Tag Archives: ප්‍රජාතන්ත්‍රවාදය

වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

III
වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදිය.

එම කෘතිය “ නවලිබරල් තර්කනය, එය සුරක්ෂිත කරන්නේ යැයි ව්‍යාජව පොරොන්දුවන දේශපාලන ආකාරය සහ දේශපාලන පරිකල්පනාවට අඩන්තේට්ටම් කරන්නේ මන්ද සහ කෙසේද යන්න පැහැදිළි කරයි. නවලිබරල්වාදයත් සමග, යුක්තිය පිළිබඳ සැළකිලිමත්වීම්, පෞද්ගලික දේපළ පිළිබඳ පරමවාදය සහ වර්ධන අනුපාත සහ ආයෝජන දේශගුණය විසින් අභිබවනය කරනු ලැබෙයි. නිදහස, මානව ප්‍රාග්ධන අගය වැඩිවීමේ විධික්‍රියාව මගින් සේවයට යොදා ගනු ලැබෙයි. සමානාත්මතාව, ජයග්‍රාහකයන් සහ පරාජිතයන් පිළිබඳ විශ්වව්‍යාපී වෙළෙඳපොළවල ගිල්වනු ලැබෙයි. ජනතා පරමාධිපත්‍යය ආකූල බවට පත්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, විසිවැනි සියවසේ උතුරු තරුව වීම අපේක්ෂා කළේනම්, අද එය යලිසිතාබැලීම, ප්‍රතිනිර්මාණය, සහ අරගලය අවශ්‍ය කෙරෙයි.”

Continue reading වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

Advertisements

මේසයක් තනන්නාක් මෙන් ඉතිහාසය “තැනිය” හැකි ද?

ලංකාවේ වර්ථමානයේ වැදගත්ම දේශපාලන කටයුත්ත වියයුත්තේ ජනතාව අත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා නවලිබරල්වාදයට ප්‍රතිරෝධය දැක්වීමට කටයුතු කිරීම යැයි සිතමි.

2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාගත්තෙමු යැයි සිතූ මෙහොතේම අපට එම ජයග්‍රහණයෙහි ඵල නෙලා ගැනීම අහිමි වූයේ කල්තබාම නවලිබරල්වාදීන් විසින් සැළසුම් කොට තිබූ පරිදි ඔවුන් දේශපාලන බලය වහා තමන් අත ගොනු කර ගත් හෙයිනි.

2019 ජනාධිපතිවරණයෙන් යළි රාජපක්ෂ ජ  බලයට ගෙනැවිත් දෙවනුව එය පරාජය කළ හැකි යැයිද එමගින් 2015 ජනවාරි 8 ව්‍යාපාරය යළි ඇරඹිය හැකි යැයිද විශ්වාස කිරීම ප්‍රකට කරන්නේ, හනා ආරන්ඩ්ට් ගේ තර්කයක් ගෙන කියන්නේ නම් නිමවන්නාගේ මානසිකත්වය (fabricators mentality) දේශපාලනයට ගෙන ඒමේ උත්හාසයකි යැයි කිව හැකිය. එය දේශපාලනයට මෙවලම්කාරී සිතීම (instrumental thinking) ගෙන ඒමකි.

ආරන්ඩ්ට් තර්ක කරන පරිදි, නිමවන්නා තමන් අරමුණු කරන දේ නිමැවීමට තමන් අත ඇති ද්‍රව්‍ය විපර්යාස කිරීම අරමුණු කරයි. අධිපතිභාවය, ප්‍රචණ්ඩත්වය සහ අරමුණු වෙනුවෙන් මං කැපකිරීම, නිමැවීමේ කටයුත්තේ අත්‍යංග ගුණාංග වෙති.

“And, indeed, among the outstanding characteristics of the modern age from its beginning to our own time we find the typical attitudes of homo faber: his instrumentalization of the world, his confidence in tools and in the productivity of the maker of artificial objects; his trust in the all-comprehensive range of the means-end category, his conviction that every issue can be solved and every human motivation reduced to the principle of utility; his sovereignty, which regards everything given as material and thinks of the whole of nature as of “an immense fabric from which we can cut out whatever we want to resew it however we like”;  his equation of intelligence with ingenuity, that is, his contempt for all thought which cannot be considered to be “the first step . . . for the fabrication of artificial objects, particularly of tools to make tools, and to vary their fabrication indefinitely”; finally, his matter-of-course identification of fabrication with action.”

Hannah Arendt. The Human Condition.   p.305

ආරන්ඩ්ට් දකින පරිදි,  ක්‍රියාව (action) නැතහොත් දේශපාලනය වූ කලී බහුවිධ පුද්ගලයන් අතර ගණුදෙනු පිළිබඳ සැළකිල්ල දක්වන සංසිද්ධිය කි. නිමැවුමේ මූලධර්ම දේශපාලනයට ආදේශ කළ විට,ප්‍රචණ්ඩව සළකනු ලබනු ඇති ද්‍රව්‍ය බවට පත්වනු ඇත්තේ සහ සාධනය කිරීමට අපේක්ෂා කරන අරමුණ  වෙනුවෙන් බිලිදෙනු ඇත්තේ අන්‍ය ජනතාව යි. නිමැවුමේ මූලධර්මය දේශපාලනයට ගෙන එන තැනැත්තා සිතන්නේ  ඉතිහාසය තැනීම හරියට මේසයක් තනන්නාක් වැනි කාර්යයක් යනුවෙනි.එවැනි දේශපාලන ව්‍යාපෘතියක් මානවයන් වන අපට අප අරඹන ක්‍රියා අපට අවශ්‍ය පරිදි පාලනය කළ හැකිය යන විශ්වාසය මත පදනම් වෙයි.දේශපාලනයේදී අප මුදා හරින ක්‍රියාවන් හි ප්‍රථිඵල අපට පාලනය කළ නොහැක. මන්ද යත්, අප ආරම්භ කරන දේශපාලන ක්‍රියා අනෙකුන්ගේ ක්‍රියා සහ ප්‍රතික්‍රියාවන්හි ඵල  සමග බලාපොරොත්තු කඩවන පරිද්දෙන් පටලැවෙන හෙයිනි.අපේ ක්‍රියා මුදාහරින ක්‍රියාවලීන් අසීමිත සහ යළි හැරවිය නොහැකි වීමට ඉඩ තිබේ. (Margaret Canovan. 1992. Hannah Arendt: a reinterpretation of her political thought. Cambridge) 

මේ අනුව සළකා බලන කළ, රාජපක්ෂ රෙජිමයේ ඒකාධිකාරවාදය පරාජය කිරීමට මෙවලම්කාරී සිතීම ගෙන ඒම  තුළ රාජපක්ෂ රෙජිමයේ අනෙකා ලෙසින් තමන්මත් ඒකාධිකාරී දේශපාලනයකට යොමු වීමේ නැඹුරුවක් අපගේ දේශපාලන සිතීම තුළ තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රථිෂ්ඨාපනය කිරීමේ අරමුණට එරහිව යයි.

2015 ජනවාරි 8 ව්‍යාපාරය යළි ඇරඹිය හැක්කේ යළි බහුජන දේශපාලනය ගොඩ නැංවීමෙනි. එනම් බහුජනතාව යළි දේශපාලනයට කැඳවීමෙනි.ඒ සඳහා නවලිබරල්වාදය අප සමස්ත සමාජය වෙලා ගෙන ඇති අයුරු පිළිබඳ විග්‍රහය අප සමාජ ගත කළ යුතු ය.

අවුරුදු 200 ක් ඉක්මවූ ඉතිහාසයක් තුළින් පැමිණ ඔබාමා ජනාධිපති කළ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඉන් අනතුරුව ජනාධිපති ලෙස පත් කළේ ට්‍රම්ප් ය. මෙය අපට සිහිපත් කළ යුත්තේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් වන අරගලය වරක් දිනා සදාකාලයටම නොවෙනස්ව පවත්වා ගෙන යා හැකි, එක් ජයග්‍රහණයකින් කෙළවර වන ව්‍යාපෘතියක් නොවන බවය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද? යන්න පිළිබඳ අලුතින් සිතීමට ද දැන් කාලය පැමිණ ඇති බවය.

– කුමුදු

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ සමාජීය ඉංජිනේරුවාට සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත..පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි,The Political Ideas of Leo – Strauss

1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් ආරක්ෂිත පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව කළාලය යටට අතුගා දැමීමට ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.

Continue reading නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර විශ්වාසය ගොඩ නැඟීමයි. මේ සඳහා රට නො බෙදෙන පරිදි ෆෙඩරල් නැතහොත් සන්ධිය ක්‍රමයට පළාත් සභා වලට මෙන් ම ඉන් ඔබ්බට ගමට සහ නගරයටත් බලය බෙදීමෙන් ලංකාව එක්සත් තනි රටක් වශයෙන් පැවතිය හැකි බව සිංහලයන් බහුතරයකට ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දේශපාලනඥයන්, බුද්ධිමතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සහ පුරවැසියන් එක් ව රට පුරා ගොඩ නැඟිය යුතු ය. මේ කර්තව්‍යය කෙටි කාලීන දේශපාලන අරමුණු උදෙසා හදිසියේ කුමන හෝ උපාය යොදමින් සම්මත කර ගන්නා ව්‍යවස්ථාවක් අරමුණු කොට සාක්ෂාත් කර ගත හැකි නොවේ.”

Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය තීන්දු වී ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක රෙජිමය යළිත් බලයට එනු ඇතයි වත්මන් පාලක රෙජිමය වෙළා ගෙන ඇති බිය සහ ඔවුන්ට නව ලිබරල් ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කර ගැනීමේ අපේක්ෂාව මත පදනම් ව යැයි යන අදහස සත්‍යයෙන් එතරම් ම දුරස්ථ ප්‍රකාශයක් නොවන බව පෙනෙයි. මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ බලවේගවල සහාය ලැබේ යැයි විශ්වාස කරන හෙයින් ඒවා අවුළුවා ලන ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් නො කළ යුතු ය යන තීරණයට ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති සෙයකි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඇතැම් “සිවිල් සමාජ සංවිධාන” ද එම ස්ථාවරය පිළිගෙන ඇති සෙයකි.

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඇති ගැට‍ළුව නම් එහි නිර්දේශ වල එන වැදගත් මාතෘකා පිළිබඳ එකඟතාවක් නොමැතිකම’ යැයි ඇතමුන් කියන විට එහි සැඟවුන අදහසක් නම් ‘මෙම අපේක්ෂිත එකඟතාව ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති තීරණය අපේක්ෂා කරන්නකි’ යන්න යැයි තර්කයක් ඉදිරිපත් කෙරෙන්නට ඉඩ තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹීමටත් ප්‍රථම ජනාධිපති සහ අගමැති වෙන් වෙන් ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවේ ‘ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් සැලකීම’ සහ ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම’ ඉදිරියටත් නො වෙනස් ව පැවතිය යුතු බවයි. මහත් බලාපොරොත්තු ඇති කරමින් ආරම්භ කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ වාර්තාව දැන් පළ කොට ඇත. මෙම අවස්ථාවේ ආණ්ඩුව සහ ඇතැම් “සිවිල් සමාජ” සංවිධාන එම වාර්තාව ගැන දක්වන එළඹුම වටහා ගත හැක්කේ ඉහත පදනම මත විය හැකි ය. එම වාර්තාව සම්පාදනය කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කළ, මහජන නියෝජිත කමිටුවක් මඟින් නමුත් මේ දක්වා එය පාර්ලිමේන්තුවෙහි සභා ගත කොට නැත. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

මහජනයා බලගන්වන්න ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ඉඩ දෙන්නෙ නෑ-ආචාර්ය නිර්මාල් දේවසිරි (Constitution: For Whom ? )

“ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින (ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිබඳ ) සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දෙන ලද වැදගත් අදහසක් වූයේ මහජනයාට දේශපාලන බලය ලැබෙන, දෛනික වශයෙන් ආණ්ඩුකරණ ක්‍රියාවලිය හැසිරවීමට හැකි රැඩිකල් ආකාරයෙන් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රභූ තන්ත්‍රය ඉඩ නොදෙන බවයි.

Dr.Nirmal Devasiri expressed his views on “Constitution: For Whom ?” at the public discussion organized by ‘Citizens’ Council’ held on 22 June 2016 at CSR auditorium.
He made the significant point that the political and economic elites of Sri Lanka would by no means allow to reform the state radically so that the public is empowered with the political power and their participation in governance is strengthened.

විරුද්ධ මත දරන්නන් තර්ජනයෙන් ගර්ජනයෙන් බිය වැද්දීම ලිච්ඡවි රජ දරුවන්ගේ ක්‍රමය වීද?

අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුමක් පිළිබඳ සමාජයේ විවිධ වෘත්තීයමය කොටස් වෙතින් එල්ල වෙමින් පවතින විරෝධතා මැඩ පැවැත්වීම සඳහා සටන් වැද සිටියි. තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් සමබබන්ධයෙන් එල්ල වන විරෝධතා වෙනුවෙන් පිළිතුරු දීමට අගමැති ට අයිතියක් තිබේ. නමුත් එසේ කිරීමේදී එම විරෝධතා සංවිධානය කරන්නන්ට තර්ජනය කරමින් ඔවුන් බියවද්දා නිහඬ කිරීමට උත්සාහ කිරීම විසම්මුතියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්ධනය කිරීමකි.

“ නමුත් මේ ගමන නවත්වන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. සියලූම කඩාකප්පල්කාරීන්ට මුහුණදීමට අප සූදානම්” යැයි කීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන අගමැතිවරෙයකුගෙන් අපි අපේක්ෂා නොකරමු. මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කළේ තමන් කල් තබා හිතාගත් ගමනක් කොතරම් ජනතා විරෝධයක් හමුවේ වුව නොනවත්වා තමන් කැමති ආකාරයට යන්නට නොවේ. ඊට විරුද්ධ වන්නවුන් කඩාකප්පල්කාරීන් ලෙස හැඳින්වීමෙන් ම ඔවුන් කඩාකප්පල්කාරීන් බවට පත්වන්නේ නැත. ඔවුන් කඩාකප්පල්කාරීන් යැයි ජනතාවට ඒත්තු ගැන්වීම ද අවශ්‍ය කෙරෙයි.

මෙහිදී “ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවෙයි” යන්න ප්‍රජාතන්ත්‍රවාදය අගයන අගමැතිවරෙයකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රකාශයක් නොවේ. මෙරට අන් ඕනෑම පුරවැසියන්ගේ සංවිධානයකට මෙන්ම වෛද්‍ය නිලධාරීන්ටත් රටේ දේශපාලනය වෙනුවෙන් මැදිහත් වීමේ පූර්ණ අයිතියක් තිබේ. වෘත්තියමය සංවිධාන ජාතික වැදගත්කමක් ඇති කරුණු වලට මැදිහත් වීම ඔවුන් දේශපාලන සංවිධාන ලෙස ලේබල් අලවා මර්ධනය කරන්නට හේතුවක් කර නොගත යුතුය. එමෙන්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් “කඩේ යෑම”ද කිසියම් සංවිධානයක් මර්ධනය කිරීමට හේතුවක් කොට නොගත යුතුය. ඔවුන් කරන කියන දෙයෙහි හරි වැරදි එහි සාමාජිකත්වය විසින් සහ සෙසු සමාජය විසින් තීරණය කළ යුත්තක් මිස රජය විසින් තීරණය කළ යුතු දෙයක් නොවේ.

“ අප ජනතාවගෙන් වරමක් ලබා ගත්තා.” යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තම මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ දේ පිළිබඳ ය. මෙය දේශපාලනඥයන් විශ්වාස කරන මිත්‍යාවකි. ජනතාව මැතිවරණයකදී ඡන්දය දෙන්නේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් සියලු දේ සළකා බලා ඒවා සියල්ල එකින් එක අනුමත කරමින් නොවේ. 2015 අගෝස්තු 17 දා මැතිවරණෙයන් රනිල් වික්‍රමසිංහට අගමැති වීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ පිළ යළි මෙරට බලයට එනු දකිනු නොරිසි වූ විශාල ජනකායක් මහින්ද පිළට එරෙහිව පාවිච්චි කළ විරෝධතා ඡන්දයක ප්‍රථිඵලයක් වශෙයන් බව රනිල් වික්‍රමිසිංහ වටහා ගත යුතුය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පොලිසියට විශේෂ පැමිණිල්ලක් කර තිබෙන්නේ කවුරුන්දැයි අගමැති හෙළි කළ යුතුය. එම පැමිණිල්ල විභාග කිරීම සාධාරණ ආකාරයට කෙරන බවට අගැමැති රටට සහතියක් දිය යුතුය. තමන් ගේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට විරුද්ධව කටයුතු කරන නිසාම වෘත්තීයමය සංගමයක නිලධාරීන් ඇම්බැට්ටයන් යැයි කීම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන රජයක අගමැති ට තරම් නොවේ. රාජපක්‍ෂ රෙජීමයෙන් යම් යම් කොටස් සියලුම වරප්‍රසාද ලබා ගත්තාසේම රනිල් වික්‍රමසිංහ ගේ රෙජිමෙයන් ද වරප්‍රසාද ලබා ගන්නා කොටස් නැතිද?

“ අප මේ සියලූම දේ වෙනස් කරනවා.” යන්න අගැමති රනිල් වික්‍රමසිංහ ගේ බලාපොරොත්තුවයි. වෙනස් කිරීම කළ යුත්තේ වෙනසට ලක් කෙරෙන අය ඒ සඳහා දිනා ගැනීමෙන් එකඟ කරවා ගැනීමෙන් මිස ඔවුන් සතුරන් ලෙස සළකා ඔවුන් මර්ධනයෙන් නොවේ. වෛද්‍යවරු හැම දෙයකටම වර්ජනය කිරීම අපිත් අනුමත නොකරමු. නමුත් ඔවුන්ගේ දේශපාලන අයිතීන් මර්ධනය කොට ඔවුන් බිත්තියට හේත්තු කරන්නේ නම් ඊට එරෙහි ඔවුන් ගේ වර්ජන ක්‍රියාමාර්ග යුක්ති යුක්ත වනු ඇති බව ආණ්ඩුව දත යුතුය. එය තමන්ට පක්ෂ පාතී කණ්ඩායමක් ඒම වෘත්තිය තුළ හදා ගැනීමෙන් ජයගත හැකි යැයි සිතීම ඒතරම් නුවණැති දෙයක් නොවේ.

“ “ඩේලි මිරර්” පත්‍රයේ ඔක්කොම කට්ටිය එදා රාජපක්‍ෂලා එක්ක ගියා” යැයි කීමෙන් ඔවුන්ගේ කට වැසීමට උත්සාහ ගැනීම සාධාරණිකරණය වන්නේ නැත. කේසර අබේවර්ධන කර්තෘ කම කරන පත්තරයේ ඔහු ලියන දේ ගැන විනිශ්චය කළ යුත්තේ එම පත්තරය කියවන පාඨකයන් මිස දේශපාලනඥයන් නොවේ. මාධ්‍ය ගැන කියමින් “ අලුත් රාමුවට අනුව හැදෙන්න මම කාලය ලබා දී තිබෙනවා. එහෙම හැදෙන්න බැරි නම් බොරු නොලියා කේසර අබේවර්ධනටත් ගෙදර යාමට අවස්ථාව තිබෙනවා. මේවාට ඉඩ දෙන්න අප ලෑස්ති නැහැ” යි රනිල් වික්‍රමසිංහ කියන විට මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ නොව ඒකාධිපතියෙකු වන්නට කැස කවන්නෙකුගේ රුවකි. රනිල් වික්‍රමසිංහ කියන “අලුත් රාමුව” කුමක් දැයි පැහැදිළි නැත. එය තීරණය කරන්නේ කවුරුන්ද යන්නත් පැහැදිළි නැත. කේසර අබේවර්ධන ගෙදර යැවීම ගැන සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ කරන්නේ තමන් ගේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපන තැනට කටයුතු කරනවා යන්න නම් එය ඔහු අනුයන්නේ යැයි කියන ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත සහමුලින්ම උල්ලංඝණය කිරීමකි. මේ අදහසම ඔහු දෙරණ ගැන කරන විවේචනයටත් අදාළය. “දෙරණ නැවතත් රාජපක්‍ෂලාට කඩේ යනවා නම් ඒ අය හොරකම් කරපුවා අපට කියන්න පුලූවන්” යැයි රනිල් වික්‍රමසිංහ කියන විට ඉන් පෙනී යන්නේ දෙරණ කළ හොරකම් රනිල් දන්නා නමුත් ඔහු ඒවා දැනට නොකියා ඉන්නා බවත් ඔහු ඒවා දෙරණ රාජපක්ෂලාට කඩේ යන එක වළක්වා ගැනීමට තුරුම්පු වශයෙන් යොදාගනිමින් සිටින බවත්ය. මෙය කිසිසේත්ම යහපාලනය රටට දේශනා කරන්නෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන හැසිරීම නොවේ.

“ මේවා හැදෙන්න අවශ්‍යයි. හැදිල එන්න බැරි නම් අපත් ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජනතාව දුන් වරම නැවත කඩාකප්පල් කිරීමට නැවත මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ” යැයි රනිල් වික්‍රමසිංහ කරන්නේ තර්ජනයකි. මෙලෙස ක්‍රියාකරන්නට ජනතාව තමන්ට වරමක් දුන්නේ යැයි රනිල් වික්‍රමසිංහ සිතීම මුලාවකි, අභාග්‍යයකි. ජනමාධ්‍ය ගැන විවේචනය කිරීමට රනිල් වික්‍රමසිංහට අයිතියක් තිබේ. නමුත් ජනමාධ්‍ය ඔවුනට අවශ්‍ය පරිදි හදාගන්නට තම අගමැති තනතුරේ බලය යොදාගැනීමට අගමැතිට මෙරට ජනතාව වරමක් දුන්නේ නැත. අගෝස්තු 17 දා රනිල් බලයට ගෙන ආ ජනතාව හුදෙක් රස්සා ලබා ගැනීම සඳහා ඔහු බලයට පත් කෙළ් යැයි සිතීම මෙරට තරුණ පරපුරට කරන අපහාසයකි. බහුතරයේ ඡන්දය ලැබූ පමණින් සුළුතරයේ දේශපාලන අදහස් මර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. තම පාක්ෂිකයන් සමග පාරට බැසීමට ද රනිල් වික්‍රමසිංහට අයිතියක් ඇත. නමුත් ජනතාව තම දේශපාලන අයිතිය රැස්වීමෙන් උද්ඝෝෂණ කිරීමෙන් ප්‍රකාශ කරන විට ඊට එරෙහිව උසාවි තීන්දු ගැණීම ප්‍රජාතන්ත්‍රවිරෝධී වන්නා සේම ඒවාට එරෙහිව සෙනග දස ගුණයක් ගෙනත් පෙන්වීම ෆැසිස්ට්වාදයට අත වනන්නක් මිස ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී විසිනි

මිනිසාගේ දෙවැනි මරණය: ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මිනිසාගේ දෙවැනි මරණය
The Defeat of the Mind (මනසේ පරාජය)
The Defeat of the Mind (මනසේ පරාජය)

“මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත් බරපතළ අර්බුදයකට ගමන් කොට තිබේ. ඒ අතරම යුරෝපීය නොවන ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් වත්මනෙහි යළිත් අලුත් වී තිබීම පෙන්නුම් කරන්නේ දේශපාලනක්‍රමයක් වශයෙන් යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇතැයි තීන්දු ප්‍රකාශ කරන්නට අප ඉක්මන් නොවිය යුතු බව නොවේද? යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්ම කරා යළි යාමේ අභියෝගය මෙන්ම එය ගැඹුරු කිරීමත් අද ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුරවැසි ජනතාවන් මුහුණ දී ඇති බරපතළ අභියෝගය වන්නේය.”

Continue reading මිනිසාගේ දෙවැනි මරණය: ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! – මහාචාර්ය නවරත්න බණ්ඩාර

මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ පාර්ලිමේන්තුව විසිරුවා හල යුතු ය. සුජතභාවයක් නැති පාර්ලිමේන්තුවක් තියාගත්තේ උතුම් කාර්යක් කරව ගන්න. දැන් පෙනන්නේ මෙයාලට ඕන ඒක නෙවේ. පාර්ලිමේතුව විසිරුවා හරිනු!!! නව පරලිමෙන්තුවක් කැඳවා එය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!!! මහින්ද රාජපක්ස සහ ඔහුගේ පාලනය යටතේ සිදුකල වංචා පරික්ක්ෂා කිරීමට ජනාධිපති කොමිසන් සභාවක් පත් කරනු!!! වරදකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු!!!

ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම නොපැකිළෙමි. නිදහසේ නාදය එතරම්ම මියුරුතමය . නිදහස පිළිබඳ හැඟීම මා හදට මෙතරම් සමීප 1977 ට පෙර මෙරට තිබූ දේශපාලන නිදහස භුක්ති විඳිමින් යොවුන් වියට පත්ව ලංකාවේ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල ගැසූ පරපුරේ ලාබාලයෙකු ලෙස 77න් පසු ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් අහිමි වීමේ ඛේදවාචකය මැනවින් අත් විඳි අයෙකු වන හෙයින් යැයි සිතමි.
ජනවාරි 8 දා රැය නිදි නැතිව අප ගෙවූයේ බලාපොරොත්තුවත් උකටලි බවත් එකට කැටි ‍කො‍ට ගත් හැඟීම් අතර සිර වී ගෙනය. බලාපොරොත්තුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. උකටලි බව මහින්ද රාජපක්ෂ‍ගේ රජය තමන් මැතිවරණයෙන් පරාජය වුවද බලය අත් නොහැර දැඩි මර්ධනයක් දියත් කරනු ඇතැයි තිබූ බලවත් බිය නිසාය. මෛත්‍රී දිනන බවට තොරතුරු අටවැනිදා රැය ගෙවී යත්ම දිගින් දිගටම රූපවාහිනිය පරදා අන්තර්ජාලය හරහා ලැබෙමින් තිබුණි. ඡන්ද ප්‍රථිඵලය හමුදාව යොදා මංකොල්ල කන්නට උත්සාහයක් ඇති බව කොළඹ ඩීඇස් සේනානායක ඡන්ද මධ්‍යස්ථානයෙන් වාර්තා වීම දැඩි කම්පාවක් ගෙන දුන් නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සෙසු ජනයාගේ මැදිහත් වීමෙන් උත්සාහය ව්‍යර්ථ කළ බව දැන ගන්නට ලැබීම සහනයක් වීය. ඉන් පසුව ඇති වූ බිය වූයේ මෛත්‍රී ඡන්දයෙන් ඉහළින් දිනා ඇති බව සැඟවීමට රෙජිමයට ඉ‍ඩ නොසැළසුණු නමුත් ඡන්ද ප්‍රථිඵලය අවලංගු කොට හමුදා බලය යටතේ රෙජිමය තම පාලනය දිග්ගස්සා ගනු ඇතිද යන්නයි.

මෙලෙස බියක් ඇති වීමට හේතු මැතිවරණ කාලය තුළ මොනවට ප්‍රකාශ වී තිබුණි. Continue reading ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර