Tag Archives: නවීකරණය

වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර


චිත්‍රපටියක් වියමනක් ලෙස කියවීමේ අදහස “මේ මාගේ සඳයි” චිත්‍රපටිය මුල්කොටගෙන මතු වී ඇති කතා බහෙන් අප සාකච්ඡාවට එකතු වේ තිබේ. කලා කෘතීන් ලෙස සැළකීම පිළිබඳ ව්‍යුහවාදී/පශ්චාත් ව්‍යුහවාදී අදහස් වල මෙන්ම, බටහිර සෞන්දර්ය න්‍යායයන්ගෙන් ද අවධාරණය කෙරෙන කරුණක් නම්, කලා කෘතියක අගය මැනෙන මිම්මක් වන්න් එහි ආකාරය නැතහොත් ආකෘතිය ඒ වෙතම රසික අවධානය ඇද ගන්නා කුමන සුවිශේෂ ලක්ෂණ ප්‍රකට කරන්නේ ද යන්න බවයි. මේ පිළිබඳව මා ඉදිරිපත් කල අදහසක් නම්, චිත්‍රපටියක් වියමනක් වීම පිළිබඳ අදහස අවධාරණය කරන්නේ, එය, ඉන් ඉදිරිපත් කරන දේ හුදෙක් අක්‍රීයව බාරගන්නා මානසික නිද්‍රෝපගත තත්වයකට ප්‍රේක්ෂකයා පත් නොකොට ඇයගේ පරිකල්පනාව අවධි කරන්නේය, ජීවිතාවබෝධය පුළුල් කෙරෙන පරිදි ලොව පවතින මිනිස් සබඳතා දැකීමේ නව මානයක් මතු කරන්නේය යන්න නම් දෙන ලද කෘතියක මෙම ස්වභාවය ගොඩ නැංවීමේ එකම ක්‍රමය එහි ආකෘතියම පමණක් ප්‍රයෝගකාරී ලෙස නිර්මාණය කිරීම නොවේය යන්නයි. එය ආකෘතිය සහ අන්තර්ගතය යන දෙ අංශයම සුසංවාදීව නිර්මාණය කෙරෙන ආකාරයෙන් කල හැකිය. එමෙන්ම ආකෘතිය අතින් සම්මත සම්ප්‍රදායන් අනුගමනය කරද්දීම, අන්තර්ගතය තුළින්, එම කෘතියට තේමාවන සංසිද්ධිය පිළිබඳ සම්මතයන්ට අභියෝග කිරීමෙන් ද, එය කල හැකි යැයි මම යෝජනා කරමි. එහිදී මම තවදුරටත් කියා සිටියේ, ලෙස්ටර්, පතිරාජ, ඔබේසේකර, විතානගේ වැනි ලාංකීය සිනමාකරුවන් වියමනක ලක්ෂණ අඩු වැඩි වශයෙන් ප්‍රකට කරන චිත්‍රපට නිර්මාණය කොට ඇති බවයි.

චිත්‍රපටියක් වියමනක් ලෙස කියැවීම පිළිබඳ ඉහත අදහස් වර්ධනය කෙරෙන පරිදි, වසන්ත ඔබේසේකරගේ “දොරකඩ මාරාව” කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අදහස් කරමි. ‘දොරකඩ මාරාව” සිනමා ආකෘතියත්, අන්තර්ගතයත් ඒකාග්‍ර කරමින් වියමනක් ලෙස ඉදිරිපත් කෙරෙන චිත්‍රපටියක් ලෙස මම දකිමි. එය සිනමා කෘතියක් ලෙස අපගේ අවධානය ඒ වෙත ඇද ගන්නේ එහි ඇති කුමන සුවිශේෂ ආකෘතික ලක්ෂණ නිසා ද යන්න පිළිබඳවත් කතාන්දරයක් වශයෙන් ගත් කල එම චිත්‍රපටියේ අන්තර්ගතයම වියමනක් ලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිලිබඳවත් අදහස් ඉදිරිපත් කරමි. (මෙම ලිපිය දියැස සඟරාවේ 2002 12 වන වෙළුමේ 9 වෙනි කලාපයේ ප්‍රථමයෙන් පල විය.) Continue reading වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර
 (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002  මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි.  මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.) 
 
“දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.”
– මයිකල් ඕක්ෂොට්

ලංකාවේ නව වාම දේශපාලනයක් ගොඩ නැංවීමට සිත කය වෙහෙසන පිරිස් අතර ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවතින සංවාදයකට මගේ මතයන් එකතු කිරීමට කැමැත්තෙමි. එය නම්, යළිත් වතාවක් අපගේ තරුණ තරුණියන් පිරිසක් දේශපාලනය තුළ කායිකව හෝ ආත්මීය වශයෙන් විනාශයට ලක් නොවන්නට අප කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා වාම දේශපාලනය දිගු කාලීනව අවධානය යොමු කළ යුතු මූලිකම කරුණ නම් දේශපාලනය විනාශය කරා නොයන්නට නම්, එයට බොහෝ දෙනා ක්‍රියාකාරී ලෙස සහභාගි කරවා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය යන්නයි. මගේ යෝජනාව, එය කළ හැක්කේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීම තුළින් පමණි, යන්නයි. නව දේශපාලන සංස්කෘතියක් යන්නෙන් මා අදහස් කරන්නේ තරුණ තරුණියන් ද ඇතුළුව බොහෝ දෙනා දේශපාලන තලයෙන් ක්‍රියාකාරී සහභාගීත්වයට දිරිගන්වන, කැඳවන සංස්කෘතියකි. මෙහිදී මා දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ පුළුල්ව, අපගේ සාමූහික යහ පැවැත්ම මුල් කොටගෙන අපම එක් වී සාමූහිකව කථා කිරීම සහ ක්‍රියාකිරීමයි.නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට නම්, පළමුකොටම, බොහෝ‍ දෙනා දේශපාලනයට ක්‍රියාකාරීව හවුල් වීම වළක්වාලන පරිද්දෙන් දෙශපාලනය පැත්තෙන්ම පැනවී ඇති බාධා මොනවාදැයි හඳුනාගෙන ඒ පිළිබඳ විවේචනයක් ගොඩනැංවිය යුතුය, යන්න මගේ යෝජනාවයි. මෙම ලිපියෙන් මා අරමුණු කරන්නේ, එවැනි විවේචනයක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍යයැයි මා සිතන මූලික අදහස් කිහිපයක් හඳුන්වා දෙන්නට ය. පසුව ඉදිරි කාලයේ දී ඉඩ ලැබෙන පරිද්දෙන්, එම අදහස් එකින් එක විස්තර කොට පැහැදිලි කරන්නට අදහස් කරමි. Continue reading නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර