Tag Archives: ජවිපෙ

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම – ‘අනිද්දා’ පත්‍රය පලනොකල මගේ ප්‍රතිචාරය …… දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම මුහුණු පොත මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි අනිද්දා පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, මෙහි  ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම අනිද්දා පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.තිරාණගම තම මුහුණු පොතේ ඒ පිළිබඳ සටහනක් තබමින් දක්වා ඇත්තේ ලිපිය පළ නොකිරීමට හේතුව වශයෙන් “‘අනිද්දා’ පත්‍රයේ වගකිවයුතු නියෝජිතයෙක් කියා සිටියේ මෙයට නිර්මාල් විසින් පසුගිය සතියේ පිළිතුරු දී ඇති බවයි.

දයාපාල තිරාණගම සහ නිර්මාල් රංජිත් දේවසිරි අතර මෙම විවාදය වැදගත් කොට සළකන අපි ඒ සඳහා අප වෙබ් අඩවියේ ඉඩකඩ විවර කිරීමට සූදානම් ය. එයට මුල පිරීමක් වශයෙන් අපි දයාපාල තිරාණගම නිර්මාල් රංජිත් දේවසිරි ගේ අනිද්දා තීරු ලිපියට  ලියූ ප්‍රතිචාර ලිපිය මෙහි පළමු කරමු.

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම

– ‘අනිද්දා’ පත්‍රය පලනොකල මගේ ප්‍රතිචාරය …….

දයාපාල තිරාණගම

මා මිත්‍ර නිර්මාල් රන්ජිත් දේවසිරි අප මුහුණු පොත හරහා කරන ලද විවාදයක් මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒම ගැන මා සතුටුවෙමි.අනිද්දා පත්‍රයෙන් (28/7/29)ඔහු කල ප්‍රතිචාරයට පිළිතුරක් දීම අවශ්‍ය වන්නේ අද පවතින අර්බුදයෙන් අප ගොඩ එන්නේ කෙසේද? යන්න ගැන සංවාදයක් අවශ්‍යවන බැවිනි.

අද පවතින අර්බුදය කෙතරම් දුරට ජනතා බලවේගයන් ආකුල ව්‍යාකුල කර ඇත්දැයි කිවහොත් සියලුම පක්ෂ සහ දේශපාලන උනන්දුවක් ඇති පුද්ගලයන් පවා නන්දෙඩවිලි කරුණු ලබන්නේ දේශපාලන ළදරුවන් මෙනි.විජයකලා කොටි සංවිධානය නැවත ගොඩ නැගීමට දක්වන ලද අභිලාෂයත් නිර්මාල් රන්ජිත් කලක සිට 2020 දී ගොටා බලයට පත්කිරීම සඳහා දියත් කර ඇති කතිකාවතත් දෙකම අයත් වන්නේ අද මුහුණ දෙන අර්බුදයේ එකම මානයකට ය.නමුත් මේ දෙදෙනාම කියා සිටින්නේ තමන් ඇත්තටම අදහස් කලේ එය නොවන බවය.විශේෂයෙන්ම නිර්මාල්ගේ අනුගාමිකයන් කියා සිටින්නේ ගෝටා 2020 බලයට පත් කොට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම කියාදීම මිස වෙන දේශපාලන පාඩමක් නැති වන්නේ ගෝටා නියෝජනය කරන බලවේගයන් එතරම්ම ශක්තිමත් නිසා බවයි.අප විසින් ඉදිරිපත්කරන කිසියම් දේශපාලන ව්‍යාපෘතියක් සහ අද ජනතාව සිටින තැන අතර පියවිය නොහැකි විශාල පරතරයක් ඇති බැවින් එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ගැන විශ්වාසයක් නිර්මාල් තුල නොමැති බව ඔහු පෙන්නුම් කරයි.

