති දීර්ඝ ලිපියේ තෙවැනි කොටසයි. මෙම පොත ප්‍රකාශනය කොට ඇත්තේ නෝර්වේ හි ඔස්ලෝ නුවර නෝර්වේ බෞද්ධ සංගමය සහ එංගලන්තයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආගම් අධ්‍යයන දෙපාර්තමේන්තුව විසිනි. මෙම පොත 2002 වර්ශයේ ජූනි මස එංගලන්තයේ බාත් නගරයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු “බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය“ නම් සම්මන්ත්‍රණයේ දේශන එකතුවෙන් සකස් කෙරුණකි. මෙම ලිපිය පළ කිරීමේ සියළු හිමිකම් දීගල්ලේ මහින්ද හිමි සතුය.

අනන්‍යතාව [අන්‍යභාවය] හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ [ප්‍රතිනියෝජන]
TAMING OTHERNESS: THE COLLECTIVE REPRESENTATIONS AT MAHIYANGANA
“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස

පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

සටහන: හතරැස් වරහන් [] ඇතුළේ ඇති සිංහල කොටස් ලිපියේ ඉංග්‍රීසි මුල් පිටපත අනුව යමින් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස ගේ අනුවර්තනයට අප එකතු කළ කොටස් ය.

අතීතයේ ලක්දිව තිබූ බෞද්ධ සාසනය අද පවතින සාසනය නොවීය. 19 වන සියවසේදී එය පරිවර්තනයට භාජනය වී ප්‍රොතැස්තන්ත්‍ර බුදුසමය හෙවත් බෞද්ධ නූතනවාදය පහළ වූ හැටි මා විසින් මීට පෙර ලිපිවල සඳහන් කර ඇත. අද දින ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ද්විඝටනාත්මක ප්‍රතිවිරෝධය සිංහල හා දෙමළ අය අතරය. බොහෝ සිංහලයන් බෞද්ධ වන අතර බොහෝ දමිළයෝ හින්දූහු වෙත්. සිංහල බෞද්ධයන් ස්වභාවයෙන්ම [self-consciously ස්වයං සවිඥාණකව] සිතන්නේ තම ජාතිය ඉතිහාසගතව බෞද්ධාගමික ජාතියක්ව සිටි බවත් ඉතිහාසයේ පැවැති ප්‍රධාන ප්‍රතිවිරෝධය සිංහල බෞද්ධයන් හා දමිළ හින්දූන් අතර වූ බවත්ය. එබන්දක් පැවැති බව මා ද පෙර ලිපිවල හඳුනාගෙන තිබේ. එහෙත් දැන් මට පෙනෙන හැටියට ඊට වඩා ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති මූලික ව්‍යුහමය ප්‍රතිවිරෝධයක් වන්නේ වැදි දඩයම් කරුවන් හා සිංහල බෞද්ධ කෘෂිකාර්මිකයන් අතර පැවැති ප්‍රතිවිරෝධතාවයි. මට පෙනෙන හැටියට අඩු තරමින් 18 වන සියවස පමණ වන තෙක් බෞද්ධ ඉතිහාසය වටහා ගැන්ම සඳහා බෞද්ධයන් හා අබෞද්ධයන් අතර පැවැති මේ වෙනස වටහා ගත යුතු වේ.

අද වැද්දන් දිවයිනේ ආදි වාසීන්ගෙන් ඉතුරු වී මහියංගනයට සමීප මහඔය පෙදෙසේ විසිරී සිටින ස්වල්ප [දහසක thousand] ] පිරිසකි. මා විසින් මෑතදී සිදු කර ඇති ගවේෂණ අනුව පෙනෙන්නේ අතීතයේදී ඔවුන් දිවයින පුරා විසිරී සිටි ජනතාවක් බවයි. 18 වන සියවසට පෙර ඔවුන් මෙසේ සිටි බවට සාධක කිහිපයක් මෙහි දැක්විය හැකිය. කොහොඹා කංකාරිය නම් පූජාකර්මයේ දී සිදුවන “වැද්දන් අඬගැසීම” නම් යාදින්නේ ආරම්භය සන්තාන දෙවියන්ට රැස්ව සිටින ආතුර ජනයාට සෙත සලසන ලෙස අයැදේ. මෙ සඳහන මහනුවර අසළ ඇති හන්තාන ගැනය. සිංහලයන් හන්තානෙ දෙවියන් යනුවෙන් සඳහන් කරන්නේ වැද්දන්ගේ “හන්තානේ මහ වැදි උන්නැහේ” ගැනය. එසේ වුවද අද වැදි ජනයා මොහු හන්තාන හා සම්බන්ධ කර දකින්නේ නැත. මේ සියවස මුලදී ඔහුගේ වාසය අද වැදිරට ලෙස සැළකෙන බින්තැන්නේ පිහිටි මාවරගල විය. මහනුවරින් පසුබැස ගිය වැදි දේවතාවාගේ හැකිළී ගිය බල ප්‍රදේශය සැබෑ වැදිරට ලෙස අද හඳුනා ගැනෙන පෙදෙසය. එහෙත් “වැද්දන් අඬගැසීමේ” පෙළ පෙන්නුම් කරන්නේ වැදිරට මහනුවර රාජධාණියේ සිංහල රට හා සමපතිත වූ බවය. වැද්දන් අඬගැසීමේ පෙළ මුද්‍රණය කර ඇති දෙතැනක, එනම් චාල්ස් ගොඩකුඹුරේ හා මුදියන්සේ දිසානායකගේ සංස්කරණයන්හි, වැදි ගම්මාන 90 කට වැඩි ගණනක නම් සඳහන්ය. වැද්දන්ගේ ප්‍රදේශය ලෙස සැළකෙන සබරගමුව තුළ වෙසෙන වැද්දන් ගැන මෙහි සඳහන් නැති වීම විශේෂ කරුණකි. මහනුවර හා ඒ අවට සිටින්නන් හොඳින් දන්නා තැන් කීපයක් වැද්දන් විසූ තැන් ලෙස කියැවේ. එනම් අස්ගිරියේ, බෝගම්බර, හන්තානේ, බතලගල, ගෝමිරියේ, මතුරට, හුන්නස්ගිරියේ, පාත දුම්මර, කොත්මලේ, නුවර එළියේ, කෙහෙල්ගමුවේ හා ඌරාගල වැද්දන් ගැන මේ පාඨයන්හි සඳහන්ව ඇත. අද මේ ස්ථාන සිංහල එසේ නොමැත්නම් වතු දෙමළ ස්ථාන බව කිවමනා නැත. මේ නාම ලැයිස්තු මහනුවර අවට, උතුරු මධ්‍යම පලාත, දුම්මර හා කොත්මලේ මිටියාවත හා ඌවෙනි. අද සිංහලයන්ගෙන් හා පසුව පැමිණි මුස්ලිම් හා දෙමළ ජනයා සිටින මාතලේ වැදි ප්‍රදේශයකැයි අද අපට සිතන්නට බැරිය. එහෙත් 17 වන සියවස මැදදී පමණ රචිත මාතලේ කඩයිම් පොතේ මීට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් ඉදිරිපත්ව තිබේ. ඊට අනුව දෙවන රාජසිංහ රජුගේ අයියා වූ විජයපාල එක් ජන ප්‍රධානියෙකු අමතා මේ පෙදෙසේ වෙසෙන්නන් සඳහන් කරන්නැයි අණ කළේය. පිළිතුර වූයේ “දේවයිනි මාතලේ පලාතේ (ප්‍රභූ) ගෙවල් තුනක් පමණි ඇත්තේ” යනුයි. ඒ කවරේදැයි විමසූ විට කියන ලද්දේ “දේවයිනි, උඩුපිහිල්ලේ කුලතුංග මුදියන්සේ, අලුවිහාරේ වනිගසේකර මුදියන්සේ, දඹුකොළ වණිග‍සේකර මුදියන්සේ සහ හුලංගමුවේ ගමගේ වැද්දා සහ හම්පත් වැද්දාත් ය” කියාය. අනතුරුව “එපිට රට” සිටින්නේ කවුරුන්දැයි රජු ඇසූ විට බිරිදි වෙල “හෙළ කඳුරෙන් එපිට කනන්ගමුවේ කන්නිල වැද්දා මුර කරයි (හිර කර සිටියා), නික කොටුවේ හේරත් බණ්ඩා මුර කරයි, පළාපත්වල මහ තම්පලා වැද්දා මුර කරයි, දොඹවෙලගම දොඹ වැද්දා මුර කරයි. වල්ලිවෙල වල්ලි වැද්දා මුර කරයි, මහ කවුඩුල්ල වැද්දා කවුඩුපැළැල්ලේ මුර කරයි. නාරංගොමුවේ නයිරන් (නයිද) වැද්දා මුර කරයි, නාලන්දේ ඉමියා වැද්දා මුර කරයි, නාගපට්ටල නම් පෙදෙසේ දිග පළල නව ගව්වක් පෙදෙස දිප්පිටියෙ මහගේ (නම් ගැහැණියක්) මුර කරයි, කඩයිමේ මුර සේවය සඳහා මකර වැද්දා හා කෝඳුරුවා යොදා ඇත, කන්දපල්ලේ (වත්මන් කන්දපල්ල කෝරළේ) මහකන්ද වැද්දා මුර කරයි, ගලේවෙල හෙම්පිටි මහගේ මුර කරයි, උඩුගොඩ කෝරළේ උඩසිය පත්තුව බාජු මහගේ මුර කරයි, එම පල්ලේසිය පත්තුව මිණිමුතු මහගේ මුර කරයි. ලේපිටිය දේවකීර්ති මහගේ මුර කරයි…” යයි පිළිතුරු ලැබුණේය. 19 වන සියවස අගදී ඒ.සී. ලෝරි විසින් සම්පාදිත “මධ්‍යම පළාතේ ප්‍රවෘත්ති ග්‍රන්ථය” (Gazeteer of the Central Province) තුළ ඒ ප්‍රදේශයන්හි පරම්පරා කථා අනුව කලකට ඉහත වැදි ගම්මාන වී පසුව සිංහල ගම් බවට පත් වූ ස්ථාන තිහකටත් වැඩි ගණනක් සඳහන් කර තිබේ. Continue reading අනන්‍යතාව හීලෑකර ගැනීම: මහියංගනයේ සාමූහික නිරූපණ – “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – තෙවැනි කොටස – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම

අප ඉහත “කුමක් හෝ” (whatever) යනුවෙන් නම් නොකර සිටි දෙය හඳුනා ගැන්මට ආවශ්‍යක වන්දනා ගමන උපකාරී වේ. එය නම් “සාසනය” යන්නයි. සිංහල භාෂාවේ ඉංග්‍රීසි “nation” යන්නට සමාන වචනයක් නැත. එහි තැන සිංහලයේ ගැනෙන්නේ “සාසනය” යන්න විසිනි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සාසනය යනු ජන වාර්ගික හා අන්‍ය සීමා අභික්‍රමණය කරන විශ්වව්‍යාපී බෞද්ධ සමාජයය. ඒ සමඟ සාසනය යන්න බුදුන් විසින් ශුද්ධ භූමියක් බවට පත් කරන ලද දේශයේ භූගෝළීය සීමා තුළ පිහිටුවා ඇති බෞද්ධාගමික ආයතනය ද වේ. මෙසේ සාසනය යන්න අරුත් දෙකකින් යෙදේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සාසනය හෝ හුදෙක් සාසනය යන නම අපගේ විමර්ශනය සඳහා එම සුවිශේෂ අරුතින් යොදා ගත හැකිය. සුවිශේෂ අර්ථයෙන් ගත් කල සාසනය යන්න “බෞද්ධ ඉතිහාසය” හා බද්ධ වී ඇති අතර විශ්වව්‍යාපී අර්ථයෙන් ගත් කල එය ‍බෞද්ධ ධර්ම සම්ප්‍රදාය හා බද්ධ වී සිටී. මේ අර්ථ දෙක අතර විඝටනය බුදුසමයට ආවේණික වූවකි. සමකාලීන බෞද්ධාගමික ජාතිකවාදයේදී පුනරුත්තාපනය කර සිටින දුටුගැමුණු වීරරාජයා දමිළ මිත්‍යා දෘෂ්ටිකයන් හා සටන් වදින්නේ රාජත්වයේ ශ්‍රී විභූතිය උදෙසා නොව සාසනයේ ශ්‍රී විභූතිය උදෙසාය. එනම් ලංකාවට සුවිශේෂ වූ කාරණයක් සඳහාය. සිංහලයන්ට “ජාතිය” යන්න සඳහා යෙදිය හැකි වචනයක් නොතිබුණි. ඔවුන් යොදා ගත් “සාසනය” යන්නද nation යන්න මෙන් විවිධාර්ථ දනවන්නක් විය.

P1010318අප පහත පළකරන්නේ දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය නමැති පොතෙහි පළ කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ (පිටු 23-64) නමැති දීර්ඝ ලිපියේ දෙවැනි කොටසයි. මෙම පොත ප්‍රකාශනය කොට ඇත්තේ නෝර්වේ හි ඔස්ලෝ නුවර නෝර්වේ බෞද්ධ සංගමය සහ එංගලන්තයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආගම් අධ්‍යයන දෙපාර්තමේන්තුව විසිනි. මෙම පොත 2002 වර්ශයේ ජූනි මස එංගලන්තයේ බාත් නගරයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු “බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය“ නම් සම්මන්ත්‍රණයේ දේශන එකතුවෙන් සකස් කෙරුණකි. මෙම ලිපිය පළ කිරීමේ සියළු හිමිකම් දීගල්ලේ මහින්ද හිමි සතුය.

 ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
“බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

– දෙවැනි කොටස

නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම

මුලදී යටත් විජිත යුගයට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තතත්ත්වය නිරූපණය කිරීම සඳහා “ජාතිය” “ජාතික රාජ්‍යය” හෝ “රාජ්‍යය” යන කිසිදු වචනයක් භාවිතයෙන් වැළකී සිටීමට කැමැත්තෙමි. යුරෝපීය චින්තනයෙන් ලබා ගත් මේ වචන යොදනු වෙනුවට “බෞද්ධ කුමක් හෝ” යන්න තාවකාලිකව යොදා ගනිමින් එම පූර්ව යටත් විජිත යුගයේ පැවැති තත්ත්වය පිළිබඳ යථාභූත තොරතුරු පමණක් සපයනු කැමැත්තෙමි. එදා පැවැති තත්ත්වය අනුව ශ්‍රී ලංකා රාජත්වය තුළ ස්වාධිපත්‍ය පිළිබඳ අදහස පැහැදිළිවම පිළිගෙන තිබුණු බව පෙනේ. (මෙතැනදී මුල් ඉංග්‍රීසි පිටපතේ පහත සඳහන් වාක්‍යය සිංහල පරිවර්තනයෙන් මඟ හැරී ගොස් තිබේ . It was an ideological construct, a fiction, though a very significant one. එය මතවාදී නිර්මිතයක්, ප්‍රබන්ධයක් නමුත් ඉතා වැදගත් එකක් වීය.) කලින් කල තැනින් තැන පැන නැගුණු කුඩා රාජධානිවල (12 වන සියවසින් පසු යාපනේ රාජධානිය වැනි) රජවරු පවා තම අණසක පවත්වාගෙන සිටියේ ඒ කුඩා පෙදෙසේ පමණක් වුවත් තමන් මුළු ලංකාවටම අධිපති යැයි කියාගෙන උන්හ. යථාර්ථයෙන් ඒ ප්‍රාදේශීය රජුන් තමා රජ කළ පෙදෙසේ ස්වාධීනත්වය තහවුරු කරගෙන සිටියේ සංකල්පීය වශයෙන් අධිපතිභාවය උරුම වී ඇතැයි සැලකුණු රාජධාණිය කෙරේ ගරුසරු දැක්වූ අතරතුර ය. පුරාණ හා මධ්‍යකාලීක යුගයන්හි වැඩිපුර කලක් රුහුණේ යථාර්ථයෙන් තිබුණේ ස්වාධීන රාජ්‍යයකි. එය “රජරට” (ස්වාධිපත්‍යයේ උරුමය රැඳී පැවැති හෙයින් එම නම දැරූ) අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ පැවැති රාජධානිවල ප්‍රතිබිම්භයක් විය. 15 වන සියවසින් පසුව මහනුවර රජවරු ප්‍රාදේශීය පරිපාලකයන් පත් කිරීම පහකිරීම වැනි බලතල ක්‍රියාත්මක කරමින් තම රාජ්‍යයේ අණසක පතුරවාගෙන සිටියහ. මේ අයුරින් කලින් කල දිවයිනේ පැන නැගුණු රාජධානි ව්‍යූහමය වශයෙන් අසමාන වුවත් සංකල්පමය වශයෙන් ඒකාබද්ධ බෞද්ධ “කුමක් හෝ” යැයි සැලකී තිබුණි.

විටින් විට සම්පාදනය වූ මහාවංශයේ කොටස් තුළ ප්‍රායෝගික ව මුළු රට එක් සේසත් කල ලෙස හඳුනාගෙන ඇත්තේ දුට්ඨ ගාමිණී (ක්‍රි.පූ. 161-137) පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1070-1110) පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) සහ, අවසාන වශයෙන්, සයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1411-1461) යන රජවරුන්ය. එහෙයින් ඉතිහාසයේ වැඩිපුර කලක් රාජ්‍ය මධ්‍යස්ථානය අස්ථාවරව පැවතුණි. එහෙත් එම බෞද්ධ “කුමක හෝ” නීත්‍යානුසාරීව මුළු දිවයිනටම අණසක පැවැත්වීමේ අයිතිය පිළිබඳ අදහස දිගින් දිගටම පැවැත ආවේය. විවිධ වශයෙන් කැබලි වී පැවැති “රාජ්‍යය” සමතික්‍රමණය කළා වූ මතවාදීමය ඒකාබද්ධතාව ‍ගොඩනැගී තිබුණේ කෙසේද යන්න දැන් විස්තර කරනු කැමැත්තෙමි. බෞද්ධ ජන සංකල්පණය තුළ එම මතවාදීමය ඒකාබද්ධතාව නිර්මාණය ‍කොට ප්‍රකාශ වූයේ කෙසේද? Continue reading නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම

බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස

මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය.

