Tag Archives: ජාතික චින්තනය

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද සිල්වා ද ඊට සහභාගී වෙමිනි. 1970 දශකයේ අග භාගයෙන් ඇරඹි දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ එම ජාතික චින්තන සංවාදය පසුව ජනවාර්ගික ගැටුම මුල් කර ගත් දේශපාලන භූමියේ යථාර්ථයට හසුවීමෙන් වල් මත් වී ගිය ද, එතෙක් එය සිංහල පාඨක සමාජයේ බුද්ධිමය වර්ධනයට දායකත්වය සැපයූ, ප්‍රධාන ධාරාවේ පුළුල් තලයක දිගු කලක් පැවති එබඳු එකම සංවාදය යැයි කිව හැකිය. ( ඊට අමතරව කළ එබඳු වැදගත් මැදිහත් වීමක් ලෙස අපට සිහිපත් කළ හැක්කේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1982 ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා පළ කිරීම යි.) අප පහත පළ කරන්නේ ‘නූතනත්වය සහ ලාංකීය සමාජ දේශපාලන කතිකාව’ නමින් කුමුදු කුසුම් කුමාර 2002 දී ‘බලය’ සඟරාවට ලියූ ලිපි පෙළක ගුණදාස අමරසේකරයන් ‘ජාතික චින්තනය’ මුල් කොට ලියූ අදහස් පිළිබඳ සාකච්ඡවකට අදාළ කොටස් කිහිපයකි.

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය

මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථකවීමට හෝ එය ක්‍රියාත්මකවෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නගා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද, නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, ‘නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳව තමන් දරන ස්ථාවර අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහාගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීමද සිදුවෙයි. Continue reading නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

කුමුදු කුසුම් කුමාර

අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක වූ බව මගේ හැඟීමයි. පාලක රෙජීමය සමස්ත ලාංකේය දේශපාලන සමාජ ව්‍යුහ තම දැඩි ග්‍රහණයට ගෙන එහි නිදහස ගෙල මිරිකීමේ සර්වාධිකාරී තත්වය සමාජය තුළ දැඩි බියක් සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසය සහ සැකය පතුරුවා හැර තිබුණි. ජනයා ඉවසාගෙන බලා සිටියේ ආණ්ඩු මාරුවක් සඳහා අවස්ථාව ලැබෙන තෙක් ය. ඒ අවස්ථාව ලැබෙන බවට උදාවූ පළමු ඉඟිය සමගින් ඇතිවූ බලවත් සැනසුම් සහගත හැඟීමත් උද්දීපනයත් එහෙයිනි.

රටක වාරිකව සිදුවන ආණ්ඩු මාරුව අත්‍යවශ්‍ය වන්නේ එක් පාලක කල්ලියක් සමාජය සහ දේශපාලනය සමස්තය ග්‍රහණයට ගැනීමෙන් ඇතිවන කුණුවීම ක්ෂයවීම නවතා එයට නව ජීවයක් දෙන්නටය.

ඊනියා සංවර්ධනයේ සහ ස්ථාවරභාවයේ නාමයෙන් එකම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම සමාජය මත ඇති කරන සර්වාධිකාරය මානව යහ පැවැත්මට හිතකර නොවේ.

මෙලෙස උදාවූ සර්වාධිකාරී රෙජීමයක් යටතේ ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සදහටම අහෝසි වනු ඇතැයි යන බලාපොරොත්තු කඩ වීම සමාජය හාත්පස වෙලාගෙන පැතිර යමින් තිබූ අවස්ථාවේම ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට පාලක රෙජීමය ගත් තීරණයම යළිත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ගතිකය අවදි කරලීමට මුල් වීම අපට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලංකාවේ සැබෑ ‘ජාතික චින්තනය‘ බව යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි. Continue reading ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය

‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි.
ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට:
නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය – අර්ථවිවරණයක්
– කතිකා අධ්‍යයන කවය

2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos) පුනර්ජීවනය අරමුණු කොට නූතන ලිබරල් ඌරුවට එරෙහිව කෙරෙන සටනක් ලෙස අර්ථ විවරණය කරන්නෙමු.

අප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා දකින්නේ ප්‍රමුඛ කොටම මෙම මතවාදයන්හී නියෝජිතයන් ලෙසය. ඉන් එක් අයෙකු නව-ලිබරල්වාදය දැඩිව අදහයි. අනෙක් අපේක්ෂකයා මෑත සිදුවීම් පෙළගැසීම තුළ ජාතික චින්තනයේ මතවාදී ව්‍යාපාරය විසින් තම තම නායකයා ලෙස තෝරා ගැනෙන්නේ ඔහු හදින් වඩා සමීප නව-ලිබරල්වාදයට නොව ජාතික චින්තනය නියෝජනය කරන සම්ප්‍රදායට හෙයිනි.

මෙම මතවාදයන් දෙක අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා බැහැරකොට සළකයි. නව-ලිබරල් වාදය මෙම මැතිවරණයේදී යෝජනා කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළඳපොල ආර්ථිකය අප සමාජයේ පදනම් ප්‍රතිපත්ති රාමුව ලෙස ස්ථාපිත කරන්නටය. ජාතික චින්තනය, ලංකාව බටහිර අධිරාජ්‍යයවාදයේ ග්‍රහණයෙන් මුදවා, ජාතික චින්තනයක් මත පදනම් වූ රජයත් වෙළඳපොලත් දෙක බද්ධ කරන ජාතික ආර්ථිකයක් ගොඩනඟන්නට යෝජනා කරයි. Continue reading පුනර්ප්‍රකාශනය – ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට: නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ
– නිර්මාල් රංජිත් දේවසිරි
ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

මගේ තර්කය වුනේ අදාල සම්මන්ත‍්‍රණය පැවැත්වුනු දිනවලම රඟ දැක්වුනු ‘ජූලම්පිටියේ අමරේ’ නාටකය මගින් සංකේතවත් වන්නේ පියදාස නමැති ගමනක අග නවකතාවේ චරිතයේ දේශපාලනයේ සිහිනය හරහා අමරසේකර අපට දෙන බලාපොරොත්තුව සුනුවිසුනු කරමින් තිබීම බවයි. වැඩි දුරටත් මා තර්ක කරන්නේ මේ බලාපොරොත්තුව සුනුවිසුනු කරන්නේ දෙමළ ජාතිවාදය හෝ බටහිර අධිරාජ්‍යවාදය වැනි ජාතික චින්තනය විසින් සිංහල ජාතියේ සතුරන් ලෙස හඳුනා ගැනෙන බාහිර කාරක විසින් නොව අමරසෙකරද ඇතුළු ජාතික චින්තනයට ලැදි බලවේග වල පූර්ණ හා කි‍්‍රයාකාරී සහයෝගය යටතේ බලයට පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සංධානය තුළම ක‍්‍රියාත්මක ගතිකයන් මගින් බවයි. Continue reading ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය:
ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම
– නිර්මාල් රංජිත් දේවසිරි

1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ පරිභෝජන පුරුද්දයි. කොකා කෝලා වැනි බටහිර සිසිල් බීම වර්ග වලට වැඩි වැදගත් කමක් ලබා දී ඊට ආදේශ වශයෙන් භාවිත කළ හැකි ස්වදේශීය බීම වර්ග නොතකා හැරීම ගැන දොඩංගොඩ මහතා එජාප පාලනය විවේචනය ලක් කලේය. එවිට ජයවික‍්‍රම පෙරේරා මහතා විමසා සිටියේ දොඩංගොඩ මහතාගේ පක්ෂය බලයට පැමිණි කල්හී කොකා කෝලා වැනි බීම වර්ග තහනම් කරන්නේ ද යන්නයි. ඊට සෘජු පිළිතුරක් දීමට දොඩංගොඩ මහතාට හැකිවූයේ නැත. Continue reading ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම