Tag Archives: නලින් ද සිල්වා

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද සිල්වා ද ඊට සහභාගී වෙමිනි. 1970 දශකයේ අග භාගයෙන් ඇරඹි දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ එම ජාතික චින්තන සංවාදය පසුව ජනවාර්ගික ගැටුම මුල් කර ගත් දේශපාලන භූමියේ යථාර්ථයට හසුවීමෙන් වල් මත් වී ගිය ද, එතෙක් එය සිංහල පාඨක සමාජයේ බුද්ධිමය වර්ධනයට දායකත්වය සැපයූ, ප්‍රධාන ධාරාවේ පුළුල් තලයක දිගු කලක් පැවති එබඳු එකම සංවාදය යැයි කිව හැකිය. ( ඊට අමතරව කළ එබඳු වැදගත් මැදිහත් වීමක් ලෙස අපට සිහිපත් කළ හැක්කේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1982 ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා පළ කිරීම යි.) අප පහත පළ කරන්නේ ‘නූතනත්වය සහ ලාංකීය සමාජ දේශපාලන කතිකාව’ නමින් කුමුදු කුසුම් කුමාර 2002 දී ‘බලය’ සඟරාවට ලියූ ලිපි පෙළක ගුණදාස අමරසේකරයන් ‘ජාතික චින්තනය’ මුල් කොට ලියූ අදහස් පිළිබඳ සාකච්ඡවකට අදාළ කොටස් කිහිපයකි.

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය

මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථකවීමට හෝ එය ක්‍රියාත්මකවෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නගා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද, නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, ‘නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳව තමන් දරන ස්ථාවර අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහාගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීමද සිදුවෙයි. Continue reading නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

Advertisements

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම
කුමුදු කුසුම් කුමාර

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද?

තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂිත කණ්ඩායමක් ලෙස රජය කල් තබා සැළකූ හෙයින් ඔවුන් විශේෂිත වැටුප් තලයක පිහිටුවන දිගු කාලීන විසඳුමක් ඉදිරිපත් කිරීම තමන් රජයට යෝජනා කරන බව මුලින් කියා සිටියේය. නමුත් ඒ වෙනුවට ඔහු පසුව නිශ්චිත නොවන මධ්‍යවාර වැටුප් යෝජනා ඉදිරිපත් කළේ තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ ඔහුගේ මුල් අදහස් වෙනස් කරගත් නිසාද? අය වැයෙන් මෙහා කිසිදු වැටුප් වැඩි කිරීමක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව රජය මුල සිටම කියා තිබුණි. නමුත් ඇමති බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් සිදුවූ සාකච්ඡාවලදී රජය වැටුප් වැඩි කිරීම පිළිබඳ කිසියම් නම්‍යශීලී බවක් ගැනීමේ ඉඩකඩ පෙනෙන්නට තිබුණි. ඒ, වැටුප් හැරුණු කොට ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් අනෙක් ඉල්ලීම් සඳහා රජය ඉදිරිපත් කළ කැබිනට් සටහනක් මත දෙපාර්ශ්වය එකඟතාවකට පත්ව සිටි තත්වයක් යටතේය.

මේ තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ප්‍රශ්නයට මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට රජය ඇතුළතින්ම එල්ල වූ විරෝධය උග්‍රවීමත් සමගය. ආචාර්ය සමිති සම්මේලනය ගාල්ලේ සිට කොළඹට ආ පා ගමනට විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු වීම මෙම විරෝධය කුළු ගැන් වූ කොටස් වලට පිටුවහලක් වූ බව පෙණුනි. ආචාර්ය සමිති සම්මේලනය ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් ඉල්ලීම් මත මෙවර වැඩ වර්ජනයට එළඹ සිටීමත් හුදු ජනාධිපති කොමිසමක් පිළිබඳ පොරොන්දුව මත ඔවුන් තම වර්ජනය අත් නොහැරීමත් මත ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරාබි වසන්තය බඳු විප්ලවයක් ගෙන ඒමේ පෙරමුණක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ යැයි රජය අර්ථ නිරූපණය කළේ බුද්ධි වාර්තා මත එවැන්නක් තමන් තරයේ විශ්වාස කරන බව පෙන්වමිනි. එනිසා අධ්‍යාපනය සඳහා රජය දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට හයක් වැය කළ යුතුය යන යෝජනාව මත ආචාර්ය සමිති සම්මේලනය වැඩවර්ජනය දිග් ගස්සන්නේ නම් එය ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරමුණින් කරන්නක් යැයි පිළිගෙන එයට එරෙහිව තම සමස්ත බලය යෙදීමට රජය තීරණය කළ බවක් එක් අවස්ථාවක දී පෙන්නුම් කෙරිණි.

මෙම අවස්ථාවේදී ආචාර්ය සමිති සම්මේලනය පරාජය කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් හැකි සියලු බලවේග සටනට කැඳවනු ලැබිණි. මෙම වැඩ වර්ජනය ආරම්භයේදී ඊට එරෙහිව එක් පුවත් පත් ලිපියක් පමණක් ලියා තම සුපුරුදු වෙනත් මාතෘකා කරා ගොස් සිටි ජාතික චින්තනවාදී ආචාර්ය නලින් ද සිල්වා යලිත් සටනට පිවිසියේ ඒ අනුවය. ‘දේශි හිතෛෂී‘ අමාත්‍ය විමල් වීරසිංහ ද මෙවර සටනට පිවිසියේ ය. ඔවුන් දෙදෙනාගේ අනුගාමික පිරිස් ද, මාඕ වාදීන්ව සිටි දේශපාලනඥයන්ද ඔවුන් හා එක්ව සටනට පිවිසියහ. ආචාර්ය සමිති සම්මේලනයේ කිසිම ඉල්ලීමක් නොදිය යුතු යැයි එම ඉල්ලීම්වල සාධාරණ භාවයට අභියෝග කරමින් විවිධ තර්ක ඉදිරිපත්කළ ආචාර්ය නලින් ද සිල්වා ආචාර්යවරුන්ගේ වර්ජනය පෙන්නුම් කළේ දෙමළ බෙදුම්වාදී – ‘ඇන්ජීඕ‘ සහ ‘ඩයස්පෝරා‘ – බටහිර කුමන්ත්‍රණ ව්‍යාපාරයේත් බෞද්ධ විරෝධී කතෝලික ව්‍යාපාරයකත් අතකොලුවක් ව ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කටයුත්ත අරමුණු කොට ගත් එකක් ලෙසිනි. අධ්‍යාපනය පිළිබඳ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් යහපත් යැයි කියන අතර ඒ පිටුපස ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කුමන්ත්‍රණයක් ඇතැයි කී විමල් වීරවංස සහ කණ්ඩායම ද මෙම වර්ජනය පරාජය කළ යුතු යැයි කියා සිටියාය. වර්ජනය අවසන් වූ පසු මෙම චෝදනාව පිළිබඳ The Island පුවත් පතේ කර්තෘ ප්‍රභාත් සහබන්දු පළකළ පහත අදහස නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් වලටද අදාළ ය. “විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සැබෑ අභිප්‍රාය රජය කී පරිදි රෙජීමය වෙනස් කිරීමක් විණි නම් ඔවුන් කවරදාකවත් සාකච්ඡා මඟින් එකඟතාවකට එනු ඇතිව තිබිණි ද? එසේ කීම ඇමති නැවැත්විය යුතුය. රජය විශ්ව විද්‍යාල ගුරුවරුන්ගෙන් සමාව අයැද සිටිය යුතුය.“ Continue reading ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ
– නිර්මාල් රංජිත් දේවසිරි
ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

මගේ තර්කය වුනේ අදාල සම්මන්ත‍්‍රණය පැවැත්වුනු දිනවලම රඟ දැක්වුනු ‘ජූලම්පිටියේ අමරේ’ නාටකය මගින් සංකේතවත් වන්නේ පියදාස නමැති ගමනක අග නවකතාවේ චරිතයේ දේශපාලනයේ සිහිනය හරහා අමරසේකර අපට දෙන බලාපොරොත්තුව සුනුවිසුනු කරමින් තිබීම බවයි. වැඩි දුරටත් මා තර්ක කරන්නේ මේ බලාපොරොත්තුව සුනුවිසුනු කරන්නේ දෙමළ ජාතිවාදය හෝ බටහිර අධිරාජ්‍යවාදය වැනි ජාතික චින්තනය විසින් සිංහල ජාතියේ සතුරන් ලෙස හඳුනා ගැනෙන බාහිර කාරක විසින් නොව අමරසෙකරද ඇතුළු ජාතික චින්තනයට ලැදි බලවේග වල පූර්ණ හා කි‍්‍රයාකාරී සහයෝගය යටතේ බලයට පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සංධානය තුළම ක‍්‍රියාත්මක ගතිකයන් මගින් බවයි. Continue reading ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය:
ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම
– නිර්මාල් රංජිත් දේවසිරි

1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ පරිභෝජන පුරුද්දයි. කොකා කෝලා වැනි බටහිර සිසිල් බීම වර්ග වලට වැඩි වැදගත් කමක් ලබා දී ඊට ආදේශ වශයෙන් භාවිත කළ හැකි ස්වදේශීය බීම වර්ග නොතකා හැරීම ගැන දොඩංගොඩ මහතා එජාප පාලනය විවේචනය ලක් කලේය. එවිට ජයවික‍්‍රම පෙරේරා මහතා විමසා සිටියේ දොඩංගොඩ මහතාගේ පක්ෂය බලයට පැමිණි කල්හී කොකා කෝලා වැනි බීම වර්ග තහනම් කරන්නේ ද යන්නයි. ඊට සෘජු පිළිතුරක් දීමට දොඩංගොඩ මහතාට හැකිවූයේ නැත. Continue reading ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම