Tag Archives: ප්‍රතිසංස්කරණය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර විශ්වාසය ගොඩ නැඟීමයි. මේ සඳහා රට නො බෙදෙන පරිදි ෆෙඩරල් නැතහොත් සන්ධිය ක්‍රමයට පළාත් සභා වලට මෙන් ම ඉන් ඔබ්බට ගමට සහ නගරයටත් බලය බෙදීමෙන් ලංකාව එක්සත් තනි රටක් වශයෙන් පැවතිය හැකි බව සිංහලයන් බහුතරයකට ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දේශපාලනඥයන්, බුද්ධිමතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සහ පුරවැසියන් එක් ව රට පුරා ගොඩ නැඟිය යුතු ය. මේ කර්තව්‍යය කෙටි කාලීන දේශපාලන අරමුණු උදෙසා හදිසියේ කුමන හෝ උපාය යොදමින් සම්මත කර ගන්නා ව්‍යවස්ථාවක් අරමුණු කොට සාක්ෂාත් කර ගත හැකි නොවේ.”

Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

Advertisements

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය තීන්දු වී ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක රෙජිමය යළිත් බලයට එනු ඇතයි වත්මන් පාලක රෙජිමය වෙළා ගෙන ඇති බිය සහ ඔවුන්ට නව ලිබරල් ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කර ගැනීමේ අපේක්ෂාව මත පදනම් ව යැයි යන අදහස සත්‍යයෙන් එතරම් ම දුරස්ථ ප්‍රකාශයක් නොවන බව පෙනෙයි. මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ බලවේගවල සහාය ලැබේ යැයි විශ්වාස කරන හෙයින් ඒවා අවුළුවා ලන ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් නො කළ යුතු ය යන තීරණයට ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති සෙයකි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඇතැම් “සිවිල් සමාජ සංවිධාන” ද එම ස්ථාවරය පිළිගෙන ඇති සෙයකි.

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඇති ගැට‍ළුව නම් එහි නිර්දේශ වල එන වැදගත් මාතෘකා පිළිබඳ එකඟතාවක් නොමැතිකම’ යැයි ඇතමුන් කියන විට එහි සැඟවුන අදහසක් නම් ‘මෙම අපේක්ෂිත එකඟතාව ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති තීරණය අපේක්ෂා කරන්නකි’ යන්න යැයි තර්කයක් ඉදිරිපත් කෙරෙන්නට ඉඩ තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹීමටත් ප්‍රථම ජනාධිපති සහ අගමැති වෙන් වෙන් ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවේ ‘ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් සැලකීම’ සහ ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම’ ඉදිරියටත් නො වෙනස් ව පැවතිය යුතු බවයි. මහත් බලාපොරොත්තු ඇති කරමින් ආරම්භ කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ වාර්තාව දැන් පළ කොට ඇත. මෙම අවස්ථාවේ ආණ්ඩුව සහ ඇතැම් “සිවිල් සමාජ” සංවිධාන එම වාර්තාව ගැන දක්වන එළඹුම වටහා ගත හැක්කේ ඉහත පදනම මත විය හැකි ය. එම වාර්තාව සම්පාදනය කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කළ, මහජන නියෝජිත කමිටුවක් මඟින් නමුත් මේ දක්වා එය පාර්ලිමේන්තුවෙහි සභා ගත කොට නැත. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

1 පරිච්ඡේදය – හැඳින්වීම

2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම).

1.1 ක්‍රියාවලිය

කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ තැපෑලෙන්, විද්‍යුත්-තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් ලිඛිතව හෝ අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනයාට ආරාධනය කරන ලදී. දින අටක් පුරා මහජන අදහස් විමසූ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්නට, අනිත් දිස්ත්‍රික්ක විසි හතරේ ම දින දෙක බැගින් මහජන අදහස් විමසීමට කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහාය ලබා ගත්තේය. මෙම දිස්ත්‍රික් රැස්වීම් සඳහා කමිටුව උප-කණ්ඩායම් ලෙස සහභාගි වීය. (ඈ ඇමුණුම බලන්න). සියලු මහජන අදහස් විමසීමේ සැසි, මාධ්‍යවලට හා මහජනයාට විවෘත විය. දින ගණනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජනයාගේ අදහස් හා නිර්දේශ අඩංගු වාර්තාවක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අවධානය සඳහා කමිටුව විසින් පිළියෙල කරන ලදී.

පාරදෘශ්‍ය භාවය පවත්වා ගැනීම සඳහා මහජනයා විසින් ඉදිරිපත් කළ අදහස් අඩංගු දත්ත සමුදාය පද්ධතියක් ද, කමිටුව විසින් ස්ථාපිත කරනු ලැබීය. මෙම දත්ත සමුදාය පද්ධතිය නිර්මාණය කරන ලද්දේ මෙම ඓතිහාසික ක්‍රියාවලිය අනාගතය සඳහා ආරක්ෂා කිරීමටත්, මහජනතාවට මෙම ලේඛන ලබාගැනීමේ පහසුවත්, සඳහායි.

මෙම ක්‍රියාවලියට මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා ප්‍රශංසනීය වේ. මහජන අදහස් ඉදිරිපත් කිරීමට දුන් කෙටි දැනුම්දීම හා කාලයේ හා මානව සම්පත්වල සීමාවන් මැද වුවත් රටේ ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් තුළ රටේ උත්තරීතර නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ හා රාජ්‍ය බලය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ වීමට අභිලාෂයක් තිබුණු බව අපට පැහැදිලිව දැක ගත හැකි විය.

කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ අය අතර සිවිල් සමාජ කණ්ඩායම්, පූජකවරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විශ්‍රාමික හා ආබාධිත පොලිසියේ හා හමුදා සාමාජිකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, වෘත්තීය සමිති සාමාජිකයින්, දේශපාලනඥයින්, ජනවාර්ගික කණ්ඩායම්, ආන්තික හා නොතකා හරින ලද කණ්ඩායම්, සුළු ජනවාර්ගික කණ්ඩායම් හා ආබාධිත පුද්ගලයන් ආදි පුළුල් නියෝජනයක් දක්වන පුද්ගලයන් හා කණ්ඩායම් වූහ.
ලිඛිතව මෙන්ම වාචික ව බහුවිධ අදහස් හා මත ඉදිරිපත් කෙරුණි. මෙහිදී වඩාත් ප්‍රශංසනීය කරුණ වන්නේ ජනතාව ඉතා අවංකව අදහස් ඉදිරිපත් කිරීම පමණක් නොව අන් අදහස්වලට සවන්දීමට දැක්වූ උනන්දුවයි. අදහස් දැක්වීමට පැමිණි බොහෝ අය, තම සහෝදර පුරවැසියන්ගේ අදහස්වලට සවන් දීමට ද, නතරවූහ. මෙම ක්‍රියාවලියට ජනතාව දැක්වූ උනන්දුව, ව්‍යවස්ථාව සැදීමේ කටයුතු වලට සහභාගී වීමට ඔවුන් දැක්වූ කැපවීම හා වෙනස් අදහස්වලට කන්දීමේ විවෘත භාවය මෙයින් පිළිබිඹු විය. මෙම මහජන අදහස් විමසීම මගින් පරිණත ප්‍රජාතන්ත්‍රීය සමාජයක වැදගත් ලක්ෂණයක් දැකිය හැකි වූයේය. එනම්, ජාතික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා හා විවාදවල නිරත වීමට ජනතාව දක්වන උනන්දුවයි. බොහෝ දුරට මෙම සාකච්ඡා හා අදහස් දැක්වීම් සාමකාමී හා විනීත වාතාවරණයක සිදු වුණි. එකිනෙකට ඉතා වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මැද වුවත් මහජනයා මෙම ක්‍රියාවලියටත්, විවෘතව අදහස් දැක්වීමට සෑම කෙනෙකුට ම ඇති අයිතියටත්, ගරු කළෝය. මෙය ඉතා ප්‍රශංසා කළ යුතු මෙන් ම අගය කළ යුතු ලක්ෂණයකි.

මෙම කටයුතුවලදී කමිටුව වැදගත් කරුණු දෙකක් නිරීක්ෂණය කළෝය. මෙයින් එකක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, තියුණු කිරීමටත්, මහජනයා දැක්වු කැමැත්ත වන අතර දෙවැන්න වන්නේ සාමය හා ප්‍රතිසන්ධානය සඳහා දැක්වූ උනන්දුවයි. ඔවුන් මේවා ළඟා කර ගත හැක්කේ කෙසේද, යන්න ගැන වෙනස් මත තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති අවංක අභිලාෂය මෙයින් පැහැදිලි විය.

මෙම ක්‍රියාවලියට සහභාගී වීමේදී අපේ ජනතාව දැක්වු අව්‍යාජත්වය හා අභිලාෂයන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් වටහාගෙන ඒවාට ගරු කළ යුතු බව මෙම කමිටුවේ අදහසයි. අප ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන් අතර ඔවුන්ට එයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ව කෘතඥතාව පළ කළෝය. ඔවුන් කමිටුව ඉදිරියට පැමිණියේ විශ්වාසී හැඟීමකින් හා යෝධ අපේක්ෂාවන් සහිතවයි. මෙය, අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවත්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත්, අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත හා ප්‍රීතිමත් රටක් ගොඩ නැඟීමට මෙය යොදා ගත හැකි බවත් බොහෝ අය කියා සිටියහ. ඔවුන් අප ඉදිරියට පැමිණියේත්, අදහස් ඉදිරිපත් කළේත්, විශාල බලාපොරොත්තු සහිතව බැවින් එම විශ්වාසය හා අපේක්ෂා බිඳ නොදැමිය යුතුය. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් අර්ථාන්විත වන්නේ ජනතාව එය තමන්ට ‘අයිති’ දෙයක් ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ නම් පමණි. මේ නිසා මහජනයාගේ අදහස්වලට අවධානය යොමු කරමින්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඔවුන්ගේ කාර්යභාරය පිළිගනිමින්, ජනතාව මෙම ක්‍රියාවලියට දිගට ම සහභාගි වන බව සහතික කිරීම තීරණාත්මක ව වැදගත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය නිතර සිදුවන දෙයක් නොවේ. මෙය නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සිදුවන තුන්වැනි ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වීම, අපේ රටේ සියලු ජනයාගේ අපේක්ෂාවන් පිළිබඳ ව සාමූහික එකඟත්වයකට එළඹීමට අතීතයේ අපේ ව්‍යවස්ථා සම්පාදකයන් අසමත් වීම පිළිබඳ සංඥාවකි. රාජ්‍යයේ ඓන්ද්‍රීයාංග, නීතියේ ආධිපත්‍යය හා ඒවා එකිනෙක අතරෙහිත් විශ්වාසය ගොඩනැගීමේ කාර්යයේදී අපි අසාර්ථක වී ඇත්තෙමු. අතීත වැරදිවලට සමාව ගැනීමේ කාර්යයට අපි නැවතත් මුහුණදී සිටිමු. එම නිසා මේ අවස්ථාව අපතේ යෑමට ඉඩ නො දිය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන අවස්ථාවාදයෙන් ඔබ්බට යෑමට තැත් කළ යුතු වෙමු. අනාගත පරම්පරාවන්ට අපි ලබා දිය යුත්තේ කුමන ආකාරයක උරුමයක් ද? එය ගිලිහී ගිය අවස්ථා හා අසාර්ථක ප්‍රයත්න පිළිබඳ ව ද? එසේ නැත්නම් ආඩම්බරයෙන් හිමිකම් පෑ හැකි දෙයක් ද? අප කළ යුත්තේ වර්තමානයේ අවශ්‍යතාවන්ට පමණක් ප්‍රතිචාර දක්වමින් පහසු මග ගැනීම ද? එසේ නැත්නම් අනාගතය ගැන විශ්වාසයෙන් සියලු දෙනාට ම සාධාරණය හා සමානත්වය සහතික කරන ශක්තිමත් හා ක්‍රියාකාරී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නැගීම ද? මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හා පුළුල් සමාජයේ විවාදයට භාජනය විය යුතු ප්‍රශ්න වේ. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)