Tag Archives: නිදහස

නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

p1

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය ව මැදිහත් වන පුරවැසි දේශපාලනය යි. අප යටත් විජිතවාදයේ ග්‍රහණයෙන් මිදී ලබා ගත් නිදහස සැබෑ ලෙසින් අර්ථවත් වනු ඇත්තේ එබඳු පුරවැසි ක්‍රියාකාරීත්වයක් තුළින් අප කවදා හෝ සාක්ෂාත් කර ගැනීමට ඉඩ ඇති නිවහල් සාමූහික ආචාර ධර්මීය ඌරුවක් වගා කර ගැනීමෙන් පමණි. අප ඒ සඳහා යා යුතු දුර බොහෝ යැයි සිතමි.”

1948 දී අපි යටත් විජිතවාදී ග්‍රහණයෙන් මිදුණෙමු. 1972 දී, යටත් විජිතවාදයට තිබූ සෙසු ආයතනික බැඳීම් වලින් ද නිදහස් ව ලංකාව ජනරජයක් බව ප්‍රකාශ කර සිටියෙමු.

නමුත්, ලංකාව සැබෑ ජනරජයක් නො වන්නේ ය. එමෙන්ම, අපි තවදුරටත් මනසින් වහල් ව, අනුකාරකවාදීව සිටින්නට තෝරා ගෙන ඇත්තෙමු.

අපේ අනුකාරකවාදී මනස පිළිබිඹු කරන මූලික උදාහරණ කිහිපයක් පමණක් මෙහි ලා ගෙන හැර දැක්විය හැකිය.

එයින් උපත ලද තිස් වසරක යුද්ධයක් උදා කළ මහා ජීවිත සහ ධන විනාශයකින් පසුත්, ජනවාර්ගික ගැට‍ළුවට තිරසාර විසඳුමක් සොයා ගැනීමට අදත් අපි අපොහොසත් ව සිටිමු. Continue reading නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

Advertisements

තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ පොදු ශ‍්‍රමිකයන් වශයෙන් කටයුතු කරීම පමණයි. කොළඹ මූල්‍ය නගරය තුළ නගරයේ වැසියන්ට අත්වෙන ඉරණම කුමක්ද? අපි මේ ආණඩුවත් එක්ක, ආණ්ඩුත් එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මහින්ද රාජපක්‍ෂත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලීමේ අවසානයට අපි දැන් ඇවිල්ල ඉන්නෙ. මහින්ද රාජපක්‍ෂත් මේ ආණ්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනකොට ලොකු අර්බූදයක් තියෙනව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ. මම හිතන්නෙ, අපි සමාජයේ යහපත් වෙනසක් අපේක්‍ෂා කරන අය ඉන්නව නම්, අපේ දැක්ම ඉතා දුරට එල්ල කළයුතු අවදිය අපි ආරම්භ කරමින් සිටිනව. මගේ යෝජනාව අපේ සමාජයේ බුද්්ධියේ ද්‍රරිද්‍රතාවය, අපේ දේශපාලන නායකත්වයට දැක්මක් නෑ. ඔවුන් පොළොවෙ යථාර්ථයට සම්බන්ධයක් නෑ. අපි අපේ තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක්. අපිට නායකයන් අහිමිවෙන්න ප‍්‍රධාන හේතුවත් ඒකයි. අලූත් නායක පරම්පරාවක ආරම්භ කිරීම ගැන දැන් සිතීම ආරම්භ කළ යුතු කාලයයි. ඒ සඳහා අලූත් පරම්පරාවට පසක් විය හැකිද? පොළොවක් විය හැකිද? මේක තමයි අප හමුවේ තියෙන අභියෝගය.”

Continue reading තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

2016 සැප්තැම්බර් 13

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

පළමුව මෙය රටපුරා ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව වෙත මේ සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා නැවත ඉස්මතු කිරිමක් පමණක් බව අපි අවධාරණය කරමු. මෙම යෝජනා මහජන නියෝජන කමිටුවේ වාර්තාවේ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ (විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ මඟ පෙන්වීමේ මූලධර්ම, පරම අයිතිවාසිකම්/මූලික අයිතිවාසිකම් පනත, රාජ්‍ය මූල්‍ය සහ ඉඩම් සංවර්ධනය හා පරිසරය සම්බන්ධ පරිච්ඡේදයන්හි) සවිස්තරාත්මක නිර්දේශයන් මගින් පැහැදිළිව ඉදිරිපත් කර ඇත.

දෙවනුව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු ඉතිහාසය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වැනි ක්ෂේත‍්‍රයන්සඳහා රජයේ මැදිහත්වීමපිළිබඳශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ගොනු කර ගත යුතු අතර, ඒ මගින් නිදහස, ගරුත්වය, යහපැවත්ම සහ මානව ආරක්ෂාව සඳහා පදනම් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බව තහවුරු කළ යුතුය. වර්තමාන මූල්‍ය හා වෙළෙදප‍්‍රතිපත්තින් මගින් ද, යුද්ධය හා නැවත ගොඩනැංවීමට හා සංවර්ධනයට අදාලව යුද්ධයෙන් පසු සිදුකරන ලද ක‍්‍රියාවලින් මගින් ද, සිදු කර තිබෙන සමාජ හා කලාපීය අසමානතාවයන් හා අස්ථීරත්වයන්උග‍්‍රකරවීම, සමාජ ප‍්‍රතිපත්තීන් දුර්වල කරවීම හා ඒවායේ සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැය අප අත්දකින මෙවන් මොහොතක මෙය ඉතා වැදගත් වේ. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම: ඡනතා පරමාධිපත්‍යය දේශපාලන පක්ෂ වෙනුවෙන් කැප නොකළ යුතුය – කුමුදු කුසුම් කුමාර

දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද?
දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද?

“සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය.

පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.”

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පොරොන්දුව ඉටු කිරීමට පසුබට වීමට හේතුවක් වශයෙන් රජය දක්වන්නේ ඉන් සුළු ජාතික පක්ෂ වලට අසාධාරණයක් වනු ඇති හෙයින් ඒවායේ ඉල්ලීම මත මෙය කල් දමන බවයි.

මෙහිදී අප අසන්නට කැමත්තේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ දී අප මෙහෙයවන මූලධර්මය විය යුත්තේ කුමක්ද? යන්නයි. දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද? දෙමළ සහ මුස්ලිම් සුළු ජාතික පක්ෂවල හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය වැනි කුඩා දේශපාලන පක්ෂ වල වාසිය තකා ඡන්දදායකයාගේ අයිතිය කැප කරන්නට අප සූදානම් වන්නේද? ඡන්දදායකයාගේ ඡන්දයේ ඇති වැදගත්කම දේශපාලන පක්ෂවලට දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද එකතු කිරීමට ඇති අවශ්‍යතාවට යට කරනවාද? පොදු යහපත සඳහා ක්‍රියාත්මක වීම කල් දමන්නට අප සූදානම් වන්නේ මෙම පදනම මතද?

වත්මනෙහි අපගේ ඡන්ද ක්‍රමය තුළ අවධානය ඇත්තේ දේශපාලන පක්ෂවලට මිස ඡන්දදායකයා වෙත නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂ සඳහා වන ආණ්ඩු ක්‍රමයක් බවට පිරිහී ඇත. නමුත් අප මෙය අපගේ දේශපාලනයේ පදනම ලෙස භාරගත යුතු නැත. අපව මෙහෙයවිය යුත්තේ ‘ජනතා පරමාධිපත්‍යය වඩාත් තහවුරු විය හැකි ඡන්ද ක්‍රමය කුමක්ද?’ යන සිතුවිල්ල යි.

තමන්ගේ පළාතට මන්ත්‍රීවරයෙක් සිටිය යුත්තේ සංවර්ධන කටයුතු ඉටු කරවා ගැනීම සහ රැකියා ලබා ගැනීම සඳහා නොවේ. මේ අවශ්‍යතා පවත්නා දිස්ත්‍රික් මට්ටමේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේත් ඉටුවෙයි. රැකියා ලබා දීම මනාප ඡන්ද ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවට වත්මනෙහි පත් වී ඇත. මෙබඳු කටයුතුවල යෙදෙනවා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිපත්ති සම්පාදකයන් විය යුතුය යන්න අප පිළිගත යුතුය.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී ඡන්දදායකයන් ට තමන් දරන අදහස් මත ආණ්ඩුවට බලපෑම් කිරීමට මාර්ගයක් තිබිය යුතුය. ඡන්ද කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් බැගින් සිටීම ඒ මාර්ගයයි. මන්ත්‍රී යනු ඡන්දාදායකයන් ගේ නියෝජිතයා ය. එම නියෝජිතයා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන් පත්කරන ඡන්දදායකයනට වග කියන්නෙකු විය යුතුය.

නියෝජනයේ මූල ධර්මය පිළිපදිනු ලබන්නට නම් ඡන්දදායකයා සහ නියෝජිතයා අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතුය. එම සම්බන්ධය දේශපාලන පක්ෂ සම්බන්ධය මත නොව මහජන ප්‍රතිපත්ති සම්පාදනය මුල් කර ගෙන ඇති විය යුතුය.

ඇතැමුන් සළකන ලෙස සමානුපාතික ඡන්ද ක්‍රමය හොඳම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කිහිපයකට වරක් හුදෙක් ඡන්දය දීම ලෙස සළකන්නේ නම් පමණි.

ඡන්ද ක්‍රමයේ අරමුණ තනි දේශපාලන පක්ෂයකට හෝ පක්ෂ සන්ධානයකට ස්ථායී ආණ්ඩුවක් පිහිටුවිය හැකි වන අයුරින් එය සකස් වී තිබීම විය නොහැකිය. ආණ්ඩුවකට ස්ථායීභාවයක් අවශ්‍යය. නමුත් ඒ වෙනුවෙන් ඡන්දාදායකයාගේ අයිතිය කැප නොකළ යුතුය. ඡන්ද ක්‍රමයේ අරමුණ ජනතා පරමාධිපත්‍යය සහතික කිරීමයි. විවිධ මත දරන පක්ෂ හෝ සන්ධාන වලට පොදු යහපත වෙනුවෙන් එකට එක්ව වැඩ කිරීමට බල කරන ඡන්ද ක්‍රමයක් හොඳ දෙයකි. නමුත් එම අදහස දේශපාලන විපක්ෂයක් නැති කරන පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන ජාතික ආණ්ඩුවක් බවට ලඝු කළ යුතු නැත.

ජනවාර්ගික අයිතිවාසිකම් අපේ දේශපාලන න්‍යාය පත්‍ර යේ ඉහළින් තිබෙන වත්මන් අවස්ථාවේ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වසන ප්‍රදේශවල එම ජනයාට ප්‍රමාණවත් මන්ත්‍රී නියෝජනයක් ලැබිය යුතුය. මේ සඳහා සමානුපාතික නියෝජනයේ ක්‍රමය පවත්වාගෙන යාම ඔවුනට අවශ්‍ය කෙරෙයි. මනාප ඡන්ද ක්‍රමය ජනවාර්ගික කොටස් මිශ්‍රව වසන ප්‍රදේශ වල සුළු ජන කොටස් වලට ඔවුන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාව සහතික කරන බවද සැබෑය. එහෙත් එබඳු තාවකාලික අරමුණු සඳහා මනාප ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවේ.

තවද අප අද එළඹ සිටින්නේ අප තව දුරටත් ගමන් කළ යුත්තේ ජන වර්ග පදනමින් ඡන්දදායකයන් බෙදා වෙන් කිරීමේ දේශපාලනයකට නොව සියළු ජනවර්ග වලට අයත් ඡන්දදායකයන් තම ඡන්දදායකභාවය මුල් කොට ගෙන දේශපාලනයට සම්බන්ධ කර ගැනීම දක්වා අපේ පුරවැසි අපේක්ෂා පළල් කිරීම දිශාවටය. එතැනින් ඔබ්බට සැබෑ පුරවැසි දේශපාලනයක් සඳහා පුරවැසි අපේක්ෂා ගැඹුරු කිරීමේ දෙසටය.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම කල් දැමීමට දින සියය හේතුවක් කර ගත යුතු නැත. දින සියය ජනතාවගේ ඉල්ලීමක් නොවේ. මැතිවරණ ප්‍රකාශණයක සඳහන් හැම දෙයක්ම වෙනුවෙන් ජනතාව ඡන්දය දුන්නා යැයි කියන කතාව වලංගු කතාවක් නොවන බව එසේ කියන අය පවා දනිති. ඉටු කිරීමට වඩා උනන්දු විය යුත්තේ සැබෑ ලෙසම ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ය. එලෙසින් ප්‍රතිපත්ති ප්‍රකාශයට එක් වූ යෝජනාවක් වන්නේ ඡන්ද කොට්ඨාශ මට්ටමින් මෙන්ම සමානුපාතික ක්‍රමයටත් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේ මිශ්‍ර ක්‍රමය සම්මත කර ගැනීමේ සහ මනාප පොරය අහෝසි කිරීමේ යෝජනාවයි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම කල්දැමීම කිසිසේත්ම කළ යුතු නොවේ. මන්දයත් ඉදිරියට එන මහ මැතිවරණයකින් පසු එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ඊළඟට පත්වන ආණ්ඩුවකට නොලැබීමට ඉඩ ඇති හෙයිනි. අවශ්‍ය නම් වැඩි දුර කාලය ලබා ගෙන මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය යොමුවිය යුතුය.

ඡන්දක්‍රමය සංශෝධනය පිළිබඳ අප සිතන විට සැළකිය යුතු ව්‍යවස්ථා සංශෝධනයන් ට එකතු කළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් ද මෙහි දී සඳහන් කළ යුතුය.

ඡන්දයක් සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය පසු කැබිනට් මණ්ඩලය රාජ්‍ය සම්පත් තම මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත නොහැකි වන සේ ආණ්ඩුව භාරකාරත්වය යටතට පත් කළ යුතුය. එම කාලය තුල රාජ්‍ය නිලධාරීන් ගේ බලතල ද අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කළ යුතුය.

රටේ ජනාධිපති පක්ෂ දේශපාලනය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට නොබැසිය යුතුය. ඔහු රටේ සියලු ඡන්දදායකයන්ගේ නායකයා වන හෙයිනි. ධුරයට පත් වූ පසු ඔහු අපක්ෂපාතී විය යුතුය. පක්ෂ දේශපාලනයෙන් නිදහස් විය යුතුය.

ඡන්ද අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ තම මැතිවරණ වියදම් ලැබෙන ආකාරය හෙළිදරවු කිරීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් කළ යුතුය.
ජනාධිපතිවරණයට අන් අපේක්ෂයන්ගේ සහායට ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් වීම අධෛර්යය කිරීමට කළ යුත්තේ අපේක්ෂකයෙකු වංචනික ලෙස අන් අපේක්ෂකයෙකුට සහාය විය හැකි ආකාර වැළැක්වීමට දැඩි නීති පැණවීම මිස ජනාධිපතිවරණයට යමෙකුට ඉදිරිපත්වීමට ඇති අයිතියට බාධා කරන ලෙසින් තැන්පත්මුදල ඉහළ දැමීම නොවේ.

සමානුපාතික නියෝජනය මත පදනම් වූ ඡන්ද ක්‍රමයක සිට ඡන්ද කොට්ඨාශ මට්ටමින් ද නියෝජිතයන් පත් කරන මිශ්‍ර ක්‍රමයක් දක්වා අප ගමන් කළ යුත්තේ මෙම පක්ෂ දේශපාලනය මත පදනම් වූ ඡන්ද ක්‍රමය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් අප පිළිගත යුතු නිසා නොවේ.

එය දේශපාලන නිදහස සැබෑ ලෙස භුක්ති විඳින පුරවැසියන් දිනපතා මහජන කටයුතුවලට සහභාගී වෙන සහ දේශපාලන පක්ෂ මගින් හෝ වෙනත් සංවිධාන විසින් මෙහෙයවනු ලැබීමෙන් නොව නියෝජිතයන් වෙනුවට තමන් විසින්ම ක්‍රියාකරන පුරවැසියන්ගෙන්ම සැදුම් ගන්නා මහජන පරිමණ්ඩලයක් දිශාවට අපේ දේශපාලන ව්‍යුහ විපර්යාස කිරීම සඳහා තැබෙන එක් ඉදිරි පියවරක් ලෙසින් සළකමිනි.

දේශපාලනය එහි ගැඹුරු අර්ථයෙන් රැකෙන්නේ පුරවැසියන් වෙනුවෙන් එබඳු මහජන පරිමණ්ඩලයක් සම්පාදනය කරගැනීම තුළ ය. පුරවැසියන් අතර රාජ්‍ය බලය, මහජන බලය බෙදී යනු ඇත්තේ පුරවැසියන් සැබෑ ලෙස දේශපාලන නිදහස භුක්ති විඳිනු ඇත්තේ එවිට පමණි.

සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය.

පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.

මෛත්‍රී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ: අගමැති ප්‍රධානිත ආණ්ඩුව සහ ජනතා පරමාධිපත්‍යය උගස් තබන මැතිවරණ ක්‍රමය – කුමුදු කුසුම් කුමාර

මැතිවරණ ව්‍යාපාරය අරඹමින්
මැතිවරණ ව්‍යාපාරය අරඹමින්

මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි නොමැති තවත් වැදගත් කරුණක් පිළිබඳ කෙටියෙන් මෙහි ලියමි. සඳහන් කරුණ, ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න යි. එහි නොමැති කරුණ, මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා වන සංශෝධනය යි.

යෝජිත සංශෝධන පසුබිමෙහි සළකා බැලූ විට සාකච්ඡා පත්‍රිකාවේ එන ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න හුදු කරුණුමය සඳහනක් ලෙස පෙනී යා හැකිය. නමුත් ජනාධිපති ට ඇති විධායක බලතල කප්පාදු කිරීමට එරෙහි විවේචකයන් ඉදිරිපත් කරන අදහසක් වන්නේ යෝජිත ප්‍රතිසංස්කරණ වලින් අගමැති ට අසීමිත බලතල ලැබෙන බවයි. එයින් ජනතාවට පරමාධිපත්‍යය අහිමි ව සීමිත ඡන්දදායකයන් පිරිසක‍ගේ ඡන්දයෙන් බලයට පත්වන අගමැතිවරයෙකු අතට රාජ්‍ය බලය හැසිරවීම පත් වන බවයි.

අපට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය යටතේ පරමාධිපත්‍යය ජනතාවට අහිමි වූ හෙයිනි. එහෙයින් යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ පරමාධිපත්‍යය ජනතාවට යළි පැවරෙන බවට අප සහතික විය යුතුය. එසේ වන්නට නම් කිසිදු තනි පුද්ගලයෙකුට ව්‍යවස්ථාමය බලයක් හිමි නොවන තැනට වග බලා ගත යුතුය. පාර්ලිමේන්තු ක්‍රමයක් යටතේ ඇති සීමිත ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේ ජනයා පාර්ලිමේන්තුවට පත් කර ගන්නා නියෝජිතයන් මගිනි. මෙම නියෝජිතයන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා වශයෙන් අගමැතිවරයා පත් කෙරෙයි. අගමැති ගේ උපදෙස් මත ඇමති මණ්ඩලය පත් කෙරෙයි. අගමැති යනු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යනු පාර්ලිමේන්තුව විසින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමට විධායක බලය පවරන නියෝජිත කණ්ඩායමකි. ඔවුන් තම සියලු කටයුතු වලදී පාර්ලිමේන්තුවට වග කියන බවට සහතික කිරීමෙන් පමණක් ජනතා පරමාධිපත්‍යය රැකෙයි.

එහෙයින් ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යය සහතික කෙරෙන පරිද්දෙන් සංශෝධනය කිරීමේ දී එහි තනතුරු හා අදාළ සංකල්පීකරණය ද ඊට අනුකූලව සිදු කිරීමට අප පරෙස්සම් විය යුතුය. මේ කෙරෙහි ව්‍යවස්ථා සම්පාදකයන් අවධානය යොමුකළ ඇති ආකාරය විවිධ ව්‍යවස්ථා අධ්‍යයනයෙන් හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව බලන්න.

එහි පළමු පරි‍ච්ඡෙදයේ අංක 4 සහ 5 වගන්ති වල ජනතා පරමාධිපත්‍යය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන් ගේ ජාතික රා‍ජ්‍ය සභාව මගින් ක්‍රියාවට නැංවෙන බව සඳහන්ය. ජනරජයේ රාජ්‍ය බලයේ උත්තරීතරතම උපකරණය ජාතික රා‍ජ්‍ය සභාව වන්නේය. එය ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයත්, ජනාධිපති සහ කැබිනට් මංඩලය මගින් රාජ්‍ය ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලයත් ක්‍රියාවට නංවන බව ද එහි සඳහන්ය.

මෙහි අවධාරණය ඇත්තේ ජනාධිපති, ජාතික රාජ්‍ය සභාව සහ කැබිනට් මංඩලය පිළිබඳ මිස අගමැති පිළිබඳ නොවේ.

1972 ජනරජ ව්‍යවස්ථාවේ 13 වැනි පරිච්ඡෙදයේ 92 වැනි වගන්තියේ කැබිනට් මංඩලය පිළිබඳ ඇති සඳහන මෙපරිදිය. ආණ්ඩුවේ දිශානතිය සහ පාලනය පිළිබඳ වගකීම පැවරෙන අමාත්‍යවරුන්ගේ කැබිනට් මංඩලය ජාතික රාජ්‍ය සභාවට සාමුහිකව වගකියනු ඇති අතර ඔවුන් වගකිය යුතු සියලු කරුණු සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය සභාවට පිළිතුරු බැඳිය යුතු වෙයි. ඇමතිවරු අතරින් කැබිනට් මංඩලයේ ප්‍රධානියා වනු ඇති අය අගමැති වනු ඇත. ජාතික රාජ්‍ය සභාවේ විශ්වාසය දිනා ගැනීමට වැඩියෙන්ම ඉඩඇති ජාතික රාජ්‍ය සභා සාමාජිකයා අගමැතිවශයෙන් පත් කෙ‍රෙනු ඇත.

මෙහි අවධාරණය ඇත්තේ කැබිනට් මංඩලය පිළිබඳය. කැබිනට් මංඩලය සාමුහිකව ජාතික රාජ්‍ය සභාවට වග කියයි. අගමැති වැදගත් වන්නේ කැබිනට් මංඩලයේ ප්‍රධානියා ලෙසින් මිස තනිව ගෙන නොවේ.

තව එක් කෙටිඋදාහරණයක් පමණක් ලෙසින් වත්මන් ඉන්දීය ව්‍යවස්ථාව සළකා බලමු. එහි 74 වැනි වගන්තියේ ඇමති මංඩලය ගැන ඔවුන් පත් කෙරෙන ආකාරය සහ ඔවුන්ගේ වගකීම් සමගින් සඳහන් වන්නේ මෙලෙසය. “අගමැති ප්‍රධානියා වන ඇමති මංඩලයක් තිබෙනු ඇත.” මෙහිද අවධාරණයට ඇමති මංඩලයට ය. අගමැති වැදගත් වන්නේ එහි ප්‍රධානියා ලෙස මිස තනිව ගෙන නොවේ.

එහෙයින් මා මෙහි ලා අවධාරණය කරන්නට කැමැත්තේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වචනයට නැඟීම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවෙන ආකාරය සහ ඇමති මංඩලය සාමුහිකව පාර්ලිමේන්තුවට වග කියන බව තහවුරු කරමින් ඉතා පරිස්සමෙන් සිදු කළ යුතු බවයි. එහිදී ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන යෙදුම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම සිදුවුව හොත් එය තනි පුද්ගලයෙකුට පැවරිය යුතු නැති බලයක් ව්‍යවස්ථාදායකව පැවරීමක් වනු ඇත. එහෙයින්ම ජනතා පරමාධිපත්‍යයට බරපතළ හානියක් ද වනු ඇත. අවශ්‍ය නම් මෙහිදී උචිත යෙදුම වනු ඇත්තේ ‘අගමැති ඇමති මංඩලයේ ප්‍රධානියා වන්නේය’ යන්න යැයි යෝජනා කරමි.

මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම
ජනතා පරමාධිපත්‍යය සමග බැඳුණු අනෙක් වැදගත් කරුණ මැතිවරණ ක්‍රමය යි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය රැකෙන එකම ක්‍රමය ජනතාවගේ ඡන්දයෙන් ඡන්ද කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙකු පත් කොට ගෙන ඔහු හෝ ඇය එම ඡන්ද කොට්ඨාශයේ ජනතාවට සෘජුව වග කියන තත්වයට පත් කිරීම යි. වත්මන් දිස්ත්‍රික් පදනමින් සහ සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමය ජනතා පරමාධිපත්‍යය එකහෙළා උල්ලංඝණය කරයි. දිස්ත්‍රික් පදනමින් පත්වන මන්ත්‍රීවරු ඡන්දදායකයන්ට සෘජුව වග නොකියති. ඔවුන් වග කියන්නේ තමන්ට ඡන්ද එකතු කොට දෙන නියෝජිතයන්ට සහ දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය දිනීමට අවශ්‍ය පරිදි මහා පරිමාණයෙන් මුදල් සහ සම්පත් සපයන ඒජන්තයන්ටය. කුඩුකාරයන්, මැරයන්, එතනෝල්කාරයන් සහ වෙනත් දූෂිතයන් පාර්ලිමේන්තු එන්නේ මේ හේතුවෙනි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලත් ප්‍රතිපත්ති ප්‍රකාශයත් දිස්ත්‍රික් පදනම වෙනුවට ඡන්ද කොට්ඨාශ පදනමින් මන්ත්‍රීවරුන් පත් කර ගැනීම සමග කුඩා පක්ෂ වලටද සාධාරණයක් වන සේ සමානුපාතික නියෝජන ක්‍රමය ද ඇතුළත් මිශ්‍ර ක්‍රමයක් දැන් පවත්නා මැතිවරණ ක්‍රමය වෙනුවට සම්මත කොට ගනු ඇති බවට පොරොන්දු වීය.

නමුත් දැන් මෛත්‍රී රජය පවසන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු හෙයින් ඉදිරි මහ මැතිවරණයට පෙර එය කළ නොහැකි බවයි.

මෙම ස්ථාවරය ගැනීම ජනතා පරමාධිපත්‍යය යළි පිහිටුවන බවට මෛත්‍රී රජය ජනතාවට දුන් පොරොන්දුව බරපතළ ලෙස කඩ කිරීමක් වනු ඇත. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව හුදෙක් ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීමෙන් පමණක් ජනතා පරමාධිපත්‍යය යළි ස්ථාපිත කළ නොහැක්කේය. ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස තහවුරු කළ නොහැක්කේය. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නට නම් මහින්ද රාජපක්ෂ රජය කළාක‍් මෙන් හුදු කුමන හෝ මැතිවරණ පැවැත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙයි. අපට අවශ්‍ය කෙරෙන්නේ තමන්ට සෘජුව වග කියන නියෝජිතයන් ඡන්දයෙන් පත් කර පාර්ලිමේන්තුවට පත් කර යැවීමට 1978ට පෙර මෙරට ජනයාට තිබුණු අවස්ථාව යලි ලබා ගැනීමටයි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජනතා පරමාධිපත්‍යය රැකෙන්නට නම් මේ පියවර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය.

එය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නම් එය පවත්වමු. වැදගත් වන්නේ දින සියය කෙසේ හෝ පියමං කිරීම නොවේ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මූලික මැතිවරණ පොරොන්දු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ වැදගත්ම යෝජනා දෙක වන විධායක ජනාධිපති ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට මාරු වීමත් ඡන්ද කොට්ඨාශ පදනමින් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට ජනතාවට හැකි වන මැතිවරණ ක්‍රමයකට මාරු වීමත් මහ මැතිවරණයකට යාමට පෙර ක්‍රියාත්මක කිරීම යි.

එසේ නොවුව හොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස තෝරා පත් කර ගනිමින් ඔහු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බරපතල ලෙස පළුදු වනු ඇත.

තමන් රටට දුන් යහපත් අරමුණු ඉටු කිරීම සඳහා යහපත් නොවන මාර්ග තෝරා ගැනීමට යාමේ අවස්ථාවකට මෛත්‍රීපාල සිරිසේන රජය පත් වෙමින් සිටියි. තමන් ගේ අරමුණු ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කෙසේ හෝ අවශ්‍ය වන හෙයින් ඒ සඳහා අවශ්‍ය මාර්ග වලට එළඹීමට රජයට බල කෙරී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම පිළිගෙන තිබේ. ඉන් ප්‍රධාන දෙය නම් බලයෙන් පහ කෙරුණු දූෂිත රජයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් සතුටු කිරීම අරමුණු කොට විවිධ සහන සැළසීම සහ වරදාන ප්‍රධානයයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කල් දමන්නේ තම යහපත් අරමුණු ඉටු කිරීම සඳහා අපේක්ෂා කරන බලය නව ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තමන්ට නොලැබෙනු ඇත යන බියෙන් නම් ඊළඟ මහ මැතිවරණයෙන් පසු මැතිවරණ ක්‍රමය වෙනස් නොකෙරෙන තැනකට යළි අප තල්ලු වී ගිය හොත් එය අරමුණ විසින් මාර්ගය යුක්ති යුක්ත කරන තැනට යොමු වීමෙන් අවසානයේදී අරමුණ පරාජය කිරීමට ඉඩ සැළසූ තවත් අවස්ථාවක් ලෙස ඉතිහාසගත වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන ජනතා අරගලය තවත් වටයකට කල් යනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ වැනි සමානුපාතික ක්‍රමය යටතේ වැඩි වාසි අත්වනු ඇති පක්ෂද මේ බව වටහා ගත යුතුය.

ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම නොපැකිළෙමි. නිදහසේ නාදය එතරම්ම මියුරුතමය . නිදහස පිළිබඳ හැඟීම මා හදට මෙතරම් සමීප 1977 ට පෙර මෙරට තිබූ දේශපාලන නිදහස භුක්ති විඳිමින් යොවුන් වියට පත්ව ලංකාවේ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල ගැසූ පරපුරේ ලාබාලයෙකු ලෙස 77න් පසු ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් අහිමි වීමේ ඛේදවාචකය මැනවින් අත් විඳි අයෙකු වන හෙයින් යැයි සිතමි.
ජනවාරි 8 දා රැය නිදි නැතිව අප ගෙවූයේ බලාපොරොත්තුවත් උකටලි බවත් එකට කැටි ‍කො‍ට ගත් හැඟීම් අතර සිර වී ගෙනය. බලාපොරොත්තුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. උකටලි බව මහින්ද රාජපක්ෂ‍ගේ රජය තමන් මැතිවරණයෙන් පරාජය වුවද බලය අත් නොහැර දැඩි මර්ධනයක් දියත් කරනු ඇතැයි තිබූ බලවත් බිය නිසාය. මෛත්‍රී දිනන බවට තොරතුරු අටවැනිදා රැය ගෙවී යත්ම දිගින් දිගටම රූපවාහිනිය පරදා අන්තර්ජාලය හරහා ලැබෙමින් තිබුණි. ඡන්ද ප්‍රථිඵලය හමුදාව යොදා මංකොල්ල කන්නට උත්සාහයක් ඇති බව කොළඹ ඩීඇස් සේනානායක ඡන්ද මධ්‍යස්ථානයෙන් වාර්තා වීම දැඩි කම්පාවක් ගෙන දුන් නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සෙසු ජනයාගේ මැදිහත් වීමෙන් උත්සාහය ව්‍යර්ථ කළ බව දැන ගන්නට ලැබීම සහනයක් වීය. ඉන් පසුව ඇති වූ බිය වූයේ මෛත්‍රී ඡන්දයෙන් ඉහළින් දිනා ඇති බව සැඟවීමට රෙජිමයට ඉ‍ඩ නොසැළසුණු නමුත් ඡන්ද ප්‍රථිඵලය අවලංගු කොට හමුදා බලය යටතේ රෙජිමය තම පාලනය දිග්ගස්සා ගනු ඇතිද යන්නයි.

මෙලෙස බියක් ඇති වීමට හේතු මැතිවරණ කාලය තුළ මොනවට ප්‍රකාශ වී තිබුණි. Continue reading ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය


වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ තියාගතයුතුයැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා තර්ක කීපයක් දැකිය හැකිය.

ඒ මෙසේය:

1 වෙනි මිත්‍යාව : ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා:
මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉෂ්ට කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට සහ එතුමාගේ පවුල් කණ්ඩායමට යාවජීව ලෙස රට භාරදීම නොවේ.

අනෙක් අතට ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට මහජන මුදලින් අති විශාල ප‍්‍රමාණයක් වැය කෙරෙන අතර ඒ මුදලින් ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත‍්‍රාදීන් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබයි. මේ නිසා ජනාධිපතිවරයාට ‘යුද්ධය අවසන් කිරීම වෙනුවෙන’ කෘතගුණ දැක්විය යුතුනම් මේ වනවිට මෙරට ජනයා ඒ සඳහා සෑහෙන්න කෘතගුණ දක්වා ඇත. තවදුරටත් ‘කෘත ගුණ දැක්වීම සඳහා’ රාජපක්ෂවරුන්නේ පවුලට ලංකාවේ රාජ්‍යය බලය යාවජීව ලෙස පවරා දිය යුතුය යන්න මුග්ධ පමණක් නොව අතිශය භයානක තර්කයකි.

2 වෙනි මිත්‍යාව: ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ මැඩ පැවැත්වීම සඳහා:
මෙරටට විරුද්ධව බරපතල ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තිබෙන බවත්, එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයෙන් මෙරට බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමාට නැවතත් බලය දිය යුතුයැයි කියති.

මෙරටට විරුද්ධව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පවතී නම් එම කුමන්ත‍්‍රණය පරාජය කිරීමට ඇති පහසුම මාවත වන්නේ දැනට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට සහ ගර්හාවට ලක්වී ඇති තත්වයෙන් ලංකාව ගලවා ගැනීමයි. රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ඉහළ නංවා රටට කීර්තියක් ගෙන ඒමේ කාර්යය ඉටුකළ යුතු මෙරට විදේශ සේවාව මුළුමනින්ම රස්්තියාදුකාර රංචුවකට භාර දී ඇති වර්තමාන පාලකයින්ට ඒ කාර්යය කිරීමට කිසිසේත් හැකියාවක් නැත.

එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන් කිසිවෙකු මෙරටට මැදිහත් වන්නේ නම් එසේ කරනු ලබන්නේ මෙරට ඇති විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්වයන් උපයෝගී කරගෙනයි. පසුගිය කාලයේ ඇමරිකාව විසින් කරනු ලැබී මැදිහත්වීම් වලින් මේ තත්වය පැහැදිළි වේ. සිරියාව, ලිබියාව, ඉරාකය වැනි රටවල් වල ඇමරිකන් මැදිහත්වීම් වලට මං පෑදුවේ ඒ රටවල අභ්‍යන්තරව පැවැති දූෂිත ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලන තන්ත‍්‍රයන්ය. මේ නිසා මේ කියන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය පරාජය කිරීමට අවශ්‍ය නම් කොහොමටත් මෙරට කෙරෙහි ඇතිවී ඇති ජාත්‍යන්තර අපකීර්තිය නැතිකර දැමීම අවශ්‍ය වේ.

3 වෙනි මිත්‍යාව: සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සඳහා:

මේ සංවර්ධන කයිවාරුවේ සැබෑව මේ වනවිට හොඳින්ම පැහැදිළි වී ඇත. අද සංවර්ධනය නාමයෙන් සිද්ධ වන්නේ සමාජයට දිගුකාලීන වශයෙන් ප‍්‍රයෝජනවත් වන්නා වූ ක‍්‍රියාදාමයක් නොව අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා අතිවිශාල ණය කන්දක් මත සිදුකරන අතීශය දූෂිත සහ නිෂ්ඵල ව්‍යාපෘති පැටව් ගැසීම පමණි. මෙම ව්‍යාපෘති විසින් ඉඩකඩ ලබා දී ඇත්තේ පාලක කල්ලිය වටා රොද බැඳ සිටින පිරිස්වලට මහජන මුදල් සිතු මතේ ගසා කෑමට අවස්ථාව දීම පමණි.

මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට සමාජයේ ඇති නැති පරතරය අති විශාල වශයෙන් පුළුල් වී ඇත. මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵල කිසිවක් විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය සැබෑ ලෙස වැඩි දියුණු කිරීමට හේතු වී ඇත. කොළඹ නගරයේ අලංකාර උයන්වතු ඉඳිවෙද්දී ඈත ගම් දනව්වල ජනයා වන අලි ප‍්‍රහාර වලින් මිය යන්නේත්, කොළඹ නගරයේ ඉහළ මධ්‍යම පංතිකයින්ට ව්‍යායාම කිරීම සඳහා අධික වියදම් සහිත මංතීරු ඉඳි කරන්දී රජරට ප‍්‍රදේශවල ජනයා වකුගඩු රෝගයෙන් මියයන්නේත් එබැවිණි.

Continue reading වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු

ad 1

2015 ජනාධිපතිවරණය පිළිබඳව පේරාදෙණිය, කොළඹ, රුහුණ, කැලණිය, විවෘත විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙණිය, සබරගමුව, නැගෙනහිර, යාපනය, වයඹ, සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශය

2015 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 08 වැනි දා මැතිවරණයේ දී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡුන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අද වන විට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බව ය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විශ්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයි සිතමු.

පසුගිය දශකය තුළ නීතියේ පාලනය , ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිති සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු.

මේ තත්වය පහත ආකාරයට ඒ ඒ ක්ෂේත‍්‍රවල දැකගත හැකි විය:

* අධිකරණ ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන් ම පාහේ දේශපාලණීකරණය වීම
* පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම,
* ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම
* පාලක ප‍්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම.
* දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිකම නිසා ක‍්‍රියාකාරීව පැවතීම දුෂ්කරවන පරිදි විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම.
* ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම.
* ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම වර්ධනයවීම.
* ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම.
* මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම

ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතය ද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේ දී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු. Continue reading අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු

සුවිශේෂ සටනක් – ආචාර්ය සුමති සිවමෝහන්

ආචාර්ය සුමති සිවමෝහන්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ඉදිරියේ එන ජනපතිවරණයේ සුවිශේෂත්වය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණය මහෝඝයක් බවට පත්ව තිබීමත් භීෂණය හා අසාධාරණය අවසන් කිරීම සඳහා වන වුවමනාව උච්ඡස්ථානයනට පත්ව තිබීමත්ය.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා දෝංකාර නංවන මහා හඬක් නැගෙමින් තිබේ. කිසිවකුටත් බලයෙන් වියරුව හිතුවක්කාර ලෙස කටයුතු කළ නොහැකි බවටත් එබඳු ප‍්‍රයත්නයන්ට එරෙහිව හාත්පසින්ම විරෝධයක් නැගෙන බවටත් පාලකයන් වෙත ඉතා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇත. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවකාශය වඩා පුළුල් වී ඇත. ජනතාවෝ සිය අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් විවෘතව කතා කරති. විවෘතව ක‍්‍රියා කරති.
මගේ අදහස අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් පුද්ගලයෙකු ලෙස අදහස් ප‍්‍රකාශ කිරීම හෝ ක‍්‍රියා කිරීම පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ හා සංස්කෘතික චර්යාවන් සමග අනුල්ලංඝනීය ලෙස බද්ධ වූවකි. ණය බරින් පරිපීඩිතව සිටින ගොවීන් විෂයෙහි මෙන්ම අවතැන් වී සිටින්නවුන් විෂයෙහි ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක විය යුතුව තිබේ. ඔවුන්ගේ ජීවිත යුද්ධයෙන් විනාශ වී ඇත.

වැඩකරන ජනතාවට යහපත් ජීවන තත්වයක් ලබා දිය යුතුය. අනාගතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අසරණව සිටින වතුකරයේ ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. විදේශ රැකියාවල නියුක්තව සිටින්නවුන්ගේ ජීවිත අර්බුදයකය. සුලූතර ජන කණ්ඩායම් නොසලකා හරිනු ලැබ දෙවන පංතියේ පුරවැසියන් පිරිසක් බවට පත්ව ඇත. කාන්තාවෝ රජයේ මෙන්ම ප‍්‍රජාවගේ ද පීඩාවට භාජනය වී සිරකරුවන්ගේ තත්වයට පත්ව ඇත. සුලූ පරිමාණ ව්‍යාපාරිකයින් සුපිරි ව්‍යාපාරිකයින්ට බිලි දී ඔවුන්ගේ ගොදුරක් බවට පත්කරනු ලැබ ඇත.

කලාකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ, ගුරුවරුන්ගේ හා ශාස්ත‍්‍රඥයන්ගේ නිදහස මෙන්ම යහපත් සංස්කෘතික පරිසරයක් සඳහා ඇති අවකාශය හැකිලෙමින් පවතී. මේ ආකාරයට නොසලකා හරිනු ලැබ ඇත්තවුන්ගේ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී.

2015 ජනපතිවරණය මේ සියල්ලන් තුළ නව අපේක්ෂාවන් දල්වා ඇත. අවකාශය දැනටම විවෘත වී ඇති අතර එය තව දුරටත් විවෘත කොට තහවුරු කොට ගත යුතුව ඇත.. මේ ජනපතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ගමන අවසාන නොවේ. විශ්වවිද්‍යාලවල සිටින අප ඇතුළු අනෙකුත් සියලූ දෙන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා අධ්‍යාපනය අර්ථවත් කිරීම සඳහා සටන් කරන අතර සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් මෙම අවකාශය වඩාත් පුළුල් කොට ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුය. ජනතාවට නැගී සිටීමට හා සටන් සඳහා වේදිකාවක් සපයා ගැනීම සඳහා විධාකාර වූ උද්ඝෝෂණයන් අවශ්‍ය වේ.

2015 ජනවාරි 04 වන ඉරිදා
ඉදිරිය පුවත් පතෙනි.

මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

මෛත්‍රීපාල සිරිසේන
මෛත්‍රීපාල සිරිසේන
කලක් තිස්සේ ව්‍යාකූලව තිබූ තත්වයන් ඉතා ඉක්මනින් නිරවුල් වෙමින් පවතී. රජය හැම ක‍්‍රියාවක්ම සිදු කරන්නේ මෙරටේ මහජනතාව මෝඩ රැළක් සේ සලකමිනි. දූෂණය, භීෂණය මෙන්ම අවනීතිය හා අසාධාරණය ද වසා ගැනීමට යොදා ගන් ලබන්නේ රැවටිලි වදන්ය, රැවටිලි ක‍්‍රියාවන්ය. රජයේ නායකයින්ගේ ක‍්‍රියාවලින් පිළිබිඹු වන්නේ වංචාව, හිරිඔතප් නැති බව මෙන්ම පාදඩ බවයි. වෙනත් අයගේ ත‍්‍රස්තවාදයට රජයේ පිළිතුර ඊටත් වඩා දරුණු ත‍්‍රස්තවාදයයි. අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණ පිළිබඳව කතා කරමින් සිදු කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීමයි. මේ සියල්ල හළිදරව් වන විට දැන් අලූත් සින්දුවක් පටන් ගෙන තිබේ.

ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකීම සඳහා අධිකාරීවාදි ඒකාධිපතියෙකු අවශ්‍ය බව දැන් එළි පිටම පවසනු ලැබේ. කුලියට ගත් කලාකරුවන් හා බුද්ධිිමතුන් යනුවෙන් හඳුන්වනු ලබන ගැත්තන් ලවා ඒ සඳහා න්‍යායන් ද ඉදිරිපත් කරවනු ලැබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ වර්තමාන විධායක ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු බව ඔවුන්ම පිළිගන්නා අතර එම ඒකාධිපතිභාවයෙන් අල්පයක් වත් අත්හැරීමට ඔවුන් සූදානම් නැති බවය. එහෙත් මෙරට ජනතාවට තවදුරටත් ඒකාධිපතියෙකු අවශ්‍ය නැත.

අනෙක් අතට වර්තමානයේ මේ රටේ ස්ථාවරත්වයක් ඇතැයි හා එය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකැයි යන මතය ද මිථ්‍යාවක් බව ද සිහි බුද්ධියක් ඇති ජනතාව දනී.මේ රට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෙතරම් අවදානමට හා අපතීර්තියට පත් වූ අවධියක් මින් පෙර නොතිබිණි. ඒකාධිපතිවාදය යනු විවිට අදහස් හා නිදහස මර්ධනය සඳහා යෙදා ගනු ලබන දුර්වල අවියකි. එයින් වාසි ලබන්නේ සමාජයේ දූෂිතම කොටස් හා පාදඩ පංතියයි. අද මෙරට ඇත්තේ එබඳු තත්වයක් මිස ස්ථාවරත්වයක් නොවේ. Continue reading මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු