Tag Archives: ප්‍රජාතන්ත්‍රවාදී

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම – ‘අනිද්දා’ පත්‍රය පලනොකල මගේ ප්‍රතිචාරය …… දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම මුහුණු පොත මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි අනිද්දා පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, මෙහි  ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම අනිද්දා පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.තිරාණගම තම මුහුණු පොතේ ඒ පිළිබඳ සටහනක් තබමින් දක්වා ඇත්තේ ලිපිය පළ නොකිරීමට හේතුව වශයෙන් “‘අනිද්දා’ පත්‍රයේ වගකිවයුතු නියෝජිතයෙක් කියා සිටියේ මෙයට නිර්මාල් විසින් පසුගිය සතියේ පිළිතුරු දී ඇති බවයි.

දයාපාල තිරාණගම සහ නිර්මාල් රංජිත් දේවසිරි අතර මෙම විවාදය වැදගත් කොට සළකන අපි ඒ සඳහා අප වෙබ් අඩවියේ ඉඩකඩ විවර කිරීමට සූදානම් ය. එයට මුල පිරීමක් වශයෙන් අපි දයාපාල තිරාණගම නිර්මාල් රංජිත් දේවසිරි ගේ අනිද්දා තීරු ලිපියට  ලියූ ප්‍රතිචාර ලිපිය මෙහි පළමු කරමු.

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම

– ‘අනිද්දා’ පත්‍රය පලනොකල මගේ ප්‍රතිචාරය …….

දයාපාල තිරාණගම

මා මිත්‍ර නිර්මාල් රන්ජිත් දේවසිරි අප මුහුණු පොත හරහා කරන ලද විවාදයක් මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒම ගැන මා සතුටුවෙමි.අනිද්දා පත්‍රයෙන් (28/7/29)ඔහු කල ප්‍රතිචාරයට පිළිතුරක් දීම අවශ්‍ය වන්නේ අද පවතින අර්බුදයෙන් අප ගොඩ එන්නේ කෙසේද? යන්න ගැන සංවාදයක් අවශ්‍යවන බැවිනි.

අද පවතින අර්බුදය කෙතරම් දුරට ජනතා බලවේගයන් ආකුල ව්‍යාකුල කර ඇත්දැයි කිවහොත් සියලුම පක්ෂ සහ දේශපාලන උනන්දුවක් ඇති පුද්ගලයන් පවා නන්දෙඩවිලි කරුණු ලබන්නේ දේශපාලන ළදරුවන් මෙනි.විජයකලා කොටි සංවිධානය නැවත ගොඩ නැගීමට දක්වන ලද අභිලාෂයත් නිර්මාල් රන්ජිත් කලක සිට 2020 දී ගොටා බලයට පත්කිරීම සඳහා දියත් කර ඇති කතිකාවතත් දෙකම අයත් වන්නේ අද මුහුණ දෙන අර්බුදයේ එකම මානයකට ය.නමුත් මේ දෙදෙනාම කියා සිටින්නේ තමන් ඇත්තටම අදහස් කලේ එය නොවන බවය.විශේෂයෙන්ම නිර්මාල්ගේ අනුගාමිකයන් කියා සිටින්නේ ගෝටා 2020 බලයට පත් කොට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම කියාදීම මිස වෙන දේශපාලන පාඩමක් නැති වන්නේ ගෝටා නියෝජනය කරන බලවේගයන් එතරම්ම ශක්තිමත් නිසා බවයි.අප විසින් ඉදිරිපත්කරන කිසියම් දේශපාලන ව්‍යාපෘතියක් සහ අද ජනතාව සිටින තැන අතර පියවිය නොහැකි විශාල පරතරයක් ඇති බැවින් එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ගැන විශ්වාසයක් නිර්මාල් තුල නොමැති බව ඔහු පෙන්නුම් කරයි.

යමෙකුට යම්කිසි සංවිධාන ව්‍යුහයකට සම්බන්ධවන්නේ නැතිව හෝ සාමුහික වගකීමක් නැතිව තනි පුද්ගලයකු වශයෙන් පැවතීම සහ තමන් වුවමනාවෙන්ම තනිවීම නිසා හෝ බොහෝවිට සාමුහිකතත්වයට වඩා තම පෞද්ගලික දේශපාලන හැකියාව පිළිබඳව ඇතිකරගන්නා අධිවිශ්වාසයක් තිබිය හැකිය. නමුත් එම අධිවිශ්වාසය මත, අනාගතයේ ඇති විය හැකි දේශපාලන ක්‍රියාවලියක් දිග හැරීම ගැන බියකරු සිහින දැකීමෙන් අප ගැලවිය යුතුය.

එසේ ගැලවීමට නොහැකිවීම, ගෝටා ගේ 2020 යෝජනාක්‍රමයට ආ වැඩීමේ දේශපාලන වැරැද්ද කරනු ලැබීමට යොමු වීම සහ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රවණතාවයන් සුජාත කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කිරීමකි.

විමුක්තිකාමී දේශපාලන බලවේගයන්ගේ බෙලහීනතාවය දේශීයව සක්‍රීය බලවේගයක් බවට පත්කිරීම ගෝටා විසින් බලයට පැමිණ කරන මර්දනයෙන් සිදුවෙතැයි සිතීම ජනතාවට පාන් බැරිනම් කේක් කාපල්ලා’ යයි කීමක් වැනිය.එය ජනතාවට කෝපාන්විතව කරන තරවටුවකි.අප වාමාංශය වෙනුවෙන් පෙනී සිටින්නේ එහි උරුමයේ පවතින පසුබැසීම් මෙන්ම ජයග්‍රහණයන් ද නිසා උරුම කරගත් පාඩම් වලින් සන්නද්ධ වෙමිනි.දශක ගණනාවක දේශපාලන නිහඬ බව සති ගණනක් ඇතුලත ගිගුරුම් දෙමින් ජනතාව අවධිවීම ගැන හොඳ උදාහරණයන් ටියුනිසියාවේ සහ ඊජීප්තුවේ ජනතා නැගිටීම් වලින් පෙන්වනු ලැබිය.

නිර්මාල් විසින් සිය පිළිතුරු ගොනු කරද්දී සඳහන් කළ මෙවන් අවස්ථාවල ලෙනින් අනුගමනය කල වෘත්තීමය විප්ලවාදීන් ගොඩ නගමින් ගෙන ගිය ආකෘතිය යල් පැනගිය එකක් ලෙස මම සලකමි.ජනතාව පීඩාවිඳින සියලුම ක්ෂේත්‍ර වල,කම්කරු,ගොවි,ස්ත්‍රී, පීඩිත ජනතා සමුහයන්,සහ ශිෂ්‍යයන් වෙනම ඔවුනොවුන්ගේ පීඩිත දේශපාලන අවකාශයන් තුල සංවිධානය කොට ජනතා බලවේග ගොඩ නැගීමේ ව්‍යාපෘතියක් කෙරෙහි යොමු වීම මේ යුගයේ දේශපාලන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි.

ගෝටා නියෝජනය කරන ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන් ප්‍රබල වුවද එම බලවේගයන් නියෝජනය සඳහා ඔහුගේ යෝග්‍ය බව පිලිබඳ දැඩි විරෝධයන් එම කඳවුරේ සමහර නායකයන් ගෙන්ම එල්ල වී ඇත.එමනිසා ගොටගේ යෝජනා ක්‍රමය සිදුවිය හැක්කක් බවට සහතික කල නොහැක.එය එසේ වුවහොත් ගෝටා ගෙනවිත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඉගැන්වීමේ නිර්මාල්ගේ සිහිනය සබැ නොවනු ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට සිදුවන පාඩුවක් ලෙස ඔහු දකින්නට පුලුඑවන් කම ඇත්තේ ඒ පිළිබඳව කලක සිටි සෑහෙන බලාපොරොත්තු සහිත කතිකාවක් ඔහු ගොඩ නගා ඇති බැවිනි.

නිර්මාල්ගේ විවාදාත්මක ගෝටා 2020 යෝජනා ක්‍රමය ඔහු ගෙන අවේ ජවිපෙ අනුර කුමාරට 2020 පාර කැපීමේ යෝජනා ක්‍රමය සාක්ෂාත් කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස යයි මම විශ්වාස කරමි.එමගින් ජනතාව අතර භීතිය උපදවා එමගින් අනුර කුමාරගේ චන්ද ගොඩ වැඩි කර ගත හැකිව තිබුණි.නමුත් දැන් පෙනී යන ආකාරයට එය අසාර්ථක වෙමින් පවතී. ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට පැවරුව හොත් ඒවා නැති බංග වනබව කවුදෝ විප්ලවාදී නායකයෙක් කියූ බව මට මතකය.

ජනතාව පීඩාවට ලක්වීමේ දී ඇතිවන විනාශය සහ පසුබෑම ඉන් ජනතාව ඉගෙන ගන්නා වටිනාකම් වලට වඩා හානිකරය,දුෂ්කරය,කටුකය.එය ජනතාවගේ විමුක්තිය දශක ගණනාවක් ආපස්සට ගෙන යනු ඇත.එබඳු වූ ව්‍යසනයක් අධිෂ්ඨාන කිරීම අපේ සදාචාරයට ගැලපෙන්නේ නැත.අපේ සදාචාරය සංයුක්තවන්නේ මැටි බළලා ගෙන් හෝ මීයන් අල්ලා ගැනීමක් මත නොවේ. අප කල යුත්තේ මිනිස් සදාචාරයේ අඛණ්ඩතාවය රැක ගනිමින් විමුක්ති මාර්ගයේ ජනතාව සමග ගමන් කිරීමයි.

Advertisements

පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව

ජන හිතකාමී, පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මහජන සාකච්ඡාවක් ගොඩ නඟමු!

වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලංකා සමාජය එක්සත් කරනු වෙනුවට එතුළ බරපතළ භේද මතුකොට තිබේ.

මෙම භේදය මූලිකවම නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි කියා සිටින ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අදහසට දැඩි ලෙස විරෝධය පළ කර සිටින සිංහල බෞද්ධ පිරිස් අතර වන භේදය කි. මෙම ප්‍රධාන මත භේදයට තුඩු දී ඇති මූලික කරුණ දෙකකි. ඉන් පළමුවැන්න, ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දේශපාලන බලය බෙදීම සඳහා කෙරෙන යෝජනාව යි. දෙවැන්න, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම සඳහා කෙරෙන යෝජනාවයි.

මීට අමතරව ‘සමාජ ආර්ථික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙසින් ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතුය’ යනුවෙන් ජනතාවගෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වී ඇති විරෝධය ද මතභේදයට තුඩු දී ඇති තවත් ප්‍රධාන කරුණකි.

අපගේ අදහස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහසට සිංහල සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වීමට ප්‍රධාන හේතුව වත්මන් ආණ්ඩුව විසින් එම ක්‍රියාවලිය මුල සිටම පවත්වාගෙන ගොස් ඇති අපාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍ර බවින් හීන ස්වරෑපය බවයි. ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් සළකාබැලීම හුදු නාමික ක්‍රියාවලියක් බවට පත්විය. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රියාවලිය මහජනතාවට පාරදෘශ්‍යභාවයෙන් තොරවූ අතර එය ප්‍රජාතන්ත්‍රිකද නොවූ බවද ප්‍රකාශ වී තිබේ. අවසානයේදී ව්‍යවස්ථාව පිළිබඳ තීරණ ගැනීම විශේෂඥයන්ගේ උපදෙස් මත ආණ්ඩුවේ එක් පාර්ශ්වයක කැමැත්තට සිදුකෙරෙන කටයුත්තක් බවට ලඝු කොට ඇති බවක් පෙනී යයි. Continue reading පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම

11.2 නිර්දේශ

පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ.

1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීන් හා සියලු පුද්ගලයින් කවරෙකු හෝ විසින් මෙම නියාමක මූලධර්ම පහත සදහන් කටයුතුවලදී අනුගමනය කළ යුතු වේ.

අ. මෙම ව්‍යවස්ථාව භාවිත කිරීම හෝ විවරණය කිරීම
ආ. ඕනෑම නීතියක් පැනවීම, භාවිත කිරීමහෝ විවරණය කිරීම හෝ
ඇ. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හෝ ක්‍රියාත්මක කරන ඕනෑම විටෙක

11.2.1 නියාමක මූලධර්ම

1. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි රජයක් ස්ථාපිත කිරීමට රජය සහතික වී ඇති අතර එහි අරමුණු අතර පහත දැක්වෙන කරුණු අඩංගු විය යුතුය.

අ) සියලු පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස පූර්ණ ලෙස සාක්ෂාත් කිරීම;

ආ) ජාතික ජීවිතයේ සියලු ම ආයතනවලට මඟ පෙන්වන (සමාජීය, ආර්ථික හා දේශපාලන)සාධාරණත්වයක් සහිත සමාජ ක්‍රමයක් ඵලදායී ලෙස ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ජනතාවගේ සුබ සාධනය ප්‍රවර්ධනය කිරීම;

ඇ) ප්‍රමාණවත් ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස, තිරසර ලෙස ජීවන තත්ත්වයන් දියුණුවීම, විවේකය සහ සමාජ හා සංස්කෘතික අවස්ථාවන් හි පූර්ණ වින්දනය ඇතුළුව සියලු පුරවැසියන්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම;

ඈ) රාජ්‍යය, අන්තර්ගත සමෝධානික හා තිරසර සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය;

ඉ) පොදු යහපතට හොඳම සේවය සිදුවන ආකාරයට සියලු ස්වාභාවික හා ද්‍රව්‍යමය සම්පත් හා සමාජ නිෂ්පාදන සාධාරණ ලෙස බෙදී යා යුතුය;

ඊ) විශේෂයෙන්ම කෘෂිකර්මයේ, සත්ත්ව පාලනයේ හා ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන අංශ, රාජ්‍යය, සමූපකාර හා පුද්ගලික ව්‍යවසාය මෙන් ම පුද්ගල ව්‍යවසායකයන් අතර බෙදී යන නිෂ්පාදනය, බෙදා හැරීමේ හා හුවමාරු ක්‍රම සහිත සාධාරණ සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම;

උ) ජනතාවගේ සදාචාර හා සංස්කෘතික තත්ත්වය දියුණු කිරීම හා මානව ස්වීයත්වයේ පූර්ණ සංවර්ධනය සහ

ඌ) අසාක්ෂරතාව සම්පූර්ණයෙන් තුරන් කිරීම හා සියලු පුද්ගලයන්ට සෑම මට්ටමකදීම අධ්‍යාපනය ලැබීමට ඇති සාර්ව හා සමාන අයිතිය තහවුරු කිරීම. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)