යමෙකුට යම්කිසි සංවිධාන ව්‍යුහයකට සම්බන්ධවන්නේ නැතිව හෝ සාමුහික වගකීමක් නැතිව තනි පුද්ගලයකු වශයෙන් පැවතීම සහ තමන් වුවමනාවෙන්ම තනිවීම නිසා හෝ බොහෝවිට සාමුහිකතත්වයට වඩා තම පෞද්ගලික දේශපාලන හැකියාව පිළිබඳව ඇතිකරගන්නා අධිවිශ්වාසයක් තිබිය හැකිය. නමුත් එම අධිවිශ්වාසය මත, අනාගතයේ ඇති විය හැකි දේශපාලන ක්‍රියාවලියක් දිග හැරීම ගැන බියකරු සිහින දැකීමෙන් අප ගැලවිය යුතුය.

එසේ ගැලවීමට නොහැකිවීම, ගෝටා ගේ 2020 යෝජනාක්‍රමයට ආ වැඩීමේ දේශපාලන වැරැද්ද කරනු ලැබීමට යොමු වීම සහ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රවණතාවයන් සුජාත කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කිරීමකි.

විමුක්තිකාමී දේශපාලන බලවේගයන්ගේ බෙලහීනතාවය දේශීයව සක්‍රීය බලවේගයක් බවට පත්කිරීම ගෝටා විසින් බලයට පැමිණ කරන මර්දනයෙන් සිදුවෙතැයි සිතීම ජනතාවට පාන් බැරිනම් කේක් කාපල්ලා’ යයි කීමක් වැනිය.එය ජනතාවට කෝපාන්විතව කරන තරවටුවකි.අප වාමාංශය වෙනුවෙන් පෙනී සිටින්නේ එහි උරුමයේ පවතින පසුබැසීම් මෙන්ම ජයග්‍රහණයන් ද නිසා උරුම කරගත් පාඩම් වලින් සන්නද්ධ වෙමිනි.දශක ගණනාවක දේශපාලන නිහඬ බව සති ගණනක් ඇතුලත ගිගුරුම් දෙමින් ජනතාව අවධිවීම ගැන හොඳ උදාහරණයන් ටියුනිසියාවේ සහ ඊජීප්තුවේ ජනතා නැගිටීම් වලින් පෙන්වනු ලැබිය.

නිර්මාල් විසින් සිය පිළිතුරු ගොනු කරද්දී සඳහන් කළ මෙවන් අවස්ථාවල ලෙනින් අනුගමනය කල වෘත්තීමය විප්ලවාදීන් ගොඩ නගමින් ගෙන ගිය ආකෘතිය යල් පැනගිය එකක් ලෙස මම සලකමි.ජනතාව පීඩාවිඳින සියලුම ක්ෂේත්‍ර වල,කම්කරු,ගොවි,ස්ත්‍රී, පීඩිත ජනතා සමුහයන්,සහ ශිෂ්‍යයන් වෙනම ඔවුනොවුන්ගේ පීඩිත දේශපාලන අවකාශයන් තුල සංවිධානය කොට ජනතා බලවේග ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් කෙරෙහි යොමු වීම මේ යුගයේ දේශපාලන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි.

ගෝටා නියෝජනය කරන ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන් ප්‍රබල වුවද එම බලවේගයන් නියෝජනය සඳහා ඔහුගේ යෝග්‍ය බව පිලිබඳ දැඩි විරෝධයන් එම කඳවුරේ සමහර නායකයන් ගෙන්ම එල්ල වී ඇත.එමනිසා ගොටගේ යෝජනා ක්‍රමය සිදුවිය හැක්කක් බවට සහතික කල නොහැක.එය එසේ වුවහොත් ගෝටා ගෙනවිත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඉගැන්වීමේ නිර්මාල්ගේ සිහිනය සබැ නොවනු ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට සිදුවන පාඩුවක් ලෙස ඔහු දකින්නට පුලුඑවන් කම ඇත්තේ ඒ පිළිබඳව කලක සිටි සෑහෙන බලාපොරොත්තු සහිත කතිකාවක් ඔහු ගොඩ නගා ඇති බැවිනි.