P1010318අප පහත පළකිරීම අරඹන්නේ දීගල්ලේ මහින්ද හිමි සංස්කරණය කළ බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය නමැති පොතෙහි පළ කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ (පිටු 23-64) නමැති දීර්ඝ ලිපියයි. මෙම පොත ප්‍රකාශනය කොට ඇත්තේ නෝර්වේ හි ඔස්ලෝ නුවර නෝර්වේ බෞද්ධ සංගමය සහ එංගලන්තයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ ආගම් අධ්‍යයන දෙපාර්තමේන්තුව විසිනි. මෙම පොත 2002 වර්ශයේ ජූනි මස එංගලන්තයේ බාත් නගරයේ බාත් ස්පා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු “බුදුසමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඝට්ටනය“ නම් සම්මන්ත්‍රණයේ දේශන එකතුවෙන් සකස් කෙරුණකි. මෙම ලිපිය පළ කිරීමේ සියළු හිමිකම් දීගල්ලේ මහින්ද හිමි සතුය.

මෙයින් අප උපුටා දක්වන මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ ලිපිය ලංකාවේ ජනවාර්ගික ගැටුම් සංදර්භය තුළ සිංහල ජන මානසිකත්වය වටහා ගැනීමෙහි ලා ඉතා වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කරන්නක් බව අපේ අදහසයි. මෙම ලිපියෙහි දැනවෙන බහු අරුත් සහ ඉන් කෙරෙන දේශපාලන ගම්‍යමාන කිරීම් නිසාම මෙම ගැටුම පිළිබඳ දෙපිල බෙදී වාද කරගන්නා සිංහලයන්ගේ මූලික දෙපිළෙන් – එනම් සිංහල ජාතිකවාදීන් මෙන්ම වාම-ලිබරල්වාදීන්ද යන දෙපිළෙන් – එක පිළක්වත් සාකච්ඡා නොකොට මඟ හැර යන ලිපියකි.

පළමු කොටස
අශාස්ත්‍රීය පූර්ව ප්‍රකාශයක්

මේ ලිපියේදී මට අවශ්‍ය වන්නේ බෞද්ධ ශ්‍රී ලංකාව යටත් විජිත යුගයට පෙර “ජාතිකභාවය” හා “අනන්‍යතාව” ගොඩ නැගුණු ආකාරය අනුමාන වශයෙන් පිරික්සීමට ය. එනම්, යටත් විජිත වාදය හා අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ප්‍රතික්‍රියා ලෙස 19 වන සියවස අග හා 20 වන සියවස මුල කර්නල් ඕල්කොට් හා අනගාරික ධර්‍මපාල විසින් ජනිත කරන ලද විශාල විපර්යාසයන් සිදුවීමට පෙර පැවැති තත්ත්වයන් සොයා බැලීමට ය. මෙය දුෂ්කර කටයුත්තකි. වසර දෙදහසක් පමණ කලක් මීට අදාල හෙයින් මේ කටයුත්ත ගෞරව සම්ප්‍රයුක්ත භීතියක් ජනිත කරන්නේ ද වේ. මේ නිරීක්ෂණයේදී අවසාන නිගමනාත්මක ප්‍රකාශයක් කළ හැකියයි නොකියමි. එසේ වුවද යටත් විජිත අවධියෙහි සිදු වූ දැඩි විපර්යාසයන් වටහා ගැන්ම පිණිස ඊට පෙර අවධියේ ජාතිකභාවය හා අනන්‍යතාව පිළිබඳව තිබුණු අදහස් කවරේදැයි සොයා බැලීම ප්‍රයෝජනවත් ය. මෙම විස්තරය වත්මන් ජනවාර්ගික අර්බුදය වටහා ගැන්මට කෙතෙක් දුරට ඉවහල් වේ දැයි ද නොදනිමි. එසේ වුවද වත්මන් තත්ත්වයේ සංකීර්ණ ස්වභාවය පිළිබඳව තැනින් තැන මා දුටු ඇතැම් කරුණු කීපයක් සඳහන් කොට වත්මන් සාම ක්‍රියාවලිය ඇරඹෙන මේ මොහොතේ බෞද්ධයන් මුහුණ පා සිටින දුෂ්කරතා සමහරක් පෙන්වා දෙනු කැමැත්තෙමි.

උගත් බටහිර වැසියන් විසින් ශාස්ත්‍රවේදීන් වන අපෙන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ දැඩි සේ අහිංසාවාදයට කැප වූ බුදුසමය වැනි ආගමක් විසින් පසුගිය දශක දෙක තුළ ප්‍රචණ්ඩත්වයේ අන්තයට ගිය සමාජයක් නිර්මාණය කළේ කෙසේද? යන්නය. එය ඇසිය යුත්තක් සේ පෙනෙන නමුත් මා සිතන්නේ එය වැරදි ප්‍රශ්නයක් කියා ය. අනෙක් කුමන ලෝක ආගමක් ම මෙන් බුදු සමයටත් ජාතියකට මුහුණ පෑමට තිබෙන සමාජ හා ආර්ථික ගැටළුවලින් මිදිය නොහැකි ය. එහෙත් මේ කාරණයට අදාළව වෙනත් ප්‍රශ්නයක් නැගිය හැකිය. එනම්, වත්මන් තත්ත්වය ගැන උත්සුක වූ බෞද්ධ ගිහියන් හා භික්ෂූන් විසින් සමකාලීන සමාජය යථා තත්ත්ව නිරූපණයකට භාජනය කොට එහි බලපෑම මගින් විනාශකාරී සිංහල ජාතිකවාදයකට නැඹුරු වූවක් වෙනුවට බුදු සමයේ මූලික සාරධර්මයන්ට අනුගත වූ නව සමාජ දර්ශනයක් නිර්‍මාණය කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද? යන්නය. මේ දේ මට මෙහිදී සලකා බැලිය හැක්කාට වඩා ව්‍යාකූල ප්‍රශ්නයකි. එහෙත් මා සිතන්නේ අද ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මුහුණ පාන අර්බුදයෙන් ගොඩ ඒමට නම් 19 වන සියවසේ අග හා 20 වන සියවස මුල ඕල්කොට් හා ධර්මපාලයන් කළ පරිමාණයේ ගුණධර්මමය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවය. ඔවුන්ගේ ව්‍යාපාරයේ අන්තර්ගතය මා අනුමත නොකරතත් මා එසේ කියන්නේ ඇයි දැයි පැහැදිළි කිරීම පිණිස ශාස්ත්‍රීය නොවන අයුරකින් වත්මන් බෞද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ හා අපේක්ෂා විරහිත ස්වභාවය මදක් විස්තර කරනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවේ අද පවතින ප්‍රචණ්ඩත්වය හා සමාජ අතෘප්තියෙහි මාපකයක් සේ මේ බෞද්ධ රට ඉතාමත් ඉහළම ප්‍රමාණයේ මිනීමැරුම් සංඛ්‍යාවක් හා ලෝකයේ ඉහළම මට්ටමේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාවක් තිබීම දැක්විය හැකිය. ශ්‍රී ලාංකික බෞද්ධයන් පන්සිල් කවරේ දැයි හොඳින්ම දන්නා නමුත් පසුගිය විසි වසරක පමණ කාලය තුළ ලෝකයේ ඉහළම මත්පැන් භාවිතය පෙන්නුම් කරන රටක් බවට පත් වී තිබේ. මෙය තම පක්ෂයට ආධාර කළවුන්ට බීමහල් විවෘත කිරීමට අවසරපත් ලබා දුන් දේශපාලනඥයන් විසින් අනුබල දෙන ලද ප්‍රවණතාවකි. එසේම ශ්‍රී ලාංකික බෞද්ධයෝ විශාල ප්‍රමාණයේ මාංස භක්ෂකයන් ද බවට පත්ව සිටිති. මා දන්නා පරිදි මහනුවර එක් ප්‍රසිද්ධ පන්සලක දානය සඳහා කුකුල් මස් ලබා දෙන ලෙස දායකයන්ට පවසනු ලැබේ. ඇතැම් විට භික්ෂූන්ගේ කටයුතු, විශේෂයෙන් දේශපාලනය, විවේචනය කරන ගිහියන් පවා භික්ෂූන්ට සුඛොපභෝගී භාණ්ඩ විශේෂයෙන් දානාවස්ථාවේදී ආහාර වර්ග ගොඩ ගසන ආකාරය දැක්ක හැකිය. මෙයින් භික්ෂූන්ගේ ලෞකිකාශා වර්ධනයට අනුබල ලැබේ. වැඩිපුර සිවුරු, තුවා ආදිය (දොස් කිව නොහැකි පරිදි) ආපසු වෙළඳ පොළට යැවේ.

මා කුඩා අවදියේ විහාරයන් හෝ පුරාවිද්‍යා ස්ථාන මංකොල්ලයක් ගැන සිතන්නට පවා හැකියාවක් තිබුණේ නැත. එහෙත් අන්තර්ජාතික පුරාවස්තු වෙළෙඳ පොළෙන් අනුබල ලැබ මෙය “කර්මාන්තයක්” බවට පත් වී ඇති සැටි පුවත්වලින් දැක්ක හැකිය. එම ඇතැම් විස්තර අනුව මේ අපරාධයන්ට භික්ෂූ සහාය ද ඇතැම් විට ලැබේ. භික්ෂූන් බෞද්ධ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වා ගෙන ආවෙමුයි උදම් අනන මුත් පන්සල් වල ඇති පුස්කොළ පොත් එක්කෝ පුස් කමින් තිබෙනු හෝ සංචාරකයන් රවටා “බුදුන්ගේ ලියමන්” ලෙස පිටුව පිටුව විකිණෙනු දැක්ක හැකිය. අද භික්ෂූන් ස්වල්ප දෙනෙකු පමණකි පාලි දන්නේ. බුදු සමය තවදුරටත් නිශ්ශබ්ද වූ ආගමක් නොවේ. ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ශබ්ද දූෂණය කෙරෙමින් භික්ෂූහු අසල්වැසි මුස්ලිම් පූජකයන් හා සමඟ “ශබ්ද යුද්ධයේ” යෙදෙති. මහනුවර බලවත් දේශපාලනඥයෙකු අනුග්‍රහ දක්වන එක් පන්සලක පෝ දිනක මේ ශබ්ද කරදරය කොතරම් උත්සන්න වී ද යත් කෙනෙක් භික්ෂුවට දුරකථනයෙන් පැමිණිල්ලක් කළේය. වැඩි කල් යාමට පෙර නායක භික්ෂුව පෙරටු කොට ගත් බීමත් මිනිසුන් පනස් දෙනෙකු පමණ වුත් විශ්ව විද්‍යාල ඇදුරෙකු වූ එම පුද්ගලයාගේ නිවසට කඩා වැදී මරණීය තර්ජන එල්ල කරන ලදී. අද භික්ෂුවකට රජයේ ඉඩමක් හෝ පුරාවිද්‍යා ආරක්ෂිතයක් බලෙන් අල්ලාගෙන පන්සල් හැදීමට පුළුවන. කිසිදු අවස්ථාවක ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණැයි මා අසා නැත.

පුවත්පත් වාර්තා අනුව ගැහැණු නිරතුරුව දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වෙති. පාතාලයේ මැරයෝ මහ දවාලේ ම මංකොල්ල කෑම් හා මිනීමැරුම් කරති. පාසලේ දී “බුදුසමය” උගත් පාසල් සිසුවෝ ද එය කර්ණකටුක වීමෙන් දෝ අපරාධයන්හි නිරත වෙත්. පාතාලයේ මත් ද්‍රව්‍ය වාණිජයෝ හා දාමරිකයෝ සෑම දේශපාලන පක්ෂයකම අනුගාමික පිරිස් වල සිටිති. ඇතැම් විට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ ආරක්ෂක භටයන් ලෙස ද ඔවුහු යොදා ගැනෙති. මේ සියල්ලටම යටින් ඇත්තේ එක තැන පල් වන ආර්ථිකයකි. ඊට තුඩු දුන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ජනවාර්ගික යුද්ධයත්, විශාල ජනගහණ වර්ධනයත් දිනෙන් දින වැඩි වන විරැකියාවත් ය. මේ හේතු නිසා 80 දශකයේ අග සිංහල බෞද්ධ ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලෙන් සමාජය තිරශ්චීනභාවයට පත් විය. මේ අවධියේදී ජවිපෙ විසින් බියජනක වූද මනුෂ්‍යත්වයට නොතරම් වූ ද අපරාධ කරනු ලැබුවා පමණක් නොව එම ව්‍යාපාරය මර්ධනය සඳහා රජය යෙදූ ප්‍රතිප්‍රහාරය ද ඒ ආකාරයෙන්ම බිහිසුණු වූයේය. අද දින සමාජයේ පවතින භීෂණ සංස්කෘතියට ප්‍රධාන හේතු කාරකය වූයේ එදා ජවිපෙ හා ඊට එරෙහිව රජය විසින් ඇති කල ප්‍රචණ්ඩත්වයය යනු මගේ විශ්වාසයයි.

භික්ෂු ශාසනයේ තත්ත්වය ගතහොත් එහි ඇති අපිළිවෙළ පැහැදිළිව පෙනේ. ගම්වලින් කුඩා ළමයි මහණ කෙරෙනු ලැබේ. ඒ අනුව තමන් අවට සිටින ගිහියන්ගේ මානසික ස්වභාවය භික්ෂූන් අතර ද තිබීම පුදුමයක් නොවේ. ගැමි භික්ෂූන් සමාජයේ නැතිවම බැරි සේවයක් ඉටු කරන බවත් භික්ෂූන් අතරෙන් වැඩි දෙනා බුදුසමයෙහි බොහෝ උගත්කම් නැතත් තමන් අවට සිටින ගිහි වැඩිපුර දෙනෙකු මෙන් යහපත් උදවිය බව විශ්වාස කරමි. කෙසේ වුවද අප අපේක්ෂා කරන අන්දමේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් සඳහා නායකත්වය සැපයීමට අවශ්‍ය ස්වයංවිවේචන ශක්තිය හෝ නායකත්ව ගුණාංග ඔවුනට නැත. මීට ප්‍රතිවිරුද්ධව ප්‍රකාශක හැකියාව ඇති භික්ෂූහු හා ගිහි බෞද්ධයන් කරන්නේ බුදුසමය යහපත්ව පවතිනවාය යන ආත්ම වංචනයෙහි නිමග්නව සිටිමින් “බෞද්ධයන්ට ඇති මැසිවිලි” සඳහා රජය විසින් විසඳුම් ලබා දිය යුතු යැයි උද්ඝෝෂණය කිරීමය. අනුන් පිට වරද පැටවීම බහුලව සිදුවේ. ජාතිය වැටී ඇති ප්‍රපාතය ගැන එල්ටීටීඊයටත්, ක්‍රිස්තියානින්ටත්, සමහර විට පිටරට වැසි ශාස්ත්‍රඥයින්ටත් දොස් පවරනු ලැබේ. සමාජයක් ව්‍යාධිගතව ප්‍රතිමාණ විරහිතව (anomic) සිටින විට මේ අන්දමින්, ස්වයං විභ්‍රමණයන් සිදු වීම පුදුමයට කරුණක් නොවේ.

භික්ෂුව හා ගිහියා අතර වෙනස අපැහැදිළි බවට පත් වෙමින් තිබෙන මෙවැනි යුගයක භික්ෂූන් ද දැඩි මතධාරී වූ ද ඇතැම් විට ප්‍රචණ්ඩ වූ ද දේශපාලන කටයුතු වල නිරත වෙතැයි සිතිය හැකිය. ජවිපෙ ඇතුළුව සෑම දේශපාලන පක්ෂයකටම අයත් භික්ෂූන් සිටින හෙයින් ඔවුන් බුදුන්ගේ පණිවුඩයට නොව එම දේශපාලන පණිවුඩයන්ට ප්‍රතිචාර දක්වන අයුරු දැක්ක හැකිය. ඒ කෙසේ වුවද සංසන්දනාත්මකව බලන කල බෞද්ධයන්ගේ හැසිරීම එතරම් නරක නැත. ජාතිකවාදී භික්ෂූන් හා ගිහියන් දේශපාලනමය ඝෝෂාවන්හි යෙදී සිටියත් ඔවුන් අද දින ඉන්දියාවේ සිටින තාපස භටයන් තරම් ප්‍රචණ්ඩ හෝ ගුජරාතයේ මිනීමරු ජන පිරිස් හෝ තරම් තත්ත්වයකට පත් වී නැත. මුස්ලිමුන්ගේ ජීහඩ් දර්ශනයේ ආභාශය ලැබූ අය සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පය. මව්බිම වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් නිවන් යනවා යැයි කියන්නේ එකම එක භික්ෂුවක් විසින් පමණි. භික්ෂූන්ගේ ජාතිභේදවාදී අදහස් දමිළයන් අන්තවාදීන් වීමට වත්මන් යුද්ධය දිගින් දිගටම පැවතීමටත් තරමක් දුරට හේතුභූත වූ නමුත් ඔවුන්ගේ වත්මන් ප්‍රතිචාරයන් තනිව ගෙන නොව එලිටීටීඊය විසින් සිදුකර ඇති අපරාධ පසුබිමේ තබා බැලිය යුතු වේ. වන්දනාවේ යමින් සිටි භික්ෂූන් හා සාමණේරයන් ඝාතනය, සිවිල් වැසියන් වෙත එල්ල කළ ප්‍රහාර, මෑතකදී මහනුවර දළදා මාළිගාවට පහර දීම ආදී ප්‍රකෝපකාරී සිද්ධි රාශියක් එල්ටීටීඊය සිදු කළහ. මේ කෙසේ වුවත් “බෞද්ධයන්” ලෙස මනුෂ්‍යයන්ගේ දුක්විඳීම් ගැන කම්පා වනවා නම් භික්ෂූන් හා ගිහි බෞද්ධයන් දැන් සිදුවන සාම ක්‍රියාවලියට විරුද්ධ නොවිය යුතුය. ප්‍රධාන පෙළේ භික්ෂූන් බොහෝ දෙනෙකු සාම ක්‍රියාවලිය අනුමත කරමින් එය අත්හදා බලන්නට කැමැති වී තිබීම වාසනාවකි. ජවිපෙ, සිහල උරුමය සහ තවත් සංවිධාන කිහිපයකට සම්බන්ධ තරුණ භික්ෂූහු මීට විරුද්ධ වී සිටිති.

වත්මන් තත්ත්වය ගැන මගේ සිතේ තිබුණු බරකින් ඉහත අයුරින් නිදහස් වී මා සාකච්ඡා කරන්නට යන පූර්ව යටත් විජිත යුගයේ ජාතික භාවය හා අනන්‍යතාව වෙතට දැන් යොමු වෙමි.

(මතු සම්බන්ධයි)