Tag Archives: ජැක් ඩෙරීඩා

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා නිපුණයෙකු වූ ඔහු බටහිර මෙන්ම පෙරදිග දර්ශනයන් පිළිබඳ විශාරදත්වයක් පල කලේය.

කලක් මාක්ස්වාදියෙකු වූ ඔහු විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්විය. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ට ද උපදේශකයෙකු වීය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද සමාජ, දේශපාලන හා සංස්කෘතික කරුණු අරභයා ඔහු විචාරශීලී මැදිහත්වීමක් කල අතර පශ්චාත් ව්‍යුහවාදී අදහස් සිංහලෙන් හඳුන්වාදීමේදී පුරෝගාමී විය.පසුගිය කාලයේ විශ්ව විද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතද බොහෝ කණ්ඩායම් ඔහු සහ ඔහුගේ දැනුම හඹා පැමිණි අතර “එක්ස්” කණ්ඩායම ඔහු ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා යැයි වරක් තම සඟරාවක දැක්වීය.

එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය
එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය

අප පහත යළි පළ කරන්නේ 2003 මැයි 28 වෙනි දින දිනමිණ පුවත්පතේ පලවූ නලින් ස්වාරිස් සමග ශෂී ප්‍රභාත් රණසිංහ කල සම්මුඛ සාකච්ඡාවකි.

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

ශෂී ප්‍රභාත් රණසිංහ (මම) :

වර්තමාන සමාජ සාහිත්‍ය සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන “පශ්චාත් නූතනවාදය” කසායක අනුපාන ගානට අද පත් වී තිබෙනවා. ඒත් ලංකාවේ ඇතැම් බුද්ධිමතුන් කියන්නේ ලංකාවේ උපන් පශ්චාත් නූතනවාදී යෝධ පැටියා තිඹිරිගෙයිම මිය ගිය බවයි. ශ්‍රී ලංකාවට පශ්චාත් නූතනවාදය හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔබ මේ පිළිබඳ දරන අදහස පැහැදිලි කලොත්?

නලින්:

අප පශ්චාත් නූතනවාදය හැදෑරිය යුත්තේ එය අවිචාරවත් ලෙස අනුකරණය කිරීම සඳහා හෝ එය හුදු විලාසිතාවක් බවට පත් කර ගැනීම සඳහා හෝ නොවෙයි. පශ්චාත් නූතනවාදය හා සම්බන්ධ ඇතැම් අංග ලක්ෂණ හා විශ්වාස අපගේ සංස්කෘතියට හා චින්තන රටාවන්ට කොයිතරම් දුරට ගැළැපේ ද යන්න මුළින්ම අප සිතා බැලිය යුතුයි. ඇතැම් ඒවා අපේ සංස්කෘතිය හා චින්තන රටා තුලනාත්මක පදනමක පිහිටා අවලෝකනය කිරීමට අනුබලයක් වීමටත් පුළුවන්. කවුරු කොහොම කිව්වත් මේ විචාරවාදය විචාර පූර්වකව විමසීම අපගේ යුතුකමක්. එක්දහස් නමසිය අසූ ගණන්වලත් අනූගණන් වලත් පශ්චාත් නූතනවාද ලොව පුරා බුද්ධිමතුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගියා. නමුත් අද එහි ප්‍රභාව කෙමෙන් අඩු වෙමින් පවතිනවා‍. වෙනත් විචාරවාද වගේම පශ්චාත් නූතනවාදයත් තව දශක දෙකකින් පමණ මැකී යාමටත් ඉඩ තියෙනවා. ඒත් අප අවට ඇති ලෝකයත්, සත්තාවත් අවබෝධ කරගැනීමට දරන ලද පරිශ්‍රමයක් ලෙස එය විමර්ෂණයට ලක් කිරී‍මෙන් අපගේ විචාර බුද්ධිය පුළුල් කර ගත හැකියි.

Modern යන වචනය Modo යන ලතින් වචනයෙන් එන්නකි. එහි තේරුම Just Now “මේ දැන්” නැතිනම් “තත්කාලීන” යන්නයි. ඒ අනුව තත්කාලීන යන අර්ථයට “නවීන” හා “ප්‍රගතිශීලී” යන අර්ථයන් ලැබුනේ බටහිර ව්‍යවහාරය තුළින්.

“නවීන” හා “ප්‍රගතිශීලී” යන යන අදහස් ඇති වන්නේ 18 වන ශතවර්ෂයේදී ඇතිවන ප්‍රබුද්ධත්වයේ යුගයත් (Enlightenment) සමඟය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ යුරෝපය, කතෝලික ප්‍රොතෙස්තන්ත්‍ර ආදී වශයෙන් ආගමිකව බෙදී බයිබලයේ “නියම අර්ථයත්” දෙවියන්ගේ “නියම අයිතිකරුවන්” උදෙසා දරුණු ලෙස සටන් වැදුනා. මේ ලේ වැගිරීම් මැද එකල සිටි බුද්ධිමතුන්ට ක්‍රිස්තියානි නිධානය හා උරුමයන් මෙන් එහි වටිනා සාරධර්ම රැක ගත හැක්කේ කෙසේද යන ගැටලුව මතු වුනා. මෙහිදී අන්ධානුකරණයෙන් ආගමික වත්පිළිවෙත් වලට පදනම් වූ විශ්වීය සදාචාරික මගක් ගැනීම ඊට ඔවුන්ගේ පිළිතුර වුනා. මේ විශ්වීය සදාචාරය ඓතිහාසිකව විකාශණය වූයේ බටහිර ශිෂ්ටත්වය පෙරටුකොට ගෙනයි. බටහිර ශිෂ්ටත්වය නොකඩවා ඉතිහාසය තුළ යුගයෙන් යුගය පරිණාමය වෙමින් පැමිණ බටහිර හා බටහිර නොවන සමාජ අතර එක්තරා බෙදීමක් ඇති කලා. මෙහිදී බටහිර “නවීනය”, “ප්‍රගතිශීලීය” යන්නත්, බටහිර නොවන සමාජ “සම්ප්‍රදායික” හා “ගතිකත්වයෙන්” තොර ඒවා ලෙසටත් වර්ග කෙරුණා.

එහෙයින් සෙ‍සු ලෝකය ශිෂ්ට කර ඔවුනට නව ජිවනයක් සළසා දීමේ ව්‍යාපෘතිය බටහිර භාර ගත්තා පමණක් නොව යුරෝපයේ යටත් විජිත ව්‍යාපාරය සාධාරණීකරණයට ද අවස්ථාවක් එමඟින් සැලසුනා.

මේ ලෙසින් “නවීන” හා “ප්‍රගතිශීලී” ගමනක් යාමට විසිවෙනි ශතවර්ෂයට පය තැබුවේ එය ශිෂ්ටත්වයේ හිනිපෙත්තටම යන රන් යුගයක ආරම්භයක් යන බලාපොරොත්තුව ද විශ්වාසය ද කැටුවයි. නමුත් “රන් යුගයට” පය තැබූ සැනින් පළවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වී මිලියන ගණන් ජනයා මරා දැමුනා. ඉන් දශක දෙකක් ඉකුත් වීමට මත්තෙන් දෙවන මහා ලෝක සංග්‍රාමය එළැඹිණි. එහිදී ද මිලියන ගණනක් ජනයා මරා දැමූ අතර මිලියන 8 ක ජනතාවක් (යුදෙව්වන් හා වෙනත් ජාතීන්) නට්සින් විසින් “දැනුවත් සැලසුමකට”අනුව සමූල ඝාතනය කළේ ශිෂ්ට යුරෝපයේ හදවත බඳු වූ ජර්මනියේදී. හැඟීම් විරහිතව විචාරශීලී ආකෘතියකින් මෙසේ ක්‍රියා කිරීමෙන් විචාරශීලී බටහිර පුරුෂයාගේ ශිෂ්ටත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය සහමුලින්ම කඩා වැටුණා. ශිෂ්ටත්වය මැනීමේ මිම්ම ලෙස “බටහිර ශිෂ්ටත්වය” එනම් තමාව පූර්වාදර්ශයට ගත යුතු යයි පුරසාරම් දෙඩූ අභිමානය දෙදරා වැටුණි. ප්‍රගතිශීලී නවින ගමන වෙනුවට මානව වර්ගය ඉතා ම්ලේච්ඡ ප්‍රාථමික අවගමනයකට පසු බැස්සවූ නූතනත්වයේ ව්‍යාපෘතිය මුළුමනින්ම අර්බුදයට පත් වුනා. මේ බටහිර ශිෂ්ටත්වය තුළ තිබූ අර්බුදය පශ්චාත් නූතනවාදී තත්ත්වයයි. කෙටියෙන් කියතොිත් නිදහස් විචාරශීලී බටහිර (සුදු) පුරුෂයාගේ ශිෂ්ටත්වය කරා යන (නවීන ප්‍රගතිශීලී) ඓතිහාසික ව්‍යාපෘතිය කඩා වැටීම “පශ්චාත් නූතනවාදී” තත්ත්වයයි.

එදා හිටපු බුද්ධිමතුන් අන්ධ විශ්වාසවල පිහිටාගෙන සාරධර්ම ස්ථාපිත කරන්න උත්සාහ කළා. නමුත් විචාර බුද්ධියෙන් මෙය සාර්ථකව ඉටු කලේ බුදුන්වහන්සේ විතරයි. මේ නිසා අපගේ අරමුණ විය යුත්තේ පශ්චාත් නූතනවාදය විචාරාත්මක විශ්ලේෂණයකට ලක් කිරීම විනා එය අන්ධ භක්තියකින් යුතුව පිළි ගැනීම නොවෙයි. පශ්චාත් නූතනවාදය යන වචනයට වඩා මෙය පශ්චාත් නූතන තත්ත්වය යනුවෙන් අර්ථකථනය කිරීමට මා කැමතියි‍. Continue reading පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

Advertisements