Tag Archives: දර්ශනය

බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව – 2

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට දායකත්වය සපයන තවත් ලිපියකින් උපුටා ගත් කොටස් පහත දක්වමු. එම ලිපිය මුල් වරට පළ කරන ලද්දේ, 2012 දී ය.


බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මාර්තා නස්බෝම්

පරිවර්තනය: ලියනගේ අමරකීර්ති

පරීක්ෂාවට  ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයෙකුට ජීවත්වීමට නොවටිනා ජීවිතයකි”යි සොක්‍රටීස් කියා සිටියේය. උද්යෝගවත් අලංකාරිකයට හා සංශයවාදී තර්කනයට කැමැත්තක් දැක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී විචාරාත්මක ප‍්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය වෙනුවෙන් සොක‍්‍රටීස් සිය ජීවිතය අහිමි කර ගත්තේය. ඔහු සැපයූ ආදර්ශය අද දවසේ බටහිර සම්ප‍්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන අතර සොක‍්‍රටීස් හා සම්බන්ධ අදහස් ඉන්දියාවේ හා තවත් බටහිර නොවන රටවල අධ්‍යාපනය සඳහාද කේන්ද්‍රීය වේ. සියලු උපාධි අපේක්ෂකයන්ට දර්ශනය හා මානවශාස්ත‍්‍රවලට අයත් අනෙක් විෂයයන්ගෙන් සැදි පාඨමාලා එකතුවක් ඉගැන්විය යුතු යැයි සමහර අය විසින් අවධාරණය කරනු ලබන්නට එක් හේතුවක් නම් එවැනි පාඨමාලාවල අන්තර්ගතය සේම ශික්ෂණ විද්‍යාව විසින් තමන්ම සිතන්නට හා තර්ක කරන්නට ශිෂ්‍යයන් උත්තේජනය කෙරෙන බවට පවත්නා විශ්වාසයයි. එනම් ඔවුන් සම්ප‍්‍රදායට හා අධිකාරියට ගරු කොට පසුබා නොසිට ස්වාධීනව සිතන්නට ඒ විෂයයන් අනුබල දෙතියි යන විශ්වාසය නිසාය. එසේ සොක‍්‍රටීස් ක‍්‍රමයට තර්ක කරන්නට හැකිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා වැදගත් බව සොක‍්‍රටීස් කී සේම ඔවුහුද විස්වාස කරති.
…………

ආර්ථික වර්ධනය උපරිම කිරීම වෙත නැමුණු ලෝකයක මෙම සොක‍්‍රටික පරමාදර්ශය අනතුරට මුහුණ පා ඇත. අපට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රමාණ කළ හැකි ආකාරයේ විකිණිය හැකි නිෂ්පාදනයක් නම් තමන්ම ස්වාධීනව සිතීමේ හා තර්ක කිරීමේ හැකියාව අනවශ්‍ය දෙයක් යැයි ඇතැමෙකුට පෙනීම පුදුමයක් නොවේ.
……………..

Continue reading බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

Advertisements

“ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “

බදාදා සටහන
අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්

අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind * (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – දෙවැනි කොටස

ෆින්කල්ක්‍රෝත් තවදුරටත් මෙසේ කියයි:

ජීවගුණය පිළිබඳ අදහස් මුල් බැස ගනියි

ජූලියන් බෙන්ඩා 1926 දී The Treason of the Intellectuals (බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය ) නමැති පොත පළ කළේය. එහි විෂය වූයේ “ලොවට අධ්‍යාපනය දෙන්නන් සතු සදාචාර මතියන් හි මහා විපර්යාසයක් ” යන්නයි. යුරෝපීය බුද්ධිමතුන් සාමුහික ආත්මයේ අද්භූත ගැඹුර පිළිබඳ ගනිමින් සිටි උද්යෝගිමත් උනන්දුව පිළිබඳ බෙන්ඩා කනස්සල්ලට පත්වීය. මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අය විශ්වීයවාදය ප්‍රතික්ෂේපකරමින් සහ සුවිශේෂතාවන් උත්කර්ෂයට පමුණුවමින්, එක් ජනකායක් වෙනත් එකකින් වෙනස් කළ ගුණාංග කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ගේ ඉපැරණි කැඳවීම (calling) ට ප්‍රහර්ෂයෙන් යුතුව එරෙහි වූ ආකාරය ඔහු විවේචනය කළේය. ශාස්ත්‍රඥයන්ගේ ප්‍රජාවේ තම සමකාලිකයන් සදාකාලික වටිනාකම් ඉහලින් ඔසොවා තැබීම පිළිබඳ තම උනන්දුව අත්හැරදමා තිබූ බව බෙන්ඩා මවිතයෙන් සටහන් කළේය. ඒ වෙනුවට ඔවුන් අනිථිභීතිකාව පිළිබඳ භාවයන් අවුස්සාලමින්, ජාතීන්ට තමන්ටම පමණක් ප්‍රේම කරන්නට සහ ඇළුම් කරන්නට, “අන් සියළු ජාතීන්ට එරෙහිව භාෂාව, කලාව, සාහිත්‍යය, දර්ශනය, ශිෂ්ටාචාරය, ‘සංස්කෘතිය‘ අතින් උත්තරීතර “ ලෙසින් තමන්ම ඉදිරිපත් කරන්නට යැයි කියා සිටිමින් තම දක්ෂතා සහ ගරුනාමය ප්‍රත්‍යන්ත අරමුණු වල සේවය සඳහා පිරිනැමූහ.

සංස්කෘතිය පොදුවේ ගැනීමේ සිට සුවිශේෂව මගේ සංස්කෘතිය දක්වා වන මෙම තත්වාන්තරකරණය නූතන යුගයේ සැබෑ ලකුණ, මානව වර්ගයාගේ සදාචාර ඉතිහාසයට එහි නිශ්චයාත්මක සහ වෙනකකට එහි හිලව් නොකළැකි දායකත්වය වීය. සංස්කෘතිය කලෙක එතුළ මිනිසාගේ අධ්‍යාත්මික සහ නිර්මාණශීලී ජීවිතය වර්ධනය වූ කලාපය වී තිබුණි. දැන් එය මගේ සංස්කෘතිය, මා අයිති ජනයාගේ මානසිකත්වය, මගේ උත්තුංගතම සිතුවිලි සහ මගේ දෛනික පැවැත්මේ සරලතම ඉඟි කා වැදුණු ජීවගුණයක් බවට පත්ව තිබුණි. බෙන්ඩාම පැහැදිළි කළ පරිදි සංස්කෘතිය යන්නේ මෙම දෙවැනි අරුත ජර්මානු රොමෑන්තිකවාදයෙහි මූලයන් තිබුණු එකකි.

ෆින්කල්ක්‍රෝත් ඉහත් සාකච්ඡා කරන පරිදි ජූලියන් බෙන්ඩා බුද්ධිමතුන් එනම් මනසේ කටයුතු කිරීමට තෝරාගනු ලැබූ අයගේ කටයුත්ත ලොවට අධ්‍යාපනය දීම ලෙසින් හඳුනා ගනියි. ඔවුන්ගේ අරමුණ විය යුත්තේ ලෝකය මිස ප්‍රත්‍යන්ත දෑ නොවේ. මානව බුද්ධියට අරමුණ විය යුත්තේ ලෝකය යි. මෙහි ලෝකය යනු විශ්වීය පරිමණ්ඩලය මෙන්ම ප්‍රත්‍යන්ත දෑ ඉක්මවන පොදු ලෝකය යන්නද විය හැකිය. විශ්වීය පරිමණ්ඩලය කෙරෙහි යොමු වන්නට නම් පොදු ලෝකය කෙරෙහි එළඹුම මුල් තැනට ආ යුතුය. විශ්වීයවාදය යටකොට සුවිශේෂතාව ප්‍රහර්ශයට නඟන තැන උනන්දුව ඇත්තේ මානවයන් සමූහයක් වශයෙන් එක් කරන නොව ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරන ගුණාංග පිළිබඳය. සදාකාලික වටිනාකම් යනු කාලයෙන් හා අවකාශයෙන් සීමා නොවී සදහටම මිනිසුන් අතර පවත්නා වටිනාකම් වෙයි. ඒවා පැවතිය හැක්කේ විශ්වීය මට්ටමෙන් පමණි. එක් ජන කොටසකට හෝ කිහිපයකට සදාකාලික විය නොහැකි හෙයිනි. සදාකාලය යනු එක් ජන කොටසක් හෝ කිහිපයක ජීවන කාලය ඉක්මවා පවතින්නක් වන හෙයිනි.

අන් ජාතීන්ට එරෙහිව තමන් උත්තරීතරයැයි කියා පෑමෙහි පමණක් පලක් නොමැත්තේ එය විශ්විය තලයෙහි ඇගයීමට ලක් නොවන තාක් කල් එය හුදෙක් කියා පෑමක් පමණක් වන හෙයිනි. තමන් උත්තරීතරයැයි කියා පෑමෙහි නිශේධනාත්මක අරුතින් වුව විශ්විය තලයේ පැවැත්ම පිළිගැනීමක් ගම්‍ය වෙයි.

ෆින්කල්ක්‍රෝත් තර්ක කරන පරිදි සම්ප්‍රදායිකව සංස්කෘතිය යන්නේ හරය තිබී ඇත්තේ එය ‘මිනිසාගේ අධ්‍යාත්මික සහ නිර්මාණශීලී ජීවිතය වර්ධනය වූ කලාපය‘ යන අදහසෙහි ය. එසේ නොමැතිව මිනිසා සිටින තත්වය ප්‍රකාශයට පත්වන ස්වරූපය ලෙසින් ගැනීමෙහි නොවේ.

බෙන්ඩා සටහන් කරන්නේ යුරෝපීය සමාජයේ සිදුවෙමින් පැවැති චින්තන විපර්යාසයක් සමාජීය වශයෙන් ප්‍රකාශයට පත්වූ සංසිද්ධියක් පිළිබඳය.

The Defeat of the Mind (මනසේ පරාජය)
The Defeat of the Mind (මනසේ පරාජය)

ෆින්කල්ක්‍රෝත් යළි මෙසේ කියයි:
Volksgesit (ෆොල්ක්ස්ගයිස්ට්) නැතහොත් ජනයාගේ ජීවගුණය පිළිබඳ සංකල්පය පළමුවරට ප්‍රාදූර්භූතවූයේ හර්ඩර් (Herder) ගේ අදහස්වලය. මොන්ටෙස්කියු ගේ අදහසක් රැඩිකල්කරණයට ලක් කරමින් හර්ඩර් කියා සිටියේ ඉතාමත් උච්ඡ සිට ඉතාමත් නිහතමාන දක්වා සියලු ජාතීන් සතුව එකක් අනෙකට අතුරුමාරු කළ නොහැකි සත්තාවේ අද්විතීය ආකාරයක් තිබුණු බවයි. හර්ඩර් ට අනුව ජාතික සීමාවන් ඉක්මවා යන සියළු නීතිමය, සෞන්දර්යාත්මක හෝ සදාචාරමය වටිනාකම් වලට තම ස්වෛරීභාවය අහිමි වී තිබුණි.ෆින්කල්ක්‍රෝත් ඉහත දක්වන පරිදි හර්ඩර් මෙලෙස ප්‍රකාශ කරන්නේ ජාතිකවාදයේ ආගමනයයි. ඒ අනුව ජාතීන් අතර උසස් කම අතින් වෙනස් කම් තිබිය හැකි වුවද ඒවා හැම එකක්ම අද්වීතිය ය. ජාතික සීමාවන් ඉක්මවා යන කිසිදු වටිනාකමක් නොමැති නම් ජාතීන් අතර උසස්කම් පිළිබඳ විනිශ්චයක් කිරීමද නොහැකි ය. Continue reading “ අපේ ජාතිය, අපේ සාහිත්‍යය, අපේ භාෂාව ඒවා අපේය, ඒවා අපමය, එපමණක් ප්‍රමාණවත් “