නිර්මාල්ගේ විවාදාත්මක ගෝටා 2020 යෝජනා ක්‍රමය ඔහු ගෙන අවේ ජවිපෙ අනුර කුමාරට 2020 පාර කැපීමේ යෝජනා ක්‍රමය සාක්ෂාත් කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස යයි මම විශ්වාස කරමි.එමගින් ජනතාව අතර භීතිය උපදවා එමගින් අනුර කුමාරගේ චන්ද ගොඩ වැඩි කර ගත හැකිව තිබුණි.නමුත් දැන් පෙනී යන ආකාරයට එය අසාර්ථක වෙමින් පවතී. ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට පැවරුව හොත් ඒවා නැති බංග වනබව කවුදෝ විප්ලවාදී නායකයෙක් කියූ බව මට මතකය.

ජනතාව පීඩාවට ලක්වීමේ දී ඇතිවන විනාශය සහ පසුබෑම ඉන් ජනතාව ඉගෙන ගන්නා වටිනාකම් වලට වඩා හානිකරය,දුෂ්කරය,කටුකය.එය ජනතාවගේ විමුක්තිය දශක ගණනාවක් ආපස්සට ගෙන යනු ඇත.එබඳු වූ ව්‍යසනයක් අධිෂ්ඨාන කිරීම අපේ සදාචාරයට ගැලපෙන්නේ නැත.අපේ සදාචාරය සංයුක්තවන්නේ මැටි බළලා ගෙන් හෝ මීයන් අල්ලා ගැනීමක් මත නොවේ. අප කල යුත්තේ මිනිස් සදාචාරයේ අඛණ්ඩතාවය රැක ගනිමින් විමුක්ති මාර්ගයේ ජනතාව සමග ගමන් කිරීමයි.

Advertisements

දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිම සමාව අයැදීමක් නැති කලෙක…… මහාචාර්ය රංජිනී ඔබේසේකර

පරිවර්තනය කතිකා අධ්‍යයන කවය

2018 පෙබරවාරි 3 දින දී අයිලන්ඩ් පුවත්පතේ පලවූ මහාචාර්ය රංජිනී ඔබේසේකර ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක මාතෘකාවට අදාළ කොටස්වල මූලික අර්ථය විකෘති නෙකාරන පරිද්දෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ දළ අනුවර්ථනයකි මේ. මෙය කියවා ඔබේ නිගමන වලට එළඹෙන්න. මුල් ලිපියට සබැඳිය පහත දැක්වෙයි.

කලාකරුවන් පිරිසක් පසුගිය වසර 70 ක දේශපාලන පක්ෂ පිළිබඳ ඇගයීමක් කරන ලෙස රටෙන් ඉල්ලා සිටිමින් නිකුත් කළ ප්‍රකාශයක් අගයන මහාචාර්ය රංජිනී ඔබේසේකර ඔවුන් ජවිපෙට සහයෝගය පළකරන බව කියවූ විට මොහොතකට නතර වූ බව කියයි

ජවිපෙ නායකයන් ගේ වත්මන් ප්‍රතිරූපය විවිධ අතින් යහපත් ස්වරූපයක් ගනිද්දී, “ ශ්‍රී ලාංකිකයන් – විශේෂයෙන් 7- සහ 80 දශකයන්හි ඒකාන්ත ප්‍රචණ්ඩත්වය තුළ දිවි ගෙවූ අය – ට ජවිපෙ පිළිබඳ තවමත් මුල්බැස ගත් සැක සංකා ඇත්තේ මන්දැයි” තමාගෙන්ම ඇසූ බව ඇය කියයි.

