Tag Archives: ජනවාර්ගික

අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර

උත්කෘෂ්ඨම දේශපාලන ගැට‍ළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss

‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි.

ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ පිළිගන්නා බව යි.

දෙවැන්න නම්, එම ප්‍රශ්නය පිළිබඳ සිත එළවීමට තරුණ තරුණියන් ට මෙන් ම වැඩිහිටියන්ටත් ඇරයුම් කිරීම පෙන්නුම් කරන්නේ එබඳු ලංකාවක් ඇති කර ගැනීම පහසුවෙන් කළ හැකි සූත්‍රයක් සම්පාදනය කර ගැනීමේ මඟක් ඇතයි සිතීමට අප පොලඹවන නූතනවාදී දැක්මක් නොවේ. මෙම ප්‍රයත්නයෙහි ඇත්තේ ‘එය සංවාදයට බඳුන් කළ යුතු සහ ඒ පිළිබඳ කතිකාවක් ගොඩ නැඟිය යුතු සංකීර්ණ මාතෘකාවකි,’ යන අදහස බව පෙනී යයි. ඒ අනුව, ප්‍රශ්නයට අපට විසඳුමක් ලබා ගත හැකි වෙතොත් එය මෙබඳු උත්සාහතුළින් අපගේ සාමූහික විඥානයේ ඇති කරගන්නා වෙනසක් තුළින් පමණි. එය දිගු කාලීන ව්‍යායාමයක් බව මගේ වැටහීමයි.

මා මෙම ලිපිය ලියන්නේ එබඳු පුළුල් කතිකාවක් ගොඩ නැංවීමට කෙරෙන අල්ප දායකත්වයක් වශයෙන් සලකා විනා ප්‍රශ්නයට සරල විසඳුමක් මා අත ඇතයි සිතා නොවේ.

ලංකාව යහපත් රටක් බවට පත් කර ගැනීම පිළිබඳ වත්මන් ප්‍රධාන දේශපාලන ධාරාවේ ව්‍යවහාරයේ යෝජනා කෙරෙන විසඳුම් දෙකක් දැකිය හැකි ය. ඒවායේ පුළුල් සහ මූලික ආකෘතික ලක්ෂණ මෙසේ දැක්විය හැකි ය.
Continue reading අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර

Advertisements

සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

නිගමනය: සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම (අවසාන කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
“නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. පූර්ව යටත් විජිත සහ මුල් යටත් විජිත කාලයන්හි කවර දේශපාලන ඒකත්වයක් පැවතිය ද ඒවා දැන් යළි අත්පත් කරගත නොහැකි ලෙස බිඳ වැටී ඇති බව පෙනේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ දෘෂ්ටිවාද වල පැවැත්ම ෆූකෝ “මර්ධිත දැනුමේ නැගිටීම” වශයෙන් හැඳින්වූ තවත් සමාජ සංසිද්ධියක් අනුක්‍රමිකව බිහි කරන්නේ ද යන්න අනුමාන කළ හැකිය. මගේ අනුමානය වන්නේ නැගෙනහිර පමණක් නොව යාපනය දිස්ත්‍රික්කයේ පවා නිදහස් මැතිවරණ අවසානයේ දී නියෝජනාත්මක ආණ්ඩු වර්ධනය කරන්නේ නම් එය සිදුවනු ඇති බවයි. නියුරෝසියාවන් තුළ වේවා, දේශපාලනය තුළ වේවා මර්ධිත දෙයෙහි යළි පැමිණීම නීට්ෂේ අදහස් කළ “සනාතන යළි පැමිණීම” නොහඟවයි. මර්ධිත දෙය යළි පැමිණෙනු ඇති නමුත් ඒ වෙනත් වේශයකිනි, සමහර විට භයංකාර ලෙසය, සමහර විට පෙරට වඩා උසස් බවට පමුණුවනු ලදුවය – ඒ වනාහී කුලය පිළිගන්නා නමුත් අසමානතාව ප්‍රතික්ෂේප කරන සමකාලීන කුල සැකසුමෙන් අප දන්නා ආකාරයටය. සමහර විට, කෙසේ හෝ ප්‍රාදේශීය දැනුම සහ ප්‍රාදේශීය ව්‍යුහයන් එවැනි මර්ධනයකට ලක් කල හැකි අතර දේශපාලනිකව කතා කරන්නේ නම් ඒවාට යළි පැමිණීමට කොහෙත්ම අවස්ථාව නොලැබෙනු ඇත. සාකල්‍යකරණ දෘෂ්ටිවාද තුළ ප්‍රචණ්ඩත්වය සහේතුක කෙරන්නේ මේ නිසාය. බුර්ෂුවා බුද්ධිමතුන්ට නම් ආශ්චර්යමත් අරුතැති වචනයක් වන “විමුක්තිය” යන්න චේතනාව වන විට පවා කෙනෙකුට නූතන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති ප්‍රචණ්ඩත්වය සහේතුක කිරීම තුළින් සියලු ප්‍රකාර මර්ධිත දැනුම මෙන්ම විසම්මුතිය තලා දැමිය හැක. ආදර්ශ විමුක්ති ව්‍යාපාරයක් වන ප්‍රංශ විප්ලවය තුළ භීෂණයේ සහේතුකකරණය සහ විමුක්තිය යන දෙකම එකට පැවතුන බව අමතක කළ යුතු නොවේ. “බිහිසුණු සුන්දරත්වයක් පහළ වී ඇත” යනුවෙන් යේට්ස් පවසන විට ඔහු අයර්ලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉස්මතු කළේ මෙම විරුද්ධාභාසය යැයි මම සිතමි.” Continue reading සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

1 පරිච්ඡේදය – හැඳින්වීම

2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම).

1.1 ක්‍රියාවලිය

කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ තැපෑලෙන්, විද්‍යුත්-තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් ලිඛිතව හෝ අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනයාට ආරාධනය කරන ලදී. දින අටක් පුරා මහජන අදහස් විමසූ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්නට, අනිත් දිස්ත්‍රික්ක විසි හතරේ ම දින දෙක බැගින් මහජන අදහස් විමසීමට කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහාය ලබා ගත්තේය. මෙම දිස්ත්‍රික් රැස්වීම් සඳහා කමිටුව උප-කණ්ඩායම් ලෙස සහභාගි වීය. (ඈ ඇමුණුම බලන්න). සියලු මහජන අදහස් විමසීමේ සැසි, මාධ්‍යවලට හා මහජනයාට විවෘත විය. දින ගණනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජනයාගේ අදහස් හා නිර්දේශ අඩංගු වාර්තාවක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අවධානය සඳහා කමිටුව විසින් පිළියෙල කරන ලදී.

පාරදෘශ්‍ය භාවය පවත්වා ගැනීම සඳහා මහජනයා විසින් ඉදිරිපත් කළ අදහස් අඩංගු දත්ත සමුදාය පද්ධතියක් ද, කමිටුව විසින් ස්ථාපිත කරනු ලැබීය. මෙම දත්ත සමුදාය පද්ධතිය නිර්මාණය කරන ලද්දේ මෙම ඓතිහාසික ක්‍රියාවලිය අනාගතය සඳහා ආරක්ෂා කිරීමටත්, මහජනතාවට මෙම ලේඛන ලබාගැනීමේ පහසුවත්, සඳහායි.

මෙම ක්‍රියාවලියට මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා ප්‍රශංසනීය වේ. මහජන අදහස් ඉදිරිපත් කිරීමට දුන් කෙටි දැනුම්දීම හා කාලයේ හා මානව සම්පත්වල සීමාවන් මැද වුවත් රටේ ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් තුළ රටේ උත්තරීතර නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ හා රාජ්‍ය බලය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ වීමට අභිලාෂයක් තිබුණු බව අපට පැහැදිලිව දැක ගත හැකි විය.

කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ අය අතර සිවිල් සමාජ කණ්ඩායම්, පූජකවරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විශ්‍රාමික හා ආබාධිත පොලිසියේ හා හමුදා සාමාජිකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, වෘත්තීය සමිති සාමාජිකයින්, දේශපාලනඥයින්, ජනවාර්ගික කණ්ඩායම්, ආන්තික හා නොතකා හරින ලද කණ්ඩායම්, සුළු ජනවාර්ගික කණ්ඩායම් හා ආබාධිත පුද්ගලයන් ආදි පුළුල් නියෝජනයක් දක්වන පුද්ගලයන් හා කණ්ඩායම් වූහ.
ලිඛිතව මෙන්ම වාචික ව බහුවිධ අදහස් හා මත ඉදිරිපත් කෙරුණි. මෙහිදී වඩාත් ප්‍රශංසනීය කරුණ වන්නේ ජනතාව ඉතා අවංකව අදහස් ඉදිරිපත් කිරීම පමණක් නොව අන් අදහස්වලට සවන්දීමට දැක්වූ උනන්දුවයි. අදහස් දැක්වීමට පැමිණි බොහෝ අය, තම සහෝදර පුරවැසියන්ගේ අදහස්වලට සවන් දීමට ද, නතරවූහ. මෙම ක්‍රියාවලියට ජනතාව දැක්වූ උනන්දුව, ව්‍යවස්ථාව සැදීමේ කටයුතු වලට සහභාගී වීමට ඔවුන් දැක්වූ කැපවීම හා වෙනස් අදහස්වලට කන්දීමේ විවෘත භාවය මෙයින් පිළිබිඹු විය. මෙම මහජන අදහස් විමසීම මගින් පරිණත ප්‍රජාතන්ත්‍රීය සමාජයක වැදගත් ලක්ෂණයක් දැකිය හැකි වූයේය. එනම්, ජාතික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා හා විවාදවල නිරත වීමට ජනතාව දක්වන උනන්දුවයි. බොහෝ දුරට මෙම සාකච්ඡා හා අදහස් දැක්වීම් සාමකාමී හා විනීත වාතාවරණයක සිදු වුණි. එකිනෙකට ඉතා වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මැද වුවත් මහජනයා මෙම ක්‍රියාවලියටත්, විවෘතව අදහස් දැක්වීමට සෑම කෙනෙකුට ම ඇති අයිතියටත්, ගරු කළෝය. මෙය ඉතා ප්‍රශංසා කළ යුතු මෙන් ම අගය කළ යුතු ලක්ෂණයකි.

මෙම කටයුතුවලදී කමිටුව වැදගත් කරුණු දෙකක් නිරීක්ෂණය කළෝය. මෙයින් එකක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, තියුණු කිරීමටත්, මහජනයා දැක්වු කැමැත්ත වන අතර දෙවැන්න වන්නේ සාමය හා ප්‍රතිසන්ධානය සඳහා දැක්වූ උනන්දුවයි. ඔවුන් මේවා ළඟා කර ගත හැක්කේ කෙසේද, යන්න ගැන වෙනස් මත තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති අවංක අභිලාෂය මෙයින් පැහැදිලි විය.

මෙම ක්‍රියාවලියට සහභාගී වීමේදී අපේ ජනතාව දැක්වු අව්‍යාජත්වය හා අභිලාෂයන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් වටහාගෙන ඒවාට ගරු කළ යුතු බව මෙම කමිටුවේ අදහසයි. අප ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන් අතර ඔවුන්ට එයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ව කෘතඥතාව පළ කළෝය. ඔවුන් කමිටුව ඉදිරියට පැමිණියේ විශ්වාසී හැඟීමකින් හා යෝධ අපේක්ෂාවන් සහිතවයි. මෙය, අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවත්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත්, අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත හා ප්‍රීතිමත් රටක් ගොඩ නැඟීමට මෙය යොදා ගත හැකි බවත් බොහෝ අය කියා සිටියහ. ඔවුන් අප ඉදිරියට පැමිණියේත්, අදහස් ඉදිරිපත් කළේත්, විශාල බලාපොරොත්තු සහිතව බැවින් එම විශ්වාසය හා අපේක්ෂා බිඳ නොදැමිය යුතුය. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් අර්ථාන්විත වන්නේ ජනතාව එය තමන්ට ‘අයිති’ දෙයක් ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ නම් පමණි. මේ නිසා මහජනයාගේ අදහස්වලට අවධානය යොමු කරමින්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඔවුන්ගේ කාර්යභාරය පිළිගනිමින්, ජනතාව මෙම ක්‍රියාවලියට දිගට ම සහභාගි වන බව සහතික කිරීම තීරණාත්මක ව වැදගත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය නිතර සිදුවන දෙයක් නොවේ. මෙය නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සිදුවන තුන්වැනි ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වීම, අපේ රටේ සියලු ජනයාගේ අපේක්ෂාවන් පිළිබඳ ව සාමූහික එකඟත්වයකට එළඹීමට අතීතයේ අපේ ව්‍යවස්ථා සම්පාදකයන් අසමත් වීම පිළිබඳ සංඥාවකි. රාජ්‍යයේ ඓන්ද්‍රීයාංග, නීතියේ ආධිපත්‍යය හා ඒවා එකිනෙක අතරෙහිත් විශ්වාසය ගොඩනැගීමේ කාර්යයේදී අපි අසාර්ථක වී ඇත්තෙමු. අතීත වැරදිවලට සමාව ගැනීමේ කාර්යයට අපි නැවතත් මුහුණදී සිටිමු. එම නිසා මේ අවස්ථාව අපතේ යෑමට ඉඩ නො දිය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන අවස්ථාවාදයෙන් ඔබ්බට යෑමට තැත් කළ යුතු වෙමු. අනාගත පරම්පරාවන්ට අපි ලබා දිය යුත්තේ කුමන ආකාරයක උරුමයක් ද? එය ගිලිහී ගිය අවස්ථා හා අසාර්ථක ප්‍රයත්න පිළිබඳ ව ද? එසේ නැත්නම් ආඩම්බරයෙන් හිමිකම් පෑ හැකි දෙයක් ද? අප කළ යුත්තේ වර්තමානයේ අවශ්‍යතාවන්ට පමණක් ප්‍රතිචාර දක්වමින් පහසු මග ගැනීම ද? එසේ නැත්නම් අනාගතය ගැන විශ්වාසයෙන් සියලු දෙනාට ම සාධාරණය හා සමානත්වය සහතික කරන ශක්තිමත් හා ක්‍රියාකාරී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නැගීම ද? මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හා පුළුල් සමාජයේ විවාදයට භාජනය විය යුතු ප්‍රශ්න වේ. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පරිවර්තනය- දිමුතු සමන් වෙත්තසිංහ
රජීව්, චාල්ස්, රාධිකා, ගණනාථ
රජීව්, චාල්ස්, රාධිකා, ගණනාථ

“බ්‍රිතාන්‍යයන් ශාසනයට ඇති තැන අත්හිටුවා දමනු ඇතැයි කියා උඩරට වැසියන් ඉතා සාධාරණ ලෙස කණස්සල්ලට පත් වූ අතර එමනිසා ඔවුන් යම් යම් ශුර විධි ක්‍රම සහ ඒත්තු ගැන්වීම් ආදී දේ ඔස්සේ උඩරට ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ ආගම වන බුද්ධාගම සුරැකිය යුතුය යන (එකල වෙනත් ආගම් නොතිබුණි යන්න ඔබට පිළිගත හැකිද?) නියමය හඳුන්වා දීමට සමත් විය. එම වගන්තිය අනුවණ ලෙස දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇද දමා ඇත්තේ ඒ සඳහා අවශ්‍යතාවයක් නැති බව හඳුනා ගැනීමකින් තොරවය. මක්නිසාද, බුදුදහමට නිසි තැනක් දීමට වර්තමානයේ විරුද්ධ වන කවරෙකුවත් නැත යන කරුණ නොසලකාය……… ඉතිහාසයෙන් අප දැන් දන්නා දෙය නම් ශාසන ඉතිහාසය මුලුල්ලේ බොහෝ ආදර්ශ ගණනාවක් පැවතී ඇති බවයි: ඒවායින් සමහරක් ඉතා නිදහස්කාමීය, සමහරක් ඉතා ප්‍රඥාවන්තය, සමහරක් ඉතා භයානකය – පොත් ගිනි තැබීම ආදී සියලු දේ කර එය කලේ ශාසනය උදෙසා යැයි කෙනෙකුට පැවසීමට හැක…….. මෙලෙස පළවෙනි පරාක්‍රමභාහු කතිකාවත ( සංඝයා සඳහා රීති ) යැයි පවසන දේ හඳුන්වා දීමට මුල් විය. සංඝ සංස්ථාව දුස්සීලයන්ගෙන් (නරක භික්ෂූන්) සමන්විත වන විට එය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු රීති හඳුන්වා දුන්නේය. මෙම රීති 18 වන ශත වර්ෂය අවසානයේ කීර්ති ශ්‍රී රාජසිංහ සමය තෙක් කලින් කලට ශ්‍රී ලංකාවේ අවිච්ඡින්නව පැවතුණේය. මාගේ ප්‍රියතමයා වන දෙවන පරාක්‍රමභාහු සතුව මෙම රීති හෝ කතිකාවත් පිළිබඳ ඉතා වැදගත් සාකච්ඡාවක් පැවතුණි. වර්තමානයේ අපට එය කල නොහැක.ඒ සඳහා ක්‍රමයක් නැත. වාචාල කටවල් වලින් යුතු දූෂිතයන්ගෙන් රට පිරී ගොස් ඇත. සියලු දෙනා මෙය දනී.” Continue reading යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු ව සිටියදී කුරිරු ලෙස ඝාතනය කරන ලද දයා පතිරණ අනුස්මරණයේ 10 වෙනි සමරුව වෙනුවෙන් එම කමිටුව සංවිධානය කරන ලදුව අර්ජුන පරාක්‍රම විසින් කරන ලද මෙම සමරු දේශනය 1996 දෙසැම්බර් 15 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුණ අතර දියැස සඟරාවේ ප්‍රථම වරට පලවිය. මෙහිදී අර්ජුන පරාක්‍රම සමාජ විග්‍රහයේදී මෙන්ම සමාජ විපර්යාසයේදී මහා ආඛ්‍යානයන්ගේ සීමාසහිත බවත් නිර්ප්‍රභූ පර්යාවලෝකයේ අදාළත්වය ගැනත් සියුම් විග්‍රහයක් අප හමුවේ තබයි.

අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු අධ්‍යයන (Subaltern Studies) ගුරුකුලයේ ප්‍රකාශිකාවක වූ ගයාත්‍රී චක්‍රවර්ති ස්පිවැක් යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නිරත විය. භාෂා ප්‍රමිති ආධිපත්‍යහරනය කිරීම (De-Hegemonizing Language Standards) නම් ඔහුගේ කෘතිය පල්ග්‍රේව් සහ මැක්මිලන් සමාගම් විසින් පළ කර ඇත. ප්‍රමිතිගත භාෂා සහ භාෂා ප්‍රමිතිකරණයේ ප්‍රභු ස්වභාවයට එරෙහිව ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ප්‍රති නිදර්ශනයක් ලෙස මෙහි සාකච්ඡා කෙරේ. භාෂාව සහ කැරැල්ල (Language and Rebellion)නම් ඔහුගේ කෘතිය 1848 ගැමි කැරැල්ල යටත් විජිත පාලනයට එරෙහිව නිර්ප්‍රභු අරගලයක් ලෙස හඳුනාගන්නා අතර සමකාලීන අරගල සම්බන්ධයෙන් ඇති වැදගත්කම සාකච්ඡා කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සේවය කල ඔහු එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කලක් කටයුතු කළේය. පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා බවට පත්විය.දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම දේශපාලන හා මැතිවරණ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සිවිල් සංවිධාන ගොඩ නැගීමේ ලා ක්‍රියාකාරී විය.

Continue reading සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම