Tag Archives: පටිච්ච සමුප්පාදය

ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි (Je suis – I am) කියූ සැනින්ම තමාගේ ආනුභවික පැවැත්මට බාහිරව තම උත්පත්තියටත් පෙර මරණයටත් පසු සදාකාලික පැවැත්මක් ඇතැයි යන අභිමානය ජනිත වන බවත් එය ජීවිතය නිරන්තරයෙන් වෙනස් වන්නක් ජරාවට පත්වෙමින් මරණය කරා ගලා යන පැවැත්මක් ලෙස හිතුවක්කාර අන්දමින් ප්‍රතික්ෂේප කරන්නක් ද වන බවය.”

Continue reading ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

වරාය නගර ව්‍යාපෘතිය, ජාතික ස්වෛරීත්වය කැප කිරීම සහ බෞද්ධ වන්දනා – ගනනාථ ඔබේසේකර

 ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
සති කිහිපයකට පෙර විශ්ව විද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්ව විද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන අධ්‍යාපනික ආකෘතීන් තුළ බෙහෙවින් විරල, කරුණාව සහ දයාව පිළිබඳ පුරුෂාර්ථ අන්තර්ගත කරගත හැකි වන අයුරින් ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය සංවර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න සම්මන්ත‍්‍රණයේ තේමාව විය. සාමාන්‍ය බෞද්ධයන්ගේ හෘද සාක්ෂිය හැඩගැන්වීමෙහිලා ජාතක කතාවල ඇති වැදගත්කම ගැන ආරම්භක දේශනයේදී මා කතා කළ අතර, අනිත් දේශක සගයන් බි‍්‍රතාන්‍ය කොලොම්බියාව, භූතානය, මොංගෝලියාව සහ වියට්නාමය වැනි තෝරාගත් ස්ථාන කිහිපයක සාර්ථක අධ්‍යාපනික ආකෘතීන් ගැන කරුණාවේ කේන්ද්‍රීයත්වය හරහා කරුණු දැක්වූහ. තවත් අය, මොළය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයන් හා විපස්සනා භාවනාවේ සාධනීය ගුණාංග ගැන කතා කළහ. ඉදිරිපත් වූ දේශන ගැන සම්මන්ත‍්‍රණය මුළුල්ලේ සිය අදහස් දැක්වූ දලයි ලාමා තුමා, බෞද්ධ දයාව සහ අපේ කාලයට එහි ඇති අදාළත්වය පිළිබඳ ස්වකීය ගැඹුරු ප‍්‍රඥාව සමග මුසු කරමින්, සභාවේ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වූහ. කථිකයන් හෝ ඒ විශාල සභාවේ සිටි ශිෂ්‍යයන් හෝ සැදැහැවතුන් අතරින් කිසිවෙකු හෝ මේ සාකච්ඡුාවට දේශපාලනය වැද්ද නොගත් බව මෙහිදී කිව යුතුව තිබේ. තවද, මා ඇතුළු එතුමා හමු වූ කවුරුත්, උන්වහන්සේ සතු අව්‍යාජත්වයත්, බුදුදහම සම්බන්ධයෙන් උන්වහන්සේ තුළ පැවති ගැඹුරු අවබෝධයත් ගැන සේම, එතුමාගෙන් නික්මෙන සෙයක් පෙනුණු නිහතමානී භාවයත්, පුද්ගල අනුහසත් ගැන උදක්ම පැහැදුණහ. බෞද්ධ දර්ශනය පිළිබඳ එතුමාගේ කෝෂ්ඨාගාර පාණ්ඩිත්‍යය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එම ඥානය, සාමාන්‍ය බෞද්ධයන් සඳහා ලියැවුණු එතුමාගේ ජනප‍්‍රිය ලේඛන තුළ සේම, ‘‘තනි අණුවක් තුළ පවතින සමස්ත විශ්වය’’ වැනි විද්වත් කෘති තුළත් අපට හමු වෙයි. බුදුන් වහන්සේ විසින්ම මුලින් සූත‍්‍රගත කළ පටිච්ච සමුප්පාදය හෙවත් ‘තත්වාරෝපිත සම්භවය’ පිළිබඳ සාරවත් සාකච්ඡුාවකට අමතරව, විද්‍යාව සහ ආධ්‍යාත්මිකත්වය එකට මුණගැසීම ගැන මේ කෘතිය තුළ උන්වහන්සේ සාකච්ඡුා කරති.

මා මෙය ලියන්නේ, එතුමා ශ‍්‍රී ලංකාවට සැපත්වීම කෙරෙහි අධානග‍්‍රාහී ආකාරයෙන් චීනය විරෝධය පෑම ගැන මා තුළ ඇති කණස්සල්ල හේතුවෙනි. Continue reading වරාය නගර ව්‍යාපෘතිය, ජාතික ස්වෛරීත්වය කැප කිරීම සහ බෞද්ධ වන්දනා – ගනනාථ ඔබේසේකර