“ඊට හේතුව, එම ප්‍රචණ්ඩ සමයන්ගේ සිට මෙතෙක් ගෙවූ සියලු අවුරුදු තුළ, සහ ජවිපෙ ඇතුළත සිදුවූ විපර්යාසය තිබියදීත්, ඔවුන්ගේ නායකයන්ගෙන් කිසිවෙක්ට රට ඉදිරියට පැමිණ එම ප්‍රචණ්ඩ සමය සහ අහිංසයකයන් මරාදැමීම පිළිබඳ සමාව අයැදීමට තරම් ධෛර්යයක් නොතිබීම බව තමා විශ්වාස කරන්නේ යැයි” ඇය කියයි. “ඔවුන් යළිත් ප්‍රචණ්ඩත්වයේ මාවත නොසොයනු ඇතැයි ඔවුන් කවරදාකවත් ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත්දැයි” ඇය ප්‍රශ්න කරයි.

මෙය වසර 85ක් තිස්සේ සාක්ෂි දැරූ වැඩිවෙමින් පැවති ප්‍රචණ්ඩත්වය පිළිබඳ දේශපාලන දසුන් වෙත යළි හැරී බලන්නට තමා යොමු කළ බව ඇය කියයි. ඇය මෙසේ කියයි

“ එහිදී, දැකිය හැකි දසුන් බොහෝය.

1971 කැරැල්ල – ශ්‍රිලනිප-වාම ආණඩුවෙන් රටේ තරුණයන්ගේ පරපුරක් තිරශ්චීන ලෙස මරාදරමනු ලැබීය.

රටේ ප්‍රශ්න වලට එකම විසඳුම වශයෙන් සන්නද්ධ කැරැල්ලක් මගින් පාලන තන්ත්‍රය වෙනස් කිරිමට කළ වැරදි කැඳවීමක් නිසා තරුණ ශිෂ්‍යයන්ගේ සමස්ත පරපුරක්ම ආණ්ඩුවට එරෙහිව අවි ගෙන රටට අහිමි වීය.

එකළ බලයේ සිටි ශ්‍රිලනිප-එක්සත් වාම පක්ෂ එම මිනීමැරීමට අද දක්වාම සමාව ගෙන නැත.

ඉන් පසුව, එජාපය ජනවාර්ගික සුළුතරයන්ට එරෙහි දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට නිහඬව අනුබල දුන්නේය. එයින්ද රටට ඇතිවූ අහිමිවීම් ඉමහත්ය. කිසිදු [ එම පක්ෂ ]නායකයෙක් අද දක්වාම එම ප්‍රචණ්ඩත්වයෙහි ලා තම පක්ෂවල කොටස වෙනුවෙන් සමාව යදිනවා තබා, එම අතීතය සඳහන් කොටවත් ඇතිද?

මින් පසුව, දෙවැනි ජවිපෙ කැරැල්ල ආවේය. එය පෙරටත් වඩා ප්‍රචණ්ඩ වීය, රට පාලනය කළ එජාප ආණ්ඩුව විසින් එය ඊටත් වඩා තිරශ්චීන ලෙස මර්ධනය කළේය. දැන් මියගොස් සිටින, මරාදැමූ හෝ ඝාතනයට ලක් කළ එකදු නායකයෙක් හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් කවරෙකු හෝ, ජාතියේ තරුණපරපුරෙහි හෝ එහි සිවිල් ජනගහණයට එරෙහිව සිදුකළ එම භීෂණයන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කොට හෝ සමාව අයැද හෝ තිබේද?

ඉන් පසුව අවුරුදු 30 විවෘත සිවිල් යුද්ධය අප හමුවේ විය. රටේ තවත් සිංහල දෙමළ තරුණ තරුණියෝ දහස් ගණන් ඝාතනයට ලක්කෙරුණි. එල්ටීටීඊ නායකත්වයේ සහ සිංහල ජාතිකවාදී දේශපාලනඥයන්ගේත් දේශපාලනමය නොනැමෙනසුළු ස්වභාවය නිසා සීඝ්‍රයෙන් ඉහළ නැඟි තරුණයන් ඝාතනය කරනු ලැබීම පිළිබඳ කිසිදු සිංහල හෝ දෙමළ නායකයෙක් කවරදාක හෝ සමාව අයැදීමට උත්සාහ කොට තිබේද?

අපි අවංකභාවයෙන් සහ ඒකාග්‍රතාවෙන් යුතු නව නායකත්වයක් සඳහා දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන ජාතියක් වෙමු, දේශපාලන පක්ෂ කිසිවක් එවැනි නායකයන් බිහි කොට නැත.

කණගාටුවට කරුණ නම්, එම සියලු ප්‍රචණ්ඩ ගැටුම් වලදී මියගිය සියළු දෙන අතර නායකයන් වීමේ විභවය ඇති කී දෙනෙකු වැළලෙන්නට ඇතිද?

අපි බෞද්ධ ජාතියකැයි අපි කියමු. දේශපාලන සහ සමාජ ව්‍යාධීන්ට විසඳුමක් ලෙස යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය සාධාරණීය කිරීමට කිසිදු ඉඩක් බෞද්ධ ධර්මයේ නැත. අවුරුදු 70 ගෙවී ගියද අප උගත් දෙයක් නැත. අපි තමන්ගේම දරුවන් බිලි ගන්නා බෞද්ධ ජාතියක් වෙමු.”

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=179254%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA

ඡායාරූපය ©චතුර මධුසංක
කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව උපුටා පල කිරීම තහනම්.

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

දයාපාල තිරාණගම

RAJAPAKSA SUMMIT
දයාපාල තිරාණගම විශ්ව විද්‍යාල රැකියාව අතහැර 80 දශකයේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වන්නේ එවකට ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි රාජ්‍ය මර්ධනයට ලක් වු විකල්ප කණ්ඩායමෙනි.දයාන් ජයතිලක, ජෝ සෙනෙවිරත්න,දයාපාල තිරාණගම,රාම් මාණික්කලිංගම් වැනි අය අයත් වූ මෙම වාම දේශපාලන කණ්ඩායම එක් පසෙකින් එ.ජා.ප. රජයේ මර්ධනයකටත් අනෙක් පසින් ජ.වි.පෙ සන්නද්ධ ව්‍යාපාරයේ මර්ධනයටත් ලක්ව තිබුණි. ඔහුගේ බිරිඳ යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිනයක වූ රාජීණී(රාජසිංහම්) තිරාණගම 1989 දී එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී.මෙම ලිපිය රාවය පුවත් පතින් උපුටා ගන්න ලදී.

2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව තීරණාත්මක ලෙස උතුර බැහැර කොට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේ දී ද ලබා ගත් අතිමහත් මැතිවරණ ජයග‍්‍රහණ හරහා එජනිස ආණ්ඩුව පෙර නොවූ විරූ දේශපාලන බල ආධිපත්‍යයක් අත් කර ගෙන ඇත. ඔවුන් විශිෂ්ට ආකාරයෙන් සිය ග‍්‍රාමීය ඡුන්ද පදනම ශක්තිමත් කර ගෙන ඇත. විපක්ෂය කියන පරිදි මෙම මැතිවරණ ජයග‍්‍රහණ අත් කර ගෙන තිබෙන්නේ දේශපාලනික බිය ගැන්වීම්, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හා නීතියේ පාලනය අයුතු ලෙස පැහැර ගැනීම් මගිනි. එහෙත් එජනිස ආණ්ඩුව නොකඩවා මැතිවරණ දිනයි. මේ නිසා විපක්ෂය පැහැදිලිව ම අපේක්ෂා භංගත්වයට පත්ව සිටී. එජනිසය මැතිවරණවල දී දුර්වල වේ යැයි හෝ දකුණේ ජනයා අතර යම් අතෘප්තියක් වැඩෙමින් පැවතිය ද සිව් වසරක් තිස්සේ බලයේ සිටින ඔවුන්ගේ ජනප‍්‍රියත්වය විශාල වශයෙන් හීන වේ යැයි කිසි බලාපොරොත්තුවක් හෙට අනිද්දා නම් ඇති කර ගත නොහැකි ය. මේ අවුරුද්දේ අපේ‍්‍රල්වල පැවැත්වූ දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ ඔවුන්ගේ ජනප‍්‍රියත්වය සම්බන්ධ ඇතැම් පෙරනිමිති පහළ කළ ද ඔවුන් ක‍්‍රමයෙන් මැතිවරණ පරාජයක් කරා ගමන් කරතියි සිතා ගැනීමට තරම් සාක්ෂි නැත. ක‍්‍රියාත්මකව පවත්නා දේශපාලන බලවේගවල සංකීර්ණ ස්වභාවයත් තමන්ට පැහැදිලි දේශපාලන ගමන් මගක් නොමැතිකම ජය ගැනීමට විපක්ෂය අසමත් වීමත් ඊට හේතු යි. එනිසා පෙරමග සැලසුම් කිරීම සැබෑ දේශපාලන ගැටලූවකි.

මේ ලිපිය සිය විශ්ලේෂණය සඳහා යොදා ගන්නේ ග‍්‍රාම්ස්චිවාදී ඉදිරි දැක්මයි. එය රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හා එහි දැවැන්ත සාර්ථකත්වය දේශපාලන පරිශ‍්‍රමයක් ලෙස මෙන් ම එය ඇති කර තිබෙන බරපතළ දේශපාලන බලපෑම අතින් ද විමසා බැලීමට යත්න දරයි. දැන් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතියට, දේශපාලන ස්ථාවරත්වයට හා වඩා වැදගත් කරුණ වන රටේ ජාතික එකමුතුවට බිඳ හෙළිය නොහෙන බාධකයක්ව ඇත් ද යන්න විභාග කිරීමත් ලිපියෙන් ඉටු වෙයි.

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හැඩගැසී ඒම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය බිහි වූයේ දෙමළ ඊළම අරමුණු කොට එල්ටීටීඊය (දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය) ගෙන ගිය බලගතු මිලිටරි හා දේශපාලන ව්‍යාපෘතියට ඍජු ප‍්‍රතිචාරයක් ලෙසයැ’යි සැලකිය හැකි යි. එල්ටීටීඊයේ ව්‍යාපෘතිය විශේෂයෙන් ම 1983 කළු ජුලියේ සිට දෙමළ ප‍්‍රජාව අතර සුජාතභාවය දිනා ගත්තේ ය. එහෙත් රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය හැඩගැසී ආවේ 2005 ජනාධිපතිවරණයේ සිට ය. 1950 ගණන්වල ශ‍්‍රීලනිපය ඇරඹුණු තැන් සිට ම සැබෑ දේශපාලන හඬක් නැගීමේ අවස්ථාව අහිමිව සිටි සිංහල ග‍්‍රාමීය ප‍්‍රභූන් අතට කොළඹ ප‍්‍රභූන් අතින් දේශපාලන නායකත්වය මාරුවීමේ සන්ධිස්ථානයක් ඉන් සලකුණු විය. මෙය සිදු වීමට සිතුවාට වඩා කල් ගෙවිණ. දේශපාලන නායකත්වය මාරු වීම ග‍්‍රාමීය සිංහල දේශපාලන සමාජයෙහි කල් පවත්නා බලපෑමක් කර රාජපක්ෂ ව්‍යාපෘතිය සවි ගන්වා ඇත. රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතියට ඉන් තොර වී නම් දෙමළ කොටින්ගේ පරාජය සිදු නොවීමට තිබිණැ’යි සිතෙන තරම් බලගතු දේශපාලන හා මිලිටරිමය ව්‍යාපෘතියක් බවට පත් විය හැකි වූයේ කොන්දේසි දෙකක් නිසායි. පළමු වැන්න නම් බණ්ඩාරනායකවරුන්ගේ ඓතිහාසික පසුබැසීම හා ඈත දකුණින් රාජපක්ෂවරුන් මතුව ඒමයි. දෙවැන්න නම් 1956 සිට සිංහල දේශපාලන නායකත්වය විසින් පෝෂණය කළ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදාත්මක හා දේශපාලනික උරුමයේ සැබෑ උරුමක්කාරයන් බවට ඔවුන් පත් වීමයි. රාජපක්ෂ ව්‍යාපෘතිය දකුණේ දේශපාලන පක්ෂ බොහොමයක් සටනේ හරි මැද දී ම භේද භින්න කර ඒවායේ කොටස් තම ව්‍යාපෘතියට ඈඳා ගෙන ඇත. විශාලතම ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පටන් වාමාංශික ජනතා විමුක්ති පෙරමුණ දක්වා පක්ෂ සියල්ල ම සිය කොටස් මෙම ව්‍යාපෘතියට පලා යෑම නිසා බෙලහීන කරවන පසුබැසීම්වලින් පීඩා වින්දේ, මැතිවරණවල දී වඩා දුර්වල වූයේ ය. සාම්ප‍්‍රදායික වාම පක්ෂ හා වාම නැඹුරුවක් සහිත සමහර බුද්ධිමත්තු ව්‍යාපෘතියට පහසුවෙන් යොදා ගත හැකි විය. සාමකාමී ක‍්‍රමවලින් ජනවාර්ගික අර්බුදය විසඳීමෙහිලා සිංහල නායකත්වය අත තිබූ වෙනත් ශක්‍ය දේශපාලන විකල්ප තව දුරටත් වලංගු නො වෙතියි ඒ වන විට පෙනී ගිය බැවින් අනෙක් පක්ෂ හා සිංහල බුද්ධිමතුන් ව්‍යාපෘතියට ඈඳා ගැනීම දුෂ්කර කටයුත්තක් නො වී ය. වෙන ම රාජ්‍යයක් හැර වෙනත් විසඳුමක් නො පිළිගන්නා බව ප‍්‍රකාශ කරමින් එල්ටීටීඊය ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව අනතුරේ හෙළා තිබිණ. ඔවුන් ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ දේශපාලන පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ බුද්ධිමතුන් විනාශ කර දැමුවේ එල්ටීටීඊයේ ෆැසිස්ට් දේශපාලන පිළිවෙත පිළිබඳ සිය සැලකිලිමත් වීම් ප‍්‍රකාශයට පත් කළ නිසා ය. දෙමළ ප‍්‍රජාව තුළ කිසි විරුද්ධ දේශපාලන මතයක් නොඉවසූ ඔවුහු අනෙක් සටන්කාමී කණ්ඩායම් සියල්ල වනසා දැමීම නොහොත් තම සංවිධානය තුළට උකහා ගැනීමද කළහ. එල්ටීටීඊයේ ප‍්‍රචණ්ඩ දේශපාලන පිළිවෙත සහ දකුණේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යුද රඟ මඩල උතුරු නැගෙනහිරින් ඔබ්බට ගෙන යෑමට එය දැරූ පරිශ‍්‍රමය හේතුවෙන් රාජපක්ෂ ව්‍යාපෘතිය සිංහල දකුණ තුළ ව්‍යාපෘතියක් ලෙස තවදුරටත් සුජාත විය. මෙය දේශපාලනික හා ද්‍රව්‍යමය සම්පත් සියල්ල ම උරා ගැනීමටත් 2009 මැයි මාසයෙහි වෙල්ලිමුලේවයික්කාල්හිදී එල්ටීටීඊය මුළුමනින්ම පාහේ වනසා දැමීමටත් නියමිතව තිබිණ. Continue reading රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම